ආන්ඩුවේ නොතැකීම නිසා ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 පැතිර යාමේ ඉහල අවදානමක්

එක් දිනක් තුල ශ්‍රී ලංකාවෙන් සොයා ගැනුනු ඉහල ම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින්, ජූලි 10 වන දා, කොවිඩ්-19 ආසාදිතයන් 296 දෙනෙකු හඳුනා ගැනුනි. ඔවුන් අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 283 දෙනෙකු, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු සහ විදේශයන්හි සිට පැමිනි ශ්‍රී ලාංකිකයෝ වෙති. 

මේ හේතුවෙන්, ඉරිදා රාත්‍රි වන විට දිවයිනේ ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් ගනන 652 දක්වා පිම්මකින් වැඩි වී  ඇති අතර, ජූලි 07 වැනි දා සිට නව රෝගීන් 500කට අධික පිරිසක් අනාවරනය වී ඇත. නිල සංඛ්‍යාලේඛන වලට අනුව සමස්ත වාර්තාගත ආසාදිතයන්ගේ ගනන  2644 ක් වන අතර මියගිය සංඛ්‍යාව 11 කි. 

මෙම ක්ෂනික වර්ධනයත් සමග ම, වෛරසය සාර්ථක ව මර්දනය කලා ය යන ආන්ඩුවේ ව්‍යාජ කියා පෑම්වලට විපරීත ව වෛරසය සමාජය තුල වේගයෙන් සංසරනය වෙමින් පැවති බව එලිදරවු වී පවතී. 

මේ වන විට දිවයිනේ නොයෙක් ප්‍රදේශවල 2000කට අධික පිරිසක් නිරෝධායනයට ලක් කෙරී ඇත. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මන්ඩලය, රැඳවියන් හමුවීමට පැමිනි 116 දෙනෙකු, නිදහස් ව ගොස් සිටින 50කට ආසන්න රැඳවියන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්වන අය අතර වෙයි. 

කෙසේ නමුත්, තවමත් තත්ත්වයේ සැබෑ අවදානම යට ගැසීමට ආන්ඩුවත් සෞඛ්‍ය බලධාරීනුත් කටයුතු කරමින් සිටිති. කොවිඩ්-19 “සම්පූර්නයෙන් ම” සමාජයෙන් ඉවත් කර දමා රට ආරක්ෂා කර ගත් සෞඛ්‍ය කාර්ය මන්ඩලවලටත්, හමුදාවටත්, කන්දකාඩු ආසාදිත පොකුර “අභියෝගයක්” නොවේ යැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කල බව ජූලි 11 ඩේලි නිවුස් වාර්තා කලේ ය.

ඇය එවැනි ප්‍රකාශ නිර්ලජ්ජිත ව කරන්නේ, සෞඛ්‍ය සේවා කම්කරුවන්ට වසංගත කාලය තුල ලබාදෙන බවට පොරොන්දු වූ දීමනා ලබාදීම ආන්ඩුව විසින් මගහැර සිටින සහ වසංගතයට පෙර ලබා දෙමින් තිබූ දීමනා කප්පාදු කර ඇති තත්ත්වයක් තුල ය. ප්‍රමානවත් පුද්ගල ආරක්ෂිත උපකරන පවා නොමැතිව තමන් යෙදී ගත්තේ ජීවිතයත් මරනයත් අතර අරගලයක බව සෞඛ්‍ය කම්කරුවෝ දනිති. එය වන්නිආරච්චි කියන්නාක් මෙන් ඔවුනට කජු කන වැඩක් නොවී ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ කන්දකාඩුවෙන් මතු වූ රෝගීන් පොකුර, නාවික හමුදා කොවිඩ්-19 ආසාදිතයන්ගේ පොකුර වැනි පාලනය කර ගත හැකි එකක් බවට සඳහන් කලේ, එය දෙ වැනි රැල්ලක් වශයෙන් හැඳින් විය නොහැකි බවට පවසමිනි. ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෛරසය පැතිරීම පැහැදිලි කලේ එය අප්‍රේල් මාසයේ සුදුවැල්ල ප්‍රදේශය ආශ්‍රිත ව ඇති වූ පොකුරේ වැඩි වර්ධනයක් නැති නම් දිගුවක් වශයෙනි. 

