රෝහල් කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද?

වැටුප්  සහ  දීමනා කප්පාදුවට හා දුෂ්කර සේවා කොන්දේසි වලට එරෙහිව වෛද්‍යවරුන් ඇතුලු රෝහල් සේවකයන් තුල බරපතල විරුද්ධත්වයක් මතු වී  ඇත. අප්‍රේල් මාසයේ අතිකාල දීමනාව මෙතෙක් නොගෙවීමට විරුද්ධව දකුනු පලාත්  සභාව යටතේ පාලනය වන බලපිටිය මුලික රෝහලේ කනිෂ්ට කාර්ය මන්ඩලයේ 197 ක් ජුනි 11 සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලහ.  

ඇල්පිටිය සහ වලස්මුල්ල රෝහල් වල කනිෂ්ට සේවකයෝ ජුනි 15 දා එම වර්ජනයට එක් වූ  අතර ඔවුහු එදින උදේ පිකට් උද්ඝෝෂනයක් ද කලහ. එදිනම හම්බන්තොට  දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල හෙද සේවකයෝ පැය හතරක වර්ජනයක නිරත වූහ.

බස්නාහිර පලාත් සභාව යටතේ පාලනය වන සියලුම රෝහල් වල වෛද්‍ය, හෙද, පරිපුරක හා කනිෂ්ට සේවකයන් ඇතුළු සමස්ත රෝහල් කාර්ය මන්ඩල ජුනි 16 සිට කලු පටි පැලඳ සේවයේ යෙදීමේ විරෝධතා උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත.  

ඊට පෙරාතුව මෙම ඉල්ලීම් ම පාදක කර ගනිමින්  වතුපිටිවල,  බලපිටිය, වලස්මුල්ල, මහනුවර,  ගම්පහ සහ  දඹුල්ල යන රෝහල්වල සේවකයෝ, මැයි 20 සිට මැයි 26 දක්වා දිනයන් හි, පිකට් උද්ඝෝෂන වල නිරත වූහ. 

මෙම අරගලයන්හි ආසන්න නිමිත්ත අ‌ප්‍රේල් මාසයේ අතිකාල දීමනාව ලබා නොදීම වුවද, ඉන් ප්‍රකාශයට පත් වන්නේ, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් දිගු කාලයක් පුරා ක්‍රියාත්මක කරමින් සිටින කප්පාදු පිලිවෙත් හරහා, තම රැකියා සහ ජීවන කොන්දේසි වලට එල්ල කෙරුනු දැවැන්ත ප්‍රහාර හමුවේ රෝහල් සේවකයන් අතර කැකෑරෙමින් පැවති කෝපය පුපුරා යාමකි.  

කොරෝනා වසංගතයෙන් ආසාදිතවූවන්ගේ ජීවිත රැක ගැනීම සදහා ඉමහත් කැපවීමකින් ක්‍රියාකරද්දී, වයිරසයෙන් ආරක්ෂාවීමට අත්‍යවශ්‍ය පුද්ගලික ආරක්ෂක මෙවලම් පවා ලබා නොදී තම ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන්, රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි රෝහල් සේවකයන් අතර වැඩුනු බලගතු විරෝධ‌යෙන් මෙම පුපුරායාම ඉක්මන් කෙරුනි.

“සුව විරුවන්” යනුවෙන් රාජපක්ෂ ආන්ඩුව රෝහල් සේවකයන්ට දී ඇති ගරු නාමයේ ප්‍රෝඩාකාරී  ස්වභාවය, මෙම කප්පාදු සහ ඔවුන් මුහුන දෙන දුෂ්කරතා කෙරෙහි දක්වන නොතැකීම මගින්, මැනවින් එලිදරව් වී ඇත. 

