ඉදිරිදර්ශන

කම්කරු පන්තියට කැඳවුමක්! ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය පරාජය කරනු!

මෙම ලිපිය ජූනි 4 දින ඉංග්‍රීසියෙන් පලවින.

ධවල මන්දිරය දැන් මිලිටරි ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේත්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමේත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීමේ සහ එක්සත් ජනපදය‍ පුරා පැතිරී ඇති පොලිස් කෲරත්වයට එරෙහි විරෝධතා ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමේත් කුමන්ත්‍රනයක දේශපාලන මෙහෙයුමේ කේන්ද්‍රය බවට පත්ව ඇත.

සඳුදා රාත්‍රියේ සිට දිග හැරුනු දේශපාලන අර්බුදය, එනම් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දෙන ලෙස නියෝග කරමින් සහ 1807 කැරැලි [මර්දන] පිලිබඳ පනත ක්‍රියාත්මක කරන බවට සහ යුද නීතිය ස්ථාපිත කිරීම සඳහා ෆෙඩරල් හමුදා ප්‍රාන්තවලට යෙදවීමට කල තර්ජනය සමග ඇතිවූ අර්බුදය, වේගයෙන් උත්සන්න වෙමින් පවතී. 

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමේ අද්දරට ඇදී ඇත. මිලිටරි කුමන්ත්‍රනයක් සිදු කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහය තත් කාලීනව දිග හැරෙමින් තිබේ.

පසුගිය පැය 24 තුල සිදුවී ඇති සිදුවීම් අනුපිලිවෙල අර්ථ නිරූපනය කිරීමට වෙනත් ක්‍රමයක් නොමැත. ඉහල පෙලේ දේශපාලන හා මිලිටරි නායකයින් ගන්නාවකම කල අසාමාන්‍ය ප්‍රසිද්ධ ප්‍රකාශ මාලාවක් මගින් පෙනී යන්නෙ,  ට්‍රම්ප් මිලිටරි ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට වෑයම් කරන බවට ඔවුන් නිසැකවම විශ්වාස කරන බවයි.

ආරක්ෂක ලේකම් මාක් එස්පර් පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ කැරලි පිලිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ සහ රට පුරා හමුදාව යෙදවීමේ ට්‍රම්ප්ගේ තර්ජනයට තමන් විරුද්ධ බවයි. අමරිකානු නගරවල මුර සංචාරයේ යෙදීමට සක්‍රීය රාජකාරියේ යෙදෙන සොල්දාදුවන් යොදා ගැනීම “අවසාන පියවරක් විය යුතු අතර අතිශය හදිසි හා දරුනු අවස්ථාවන්හිදී පමනක් විය යුතුය. අපි දැනට එවැනි තත්වයක නැහැ. ”

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අදහස් දැක්වූ නිලධාරියෙකු කියා සිටියේ ට්‍රම්ප්, “එස්පර් මහතාගේ ප්‍රකාශය නිසා කෝපයට පත් වූ අතර පසුව ධවල මන්දිරයේදී ඔහුව දැඩි ලෙස විවේචනය කලේය” ‍යනුවෙනි. ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කේලී මැක්නානි ඇඟවුම් කලේ එස්පර් ඉක්මනින්ම කැබිනට් මන්ඩලයෙන් ඉවත් කෙරෙනු හැකි බවයි.

ට්‍රම්ප්ගේ තර්ජනයන්ට ප්‍රතිචාර ලෙස එස්පර් තමන් විසින් කලින් කල ප්‍රකාශයයෙන්  පසුබසිමින් දැනට වොෂිංටන් ඩීසී හි 82 වන ගුවන් සේනාංකයේ සොල්දාදුවන් 750 දෙනෙකු, කලින් තීරනය කල පරිදි, ආපසු ෆෝට් බ්‍රැග් කඳවුර වෙත නොයවන ලෙස නියෝග කර තිබේ.

එස්පර්ගේ අදහස් දැක්වීමෙන් පසුව, ට්‍රම්ප්ගේ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මැරීන් ජෙනරාල් ජේම්ස් මැතිස් විසින් ට්‍රම්ප් අසාමාන්‍ය ලෙස හෙලාදැකිනි. අපි මැතිස්ගේ අදහස් විස්තරාත්මකව උපුටා දක්වන්නේ 2003 ඉරාක ආක්‍රමනයේ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කල “පිස්සු බලු මැතිස්ට” [ඔහුගේ දේශපාලන අන්වර්ත නාමය] අපි කිසියම් දේශපාලන සහයෝගයක් ලබා දෙන නිසා නොව, හමුදාව තුල සිදුවෙමින් පවතින දේවල් සමග සමීපව හුරුපුරුදු අයෙකු වන ඔහුගෙන් සෘජු තක්සේරුවක් සැපයෙන බැවිනි.

