කොලඔ දිස්ත්‍රික්කයේ සසප මැතිවරන උද්ඝෝෂනය මීතොටමුල්ලෙන් ඇරඹෙයි

මෙවර මහ මැතිවරනයේදී කොලඹ, නුවරඑලිය හා යාපනය යන දිස්ත්‍රික්කයන්ට සමාජවාදී සමානතා පක්ෂය (සසප) තරග වදී. සසප මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, එහි සාමාජිකයන් කන්ඩායමක්, ජූලි 4 සහ 5 යන දිනයන්හි, කොලඹ, මීතොටමුල්ල සහ සාලමුල්ල යන ප්‍රදේශයන්හි මැතිවරන උද්ඝෝෂනයක යෙදී ගත්හ.  

2017 අප්‍රේල් 14 දින කසල කන්ද ගිලාබැසීමෙන් ව්‍යසනයට මුහුන දුන් ජනයා ජීවත්වන මීතොටමුල්ලේද, ව්‍යසනයෙන් පසු එම ස්ථානයෙන් ඉවත් කල නිවැසියන් ජීවත්වන සාලමුල්ල බී මහල් නිවාසයේද කල මෙම උද්ඝෝෂනයේදී, ප්‍රදේශවාසීන් අතර සසප මැතිවරන ප්‍රකාශයේ පිටපත් බෙදා හරිමින්, එයින් ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳ පුලුල් සාකච්ඡාවක් අවුලුවා ගැනීමට සසප සාමාජිකයන්ට හැකිවිය.  

මීතොටමුල්ලේ කසලකන්ද ගිලාබැසීමෙන් 32කට වැඩි ප්‍රමානයක් මරනයට පත්වූ අතර, නිවාස 146ක් විනාශ විය. වසර 26ක් පුරා ධනපති ආන්ඩු ජනතාවගේ විරෝධතා නොතකා, පොලිස් බලහත්කාරය යොදවමින්, කසල කන්ද දිගටම පවත්වාගෙන යාම හේතුවෙන් මෙම ව‍්‍යසනය සිදුවිය.

මැතිවරනය සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදක්වූ එම ජනයා කොරෝනා වසංගත‌යෙන්  පසු තම ජීවිත මුහුනදී ඇති දුෂ්කරතා සසප සාමාජිකයන්ට පැහැදිලි කලහ. රැකියා අහිමිවීමට වැටුප් හා දීමනා කප්පාදූන්ට මුහුන දෙන ඔවුහු ජීවිත ගෙන යනු ලබන්නේ ඉතා අසීරුවෙන්ය. එදිනෙදා ආහාර සපයාගත නොහැකි පවුල් ද ඒ අතර සිටින බවද වාර්තා විය.

මීතොටමුල්ලේ පදිංචි තේ කොල ඇසුරුම් කම්හලක රැකියාව කරන තිදරු පියෙකු වන මොහිදීන් පැවසුවේ තමන් රැකියාවට ගියත් ඉතා බරපතල අස්ථිරතාවකට මුහුන දී ඇති බවයි. “මාර්තු මාසේ ඇඳිරිනීතිය දාපු ගමන් අපි සති දෙකක් හිටියා කිසිම ආදායමක් නැතිව. එදිනෙදා පඩියෙන් ජීවත් වන අපි වගේ පවුල් වලට ඒක ලොකු ප්‍රශ්නයක්.” පසුව සමාගමේ කලමනාකාරීත්වය, “අත්‍යවශ්‍ය සේවාවන්”  සඳහා පමනක් ලබා දෙන්නේ යයි කියූ ඇඳිරි නීති බලපත්‍ර පොලිසියෙන් ලබාදී, රට අගුලුදා තිබූ තත්වය යටතේත් ඔවුන් වැඩට ගෙන්වූ බව මොහිදීන් පැවසීය.

