ඉදිරිදර්ශන

වොෂිංටන්, ජෙෆර්සන්, ලින්කන් සහ ග්‍රාන්ට්ගේ ස්මාරකවලට අත නො තබනු!

මෙම ලිපිය ජූනි 22 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

මෑත සතිවල දී, එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි උද්ඝෝෂනවලට සහභාගී වූවෝ, 1861-1865 ඇමරිකානු සිවිල් යුද්ධයේ දී වහල්භාවය ආරක්ෂා කිරීම සඳහා කැරැල්ලක් දියත් කල “කොන්ෆෙඩරේට්” නායකයින්ගේ ස්මාරක ඉවත් කරන ලෙස ඉල්ලා සිටියෝ ය.

එහෙත් වාර්ගික අසමානතාවයේ මෙම ආරක්ෂකයින්ගේ ස්මාරක ඉවත් කිරීම සඳහා වන සාධාරන ඉල්ලීම, වහල් සේවය අවසන් කල සිවිල් යුද්ධයට සහ  සමානාත්මතා මූලධර්මය ආරක්ෂා කරමින්, පලමු වතාවට වහල්භාවයේ ආයතන මත ප්‍රශ්නාර්ථ ලකුනක් තැබූ ඇමරිකානු විප්ලවයට මග පැදූ සිවිල් යුද්ධයට නායකත්වය දුන් අයගේ ස්මාරකවලට එරෙහි  ප්‍රහාරයන් සමග අසාධාරන ලෙස අත්වැල් බැඳගෙන ඇත.

පසුගිය ඉරිදා, ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් හි දී නිදහස් ප්‍රකාශනයේ කතුවරයා වූ තෝමස් ජෙෆර්සන්ගේ පිලිරුවක් කඩා බිඳ දමා තිබූ අතර,  ඊට දින හතරකට පසු, ඇමරිකානු විප්ලවයේදී බ්‍රිතාන්‍යයන් පරාජය කල හමුදාවන්ට නායකත්වය දුන් ජෝර්ජ් වොෂිංටන්ගේ ප්‍රතිමාවක් කඩා බිඳ දමන ලදී.

සිකුරාදා, සැන් ෆ්‍රැන්සිස්කෝ හි විරෝධතාකරුවෝ සිවිල් යුද්ධයේ ජයග්‍රහනය සඳහා “යුනියන්” හමුදාවන්ට (එවකට එක්සත් ජනපදයේ වහල් භාවය අවසන් කර තිබුනු උතුරු ප්‍රාන්ත නියොජනය කල හමුදාව) අන දුන් සහ (පස්චාත් සිවිල් යුද) ප්‍රතිසංස්කරනය අතරතුර දී “කූ ක්ලූක්ස් ක්ලෑන්” (ඇමරිකානු සුදු ස්වෝත්තමවාදී ඝාතක කල්ලිය) මර්දනය කල යුලිසස් එස්. ග්‍රාන්ට්ගේ පිලිරුවක් පෙරලා දැමූහ.

ඔරිගන් ප්‍රාන්තයේ හි පෝට්ලන්ඩ් හිදී තෝමස් ජෙෆර්සන්ගේ පිලිරුවක් පෙරලා දමා ඇත. (ඡායාරූපය: ට්විටර් පරිශීලක, බොනී සිල්ක්මන්)

නිදහස් කරනු ලැබ දන ගසා සිටින වහල් සේවකයෙකුට ඉහලින් ඒබ්‍රහම් ලින්කන් සිටගෙන සිටිනවා දැක්වෙන, වොෂිංටන් නගර මධ්‍යයේ සුප්‍රසිද්ධ විමුක්ති අනුස්මරන පිලිමය ඉවත් කිරීම සඳහා දැන් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කර ඇත. මෙම ප්‍රතිමාව, 1876 දී ඉදිකරන ලද අතර, ඇත්ත වසයෙන් ම එහි බරපැන දැරුවේ නිදහස් වූ වහලුන් විසිනි. (කලු-ඇමරිකානු ප්‍රතිසංස්කාරකයෙකු වූ) ෆෙඩ්‍රික් ඩග්ලස් එය පිලිගැන්වීමේ දේශනය කලේ ය.