ට්‍රම්ප් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමට වෑයම් කරන බවට මැතිස් චෝදනා කලේය. “මීට වසර 50 කට පමන පෙර මම හමුදාවට බැඳුනු විට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දැක්වීමට සහ ආරක්ෂා කිරීමට දිවුරුම් දුන්නා. එම දිවුරුම දෙන භටයින්ට තම සෙසු පුරවැසියන්ගේ ව්‍යවස්ථාමය අයිතීන් උල්ලංඝනය කරන ලෙස කිසිදු තත්වයක් යටතේ නියෝග කරනු ඇතැයි මම සිහිනෙන් හෝ සිතුවේ නැහැ. එමෙන් ම චන්දයෙන් පත් කැරුනු ප‍්‍රධාන අනදෙන නිලධාරියා (ජනාධිපති) හමුදා නායකත්වය තමන්ගේ පසෙකින් සිටුවාගෙන විකාරසහගත ඡායාරූප දැක්මක් පවත්වාවි යැයි ඒ තරමටවත් සිතුවේ නැහැ.”

මැතිස් තවදුරටත් පැවසුවේ:

අපගේ නගර, නිල ඇඳුම් ඇඳගත් අපේ හමුදාව මගින් “ආධිපත්‍යය” දැරීමට යොදවනු ලබන “යුද අවකාශයක්” ලෙස සලකන ඕනෑම සිතුවිල්ලක් අප ප්‍රතික්ෂේප කල යුතුය. රටතුල, අප අපගේ හමුදාව භාවිතා කල යුත්තේ ප්‍රාන්ත ආන්ඩුකාරවරුන් විසින් ඉතා දුර්ලභ අවස්ථාවන්හිදී එසේ කිරීමට ඉල්ලා සිටින විට පමනි. අප වොෂිංටන් ඩී.සී. හි දී දුටු පරිදි, අපගේ ප්‍රතිචාර මිලිටරීකරනය කිරීම, මිලිටරි හා සිවිල් සමාජය අතර ගැටුමක් - ව්‍යාජ ගැටුමක් - ඇති කරයි. එය මගින්, නිල ඇඳුමින් සැරසුනු පිරිමින් සහ කාන්තාවන් අතර විශ්වාසනීය බැඳීම සහතික කරන සදාචාරාත්මක පදනම සහ ඔවුන් ආරක්ෂා කිරීමට දිවුරුම් දී අති සහ ඔවුන්ම කොටසක් වන සමාජයත් ඛාදනය කරයි. මහජන සාමය පවත්වා ගැනීම භාරව සිටින්නේ ප්‍රජාවන් හොඳින් වටහාගෙන ඔවුන්ට වගකිව යුතු සිවිල් රාජ්‍ය සහ ප්‍රාදේශීය නායකයින් මතය.

මැතිස් සිය ප්‍රකාශය අවසන් කලේ ට්‍රම්ප්ගේ මිලිටරි සංකල්පය ව්‍යංගයෙන් නාසි තන්ත්‍රයට සමාන කිරීමෙනි.

ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී මන්ඩලයේ විශ්‍රාමික උප සභාපති අද්මිරාල් සැන්ඩි වින්නෙෆෙල්ඩ් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පල කරන ලද ඊමේල් පනිවුඩයක මෙසේ ලිවීය: “සිවිල්-මිලිටරි සබඳතා පිලිබඳව මගේ ජීවිත කාලය තුල මා දුටු වඩාත්ම භයානක කාලය තුල අද අපි සිටිමු. ජාතියේ පැවැත්මට තර්ජනයක් වන අතිශය දරුනු තත්වයන් සඳහා පමනක් ෆෙඩරල් හමුදාවන් වෙන් කිරීම විශේෂයෙන් වැදගත් වේ. අපගේ ජ්‍යෙෂ්ඨතම හමුදා නායකයින් විසින් ඔවුන්ගේ දේශපාලන විධාන දාමය මේ දේවල් තේරුම් ගෙන ඇති බව සහතික කරගත යුතුය. ”

මෙම හමුදා නායකයින් කිසිවෙක් ප්‍රජාතන්ත්‍රවාදයේ කැපවූ අනුගාමිකයන් නොවේ. ට්‍රම්ප්ගේ ක්‍රියාවන් විනාශකාරී දේශපාලන ප්‍රතිවිපාක සමඟ දැවැන්ත මහජන විරෝධයකට මුහුන දෙනු ඇතැයි යන බියෙන් ඔවුන් මේ ප්‍රකාශයන් කිරීමට පෙලඹී ඇත.

