ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදීන්ට අත නොතබනු

යාපනයේ සසප මැතිවරන අපේක්ෂකයින්ට එරෙහි මිලිටරි හිරිහැර නතර කරනු

එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී යාපනය දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රමුඛ සාමාජිකයින් තිදෙනෙකුගෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් මෑත සතිවලදී,  ප්‍රශ්න කර තිබේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කිහිප වතාවක් කල්දැමීමෙන් පසුව අගෝස්තු 5 වන දින, පාර්ලිමේන්තු මැතිවරනය පැවැත්වීමට නියමිතය. යාපනය, කොලඹ සහ නුවර එලිය දිස්ත්‍රික්ක සඳහා සසප, අපේක්ෂකයින් 43 දෙනෙකු ඉදිරිපත් කරයි.

මිලිටරියේ ක්‍රියා සසප යේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන අතර දිවයිනේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ ජීවත්වන අප සහෝදරවරුන්ගේ ජීවිතවලට ද තර්ජනයකි. මිලිටරියේ හිරිහැර හා බිය ගැන්වීම්වලට විරුද්ධ වන ලෙසත්, එහි සාමාජිකයන් සහ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සසප ගෙනයන උද්ඝෝෂනයට සහාය දෙන ලෙසත් අපි කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

* හමුදා බුද්ධි අංශයේ යයි කියාගත් පුද්ගලයන් දෙදෙනෙක් මැයි 28 වන දින දහවල් කාලයේ  යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් වූ දූපතක් වන කයිට්ස් හි පරුත්තිඅඩෙප්පු සසප සාමාජික රාසෙන්තිරාම් සුදර්සන්ගේ නිවසට පැමින තිබේ.

* යාපනය අර්ධද්වීපයට සම්බන්ධ දූපතක් වන කරෙයිනගර්හි පරමුතිරුඥාන සම්පන්දර්ගේ නිවසට ජුනි 16 වන දින පෙරවරු 11 ට පමන  හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙක් පැමින ඇත. මහ මැතිවරනයේදී  යාපනය දිස්ත්‍රික්කයේ සසප නායකයා සම්බන්දර් ය.

තමා සංජීව ලෙස හඳුන්වා දුන් එක් නිලධාරියෙක් සම්බන්දර්ගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කර ඇත. ඔහු එය ප්‍රතික්ෂේප කල විට ඔවුන් කියා ඇත්තේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට මැතිවරනයේ අපේක්ෂකයින් පිලිබඳ තොරතුරු අවශ්‍ය බවයි. අපේක්ෂකයින් පිලිබඳ තොරතුරු රැස් කිරීම නීති විරෝධී බවත්, කිසිවක් ලබා දීම ප්‍රතික්ෂේප කරන බවත් සම්බන්දර් ඔවුන්ට පැවසීය.

* යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු, ජූනි මස 23 වන දින පෙරවරු 10.30 ට  යාපනය මහ නගර සභා බල ප‍්‍රදේශය තුල මනියන්‌තෝට්ටම් හි පිහිටි රාජරත්නම් රාජ‌වේල්ගේ නිවසට පැමින ඇති අතර, ඔවුන් චාවකච්චේරි හමුදා කඳවුරේ සිට පැමිනි බව පවසා ඇත.

තමා උපුල් ලෙස හඳුන්වා දුන් එක් නිලධාරියෙකු පවසා ඇත්තේ, ඔහුට ආරක්ෂාව සැපයීම සඳහා රාජ‌වේල්ගේ තොරතුරු අවශ්‍ය බවයි. ඔහු කියා සිටියේ බොහෝ පක්ෂ මැතිවරනයට ඉදිරිපත් වන බැවින් ගැටුම් ඇතිවීමේ හැකියාව පවතින බවයි. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා ඊලම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය( ඊපීඩීපී) අතරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප ) සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) අතරත් ගැටුම් ඇතිවිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කිසිදු තොරතුරක් ලබා ගැනීම සඳහා රාජ‌වේල් ඒත්තු ගැන්වීමට නොහැකි වූ බුද්ධි අංශ නිලධාරීන් ඔහු ඡායාරූප ගත කිරීමට උත්සාහ කල අතර ඔහු එයට විරුද්ධ විය. ඔවුන් පිටත්ව ගියේ සම්බන්දර් ඔවුන් සමඟ දුරකථනයෙන් කතා කර ඔවුන්ගේ ක්‍රියාවන්ට විරෝධය පල කර පිටව යන ලෙසට දැන්වූ පසුවය .

