අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ නිදහස ඇතුලු භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කරනු!

ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ නැගී එන කම්කරු අරගල මැඩීම සඳහා මිලිටරිය මත පදනම් වූ ආඥාදායක පාලනයක් සූදානම් කරමින් සිටින ශ්‍රී ලංකා ආන්ඩුව, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ මුවවෙන්  අන්තරජාල මාධ්‍ය ක්‍රියාකාරිකයන්, උද්ඝෝෂකයන් හා මාධ්‍යවේදීන්  දඩයම් කිරීම නව අඩියකින් තීව්‍ර කර තිබේ.

සමාජ මාධ්‍ය ගිනුම් තුල “සාවද්‍ය” තොරතුරු පලකිරීම හා වසංගත මර්දන වැඩසටහන්වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් “ද්වේශ සහගතව” විවේචනය කිරීම යන චෝදනා මත ශ්‍රී ලංකා පොලීසිය පසුගිය දෙමසකට වැඩි කාලයක්  තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු  අවම වශයෙන් හතලිහකට වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර ඇත. 

වැඩබලන පොලිස්පති විසින්, අප්‍රේල් 01 දින නිවේදනයක් නිකුත් කරමින්, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඇතුලු සෑම පොලිස් ස්ථානයකටම නියෝග කලේ කොවිඩ්-19 වසංගතය වැලැක්වීම සඳහා ක්‍රියාකරන රාජ්‍ය සේවකයන්ගේ “සුලු අඩුපාඩු” මතු කර පෙන්වමින් “බරපතල ලෙස” ඔවුන්ගේ “රාජකාරියට බාධා කරමින් හා ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ” අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර සඳහා අධිකරනයට ඉදිරිපත් කරන ලෙසයි. අත්අඩංගුවට ගැනීම් කරනු ලැබ තිබුනේ මෙම නියෝගය අනුවයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වන තරිඳු අවිෂ්ක අත්අඩංගුවටගෙන තිබුනේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ රෝහල, ප්‍රභූවරුන් සඳහා කොරොනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වෙන් කර ඇති බවට තම ෆේස්බුක් ගිනුමේ  'අසත්‍ය' පල කලේයැයි චෝදනාව කරමිනි. 

වසංගතය තුරන් කිරීම සහ නිරෝධායන වැඩසටහන අතරතුර සිදු වූ අසාධාරනයන් සම්බන්ධයෙන් අදාල ප්‍රාදේශීය ලේකම්ගේ ක්‍රියාකලාපය සිය ෆේස්බුක් ගිනුම තුල විවේචනය කිරීම නිසා තවත් තරුනයෙකු ත‍්‍රිකුනාමලයේ උප්පුවෙලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබිනි.

වසංගතය පැතිරීයාම සම්බන්ධයෙන් පොලීසිය, මිලිටරිය හා ආන්ඩු⁣ගැති රජයේ හා පුද්ගලික මාධ්‍ය හරහා  මුස්ලිම් මහජනයාට වගකීම පැවරීමට උත්සාහගනිමින්  ගෙනගිය වර්ගවාදී ප්‍රකෝපකරනය මධ්‍යයේ එයට  එරෙහිව තම ෆේස්බුක් ගිනුමේ අදහස් පලකල මුස්ලිම් ජාතික රම්සි රාසික්, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ අත්අඩංගුවට  ගනු ලැබ ඇත. රාසික් නිරන්තරයෙන් වර්ගවාදයට එරෙහිව හඬනැඟු අයෙකු බව ඔහුගේ පලකිරීම් සාක්ෂි දරයි. 