ටයිම්ස් පුවත්පතේ පල කරන්නේ “පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ තමන්ට මහජන සහයෝගය සහ ඔවුන්ගේම  ක්‍රියාකාරී සහ අතිරේක සේනා වල සාමාජිකයින්ගේ සහයෝගය (ඔවුන්ගෙන් සියයට 40 ක් සුදු ජාතිකයින් නොවේ), අහිමිවීම ගැන දැන් කෙතරම් උත්සුක වී අත්ද යත් ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී සභාපති ජෙනරාල්. මාර්ක් ඒ. මිලී බදාදා ඉහල හමුදා අන දෙන නිලධාරීන්ට පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ත්‍රිවිධ හමුදාවේ සෑම සාමාජිකයෙක්ම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම්දී ඇති බවත්, එය ‘ඇමරිකානුවන්ට කතා කිරීමේ නිදහස සහ සාමකාමී රැස්වීම අයිතිය ලබා දෙන බවත්ය.’ ”

ඔබාමා, ක්ලින්ටන්, බුෂ් සහ කාටර් යන ජීවතුන් අතර සිටින සියලුම හිටපු ජනාධිපතිවරුන් විසින්ද ප්‍රකාශ නිකුත් කර ඇත. මෙම ප්‍රකාශයන් වඩාත් සුපරීක්ෂාකාරී වූ අතර කුමන්ත්‍රනයක් පිලිබඳ පැහැදිලි අනතුරු ඇඟවීමක් නොකලේය. ඔවුහු ට්‍රම්ප්ට එරෙහිව නිශ්චිත ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටියේ නැත. ට්‍රම්ප්ට සහාය දැක්වීමෙන් හමුදා නායකයින් වලක්වාලීමේ සුපරීක්ෂාකාරී උත්සාහයකට වඩා එය ජනතාව වෙත කෙරෙන ඉතා දුබල ආයාචනයකි.

ට්‍රම්ප් වටා ඇති ෆැසිස්ට්ගැති කල්ලියේ පැත්තෙන් ගත්කල, සෙනෙට් සභික ටොම් කොට්න් විසින් "භට පිරිස් යවනු" යන මාතෘකාව යටතේ වු නිවේදනයක් ටයිම්ස්  සඟරාවේ පල කලේය . මෙම දේශපාලන කුමන්ත්‍රනකරු ප්‍රකාශ කලේ, “අන් සියල්ලටමත් වඩා, එක් දෙයක්, අපගේ වීදි යථා තත්ත්වයට පත් කරනු ඇත: එනම් නීති කඩ කරන්නන් විසුරුවා හැරීමට, රඳවා තබා ගැනීමට සහ අවසානයේදී ඔවුන්ව වලක්වාලීමට අතිමහත් බලයක් පෙන්වීමයි.” කොට්න් ලියන්නේ “මුලා කරවන දේශපාලනඥයන්” අවශ්‍ය දේ කිරීම ප්‍රතික්ෂේප කරන හෙයින්, කැරැල්ලකදී හෝ නීති වලට බාධා වන විටදී  හමුදාව හෝ වෙනත් ක්‍රමයක් යෙදවීමට “ජනාධිපතිවරයාට බලය පවරන කැරලි පිලිබඳ පනත ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ට සිදු වේ” යනුවෙනි.

