ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මහ මැතිවරනයේ දෙවන අන්තර්ජාල රැස්වීම පවත්වයි

මෙම ලිපිය අද දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) එහි මුහුනුපොත් පිටුවේ සජීවී ව විකාශනය කරන දෙවන අන්තර්ජාල මහ මැතිවරන රැස්වීම ජූලි 11 සෙනසුරාදා පස්වරු 3ට පවත්වනු ඇත. අගෝස්තු 5දා පැවැත්වීමට නියමිත මහ මැතිවරනයේ දී කොලඹ, නුවර එලිය හා යාපනය යන දිස්ත්‍රික්කවලට අපේක්ෂකයන් 43 දෙනෙකු ඉදිරිපත් කරමින් සසප තරඟ වදිනු ඇත.

සෑම තැනක ම ආන්ඩු හා පාලක පන්තීන් ප්‍රමානවත් වැලැක්වීමේ පියවර ගැනීම තුච්ඡ ලෙස නො තකා හැරීම හේතුවෙන්, කොවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිර යමින් පවතිද්දී, ශ්‍රී ලංකාවේ මැතිවරනය පවත්වනු ලබයි. ඉන්දියාවේ ද සමස්ත දකුනු ආසියානු කලාපය තුල ද එම වසංගතය දැන් පාලනයෙන් තොරව තීව්‍ර වෙමින් තිබේ.

වසංගතය ධනවාදයේ ගෝලීය අර්බුදය ගැඹුරු කර ඇති අතර, ලෝකයේ ඔවුන්ගේ සහචරයන් මෙන්, ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය, රැකියා, වැටුප් හා වැඩ කොන්දේසි මත රුදුරු ප්‍රහාරයක් දියත් කරන අතරේ ගම්බද දුගීන් මත කිව නො හැකි තරමේ දුෂ්කරතාවන් පටවමින් සිටිති.

මිලිටරිය මත පදනම් වන හා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම්වල පිටුබලය ලබන ආඥාදායක තන්ත්‍රයක් ස්ථාපනය කිරීම රාජපක්ෂගේ ඉලක්කය යි. මෙම ප්‍රතිගාමී න්‍යාය පත්‍රය ඉදිරියට දැමීම පිනිස ව්‍යවස්ථාව වෙනස් කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසු වේ. පූර්වයෙන් රට පාලනය කර ඇත්තා වූ හෝ මහ ව්‍යාපාරික පාලනයන්ට මුක්කුව දී ඇති අපකීර්තිමත් විරුද්ධ පක්ෂවලට, මෙම න්‍යාය පත්‍රය සමග මූලික මතභේදයක් නැත. ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම පක්ෂ යනු මෙම ධනේශ්වර පක්ෂවල හෙංචයියන් ය.

සසප මැතිවරනයට තරඟ වදින්නේ මේ සියලු දේශපාලන සංවිධානවල විරුද්ධ ව ය. දැන් ආන්ඩුවේ හා හාම්පුතුනගේ ප්‍රහාරයන්ට එරෙහි ව සටන් වැදීමට ඉදිරියට එන කම්කරු පන්තියට, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ පදනම මත ඒකාබද්ධ අරගලයක් දියත් කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන එකම පක්ෂය එය යි. සසප මැතිවරන මැදිහත් වීම, ලෝක සමාජවාදී විප්ලවය සඳහාත්, අධිරාජ්‍යවාදී යුද්ධයට හා සමාජ අසමානතාවට එරෙහි වත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂ ගෙන යන අරගලයෙහි කොටසකි.

සසප අපේක්ෂකයන් හා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස්, මෙම තීරනාත්මක ප්‍රශ්න සාකච්ඡා කරන අපේ අන්තර්ජාල රැස්වීමට සහභාගි වන ලෙස අපි කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමු.

Loading