රාසික් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, ආන්ඩුව දැනුවත්වම  මුස්ලිම් ජනකොටස් එල්ල කර ගනිමින් සමාජමාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා නිරන්තරයෙන් කෙරෙන වර්ගවාදී ප්‍රචාරන හා ප්‍රකාශ පිලිබඳ කිසිවකුට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට නැති පසුබිමක් යටතේය. 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන, ඔහු නිරන්තරයෙන් කරන අනීතික තර්ජනය කිරීම් මධ්‍යයේ, මාධ්‍යයට ප්‍රකාශ කලේ “අසත්‍ය” තොරතුරු පලකිරීම පමනක් නොව, ඒවා බෙදා හැරීම හා නැවත ප්‍රචාරය කිරීමද වරදක් බවත් එසේ කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත්ය. 

අත්අඩංගුවට ගත් අය අධිකරනයට ඉදිරිපත් කරනු ලැබුවේ  2007 අංක 24 දරන පරිගනක අපරාධ පනතේ 6 වන වගන්තිය හා දන්ඩනීති සංග්‍රහය යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සෙනෙවිරත්න සඳහන්කර ඇත.  නමුත් “අසත්‍ය” හෝ  “ද්වේශසහගත” තොරතුරු පලකිරීම රටේ කිසිදු නීතියක් යටතේ අපරාධ වරදක් නොවේ. 

එමෙන්ම, “අසත්‍ය” තොරතුරු පලකිරීම යන චෝදනාව යටතේ මින් පෙර රටේ කිසිවකු අත්අඩංගුවට ගත්බවට වාර්තා වී නොමැත. එසේ කිරීම සඳහා කිසිදු නෛතික ප්‍රතිපදානයක් නොමැති පසුබිමක 'අසත්‍ය' තොරතුරු පලකිරීම අපරාධමය වරදක් බවට පත්කරන නීතියක් ගෙන ඒමට ගිය වසරේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව  දැරූ තැත ව්‍යර්ථ විය. 

පරිගනක අපරාධ පනත යටතේ වරදක් සම්බන්ධව චෝදනා ලැබූවෙකුට ඇප ලබාදිය හැක්කේත්, එම වරදක් පිලිබඳ විභාග කල හැක්කේත් මහාධිකරනයට පමනි.  පනතේ 6 වන වගන්තිය යටතේ යමෙකු වරදකරු කරනු ලැබුවහොත් වසර පහක් දක්වා සිරදඬුවමකට එම තැනැත්තා යටත්කල හැකිය. 

වසරකට පෙර  අප්‍රේල් 01 දින, තම ෆේස්බුක් ගිනුමේ කෙටිකතාවක් පල කිරීම මගින් බුද්ධ චරිතයට අපහාස කලැයි යන අභූත චෝදනාව මත, කලාකරුවෙකු වන ශක්තික සත්කුමාර රටේ ඉතිහාසයේ පලමු වරට, අයිසීසීපීආර් පනත යටතේ  අත්අඩංගුවට ගැනීමට සිරිසේන-වික්‍රමසිංහ අන්ඩුව පොලීසිය යොදාගත්තේය. ⁣එම පනත යටතේ ඔහු වරදකරු කරනු ලැබුවහොත් ඔහුට වසර දහයක් දක්වා සිරදඩුවම් පැනවනු ලැබිය හැකිය.  

කොරෝනා ⁣රෝග ආසාදනය සම්බන්ධව සිද්ධියක් සමාජ මාධ්‍යවල වාර්තා කල අන්තර්ජාල මාධ්‍යවේදියෙකුද, ඔහුට තොරතුරු සැපයූ වෛද්‍යවරයෙකුද 'අසත්‍ය' ප්‍රවෘත්ති පලකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කෙරුනේ රෝගය වැලඳීම පිලිබඳ නිල නිවේදන මාධ්‍යයන්හි වාර්තා කෙරෙනුයේ ඉතා අඩුවෙන් බව ප්‍රචලිත කරුනක්ව පැවතියදීය.

වසංගතය මධ්‍යයේ සහනාධාර නොලැබීමට හා ආධාර බෙදීමේදී සිදුවූ අසාධාරනකම්වලට එරෙහිව ගම්පොල දොලුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂනයක් සංවිධානය කල අයෙකු පේරාදෙනිය පොලීසිය විසින් ඇඳිරිනීතිය කඩකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.

