බඹර ප්‍රහාරයන්ගෙන් සති දෙකක් තුල වතු කම්කරුවෝ දෙදෙනෙක් මියයති

අපේ වාර්තාකරුවන්
26 ජූනි 2020

වතු කම්කරුවෝ නිරන්තරව බඹර ප්‍රහාරවලට  ගොදුරු වෙති. මැයි සහ ජුනි මාස දෙක තුල කාන්තාවෝ  සහ ලමයි  ඇතුලු දුසිම් ගනනක් බඹර ප්‍රහාරවලට ලක් වූ හ. ජුනි මාසයේ මුල් දෙසතිය තුල දෙදනෙකු ද  මෙම වසර තුල  හතරදෙනෙකු ද එම ප්‍රහාර වලින් මිය ගොස් ඇත. 

බඹරු විදීම නිසා: 

*ජුනි 3 වෙනිදා ලිඳුල සෙන්ට්කූම් වත්තේ කම්කරු කාන්තාවක් ඇතුලු  කම්කරුවන් හය දෙනෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කෙරුනි.  

*ජුනි 5 කොටගල ග්‍රේට්ලි වත්තේ කම්කරුවන් 10 දෙනෙකුට රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවිය.

*ජුනි 17 වෙනිදා බොගවන්තලාව කොටියාගල වත්තේ කම්කරුවන් 10 දෙනෙකු රෝහල් ගතකල අතර ඉන් කම්කරු කාන්තාවක් වූ 59 හැවිරිදි ආලිමා ජීවිතක්ෂයට පත්වුවාය. 

*මැයි 25 හැටන් දික්ඔය වත්තේ ඩන්බාර් කොටසේ කම්කරු කාන්තාවක් වූ 52 හැවිරිදි අමිර්තා අම්බිහයි මරනයට පත් විය.

*මැයි 30 මස්කෙලිය අප්-කොට් හි ඕල්ටන් වත්තේ කින්ග්ගෝරා කොටසේ කම්කරුවන් 13 දෙනෙකු මස්කෙලිය රෝහලට ඇතුලත් කල අතර ගැබිනියක් වූ එන්. ප්‍රශාන්තනීගේ තත්වය බරපතල වීම නිසා දික්ඔය රෝහලට මාරු කිරීමට සිදුවිය.  

*මෑත දී ඩයගම වත්තේ 5 වෙනි කොටසේ කම්කරුවන් 5ක් ද බොගවන්තලාව ලමා සුභසාධක මධ්‍යස්ථානයේ ලමුන් 3 ක් ද බඹර ප‍රහාරවලට ලක් වුහ.

මෙය හුදෙක් ස්වාභාවික තත්වයක් නොවේ. 1992 වතු පුද්ගලීකරනය කිරීමෙන් පසු වතුකම්කරුවන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය ගැන වතු සමාගම් විසින් නොතකා හැරීමේ ප්‍රතිවිපාකයකි.

පුද්ගලීකරනයට පෙර  ඒ සම්බන්ධව පුහුනුව ලත්  කම්කරුවන් යොදවා බඹර, දෙබර සහ මී මැසි කුඩු ඉවත් කල බවත් ඒ සඳහා ඔවුන්ට විශේෂ දීමනාවක්  ගෙවූ බවත් කම්කරුවෝ කීහ. දැන් එය නවතා දමා ඇත. එමෙන් ම, වතු සමාගම් විසින් ආදායම් අඩු තේ වතු නඩත්තු කිරීම අතහැර දැමීම සහ සමහර වතුවල වානිජ වශයෙන් ලාභදායක  වනවගාව  නිසා  බඹරුන්, දෙබරුන් හා මී මැස්සන් පමනක් නොව, විෂ සහිත සර්පයින්, කැලෑ  බලලුන්, දිවියන්, කොටින් වැනි අනතුරු දායක  සතුන් මෙන් ම, කුඩල්ලන් ද බහුලව බෝවී ඇත. 

මෑත කාලයේ දිවියන් සහ කොටින් සපාකෑම නිසාත් සර්පයින් දෂ්ට කිරීම නිසාත් වතු කම්කරුවන්  බොහෝ දෙනෙකු බරපතල තුවාල ලැබූ අතර සමහරු මියගියහ. සේවයේ නියුක්තව සිටියදී මෙවන්  අනතුරකින් කම්කරුවෙකු මියගිය විට ඔහුගේ  හෝ ඇයගේ පවුලේ අයට යම් වන්දි මුදලක් ලැබුනි. සමාගම් විසින් එය  ද නතර කරනු ලැබ ඇත.

