ග්රන්ථ විචාර:

සෑම ලේ බිඳුවක් ම: ඒබ්‍රහම් ලින්කන්ගේ අර්ථභාරී දෙවන පදවිප්‍රාප්තිය

මෙම ලිපිය ජුනි 11 ඉංග්‍රීසි බසින් පලවිය.

එඩ්වඩ් ආකෝන්, ඇට්ලන්ටික් මන්ත්ලි ප්‍රෙස්, පිටු 416 යි.

ගෙටිස්බර්ග්හි පැවැත්වූ කතාව ද සමගින්, ලින්කන්ගේ දෙවන පදවිප්‍රාප්ති කතාව එක්සත් ජනපද ඉතිහාසයෙහි වඩාත් ම වැදගත් දේශන අතරින් එකක් ලෙස සලකනු ලබයි. ලින්කන්ගේ දෙවන පදවිප්‍රාප්ති කතාව, ඔහුගේ වඩාත් ම අනුස්මරනීය දේශන වලින් එකක් ලෙස සලකනු ලබයි. වචන 700ක් පමනක් අඩංගු කරගන්නා එය, ගෙටිස්බර්ග් කතාව ද සමගින් වොෂින්ටන් ඩීසීහි ලින්කන් ස්මාරකය තුල ශිලා ලේඛනගත කරනු ලැබ ඇත. 

වහල් ක්‍රමය ඒකාන්ත වැරැද්දක් ලෙස හෙලා දක්නා ලද ලින්කන්ගේ පලමු කතාව වීම නිසා, දෙවන පදවිප්‍රාප්ති කතාව සුවිශේෂී විය. වහල් ක්‍රමය පවත්වාගෙන ගිය දකුන සහ උතුර අතර එකඟතාවක් ස්ථාපිත කරගැනීම ඉලක්ක කරගෙන යලි යලිත් දැරූ උත්සාහයන්ගේ විෂයය ලෙස වහල් ක්‍රමය පිලිබඳ ප්‍රශ්නය පැවතුනු දශක ගනනක් එමගින් අවසානයට ගෙන ආවේ ය.

ලින්කන්ගේ දෙවන පදවිප්‍රාප්තිය වටා පවතින සිදුවීම් අනාවරනය කරන රෝඩ් අයිලන්ඩ්හි ප්‍රොවිඩන්ස් ජනමාධ්‍යවේදී එඩ්වඩ් ආකෝන්ගේ නව කෘතියක් මඟින්, අප්‍රිකානු-ඇමරිකානු අහෝසිතාවාදී ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස්, ඝාතක ජෝන් විල්ක්ස් බූත් හා කිවියර වෝල්ඩ් විට්මන්ගේ ජීවිතවලට සම්බන්ධ ආංශික කතන්දර ගනනාවක් අනුරේඛනය කෙරේ.

එහි ප්‍රස්ථාවනාව විසින් කිසියම් ආකාරයක ඓතිහාසික දර්ශන තලය සැකසීමක් සිදු කෙරෙයි. 1865 මාර්තු මුල දී, ඇමරිකානු සිවිල් යුද්ධය එහි අවසානය කරා ලඟාවෙමින් තිබුනි. පෙර නොඇසූ විරූ ලෙස රුධිරය හැලූ සිව් වසරකට පසු, දකුනේ රාජ්‍ය සන්ධානය (Confederacy) ගත කරමින් සිටියේ එහි අවසන් සති කිහිපයයි. උතුරේ එක්සත් සංගමයේ (Union) ජෙනරාල් ෂර්මන්ගේ භටයන් කැරොලිනා ප්‍රාන්ත හරහා උතුර වෙත ලඟාවෙමින් සිටියේ, රිච්මන්ඩ් නගරය ආරක්ෂා කරමින් සිටි දකුනු සන්ධානයේ ජෙනරාල් ලීගේ පිරිහෙමින් තිබුනු හමුදාවන් මත ග්‍රාන්ට්ගේ හමුදාව දැඩි ග්‍රහනයක් තබාගෙන සිටිය දී ය. 

