මැදපෙරදිග සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවෝ 23 ක් වසංගතයෙන් මියයති: රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීමේ ප්‍රතිඵලයක්

මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා, මැදපෙරදිග රටවල සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවන් 23 දෙනෙකු කොවිඩ්-19 ආසාදනයෙන් මියගොස් ඇතිබව වාර්තාවී ඇතැයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායිහි දී 7 ක්, අබුඩාබිහි දී 1 ක්, කුවේට්හි දී 7 ක්, සෞදි අරාබියේ දී 6 ක් සහ ඕමානයේ දී 2 ක් මෙලෙස මියගිය බව කාර්යාංශය පවසයි.

වසංගතය හේතුවෙන් පෙබරවාරි මාසයේ ඉහත රටවල් වසා දැමීමත් සමග, ඒවායේ සේවයේ නියුතුව සිටි විදේශීය කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකුට රැකියා, වැටුප් සහ නවාතැන් අහිමිව ඉතා අසරන තත්වයට ඇදවැටී ඇත. ඔවුන්ගෙන් බහුතරය, දකුනු ආසියානු කලාපයට අයත්, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ආදී රටවලින් සංක්‍රමනයවූවෝ වෙති.

එම කම්කරුවන් මුහුනදී සිටින ඛේදජනක තත්වය සම්බන්ධයෙන්, ඔවුන් රැකියාවේ යොදවා සිටි හාම්පුතුන්, එකී මැදපෙරදිග රටවල පාලකයන් සහ ඔවුනගේ මවුරටවල ආන්ඩු යන ත්‍රෛපාර්ශ්වය සම්පූර්නයෙන්ම වගකිව යුතු ය.  

එම ත්‍රිත්වය මෙකී කම්කරුවන් මුලුමනින්ම නොතකා හැර සිටින තතු තුල, පසුගිය මාස කීපය පුරා ඔවුන්ගෙන් බහුතරයකට රැකවරනය ලබා දෙනුයේ මෙතෙක් නවාතැන් අහිමි නොවූ අනෙකුත් සහෝදර සංක්‍රමනික කම්කරුවන් විසිනි. එසේ වාසස්ථාන සොයාගත නොහැකිවූ කම්කරුවෝ දසදහස් ගනනක්, රථගාල් ආදී ප්‍රසිද්ධ ස්ථානයන් හි රැඳී සිටින්නේ මූලික පහසුකම් පවා නොමැතිවය.

කායික දුරස්ථකරනය ආදී සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේදයන් කිසිසේත් අනුගමනය කල නොහැකි මෙම ජනාකීර්න නවාතැන්, වසංගතයේ තෝතැනි බවට පත්ව ඇත. වාර්තාවන ඛේදනීය මරන එහි සෘජු ප්‍රතිඵලයන් ය.

ආසාදිතයන් හඳුනා ගැනීමේ ප්‍රමානවත් පරීක්ෂන සහ නිසි ප්‍රතිකාර නොමැතිව, තමා මුහුන දී සිටින මෙම බලගතු ජීවිත  අවදානම පිලිබඳව අවධාරනය කරමින්, හැකි ඉක්මනින් තම රටට ගෙන්වා ගන්නා ලෙස මෙම කම්කරුවන් සහ ඔවුනගේ පවුල්වල සාමාජිකයන් අදාල ආන්ඩු වලින් යලියලිත් ඉල්ලා සිටිය ද, ප්‍රතිචාරය වී ඇත්තේ, ඔවුන් මරනයට අත්හැර දැමීමයි. 

මෙම සාපරාධී ආන්ඩු අතරින්  ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආන්ඩුව කැපී පෙනෙයි. ආන්ඩුවේ නොතැකීම කෙතෙක් ද යත්, මින් සමහර රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල පවා අගුලු ලා වසා දැමීමට පියවර ගෙන තිබුනේ අවතැන් වූ කම්කරුවන් ට තම ප්‍රශ්න සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට තිබූ ප්‍රධානතම මාර්ගය කපා හරිමිනි.  මෙයට විරෝධය දක්වමින්, කුවේටයේ සංක්‍රමනික ශ්‍රී ලාංකික කම්කරුවෝ සිය ගනනක්, ඔවුන් වහාම ලංකාවට ගෙනයන ලෙස ඉල්ලමින්, අප්‍රේල් 21 දා, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැටලූහ.