නමුත් මේ පැහැදිලි කිරීම ආන්ඩුවත් මිලිටරියත් සෞඛ්‍ය සේවා බලධාරීනුත් වෛරසය සාර්ථක ව තුරන් කලා යයි ගැසූ පම්පෝරි කතාවලට පරස්පර විරෝධී වන අතරේ ම එම පම්පෝරි කතාවල ව්‍යාජ බව එලිදරවු කරන්නකි.

පැන නගින ප්‍රශ්නය නම්, රෝගය පැතිර යාමේ ඉඩ ප්‍රස්ථා ඇති, එහෙත් හඳුනා නොගත් ස්ථාන තවත් කොතෙක් පවතීද  යන්නයි. මෙවන් ස්ථාන හඳුනා ගැනීමට, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විද්‍යාඥයන් විසින් නිර්දේශ කර ඇති ප්‍ර‍ශස්තම ක්‍ර‍මය වන මහා පරිමානයෙන් පීසීආර් පරීක්ෂන දියත් කිරීම ආන්ඩුව දිගින් දිගටම නොතකා හලේය.  

එවන් මහා පරිමාන පරීක්ෂන නොකඩවා ගෙනයාම මගින් වසංගතයේ ව්‍යාප්තිය ගැන ඇතිකර ගන්නා දෛනික විශ්ලේෂනයක් මගින් වසංගතයේ අන්තරාය පිලිබඳ අව්‍යාජ චිත්‍ර‍යක් මහජනතාවට ලබාදෙනු වෙනුවට, ආන්ඩුව දිගින් දිගටම කියා සිටියේ සියල්ල යහපත් අන්දමින් සිදුවන බව සහ වසංගතය පාලනය කොට ඇති බවය. තවමත් ලංකාවේ සිදු කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂන ගනන 122 071කි.

එතැනින් නොනැවතුනු ආන්ඩුව, වසංගතයෙන් මතු කෙරී ඇති ජීවිත අන්තරාය මුලුමනින්ම නොතකා, හුදෙක් ධනපතියන්ගේ ලාභ ඉපැයීමේ ක්‍රියාවලිය අඛන්ඩව පවත්වාගෙන යාම උදෙසා, කම්කරුවන් වැඩපලවලටත්, සිසුන් සහ ගුරුවරුන් පාසල් වලටත් දැක්කුවේ, විධිමත් සෞඛ්‍ය ආරක්ෂන පහසුකම් සම්පාදනය නොකරමිනි. නමුත් ජාසිංහ සහ ආන්ඩුව කොරෝනා රෝගීන්ගේ ක්ෂනික ඉහල යාම ගැන දොස් පවරනුයේ  මහජනතාවට යි.

මෙම “පොකුර” හට ගත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කිරීමෙන් පසු ව නම්, එයට වගකිව යුත්තේ ආන්ඩුවයි. මෙම සිද්ධියෙන් පෙනී යන්නේ පීසීආර් පරීක්ෂා කිරීම්, පරීක්ෂා කල අය නැවත පරීක්ෂා කිරීම ආදිය සිදු නොකිරීම සහ අවදානමක් ඇති රෝගීන් නිසි නිරෝධායනයකට යටත් නොකොට පුනරුත්ථාන කඳවුරට මුදා හැර ඇති බවයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (රවෛනිස) ලේකම් ෂෙනාල් ප්‍රනාන්දු හෙලි කලේ මාසයක කාලයකින් කොවිඩ්-19 මර්දන කාර්ය සාධක බලකාය රැස් ව නැති බවයි. යුද හමුදාපති ප්‍රධානත්වය දරන එම කාර්ය සාධක බලකාය ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රයට අනුව වැඩ කලා විනා නිසි සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාවේ දැමීමට උත්සුක වූයේ නැත. රවෛනිසං සිටියේ එම වැඩපිලිවෙලට කරබදු වීය. 

