පුද්ගලීකරන සැලසුම් වලට සහ දීමනා කැපීමට එරෙහිව වරාය කම්කරුවන් අතර විරෝධය වැඩෙයි

ජෝතිපාල දැදිගම සහ විලානි පීරිස්
8 ජූනි 2020

පුද්ගලීකරන සැලසුම් ඉස්මත්තට ගැනීමටත් තම දීමනා සහ පහසුකම් කපා හැරීමටත් එරෙහිව වරාය කම්කරුවන් අතර බලගතු විරෝධයක් වර්ධනය වී ඇත. වරාය අධිකාරියේ කලමනාකාර අධ්‍යක්ෂ විසින් නිකුත් කල චක්‍රලේඛ දෙකක් මගින් මෙම විරෝධතාව අවුලුවා තිබේ. 

වසංගතය හේතුවෙන් රට අගුලු ලා තිබූ කාලයේ, සේවයට වාර්තා කරන සෑම දිනයක්ම ඉරිදා දිනයක් සේ සලකා එයට අදාල පැය 72 ක අතිකාල දීමනා ලබාදීමේ පදනම මත, දිනකට 1500 ත් 2000 ත් අතර කම්කරුවන් සංඛ්‍යාවක් සේවයට කැඳවා ඇත. කන්ඩායම් දෙකක් ලෙස ඔවුන් සේවයේ යොදවා ඇත්තේ එක් කන්ඩායමක් එක් සතියකට ද අනෙක් කන්ඩායම ඊලඟ සතියට ද වන ආකාරයෙනි. 

නය බරින් මිරිකී සිටි බැවින්, වැඩි මුදලක් ලබා ගැනීමේ අරමුනෙන්, වසංගතය නොතකා සේවයට වාර්තා කල බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) වාර්තා කලහ. 

මැයි 18 දා නිකුත් කල පලමු චක්‍රලේඛයෙන් ඉහත ගෙවීමේ පදනම අහෝසිකොට, සේවයට වාර්තා කරන සෑම දිනකටම රුපියල් 1500 ක විශේෂ දීමනාවක් ලබාදෙන බව නිවේදනය කෙරුනි. කෙසේ නමුත්,   මැයි 21 දා නිකුත්කල දෙවන චක්‍රලේඛයෙන් එම දීමනාවද අහෝසි කර සේවා කටයුතු හා සේවයට පැමිනීම සාමාන්‍ය තත්වයට පත්කර ඇත. ඒ අනුව සේවා මුර සඳහා යම් කම්කරුවෙකු සේවයට වාර්තා නොකරන දිනයන් පුද්ගලික නිවාඩු දිනයන් ලෙස සැලකේ.

මීට අමතරව, සතියේ දිනවල පව 5.00 සිට පව 7.00 දක්වා පැය දෙකක අතිකාල සේවයේ යෙදුනහොත් පැය පහක අතිකාල දීමනා ගෙවීමේ  ක්‍රමය ද අහෝසි කෙරී ඇත. දශකයකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ මෙම ක්‍රමය කම්කරුවන්ගේ පවුල්වල දිවි ගැටගසා ගැනීමට බෙහෙවින් උපකාරී වූ අතර එය අහෝසි කිරීම ඔවුනගේ ජීවන කොන්දේසි වලට එල්ල කෙරුනු බලගතු පහරකි. 

මේ අතර සේවයට නොකැඳ වූ දහස් ගනනක් සේවකයන්ට කුමක් සිදු වන්නේදැයි චක්‍රලේඛයේ කිසිවක් සඳහන් කර නොමැත.

වසංගත අන්තරාය පහව නොගොස් ඇති තත්වයක් මැද, ආන්ඩුව සාපරාධී අන්දමින් “රට යලි විවෘත කිරීම” සම්බන්ධයෙන් තම කෝපය පල කල වරාය කම්කරුවෝ, වසංගතය ආසාදනයවීමේ හැකියාව අවම කරනු වස්, සතියක් හැර සතියක් සේවයට පැමිනීමේ පහසුකම පවා අහෝසි කිරීම සම්බන්ධයෙන් වරාය පරිපාලනයට සහ ආන්ඩුවට චෝදනා කලහ. 