මැයි 21 දා, කුවේට් පාලකයන් විසින්, කම්කරුවන් 462 ක් සිය වියදමින් ශ්‍රී ලංකාවට එවූ අතර, ඔවුන් අතරින් සියයට අධික සංඛ්‍යාවක් වසංගතය ආසාදිතයන් වූ බව පරීක්ෂන මගින් හෙලිවිය. ඒ අනුව, විදේශයන් හි අතරමංව සිටින අනෙකුත් කම්කරුවන් ගෙන්වා  ගතහොත්, නිරෝධායනය ඇතුලු සෞඛ්‍ය පහසුකම් දැවැන්ත පරිමානව ඉහල දැමියයුතු වෙතැයි ගනන් බැලූ ආන්ඩුව, අවශේෂ කම්කරුවන් ගෙන්වා ගැනීම සාපරාධී ලෙස අත්හැර දැමීය.  

මෙයට එරෙහිව, එම සංක්‍රමනික කම්කරුවන්ගේ සහ ඔවුනගේ පවුල්වල සාමාජිකයන්ගේ විරෝධය බලගු ආකාරයෙන් වර්ධනය වෙද්දී පවා රාජපක්ෂ ආන්ඩුව එම සාපරාධී පිලිවෙත දිගටම පවත්වාගෙන යයි. ජුනි 10 දා මාධ්‍යය අමතමින්, විදේශ සබඳතා පිලිබඳ අතිරේක ජනාධිපති ලේකම්, අද්මිරාල් ජයන්ත කොලඹගේ  ප්‍රකාශකලේ, විදේශයන්හි අතර මං ව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු  කැඳවා ගැනීමේ ආන්ඩුවේ ක්‍රියා පටිපාටිය අනුව “ප්‍රමුඛස්ථානය  ලැබෙන්නේ සිසුන්ට මිස විගමනික කම්කරුවන්ට නො වන” බව යි. 

“මැද පෙරදිග රටවල සිට තවත් ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන ආව හොත්, ආසාදිත රෝගීන් ගනන ඉහල යාමේ හැකියාව තිබෙනවා” යැයි, කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැයි 27 දා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. එදින වන විට, දිවයිනට ඒමට අපේක්ෂාවෙන් රටවල් 123 ක සිටි ශ්‍රී ලාංකික කම්කරුවන් සංඛ්‍යාව 34,881 කි. ඉන් 20, 893 ක් මැදපෙරදිග රටවල සේවයේ නියුතුව සිටි කම්කරුවෝ වෙති. 

මෙම තුච්ඡ නොතැකීම වඩාත්ම නග්න ආකාරයෙන් ප්‍රදර්ශනය වූයේ ආන්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කල ප්‍රකාශයකිනි. දෙරන රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගි වූ අලුත්ගමගේ,  එම කම්කරුවන්ට අවමන් කරමින් ඔවුන් කොරෝනා ආසාදිත “බෝම්බ” ලෙස නම් කලේ ය. 

විදේශයන් හි රැකියාවේ යෙදෙන ශ්‍රී ලාංකික කම්කරු සංඛ්‍යාව මිලියන 1.5 ක් වන අතර, ඉන් මිලියන 1.2 ක් මැදපෙරදිග රටවල සේවයේ යෙදී සිටිති. ඇඟලුම් අපනයනට පසු විශාලතම විදේශ විනිමය උපයන්නේ මෙම සංක්‍රමනික කම්කරුවන්ය. 2018 සහ 2019 දෙවසර තුල ඔවුන් ඉපයූ විදේශ විනිමය පිලිවෙලින් ඇමරිකන් ඩොලර් බිලියන 7.9  සහ 6.7 කි.

