ධනපති පක්ෂවල පච පොරොන්දු මල්ල තරකර ගැනීමට ඇන්ටන් මාකස් ගෙන් යෝජනා මාලාවක්

නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේස) සමලේකම් ඇන්ටන් මාකස්, ලංකාවේ දේශපාලන පක්ෂ වලට ලිපියක් යවමින්, යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනා, තම පක්ෂයේ “ප්‍රධාන මැතිවරන පොරොන්දු ලෙස වහා ප්‍රකාශයට පත් කරන මෙන්” ඔහු පක්ෂ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටී. 

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ වේගයෙන් වර්ධනය වන විරැකියාවට විසඳුමක් ලෙසින් මෙම යෝජනා ඉදිරිපත් කරන බව මාකස් පවසයි. නමුත්, එහි සැබෑ අරමුන වනුයේ, ධනපති පක්ෂවල පච පොරොන්දු මගින් තම දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සොයාගතහැකිය යන මිථ්‍යාව වපුරා, මැතිවරනයේදී කවර හෝ ධනපති කඳවුරකට කම්කරුවන් ගාල්කර දීමයි. 

ධනේශ්වර ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් වැලැක්වීමට කැපවී සිටින මාකස් ඇතුලු සමිති නිලධරය, සෑම මැතිවරනයකදීම, ඒ හෝ මේ ධනපති කඳවුරකට දරදිය ඇදීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. ඔවුන්, 2015 දී, සිරිසේන-වික්‍රමසිංහ කඳවුර බලයට ගෙන ඒමට කැපවූයේ එමගින් “යහපාලනය” ස්ථාපිත වෙතැයි යන ප්‍රලාපය කම්කරු පන්තිය ඉදිරියේ තොරොම්බල් කරමිනි.

වසංගතය මධ්‍යයේම, කම්කරුවන්ගේ ජීවිත අනතුරේ හෙලමින්, ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් යලි පනගන්වා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගෙනගිය උද්ඝෝෂනයේ ප්‍රධානතම අංගයක් වූයේ “වසංගතය සාර්ථක අයුරින් පාලනය කොට ඇතැ” යි යන ප්‍රලාපය යි. එය අනුයමින් මාකස් තම ලිපියේ ආරම්භක කොටසේම කියා සිටින්නේ, “කොවිඩ්-19 සැලකියයුතු ආකාරයකින් සාර්ථක වූ බව පිලිගතයුතු බව”  යි. මාකස් ලිපිය ලියා යන්තම් සතියක් ගතවත්ම, එම බේගලය අතේ පත්තුවෙමින් වසංගතය වඩාත් ව්‍යසනකාරී මට්ටමකින් පුපුරා ඉස්මත්තට පැමින ඇත. 

ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන්, කම්කරුවන්ගේ ජීවිත නොතකා ඔවුන් යලි වැඩට දැක්කීමේ සාපරාධී ක්‍රියාවට දායක වූ මාකස් ඇතුලු සමිති නිලධරයේ ද්‍රෝහී භූමිකාව එපමනින් අවසන් නොවුනි. 

වසංගතයට මුවා වෙමින් ධනපති හාම්පුතුන් තම රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට එල්ල කිරීමට පටන්ගත් රුදුරු ප්‍රහාරයට එරෙහිව, යක්කල එස්ක්වෙල් සහ කටුනායක ස්මාර්ට් ෂර්ට් ඇතුලු කම්හල් ගනනාවක කම්කරුවන් අරගලයට අවතීර්න වත්ම, එම අරගල දියකර හරිනුවස් මෙම සමිති නිලධරය ඊනියා ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමකට පැන ගත්හ. 

හාම්පුතුන්, ආන්ඩුව සහ සමිති අතර අත්සන් කෙරුනු මෙම ගිවිසුමෙන් කම්කරු වැටුප් අඩකින් සහ අනෙකුත් දීමනා මුලුමනින්ම කපා හැරින. ගිවිසුමෙන් ගැම්මගත් හාම්පුත්තු කවර හෝ කම්කරු නීතියක් නොතකමින් කම්කරුවන් දහස් ගනන් රැකියාවෙන් දොට්ට දැමීමට පටන් ගත්හ. 