“සියලු මිනිසුන් එක හා සමානයි” යන ප්‍රවාදය ප්‍රතික්ෂේප කිරීම සඳහා තම ජීවිතය කැප කල සන්ධානයේ නායකයින්ගේ ස්මාරක ඉවත් කිරීමට කිසිවෙකුට විරුද්ධ විය නො හැක. ලින්කන්ගේ දෙවන සමාරම්භක දේශනයේ වචනවලින්ම කිවහොත්,  මෙම පුද්ගලයෝ “අනෙක් මිනිසුන්ගේ දහඩියෙන් තම පාන් මිරිකා (උකහා) ගැනීමට” උත්සාහ කලෝ ය.

ප්‍රතිසංස්කරනයේ අවසානයෙන් පසු දේශපාලන ප්‍රතිගාමිත්වයේ කාලපරිච්චේදයක් තුල, දකුනේ වෙන්වු ප්‍රාන්තවල (වහල් මෙහෙය ආරක්ශාකල) නායකයින්ගේ ස්මාරක  ඉදි කරන ලද්දේ, ඇමරිකානු සිවිල් යුද්ධයේ විප්ලවවාදී ස්වභාවය ප්‍රතික්ෂේප කරමින්,  “කොන්ෆෙඩරෙට්” වරුන් යුක්ති යුක්ත කිරීමේ අරමුන ඇතිව ක්‍රියා කල, “බන්කොලොත්” ඉතිහාස ගුරුකුලයක කොටසක් ලෙසය.

එහෙත් ඇමරිකාවේ විප්ලවවාදී හා සිවිල් යුද්ධවල නායකයින්ගේ ස්මාරක ඉවත් කිරීමට යුක්තිසහගත බවක් නැත. වාර්ගික හිංසනය මිනිසුන්ගේ මූලික අසමානතාවයේ අවතාරයක් ලෙස යුක්ති සහගත කල ප්‍රතිගාමී බලවේගයන්ට එරෙහිව මෙම පුද්ගලයෝ  විශාල සමාජ අරගලවලට නායකත්වය දුන්හ.

ඇමරිකානු විප්ලව දෙකේ නායකයින්ගේ ස්මාරක අපකීර්තියට පත්කිරීමට සහභාගී වූ අය තමන් කරන්නේ කුමක්ද යන්න පිලිබඳව නො දැන සිටියා විය හැකි ය. එය එසේ නම්, මෙම ක්‍රියා උසිගැන්  වූ අය මත වරද පැටවිය යුතු ය.

මෙම සිදුවීම්වලට පෙර මාසවල දී, නිව් යෝක් ටයිම්ස් , ඩෙමොක්‍රටික් දේශපාලන සංස්ථාපිතයේ ප්‍රමුඛ කොටස් වෙනුවෙන් කතා කරමින් ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධය යන දෙක ම අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් දියත් කලේ ය.

නිව් යෝක් ටයිම්ස් හි 1619 ව්‍යාපෘතිය තුල  දී ඇමරිකානු විප්ලවය වහල්භාවය ආරක්ෂා කිරීමේ යුද්ධයක් ලෙස ඉදිරිපත් කරන ලද අතර, ඒබ්‍රහම් ලින්කන් සාමාන්‍ය ගනයේ  වර්ගවාදියෙකු ලෙස ඉදිරිපත් කෙරුනි.

ඊට සම්බන්ධ සමහර ප්‍රධාන ඓතිහාසික පුද්ගලයන් පිලිබඳ ඓතිහාසික පැහැදිලි කිරීම අවශ්‍ය වේ.

තෝමස් ජෙෆර්සන් ලෝක ඉතිහාසයේ වඩාත්ම ප්‍රචලිත විප්ලවවාදී වාක්‍ය වලින් එකක් වන “මෙම සත්‍යයන් ස්වයං ප්‍රත්‍යක්ෂ විය යුතු බව අපි සලකමු, සියලු මිනිස්සු සමානව නිර්මානය කෙරෙති” යන්නෙහි කතුවරයාය. එම ප්‍රකාශය 1776 සිට සමානතාව සඳහා වූ සෑම සටනක පතාකයකම ලිය වී ඇත. ජෙෆර්සන් මේ වැකිය ලියන විට, ඔහු ස්වාභාවික මානව අසමානතාවේ මූලධර්මය මත පදනම් වූ නව චින්තන ආකාරයක්  නිශ්චිතව ගොඩනගමින්  සිටියේ ය. නිදහසේ ප්‍රකාශනයේ පෙරවදනේ ඉතිරි කොටස විප්ලවය සඳහා මිනිසුන්ට ඇති ස්වාභාවික අයිතිය බලගතු භාෂාවෙන් දක්වා ඇත.