මහා මැතිවරන හා පලාත් සභා මැතිවරනවලට ඉදිරිපත්ව ඇති සම්බන්දර්, සුදර්සන් සහ රාජ‌වේල්  සසප සාමාජිකයන් ලෙස දශක ගනනාවක් තිස්සේ  ප්‍රසිද්ධියට පත්ව ඇති පුද්ගලයින්ය. සම්බන්දර් සහ සුදර්සන් සසප ප්‍රසිද්ධ රැස්වීම් දුසිම් ගනනක් අමතා ඇත.

සසප අපේක්ෂකයින්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය පල කරමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් ජුනි 20 වන දින ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න වෙත ලිපියක් යවනු ලැබින. එහි පිටපතක් ශ්‍රී ලංකා මැතිවරන කොමිෂන් සභාවේ සභාපති වෙත යවා ඇත.

පලමු සිදුවීම් දෙක විස්තර කිරීමෙන් අනතුරුව ඩයස් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ත්‍රිවිධ හමුදාව ගෙන යන මෙම වෙනස්කම් කිරීම් හා බිය ගැන්වීම් සසප දැඩි ලෙස හෙලා දකී. එය අපේ පක්ෂයේ සහ එහි සාමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

“මෙම හමුදා නිලධාරීන්ගේ ක්‍රියා පිලිබඳ පැහැදිලි කිරීමක් සහ පහත සඳහන් ප්‍රශ්නවලට පිලිතුරු අපි ඉල්ලා සිටිමු.

“පලමුවෙන්ම, නීත්‍යානුකූලව පිලිගත් දේශපාලන පක්ෂයක් වන සසපයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කිරීමට පෙලඹවීම් කලේ හා ඒ සඳහා බලය පැවරුවේ කවුරුන් විසින්ද?

“දෙවනුව, මිලිටරිය විසින් සසප අපේක්ෂකයින් පිලිබඳ පුද්ගලික තොරතුරු එකතු කිරීමේ අරමුන කුමක්ද?

“තෙවනුව, සසප සාමාජිකයින් මීට පෙර මහ මැතිවරන වලට, පලාත් සභා  සහ පලාත් පාලන මැතිවරන වලට ඉදිරිපත් වී ඇති අතර හමුදාව ඔවුන්ගෙන් ප්‍රශ්න කර නොමැත. නීතිය සහ අපේ පක්ෂයේ සහ එහි සාමාජිකයන්ගේ ව්‍යවස්ථාමය වශයෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් හමුදාව දැන් එවැනි පරීක්ෂන පවත්වන්නේ ඇයි?

“සිව්වනුව, යාපනයේ සහ වෙනත් ප්‍රදේශවල හමුදාව විසින් ප්‍රශ්න කර ඇති වෙනත් මැතිවරන අපේක්ෂකයින් කවුද? ”

අවසාන වශයෙන් ඩයස් මෙසේ ප්‍රකාශ කලේය: “රටේ සහ විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ඉතා උනුසුම් දේශපාලන වාතාවරනයක්  තුල,  හමුදාව සෘජුවම මැතිවරනයට මැදිහත් වීම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට අන්තරායකාරී වලකැපීමක් වෙතැයි අපි සලකන්නෙමු. අපි අපේ ප්‍රශ්නවලට පිලිතුරු ඉල්ලා සිටින අතර මෙම මැදිහත්වීම් නතර කල යුතු යැයි අවධාරනය කරමු. ”

එම ලිපිය සහ වහා පිලිතුරු සපයනමෙන් එයින් කල ඉල්ලීම ආරක්ෂක ලේකම්වරයා  නොතකා හලේය.

ලිපිය යවා දින තුනකට පසු, රාජවේල්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙරෙහි ආරක්ෂක අමාත්‍යාංශය දක්වන අවඥාව පෙන්නුම් කරමිනි. අපේ සහෝදරවරුන්ගේ හෝ අපේක්ෂකයෙකුගේ තොරතුරු ඉල්ලා සිටීමට  හමුදාවට  කිසිදු අයිතියක් නැත.

