පුද්ගලික අංශයේ වැටුප් සහ රැකියා කප්පාදු ගිවිසුම දීර්ඝ කිරීමට වෘත්තීය සමිති එකඟවෙති

කම්කරු ඇමති, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය සහ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති අතර මැයි මාසයේ අත්සන් කල ත්‍රෛපාර්ශ්වික ගිවිසුම තවත් මාස තුනකට දීර්ඝ කිරීමට ජුනි 20 වෙනිදා කම්කරු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකඟ වී ඇත. මෙම ගිවිසුම  කොරෝනා වසංගතයෙන් තීව්‍රකෙරී ඇති  අර්බුදයේ බර කම්කරුවන් මත පටවා ධනපති සමාගම්වල ලාභ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමේ සහ කම්කරුවන්ගේ අරගලවලට ඇබ ගැසීමේ දුෂ්ට සම්මුතියකි.

නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස), ජනතා විමුක්ති පෙරමුන  (ජවිපෙ) විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස), ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (ලවෙකාපොසේස) හා එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු  වෘත්තීය සමිති ගිවිසුමට අත්සන් තැබුහ. 

ගිවිසුම කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදු කිරීමට හාම්පුතුන්ට දුන්  වරපත්‍රයකි.  අභිමත පරිදි, සීරු මාරු ක්‍රමයට කොටස් වශයෙන් කම්කරුවන්  සේවයට කැඳවීමේ අවසරය, ගිවිසුම යටතේ හාම්පුතුන්ට ලබා දී  ඇත. ඒ අනුව මේ වන විටත්  බොහෝ කම්හල්වල සේවයට කැඳවා ඇත්තේ සියයට 20-30 සංඛ්‍යාවකි. සියයට 80 කට හෝ 70 කට, එනම් 500,000 පමන වන ඇඟලුම් කම්කරුවන්ගෙන් 300,000 ට හෝ ඊට ආසන්න සංඛ්‍යාවකට, රැකියා අහිමි වී ඇත. 

සීරු මාරු ක්‍රමයට සේවයට කැඳවන කම්කරුවන්ගේ මාසික වැටුප ගනනය කරනු ලබන්නේ, මාසය තුල ලබාදෙන වැඩ දින ගනනෙන් මූලික වැටුප බෙදා දෛනික වැටුපක් නිර්නය කොට, එය වැඩට පැමිනි දින ගනනෙන්  ගුන කිරීමෙනි.  මේ අනුව, මූලික වැටුප රුපියල් 15,000 ක් වන කම්කරුවෙකුට මාසයකට ලබාදෙන වැඩ දින ගනන 20 ක් නම්, ඔහුගේ දෛනික වැටුප රුපියල් 750 කි. ඔහුට වැඩට පැමිනිය හැකිවූයේ දින 10 ක් නම්  එම මාසයේ ඔහුගේ වැටුප රුපියල්  7,500 ක් පමනි. 

සේවයට නො  කැඳවා නිවෙස්වල සිටින කම්කරුවන්ට ගිවිසුම් ප්‍රකාරව ලැබෙන්නේ මූලික වැටුපෙන්  සියයට 50 හෝ රුපියල් 14,500  කි. අර්ථසාධක හා සේවක භාරකාර අරමුදලට අඩුකිරීමෙන් පසු ඔවුන්ට අතට ලැබෙන මුදල රුපියල් 7000 හෝ 8000 කි.   

ගිවිසුම හරහා මාසික වැටුප් ක්‍රමය විස්ථාපනය කිරීමට හැකිවීම "ඓතිහාසික ජයග්‍රහනයක්" ලෙස හාම්පුතුන්ගේ සම්මේලනය උදම් ඇනීය.  “මෙය  ආරම්භක පියවරක්  වන නමුත්  අනුපාතික  වැටුප් ක්‍රමයට,  සියලුම පාර්ශ්වයන් -ආන්ඩුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිති- ජාතික මට්ටමෙන් එකඟවීම අපගේ ඉතිහාසයේ දුර්ලභ අවස්ථාවක් නිසා එය ඓතිහාසික  ගිවිසුමක්” බව සම්මේලනය නිකුත්කල ප්‍රකාශයක සඳහන් කර  තිබුනි.  

