ජොර්ජ් ෆ්ලොයිඩ් මරාදැමීමට එරෙහි උද්ඝෝෂනය පොලිසිය කුරිරු ලෙස මර්දනය කරයි

එක්සත් ජනපද පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කරනු ලැබීමට විරෝධය පලකරමින් කොලඹදී පැවැත්වූ උද්ඝෝෂනයකට අඟහරුවාදා කැරලි මර්දන පොලිසිය කෲර ලෙස පහර දුන්නේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ( පෙසප) විසින් සංවිධානය කල විරෝධතාව කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබුනි.

පොලීසිය, ඊට පෙර දින, විරෝධතා වැලැක්වීමේ උසාවි නියෝගයක් ලබාගෙන ඇත. උද්ඝෝෂකයින් කොවිඩ්-19 වැලැක්වීමේ නිරෝධායන නීති බිඳිනු ඇතැයි යන ව්‍යාජ හේතුව පොලීසිය විසින් ඉදිරිපත් කර තිබුනි. පොලීසිය මෙම ප්‍රකාශය කර ඇත්තේ, තමන් වසංගතය පාලනය කර ඇති නිසා සාමාන්‍ය ලෙස ක්‍රියාකාරකම්වල යෙදිය හැකි බවට  විකාර සහගතව ප්‍රචාරය කරන ආන්ඩුව,  කම්කරුවන්ට නැවත සේවයට යාමට ද බල කර ඇති තතු තුල ය. 

විරෝධතාකරුවන් කොල්ලුපිටිය තානාපති කාර්යාලය අසලට ලඟා වීමට මත්තෙන් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන විසුරුවා හරින ලදී. පොලීසිය, පෙසප ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ තවත් ගනනාවකට අඩන්තේට්ටම් කොට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව, පෙසප විරෝධතාකරුවන් 100 ක් පමන අසල පිහිටි ලිප්ටන් වටරවුමට ගොස් නිහඬ විරෝධතාවක් පැවැත්වීය. ඔවුහු ෆ්ලොයිඩ් ඝාතනය පිලිබඳ හා පක්ෂ සාමාජිකයින් පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලන පුවරු ප්‍රදර්ශනය කලහ.

ගුනරත්නම් ඇතුලු තවත් පෙසප නායකයින් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගනී

පක්ෂ නායක කුමාර් ගුනරත්නම් මාධ්‍ය අමතමින් සිටිය දී සන්නද්ධ පොලිස් භටයින් විරෝධතාකරුවන්ට යලි වතාවක්   ප්‍රචන්ඩ ලෙස බැටන් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් බලහත්කාරයෙන් පොලිස් වාහන තුලට දමාගත් අතර,  ගුනරත්නම් ඇතුලු තවත් පෙසප නායකයින් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබින.

බටහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම ප්‍රහාරය පෞද්ගලිකව අධීක්ෂනය කලේය. ප්‍රමුඛ නායකයින් ඇතුලු‍ පක්ෂයේ සාමාජිකයින් 53 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පෙසප ප්‍රකාශ කර තිබේ. අත්අඩංගුවට ගත් අය සවස ඇප මත නිදහස් කර ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), මෙම ව්‍යාජ-වාම කන්ඩායම සමග දේශපාලන වෙනස්කම් තිබියදීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් පෙසප ට එල්ල කල මෙම පොලිස් ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකී. 

එය, දේශපාලන විරුද්ධවාදීන්ගේ, කම්කරුවන්ගේ, තරුනයින්ගේ හා දුගීන්ගේ කවර හෝ විරෝධයක් ඉවසනු නැති බවට දෙනු ලබන පනිවිඩයකි. ඉස්ලාමීය අන්තවාදීන් විසින් පසුගිය වසරේ පාස්කු ඉරිදා එල්ල කල බෝම්බ ප‍්‍රහාරය ගසා කමින් මිලිටරිය හා සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් පෙලගස්වා ගෙන රාජපක්ෂ බලයට පත් විය.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට පොලිසිය විවිධ ආරක්ෂන ඇඟලුම් සහිතව

බලයට පත්වීමෙන් පසු ඔහු, සේවයේ සිටින සහ විශ්‍රාමික හමුදා ජෙනරාල්වරු රාජ්‍යයේ ප්‍රධාන තනතුරු වලට පත් කරමින්, පරිපාලනය වේගයෙන් මිලිටරීකරනය කරමින් සිටී. ඒකාධිපති පාලනය තහවුරු කර ගැනීම සඳහා ඔහු කෝවිඩ් -19 වසංගතය යොදා ගනියි .

රාජපක්ෂ පසුගිය සතියේ, ඔහුට පමනක් වගකියන හා මිලිටරිය අධිකාරය දරන, දුරදිග යන බලතල සහිත, කාර්ය සාධක බලකායක් පත් කලේය.

අත්අඩංගුවට ගත් අයට, අධිකරන නියෝගය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන්, නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනරත්න පැවසුවේය. අත්අඩංගුවට ගැනීම නරුම ලෙස යුක්ති සහගත කරමින් ඔහු කියා සිටියේ, විරෝධතාකරුවන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිටින බව පොලිසිය නිරීක්ෂනය කල බවයි.

අඟහරුවාදා සවස ප්‍රකාශයක් නිකුත් කරමින් කොලඹ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් කියා සිටියේ, තානාපති කාර්යාලය මෙම සිද්ධිය වලක්වන ලෙස පොලිසියෙන් ඉල්ලා නොසිටි බවයි. පොලිස් ක්‍රියාමාර්ගය සාධාරනීකරනය කරමින් ඇය කියා සිටියේ, එය ක්‍රියාත්මක වූයේ දේශීය නිරෝධායන නීතිවලට අනුකූලව බවයි.

ටෙප්ලිස් ප්‍රකාශ කලේ, “‍රට තුල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා  ඔවුන්ගේ පහසුකම් සුරක්ෂිතව තබා ගැනීමට ශ්‍රී ලංකා ආන්ඩුව හා දේශීය නීති බලධාරීන් දරන ප්‍රයත්නය ද අවශ්‍ය මුඛ ආවරන සම්පාදනය මඟින් කොවිඩ්-19 පැතිරයාම වැලැක්වීම සඳහා නිරතුරුව දරන උත්සාහය ද එක්සත් ජනපදය අගය කරයි”‍ යනුවෙනි.   

ඒ අතරම තානාපතිනිය මෙසේ පැවසුවාය: “සාමකාමීව එක්රැස් වීමේ අයිතීන් හා කතා කිරීමේ නිදහස  විශ්වීය මානව හිමිකම් ප්‍රකාශනයේ මුල් ගල් ය. දුෂ්කර තත්වයක දී පවා එක්සත් ජනපදය ඊට සහාය දක්වයි.”  

ඇය කුහක ලෙස මෙම ප්‍රකාශ කරන්නේ,  එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව විරෝධතාවන්හි යෙදෙන මහජනතාව හෙලා දකිමින් ඔවුන්  ප්‍රචන්ඩ ලෙස මැඩීම පිනිස මිලිටරිය කැඳවා තිබියදීය. ට්‍රම්ප් පරිපාලනය මිලිටරිය පාදක කරගත් ආඥාදායකත්වයක් දෙසට ගමන් කරමින් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නිර්දය ලෙස පැහැර ගනිමින් සිටී. 

Loading