කම්කරුවන් පවසන්නේ වසංගතයට මුවාවෙමින් වරායේ ඉතුරු කොටස් ද පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව සූදානම් වන බවයි.

කොරෝනා වසංගතය මගින් උග්‍ර කෙරී ඇති ආර්ථික අර්බුදය යටතේ,  රාජපක්ෂ ආන්ඩුව විසින් සමස්ත කම්කරු පන්තියේ රැකියා, වැටුප් සහ සමාජ සහන කප්පාදු කිරීම සඳහා ගෙනයන පලල් ප්‍රහාරයක කොටසක් ලෙස වරාය සේවකයන්ට මෙම ප්‍රහාරය එල්ල වෙමින් පවතී.

මැයි 14 දින, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ආයෝජන මන්ඩලය, වරාය අධිකාරිය යන ආයතනයන්හි සහ අමාත්‍යංශයන්හි ප්‍රධානීන් කැඳවා ජනාධිපති රාජපක්ෂ සාකච්ඡාවක් කලේය. ආර්ථිකය යලි විවෘත කිරීමත් සමග “වසංගතය හේතුවෙන් බාධා වූ සංවර්ධන කටයුතු වේගවත් කිරීම” සහ “විදේශ නය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ෂනය කර ගනිමින් නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීම” අවශ්‍ය බව පැවසූ රාජපක්ෂ කොලඹ වරායේ නැගෙනහිර හා බටහිර පර්යන්ත “වහාම වැඩිදියුනු කිරීමේ” අවශ්‍යතාවයද අවධාරනය කලේය. 

පසුගිය ආන්ඩු සමයේ ඉන්දියාවේ හා ජපානයේ ආයෝජකයන් සමග ඒකාබද්ධව නැගෙනහිර පර්යන්තය “සංවර්ධනය” කිරීමේ නාමයෙන් සැලසුම් කල පුද්ගලීකරන වැඩපිලිවෙලට කම්කරුවන් අතරින් මතුවූ බරපතල විරෝධය නිසා එය ක්‍රියාත්මක කල නොහැකි විය.

2017 පෙබරවාරි 1 දින කොලඹ වරාය සේවකයින් 1,000 ක් පමන මෙම සැලසුමට එරෙහිව විරෝධතා පාගමනක යෙදී ගත්හ. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එය මර්දනය කරනු ලැබුවේ කැරලි මර්දන පොලිසිය යොදවමිනි.

රාජපක්ෂ අවධාරනය කරන්නේ එම විරෝධතා නොතකා පුද්ගලීකරන වැඩපිලිවෙල වහාම ක්‍රියාත්මක කලයුතු බවයි.   

මැයි 23  දින ඉන්දීය අගමති මෝදි සමග පැවැත්වූ දුරකථන සංවාදයේදී,  ජනාධිපති රාජපක්ෂ, ලංකාව මුහුන දෙන ගැඹුරු ආර්ථික අර්බූදය ගැන සඳහන් කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක අමතර නය මුදලක් ඉල්ලා සිටියේ ය. අනතුරුව කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජන කඩිනම් කරන ලෙස ද රාජපක්ෂ  මෝදිගෙන් ඉල්ලුවේ ය.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව හම්බන්තොට වරාය හා කොලඹ වරාය නගර ව්‍යාපෘතීන් චීනයට පවරාදී තිබූ තත්වයේදී, ඊට උරනව සිටි වොෂින්ටනය හා නවදිල්ලිය සතුටු කිරීමේ අරමුනෙන්, පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය සමඟ ගිවිසුමක් 2019 මැයි 26 දින  අත්සන් කලේය. ශ්‍රී ලංකාව සියයට 51 ක කොටස් ප්‍රමානයක්ද හවුල් සමාගම්වලට සියයට 49 ක කොටස්ද හිමිවන ලෙසට ගිවිසුම් ගතව ඇත.