තම රටෙහි පවත්නා ඉතා පහල වැටුප් වලට සාපේක්ෂව වඩා හොඳ වැටුපක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම කම්කරුවෝ, බලශක්ති වලින් පොහොසත් මෙම  කලාපයේ රැකියාවන්ට ගොස් සිටිති. ඉදිකිරීම් කම්කරුවන්, ගෘහ සේවිකාවන්, ඉවුම් පිහුම්කරුවන්, හෙදියන්, වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමෙන් උපයන ප්‍රේෂන ඔවුන්ගේ පවුල්වලට ද, රටෙහි ආර්ථිකයට ද ඉමහත් ලෙස උපකාරී වේ.

මෙම ඉපැයුම් හේතුවෙන්,  "රටවිරුවන්” ලෙස නම්කොට උත්කර්ෂයට නැංවූ තමා, කොවිඩ්-19 වසංගතයත් සමග මුලුමනින්ම අත්හැර දැමීම සම්බන්ධයෙන්, සංක්‍රමනික කම්කරුවන්ට රාජපක්ෂ ආන්ඩු‌ව කෙරෙහි ඇත්තේ බලගතු කෝපයකි. එම කෝපය පල කරමින් ඔවුන් නිකුත් කරන විවිධ ප්‍රකාශයන්ගෙන් සමාජ මාධ්‍ය ජාලා පිටාර ගලමින් පවතින අතර, තම සහෝදර කම්කරුවන්ගේ දුක්ඛිත මරන වාර්තාවීමත් සමග, එය උච්ඡ ස්ථානයකට පත්ව ඇත.

ජාඇල සිට කුවේට් හි රැකියාවට ගොස් එහි සිරවී සිටින දෙදරු පියෙකුගේ කෙටි පනිවිඩයක මෙසේ සටහන් වෙයි: "මෙම තීරනාත්මක අවස්ථාවෙහිදී, සංක්‍රමනික සේවකයන්ට ඇත්තේ තානාපති කාර්යාලය පමනක් වන අතර, එයද වසාදමා ඇති තතු තුල අපට මෙහි කිසිවක් කිරීමට ඉතිරිව නෑ. ශ්‍රී ලංකාවේ  නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගොස් මාස ගනනක් වුව නිරෝධායනයට අපි සූදානම්. දිනපතා මෙහි වැඩි වන කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව දෙස බලමින් අපි මරනය සිදුවනතෙක් දින ගනන් කරනවා.”

ගෘහ සේවිකාවක් වන සුනේත්‍රා මෙසේ පවසයි: "කුවේටයේ අසරන කාන්තාවන් දහස් ගනනක් අඩාවැලපෙමින් ඔවුන් බේරා ගන්නා ලෙස ශ්‍රී ලංකා ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කුවේට් රටට පැමිනි ජනතාවගෙන් අඩක් කෝවිඩ් -19 න් දරුනු ලෙස පීඩාවට පත්ව සිටිනවා.”

ඩුබායි හි හෝටලයක සේවයේ යෙදී සිටි ප්‍රදීප්කුමාර්, පෙබරවාරි අග තම රැකියාව අහිමි වීමත් සමග, තම ගර්භනී බිරිඳ සමග මහමගට වැටී ඇත. ඔවුන් රැඳී සිටින්නේ රථගාලක බිම් මහලේ ය. ඔහු බිබීසී පුවත් සේවයට මෙසේ පවසයි:  “මගේ බිරිඳගේ දරු ප්‍රසූතිය සඳහා ගෙවන්න මට මුදල් නෑ. ගුවන් ටිකට් පතක් මිලදී ගන්නත් මුදල් නෑ........දරුගැබට සති 33 ක් වෙනවා. එහෙම තියෙද්දි ගුවන් ගමන් කලොත් එය දරුවාට සහ ඇගේ සෞඛ්‍යයට විශාල අවදානමක් වෙයි කියල වෛද්‍යවරු කියනවා. මට අවශ්‍ය වන්නේ මගේ දරුවා සහ බිරිඳ බේරා ගැනීමටයි.” 

