ඉදිරිදර්ශන

පොලිස් ඝාතනයට එරෙහි විරෝධතා: ඉදිරි මාවත

මෙම ලිපිය ජූනි 15 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපදයේ, මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් [අප්‍රිකානු ඇමරිකානු ජාතිකයා] ඝාතනයෙන් සති තුනකට පසුව, එක්සත් ජනපදය පුරා මෙන් ම සෑම මහාද්වීපයකට ම අයත් රටවල මහජන විරෝධතා පෙලපාලි  පුපුරා ගොස් තිබේ.

මෙම මහජන ව්‍යාපාරය තවමත් එහි ආරම්භක අවධීන් හි පවතී. දේශපාලන හා ක්‍රියාමාර්ගික අර්ථයෙන් එය පැහැදිලිව ම කම්කරු පන්තික හා සමාජවාදී ස්වභාවයක්  අත්කරගෙන නොමැත. එය මතු කරන සටන් පාඨ, මේ අවස්ථාවේ දී, පොලිස් ම්ලේච්ඡත්වය පිලිබඳ ප්‍රශ්නය මත කේන්ද්‍ර වූ, ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක ඒවා ය.

වර්තමානයේ එ්වා මත ආධිපත්‍යය දරන්නේ, දේශපාලන සංස්ථාපිතය සමඟ සමීප සබඳතා ඇති මධ්‍යම පන්තියේ වඩාත් වරප්‍රසාදිත කන්ඩායම් මෙන්ම පාලක ප්‍රභූ පැලැන්තියේම දේශපාලන බලවේගයන්ය. ඔවුහු විරෝධතා මත ජාතිවාදී ආඛ්‍යානයක් හා දිශානතියක් පැටවීමට උත්සාහ කරන අතර, එමඟින් පුලුල් සමාජ කෝපය හා විරුද්ධත්වය, යටින් පවතින තීරනාත්මක ගැටලු සමඟ ඉදිරියට ඒම වලක්වති. ඒවා මතු වුවහොත් ධනේශ්වර පද්ධතියට බරපතල තර්ජනයක් වනු ඇත.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපාරය අතිමහත් වෛෂයික වැදගත්කමක් දරයි. එය සලකුනු කරන්නේ, දිගු කාලීන දේශපාලන ප්‍රතිගාමිත්වයක අවසානය යි. පසුගිය දශක හතර පුරා පාලක පන්තිය නො නවතින පන්ති යුද්ධයක නිරත වී ඇත. මෙම ප්‍රහාරයට එරෙහි වීම සඳහා එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය දරන උත්සාහය පැරනි ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ධනවාදී ගැති කම්කරු හා වෘත්තීය සමිති නිලධරයන්ගේ ද්‍රෝහිකම් හා ජාතික ප්‍රතිසංස්කරනවාදී වැඩසටහන්වල බංකොලොත්කම මගින් වලක්වනු ලැබී ය.

1980 දක්වා ආපසු යන ප්‍රතිගාමී පාලක පන්ති ප්‍රහාරය, 1989 හා 1991 අතරතුර සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපය පුරා ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර විසුරුවා හැරීමෙන් පසුව තීව්‍ර විය. පාලක ප්‍රභූන් විසින් මෙම වර්ධනයන්ට ප්‍රශංසා කරන ලද්දේ,  ධනවාදයේ අවසාන හා ආපසු හැරවිය නොහැකි ජයග්‍රහනය ලෙස යි. ප්‍රකාශ කෙරුනු පරිදි, “ධනවාදයට සමාජවාදී විකල්පය” නැමති බිල්ලා, අවසන් වශයෙන් මැඩපවත්වා  තිබුනි.

1990-91 ගල්ෆ් යුද්ධය දියත් කිරීම සලකුනු කලේ, දශක තුනක් පුරා නිර්බාධිතව ඇදෙන, අධිරාජ්‍යවාදී නව යටත් විජිතවාදයේ හා මිලිටරිවාදයේ ආරම්භය යි. 2001 දී “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ප්‍රකාශයට පත් කල දා සිට, එක්සත් ජනපදය යුද්ධයේ නො සිටි එක් දිනයක් වත් තිබුනේ නැත.