“දැන් කොම්පැනියෙන් කියනවා, ඕර්ඩර් (ඇනවුම්) අඩු නිසා, හුඟක් සේවකයන් අහක් කරන්න හරි, වැඩ අඩු කරන්න හරි වෙයි කියලා. හුඟ දෙනෙක් දැන් වැඩ කරන්නේ සතියට දවස් තුනයි. ලැබෙන්නේ මූලික පඩිය විතරයි. දීමනා කිසිවක් නැතිව, මූලික පඩියෙන් විතරක් ජීවත් වෙන්න කොහොමත් බැහැ" යි ඔහු පැහැදිලි කලේය. එම ප්‍රදේශයේ බොහෝ දෙනෙකු පඩියට අමතරව තම වියදම උපයා ගැනීමට කල කුඩා ව්‍යාපාරද සම්පූර්නයෙන්ම ඇනහිට ඇති බව ඔහු තව දුරටත් පැවසුවේය.

ප්‍රධාන ඉදිකිරීම් සමාගමක වැඩ පරීක්ෂකයෙකු ලෙස සේවය කරන තම වැඩිමහල් පුතාටද, පසුගිය මාස තුනටම ලැබී ඇත්තේ එක මාසයක පඩියෙන් භාගයක් පමනක් බවත් මොහිදීන් සඳහන් කලේය. 

ඔහු තවදුරටත් පැවසුවේ පසුගිය මාස කීපය තුල මුහුන දුන් මේ දුෂ්කර තත්ත්වයට රජයෙන් ලබනු එකම සහනය, මාස දෙකක පරතරය සහිතව කල් පමාවී දුන් පවුලකට රු. 5000ක් වූ සොච්චම් ගෙවීම් පමනක් බවයි. “පලාතේ මිනිස්සු එකතුවෙලා සමහර දේවල් කරගත්ත, මුලින් නොයෙක් සංවිධාන වලිනුත් ඇවිත් කෑම  එහෙම පොඩ්ඩ පොඩ්ඩ බෙදුවා. නමුත් දැන් තමයි අමාරුම කාලේ එන්නේ, එතකොට කවුරුත් නැහැ.”

2019 නොවැම්බර් ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල, සසප වැඩපිලිවෙල ගැන සාකච්ඡා වලට සහභාගීවී තිබුනු මොහිදීන්, මේ මැතිවරනයේදී සසප ඉදිරිපත් කරන වැඩපිලිවෙල ගැන මෙසේ තම අදහස් දැක්වීය. “සසප ජනාධිපතිවරනයේදී කියපු කරුනු අද ඔප්පුවෙලා තියනවා කියා මම පිලිගන්නවා. දුප්පත් මිනිස්සුන්ව මර්දනය කරන පාලනයකට තමයි මේ හැමෝම ලෑස්ති වෙන්නේ. මහජනතාව තමන්ගේම දේශපාලන වැඩපිලිවෙලක් හදා ගෙන මේ පක්ෂ පරද්දන්න ඕනේ කියන එකට මම එකඟයි.” 

කොවිඩ් වසංගතය ඇතුලු දුෂ්කරතා නිසා කෙටිකලක් ඇනහිට තිබු, සසප සමග  කල දේශපාලන සාකච්ඡා යලි ආරම්භ කිරීමට තමන් සූදානම් බවද ඔහු ප්‍රකාශ කලේය.

ගෘහනියක් කියා සිටියේ, ලඟදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තම දියනියගේ රැකියාව නොබෝ දිනකින්ම නැතිවීමේ අවදානමක් ඇති බවයි. දියනිය ඖෂද හලක සේවය කරයි.  රක්ෂන සමාගමක සේවය කරන තම පුතාගේ රැකියා තත්වය ගැනද ඇය මෙසේ විස්තර කලාය, “මගේ ලොකු පුතාට දැන් ලැබෙන්නේ, මූලික වැටුප විතරයි, අතිකාල, දීමනා ඔක්කොම කපලා, හැබැයි ඒගොල්ල වෙනදා කරන වැඩ ප්‍රමානයම කරනවා.” 