අභූත චෝදනා නගා අත්අඩංගුවට ගැනීම හරහා, පරීක්ෂන අවසන්වනතුරු බන්ධනාගාරගත කිරිමට ඇති අධිකරන ක්‍රියාමාර්ගය, වරදක් ඔප්පුකිරීමට පෙර දඬුවම් පැමිනවීමේ ක්‍රමවේදයක් වශයෙන් මහජනයා බියවැද්දිම සඳහා ආන්ඩුව අපයෝජනය කරමින් සිටි.

මෙම අත්අඩංගුවට ගැනීම් හරහා ආන්ඩුව පැහැදිලි නිවේදනයක් නිකුත් කර ඇත: එනම්,  “රජය විවේචනය නොකරනු!” යන්නයි. 

අප්‍රේල් 01 නියෝගය මෙන්ම මෙම සෑම අත්අඩංගුවට ගැනීමක්ම නීති විරෝධීය. අත්අඩංගුවට ගැනීම් දිගටම ක්‍රියාත්මක කෙරුනේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම නියෝගය ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශකර තිබියදී ය. විසම්මුතිකයන් තලා දැමීම සඳහා සමාජමාධ්‍ය හා විකල්ප අන්තර්ජාල මාධ්‍ය ඉලක්ක කරගැනීම මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කෙටීමකි.

වසංගතය වැලැක්වීම සම්බන්ධයෙන්  මුලසිටම සාපරාධී නොතැකීමෙන් හා නොහැකියාවෙන් කටයුතු කල ආන්ඩුව, ඇඳිරිනීතිය පැනවීමේ සිට අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කරමින් නිකුත්කර ඇති ජනාධිපති මාධ්‍ය නිවේදන සෑම එකක්ම පාහේ නීතියට පටහැනිය. රටේ ධනපති නීතියමත් මායිම් නොකරමින් සහ ඒවා අමු අමුවේ උල්ලංඝනය කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරන රාජපක්ෂ පසුගිය වසරේ නොවැම්බරයේදී බලයට පත්වීමෙන් පසු සමාජ-ආර්ථික දේහයේ සෑම ක්ෂේත්‍රයකටම මිලිටරිය මැදිහත් කිරීමේ වැඩකටයුතු තීව්‍ර කරමින්  ආඥාදායක පාලනයක පූර්ව කොන්දේසි සකස් කරමින් සිටී.  

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ සිට ආන්ඩුවේ සිවිල් පරිපාලනයේ ඉහලම තනතුරුවලට හිටපු හමුදා නිලධාරීන් පත්කර ඇති රාජපක්ෂ වසංගත මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානත්වයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කර සෞඛ්‍ය සේවය ඇතුලු අදාල සේවාවන් මිලිටරියේ අධීක්ෂනය යටතට පත් කෙරුනි. රටේ 'සාමය පවත්වාගැනීම' සඳහා ත්‍රිවිධ හමුදාව පොලිස් බලතල සහිතව රටපුරා ලිහා දමා ඇත්තේ ය.  වසංගතය මධ්‍යයේ 'ආර්ථිකය නැවත විවෘත කිරීම' සඳහා අගනුවරට මිලිටරිය කැඳවූ ආන්ඩුව, සමස්ත දිවයිනම  මිලිටරිය මත පාදකවූ  පාලනයක් වෙතට වේගයෙන් ධාවනය කරවමින් තිබේ.

මෙවන් පසුබිමක් ය⁣ටතේ, වසංගත තත්ත්වයට පෙර සිටම මාධ්‍යවේදීන්ට මරන වරෙන්තු නිකුත් කරමින් සහ මෘග ප්‍රහාර එල්ල කරමින් රාජපක්ෂ ආන්ඩුව උත්සන්න කල මර්දන වැඩසටහනේ දිගුවක් ලෙස දැන් අන්තර්ජාල මාධ්‍ය හා සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයින් එල්ලකරගත් දඩයම ක්‍රියාත්මක වේ.