දකුනේ ප්‍රාන්තවල වෙන් වී යාම විසින් ප්‍රේරනය කරන ලද යුද්ධය මුල දී දියත් කරන ලදුව තිබුනේ එක්සත් සංගමය ආරක්ෂා කරගැනීමට පමනි. එහෙත් එය නිර්දය තර්කනයක් හරහා, වහල් දේපොල ක්‍රමයට එරෙහි විප්ලවවාදී අරගලයක් බවට පරිනාමය විය. රාජ්‍ය සන්ධානයට එරෙහි ව සටන් වැදීම සඳහා, නිදහස් කරන ලද වහලුන් ලක්ෂ ගනනක් සන්නද්ධ කරන ලැබ තිබුනු අතර, 1865 ජනවාරියේ එක්සත් ජනපද කොංග්‍රසය වහල් ක්‍රමය තහනම් කරන 13  වන සංශෝධනය සම්මත කිරීම සම්පූර්න කලේ ය.

ජෝර්ජ් බී මැක්ක්ලෙනන්

 1864 ගිම්හානයේ යුද්ධය හායනික අවධියක් කරා ඇතුලු වෙද්දී, රාජ්‍ය සන්ධානය සමග සාමය හා වහල් ක්‍රමය සුරක්ෂිත කරගැනීම සඳහා පක්ෂපාතී වූ එක්සත් සංගමයේ හිටපු ජෙනරාල් ජෝර්ජ් මැක්ක්ලෙනන්ට ජනාධිපතිවරනයේ දී ලින්කන් පරාජය වනු ඇතැයි පෙනී ගියේ ය. සුදු කාන්තාවන් අප්‍රිකානු ඇමරිකානුවන් සමග බලයෙන් විවාහ කරවනු ඇතැයි යන තැති ගන්වන කියාපෑම් සමගින් ඩිමොක්‍රටිකයෝ එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත් ම වර්ගවාදී උද්ඝෝෂනය පවත්වා ගෙන ගියෝය. කෙසේවෙතත් ලින්කන් ස්ථීරසාර ව නිදහස් ප්‍රකාශය හා වහල් ක්‍රමය අවසන් කිරීමේ ඉලක්කය පිටුපස  සිටියේ ය.

සැප්තැම්බරයේ දී ජෙනරාල් විලියම් ටෙකුම්සේ ෂර්මන් ඇට්ලන්ටාව අල්ලා ගැනීම මහජන මනෝගතීන් මාරු කිරීමට උදවු වූ අතර, එක්සත් සංගම් සොල්දාදුවන්ගේ ඡන්දවල තල්ලුව ලත් ලින්කන් තීරනාත්මක වැඩි ඡන්ද ප්‍රමානයකින් යලි තේරී පත්විය.

ඇමරිකාවේ අරගලයෙහි වැදගත් කම ලොව පුරා පිලිගැනීමට භාජනය වුනි. ආකෝන් එය සඳහන් නො කල ද ලින්කන්ගේ තේරී පත්වීම පිලිබඳ ව පලමුවන ජාත්‍යන්තර වැඩකරන ජනතා සංගමය වෙනුවෙන්, කාල් මාක්ස් ලින්කන්ට සුභපැතුම් යැවී ය: “යදමින් බැඳුනු වර්ගයක් මුදා ගැනීම හා සමාජීය ලෝකයක් යලි ගොඩනැගීම සඳහා වන අද්විතීය අරගලයේ දී ඔහුගේ රට මෙහෙයවීමට, ඒබ්‍රහම් ලින්කන් නමැති ඒකාභිප්‍රායික කම්කරු පන්තියේ පුත්‍රයාගේ සමූහයට තමන් නතු වූ යුගයේ උදාව ඔවුහු උද්‍යෝගයෙන් සලකති.” 

 

ජෙනරාල් විලියම් ටී. ෂර්මන්

දැන් රාජ්‍ය සන්ධානය බිඳ වැටීම කරා ලඟාවෙමින් තිබූ අතර, අවසානය ලං ව ඇති බව පෙනුනි. නිදහස් කරන ලද වහලුන්ට කුමක් සිදුවනු ඇතිදැයි යන ප්‍රශ්නය දැවැන්ත ඡායාවක් සේ පැතිර තිබින. දෙවන පදවිප්‍රාප්තිය, වඩා පුලුල්ව වහල් ක්‍රමයට එරෙහි ව ද, අප්‍රිකානු-ඇමරිකානුවන් පුරවැසියන් පිලිගැනීම කරා ද  ලින්කන්ගේ  හා මහජන මතයේ ප්‍රධාන මාරුවීමක් පිලිබඳ සංඥාවක් විය.

