අවුරුදු 50 කට පෙර: සෝවියට් විද්‍යාඥයා සිරෙන් නිදහස් විය

මෙම ලිපිය ජූනි 15 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ෂෝර්ස් මද්වදෙව් (ඡායාරූපය ගන්නා ලද්දේ RIA නොවොස්ටි විසිනි)

ප්‍රමුඛ සෝවියට් ජාන විද්‍යාඥයකු වන ෂෝර්ස් මද්වදෙව් 1970 ජුනි 17 වන දින ඔහු සිරකර තැබූ රුසියාවේ කලුගා මනෝචිකිත්සක රෝහලෙන් නිදහස් විය. සෝවියට් සංගමය තුල විද්‍යාත්මක පර්යේෂනයන්ගේ වර්ධනයේ පැවති බරපතල ගැටලු අන් අයගේ අවධානයට ලක් කිරීමේ හේතුව මත ඔහු එම රෝහලේ  තුල ප්‍රතිකාර ලබන්නෙක් ලෙස බලහත්කාරයෙන් රඳවා තැබිනි*. මද්වදෙව්ගේ අධ්‍යයන ක්ෂේත්‍රය වූයේ කෘෂිකර්මාන්තයට අදාල පැලෑටි වල ජීවිත කාලය හා ඒවායේ වයස්ගත වීමේ ක්‍රියාවලිය යි. මෙම පර්යේෂන සහ අධ්‍යයන ස්ටැලින්වාදී නිලධරය සමඟ මුහුනට මුහුන ගැටුමකට ඔහු තල්ලු කලේය. 

ෂෝර්ස් මද්වදෙව් 1960 දශකය මුලදී ජාන විද්‍යාව සම්බන්ධ සිය වැඩකටයුතු වර්ධනය කරගෙන යන අතරේ ඔහුට පෙනී ගියේ, සිය පර්යේෂන සහ ප්‍රතිඵල සෝවියට් සංගමයේ නිල කෘෂිකාර්මික ප්‍රතිපත්තීන්ට පටහැනි බව යි. මද්වදෙව්ගේ වැඩකටයුතු වල පදනම වූයේ පුලුල් පිලිගැනීමක් ඇති මෙන්ඩලියානු උරුමය (Mendelian inheritance) නම් අධ්‍යයන ක්‍රමවේදයයි (body of work). මෙම ක්‍රමවේදය ජෝසප් ස්ටාලින්ගේ සහය ඇතිව 1930 ගනන් මැද, ට්‍රොෆිම් ලයිසෙන්කෝ විසින් වර්ධනය කරන ලද ‍ ව්‍යාජ විද්‍යාවක් වන ලයිසෙන්කොයිස්වාදයේ (Lysenkoism) අදහස්වලට ප්‍රතිවිරුද්ධ  විය.

ලයිසෙන්කොයිස්වාදය විද්‍යාත්මක න්‍යායක් නොව ස්ටාලින්ගේ විනාශකාරී කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමේ උත්සාහයකි. එහිදී ලයිසෙන්කෝ අභූතලෙස පැවසුවේ, භෝග “ආත්ම පරිත්‍යාගයන්” සිදු කරන බවත් ඒවා මිය ගියහොත්  එසේ සිදුවන්නේ වඩාත් සෞඛ්‍ය සම්පන්න භෝග සඳහා ඉඩකඩ සැලසීමට බවත්ය.

මද්වදෙව් උත්සාහ කලේ මෙම වංචාව කුමක් දැයි හෙලි කර අදාල වාර්තා නිවැරදි කිරීමට ය. ටී.ඩී. ලයිසෙන්කෝගේ නැඟීම හා වැටීම යන මාතෘකාව යටතේ සෝවියට් ජාන විද්‍යාවේ ඉතිහාසය ගැන ලියමින් ඔහු 1962 දී, ලයිසෙන්කෝගේ විද්‍යාත්මක දෝෂ ද ඒවායේ මූලාරම්භය  ස්ටැලින්වාදයේ ද්‍රෝහිත්වය තුල පැවතියේ ය යන කාරනය ද පැහැදිලි කලේය.

