මහජනයා අන්තරායකාරී ලෙස වසංගතයට නිරාවරනය කිරීමේ සහ නිමක් නැති රැකියා විනාශයේ “නව සාමාන්‍යය”

ජූනි 23 දා ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ  “බොහෝ රටවල් කොවිඩ්-19 න් පීඩා විඳින අතර, ලංකාව සාමූහික ප්‍රයත්නයන්ගෙන් විශිෂ්ට ජයග්‍රහනයක්” ලබා ඇති බවයි. 

රාජපක්ෂ, ඔහුගේ ආන්ඩුව සහ ධනපති මාධ‍්‍ය විසින් ගෙනයන “විශිෂ්ට ජයග්‍රහනයක්” පිලිබඳ මෙම උද්ඝෝනය පදනම් වන්නේ, ආසාදිතයන් බවට දෛනිකව හඳුනා ගැනෙන සංඛ්‍යාවේ අඩුවීම යන වියුක්ත කරුන මත පමනකි.

මේවනවිට, කොවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී ලංකාව තුල 11 දෙනෙකුගේ ජීවිත බිලිගෙන ඇති අතර, 2076 දෙනෙකු ආසාදනයට ලක්ව ඇත. මෙම සංඛ්‍යාවන් සහ දැනට හඳුනා ගැනෙන ආසාදිතයන් ගනන  සාපේක්ෂ වසයෙන් අඩු වුවද, කවර හෝ මොහොතක එම තත්වය ක්ෂනිකව වෙනස් කරමින් පුපුරායන ආකාරයෙන් වසංගතය ව්‍යාප්තවීමේ කොන්දේසි පවතින බව ජාතික සහ ජාත්‍යන්තර වසංගත රෝග විශේෂඥයෝ පෙන්වා දෙති.

සෙනසුරාදා දිනයෙන් අවසන් වූ පැය 24 තුල, ලොවපුරා විවිධ රටවලින් කොවිඩ්-19 ආසාදිතයන් 212,326 දෙනකු හඳුනාගත් බවත්, එය එක් දිනක් තුල වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාව බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඉරිදා දිනයේ ඉන්දියාවෙන් ද ආසාදිතයන් 24,000 ක් හඳුනා ගැනුනේ, එරට තුල එක් දිනකදී හඳුනාගත් උපරිම රෝගීන් සංඛ්‍යාව වාර්තා කරමිනි. 

ශ්‍රී ලංකාව කොදෙව්වක් වුවද, ගෝලීයකරන ක්‍රියාවලිය යටතේ එය ජාත්‍යන්තර නිශ්පාදන-ආර්ථිකයට වඩාත් ඒකාග්‍රව ඇති තතු යටතේ, රටතුලට සහ ඉන් පිටතට සංචරනය වන සීඝ්‍රතාව දැවැන්ත පරිමානව ඉහලගොස් ඇත. එබැවින්, විශේෂයෙන්ම, ගුවන්තොටුපල සාමාන්‍ය පරිදි විවෘත කිරීමත් සමග මෙම තත්වය නාටකාකාරව වෙනස්විය හැක.

පීසීආර් පරීක්ෂන ඉතා සීමිත බැවින් රටෙහි වසංගත ව්‍යාප්තිය පිලිබඳ සැබෑ තක්සේරුවක් ඇති කරගත නොහැකි බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති. එවන් තක්සේරුවක් සඳහා අවම වසයෙන් දිනකට අහඹු පීසීආර් පරීක්ෂන 5000 ක් වත් සිදුකලයුතු බව ඔවුනගේ මතය යි. 

සෘජුව ප්‍රකාශ නොකල ද, රාජපක්ෂ තමා ලද “විශිෂ්ට ජයග්‍රහනය” ලෙස සලකනුයේ, වසංගතය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පැවතියදී, කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත නොතකා, ඔවුනගේ විරුද්ධත්වය මැද “ආර්ථිකය යලි විවෘත කර ගැනීම” යි. මෙය පිටුපසින් පැවති ඒකායන අරමුන වූයේ, මහා සමාගම් වල ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් පන ගන්වා දීමයි.