අප්‍රේල් 01 දින ඇඳිරිනීතිය පනවා හමුදා හා පොලිස් ආරක්ෂාව දැඩිකොට තිබියදීම කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකු වන නඩරාසලිංගම් තුෂාන්ත්ට නාඳුනන පිරිසක් විසින් කඩුවලින් කොටා පහරදී තිබුනි. පසුගිය ජනවාරි 23 දින, මිලිටරිය වාඩිලාසිටින මඩකලපුවේ, දෙමල මාධ්‍යවේදීන් සත් දෙනෙකුට මරන තර්ජන එල්ල කරමින් අත්පත්‍රිකා ⁣නිකුත් කර තිබිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තන්ත්‍රයට සම්බන්ධ නිලනොවන ඝාතක කල්ලි විසින් මරාදමන ලද, ලසන්ත වික්‍රමතුංග ඇතුලු මාධ්‍යවේදීන් සිහිකිරීමේ උදඝෝෂනයකට සහභාගීවීම ඔවුන්ට එරෙහි මරන වරෙන්තු නිකුත් කිරීමේ ආසන්නතම කරුනය.

ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය බොහොමයක් ආන්ඩුවේ නිලනොවන හොරනෑ බවට පත්ව ඇති පසුබිමක සමාජමාධ්‍ය හා අන්තර්ජාල ප්‍රකාශන විකල්ප මාධ්‍ය ලෙස වැඩිවශයෙන් භාවිතා කෙරේ. පසුගිය ආන්ඩු සමයේ ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිහිපවරක්ම ර⁣ටපුරා සමාජමාධ්‍ය වාරනයට ලක්කෙරිනි. 

වසංගතය හමුවේ සහන සේවාවන් සැපයීමේ කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව නගර අගුලු දැමීම, වසංගතයට හා මරනයේ අන්තරායට කම්කරු-පීඩිත මහජනතාව නිරාවරනය කරමින් නැවත වැඩට කැඳවීම ආදිය සම්බන්ධයෙන් වර්ධනය වෙමින් පවතින්නේ පුලුල් මහජන වික්ෂෝපයකි. 

ඊට සමාන්තරව, රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු හා මිලිටරීකරන වැඩපිලවෙලටත්, උග්‍රවන සමාජ අසමානතාවයට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ටත් එරෙහිව ගොඩනැගෙමින් පවතින මහජන විරෝධයට ප්‍රතිචාරයක් ලෙස භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහසට එරෙහි ආන්ඩුවේ වත්මන් මර්දනය දිගේලි කරමින් තිබේ.

කෙසේ නමුත්, වෘත්තීය සමිති හා ව්‍යාජ වාම කන්ඩායම් ආන්ඩුවට ආයාචනා කරමින් ප්‍රකාශනයේ නිදහස මර්දනය නොකරන ලෙස ආන්ඩුවට නිරර්ථක ආයාචනා කරමින්  දේශපාලන උගුල් ඇටවීමක නිරතව සිටී.

ලංකා ගුරු සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය,  තරුන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආදී වෘත්තීය සමිත් ඇතුලු සංවිධාන 32ක් ජනාධිපතිවෙත යැවූ ලිපියකින්, මෙලෙස උද්ඝෝෂකයන් හා සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිවන බවට  දන්වා ඇත. ලිපිය තුල ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙල පිලිබඳ කිසිදු සඳහනක් නැති අතර 'අදහස් ප්‍රකාශ කිරීමට හා විරෝධය පෑමට ජනතාවට ඇති මූලික අයිතිය ආරක්ෂා කරන ලෙස' ජනාධිපතිට තන්නලව් කර සිටී.

ජනාධිපති ආඥාදායකත්වයක් එල්ල කරගත් රාජපක්ෂ ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙලට එරෙහි වීමකින් තොරව, ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා  යැයි කියමින්, එම සංවිධාන ගෙන යන වැඩපිලිවෙල අන්ත බංකොලොත් හා අන්තරායකාරී එකකි. 

