අවුරුදු 100 කට පෙර: රතු හමුදාව කියෙව් නගරය නැවත අල්ලා ගනී

1920 ජුනි 13 වැනිදා රතු හමුදා භටයෝ, යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඇතුලු වී ජාතිකවාදී පෝලන්ත හා යුක්‍රේන හමුදා පලවා හැරියහ. ජුනි 5 සිට ජූනි 10 කාලය තුල කියෙව් නගරය අසල පෝලන්ත හමුදා බලඇනි බිඳගෙන යාමේ කර්තව්‍ය බොහෝ දුරට ඉටු කරන ලද්දේ සෙමියන් බුඩියොනිගේ 1 වන අශ්වාරෝහක හමුදාව විසිනි.

ක්ලිමන්ට් වොරොෂිලොව්, සෙමියොන් බුඩොනි, මිකායිල් ෆ්‍රන්ස් සහ නිකොලායි බුකාරින් 1 වන අශ්වාරෝහක හමුදාව සමඟ; 1921 වසරේ නොවොමොස්කොව්ස්ක් ප්‍රදේශයේ දී

ඊලඟ දින කිහිපය තුල පෝලන්ත හමුදා ඉදිරි පෙරමුන අත් හැර පලා ගිය අතර රතු හමුදාව ඒවායේ පසුපස පැවති මූලෝපායික ස්ථාන  කිහිපයක් අල්ලා ගැනීමට සමත් විය. මෙහිදී පෝලන්ත හමුදාව සම්පූර්නයෙන් කොටුවීමේ අනතුරට මුහුනපා සිටිය ද  උපද්‍රවයකින් තොරව බේරී පලායාමට  සමත් විය.

පෝලන්තය හා රුසියාව අතර යුක්‍රේන දේශසීමාවේ පාලනය අතකර ගැනීම සඳහා පෝලන්ත නායක ජොසෙෆ් පිල්සුඩ්ස්කි විසින් සිදු කල අනපේක්ෂිත ආක්‍රමනයක් හමුවේ මැයි 9 වන දින, පෝලන්ත- යුක්‍රේන  හමුදා කියෙව් නගරය අල්ලා ගත්හ. සාර් හෝ ඔස්ට්‍රෝ-හංගේරියානු හමුදාවන් සමඟ පලමුවන ලෝක සංග්‍රාමයට   සහභාගී වූ පෝලන්ත හමුදාව, ඉහල පුහුනුවක් ලත් නිලධාරින්ගෙන් සපිරි නවීකරනය වූ බලකායක් විය.

පෝලන්ත ආක්‍රමනයේ අරමුන,  මීට පෙර පෝලන්ත ඉඩම් හිමියන් විසින් පාලනය කරන ලද  යුක්‍රේන  ප්‍රදේශ මත පාලනය තහවුරු කර ගැනීමත් ප්‍රන්ස සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවයන් තහවුරු කිරීමත් විය.

ගිම්හානය වන විට සෝවියට් ප්‍රහාරය පෝලන්ත අගනුවර වන වෝර්සෝ තෙක් ඉදිරියට ගියත් එහිදී අලුතෙන් පිහිටුවන ලද සෝවියට්- යුක්‍රේනයේ දේශසීමාව වෙත නැවත  පසුබැසීමට රතු හමුදාවන්ට සිදුවිය. කියෙව් නගරය 1918 දී රුසියානු සිවිල් යුද්ධය ආරම්භ වූ දින සිට 16 වතාවක් පැති මාරු කර ඇති නමුත් පසුව එය  යුක්‍රේන  සෝවියට් සමාජවාදී සමූහාන්ඩුවේ අගනුවර ලෙස සෝවියට් සංගමයට ස්ථිර ලෙස ඇතුලත් කරගන්නා ලදී.

Loading