රාජපක්ෂ ගේ ආන්ඩුව, එයට පූර්න සහයෝගය ලබාදුන් විපක්ෂ ධනපති පක්ෂ සහ ධනපති මාධ්‍ය බිස්ස ඇතුලු සමස්ත ධනේශ්වර සංස්ථාපිතයම, ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය “ඉතා සාර්ථක” අයුරින් ජයගෙන ඇති බවට කෙරෙන සව්දිය පිරීම් යටින් පවතින්නේ එයයි.

කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත්කල, ඔවුන් කවර ලෙසකින් හෝ වසංගතය ජයගෙන නොමැතිවා පමනක් නොව, උග්‍රවන වසංගතයෙන් සහ එය දඩමීමා කර ගනිමින් ධනපති ආන්ඩු සහ හාම්පුතුන් තම ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාරයන්ගෙන් රුදුරුම ආකාරයකින් බැට කමින් සිටිති.   

මෙම සාපරාධී වැඩපිලිවෙල ඉදිරියටම ගෙයනුවස්, වසංගතයේ ව්‍යාප්තිය පිලිබඳ වාර්තා පල කිරීම මාධ්‍ය විසින් සිතාමතාම අවම කොට ඇති අතර, ඉඳහිට එවැන්නක් පල කල ද ඒවායෙන් අඟවනුයේ ද කවර හෝ අන්තරායකාරී තත්වයක් නොමැති බවයි.  

දින තුනකට පෙරාතුව, කොලඹ වෙරලබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියකු හඳුනාගත් අවස්ථාවේ දිවයින පුවත්පත එය වාර්තාකලේ මෙසේය: “නෞකාවක සේවය කරමින් සිටි මෙම දෙමල ජාතිකයා ඉන්දියාවේ සිට ශ‍්‍ර‍්‍රී ලංකාවට පැමින තිබුනේ ඉකුත් ජුනි මස 08 වැනිදාය......මෙම රෝගියා සාමාන්‍ය සමාජයෙන් හමු නොවූ නිසා කොරෝනා වෛරසය පැතිරයෑමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.”

ශ්‍රී ලාංකික සමාජය තුල කොවිඩ්-19 හි තර්ජනය මූලික වශයෙන් අවසන් වී ඇතැයි, කොරෝනා වසංගත මර්දන බලකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පසුගිය සතියේ මාධ්‍යයට පැවසීය. 

ආන්ඩුවේ “සාර්ථකත්වය” කියාපෑම සඳහා අවප්‍රමාන කෙරුනු නිල සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් සිල්වා ඇතුලු නිලධාරීන් කරන සැඳහුම් කෙසේ වෙතත්, රෝගය පැතිරීම නිල සංඛ්‍යාවන්ට වඩා දෙතුන් ගුනයකින් වැඩි වියහැකි බවත්, ප්‍රජා මට්ටමින් ආසාදනය ඇරඹී තිබිය හැකි බවත් ස්වාධීන තක්සේරු වලින් පෙන්වා දෙයි. 

මෙම තත්වය තුල, රාජපක්ෂ ආන්ඩුව අදසිට පාසැල් යලි විවෘත කරනුයේ, ලක්ෂ සංඛ්‍යාත පාසැල් දරුවන් ගේ, ගුරුවරුන් ඇතුලු පාසැල් කාර්ය මන්ඩලයන්ගේ සහ දෙමාපියන්ගේ ජීවිත සාපරාධී ලෙස නොතකමිනි. 

ආරම්භයේ සිටම ආන්ඩුවේ පිලිවෙත වූයේ සිදුවියහැකි ව්‍යසනයේ වගකීම මහජනතාව මත පැටවීමයි. ජූනි 14 දා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ, සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග කල සාකච්ඡාවක දී මෙම පිලිවෙත නැවතත් ඉදිරියට දැමීය. 