දේශපාලන තත්වය පවතින්නේ තියුනු අඩමානයකය. ඇමරිකානු ඉතිහාසයේ කිසි දිනෙක රට මිලිටරි පවරා ගැනීමකට මෙතරම් සමීප වී නොමැත. තර්ජනාත්මක හමුදා යෙදවීම් තවමක් සිදු වෙමින් පවතී. ටයිම්ස් පුවත්පත බදාදා රාත්‍රියේ වාර්තා කලේ මෙසේය: “පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සන්සුන් බවක් ඉල්ලා සිටියද, බදාදා රාත්‍රියේ වොෂිංටන්හි භූමියේ සිටි හමුදා වඩාත් හමුදාකරනයට ලක් වූ බල ප්‍රදර්ශනයක් සඳහා පෙල ගැසී සිටින බවක් පෙනෙන්නට තිබුනි. ජාතික ආරක්ෂක සේනාංක ධවල මන්දිරය අසල පොලීසියට වඩා ඉදිරියෙන් සිටිමින් ආරක්ෂක අංශවල මූනත්තහඩුව බවට පත්විය. හමුදා ප්‍රවාහන ට්‍රක් රථවලින් ඔවුහු පාරවල් අවහිර කල අතර විරෝධතාකරුවන්ට එරෙහිව තම වපසරිය වැඩි කර ගත්හ. ” 

දිග හැරෙන මෙම දේශපාලන කුමන්ත්‍රනය හමුවේ, ඩිමොක්‍රටික් පක්ෂය ක්‍රියා කරන්නේ එහි පුරුද්දක් ලෙස බියගුලුකම හා නිවටකම මිශ්‍ර කරමිනි. ට්‍රම්ප් පාලනාධිකාරයේ ඒකාධිපති ක්‍රියාමාර්ගයන් එකුදු ප්‍රධාන ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලනඥයෙක්වත් විවෘතව හෙලා දැක නැත. ආන්ඩුව තුල ඇති වන ගැටුම් මහජන දෘෂ්ටියෙන් බැහැරව තබා ගැනීමට ඔවුහු හැකි සෑම දෙයක්ම කරති. ඉහල ඩිමොක්‍රටිකයින්ගේ අදහස නම් ට්‍රම්ප්ගේ “වාචාලකම” “වැඩකට නැති” අතර එය “තත්වය අවුලුවාලීමට” සේවය කරයි යන්නය. අර්බුදයට වඩාත්ම කනගාටුදායක ප්‍රතිචාර වන්නේ සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ගේ ප්‍රකාශය යි. හුදෙක් මැටිස්ගේ ප්‍රකාශය නැවත ට්වීට් කල ඔහුගේ  ප්‍රකාශය අමුනා තිබුනේ: “සිත්ගන්නාසුලු කියවීමක්” යනුවෙනි.

ජනවාරියේ දිගු කලක් පුරා පැවත අමතක වූ දෝෂාභියෝග නඩු විභාගයේදී, ඩිමොක්‍රටිකයෝ කියා සිටියේ රුසියාව සමඟ ගැටුමේදී යුක්‍රේනයට මිලිටරි ආධාර ඔහු විසින් අත්හිටුවනු ලැබ ඇති බවට චෝදනා කරමින් ට්‍රම්ප් වහාම ඉවත් කල යුතු බවයි. ට්‍රම්ප් රුසියාව සමඟ ඇති සබඳතාවලදී ප්‍රමානවත් තරම් ආක්‍රමනශීලී නොවන බව දුටු හෙයින් ට්‍රම්ප් ඉවත් කිරීමට ඔවුහු යෝජනා කලහ.

එහෙත් දැන්, ට්‍රම්ප් අමරිකාව තුල මිලිටරි කුමන්ත්‍රනයක් සිදු කිරීමට සහ ව්‍යවස්ථාමය පාලනය පෙරලා දැමීමට වෑයම් කරන විට, ඔහු ධුරයෙන් ඉවත් කිරීම කෙසේවෙතත් ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප්ට කිසිදු බරපතල විරුද්ධත්වයක් ඉදිරිපත් නොකරති. එය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කිරීමේ කාරනයක් වන විට ඩිමොක්‍රටික් නායකයින්ගේ කෝපය ඇවිලෙයි. එහෙත් ඒකාධිපතිත්වයේ සෘජු තර්ජනයට මුහුන දෙන විට ඔවුන් කසාය බිව් ගොලුවන් මෙන් නිහඬය.