කොලඹ වරාය පෞද්ගලීකරනය කිරීම බොහෝ කලකට පෙර ආරම්භ කෙරුනකි. එලිසබෙත් රැජින පර්යන්තය 1999 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ රජය යටතේ පුද්ගලීකරනය කරන ලද අතර දැන් එය පවත්වාගෙන යනු ලබන්නේ දකුනු ආසියා ගේට්වේ ටර්මිනල්  සමාගම විසිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය 2013 දී පුද්ගලීකරනය කරන ලද කොටස් වලින් සියයට 80 ක් චීන සමාගමකට විකුනා ඇත. දැන් වරාය අධිකාරිය මගින් පාලනය කෙරෙන්නේ වරායේ කුඩා කොටසක් පමනි.

පසුගිය දශක හතරක  කාලය තුල වරාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස ශ්‍රම බලකාය තියුනු ලෙස අඩු කර ඇත. පෞද්ගලික මිනිස්බල (මෑන් පවර්) සමාගම් වලින් සපයා ගන්නා කම්කරුවන් අඩු වැටුපකට කොන්ත්‍රාත් පදනමේ සේවයේ යොදවා ඇත්තේ ස්ථිර සේවකයින්ගේ අයිතිවාසිකම් සියල්ල අහිමි කරමිනි. 

වරාය පුද්ගලීකරනය කිරීම හෝ රැකියා කප්පාදුව සම්බන්ධයෙන් විරෝධය මතුවන සෑම අවස්ථාවකම, වෘත්තීය සමිති කරනුයේ පුහු විරෝධතා ප්‍රකාශ නිකුත් කරමින් කම්කරුවන්ගේ විරෝධය අපසරනය කිරීම යි. 

ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා  වරාය පොදු සේවක සංගමය “වරාය සේවක ගැටලුවලට මුහුනදීම සඳහා පොදු යාන්ත්‍රනයක්” සකසන ලෙස වරාය අධිකාරියේ සභාපති දයා රත්නායකගෙන් ඉල්ලා සිටියි. මෙම “පොදු යාන්ත්‍රනය” යනු අනෙකක් නොව, ඔවුනද සම්බන්ධ කර ගනිමින් මෙම ප්‍රහාරාත්මක වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමේ යාන්ත්‍රනය කි. 

නිදහස් වෙලඳ කලාප වෘත්තීය සමිති, හාම්පුතුන් සහ ආන්ඩුව සමග එක්ව ගොඩනගන ලද ඊනියා ත්‍රෛපාර්ශ්වීය බලකාය මෙම “පොදු යාන්ත්‍රනය” පිලිබඳ බලගතු උදාහරනයකි. සියලු දීමනා ඉවත් කරමින් කම්කරුවන්ගේ වැටුප් අඩකින් කපා දැමීමට එම සමිති සමග ජවිපෙ ද විවෘතවම සම්මාදම් විය.  

වරාය පුද්ගලීකරනය කිරීමේ වැඩපිලිවෙල යලි ක්‍රියාත්මක කිරීමේ   ප්‍රයත්නය ගැන ජවිපෙ සමිතිය පැහැදිලිවම දැන සිටි නමුත් ඒ සම්බන්ධව කිසිවක් සඳහන් නොකලේ පාලකයන් සමග ඒකාබද්ධව   ක්‍රියාකිරීමේ අරමුනෙනි.

“ආයෝජන ආකර්ෂනය කර ගනිමින් නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව” ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගෙන යන්නේද සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගෙනගිය ප්‍රතිපත්තියමය. කොලඹ වරායේ සෙසු කොටස්ද පෞද්ගලීකරනය කිරීම යටතේ කම්කරුවන් මුහුනදෙන්නේ තම රැකියා තවදුරටත් අහෝසි කිරීමේ හා සේවා කොන්දේසි කපා හැරීමේ තර්ජනයටය.