නමුත් මාකස් යලියලිත් කියා සිටින්නේ, එකී ගිවිසුම නිසා “වැටුප් කප්පාදු වුවද රැකියා ආරක්ෂාවී” ඇති බවයි. නමුත් ඔහුගේ පූච්චානම් වලට විපරීතව, දිගින් දිගටම රැකියා කප්පාදු වෙමින් පවතින අතර, ඔහු ඇතුලු ගිවිසුමට අත්සන් තැබූ සමිති නිලධරය කම්කරු ඇමති දිනේශ් ගුනවර්ධන ට නැවත නැවතත් ලිපි ලියමින් නිර්ලජ්ජිතව කියා සිටින්නේ, හාම්පුතුන් ගිවිසුම කඩකරමින් කම්කරුවන් දොට්ට දමන බවයි.  

ගිවිසුමේ ප්‍රතිගාමී ස්වභාවය කම්කරු පංතිය හමුවේ අනාවරනය වන තතු යටතේ මාකස් දැන් විශේෂන පදයක් යොදමින් එම බොරුවම ඉදිරියට ගෙන යයි. “දැනට මේ මට්ටමින්” හෝ රැකියා ආරක්ෂා වන්නේ එම ගිවිසුම නිසා බව ඔහු පක්ෂ නායකයන්ට යැවූ ඉහත ලිපියේ සඳහන් කරයි. 

මාකස් තම “යෝජනා” ඉදිරිපත් කිරීමට තානය සපයන්නේ මෙසේය: “රැකියා අහිමිවීමේ අවදානම යනු අලුත් රැකියා උපදින්නේ නැතිබව සහතික කිරීමකි. එබැවින් ඉදිරි විරැකියාවද අප දැඩි සේ අවධාරනය කරන්නකි. එය අමතක කර යා නොහැක.”

මාකස් වෙනත් විදියකින් කියන්නේ, වැඩෙන විරැකියාව හමුවේ කම්කරු පන්තිය කල යුත්තේ, තම රැකියා අයිතිය උදුරා ගැනීමට එරෙහිව සටන් කිරීම නොවේ. එය ඉවසා දරාගෙන “සමාජ රැකවරනයකින්” දිවි ගැටගසා ගැනීමයි. 

එබැවින්, පාසැල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ශ්‍රම බලකායට එකතුවන සියල්ලන්ට රැකියාවක් ලැබෙනතුරු මාසික “විරැකියා දීමනාවක්”, පුද්ගලික අංශයේ විශ්‍රාම යන කම්කරුවන්ට මාසික “සමාජ රැකවරන දීමනාවක්” සහ එම දීමනා නොකඩවා ලබාදීම සඳහා “සමාජ රැකවරන අරමුදලක්” ස්ථාපිත කරන ලෙස ඔහු යෝජනා කරයි. 

මාකස් විසින් මෙම යෝජනා ඉදිරිපත් කරන්නේ, ඔහුගේ වෘත්තීය සමිතිය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන ඇඟලුම් ක්ෂේත්‍රය තුල තුන් ලක්ෂයකට රැකියා අහිමි වෙමින් පවතින තතු තුලය. මාකස් යත්න දරන්නේ, එම කම්කරුවන් අතර වැඩී ඇති බලගතු විරෝධය මෙම ඊනියා සමාජ රැකවරන යෝජනා හරහා දියකර හැරීමටයි. 

ඔහුගේ යෝජනාවන් ඓතිහාසික වශයෙන් ගත්කල මුලුමනින්ම අයතා ය. එවන් සමාජ රැකවරන ව්‍යාපෘතීන් ඇමරිකාවේ සහ යුරෝපයේ ආරම්භ කෙරුනු යුගය සහ ඒවා මුලුමනින්ම විනාශභාග් කෙරෙන වත්මන් යුගය සපුරා වෙනස් ය. 