ඇමරිකාව තුල පසුගිය දශක තුනේ ප්‍රධාන ලක්ෂනය වී ඇත්තේ, සමාජ අසමානතාවයේ දැවැන්ත මට්ටමේ වර්ධනය යි. කොටස් වෙලඳපොලවල අඛන්ඩ වර්ධනයට ඉන්ධන සැපයීම සඳහා සමාජ වැඩසටහන් ඉරා දමා, වැටුප් කප්පාදු කර ඇති අතර, සියලු කර්මාන්ත විනාශ කර දමා ඇත. ධනවත් ම ඇමරිකානුවෝ තිදෙනා රටේ ජනගහනයෙන් පහල අර්ධය සතු මුලු වත්කම් ප්‍රමානයට වඩා වැඩි ධනයක් අත් කර ගෙන සිටිති. මෙය ද ගෝලීය ක්‍රියාවලියක කොටසකි. ලෝකයේ ප්‍රකෝටිපතියෝ පෘථිවියේ සිටින දුප්පත් ම බිලියන 4.6කගේ ධනයට වඩා විශාල ධනයක් හිමි කර ගෙන සිටිති.

සමාජ අසමානතාවයේ නො වැලැක්විය හැකි අතුරුඵලය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපාකාරයන් බිඳවැටීම යි. ධනයේ අතිමහත් සංකේන්ද්‍රනය සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී මාවත් හරහා සමථයකට පත් කල නො හැකි සමාජ ආතතීන් නිර්මානය කරයි. කම්කරු පන්තියට හා විශේෂයෙන් එහි දුප්පත් ම හා වඩාත් ම අවදානමට ලක්විය හැකි කොටස්වලට එරෙහිව ධනේශ්වර ආන්ඩුව විසින් යොදා ගන්නා ප්‍රචන්ඩත්වය වෙන කවරදාකටත් වඩා ම්ලේච්ඡ ස්වරූපයක් ගනී. පොලිස් මිනීමැරුම්, පන්ති හිංසනයේ වඩාත් නිරුවත් ප්‍රකාශනය පමනි. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ  ගෙල සිර කර ප්‍රසිද්ධියේ මරා දැමීම, සෑම වසරක ම එක්සත් ජනපදයේ වීදිවල දී පොලීසිය විසින් සිදු කරනු ලබන ඝාතන දහසක් අතුරින් එකක් පමනි.

සමාජ හා දේශපාලන ප්‍රතිගාමිත්වයේ දිග්ගැස්සුනු කාල පරිච්ඡේදයක් අඟවන්නේ, සමාජ හා ආර්ථික ප්‍රතිවිරෝධතා බලහත්කාරයෙන් හා කෘතිම ව මර්දනය කර තිබීමයි. මෙම ප්‍රතිවිරෝධතා යටපත් කෙරී ඇති මට්ටමම, ඉදිරියේ දිගහැරීමට නියමිත පිපිරීම් වල තීව්‍රතාවය තීරනය කරනු ඇත. එක්සත් ජනපදය තුල හා ලොව පුරා දිගහැරෙමින් ඇති විරෝධතා පෙලපාලි, ජනතාව අතර රාශීභූත වෙමින් තිබෙන කෝපයේ ආරම්භක ඇඟවීම් පමනි.

උද්ඝෝෂනවල ස්වභාවය හා විෂය පථය පිලිබිඹු කරන්නේ, මහජන කෝපය උතුරා යමින් තිබීම පමනක් නො වේ. නූතන සමාජයේ ආර්ථික හා තාක්ෂනික පදනම්වල වෛෂයික වර්ධනයන්හි බලපෑම ද එය පිලිබිඹු කරයි. දේශපාලන ප්‍රතිගාමිත්වයේ පසුබිමට එරෙහිව, ආර්ථික ගෝලීයකරන ක්‍රියාවලිය හා අන්තර්ජාලය හා ඒ ආශ්‍රිත සන්නිවේදන රූපාකාරයන් බිහිවීම  දුරදිග යන විප්ලවීය ඇඟවුම් මතු කර තිබේ.