තමන් සාමාන්‍ය රාජකාරිවල නිරත වූ බවට බුද්ධි අංශ කරන ලද ප්‍රකාශය සසප ප්‍රතික්ෂේප කරයි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටින්ට (එල්ටීටීඊ) එරෙහි දිග්ගැස්සුනු වර්ගවාදී යුද්ධය අවසන් වූ දා සිට හමුදාව දිවයිනේ උතුරු නැගෙනහිර මිලිටරි ග්‍රහනය පවත්වා ගෙන යන අතර විශේෂයෙන් දෙමල තරුන තරුනියන්ට හිරිහැර කරයි. නමුත් අපේ මැතිවරන අපේක්ෂකයින්ගෙන් ප්‍රශ්න කල පලමු අවස්ථාව මෙයයි.

රාජවේල්ගෙන් ප්‍රශ්න කිරීමේදී, පාර්ශවයන් අතර ගැටුම් ඇතිවීමේ හැකියාව පිලිබඳ බුද්ධි අංශ නිලධාරියා කල ප්‍රකාශය තුල, දුෂ්ට පැතිකඩක් ඇත. එමඟින් මැතිවරනය කඩාකප්පල් කිරීමට හෝ අවලංගු කිරීමට උසිගැන්වීම් කිරීම සඳහා හමුදාව සැලසුම් කරන්නේ ද?

ප්‍රකෝප කිරීම්, කන්ඩායම් මෙහෙයවීම් සහ කඩාවැදීම් සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සහ ඒ හා සම්බන්ධ පැරාමිලිටරි භටයින් කුප්‍රකට වන අතර, බියගැන්වීම මෙන්ම, පැහැරගැනීම්, වධහිංසා පැමිනවීම් සහ නීති විරෝධී ඝාතන ඇතුලු අපරාධ පිලිබඳ දිගු ලැයිස්තුවකට ඔවුන් හිමිකම් කියයි.

හමුදාවට සසප ඉලක්ක කර ගැනීම සඳහා  විශේෂ හේතුවක් තිබේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සසප, සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික බෙදීම් කපාගෙන යමින්, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් වදියි. අපගේ ඉදිරිදර්ශනය හා වැඩපිලිවෙල වන්නේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකි.

පසුගිය දෙවසර තුල සෞඛ්‍ය, දුම්රිය, තැපැල් හා විශ්ව විද්‍යාල සේවකයින් සහ ගුරුවරුන් ඇතුලු දෙමල, සිංහල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත් අරගල දිවයින පුරා පුපුරා ගොස් තිබේ. මෙය කම්කරුවන්ගේ ජාත්‍යන්තර නැගිටීමක කොටසක් වන අතර කම්කරු පන්තියේ වෛෂයික එකමුතුව ඒවායින් ඉස්මතු කරයි. සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත මෙම අරගල එක්සත් කිරීමට සටන් කර ඇත්තේ සසප පමනි.

ගෝලීය කොවිඩ්-19 වසංගතය මඟින් ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් සෑම රටකම ආර්ථික හා දේශපාලන අර්බුදය වේගවත් කර තිබේ.

වර්ධනය වෙමින් ඇති පුපුරන සුලු සමාජ විරෝධය ගැන පාලක පන්තියේ සියලු කොටස් නොසන්සුන් වෙති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කම්කරු පන්තිය සමඟ ගනුදෙනු බේරා ගැනීමට සූදානම් වන අතර, මිලිටරියේ පිටුබලය ලද ජනාධිපති ආඥාදායකත්වයක් කරා වේගයෙන් ගමන් කරයි. ජනාධිපති විධායක බලතල පූර්න ලෙස භාවිතා කිරීම සඳහා වන ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීමට  ඔහු සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සඳහා මැතිවරන ව්‍යාපාරයේ යෙදී සිටිති.

මෑත මාසවලදී ආන්ඩුව, එහි ආරක්ෂක මෙහෙයුම් සාධාරනීකරනය කිරීම සඳහා දෙමල හා මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් දියත් කරමින් වාර්ගික ආතතීන් ඇවිස්සීමේ යෙදී සිටියි. ආන්ඩුව, විරුද්ධ පක්ෂ සහ මාධ්‍ය කියා සිටින්නේ “ත්‍රස්තවාදය” යලි හිස ඔසවන බවයි.