රැකියා කරන වයසේ දරුවන් නොමැති, තම අසල්වැසියන් දරුනු ආර්ථික දුෂ්කරතා වලට මුහුන දී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. “හුඟ දෙනෙක්, බෙල්ල ගාවටම නය වෙලා, ලමයින්ට කන්න දෙන්න විදිහක් නැති තැනට වැටුනු පවුලුත් ඉන්නවා. ඉස්සරහට මේ පැති වලින් මන්දපෝෂනය හැදුනු, බර අඩු ලමයි හුඟක් බිහිවේවි.”

තම දියනියගේ පවුල සමග ජීවත් වන වයෝවෘධ කාන්තාවක් වන ෆාතිමා තමන් මුහුන දී ඇති ගැටලු මෙසේ විස්තර කලාය. “ඇඳිරි නීතිය දාපු කාලේ මම මගේ ගමේ, නුවර හිරවෙලා හිටියේ, කොලඹට එන්න බැරිව. මගේ පුතා තාම ඉන්දියාවේ, දිල්ලියේ හිරවෙලා ඉන්නේ මාර්තු මාසේ ඉඳන්. තාම එයාලට රටට එන්න කිසිම විදියක් දැනුම් දීල නැහැ. දිල්ලියේ මේ ලෙඩෙත් දරුනුවට පැතිරෙනවා.” පවතින තත්වය යටතේ ඇගේ පවුල අමතර ආදායමක් සඳහා කරමින් සිටි කඩදාසි බෑග් ඇලවීම්, හා කැවිලි සෑදීම ආදී කුඩා ව්‍යාපාර සියල්ල ඇනහිට ඇති බවද ඇය විස්තර කලාය.

ෆාතිමා විශේෂයෙන්ම විස්තර කලේ, වර්තමානයේ රෝහල් වල ඇතිවී ඇති තත්වයයි. “පහුගිය මාසවල ක්ලිනික් වලට ගියාට අපිව පරීක්ෂා කලේ නැහැ, කොලේ (රෝගියාගේ වාර්තා පොත) බලලා බෙහෙත් දුන්න විතරයි. දැන් පරීක්ෂා කරනවා, හැබැයි අවශ්‍ය බෙහෙත් ඉස්පිරිතාලේ නැහැ. බෙහෙත් භාගෙකට වඩා ගන්නේ සල්ලිවලට, පිටින්. මගේ බෙහෙත් වලට විතරක් පහුගිය මාසේ රුපියල් 2500කට වඩා ගියා.”

තම රෝගී වාර්තා පොතද පෙන්වමින් ඇය පැවසුවේ, දියවැඩියා සායනයට යන රෝගීන්ට, රුධිරයේ සීනි ප්‍රමානය පාලනය කරන මූලික ඖෂධයවත් නොලැබෙන බවයි. කොලඹ දුගී ප්‍රදේශ වල ජීවත් වන, වයෝවෘධ පුද්ගලයින්ගෙන් අතිවිශාල ප්‍රමානයක් තම මූලික සෞඛ්‍ය අවශ්‍යතා සඳහා කොතරම් අඩුපාඩුකම් මධ්‍යයේ වුවද සම්පුර්නයෙන් යැපුනේ මේ සායන මතය. 

ඒවායේ ඇතිවී ඇති මේ තත්වය, නුදුරු අනාගතයේදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මත ඇති කල හැකි බලපෑම ෆාතිමා මෙසේ විස්තර කලාය. “අපේ ලමයින්ගේ රස්සාවල් නැති වෙලා, අමතර ආදායමට කරපු දේවලුත් නැතිවෙලා,  වයසක අපිට 'පින් පඩියකුත්' නැහැ, එහෙම තියෙද්දී අපි කොහොමද බෙහෙතුත් සල්ලිවලට ගන්නේ? මෙහෙම ගියොත් කොලඹ වයසක අයගෙන් හුඟදෙනෙක් ඉක්මනින්ම මැරිලා යාවි.