මෙම අන්තරායකාරී තත්වය පිලිබඳව තලවකැලේ වතු සමාගම විසින් පාලනය කරනු  ලබන ලිඳුල සෙන්ට්කූම් වත්තේ කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: 

“වතු පාලකයන්  කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන කිසි සැලකීමක් නැහැ.  අපේ ආරක්ෂා සඳහා වතු සුද්ධ කර හොඳින් පවත්වාගෙන යන ලෙස අප නිතරම ඉල්ලනවා. නමුත් ඔවුන් කිසි දෙයක් කරන්නේ නැහැ. වෘත්තීය සමිති ඒ ගැන තැකීමක් ඇත්තෙත් නැහැ. හදිසි අනතුරකට ලක් වෙන රෝගියෙක් ගෙනියන්න සුදුසු වාහනයක් නැහැ. ඇය ඉක්මනින් රෝහලට ගෙන ගියානම් අලිමා නොමැරී බේරා ගන්න තිබුනා. වතු පාලකයෝ ඇගේ මරනයට වගකිව යුතුයි.”

අලීමා ගේ මරනයත් සමග වතු පාලකයන්ගේ මෙම නොතැකීම ගැන කම්කරුවන් අතර බරපතල කෝපයක් හා විරුද්ධත්වයක් මතු විය. වහාම එහි පැමිනි ලංකා කම්කරු කොංග්‍ර සයේ (සීඩබ්ලිව්සී) නායකයෙකු වූ තන්ගවේල් වතු පාලකයන් සමග සාකච්චඡාවකින් පසුව වත්ත ඉක්මනින් සුද්ධ කරන බවට පොරොන්දු වී එය සමනය කර වතු පාලකයන් ව ආරක්ෂා කලේ ය.

දික්ඔය වත්තේ ඩන්බාර් කොටසේ කම්කරුවෙක් මෙසේ පැවසීය: “අමිර්තා අම්බිහයි මැරුනේ ඇය වත්තේ වෙනස් කොටසක වැඩ කරමින් සිටිය දී. දික්ඔය කොටසේ ඉඳලා ඩන්බාර්  කොටසට කිලෝ මීටර් තුනක් හැම දවසක ම ඇය ඇවිදගෙන යන්න ඕන. ආදායම් බෙදීමේ ක්‍රමය යටතේ  වත්තේ වැඩි කොටසක් කම්කරුවන්ට බෙදලා දීලා තියෙන්නේ. වතු නියම විදියට නඩත්තු නොකරන නිසා බඹරුයි වන සත්තුයි ඉන්නවා. අපේ වත්තට කිට්ටුව තිබෙන හැටන් පෙන්මුර් වත්තේ කාන්තාවකට කොටියෙක් පහරදීල බරපතල විදිහට තුවාල වුනා. වතුපාලකයෝ ඇයට කිසිම වන්දියක් දුන්නේ නැහැ. වෘත්තීය සමිති ඒකට කිසිම දෙයක් කලෙත් නැහැ”.  

හොරන වතු සමාගම විසින් පාලනය කරනු ලබන ඕල්ටන් වත්තේ කින්ග්ගෝරා කොටසේ කම්කරුවෝ තමන්ට වැඩ කිරීමට සිදුව ඇත්තේ වන සතුන්ගෙන් ගහන කැලයක් අසබඩ බව පැවසුහ. 

“අපි කිලෝමීටර් තුනක් හතරක් ඇවිදගෙන යන්න ඕනා වැඩ කරන කොටසට. කැලයට ආසන්නව තිබෙන නිසා බඹරු, දිවියො වගේ සත්තු ඉන්නවා ඒ කොටසේ. අවුරුදු තුනකට කලින් දිවියෙක් සපාකාලා සිවරාජා  මැරුනා. ලඟක දී කම්කරුවෝ 13 දෙනෙකුට බඹරු විද්දා. කිසිම වන්දියක් නැහැ. බෙහෙත් ගත්තෙත්  ඒගොල්ල න්ගේ මුදල් වලින්.  වසංගතය  තියෙද්දිත් කිසිම ආරක්ෂක පහසුකමක් නැතිව අපි වැඩ කරන්නේ. වත්තෙන් මුඛ ආවරනයක් වත් දෙන්නේ නැහැ. මේ අමාරු වෙලාවෙත් දවසේ ටාගට් එක කිලෝ 18 ක් කඩන්න ඕනා. කිලෝ 12 ට අඩුවෙන් කැඩුවොත් පඩි භාගයයි ලැබෙන්නේ” යැයි කම්කරුවෙක් පැවසීය. 