දෙවන පදවිප්‍රාප්ති දේශනය ඉංග්‍රීසි භාෂාවේ එන ව්‍යක්තතම දේශපාලන කථාවන් අතරෙහි ලා ගැනෙන්නෙකි. බයිබලීය හැඟවීම් වල සලුපිලි වලින් සරසා තිබූ මෙම කතාවට, පහත දැක්වෙන අමරනීය වචන ඇතුලත් ය: 

“යුද්ධයේ මේ යෝධ විනාශය ඉක්මනින් පහව යනු ඇතැයි ස්නේහයෙන් යුතු ව අපි අපේක්ෂා කරමු- අපි ඒ සඳහා උද්‍යෝගයෙන් යාඥා කරමු. එහෙත්, වසර තුන්දහසකට පෙර කියන ලද පරිදි, කිසිදු ප්‍රතිදානයක් නො ලත් දාසයාගේ වසර දෙසිය පනහක මහන්සියෙන් ඉපැයූ සියලු ධනය කිඳී යන තෙක් ද කසය භාවිතා කොට උකහාගත් සෑම ලේ බිඳුවකට ම, කඩුව මඟින් උකහා ගැනුනු තවත් ලේ බිඳුවකින් වන්දි ගෙවෙන තෙක් ද එය දිගට ම පැවතීම ඉදින් දෙවියන්ගේ කැමැත්ත වන්නේ නම්, ‘ස්වාමීන් වහන්සේගේ විනිශ්චයන් මුලුමනින් ම සත්‍යමය හා ධාර්මික වේ'යැයි තවමත් අප කිව යුතුය. 

සිවිල් යුද්ධය ජනනය කිරීමේ දී වහල් ක්‍රමයෙහි භූමිකාව පිලිබඳ තියුනු හෙලිදරවුවක් මෙම උත්කෘෂ්ඨ ඡේදයට ප්‍රථමයෙන් ලින්කන්ගේ දේශනය විසින් සම්පාදනය කරනු ලැබ තිබින.

රාත්‍රීයේ දී ලින්කන් ස්මාරකය මත දෙවන පදවිප්‍රාප්තියෙහි ශිලා ලේඛනය පෙනෙන ආකාරය

 දෙවන පදවිප්‍රාප්ති කතාව එහි පලල් ඓතිහාසික සන්දර්භයේ මූලයන් මත පිහිටුවීම පිනිස ආකොන්ගේ කෘතියට මීට වඩා යමක් කල හැකි ව තිබිනි. එම කෘතිය ද්වීතීයික ප්‍රශ්න -උදාහරනයක් ලෙස ලින්කන් ආගමික වූවා ද නැද්ද යන්න වැනි- මත පමන ඉක්මවූ අවධානයක් යොමු කරයි. පදවිප්‍රාප්තිය සඳහා වූ සංවිධානාත්මක සූදානම්වීම් ගැන බොහෝ තොරතුරු එහි එයි. කතුවරයා හඳුන්වාදෙන සමහර කරුනු රුචිකර වුව ද නො වැදගත් කරුනු ද එහි බොහෝ සෙයින් තිබේ.

ලීගේ හමුදාව උතුරේ උලිසීස් එස්. ග්‍රාන්ට් සහ දකුනේ ෂර්මන් අතර දඬු අඬුවට හසුකල කැරොලිනා ප්‍රාන්ත හරහා ෂර්මන්ගේ පාගමන වඩාත් වැදගත් වූවකි. නාට්‍යමය අවස්ථාවක් සඳහා වන විචක්ෂනභාවයෙන් යුතුව, ෆෝට් සම්ටර් වෙත තබන පලමු කාල තුවක්කු වෙඩිල්ල ලින්කන්ගේ පදවියේ දිවුරුම් දීම සමග සමපාත වන අයුරින් තැබීමට ෂර්මන් කටයුතු සූදානම් කලේ ය.

ෂර්මන්ගේ භූමිකාව සාකච්ඡා කිරීමේ දී, දකුනු කැරොලිනාවේ එක්සත් සංගම් හමුදාව විසින් වහල් හිමි කතිපයාධිකාරයට සිදුකල විනාශය මත කතුවරයා ඒක පාර්ශ්වීය අවධානයක් යොමු කරයි. වහලුන් හෝ වතු අයත් ව නො සිටි; ඒ අනුව වහල් ක්‍රමය මඟින් කිසිදු ප්‍රතිලාභයක් නොලද්දා වූ; දුගී සුදු ජාතිකයන්ගේ අදහස් මුලුමනින් ම ද, වහල් ජනයාගේ අදහස් විශාල වසයෙන් ද බැහැර කරමින්, දකුනේ ඉසුරුමත් සුදු ආර්යාවන් කිහිප දෙනෙකුගේ විස්තර වාර්තා “දකුනේ” දෘෂ්ටි ආස්ථානය ලෙස ඉදිරිපත් කරනු ලැබේ. 

