අතිකාල දීමනා කප්පාදුවට එරෙහිව මහනුවර රෝහලේ හෙද-හෙදියෝ විරෝධතාවයේ යෙදෙති

කොවිඩ්-19 වසංගත තත්වය යටතේ සේවයේ යෙදෙන හෙද-හෙදියන්ට ලබාදෙන බවට ආන්ඩුව පොරොන්දු වු විශේෂ අතිකාල දීමනා ලබා නොදීමට එරෙහිව මේ මස 13 දා මහනුවර ජාතික රෝහලේ හෙද-හෙදියෝ 300 ක් පමන දෙනා විරෝධතාවක නිරත වූහ. ප්‍රසිද්ධ නිවාඩු දින දීමනා සහ කාර්යය වියුක්ත දීමනා වහා ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

දශක ගනනක කප්පාදුව මගින් විනාශ කෙරුනු රෝහල් යටිතල පහසුකම් වලට ද, වැටුප් කප්පාදුවට මෙන්ම ජීවන වියදම් ඉහලයෑමට ද මුහුන දී සිටින හෙද-හෙදියන්  ඇතුලු රටපුරා රෝහල් සේවකයන්‌ගේ රැකියා හා ජීවන කොන්දේසි කොරෝනා වසංගතය හේතුවෙන් වඩාත් දරුනු කෙරී පවතී. නිසි පෞද්ගලික ආරක්ෂන උපකරනවල දැඩි ඌනතාවය ඔවුන් දැන් මුහුන දෙන දරුනුම ගැටලුවකි. 

මහනුවර හෙද විරෝධතාවයට ඉහල සේවක සංඛ්‍යාවක් සහභාගීවීම  මගින් පෙන්නුම් කෙරුනේ වෘත්තීය සමිතිවල පස්සට ඇදීම් කපා ගෙන තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමේ ඔවුන්ගේ දැවෙන අවශ්‍යතාවයයි.

හෙද-හෙදියන්ගේ විරෝධතාව.

“ශ්‍රම සූරා කෑම නවතනු”,“පාලකයිනි සුව උපහාරය යනු අපට හිමි දීමනා කප්පාදුවද ?” සහ “පාලකයිනි, අවදානම නොසලකා කල සේවයට හිමි දීමනා වහා ගෙවනු” ආදී සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් හෙද සේවකයෝ එදින පෙරවරු 7 සිට 10 දක්වා රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ. පසුව තවත් පැයක පමන කාලයක් කොලඹ නුවර මාර්ගය අසල නිහඬ විරෝධතාවයක් ඔවුන් පැවැත්වූහ. 

කොවිඩ්-19 ක්‍රියාත්මක වූ මාර්තු මස සිට මැයි 11 දක්වා කාලයේදී නිකුත් කෙරුනු විවිධ චක්‍රලේඛවලින් හෙද සේවකයන්ට අදාල සේවා සැපයීම් සහ ගෙවීම් පිලිබඳ නියමයන්, ප්‍රකාශ කර තිබුනි. නමුත් එම දීමනා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස පත්කල ඉහල මිලිටරි නිලධාරියකු වන වෛද්‍ය ඇස්.එච්. මුනසිංහගේ නියෝග මත කපා හැර ඇති බව විරෝධතාකරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කර සිටියහ. 

සාමාන්‍ය ලෙස හෙද සේවාවේ දිනක සේවා කාලය පැය 6 කි. එනම් සේවා මුර සකසා ඇත්තේ, සතියට පැය 36 ක් රාජකාරි කල යුතු ආකාරයටය. සතියම වැඩ කලොත්, පැය 42ක් වන අතර ඉන් පැය 6 ක් අතිකාල ලෙස සැලකුනි.

වසංගත තත්වය හමුවේ නිකුත් කල අංක 30/2020 දරන චක්‍රලේඛයට අනුව ඔවුන්ගේ දිනක සේවා කාලය පැය 24 ක් බවට පත් කොට තිබේ. . ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීමේ අරමුනෙන්  එම පියවර ගත්බව චක්‍රලේඛයේ සඳහන් කර ඇතත් හෙදියන් ඇතුලු අවශේෂ සෞඛ්‍ය කාර්යමන්ඩල හිඟය ඒ තත්වයට හේතුව බව විරෝධතාකරුවෝ පවසති. 

සෞඛ්‍ය කාර්යමන්ඩල සේවකයින්ගේ පාගමන-

ලෝක සමජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් දක්වමින් විරෝධතාවට සහභාගී වූ හෙද සේවකයෙකු ප්‍රකාශ කලේ වසංගතය ආරම්භයේ සිට ජීවිත බේරා ගැනීමත් රෝග ව්‍යාප්තිය අවම කිරීමත් පලමු තැන තබා ඔවුන් කටයුතු කල බවයි. නමුත් වසංගතයෙන් ජීවිත බේරා ගැනීමට නම් සෞඛ්‍යය කාර්යය මන්ඩලවල ආරක්ෂාව සහ රැකියා කොන්දේසි සුරක්ෂිත වීමට පලමු තැන හිමි විය යුතු යයි ඔහු කියා සිටියේ ය.  