ප්‍රශාන්තනීට බඹරු විද්ද  අවස්ථාවේ වත්තෙන් කිසිම උපකාරයක් නො ලැබුන  බව ඇගේ සැමියා පැවසීය. “ ඇය  ගැබිනියක්. ස්කෑන් කරලා කිව්වා දරුවට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් පුද්ගලික රෝහලකින් ස්කෑන් කරලා වැඩිදුර ප‍්‍රතිකාර ගන්න කිව්වා. ඒකට ලොකු ගනනක් යනවා. දවසේ පඩියට වැඩකරන අපි කොහොම ද එපමන ගනනක්  වියදම් කරන්නේ” ඔහු කීවේ ය.   

සතුන්ගෙන් සිදුවන මෙම අනතුරුවලට අමතරව නිවාස අලුත් වැඩියාව, සෞඛ්‍ය හා වතු  කම්කරු දරුවන් සඳහා අධ්‍යාපන  පහසුකම් ඇතුලු  අනෙකුත් සමාජ සුබසාධන ද කප්පාදු කර තිබේ. නිරන්තරව ලයින් කාමර ගිනි ගැනීම වතු කම්කරුවන් මුහුන දෙන තවත් බරපතල ප්‍රශ්නයකි. මෙම වසරේ සහ පසුගිය වසරේ පමනක් නිවාස දුසිම් ගනනක් ගිනිගත් අතර පවුල් සිය ගනනක් ඉන් අවතැන් වුහ. ඔවුන්ගෙන් බහුතරයකට තවමත් ජීවත්වීමට සුදුසු නිවසක් ලැබී නැත.

අඩු ආදායම් හේතුවෙන්, විරැකියාවෙන් සහ ගැඹුරුවන සමාජ අසමානතාවයෙන් ද ඔවුහු පීඩා විඳිති. වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප වේගයෙන් ඉහල නැගෙන ජීවන වියදමට කිසිසේත් නොගැලපෙන රුපියල් 750 ක් තරම් සොච්චමකි. දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා 2018 වතු කම්කරුවන් ගෙන ගිය ධෛර්යසම්පන්න අරගලය වතු වෘත්තීය සමිති විසින් දුෂ්ට ලෙස පාවා දෙනු ලැබීය. 

ගෝඨාභය රාජපක්ෂ වතු කම්කරුවන්ට රුපියල් 1000 දෛනික වැටුප ලබා දෙන බවට ජනාධිපතිවරනයේ දී පොරොන්දු වූ නමුත් එය පුස්සක් වී ඇත. පාරිලිමේන්තු  මැතිවරනය තුල වතු කම්කරු ඡන්ද ගසාකෑමේ ගුන්ඩුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් යලිත් එම  පොරොන්දුව පෙරට දමා තිබේ.  

කොරෝනා වසංගතය මධ්‍යයේ ආර්ථිකය “යලි විවෘත කිරීම” යටතේ මුලින් ම වැඩට දක්කනු ලැබුවේ වතු කම්කරුවන්ය. ඔවුන්ට වැඩ කිරීමට සිදුව ඇත්තේ වසංගතයෙන් ආරක්ෂාවීමේ නිසි සෞඛ්‍ය පහසුකම් වලින් තොරව, ඉහල දමනු ලැබූ වැඩ ඉලක්කයන් යටතේ වැටුප් කප්පාදුකිරීම් වලට මුහුන දෙමින්  ය. 

උග්‍රවන විරැකියාව නිසා රැකියා සොයා කොලඹ ඇතුලු  ප්‍රධාන නගරවලට සහ නිදහස් වෙලඳ කලාපවලට සංක්‍රමනය වන වතු කම්කරු තරුන තරුනියන්  ලාබ ශ්‍රම සූරාකෑමේ ගොදුරු බවට පත්ව සිටිති. කොරෝනා වසංගතයත් සමග ඔවුන්ගෙන් බහුතරයකට රැකියා අහිමි වී ඇත.

කම්කරුවන් මුහුන දෙන මෙම තත්වය පිලිබඳව සීඩබ්ලිව්සී, ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුලු  කිසිදු වෘත්තීය සමිතියක් තමන්ගේ  ආරක්ෂාව සඳහා මැදිහත් නොවන බවත් ඒ වෙනුවට ඔවුන් අරගල කඩාකප්පල් කරමින් වතු පාලකයන් ආරක්ෂා කරන බවටත් කම්කරුවෝ චෝදනා කලහ.