ඊනියා විරුද්ධ පක්ෂ වන, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල ධනපති පක්ෂ, මුස්ලිම් කොංග්‍රසය ඇතුලු මුස්ලිම් ධනපති පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුන, 'වසංගතය මර්දනය කිරීම සඳහා' ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලට තම පූර්න සහයෝගය ප්‍රකාශ කලහ. එමගින් ඔවුන් සහයෝගය දී ඇත්තේ වසංගතය මැඩීමේ නාමයෙන් රාජපක්ෂ ගෙනයන රුදුරු මිලිටරීකරන වැඩපිලිවෙලට යි. ව්‍යාජ-වාම සංවිධානයන් වන, නව සම සමාජ පක්ෂය  හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉහත කඩතුරාව යටතේ ආන්ඩුවේ මිලිටරීකරනයට පිටුබලය සපයති.

කම්කරුවන්, මාධ්‍යවේදීන් හා කලාකරුවන් තීරනාත්මක ලෙස මෙම ධනපති ව්‍යපාරවලින්ද ඒවායේ ව්‍යාජ-වාම සහායකයන්ගෙන්ද බෙදී වෙන්විය යුතුය. ප්‍රකාශනයේ නිදහස ඇතුලු අන් සෑම ප්‍රජාත්නත්‍රවාදී අයිතියක්ම ආරක්ෂා කර ගත හැක්කේ මේ සියලු ධනපති සංවිධානවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවාගනිමින්, කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදීමෙන්  පමනි. 

වසංගතයට පෙරසිටම එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රන්සය, ග්‍රීසිය, බ්‍රිතාන්‍ය⁣ය, ස්පාඤ්ඤය, ඉන්දියාව මෙන්ම ලොව සෑම රටකම ආන්ඩු,  දැවැන්ත ආර්ථික අර්බුදයක කොන්දේසි මධ්‍යයේ ක්‍රියාවට දැමූ ප්‍රතිවිප්ලවීය ක්‍රියාවන්ට එරෙහිව වැඩෙන කම්කරු පන්තික අරගල තලා දැමීම සඳහා පොලීසිය, මිලිටරිය, බුද්ධි අංශ සීරුවෙන් තබමින් ද, වර්ගවාදය හා අන්ත දක්ෂිනාංශික ප්‍රතිගාමී බලවේග පෝෂනය කරමින් ද, ආඥාදායක පාලනරූපවලට මාරුවෙමින් සිටී. රාජපක්ෂ ආන්ඩුවේ ක්‍රියාකලාපය මෙම  ජාත්‍යන්තර සන්තතියේම කොටසකි.

පහත සටන්පාඨ මත කලාවේ, භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා නොපමාව පෙරට එමින් කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව  ගොඩනැගීම සඳහා එක්වෙන ලෙස අපි  කම්කරුවන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් හා තරුනයන් ට ආරාධනා කර සිටිමු:

ව්‍යාජ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙනඇති සියලු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා උද්ඝෝෂකයින් කොන්දේසි විරහිතව වහා නිදහස් කරනු!

කලාකරුවන්ට, මාධ්‍යවේදින්ට හා අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට එරෙහිව ඔවුන්ගේ ලිපි, ප්‍රකාශන හෝ නිර්මාන මත ගොනුකොට ඇති හා ගොනුකිරීමට නියමිත නඩු ක⁣ටයුතු වහා අහෝසි කරනු!

අයිසීසීපීආර් පනත, පරිගනක අපරාධ පනත ඇතුලු මර්දක නීති වහා අහෝසි කරනු!

ප්‍රජාතන්ත්‍රිය අයිතීන් ආරක්ෂා කරනු!

කම්කරු පන්තියේ ස්වාධීන ජාත්‍යන්තර සමාජවාදී එකමුතුව සඳහා පෙරට!

Loading