එමෙන් ම පාලක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනත් සෙසු ප්‍රධාන ධනපති පක්ෂත් තම උත්සව රැස්වීම් ආදිය සංවිධාන කලේ මෙම නියමයන් තුට්ටුවකටවත් නොතකමිනි. මෙම නොතැකීම නරුම ආකාරයකින් ප්‍රදර්ශනය කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ජූලි 10 වැනි දා පානදුර මැතිවරන රැස්වීමක දී ඇඟට පතට නොදැනී ප්‍රකාශ කලේ තමන්ගේ රැස්වීම්වල මහජනතාව පොර කමින් රැස් වීම කඩාකප්පල් කිරීමට විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීම ගැන ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවන බව ය.

පනවා තිබූ සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ඉවත් කිරීම, ආරක්ෂිත පියවර අනුගමනය කිරීම තව දුරටත් අවශ්‍ය නොවන්නේ යැයි යන හැඟීමක් මහජනතාව තුල ජනිත කිරීමට තුඩු දුන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. “කොවිඩ්-19 අවදානම තවත් නැතිවාක් මෙන් සෙනඟ පිරුනු මහජන රැස්වීම්, පාලනය නොකල පරිදි සෙනඟ පිරුනු පොදු ප්‍රවාහනයට ඉඩ දීම, විනෝදාත්මක කටයුතුවලට යලි අවසර ලබා දීම වැනි සීමා කිරීම් ඉවත් කිරීම සෞඛ්‍යාරක්ෂන හැසිරීම් ඈත්ව යාමට වගකිව යුතුයි. මේ ව්‍යාජ අදහස අතිශයෙන් ම ව්‍යසනකාරී ය.” සෙසු රටවල පවතිනවාක් වැනි ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් එය අනතුරු අඟවයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජාසිංහ, තත්ත්වය පාලනය කර ගත හැකි බව පුන පුනා පැවසුවත් රෝගීන්ගේ සංචරනය සම්බන්ධ වාර්තාවන් මතු කරන්නේ තත්ත්වය සම්බන්ධයෙන් දැවැන්ත අවිනිශ්චිතතාවකි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ආසාදිත යයි හඳුනා ගනු ලැබුනේ මාරවිල නාත්තන්ඩියේ තම දෙමාපියන්ගේ නිවසට නිවාඩු ලබා ගෙන ගොස් සිටිය දී ය. ඇය ජූලි 3 වැනි දා නිවසට පැමින ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවලිනි. ඉන්පසු ඇය හිතවතුන් කීප දෙනෙකු ම හමුවීමට ගොස් තිබුනි. වාර්තා වන ආකාරයට ඇය නිවාඩු ලබන විටත් රෝග ලක්ෂන ප්‍රකට කර ඇත. ඇත්තෙන් ම එහි දී කල යුතු ව තිබුනේ ඇය පීසීආර් පරීක්ෂනයකට ලක් කිරීමයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් උපදේශකයෙකු ආසාදිත බවට ජූලි 11 වැනි දා හඳුනා ගනු ලැබුනි. නිවුස් ෆස්ට් වාර්තා කරන ආකාරයට රාජාංගනයේ පදිංචිකරුවකු වන ඔහු ජූලි  1වැනි දා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පැමින ඇත. අනතුරුව ඔහු අනුරාධපුර යාය 03 ප්‍රදේශයේ අවමඟුලකට එදිනම ද, ජූලි 06 වැනි දා දානයකට ද සහභාගී වී ඇත. මෙම අවස්ථාවල සම්බන්ධ වූ පිලිවෙලින් 150 ක් සහ 80ක් දෙනා ස්වයං නිරෝධායනයකට ලක් කෙරී ඇත.

ඔහුගේ වයස අවුරුදු  11 වයසැති පුතා ද බිලිඳු දරුවා ද ආසාදිත බව හඳුනා ගෙන ඇත. 11 හැවිරිදි දරුවා පාසලේ අමතර පන්තිවලට ද සහභාගී වී ඇත. එම පාසල් සිසුන් 70 දෙනෙකු ද අනිවාර්ය නිරෝධායනයට ලක් කෙරී ඇත. 