1930 ගනන්වල මහා අවපාත සමයේදී සහ ඉන් පසුව, 1960 ගනන්වල ජොන්සන් පරිපාලන සමයේ ඇමරිකා එක්සත් ජනපදය තුල සහ 1940 ගනන් වල අගභාගයේ ජර්මනිය සහ ප්‍රන්සය ඇතුලු යුරෝපීය රටවල ආරම්භ කෙරුනු සමාජ රක්ෂන වැඩසටහන් ද, ස්ථාපිත කරනු ලැබුවේ සමස්ත මහජනතාවගේ ආර්ථික සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා නොව, සමාජ විප්ලවයක් පැන නැගීමේ හැකියාව වැලැක්වීම සඳහා ය.

සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් වලට අවම ප්‍රතිලාභ ලබා දුන් එම වැඩසටහන් දශක ගනනාවක් තිස්සේ එම රටවල් පාලනය කල අනුප්‍රාප්තික ආන්ඩු විසින් අඛන්ඩව ඛාදනය කර ඇත. ඒ අතරම, ලොවපුරා පාලක පන්තීන් කාර්මික නිෂ්පාදනයෙන් මූල්‍ය සමපේක්ෂනයට මාරුවීම හේතුවෙන්, රැකියා මිලියන ගනනක් අතුගා දැමුනු අතර  පුලුල් ස්ථරයක් දුගීභාවයට ඇද වැටුනි.

2008 දී ජාත්‍යන්තර මුල්‍ය පද්ධතිය බිඳ වැටීමෙන් මෙම සන්තතිය වඩාත් වේගවත් විය.  වසංගතය පැමිනීමට පෙර සිටම, ලොවපුරා ධනපති ආන්ඩු සහ ධනපති හාම්පුත්තු, මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදු කිරීමේ සහ වැඩ වේගවත් කිරීමේ පිඹුරුපත් සකසමින් සිටියහ. වසංගතය තමාට ලබාදුන් ස්වර්නමය අවස්ථාවක් ලෙස සලකමින්, දැන් ඔවුහු එම සැලසුම් වහ වහා ක්‍රියාවට නංවමින් සිටිති.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, වසංගත කාලය තුල මේ දක්වා සමස්ත භූගෝලීය රැකියාවන්ගෙන් සියයට 10.5 ක් නැතහොත් රැකියා මිලියන 305 ක් විනාශ වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි. ඇමරිකාව සහ යුරෝපය ඇතුලත් කරගත් රටවල් 20 ක මිලියන 38 ක ජනයා, විරැකියා දීමනා සඳහා අලුතෙන් ඉල්ලුම් කර ඇත. 

වසංගතය මධ්‍යයේ සිදු කෙරෙන මෙම දැවැන්ත රැකියා සහ දීමනා කප්පාදු වලට එරෙහිව ජාත්‍යන්තරව මෙන්ම ලංකාව තුල වැඩෙන පන්ති අරගල රැල්ල සමාජ විප්ලවයක් දෙසට වැඩෙතැයි, රටක් රටක් පාසා ධනපති පාලකයෝද, ධනපති ක්‍රමයේ පරම ආරක්ෂකයන් වන වෘත්තීය සමිති නායකයෝ ද එක සමානව බියවැදී සිටිති. මාකස් ගේ යෝජනා එයට දැක්වූ ප්‍රතිචාරයකි.

කෙසේ නමුත්, ලොවපුරා පාලක පන්තීන්,  කම්කරු-පීඩිත මහජනතාව මෙතෙක් භුක්ති විඳි සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල යලි උදුරා ගන්නා සහ එම සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ඇදෙන කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත මහජනතාව ලෙයින් මැඩීම සඳහා ආඥාදායක පාලනයන් වෙතට මාරුවෙන මෙම යුගයේ, සමාජ සංරක්ෂන පිලිබඳ මාකස් ගේ යෝජනාව අභූතයක් පමනක් නොව, එම රුදුරු ධනපති සැලසුම් වසං කිරීමේ උපායකි. 

කම්කරු පන්තිය සම්බන්ධයෙන් සමිති නිලධරය දක්වන නරුම ආකල්පය ඔහු යෝජනා කරන “විරැකියා දීමනාවේ” සංඛ්‍යාත්මක අගයෙන් පවා පැහැදිලි වෙයි. ඔහු මෙසේ ලියයි:  “විරැකියා දීමනාව ඉදිරි උද්ධමන තත්වයන්ද සලකා, වර්තමාන අවම මාසික වැටුපට සරිලන ලෙස, රුපියල් 15,000 ක් වියයුතු යැයි අපි යෝජනා කරමු.” 

