මස්කෙලිය ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෝ තම අරගල ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවති

අප්-කොට් වත්තේ ග්ලිනුයිජ් කොටසේ  කම්කරුවන්  විසින් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප ) මග පෙන්වීම යටතේ ජුනි 7 වෙනිදා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තම අරගල ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ගනු ලැබීය. කමිටුව පිහිටුවා ගනු ලැබුවේ වැටුප් කප්පාදුවට සහ දුෂ්කර සේවා කොන්ද්සිවලට එරෙහිව ජුනි 4 වෙනිදා සිට ගෙනයන ලද දින හතරක වර්ජනය මධ්‍යයේ ය. 

මස්කෙලිය වැවිලි සමාගම විසින් පාලනය කරනු ලබන අප්-කොට් වත්තේ ග්ලිනුයිජ් සහ ඩී සයිඩ් කොටස් දෙකේ කම්කරුවෝ 400 ක් පමන සේවයේ යෙදී සිටිති. 

ග්ලිනුයිජ් කොටසේ සිට ඩීසයිඩ් කොටසේ  පිහිටි තේ කම්හල දක්වා පෙලපාලියකින් ගිය වර්ජිත කම්කරුවෝ තමන්ගේ ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීමට පැමිනෙන ලෙස වතු කලමනාකරුගෙන් ඉල්ලා සිටියහ. සාකච්ඡාව සඳහා කම්හල තුලට එන ලෙස කම්කරුවන්ට පැවසූ කලමනාකරු පසුව වර්ජනය බිඳ දැමීමේ අරමුන ඇතිව මස්කෙලිය පොලීසියට දුරකථන ඇමතුමක් දී පොලීසිය කැඳවා ඇත. 

කොරෝනා වසංගතය පවතිද්දී ඒකරාශීවීමට ඉඩදිය නොහැකි බව පවසා වහාම විසිර යන ලෙස පොලීසිය ඔවුන්ට පවසා තිබේ. තම ගැටලු පිලිබඳව කලමනාකරු සමග සාකච්චා කිරීමෙන් පසුව විසිර යන  බව කම්කරුවන් පවසා ඇතත් පොලීසිය එයට ඉඩ දී නැත. අනතුරුව විසිර ගිය කම්කරුවෝ වර්ජනය දිගටම පවත්වාගෙන යාමට තීන්දු කලහ.  

ඔවුන් සාමාජිකත්වය  දරන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී} සහ ජාතික කම්කරු සංගමය (එන්ඒ්යූඩබ්ලිව්) යන වෘත්තීය සමිතිවලට පිටින් පැන නැගුන මෙම වර්ජනයට ග්ලිනුයිජ් කොටසේ කම්කරුවෝ 150 ක් පමන සහභාගී වුහ. ඉන් බහුතරය කම්කරු කාන්තාවෝය. 

සීඩබ්ලිව්සී සහ එන්ඒ්යූඩබ්ලිව් නායකයන් ආරම්භයේ සිටම ක්‍රියාත්මක වූයේ වතු පාලනාධිකාරය සමග එක්ව කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කිරීමටය. පෙලපාලිය පටන්ගනිද්දී සීඩබ්ලිව්සී සහ එන්යූඩබ්ලිව් නායකයන් එතනින් ඉවත් ව ගිය බව කම්කරුවෝ කීහ.

“අපේ වැටුප් කපද්දී පවා ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ කම්කරුවන්ට විරුද්ධව පාලනාධිකාරයට සහයෝගය දෙන්න. අප වැඩ කරන්නේ කුඩැල්ලෝ, සර්පයින්, කැලෑ බලල්ලු ආදී හානිකර සතුන්  මැද සහ කොරෝනා වසංගතය පැතිරෙද්දී. එහෙත් එම තත්වය තුල පවා පාලකයන් අපේ වැටුප කපනවා. පාලනාධිකාරය කම්හල වහන්න උත්සාහ කරනව ද  කියල අපට සැකයි. මොක ද වත්තේ දලුවලින් කොටසක් වෙනත් කම්හලකට ගෙනියනවා. එහෙම වුනොත් කම්කරුවන් 60 ට පමන රක්ෂාව නැති වෙනවා” යැයි කම්කරුවෙක් පැවසීය.