එම තත්වය තුල, "එක දිගට සේවය කිරීම නිසා සෞඛ්‍ය සේවකයන් තුල පවතින ආතතිය දුරු කිරීමට" ඔවුන්ගේ පවුල් වලට සුඛෝපභෝගී හෝටල් වල නවාතැන් ගෙන විවේක ගැනීමට පහසුකම් සලසන බවට ආන්ඩුව පවසයි. සේවකයන් දසදහස් ගනනකට ඉතා සීමිත අවස්ථාවන් කීපයක් ලබාදීම මගින් ඔවුන් අතර තරගයක් නිර්මානය කොට එකිනෙකා භේද කිරීමත්, ලබාදෙන ඊනියා පහසුකමෙන් සේවකයන් “දිරි ගන්වා” වැඩ වේගවත් කිරීමත්, මේ සියල්ලටමත් වඩා, ඔවුන් අතර වැඩී ඇති විරෝධය අපසරනය කිරීමත්, ආන්ඩුවේ මෙම ප්‍රෝඩාකාරී ත්‍යාගශීලීභාවයේ සැබෑ අරමුනයි.   

සෞඛ්‍ය  සේවකයන්ට එරෙහි නවතම ප්‍රහාර වනාහි, කොරෝනා වසංගතය මගින් ගැඹුරු කෙරී ඇති ලෝක ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තියේ උරමත පැටවීම එල්ලකර ගනිමින්, ලොවපුරා පාලක පන්තීන් විසින් දියත්කොට ඇති ගෝලීය පරිමාන  ප්‍රහාරයක කොටසකි.  

රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන්, කොරෝනා  වසංගතයෙන් කම්කරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස හුවා දක්වමින්, රාජ්‍ය හා පුද්ගලික දෙඅංශයේ ම  සේවකයන්ගෙන් තුනෙන් එකක් පමනක් යලි සේවයට කැඳවීව  සහ අනියම් සහ කොන්ත්‍රාත් සේවකයන් සේවකයන් දොට්ට දැමීම හරහා  රැකියා කප්පාදුවක් ක්‍රියාවට දමා ඇත. 

රජයේ රෝහල් වලට සමගාමීව පුද්ගලික රෝහල් වලද අතිකාල දීමනා ඇතුලු අනෙකුත් දිමනා කපාදමා ඇත. ඩර්ඩ්න්ස්, ලංකා සහ ආසිරි ආදී ප්‍රධාන පුද්ගලික රෝහල්වල සේවයේ නියුතු හෙද-හෙදියන් ඇතුලු අනෙකුත් සේවකයන් කියා සිටින්නේ, රට වසා දැමුනු කාලයේ එම රෝහල්වල ක්‍රියාත්මක වූ දීමනා කප්පාදුව, රට යලි විවෘතකොට දැවැන්ත ආදායමක් ලබද්දී පවා, දිගටම ක්‍රියාත්මක වන බවයි.

සෞඛ්‍ය සේවය ඇතුලු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ  සියලු වෘත්තීය සමිති යෙදී සිටින්නේ,  කම්කරුවන් අතර රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව වැඩෙන අරගල, හුදෙකලා සහ නිස්සාර  විරෝධතා උද්ඝෝෂන වලට කොටුකර ගබ්සා කර දැමීමේ දැනුවත් ප්‍රයත්නයක ය. 

දකුනු පලාතේ බලපිටිය, වලස්මුල්ල සහ තිස්සමහාරාම රෝහල්  කනිෂ්ට සේවකයන්ගේ වර්ජනය වෘත්තීය  සමිති විසින් ජූනි 16 වෙනිදා  නතර කලහ. 

රාජ්‍ය සේවා හෙද සංගමය (රාසේහෙස) ද, ඔවුන් විසින් කැඳවන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල්වල හෙද සේවකයන්ගේ වර්ජනය පැය හතරකට සීමා කලේ එය අඛන්ඩව ඉදිරියට ගෙනයායුතු බව කම්කරුවන් කියා සිටියදී ය. 

බස්නාහිර පලාත් සභාවට අයත් රෝහල් වල සේවකයන්ගේ උද්ඝෝෂනය එය කැඳවුම් කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛස) විසින් කළුපටි බැඳීමේ සහ විරෝධතා බැනර් ප්‍රදර්ශනය කිරීමේ පුහු විරෝධතාවයකට සීමා කරනු ලබා ඇත. හුදෙක් බස්නාහිර පලාතේ පමනක් නොව සෑම පලාතක ම ද මධ්‍යම ආන්ඩුව යටතේ පවතින සමහර රෝහල් තුල ද මෙම කප්පාදුව ක්‍රියාවට දමා ඇත. 