ගිවිසුමෙන් කම්කරුවන්ට එල්ලවන ප්‍රහාරය එසේ වන නමුදු, මෙම වැටුප් ව්‍යූහයට දිගටම සහයෝගය දෙන්නේ කම්කරුවන්ගේ රැකියාවන්හි "ආරක්ෂාව  සහ මෙම අර්බුදය තුල ඔවුන්ට යම් ආදායමක් අඛන්ඩව ලැබීම සහතික කිරීමට" අවශ්‍ය නිසා බව නිවෙකපොසේසේස සම කැඳවුම්කරු ඇන්ටන් මාර්කස් සන්ඩේ ටයිම්ස් පත්‍රයට පවසා ඇත.

මාකස්ගේ ප්‍රකාශයෙන්, ගිවිසුමේ සැබෑ ස්වරුපය කම්කරුවන්ගෙන් දැනුවත්ව වසන් ‌කෙරේ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ගත වූ සති හයක පමන කාලය තුල සිදුවී ඇත්තේ, 

ධනපති සමාගම් විසින් ගිවිසුමේ සීමාවන් ද උල්ලංඝනය කරමින් දැවැන්ත රැකියා හා වැටුප් කප්පාදුවක් ක්‍රියාවට දැමීමකි.

වෘත්තීය සමිති, මැයි 29 සහ ජුනි 16 දාතම වලින්, කම්කරු ඇමතිට සහ කම්කරු කොමසාරිස් ජනරාල්ට ලියන ලද ලියුම් දෙකක දී සඳහන් කර ඇති පරිදි කර්මාන්ත 50 කට ආසන්න සංඛ්‍යාවක දස දහස් ගනනක් කම්කරුවන්ගේ රැකියා අහිමි  වී ඇති අතර වැටුප් සහ දීමනා කප්පාදු කර ඇත. බ්‍රැන්ඩික්ස්, ස්මාර්ට් ෂර්ට්, එස්කුවෙල් ඇතුලු ප්‍රධාන ඇඟලුම් කම්හල් ගනනාවක් ඊට ඇතුලත් වේ. 

තවත් ප්‍රධාන සමාගමක් වන මාස් හෝල්ඩින් සමාගමට අයත් සියලුම කම්හල් වල  සේවක සංඛ්‍යාව අඩුකිරීම සඳහා කම්කරුවන්ට ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වන ලෙස පරිපාලනය බල කරයි. වර්තමාන අර්බුදය සමනය වීමට වසර දෙකකට ආසන්න කාලයක් ගත විය හැකි බැවින් එහි විධායක කාර්ය මන්ඩලය ද අඩුකිරීමට තීන්දු කල බව ජුනි 21 සන්ඩේ ටයිම්ස් පත්‍රයට සමාගම ප්‍රකාශ කර තිබේ. “ව්‍යාපාරික පරිමාවන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති හෙයින්  ප්‍රතිව්‍යුහගත කිරීම සහ සේවයට ගැලපෙන ලෙස අපගේ සම්පත් යතා තත්වයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නැතැ” යි සමාගම කියයි.  

ප්‍රධාන වෙලඳ පොලවල් වන එක්සත් ජනපදයෙන් සහ එක්සත් රාජධානියෙන් ලබන වසර සඳහා ඇනවුම් පේනතෙක් මානයක නැති අතර මේ වසර සඳහා මුලික වශයෙන්  සැලසුම් කල අපනයනය ප්‍රමානයෙන් සියයට 30-35 ක් පහත වැටී ඇති බව ද එය වැඩි දුරටත් ප්‍රකාශ කරයි. 

“බොහෝ ඇඟලුම්  ආයතන එය  අනුගමනය කිරීමට ඉඩ ඇති නමුත් එසේ කිරීමට පෙරාතුව එක්සත් ජනපදය වැනි ප්‍රධාන වෙලඳ පොලවල් වල  ප්‍රතිචාරය අපේක්ෂාවෙන්  සිටින” බව සන්ඩේ ටයිම්ස් පත්‍රය සඳහන් කර තිබේ.

කම්කරුවන් මත එල්ල කෙරෙන මෙම දැවැන්ත ප්‍රහාරයට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීම දැනුවත්ව මග හරින වෘත්තීය සමිති, හාම්පුතුන් විසින් ගිවිසුම උල්ලංඝනය කරන බවට කම්කරු ඇමතිට සහ කම්කරු කොමසාරිස් ජනරාල්ට ලියුම් පිට ලියුම් ලියමින් එය වැලක්වීමට මැදිහත් වන ලෙස කනපින්දම් කියති.