වසංගතයට එරෙහිව “යුද කාලීන” වර්ගයේ මෙහෙයුමක් දියත් කිරීමේ මුවාවෙන් දකුනේ, විශේෂයෙන් කොලඹ සහ එහි තදාසන්න ප්‍රදේශවල, ජනාධිපතිගේ නියෝගය මත හමුදා සහ බුද්ධි අංශවල විශාල පිරිසක් බලමුලු ගන්වා ඇත.

සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්, සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත එක්සත් කිරීමට ගෙනගිය දීර්ඝ අරගල ඉතිහාසයකට උරුමකම් කියයි.  2009 දී අවසන් වූ එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය යුක්ති සහගත කිරීම සඳහා අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් භාවිතා කරන ලද සිංහල ස්වෝත්තමවාදයට මෙන්ම එල්ටීටීඊයේ සහ අනෙකුත් ධනේශ්වර දෙමල පක්ෂවල බෙදුම්වාදයට සහ  දෙමල ජාතිකවාදයට අපි විරුද්ධවී ඇත්තෙමු.

සසප /විකොස ප්‍රතිපත්තිගරුක අරගලය හේතුවෙන්, අනුප්‍රාප්තික ආන්ඩු, මිලිටරිය සහ පොලීසියේ මෙන්ම එල්ටීටීඊයේ ද  හිංසාවන්ට එය මුහුන දී තිබේ. අපේ පක්ෂය මෙම ප්‍රහාරයන්ට එරෙහිව, දේශපාලනිකව හා දැඩි ධෛර්යයකින් යුතුව සටන් කර ඇත.

එල්ටීටීඊය, 1998 අගෝස්තු මාසයේදී, සුදර්සන්, සම්බන්දර්, රාජවේල් සහ කාසිනාදන් නගුලේශ්වරන් යන අය රඳවා ගනු ලැබුවේ එහි බෙදුම්වාදී වැඩපිලිවෙලට එරෙහිව හා කම්කරු පන්තියේ සමාජවාදී එකමුතුව සඳහා ගෙනගිය අරගලය හේතුවෙනි. ඔවුන් නිදහස් කරනු ලැබුවේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා දියත් කල  ජාත්‍යන්තර උද්ඝෝෂනයකින් පසුව පමනි.

දරුනු සිවිල් යුද්ධය මධ්‍යයේ 2007 මාර්තු මාසයේදී සසප සාමාජික නඩරාජා විමලේශ්වරන් සහ ඔහුගේ මිතුරා වූ සිවනාදන් මතිවාතනන් කයිට්ස් හි පුන්ගුදුතිව් සහ වේලනායි අතර මුහුදු මාර්ගයේදී අතුරුදහන් විය. සියලු සාක්ෂි පෙන්වා දෙන්නේ, ඔවුන්ගේ අතුරුදහන් වීමට නාවික හමුදාව වගකිව යුතු බවයි. ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි දන්වන ලෙස අපි දිගින් දිගටම ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් කරනු ලබන අධිෂ්ඨාන සහගත උද්ඝෝෂන ව්‍යාපාරයක් මගින්, ආන්ඩුව සහ මිලිටරිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාර පරාජයකල හැකි බව සසප ට නිසැක ය.

සසප යේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හෙලා දකින ලෙසත්, සසප අපේක්ෂකයින්ට සිදුකරන හිරිහැර නතර කරනු යැයි ඉල්ලා සිටින ලෙසත්, අපි නැවතත් කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් සහ වෙනත් අයගෙන් උදක්ම ඉල්ලා සිටිමු.

විරෝධතා සටහන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවිය යුතු අතර එහි පිටපත් මැතිවරන කොමිසමේ සභාපතිට සහ සමාජවාදී සමානතා පක්ෂයට එවන්න.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්:

විද්‍යුත් තැපෑල:secdefence@defence.lk

ෆැක්ස්: +94 11 2541529

මැතිවරන කොමිෂන් සභාවේ සභාපති

විද්‍යුත් තැපෑල: Chariman@elections.gov.lk

ෆැක්ස්: +94 11 2868426

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

විද්‍යුත් තැපෑල: wswscmb@sltnet.lk

ෆැක්ස්: +94 11 2869239

Loading