මෙම අන්තර් සම්බන්ධිත ක්‍රියාදාමයන් ජාතික අස්ථාවර රාජ්‍ය පද්ධතිය හා ගෝලීය ආර්ථිකයක යථාර්ථය අතර ඇති අනිවාර්ය ප්‍රතිවිරෝධතා තීව්‍ර කර ඇත. එපමනක් නොව, ගෝලීයකරන ක්‍රියාවලිය ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ එක්සත් ජාත්‍යන්තර ව්‍යාපාරයක් සඳහා පදනම නිර්මානය කර තිබේ. කම්කරු පන්තියේ ගෝලීය එක්සත්කමට ඇති හැකියාව, මනෝරාජික දැක්මක් නො වේ. එහි සංයුක්ත සාක්ෂාත්කරනය පැන නගින්නේ, ගෝලීය ධනේශ්වර නිෂ්පාදනයේ පවත්නා කොන්දේසිවලිනි.

1988 තරම් ඈතදී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙය අපේක්ෂා කලේ ය. එය ලෝක ධනවාදයේ අර්බුදය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ  යන ප්‍රකාශනය තුල මෙසේ සඳහන් කලේය:

හරයාත්මකව ජාත්‍යන්තර වන පන්ති අරගලය  ජාතික වන්නේ රූපයෙන් පමනකැයි යන්න  මාක්ස්වාදයේ චිරකාලීන ප්‍රස්තුතයකි. කෙසේ වතුදු, ධනවාදී වර්ධනයේ නව අංග ලක්ෂන අනුව, පන්ති අරගලයේ රූපය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතු වේ. කම්කරු පන්තියේ අතිමූලික අරගලයන් පවා එ්වායේ කටයුතු ජාත්‍යන්තර පරිමාවකින්  සම්බන්ධීකරනය කිරීමේ අවශ්‍යතාව මතු කරයි.

පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි ව්‍යාපාරය බහුජාතික, බහු වාර්ගික හා බහු ජනවාර්ගික ය. එය ගෝලීය පරිමානයෙන් පැන නගින්නේ, එය මෙහෙයවන ප්‍රතිවිරෝධතා මූලික වශයෙන් ජාත්‍යන්තර බැවිනි.

පාලක පන්තිය එහි ප්‍රතිවිපාක ගැන භීතියට පත්ව සිටී. ප්‍රමුඛ අධිරාජ්‍යවාදී චින්තන පර්ෂදයක් වන මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය (CSIS) මේ වසර මුල දී අනතුරු ඇඟවූයේ, “අප ජීවත් වන්නේ සංඛ්‍යාතය, විෂය පථය හා පරිමානය අනුව ඓතිහාසිකව පෙර නො වූ විරූ ගෝලීය මහජන විරෝධතා යුගයක ය... පුරවැසියන්ට වත්මන් නායකයින්, ප්‍රභූන් හා ආයතන කෙරෙහි ඇති විශ්වාසය භංග වෙමින් ඇති අතර, ඔවුහු  කලකිරීමෙන් හා බොහෝ පිලිකුලෙන් යුතුව වීදි බසිති. ”

පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවල ස්වභාවය එය යි. සෑම විට ම මෙන් පාලක පන්තියේ නියෝජිතයින් උත්සාහ කරන්නේ, එම ව්‍යාපාරය නැවත තමන්ට ආරක්ෂාකාරී  වන මාවත්වලට  ගාල් කිරීමට හා හරවා යැවීමට ය.