වර්ජනය දිගටම පවතින තත්වය තුල එය සෙසු කම්කරුවන් අතරට පැතිර යතැයි වතු පාලකයෝ බිය වූහ. ජුනි 8 වෙනිදා වත්තේ  එන්යූඩබ්ලිව් සමිතියේ නායකයන් සමග පැමිනි සහකාර කලමනාකරු  කොල තුනේ ලපටි දල්ල පමනක් කැඩීමේ කොන්දේසිය ඉවත් කර ගන්නා බවත් අනෙකුත් ගැටලු ගැන ප්‍රධාන කලමනාකරු කොලඹ සිට පැමිනි පසුව සාකච්ඡා කරන බවත් කම්කරුවන්ට පවසා ඇත. දලු කැඩීමේ කොන්දේසිය ඉවත් කිරීම සහ සෙසු ගැටලු සාකච්ඡා කර විසඳන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලෙසත් පොලීසිය කැඳවීම ගැන කලමනාකරු  සමාව ගත යුතු බවත් කම්කරුවන් ඉල්ලා ඇත. එහෙත් ලිඛිත පොරොන්දුවක් දීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. 

කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ ගතවූ පසුගිය මාස පහ තුල ඔවුන් අතිශය දුෂ්කර කොන්දේසි වලට මුහුන දුන් බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කීහ.      

කම්කරුවෙක් මෙසේ පැවසීය: “අපි ජීවත් වෙන්නේ නය මත. එදිනෙදා ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා අප සතුව තිබු සියලුම රන් ආභරන උකස් කලා. ජනවාරි සිට අප්‍රේල් දක්වා නියගය පැවති මාස හතර තුල සතියකට වැඩ තිබුනේ  දින තුනක් හෝ හතරක්. වැඩ කිරීමේ දී කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමේ කිසිම පහසුකමක් වත්තෙන් ලැබුනේ නැහැ. මුඛ ආවරන මිල දී ගත්තෙත් අපේ මුදල් වලින්. කිලෝ 16 ක දෛනික වැඩ ඉලක්කය සම්පූර්න කිරීමට අසමත්වීම නිසා බොහෝ දෙනෙකුට ලැබුනෙ දින භාගයක පඩියක්. කිලෝ 12 ට අඩුවෙන් දලු නෙලපු හැම කෙනෙකුගේම පඩිය භාගයක් කැපුව. වසංගතය මැද අප වැඩකල  නිසා  වසංගතයෙන් පීඩාවට පත් අයට ආන්ඩුවෙන් දුන්න රුපියල් 5,000 හෝ වෙනත් කිසිම සහනාධාරයක් අපට ලබුනෙ නැහැ.”

දැන් වැසි කාලය ආරම්භ වී ඇති නිසා දලු පලදාව වැඩි වුවත් පාලකයන් නියම කර ඇත්තේ කොල තුනක ලපටි දල්ල පමනක් කැඩීමට ය. ඒ නිසා දෛනික ඉලක්කය සම්පුර්න කිරීමෙන් පසු වැඩිපුර  දලු ප්‍රමානයක් නෙලීමෙන් ලබා ගත හැකි අමතර ආදායම් කම්කරුවන්ට අහිමි වී ඇත.

අමතර දලු කිලෝවකට රුපියල් 40 ක් ගෙවයි. දලු පලදාව වැඩි අවස්ථාවල  දිනකට අවම වශයෙන් අමතර දලු කිලෝ 5 ක් නෙලීමෙන් රුපියල් 200 ක් පමන උපයා ගත හැකි වුවත් දලු නෙලීමේ මෙම සීමාව නිසා එම අවස්ථාව කම්කරුවන්ට අහිමි වී තිබේ. සීසන් එකේ වැඩිපුර ආදායමක් උපයා ගැනීමෙන්  අපි බලා පොරොත්තු  වුනා නය ගෙවා ගන්න. නමුත් දැන් ඒක කරන්න බැහැ. පාලකයන් මේ විදිහට එක එක කොන්දේසි දමන්නේ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව. වෘත්තීය සමිතිවලට පිටින් අප වර්ජනයට ගියේ ඒ නිසයි" වර්ජිත කම්කරුවෝ පැවසුහ.

දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා 2018 වතු  කම්කරුවන් ගෙන ගිය අරගලය පාවා දුන් වතු සමිති වැඩ ඉලක්ක ඉහල දැමීම, දෛනික වැටුප් ක්‍රමය සහ විශ්‍රාමික අරමුදල අහිමි කිරීම සහ ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීම ඇතුළු කොන්දේසි සහිත වැටුප් ගිවිසුමකට වතු සමාගම් සමග අත්සන් කලහ. මෙම කොන්දේසි වලට එරෙහිව වතු ගනනාවක කම්කරුවන්ගේ අරගල හා විරෝධතා පැන නැගුනි. ඒ සියල්ල වෘත්තීය සමිති විසින් හු‌දෙකලා කර පාවා දෙන ලදී. 

ග්ලිනුයිජ් වත්තේ සහ අප්-කොට් ප්‍රදේශයේ වතු කම්කරුවන්ගේ අරගලවලට සසප  විසිවසරකට වැඩි කාලයක් එක දිගට  මැදිහත් වී තිබේ. එහි දී වතු සමාගම් සහ ධනපති ආන්ඩුවල ප්‍රහාරයන් ට හා වෘත්තීය සමිති වල ද්‍රෝහී පාවාදීම් වලට එරෙහිව ස්වාධීන කම්කරු පන්තික ක්‍රියා මාර්ගයකින් සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිර්දර්ශනයකින් වතු කම්කරුවන්  සන්නද්ධ කිරීමට  සසප සටන් වැදුනි. ග්ලිනුයිජ් කම්කරුවන් අතර මෙහෙයුම් කමිටුවක් ගොඩනැගීමට සසප සමත්වීම එහි ප්‍රතිඵලයකි. 

එම කමිටුව, "ආන්ඩුවේ සහ ධනපති සමාගම් වල ප්‍රහාරයන්ගෙන් බැටකන අවශේෂ කම්කරුවන් සහ පීඩිතයන් ඒකාබද්ධ කරගත් පුලුල් ක්‍රියාකාරී කමිටුවක්, ග්ලිනුයිජ් වත්ත ආශ්‍රිතව ගොඩනැගීම සඳහා වන පූර්ව පියවරක්" බව, එම අවස්ථාවට සහභාගි වූ සසප දේශපාලන මන්ඩල සභික එම්.දේවරාජා පෙන්වා දුන්නේය. 

එම ක්‍රියාකාරී කමිටුව වෘත්තීය සමිති වලට මුලුමනින්ම වෙනස් සහ ඒවායෙන් ස්වාධීන  කම්කරු පන්තියේ  අවියක් බවත්, එයට නියෝජිතයන් තෝරා පත්කර ගැනෙන්නේ සහ එහි තීන්දු තීරන ගැනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් බවත් දේවරාජා පැහැදිලි කලේය. "ඒ සියල්ලටමත් වඩා එය, ධනවාදයට සහ ධනපති ආන්ඩුවලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා ගෙනයන සටනේ කම්කරු පංතික දේශපාලනික හස්තයක්" බව ඔහු පැවසීය.  

මෙහෙයුම් කමිටුවේ ලේකම් ලෙස සසප සාමාජික කේ. කාන්ඩීපන් ද සභාපති ලෙස සටන්කාමි කම්කරුවෙකු වන කේ. රවිචන්ද්‍රන් ද පත්කර ගැනුනි. 

2018 වැටුප් අරගලය තුල දී හැටන්හි ඇබොස්ලි වත්තේ කම්කරුවන් අතර ද, සසප මැදිහත්වීමෙන්, ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගැනුනි. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදකවූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සසප ගෙනයන අරගලයේ කොටසක් ලෙස, සෙසු වතු කම්කරුවන් සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් අතර ද ක්‍රියාකාරී කමිටු සංවිධානය කරමින් ඒවා ඒකාබද්ධ කිරීමට සසප සටන් වදිනු ඇත.

Loading