මෙම පොත සෝවියට් සංඟමය තුල වාරනයට ලක්වූ අතර එය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ නොදුනි. කෙසේ වෙතත්, සෝවියට් විද්‍යාඥ ප්‍රජාව අතර සිය කෘතිය බෙදා හැරීමට මද්වදෙව් සමත් විය. 1969 දී මෙම පොත එක්සත් ජනපදයේ ප්‍රකාශයට පත් වූ අතර ඉන් පසු මද්වදෙව් ජීව විද්‍යාගාරයේ ප්‍රධාන තනතුරෙන් පහ කරන ලදී.

1970 මැයි මස අග පොලිසිය මද්වදෙව්ගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන මානසික රෝහලට ඇතුලත් කරන ලදී. එහිදී ඔවුන් කියා සිටියේ, ලිසෙන්කෝ වැරදි බව ඔප්පු කිරීම සඳහා දැඩි ඕනෑකමක් මද්වදෙව්ට තිබූ නිසා ඉන් ඔහුට මානසික අසමතුලිතතාවයක් හට ගෙන ඇති බව යි.

මෙම අත්අඩංගුවට ගැනීම පිලිබඳව සෝවියට් සංඟමයේත් ජාත්‍යන්තරවත් විද්‍යාඥයන්ගෙන් සහ විද්වතුන්ගෙන් ක්ෂනික විරෝධයක් එල්ල වූ අතර ඇන්ඩ්‍රි සකාරොව්, පියොටර් කපිට්සා සහ ඊගෝර් ටම් යන භෞතික විද්‍යාඥයින් ද ඇලෙක්සැන්ඩර් ට්වාර්ඩොව්ස්කි, ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින් සහ ව්ලැඩිමීර් ඩුඩින්සෙව් වැනි ලේඛකයින් ද ඊට ඇතුලත් විය. මද්වදෙව් නිදහස් කරගැනීම සඳහා පෙත්සමක් සෝවියට් විද්‍යා ඇකඩමියෙන් ඉදිරිපත් වූ අතර ඔහුගේ නිදහස වෙනුවෙන් වොෂිංටන් ඩී.සී. හි ජාතික විද්‍යා ඇකඩමියෙන් ද ඉල්ලීමක් නිකුත් විය.

නිදහස ලැබීමෙන් පසු මද්වදෙව් සිය ජීව විද්‍යාත්මක පර්යේෂන සහ ස්ටැලින්වාදී නිලධරය විසින් විද්‍යාවට සිදු කල හානිය පිලිබඳ ඔහුගේ විවේචන දිගටම කරගෙන ගියේය. 1972 දී ඔහු වසරක් සඳහා ජාන පර්යේෂන   තනතුරක් භාර ගෙන ලන්ඩනයට ගියේය. සෝවියට් සංගමයෙන් පිටවනවාත් සමගම ඔහුගේ සෝවියට් පුරවැසිභාවය අහිමි වූ අතර,  ජීවිතයේ ඉතිරි කාලය එක්සත් රාජධානියේ ජීවත් වීමට ඔහුට සිදුවිය.

මද්වදෙව් කිසි විටෙකත් සිය කටයුතු නතර නොකල අතර සිය ජීවිත කාලය තුල පර්යේෂන පත්‍රිකා 170 කට අධික ප්‍රමානයක් ප්‍රකාශයට පත් කලේය. ලන්ඩනයේදී ඔහු සෝවියට් නිලධරයේ විද්‍යා-විරෝධී ප්‍රතිපත්තිය නිසා ඇති විය හැකි අන්තරායන් ගැන දිගින් දිගටම අනතුරු ඇඟවීය. ඔහු විශේෂයෙන්, විද්‍යාඥයින් සෝවියට් න්‍යෂ්ටික බලාගාර දැඩි විමර්ශනයට ලක් කල යුතු බවට අනතුරු ඇඟවීය.  ඔහු මෙසේ පැවසුවේ 1986 චර්නොබිල් ව්‍යසනයට පෙර වීම සුවිශේෂ යි.

මෙම ලිපිය ද බලන්න: The fate of Soviet genetics (සෝවියට් ජාන විද්‍යාවේ ඉරනම - )

* Asylum in a psychiatric hospital: The definition of asylum is protection, a place of rest or safety, or a place where people go when their mental condition keeps them from being able to live on their own. A hospital for the mentally ill is an example of an asylum. 

Loading