වාර්ගික බෙදුම්වාදීන්ගේ අරමුන වන්නේ, පොලීසිය යනු ධනේශ්වර රාජ්‍යයේ මෙවලමක් මෙන් ම පන්ති පාලනයේ පෙරමුනු රැකවලුන්ය යන කාරනාවෙන් අවධානය ඉවතට යොමු කිරීම යි. එපමනක් නො ව, උද්ඝෝෂන සඳහා වාර්ගික ආඛ්‍යානයක් පැටවීමට ඔවුන් දරන උත්සාහයන් පැහැදිලිව ම බහු වාර්ගික, බහු ජනවාර්ගික හා බහුජාතික ස්වභාවයට පටහැනි ය. මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාඥයෙකු විසින් කරන ලද එක් අධ්‍යයනයකින් හෙලි වූයේ නිව් යෝක් හි විරෝධතාකරුවන්ගෙන් සියයට 61 ක්, වොෂිංටනයේ විරෝධතාකරුවන්ගෙන් සියයට 65 ක් හා ලොස් ඇන්ජලීස් හි විරෝධතාකරුවන්ගෙන් සියයට 53 ක් සුදු ජාතිකයින් බව යි. එපමනක් නොව, මත විමසුම්, සියලු ජාතීන්ට අයත් ඇමරිකානුවන් අතර පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවලට අතිමහත් සහයෝගයක් පවත්නා බව වාර්තා කර තිබේ.

පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි වීම, පුලුල් පන්ති ප්‍රශ්න වලින් දුරස්ථ කල නො හැකි ය. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට විරෝධය පල කරන පෙලපාලි හටගන්නේ, මහා සංගත වල මූල්‍ය ප්‍රභූව හා කම්කරු පන්තිය අතර සමාජ පරතරය තවත් හෙලිදරව් කරන කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ය. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් ඇති වූ කෝපයෙන්, එය පසුගිය මාස තුන තුල ඇමරිකානුවන් 115,000 කට වැඩි පිරිසක් කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගොස් ඇතැ යි යන කාරනයට අවධානය යොමුකිරීම අවමංගත නො කරයි.  ගිම්හානය අවසන් වන විට 200,000 ක් දෙනා ආසාදනයෙන් මිය යන බව සෞඛ්‍ය බලධාරීන් විසින් දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබේ. සැබෑ මරන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වනු ඇතැ යි යන්න සම්භාවිතාවට වැඩි දෙයකි.

මරන සංඛ්‍යාව යනු ට්‍රම්ප් පරිපාලනය හා එහි පූර්වගාමීන් පසුගිය අවුරුදු 20 පුරා, විද්‍යාඥයින් විසින් පුරෝකථනය කරන ලද වසංගතයකට සූදානම් වීමට අපොහොසත් වීමේ සෘජු ප්‍රතිඵලයකි. යෝග්‍ය සම්පත් වෙන් කිරීම ප්‍රතික්ෂේප කිරීම යනු, තකතිරු ලාභ ප්‍රේරක  ගනනය කිරීම්වල ප්‍රතිඵලයකි. ඊටත් වඩා භයානක වන්නේ, වසංගතය පැතිර යමින් තිබිය දී පාලක ප්‍රභූවේ මූලික උත්සුකය, සංගත හා වෝල් වීදියේ මූල්‍ය අවශ්‍යතා සඳහා තවත් ඩොලර් ට්‍රිලියන ගනනක ඇපදීමක් මෙහෙය වීමට සෞඛ්‍ය හදිසි අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම යන කාරනය යි. “කෙයාස් පනත” සම්මත වූ මාර්තු අවසානයෙන් පසු, ආන්ඩුව වෛරසය පාලනය කිරීමේ තම අවම උත්සාහය පවා අතහැර දැමී ය.

ඒ  වෙනුවට, දේශපාලන සංස්ථාපිතය - ඩිමොක්‍රටිකයෝ හා රිපබ්ලිකානුවෝ එක හා සමානව, ආර්ථිකය වේගයෙන් “නැවත විවෘත කිරීම” සඳහා වූ ඉල්ලීම වටා රොක් වූහ.