කම්කරුවන් යලි වැඩපොලවලටත්, දරුවන් පාසැල්වලටත් අන්තරායකාරී ලෙස දැක්කීමට රාජපක්ෂ ආන්ඩුව ගත් තීරනය සමග එකපෙලට සිට ගන්නා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා,  “සමාජ දුරස්ථකරනය, දෑත් ශෝධනය, මහජනයා ගැවසෙන තැන්වල මුව වැසුම් ලාගැනීම, සෙනග අතර ගැවසීමෙන් වැලකීම වැනි වැදගත් ආරක්ෂන පියවර අපට අමතක කරන්නට බැහැ. ...........එසේ නොකලහොත් අපට ගෙවන්නට සිදුවෙන්නේ සුලුපටු වන්දියක් නොවේ” යැයි  ව්‍යාජ අනතුරු ඇඟවීමක් කලේය.

එහෙත්, ප්‍රසිද්ධ ගමනාගමනයේදී, වැඩපොලවලදී සහ පාසැල් තුලදී මෙම සෞඛ්‍ය උපදේශන පිලිපැදීමට අවශ්‍ය අවම පහසුකම් පවා නොමැති තතු තුල අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන මෙම ප්‍රකාශයේ ව්‍යාජභාවය, ඔහුගේම සැඳහුම් මත සන්ඩේ ටයිම්ස් තබන සටහනෙන් උත්ප්‍රාසාත්මකව සනාථ වෙයි. “රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවල හා පොදු ප්‍රවාහන සේවා ගැන කනස්සල්ලෙන් කතා කල ඔහු කීවේ ඒවායේ මිනිසුන් හැපි හැපී ඉන්නා බවයි.”

ආන්ඩුව සහ මාධ්‍යය යලියලිත් කියා සිටින්නේ ඉහත “සෞඛ්‍ය මාර්ගෝපදේශන පිලිපදිමින්” සියලු වැඩකටයුතුවල නිරතවීම “නව සාමාන්‍යය” බවයි. ආන්ඩුව සහ මාධ‍්‍යය විසින් ප්‍රකාශිත, මෙම “නව සාමාන්‍යය” ට විපරීතව, ඊනියා සෞඛ්‍ය මාර්ගෝපදේශන පිලිපැදීමට අවශ්‍ය අවම පහසුකම් හෝ නොමැතිව මරනය දෝතින් දරා වැඩට යාම කම්කරුවන්ගේ නව සාමාන්‍යය බවට පත් තිබේ. 

කම්කරුවන් මුහුනදෙන නව සාමාන්‍යයට තවත් අර්ථභාරී අංශයක් අයත් වෙයි.

එය වනාහි, කම්කරු පන්තික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සීමිත හෝ නීතිමය රාමුවක් පැවතියේ නම්, එය කවර ලෙසකින් හෝ නොතකා හාම්පුතුන් සහ ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව වැඩට බැස තිබීම සහ මහජනතාවගේ සෑම වැඩ කටයුත්තකටම මිලිටරිය මැදිහත් වෙමින් සිටීම යි.

වසංගතය මධ්‍යයේම කම්හල් ගනනාවක් වසා දමා ඇති අතර එමගින් දහස් ගනනකට රැකියා අහිමි කෙරී පවතී. යක්කල “එස්ක්වෙල් එවර්බෙස්ට්” සහ කටුනායක වෙලඳ කලාපයේ බ්‍රැන්ඩික්ස්, ස්මාර්ට් ෂර්ට් සහ ක්‍රිස්ටල් මාටින් ඇතුලු කම්හල් ගනනාවකම කම්කරුවෝ මෙම ප්‍රහාරයට මුහුන දී සිටිති.

බොහෝ කම්හල් වල සහ ආයතනවල කම්කරුවන් සේවයට කැඳවන්නේ කොටස් වසයෙන් වන අතර ඔවුනට ගෙවනු ලබන්නේ මූලික මාසික වැටුපෙන් අඩක් හෝ රුපියල් 14,500 ක් වන උපරිමයකි. එම වැටුපද ගනනය කෙරෙන්නේ දෛනික පදනමකිනි. 