අවම මාසික දීමනාව රුපියල් 15,000 ක්  ලෙස මාකස් යෝජනා කරන්නේ, දරු දෙදෙනෙකුගෙන් යුත් පවුලකට ශීලාචාර ලෙස ජීවත් වීමට අවම වශයෙන් රුපියල් 54,000 ක මාසික වැටුපක් හිමිවිය යුතුයැයි රජයේ සමීක්ෂන වලින් පවා හෙලිකර ඇති තතු යටතේ ය. 

කෙසේ නමුත්, මහජනතාව ඉදිරියේ කවර හෝ හිරිකිතයකින් තොරව ව්‍යාජ පොරොන්දු මාලාවන්  වගුරන ධනපති මැතිවරන වේදිකාවන්හි තලුමැරීමට තවත් පොරොන්දු ගොන්නක් මාකස් ඉදිරිපත්කොට ඇත. සියලු ධනපති පක්ෂ, මෙම පොරොන්දුව දැනටමත් තම පච පොරොන්දු ගොන්නට එකතු කරගෙන ඇති බවට සැක නැත.

මාකස්ගේ මෙම යෝජනා කම්කරුවන් පිලිකුලෙන් ප්‍රතික්ෂේප කල යුතුය. සියලු දෙනාටම ශීලාචාර ලෙස ජීවත්විය හැකි මනා වැටුප් සහිත රැකියාවන් සැපයිය හැකි දැවැන්ත සමාජ ධනයක් මනුෂ්‍ය වර්ගයා විසින් නිර්මානය කොට ඇත. එසේ පැවතියදී මෙවන් දැවැන්ත විරැකියාවක් වර්ධනය වන්නේ එම සමාජ ධනයෙන් අතිමහත් ස්කන්ධයක් ධනපතියන් අතලොස්සක් අතේ සංකේන්ද්‍රනය වී තිබීම නිසා සහ එම අතලොස්ස විසින් තම ලාභ අවශ්‍යතාවයන් සඳහා සමස්ත ආර්ථික සහ දේශපාලනික සමාජ ජීවිතය පාලනය කරන බැවිනි.

විරැකියාව, සමාජ සංවර්ධනයේ අනිවාර්ය ඵලයක් නොව, එය ඓතිහාසික වශයෙන් අයතා ධනපති ක්‍රමයේ නිර්මිතයක් බව කම්කරු පන්තිය වටහාගත යුතුය. රටක් රටක් පාසා කම්කරු පන්තිය රාජ්‍ය බලය අත්පත්කර ගනිමින්, මහා පරිමාන බැංකු, දැවැන්ත වතු සහ සුවිසල් කම්හල් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට, සමස්ත ආර්ථික ජීවිතය, මානව අවශ්‍යතා සපිරෙන පරිදි තාර්කිකව ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් විරැකියාව ඇතුලු දැවෙන සමාජ ප්‍රශ්න නිසැකවම ජයගත හැක. 

මෙය සාක්ෂාත් කල හැක්කේ කම්කරු පන්තික නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයකින් පමනි. ධනේශ්වර පද්ධතියට තදින් බැඳී සිටින වෘත්තීය සමිති එවන් අරගලයකට ඉඳුරාම සතුරුය. එබැවින් කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී වෙන්වී, එම අරගලය ඉදිරියට ගෙන යාහැකි නව සංවිධාන රූප, එනම් ක්‍රියාකාරී කමිටු පිහිටුවාගත යුතුය. 

එම වැඩපිලිවෙල සඳහා සටන් වදින දේශපාලන සංවිධානය වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), මාකස් ගේ ව්‍යාජ යෝජනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරයි.  මෙවර මහ මැතිවරනයේ දී කොලඹ, යාපනය සහ නුවරඑලිය දිස්ත්‍රික්ක වලට තරග වදින සසප, තම උද්‌ඝෝෂනයට උපරිම සහාය දෙන ලෙස සිතන-මතන කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

Loading