කසල කන්ද ගිලා බැසීමෙන්පසු නිවාස අහිමිවූවෝ සහ අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කරමින් තම නිවාස වලින් බලහත්කාරයෙන් ඉවත්කර ඇති මීතොටමුල්ල ජනයා සාලමුල්ල නිවාස සංකීර්නයේ බී මහල් නිවාසයන්හි පදිංචිව සිටිති.  කිසිදු ප්‍රමිතියකින් තොරව සාදා ඇති මෙම මහල් නිවාසයන්හි බිත්ති වසරක් යාමටත් ප්‍රථම පුපුරායාම ආරම්භවිය.

ගුවන් ප්‍රවේශපත්‍ර ඒජන්සියක සේවය කරන දෙදරු පියෙක්, වසංගතය හේතුවෙන් තමන් මුහුන දී ඇති ගැටලු ගැන මෙසේ පැවසුවේය: “මම දැන් වැඩ කරන්නෙ ගෙදර ඉදන්.  පඩියෙන් භාගයක් විතරයි දෙන්නෙ. ඒජන්සිය කියනව ලාභ නැහැ කියල.” 

වසංගතයේ සැබෑ තොරතුරු මැතිවරනය නිසා වසන් කරන බව පැවසූ ඔහු, “ව්‍යාපාරිකයො, මන්ත්‍රීවරු තමන්ගෙ ව්‍යාපාර වැටෙයි කියල බයට  ලොක් ඩවුන් එක හරියට කරන්නේ නැතැ”යි ඔහු තවදුරටත් පැවසීය.

ගිය වසරේ පාස්කු ප‍්‍රහාරවලින් පසුව දේශපාලකයින් මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයක්  ඇවිස්සීම හේතුවෙන් මුස්ලිම් ජන වර්ගයට අයත් තම පවුලට සමහරු අපහාස කල බවත්, ඔවුන් අතර තිබූ එකමුතුකම නැති වූ බවත් ඔහු කියා සිටියේය.

මෙම නිවාස සංකීර්නයේ ජීවත් වන්නේ තමා මෙන්ම දුගී ජනතාව බව සහ මැතිවරනයෙන් තමාට යහපතක් වෙතැයි ඔවුන් බොහෝ දෙ‌නෙක්  නොසිතන බවත් ඔහු පැවසීය. 

මාර්ග සංවර්ධන අධිකාරයේ වැඩ කරන කාර්යාල කම්කරුවෙකු පැවසුවේ වසංගතය පැවැතියදීම රජය මහජනතාවගේ ආරක්ෂාව නොතකා මැතිවරනය පවත්වන බවය. මහ ජනතාව මෙම වසංගතයේ භයානකකම නොදන්නා බවත් ඔවුන්ව වැඩි වශයෙන් දැනුවත් කල යුතු බවත් ඔහු පැවසීය.

සෞඛ්‍ය පහසුකම්වල ඌනතාවය ගැන කතා කරමින් ඔහු මෙසේ පැවසුවේය: “අයිසීයූ වාට්ටු වැඩිපුර හදල තියෙන්න ඕන. ඡන්දයෙන් පස්සෙ රෝගීන් ගනන දෙගුන තෙගුන වෙයි”.  චීනයේ වසංගතය මර්දනය කල බව නිවේදනය කලද එය නැවත වතාවක් මතුවී ඇති බවත් ඔහු පැවසීය. වසංගත මර්දනයේදී සෞඛ්‍ය අංශය අවතක්සේරු කරමින් හමුදාවට මුල් තැනක් දී ඇති බවත් ඔහු කීවේය.

උතුරේ සසප  අපේක්ෂකයින්ට විරුද්ධව ගෙනයන මිලිටරි හිරිහැර ඇතුලු ප්‍රජාතන්ත්‍ර විරෝධී  විරෝධී ක්‍රියා ගැන පැහැදිලිකල විට ඔහු පැවසුවේ, සසප, සමාජවාදය වෙනුවෙන් පෙනීසිටින නිසා එහි සාමාජිකයන්ට මෙම හිරිහැර සිදුවෙතැයි විශ්වාස කරන බවයි.

Loading