මෙම “නව සාමාන්‍යය” යටතේ කම්කරුවන්ගේ මාසික වැටුප් ක්‍රමය දෛනික වැටුප් ක්‍රමයකින් විස්ථාපනය කෙරී ඇති අතර අනෙකුත් දීමනා සියල්ල අහිමි කෙරී පවතී. 

හාම්පුතුන්, ආන්ඩුව සහ වෘත්තීය සමිති අතර අත්සන් කෙරුනු “ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ” එකඟතාවයන් අනුව ක්‍රියාත්මක වන මෙම කප්පාදු නීතිගත වන ආකාරයෙන් කම්කරු නීති සංශෝධනය කිරීමක්ද හාම්පුතුන්ගේ සම්මේලනය “නව සාමාන්‍යය” යටතේ   බලාපොරොත්තු වෙයි. “මෙම නව නියමයන් පිලිබිඹු වන ආකාරයට පත්වීම් ලිපි සහ ගිවිසුම් සකස් කිරීමට අවශ්‍ය  නව වගන්ති  සූත්‍රගත” කලයුතු බව සම්මේලනය එහි ලා පවසයි.

ආන්ඩුවේ “නව සාමාන්‍යය” ගලා එන්නේ, වසංගතයෙන් උග්‍ර කෙරුනු, ආන්ඩුවේ ගැඹුරු ආර්ථික අර්බුදයෙනි. එම අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ක්‍රියාවට දැමීම හැර ආන්ඩුවට අන් විකල්පයක් නොමැත. දැනටමත් රජයේ සේවකයන්ගේ දීමනා කප්පාදුව ආරම්භ කර ඇත. රෝහල් සේවකයන්ගේ අතිකාල දීමනා සහ අප්‍රේල් උත්සව දීමනා කපා දැමීමට එරෙහිව, මහනුවර, බලපිටිය සහ වලස්මුල්ල ඇතුලු රෝහල් කීපයක කම්කරුවෝ විරෝධතාවන් හි නිරත වූහ.

2020 අගවන විට රටෙහි අය-වැය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 9.3 දක්වා ඉහල නගිනු ඇතැයි තක්සේරුකොට ඇති නමුත්, එය සියයට 3.5 ක් දක්වා අඩු කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දී ඇති විධානයට අනුව ඉදිරි මාස කීපය තුල දැවැන්ත කප්පාදු මාලාවකට යෑමට ආන්ඩුවට සිදුවනු ඇත. 

කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි මෙම ප්‍රහාරයන් රුදුරුම ආකාරයෙන් එල්ල කරද්දී, මහා සංගතයන්ට, ඉතා අඩු පොලියට හෝ පොලී රහිතව මුදල් පොම්ප කිරීම වඩවඩාත් වේගවත් කිරීම මෙම “නව සාමාන්‍යයේ” අති මූලික ලක්ෂනයකි. ජූලි 1දා පටන් වානිජ බැංකු මගින් රටෙහි මහ ව්‍යාපාරයන්ට රුපියල් බිලියන 150ක දැවැන්ත මුදල් සම්භාරයක් මුදාහරින බව, ශ්‍රී ලංකාවේ මහ බැංකුව ජුනි 28දා නිවේදනය කලේ ය. මෙම නිවේදනය කලේ, වැඩිපුර අරමුදල් ඉල්ලමින් මහ ව්‍යාපාර කල ඉල්ලීම්වලට අනුව ජනාධිපති රාජපක්ෂ  මහ බැංකුවට දුන් උපදෙස් මත ය. 

කෙසේ නමුත්, වසංගතයට පෙරාතුව ඇවිලෙමින් තිබූ පන්ති අරගල රැල්ල, එම කප්පාදු මගින් යලි පිබිදී ඉස්මත්තට පැමිනෙන බව ජනාධිපති රාජපක්ෂ හොඳින්ම දනී. පසුගිය නොවැම්බරයේ ජනාධිපති ධුරයට පත්වූදා සිට ඔහු තම මිලිටරීකරන වැඩපිලිවෙල ආරම්භ කලේ වැඩෙන පන්ති අරගල රුදුරු ලෙස තලා දැමීමේ අරමුනෙනි.