රාජපක්ෂ ආන්ඩුව මෙලෙස සාපරාධී ලෙස නොතකා සිටින්නේ මැදපෙරදිග සහ අනෙකුත් විදේශ රටවල සේවය කරන දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ ජීවිත පමනක් නොවේ. ශ්‍රී ලංකාව තුල වෙසෙන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ සහ අනෙකුත් පීඩිතයන්ගේ ජීවිත සම්බන්ධයෙන් එහි ප්‍රතිචාරය ඒ හා සමානව සාපරාධී විය. 

වසංගතයෙන් සිදුවියහැකි හානිය අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කල නිර්දේශයන් ආරම්භයේ සිටම එය නොතකා හලේය. විශේෂයෙන්ම, මහා පරිමානයෙන් කලයුතු පීසීආර් පරීක්ෂන සුලු ප්‍රමානයෙන් හෝ ආරම්භ කලේ අප්‍රේල් මාසයෙන් පසුව ය. මහමැතිවරනයට නාම යෝජනා භාරගත් මාර්තු 19 දා වන තෙක් රට අගුලු දැමීම පවා සිදු නොකෙරුනි.

පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බලයක් තහවුරු කර ගනිමින්, ජනාධිපති ආඥාදායකත්වයකට යන ගමන් මග පහසු කෙරෙන පරිදි, ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම ජනාධිපති රාජපක්ෂගේ අරමුනයි. ඒ සඳහා අවශ්‍ය මැතිවරන යාන්ත්‍රනය වෙනුවෙන් ඔහු මහජන ජීවිත නොතකා හලේය.

එපමනක් නොව, රට අගුලු දැමුවේ, ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ඇතුලු, කම්කරු-පීඩිත මහජනයාට අත්‍යවශ්‍ය දෑ කිසිවක් සම්පාදනය කිරීමේ විධිමත් ක‍්‍රමවේදයකින් තොරව ය. දහස් සංඛ්‍යාත දුගී ජනයා එදිනෙදා වේල සපයාගත නොහැකිව කුසගින්නට ඇද වැටුනු අතර, කල්ගතවී ඔවුනට ලබාදුන් රුපියල් 5000 ක සහන දීමනාව ඔවුනගේ අවශ්‍යතාවයන්ට අලගු තැබීමටත් නොසෑහුනි.

මේ නොතැකීම, එක්සත් ජනපදයේ දක්ෂිනාංශික ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ සිට ඉන්දියාවේ හින්දු අධිපතිවාදී න‌රේන්ද්‍ර මෝදි පාලනය දක්වා වන ලොවපුරා ධනපති පාලනයන් තුලින් ප්‍රකාශයට පත්විය. 

මෝදි ආන්ඩුව, මාර්තු මාසයේ, සමස්ත ඉන්දියාවම අගුලු දමනු ලැබුවේ යන්තම් පැය හතරකට පෙර කරන ලද දැනුම් දීමකින් පසුව ය. රටේ ඈත ගම්දනව් වලින් රැකියා සඳහා නගර වලට සංක්‍රමනය වූ මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගෙන් බහුතරයක්, දෛනික පදනමේ වැටුපකට ශ්‍රමය වගුරන්නන් වීම නිසා, එක් රැයෙන් ඔවුනගේ ජීවනෝපායන් අහිමි විය. ඔවුන්ට ප්‍රමානවත් ආධාර සැපයීමට ආන්ඩුව අසමත් වූ බැවින් පවුල් පිටින් කුසගින්නට ඇද වැටුනි. ප්‍රවාහන පහසුකම් සම්පාදනය නොකල තතු යටතේ සිය දහස් ගනනක් කම්කරුවෝ  සිය ගම්මාන වෙත පයින් ගමන් කිරීමට පටන් ගත් අතර, බොහෝ විට සැතපුම් සිය ගනනක් ආවරනය කෙරුනු මෙම පාගමන් වලදී වෛරසය ඔවුන් සමඟ රැගෙන ගියහ. 