අනුප්‍රාප්තික ආන්ඩු විසින් පසුගිය  දශක කිහිපය තුල නිදහස් සෞඛ්‍ය සේවය  ක්‍රමිකව විනාශ කිරීමට එරෙහිව මෙන් ම, කොරෝනා වසංගතය තුල වෛද්‍යවරු ඇතුලු රෝහල්  කාර්ය මන්ඩල මුහුන  දෙන අවදානම් සහගත තත්වයන්ට එරෙහිව ද කිසිදු අරගලයක් සංවිධානය කිරීම මෙම සමිති  ප්‍රතික්ෂේප කලහ.  

ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය යලි පනගැන්වීමේ අවශ්‍යතාවයෙන්, “ආර්ථිකය යලි විවෘත කිරීම” ට  රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමා ඇති පිලිවෙතට කරබදු වී සිටින මෙම සමිති, ආන්ඩුවට  එරෙහිව රෝහල් සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් පැන නැගීමට ඇති ශක්‍යතාවය කෙරෙහි භීතියට  පත් වී සිටිති. 

බස්නාහිර පලාතේ උද්ඝෝෂනය සම්බන්ධයෙන් නිකුත් කල නිවේදනයක දී, අදාල දීමනා ගෙවීමට ආන්ඩුව පියවර නො ගතහොත් “තත්වය බරපතල” වියහැකි බවට, රවෛස ආන්ඩුවට “අනතුරු ඇඟවීමක්” කර තිබේ. දීමනා නොගෙව්වොත් “අප්‍රසන්න තත්වයක්” ඇතිවිය හැකි බවට, මැයි 23 වෙනිදා සෞඛ්‍ය ආමාත්‍යංශයේ ලේකම් එච්. එස් .මුනසිංහ වෙත යවන ලද ලිපියක් මගින්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ (රාසේඑහෙස) සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව ද ආන්ඩුවට එවැනිම ව්‍යාජ අනතුරු ඇඟවීමක් කර තිබුනි. 

ජාත්‍යන්තර  හෙද දිනය වූ මැයි 12 වෙනිදා කල කතාවක දී, කොරෝනා වසංගතය තුල හෙද සේවකයන් මුහුන දෙන දුෂ්කරතා ගැන වචනයකින්  වත් රාජපක්ෂ ආන්ඩුවට චෝදනා නොකල රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) නායක සමන් රත්නප්‍රිය, හෙද සේවකයන් දුෂ්කරතා  විඳගෙන සේවයේ යෙදීම ගැන ව්‍යාජ වග වර්නනාවක් කලේය. 

“උපකරන නෑ, මාස්ක් නෑ, ගොගල්ස් නෑ, ඇඳුමක් නෑ කියල, එහෙම නැත්නම් බූට් එකක් නෑ කියල කිසිම රාජකාරියක් ප්‍රතික්ෂේප කරපු තැනක් අපිට වාර්තා වෙන්නෙ නෑ. අමාරුවෙන් වුනත් මේ සියලු රාජකාරි කරමින් ඉන්නවා” යැයි  සඳහන් කරමින්, හෙද-හෙදියන් තම අයිතීන් වෙනුවෙන් සටන් මාර්ගයකට අවතීර්න නොවීම අගය කලේය. එය, ඔහු සහ ඔහුගේ සමිතිය කිසිවිටෙකත් එවන් සටනකට නායකත්වය නොදෙන බවට, රාජපක්ෂ ආන්ඩුවට දෙන ලද සහතිකයකි.

රෝහල් කම්කරුවන් අතර දිගු කාලයක් පුරා ක්‍රියාත්මක වූ මෙම පැරනි සමිති පාරාජිකාවී ඇති තතු යටතේ, ව්‍යාජ සටන්කාමිත්වයක් පෙන්නුම් කරමින් එම තත්වය ගසා කෑමට, රාසේහෙස පෙරට පැන ඇත. ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) අයත් මෙම සමිතිය අනෙකුත් සමිති වලින් වෙනස් වනුයේ එහි රැඩිකල්  පූච්චානම් වලින් පමනි. 