ඔවුන්ගේ බියගුලුකමට යටින් පවතින්නේ මූලික පන්ති අවශ්‍යතා ය. ට්‍රම්ප් සමඟ ඔවුන්ගේ උපායික වෙනස්කම් කුමක් වුවත් ඩිමොක්‍රටිකයෝ නියෝජනය කරන්නේ එකම පන්ති අවශ්‍යතා ය. සියල්ලටම වඩා ඔවුහු බිය වන්නේ ට්‍රම්ප්ට ඇති විරුද්ධත්වය ධනේශ්වර මූල්‍ය-සංගත කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට තර්ජනයක් වන විප්ලවීය මානයන් අත්පත් කල හැකිය යන්න පිලිබඳවයි. 

ධවල මන්දිර කුමන්ත්‍රනයේ ඉලක්කය කම්කරු පන්තිය යි. පොලිස්   ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන විරෝධතාවන් පුපුරා යාමත්, කොරෝනා වෛරස් වසංගතයට පාලක පන්තිය දක්වා ඇති ප්‍රතිචාරය සහ මිනීමරු යලි වැඩට දැක්කීමේ උද්ඝෝෂනය හේතුවෙන් ඉමහත් ලෙස තීව්‍ර කෙරී ඇති සමාජ අසමානතාව සම්බන්ධයෙන් කම්කරුවන් අතර පවත්නා යෝධ සමාජ කෝපයත්, අන්තර්-ඡේදනය වනු ඇතැයි සංගත-මූල්‍ය කතිපයාධිකාරය තැතිගැනී සිටී.

අර්බුදය පහව ගොස් ඇතැයි සිතීමට වඩා භයානක කිසිවක් නැත. එය දැන් යන්තම් ආරම්භ වූවා පමනි. ස්වාධීන සමාජ හා දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය මෙම පෙර නොවූ විරූ අර්බුදයට මැදිහත් විය යුතුය. එය පන්ති අරගලයේ හා සමාජවාදී විප්ලවයේ ක්‍රමවේදයන් හරහා ධවල මන්දිරයේ කුමන්ත්‍රනයට විරුද්ධ විය යුතුය.

පසුගිය සතිය තුල සිදු වූ පෙලපාලි ඇමරිකානු ඉතිහාසයේ වැදගත්ම සිදුවීම් අතර වේ. සෑම කලාපයකම සහ ප්‍රාන්තයකම, දස දහස් ගනනක් වැඩකරන ජනතාව සහ තරුනයින්, බහු වාර්ගික හා බහු ජනවාර්ගික සමගිය හා සහයෝගීතාවය අසාමාන්‍ය ලෙස ප්‍රදර්ශනය කරමින්, පොලිසියේ ආයතනිකගත ජාතිවාදයට හා ම්ලේච්ඡත්වයට විරුද්ධ වීමට වීදිවලට බැස්සහ. [වහල් හිමියන්ගේ] “කොන්ෆෙඩරෙට්” රාජ්‍යයේ හා [වර්ගවාදී] ජිම් ක්‍රෝ නීති ද සහ ඝාතක කල්ලිවල වධහිංසාවන්වලද පැරනි බලකොටුව වූ [ඇමරිකාවේ] දකුනුදිග, දැන් විශාලතම උද්ඝෝෂනවල භූමිය වී තිබේ. දහඅටවන සියවසේ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විප්ලවයේ සහ දහනව වන ශතවර්ෂයේ සිවිල් යුද්ධයේ උදාර උරුමය වන ගැඹුරට මුල් බැසගත් ප්‍රජාතන්ත්‍රවාදී හා සමානාත්මතා හැඟීම්වලට විරෝධතාකරුවෝ හඬක් දී ඇත.

ධවල මන්දිරය තුල සිදු කෙරෙන සාපරාධී කුමන්ත්‍රනයට ඇති එකම ශක්‍ය පිලිතුර වන්නේ ජනාධිපති ට්‍රම්ප්, උප ජනාධිපති පෙන්ස් සහ ඔවුන්ගේ කුමන්ත්‍රනකරුවන් ධුරවලින් ඉවත් කිරීමේ ඉල්ලීම පෙරට ගැනීමයි.

මෙය සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය මැදිහත්වී, එනම් පෙලපාලිවලට සමූහ ලෙස එක්වෙමින්, රටපුරා දේශපාලන වැඩ වර්ජනයක් ආරම්භ කිරීමෙන් පමනි.

ආඥාදායකත්වය එපා!

ට්‍රම්ප් සහ පෙන්ස් ඉවත් වනු!

මෙම සටනෙහි ක්‍රියාකාරී වන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධනාය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයන්ගෙන් ඉල්ලා සිටී.

Loading