ඔහු වැඩිදුරටත්මෙසේ ප්‍රකාශ කලේ ය: “චක්‍රලේඛයකින් අපේ සේවා කාලය පැය 24ක් කලා. ඒ අනුව දවසේ සේවා මුරය පැය 10 ක් උනා. ඉතිරි පැය14 අතිකාල සේවා බවට පත් කලා. කාර්යය මන්ඩලය 3 ට බෙදුවා. ඒ අනුව අතිකාල, නිවාඩු දින දීමනා ආදිය ලබා දෙන බවත් කියලා තිබුනා. නමුත් දැන් ඒවා කපලා. 50,000ක් ඉල්ලුවොත් 30,000යි ලැබෙන්නේ”. 

විරෝධතාවට සම්බන්ධ වූ තවත් හෙදියක් කෝපයෙන් මෙසේ ප්‍රකාශ කලාය: "අපිටත් දරු මල්ලන් ඉන්නවා අපි මේ කොවිඩ් මාරක ලෙඩේ මැද්දේ වැඩ කරන්නෙ හරිම අනාරක්ෂිත තත්ත්වයකින්. අපිට ප්‍රමිතිගත සෞඛ්‍ය ආරක්ෂිත උපකරන නෑ. ඒවා ඉල්ලා සිටියත් ලැබෙන්නෙ නෑ. මිනිස්සු ගැන හිතලයි වැඩ කරන්නෙ. පැය 24ක් වැඩ ගත්තා. කැඳවන ඕන වෙලාවක එන්න ඕනේ. අන්තිමට දෙනවයි කිව්ව දීමනාත් නෑ. මේකද සුව විරුවන්ට කරන ආචාරය? අපි නොනවත්වා විරෝධතා දක්වනවා”. 

ඇය වැඩි දුරටත් විස්තර කලේ ඔවුන් අතිකාල සේවයේ යෙදෙනුයේ සේවක මන්ඩලයේ හිඟය නිසා බවයි. “අතිකාල සේවා හේතුවෙන් අපේ රැකියා හා ජීවන කොන්දේසි දුෂ්කර වෙලා. ලැබෙන වැටුප ප්‍රමානවත් නෑ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුලු ජීවන වියදම් හේතුවෙන් අපිට අතිකාල කිරීමට බල කෙරිලා තියෙනවා. අපි නිවසට යන්නෙ නිදාගන්න. ආයෙ අවදි වෙලා සේවා මුරයට එන්න ඕනි. චක්‍රලේඛ ගහලා දීමනා කපා හැරීම අසාධාරන” යැයි ඇය ප්‍රකාශ කලා ය. 

දකුනු පලාත් සභාව මගින් පාලනය වන රෝහල්වල අතිකාල නොගෙවීමට එරෙහිව බලපිටිය, වලස්මුල්ල, ඇල්පිටිය හා තිස්සමහාරාම යන මූලික රෝහල්වල සෞඛ්‍යය සහායක කාර්ය මන්ඩල සේවකයෝ පසුගිය මැයි සහ ජුනි මාසවල විරෝධතාවල නිරත වූහ.  

රටපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ වනවිටත් වසංගතය සම්බන්ධ රාජකාරීවලින් ඉවත්වීමට තීන්දු කර වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වී සිටිති. පෞද්ගලික ආරක්ෂන උපකරන ඉල්ලා එම සේවකයන් කිහිප වතාවක් විරෝධතාවල යෙදී ඇත. 

කම්කරු පන්තියේ සෑම අංශයක් තුලම විරෝධය වැඩෙන තත්වයක් තුල රාජපක්ෂ තම මිලිටරීකරන වැඩකටයුතු වේගවත් කර තිබේ. හෙද දීමනා කප්පාදුව දැන් සිදු කෙරෙන්නේ මිලිටරි නිලධාරීන්ගේ පාලනයක් යටතේ ය. 

ජූනි 2 දා ජනාධිපති රාජපක්ෂ නිකුත් කල ගැසට් නිවේදනයක් මඟින් තමන්ට පමනක් වගකියන, විශාල බලයන් සහිතව මිලිටරියේ මූලිකත්වයෙන් කාර්යය සාධක බලකායක් ස්ථාපනය කරන ලදි. ප්‍රධාන මිලිටරි නායකයන්ගෙන් සමන්විත මෙම බලකාය මෙහෙයවනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාම ගිය මේජර් ජෙනරල් කමල් ගුනරත්න විසිනි.

අගෝස්තු 05 දා මහ මැතිවරනයෙන් රාජපක්ෂ තුනෙන් දෙකක බලයක් තහවුරු කරගැනීමට වලිකන්නේ මෙම වැඩපිලිවෙල තවත් රුදුරුව ඉදිරියට ගෙන යෑමටයි. 