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල මොනරාගල පදිංචි ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනකු ආසාදිත බවට ඊයේ හඳුනා ගැනුනි. සඳුදා ලංකාදීප වාර්තා කලේ අකුරැස්ස ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ්-19 නැවතත් ආසාදනය වී ඇති බවයි.

මහජනතාවගේ විරෝධය වැඩෙන තත්ත්වයක් තුල අද සඳුදා 13 සිට සතියක කාලයක් පාසල් වසා දැමීමටත් බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමට ගෙන තිබූ තීරනය කල් දැමීමටත් බලධාරීන් තීරනය කර ඇත. 

වසංගත ව්‍යාප්තියේ පරිමාව දිනෙන් දින පුලුල්වද්දී දිනපතා සුවපත් වූ රෝගීන්ගේ සංඛ්‍යාලේඛන ඉස්මතු කරමින් අවදානම දිනෙන් දින පහව යන ව්‍යාජ පරිසරයක් මවා පෑමට ආන්ඩුවත් ධනපති මාධ්‍යත් කටයුතු කලේ ය. මෙහි කොටසක් ලෙස, සැබෑ ආසාදිතයන් සංඛ්‍යාව වසන් කිරීමට ආන්ඩුව මුලසිටම යත්න දැරූ බවට සෑම සැකයක්ම පවතී. 

පීසීආර් පරීක්ෂනයන්හි යෙදී සිටි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය රසායනාගාරය, “තම ආයතනය මගින්, සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් ආසාදිත ලැයිස්තුවට ඇතුලු නොවන” බව පවසමින් පසුගියදා එම පරීක්ෂන වලින් ඉවත්වූ බව මාධ්‍යයන්හි වාර්තා විය. එමගින්, ඉහත සැකය වඩාත් තහවුරු වෙයි.

වසංගතය පහවගොස් ඇතිබව මවාපෑම පසු පසින් පැවැතියේ අනාරක්ෂිත කොන්දේසි යටතේ වුව ධනපති නිෂ්පාදනය යලි පන ගන්වා ගැනීමට කම්කරුවන් වැඩට දක්කා ගැනීමේ අරමුනයි. 

ආශ්‍රිතයන්ගේ ව්‍යාප්තියක් රට පුරා දක්නට ඇතත් අගුලු දැමීමක් (ලොක්ඩවුන්) පනවන්නේ නැති බවට හමුදාපති කරන ප්‍ර‍කාශයන් යටින් පවතින්නේ ද එම දුෂ්ඨ අරමුනයි. ධනපති මාධ්‍යයෝ ද එයම පුනරුච්චාරනය කරති. ජූනි 13 දා දිවයින කතුවැකිය මෙසේ ලියයි: “කන්දකාඩු පොකුර මතුවීම නිසා රට යලිත් ලොක්ඩවුන් කල නොහැකිය. එය ප‍්‍රායෝගික නැත.”

වසංගතයක් සම්බන්ධයෙන් විභව ආසාදිතයන්ගේ සංචරනය සීමා කිරීමට සංචරන සීමාවන් පැනවීම මෙ බඳු අවස්ථාවක දී අත්‍යවශ්‍ය පියවරක් වෙයි. එසේ තිබියදී, රට අගුලු දැමීම ප්‍ර‍තික්ෂේප කිරීම පිටුපස අරමුනු දෙකක් පවතී. ඉන් පලමුවැන්න වනුයේ ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව පවත්වා ගැනීමයි. දෙවැන්න වනුයේ, අගෝස්තු 05 දා පැවැත්වෙන මහමැතිවරනයේදී පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතරයක් දිනා ගනිමින් ව්‍යවස්ථාව සංශෝධනය කොට ආඥාදායක පාලනයක් තහවුරු කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ දරන ප්‍ර‍යත්නය තුල මැතිවරනය අබාධිතව පැවැත්වීමයි.

Loading