පූර්න පරිමාන ආර්ථික හා සමාජ ව්‍යසනයක් එක්සත් ජනපදය ගිලගනිමින් තිබේ. මිලියන 20 කට වැඩි ජනතාවක් රැකියා විරහිතව සිටින නමුත්, කම්කරු පන්තියේ සහ මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටස්වල ජීවිතවලට සිදුවන විනාශකාරී බලපෑමට එරෙහිව සටන් කිරීමට කිසිදු සමාජ වැඩපිලිවෙලක් සකස් කර නොමැත. ඇත්ත වශයෙන් ම, දරිද්‍රතාවයේ අවතාරය ගසා කනු ලබන්නේ, ආපසු වැඩට යාමේ ව්‍යාපාරය වේගවත් කිරීම සඳහා ය. විරැකියා ප්‍රතිලාභ සඳහා ඩොලර් 600 ක මාසික අතිරේකයක් දීර්ඝ  කිරීමට තමන් විරුද්ධ වන බව ට්‍රම්ප් පරිපාලනය හා කොන්ග්‍රස් සභිකයෝ ප්‍රකාශ කරමින් සිටිති. මන්ද එවැනි ගෙවීම් අනාරක්ෂිත කර්මාන්තශාලා හා වෙනත් නිෂ්පාදන පහසුකම් වෙත කම්කරුවන් ආපසු යාම “අධෛර්ය” කරන බැවිනි.

කම්කරු පන්තිය තුල කෝපය වැඩි වෙමින් පවතී. වසංගතය හා එහි ප්‍රතිවිපාකවලට එරෙහි සටන ට්‍රම්ප් පරිපාලනය, ප්‍රතිගාමී මහා සංගත ආධිපත්‍යය දරන ද්වි-පක්ෂ ක්‍රමය, හා ධනවාදය සමඟ දේශපාලන ගැටුමකට අනිවාර්යයෙන්ම මඟ පාදන බව වඩ වඩාත් පැහදිලිය.

විරෝධතා ව්‍යාපාරය, පාලනයෙන් මිදීමට පෙර මර්දනය කිරීමේ අවශ්‍යතාවය ගැන ට්‍රම්ප් කතා කලා වූ ද, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මිලිටරි වශයෙන් පෙරලා දැමීමකට මුල පිරීමට උත්සාහ ගත්තා වූ ද අවස්ථාවේදී ඔහුගේ සිතේ හොල්මන් කලේ, ආර්ථිකය අඩාල කරන වැඩ වර්ජන ඇතුලුව, කම්කරු පන්තියේ  දැවැන්ත ක්‍රියා පුපුරා යාම මගින්, තම පරිපාලනයේ අඛන්ඩ ක්‍රියාකාරිත්වය අශක්‍ය කර, දේශපාලන බලය කම්කරු පන්තිය අතට මාරු කිරීම පිලිබඳ ප්‍රශ්නය මතු කරනු ඇත යන්නයි.

සමාජවාදී සමානතා පක්ෂය, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන සම-චින්තකයින් සමඟ සහයෝගයෙන්, සමාජවාදය සඳහා කම්කරු පන්තියේ දේශපාලන විඥානය ඉහල නැංවීම දෙසට තම කටයුතු මෙහෙයවන්නේ, ධනවාදයේ අවශ්‍යතා නියෝජනය කරන පක්ෂ හා නායකයින්ගෙන් කම්කරු පන්තියේ ස්වාධීනත්වය තහවුරු කරමින් හා වෛෂයික තාර්කික සිදුවීම් සමඟ පන්තියක් ලෙස එහි කටයුතු පෙලගස්වමින්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය අතුලු පොලිස් කෘරත්වයේ සිදුවීම්වලට එරෙහිව නැගෙන විරෝධතා, කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන, සමාජවාදය සඳහා වු මහජන ව්‍යාපාරයක් කරා මෙහෙයවීමටයි. 

Loading