වසංගතය හමුවේ එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනයේ සිට ඉන්දියාවේ මෝදි සහ රාජපක්ෂ දක්වා ලොවපුරා සහචර පාලක පන්තීන්ගේ උත්සුකය මහජනයාගේ ජීවිතාරක්ෂාව නොව, මහ බැංකුකරුවන්ගේ සහ සංගතහිමියන්ගේ ලාභ රැකදීමයි.  

කොවිඩ්-19 ප්‍රබලම බලපෑම ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ, බිලියනපතියන් අතලොස්සට පොම්ප කර ඇති මුල්‍ය ප්‍රතිප්‍රදානය ඩොලර් ට්‍රිලියන 7.1කි. ලංකාවේ මහබැංකුව ව්‍යාපාරිකයින්ට රුපියල් බිලියන 150 ක් පසුගිය 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4 ක අඩුම පොලියට හෝ පොලී රහිතව ප්‍රදානය කිරීමට කටයුතු යෙදුවේ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මතයි.  

මෙය මෙසේ සිදුවන්නේ, සෞඛ්‍ය සේවකයින් ඇතුලු සකලවිධ කම්කරු පීඩිතයින් අවම සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයන් මත අනතුරට හෙලා, ඔවුන් යලි වැඩට දැක්කීමේ තුච්ඡ පිලිවෙත හේතුවෙන් ඇමරිකාව ඇතුලු ලොව පුරා ජනයා මිලියන ගනන් ආසාදිතයන් වී ලක්ෂ ගනන් මිය යමින් සිටියදීය.     

ජාත්‍යන්තර හෙද කවුන්සිලය (අයිසීඑන්) විසින් නිකුත් කරන ලද වාර්තාවක, ලොව පුරා හෙදියන් 600 ට වැඩි පිරිසක් වෛරස ආසදනයෙන් මියගොස් ඇති බවත් සියලු වර්ග වල සෞඛ්‍ය සේවකයින් 450,000 ට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බවත් සඳහන් කෙරෙයි. ආරක්ෂක උපකරන හා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිම්බාබ්බේ, බ්‍රසීලයේ හා ඇමරකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ හෙදියෝ බලගතු වර්ජන ක්‍රියාවල යෙදුනාහ. ප්‍රන්සයේ හෙද කම්කරුවන් තවත් එවන් වර්ජනයක නිරතවීමට නියමිත ය. 

ධනේශ්වර ක්‍රමයේ ගැඹුරුවන අර්බූදය හමුවේ ලොවපුරා වෘත්තීය සමිති අර්බූදයේ බර කම්කරු පන්තිය මත පටවන ධනේශ්වර උපකරන බවට පත්ව තිබේ.

ලංකාවේ හෙද සේවකයින්  අතර කටයුතු කරන සමන් රත්නප්‍රිය නායකත්වය දරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුවගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවෙන සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුලු සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති රාජපක්ෂ ආන්ඩුවේ මිලිටරීකරන වැඩකටයුතු හමුවේ කම්කරු පන්තිය නිරායුද කර තිබේ. 

 

ලෝසවෙඅ අදහස් දැක්වූ කම්කරුවෙක් ප්‍රකාශ කලේ, රත්නප්‍රිය සමිති ම එකතු වෙනවාට විරෝධය පෑ බවයි. ඔහු අරගලයෙන් පසෙකට වී සිටීමට තම සාමාජිකත්වයට කියා සිටියත් අවසානයේ  ඔහුගේ අන නොතකා සියලු හෙදියන් විරෝධතාවයට සම්බන්ධ වන තත්වයේ දී ඔහු විරෝධතාවයට පැන ගැනීමට උත්සාහ ගත් බව එම කම්කරුවා විස්තර කලේ ය. එමෙන්ම ඇතැම් හෙද සේවකයින් ඉහත වෘත්තීය සංගම් වලින් ඉවත් වීමටත්, සාමාජික මුදල් කැපීම නවතන ලෙසටත්, ලිඛිතව දන්වා ඇති බව පේරාදෙනිය සහ ගම්පොල රෝහල් හෙද සේවකයින්ගෙන් වාර්තා විය. 

වෘත්තීය සමිති නායකත්වයේ වැඩපිලිවෙල දැඩිව විවේචනය කල හෙද ක්‍රියාකාරිකයෙකු “සමිති වල නිලතල ගත්ත උන් කුක්කො වගේ ඉන්නවා. අපි අපේ අයිතීන් වෙනුවෙන් විරෝධතා දක්වනවා. සමිති ගැන අපේ කිසි විශ්වාසයක් නෑ” යයි ප්‍රකාශ කලේ ය. 

තම අරගලය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ඉදිරිපත් කරන, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සමාජවාදී වැඩපිලිවෙල මත සමස්ත සෞඛ්‍යය කාර්ය මන්ඩල සමගත් අවශේෂ කම්කරු පන්තිය සමගත් ඒකාබද්ධව තම අරගලය ඉදිරියට ගෙන යෑම සම්බන්ධව එම කම්කරුවෝ ලෝසවෙඅ වාර්තාකරුවන් සමග උනන්දු සහගත සාකච්ඡාවකට සම්බන්ධ වූහ.

Loading