ඇමරිකානු විප්ලවය මගින්, 1789 ප්‍රන්ස විප්ලවයට හා වහලුන් තමන් විසින් ම නිදහස් වී ප්‍රන්ස යටත්විජිත ආධිපත්‍යය පන්නා දැමූ, ඉතිහාසයේ දැවැන්තම වහල් කැරැල්ල වන, 1791 හයිටි විප්ලවයට තුඩු දුන් මග පෙන්වු ප්‍රබල ආවේගයක් ලබා දුන්නේ ය. 

ජෝර්ජ් වොෂිංටන් ඇමරිකානු විප්ලවයේ (1775-1783) මහාද්වීපික හමුදාවේ අන දෙන නිලධාරියා වූයේය. එහි දී ජනපද 13ක් තම බ්‍රිතාන්‍ය යටත්විජිත ස්වාමිවරුන්ගෙන් නිදහස ලබා ගත්හ. ලෝකයා කම්පනයට පත් කල තීරනයක දී, වොෂිංටන්, තම  හමුදා තනතුර අතහැර දමා නැවත පෞද්ගලික ජීවිතයට පිවිසියේ, ජනරජයේ මිලිටරි බලයෙන් සිවිල් වැසියන් වෙන් කිරීම ප්‍රායෝගිකව ස්ථාපිත කිරීමට ය.

ඒබ්‍රහම් ලින්කන් නූතන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම චරිතයක් ලෙස පෙලගත කල යුතු ය. සිවිල් යුද්ධයේ දී උතුරේ නැතහොත් “යූනියනයේ” නායකයා තම ඓතිහාසික අරමුන හෙලිදරව් කලේ, සමකාලීනයන් “වහල් බලය” ලෙස හැඳින්වූ දේ විනාශ කිරීමේ එම යුද්ධය අතරතුර දී ය.  1865 අප්‍රේල් මාසයේ දී ලින්කන් එම අරගලයේ ජයග්‍රහනය දුටුවේ මානව නිදහස වෙනුවෙන් තම දිවි පිදීමට දින කිහිපයකට පෙර ය. ඔහුගේ මරනය ගැන ලෝකය දුක් විය. මෙය උතුරේ සහ දකුනේ මෙන්ම විශේෂයෙන් නිදහස් වහලුන් අතර අතිමහත් විය. “ලෝකය ඔහුව වීරයෙකු ලෙස හඳුනා ගත්තේ ඔහු ප්‍රාන පරිත්‍යාගිකයෙකු වූ පසු පමනි” යනුවෙන් මාක්ස් ලිවී ය.

යුලිසස් එස්. ග්‍රාන්ට් සිවිල් යුද්ධයේ වීරයෙකු වූ අතර ඔහුගේ තත්වය ලින්කන්ට පමනක් දෙවැනි විය. 1864 දී සමස්ත හමුදා ප්‍රයත්නයට නායකත්වය දීමට ඔහු පත්වීමට පෙර, යුනියන් හමුදාවේ ප්‍රගතිය වලක්වනු ලැබුවේ සිවිල් යුද්ධයේ විමුක්තිදායක ආවේගයට විරුද්ධ වූ ජනරාල්වරුන් විසිනි.

දකුන පරාජය කිරීමට වහල්භාවය, මුලුමනින් ම විනාශ කිරීම සඳහා යුද්ධයක් අවශ්‍ය බව ග්‍රාන්ට් හා ඔහුගේ විශ්වාසවන්ත මිතුරා වූ ජනරාල් විලියම් ටෙකුම්ස් ෂර්මන් වටහා ගත්හ. “මට මේ මිනිහව අතහරින්න බැහැ. ඔහු සටන් කරනවා, ” යැයි ලින්කන් ග්‍රාන්ට් ගැන කීවේ ය. ධවල මන්දිරයේදී, සිවිල් යුද්ධය විසින් මුදා හරින ලද ධනවාදයේ බලය විසින් ග්‍රාන්ට් යටපත් කෙරුන ද, ඔහු නිදහස් වහලුන් ආරක්ෂා කර කු ක්ලූක්ස් ක්ලෑන් මර්දනය කලේ ය. 1877 දී ඔහු ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, ග්‍රාන්ට් යුරෝපයේ සංචාරය කල අතර, එහි දී ඔහුගේ ප්‍රසිද්ධ උත්සව හා කථාවලට කම්කරුවෝ විශාල පිරිසක් සහභාගී වූහ