අදදින අන්තයටම පාරාජිකාවී සිටින රත්නප්‍රිය ගේ රහෙනිස 1990 ගනන් වලදී පෙරට පැමිනියේ ද, මෙවැනිම රැඩිකල් ස්වභාවයක් පෙන්නුම් කරමිනි. නිශ්පාදනයේ ගෝලීයකරනයත් සමග වෘත්තීය සමිති නමැති මෙම ජාතිකවාදී උපකරන‌යේ වලංගුභාවය ඓතිහාසිකව අහෝසිවී එය ධනපති පංතියේ ඝෘජු උපාංගයක් බවට පත්ව ඇති බැවින්, පැරනි සමිති වලට වෙනස් භූමිකාවක් පෙසප සමිති වලට ද ඉටුකල නොහැකි බව වඩවඩාත් අනාවරනය වෙමින් පවතී. 

කම්කරු පන්තියට එරෙහි මෙම ප්‍රහාර ගලා එන්නේ ලෝක ධනපති ක්‍රමය ඓතිහාසිකව මුහුන දී සිටින අර්බුදයෙනි. එම අර්බුදයෙන් මිරිකී සිටින රාජපක්ෂ ආන්ඩුවට කන්නලව් කිරීමෙන් හෝ බලපෑම් දැමීමෙන්, සෞඛ්‍ය සේවකයන් ට හෝ කම්කරු පන්තියේ අන් කවර කොටසකට හෝ, තම අයිතීන් ආරක්ෂා කරගත නොහැක. ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට තල්ලුවන කම්කරු පන්තිය කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිචාරය වන්නේ රුදුරු මර්දනයයි.  

මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායක පාලනයකට මාරුවීම සඳහා වේගවත් පියවර ගනිමින් සිටින රාජපක්ෂ ආන්ඩුව යත්න දරන්නේ, නුදුරේ පැවැත්වීමට නියමිත මහමැතිවරනයෙන් පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතරයක් දිනා ගනිමින්,  ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය  සහ නෛතික බලය තහවුරු කර ගැනීමටය.  

සෞඛ්‍ය සේවකයන් ඇතුලු, රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයේම කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගත හැක්කේ රාජපක්ෂ ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව කරන දේශපාලන අරගලයක් තුලින් පමනි. තම අයිතීන් සඳහා  අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමට  උනන්දු සෞඛ්‍ය සේවකයන් වෙත අපි පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරන්නෙමු.

*රැකියා, වැටුප්, සුරක්ෂිත සේවා  කොන්දේසි හා නිදහස්‌ සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා  සටන්  කිරීමට, කම්කරු අරගල නිස්සාර විරෝධතාවලට කොටුකර ආන්ඩුවේ ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීමට පූර්න සහයෝගය දෙන වෘත්තීය සමිති වලින් ඉවත්ව, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පත්කර ගනු ලබන සෞඛ්‍ය සේවකයන්ගේ ක්‍රියාකාරී කමිටු  සියලු රෝහල් වල සහ සෞඛ්‍ය ආයතන තුල පිහිටුවීම. 

*එමගින් වෘත්තීය සමිතිවාදී ශ්‍රේනිවාදයට එරෙහිව  සියලු වෛද්‍යවරුන් සහ අනෙකුත් රෝහල් සේවකයන් ඒකාබද්ධ කිරීමටත්, රටතුල කම්කරු පන්තියේ සෙසු කොටස් සමගත්, සමාන ප්‍රහාර වලට මුහුන දී සිටින ලෝකයේ  සෙසු රටවල සෞඛ්‍ය සේවකයන් හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමගත් එකමුතුව තහවුරු කර ගැනීම. 

*රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට පියවර ගැනීම.

*මෙය රාජපක්ෂ ආන්ඩුවට  එරෙහි දේශපාලන  අරගලයකි. එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුව විස්ථාපනය කර සමාජවාදී සැලසුම් ගත ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන්  කිරීම.

මෙම අරගලයට මග පෙන්වීම සහ එය වර්ධනය කිරීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුලින් සෞඛ්‍ය කම්කරුවන්ට සසප පනිවිඩ නමින් පුවත්හසුනක් දියත් කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) තීන්දු කර ඇත. එයට දායක වන ලෙසත් ඔබේ අදහස් සහ ගැටලු එය වෙත යොමුකරන ලෙසත් සසප ඉල්ලා සිටී.

Loading