රාජපක්ෂ ආන්ඩුවට සහ කම්කරු අමාත්‍යංශයේ බලධාරීන්ට කරන මෙම ආයාචනා නිෂ්ලඵය. ආර්ථිකය “යලි විවෘත කිරීම” ත් සමග සමාගම්වල ලාභ අවශ්‍යතා ආරක්ෂා වන පරිදි කර්මාත සහ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසරය ආන්ඩුව පුද්ගලික ව්‍යවසායකයන්ට ලබා දී ඇත. රාජ්‍ය  අංශය තුල ද එබඳුම ප්‍රතිව්‍යූහගත කිරීමක් තුලින්  කම්කරුවන්ගේ  රැකියා සහ වැටුප් ඇතුළු සමාජ අයිතීන් කප්පාදු කිරීමේ පිලිවෙතක් ක්‍රියාවට දමා තිබේ. 

රාජපක්ෂ ආන්ඩුව සහ එහි පුර්න පිටුබලය සහිතව ධනපති හාම්පුතුන් විසින් කම්කරු පන්තියට විරුද්ධව එල්ල කරන මෙම ප්‍රහාර කොරෝනා වසංගතය ව්‍යාප්තවීම මධ්‍යයේ  ධනපති පාලක පන්තීන් සහ සංගත විසින් ක්‍රියාවට දමා ඇති ගෝලීය ප්‍රහාරය සමග අත්‍යන්තයෙන් බැඳී ඇත.

මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා අහිමී වී ඇත.  ආසියාව තුල ඇඟලුම් කම්කරුවන්ගේ පමනක් මෙම වසරේ මාර්තු මාසයේ සිට ගත වූ මාස තුනක් තුල රැකියා අහිමි වූ සංඛ්‍යාව බංගලාදේශයේ මිලියනයක්, මියන්මාරයේ 58,000 ක් සහ කාම්බෝජයේ 60,000 කි. නිසි ආරක්ෂන ක‍්‍රමවේදයන්ගෙන් තොරව සේවයේ යොදවා ඇති  ඉතිරි කම්කරුවන්ගේ වැටුප් සියයට 50 කින් පමන කප්පාදු කර තිබේ.   

මෙම තතු තුල රාජපක්ෂ ආන්ඩුවට සහ හාම්පුතුන්ට ආයාචනය කිරීමෙන් හෝ පීඩනය යෙදීමෙන් ඇඟලුම් කම්කරුවන්ගේ හෝ කම්කරු පන්තියේ කවර කොටසකවත් රැකියා සහ සමාජ අයිතීන් රැකගත නොහැක. 

නිවෙක කම්කරුවන් තම අයිතීන් සඳහා අරගලය, ධනපති හාම්පුතුන්ගේ ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් තමන්  අතට ගත යුතුය.  ඒ සඳහා නව සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගා, සියලුම ඇඟලුම් කම්කරුවන් ඒ වටා බලමුලු ගන්වා  ගනිමින් රැකියා සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කල යුතුය. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අවශේෂ කොටස් සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කර ගැනීම ද එහි අත්‍යවශ්‍ය පියවරකි. 

එමෙන් ම, එය ධනේශ්වර හාම්පුතුන්ගේ සහ ආයෝජකයන්ගේ දේශපාලන රැකවලා ලෙස ක්‍රියාත්මක වන ලංකාවේ ධනපති ආන්ඩුව, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පාදක වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කිරීමේ අරගලයකි. ඒ සඳහා තීරනාත්මක සාධකය වන්නේ විප්ලවවාදී නායකත්වයකින් මග පෙන්වනු ලබන කම්කරු පන්තියේ  ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමය.  

මෙම අරගලයට මග පෙන්වීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල, ඇඟලුම් කම්කරුවන් සඳහා පුවත්හසුනක් දියත් කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) තීන්දු කර ඇත. ඇඟලුම් කම්කරුවන් සඳහා සසප පනිවිඩ නම් වූ එහි පාඨකයෙකු වෙමින් එයට ඔබේ ගැටලු සහ අදහස් යොමුකරන්න.

Loading