මෙම පුද්ගලගයන්ගේ ස්මාරකවලට එල්ල කෙරෙන ප්‍රහාරයන්ගේ මූලිකත්වය ගනු ලබන්නේ  ඇමරිකානු ඉතිහාසය වර්ගවාදීකරනයට, හා මානව වර්ගයාගේ ඉතිහාසය වාර්ගික අරගලයේ ඉතිහාසයක් බවට පහල දමන කතාන්තරයක් නිර්මානය කිරීමට ඩෙමොක්‍රටික් පක්ෂය හා නිව් යෝක් ටයිම්ස් පත්‍රය විසින් ගනු ගබන වඩ වඩා උමතු උත්සාහය විසිනි. මෙම උද්ඝෝෂනය ප්‍රජාතන්ත්‍රවාදී විඥානයේ දූෂනයක් ඇති කර ඇති අතර එය මුලුමනින් ම ප්‍රතිගාමී දේශපාලන අවශ්‍යතා සමඟ පැටලේ.

මේ දඩයමෙන් නිදහස් යැයි පෙනෙන එක් ආයතනයක් වන්නේ කොන්ෆෙඩරේට් වරුන්ගෙ  හා පසුව කූ ක්ලුක්ස් ක්ලෑනයේ දේශපාලන අංශය ලෙස සේවය කල ඩෙමොක්‍රටික් පක්ෂය යි. 

මෙම අපිරිසිදු ඓතිහාසික උරුමය ඇත්ත වශයෙන්ම ගැලපෙන්නේ, මූලික වශයෙන් සුදු ජාතික නොවන්නන් ඉලක්ක කරගෙන කෙරුනු, යුද්ධවලට සහාය දීමේ ඩෙමොක්‍රටික් පක්ෂයේ සමකාලීන වාර්තාවට පමනි. ඩෙමොක්‍රටිකයෝ ඉරාක හා ඇෆ්ගනිස්ථාන  ආක්‍රමනවලට සහ ඔබාමා යටතේ ලිබියාව හා සිරියාව විනාශ කිරීමට සහාය දුන්හ. නිව් යෝක් ටයිම්ස් පුවත්පත මේ සියලු යුද්ධ සඳහා ප්‍රමුඛ පෙලේ තැරැවු කරුවෙක් මෙන් ම   ප්‍රචාරකයෙක් විය.

ධනේශ්වර පද්ධතියට  හා ආන්ඩුව තුල එහි මර්දනකාරී බලවේගයන්ට එරෙහිව දේශපාලන අරගලයකට අවතීර්න වන මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හැඟීම් ව්‍යාකූල කර අවමංගත  කිරීමට නිව් යෝක් ටයිම්ස් හා ඩෙමොක්‍රටික් පක්ෂය උත්සාහ කරන්නේ, කම්කරු පන්තියේ වැඩෙමින් තිබෙන බහුවාර්ගික, බහුජාතික හා බහුජනවාර්ගික ව්‍යාපාරය  තමන්ගේම දේශපාලන ආස්ථානයට කෙලින් ම විරුද්ධ ආස්ථානයක් ගන්නා බව ඔවුන් දන්නා නිසා ය.

තමන් කරන දෙයෙහි දේශපාලන ඇඟවුම් නො තේරෙන බොහෝ අය මෙම ස්මාරක  ඉවත් කිරීමට සම්බන්ධ වී සිටිති. කෙසේ වෙතත්, නො දැනුවත්කම නිදහසට කරුනක් නො වේ. ක්‍රියාවන්ට වෛෂයික වැදගත්කමක් ඇත. ඇමරිකානු විප්ලවයට පහර දෙන අය සමකාලීන ප්‍රතිගාමිත්වයට උදව් කරති.

Loading