ජනාධිපති රාජපක්ෂ, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකු සහ තමාගේ සමීපතමයෙකු වන කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් තනතුරට පත්කර ගත්තේය. එතැන් පටන් වැදගත් රාජ්‍ය ආයතන ගනනාවකම ප්‍රධාන තනතුරු වලට විශ්‍රාමික සහ සේවයේ නියුතු ඉහල හමුදා නිලධාරීන් පත් කෙරුනි. 

වසංගතය හමුවේ, දුගී මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සැපයීමට විධිමත් වැඩපිලිවෙලක් සම්පාදනය නොකරමින්, ආන්ඩුව ක්‍රියාවට නැංවූ අගුලුදැමීම ආදී පියවරයන් කෙරෙහි වැඩුනු මහජන විරෝධය පුපුරා ගියහොත් එය මැඩීම එල්ල කර ගනිමින්, කොරෝනා මර්දන යාන්ත්‍රනයේ ප්‍රධානත්වය රාජපක්ෂ විසින් හමුදාපති සිල්වාට භාරදුනි. එතැන් පටන් මිලිටරීකරන ක්‍රියා දාමය වඩාත් වේගවත් විය. 

එක්සත් ජනපදයේ සිට ඉන්දියාව දක්වා වන සෑම රටක්ම අලලාගත් ජාත්‍යන්තර ප්‍රපංචයක් වන මෙම “නව සාමාන්‍යය” කම්කරුවන් විසින් කිසිසේත් ඉවසා දරා නොසිටින බව, ලොවපුරා වැඩෙන පන්ති අරගල රැල්ලෙන් සනාථ කෙරෙයි. ඇමරිකාවේ පොලීසිය විසින් ජෝජ් ෆ්ලොයිඩ් මරා දැමීමට එරෙහිව ලොවපුරා නැගුනු විරෝධතා රැල්ල ඒ පිලිබඳ බලගතු සාක්ෂියකි. 

වසංගතය මධ්‍යයේ යලි වැඩට කැඳවීමට, කම්හල්වල පවත්නා සෞඛ්‍ය අනාරක්ෂිත තත්වයන්ට සහ වැඩ වේගවත් කිරීම් වලට එරෙහිව එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් විසින් ආරම්භ කොට ඇති අරගල මෙහිදී වැදගත් අර්ථභාරයක් දනවයි. 

තම අරගල ඉදිරියට ගෙනයාමේදී බරපතලම බාධකය ලෙස පවතින වෘත්තීය සමිති වලට පිටතින් තමාගේම කම්හල් කමිටු පිහිටුවා ගනිමින් එක්සත් ජනපදයේ ජෙෆර්සන් නෝර්ත් හි ෆියට් ක්‍රයිස්ලර් මෝටර් රථ කම්හලේ කම්කරුවන් පිහිටුවාගෙන ඇති කම්කරු ආරක්ෂන කමිටුව මෙම “නව සාමාන්‍යය” ට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න පිලිබඳව, ජාත්‍යන්තර කම්කරු පන්තියට වැදගත් පූර්වාදර්ශයක් සම්පාදනය කරයි.

27 දා එම කොමිටිය නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි:

“අපගේ ආරක්ෂාව සහතික කිරීමට සහ වසංගතයට එරෙහිව සටන් කිරීමට ඕනෑ තරම් මුදල් හා සම්පත් තිබේ. රජය සමාගම්වලට බිලියන ගනනක් ලබා දී ඇති අතර, සමස්තයක් ලෙස ඇමරිකානු සංගතයන්ට ට්‍රිලියන ගනනක් ලබා දී ඇත. මෙම මුදල් ධනවතුන් වෙනුවෙන් නාස්ති නොකර කම්කරුවන්ගේ අවශ්‍යතා සහ ආරක්ෂාව සපුරාලීම සඳහා හරවා යැවිය යුතුය.”  

Loading