වසංගතය ජූනි මාසයේ අවසන් සතියට ඇතුලු වන්නේ, නිල සංඛ්‍යා ලේඛනයන්ට අනුව, 4,50,000 කගේ ජීවිත බිලි ගනිමිනි. සියලුම ආන්ඩු වසංගතය පාලනය කිරීම අත්හැර දමා  ආර්ථිකය යලි විවෘත කරන තත්වයක් තුල තවත් ලක්ෂ ගනනක් මිය යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ආසාදිතයන් සංඛ්‍යාව 2000 ඉක්මවා ඇති ලංකාව තුල ද, ඕනෑම මොහොතක වසංගතය පුපුරා ගොස් දහස් ගනන් ජීවිත බිලි ගැනීමේ අවදානම පවතී.

මෙම තතු තුල, කම්කරුවන්ගේ ජීවිත නොතකා ඔවුන් යලි වැඩට දැක්කීමේදී ධනපති ආන්ඩුවල ඒකායන අරමුන වන්නේ, මහධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් පන ගන්වා එය වඩාත් ඉහල තලයකින් පවත්වාගෙන යාමට අවකාශ ලබා දීමයි. ලොව අනෙකුත් පාලකයන් මෙන්ම රාජපක්ෂ ද, මහධනපතියන්ට දැවැන්ත මුල්‍ය පැකේජයන් ලබාදෙන අතරේ, තමාගේ අභිමතය පරිදි,  ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමටත්, පඩිපත කපා දැමීමටත් ඔවුන්ට ප්‍රසිද්ධ වරපත්‍රයක් ලබා දී ඇත. 

මහා සමාගම්, රැකියා කප්පාදු කරමින්, වැඩ වේගවත් කරමින් සහ වැටුප් කපා දමමින්, සමස්ත නිශ්පාදනයම ප්‍රතිව්‍යූහකරනය කරමින් සිටිති.  මැදපෙරදිග ද, ලංකාවේ ද, වෙනත් ඕනෑම තැනක ද වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මෙයයි.  

මැදපෙරදිග අතරමංව සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් සම්බන්ධයෙන් ආන්ඩුව ගෙනයන සාපරාධී පිලිවෙත් ගැන, සංස්ථාපිතයේ ප්‍රධාන විරුද්ධ පක්ෂවල සාමාජිකයන් ඉඳහිට කෙඳිරි ගාන්නේ, ඉන් පැන නංවා ඇති මහජන විරෝධය අගෝස්තු මස පැවැත්වීමට නියමිත මැතිවරනයේදී ගසාකෑමේ අරමුනෙන් පමනි.  

මැදපෙරදිග අනාථව සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් ලංකාවට "ගෙනැවිත් දුනහොත්" ඔවුන්ගෙන් 20,000 කට නිරෝධායන පහසුකම් ලබා දීම සඳහා තමා සූදානම්ව සිටින බවට විපක්ෂ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) කියා සිටින්නේ මෙම තතු තුල යි. 

මෙම ගෝලීය වසංගතයට සහ ඉන් ගැඹුරුකොට ඇති ගෝලීය රැකියා ප්‍රශ්නයට, ගෝලීය විසඳුමක් අවශ්‍ය බවත්, එය ධනපති ලාභ පද්ධතිය අහෝසි කිරීම එල්ල කරගත් දේශපාලනික විසඳුමක්  වියයුතු බවත්, වඩාත් නග්න ආකාරයෙන් අනාවරනය වෙමින් පවතින තතු තුල, ජවිපෙ මෙම යෝජනාව කරන්නේ, එවන් විසඳුමක් කරා කම්කරු පන්තිය යොමුවීම වලක්වනු පිනිසය.

මැදපෙරදිග අනාථව සිටින කම්කරුවන් ට අවශ්‍ය සියලු සෞඛ්‍යමය රැකවරන ලබා ගැනීමේ  සහ ඔවුනට හැකි ඉක්මනින් තම රටවලට යාමේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ද අනෙකුත් සියලු රට වලද කම්කරුවන් පෙරට පැමිනිය යුතුය.

සංක්‍රමනික කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කල හැක්කේ සමාජ අසමානතාව, ධනේශ්වර රාජ්‍ය මර්දනය සහ මිලිටරිවාදය සහ යුද්ධයට එරෙහිව කම්කරුවන් හා තරුනයින් පුලුල් ලෙස බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස පමනි. එවැනි අරගලයක් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් මෙහෙයවිය යුතු වෙයි.  

Loading