 

ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස් (1879 සමයේ)

 කෘතියෙහි වඩාත් ම මනබඳිනසුලු ඡේද කිහිපයක්, ලින්කන් කෙරෙහි ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස්ගේ වෙනස්වන ආකල්ප ඉදිරිපත් කරයි. සෑමවිට ම වහල් ක්‍රමයේ විරුද්ධවාදියෙක් වූ ලින්කන් කිසිදු අයුරකින් අහෝසිතාවාදියෙකු නො වූ අතර, ඔහු උත්සාහ කලේ වහල් ක්‍රමය නව ප්‍රදේශවලට පැතිර යාම නැවැත්වීමට පමනෙකි.

ලින්කන් සමග ඩග්ලස්ගේ පලමු මුහුනට මුහුන හමුව සිදු වූයේ 1863 අගෝස්තුවේ දී ධවල මන්දිරයේ දී ය. කතුවරයා සටහන් කරන පරිදි, ඔහුට නියම කරගත් වෙලාවක් නො තිබුන ද ඔහු වහා ම ඇතුලු විය. “ඔහු සමග සමාගමයේ දී කිසිවිටෙකත් මට මගේ පහත් ලෙස සම්මත සම්භවය හෝ ජනප්‍රිය නො වූ වර්නය පිලිබඳව සිහිපත් කර දෙනු නො ලැබී ය” යි ඩග්ලස් පසුව සඳහන් කලේ ය. පැවැති දේශපාලන හා යුද තතු පිලිබඳ ඔහුගේ අදහස් ලින්කන් විසින් විමසන ලද කල්හි ඔහු, ජනාධිපතිවරයාගේ “මන්දගාමී, පසුබානසුලු, වැනෙනසුලු පිලිවෙත” ලෙස ඔහුට හැඟුනු දෙය සම්බන්ධයෙන් ඔහු ලින්කන් විවේචනය කලේ ය. තමන් මන්දගාමී යයි පෙනිය හැකි වුවත්, තමා වැනුනේ නැති බව ලින්කන් පිලිතුරු වසයෙන් කීවේ ය. “වරෙක යම් ආස්ථානයකට එලැඹි පසු මා එයින් කිසිවිටෙකත් පසුබා ගිය බවට පෙන්නුම් කල නොහැකියැයි මා හිතනවා.”

1864 අගෝස්තුවේ සිදු වූ ඔවුන්ගේ දෙවන හමුවේ දී, තමන් එලඹෙන මැතිවරනය පරාජය විය හැකි බවට ලින්කන් ඩග්ලස්ට අනතුරු ඇඟවී ය. යුද්ධය අවසන් වූ විට ඔවුන්ට නිදහස් විය හැකි වන පරිදි, එක්සත් සංගමයේ පිලිවෙත් අනුයමින් ආරක්ෂාව පැතීමට හැකිතාක් වහලුන් ව දිරිගැන්වීමට උදවු කරන ලෙස ඔහු ඩග්ලස්ගෙන් ඉල්ලා සිටියේ ය. “ඔහු විසින් මින් පෙර කතා කරන ලද හෝ ලියන ලද කිසිවක නො තිබුනු වහල් ක්‍රමයට එරෙහි ගැඹුරු සදාචාරාත්මක ඒත්තු ගැනීමක් මෙම දිනයේ ඔහු කී දේවල් පෙන්නුම් කලා” යි ඩග්ලස් මතකයට නැංවී ය.

අවුරුදු ගනනාවකට පසු ඩග්ලස් සිහිපත් කල පරිදි, අහෝසිතාවාදීන්ගේ ඉදිරිදර්ශනයේ මිම්මෙන් ගත් කල, ලින්කන් “මන්දගාමී” ලෙස දැකිය හැකි වූවා විය හැකි ය. “එහෙත්, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහු තම රටේ මනෝභාවයන්ගෙන් උපදෙස් ගැනීමට බැඳී සිටියේය. රටේ එකී මනෝභාවයන්ගේ මිම්මෙන් මනින ලද කල්හි ලින්කන් “අප්‍රමාද, ප්‍රෝත්සාහී, රැඩිකල් හා අධිෂ්ඨාන සහගත” අයෙකු විය.

ලින්කන් පිලිබඳ මෙම දෘෂ්ටිය, එක්සත් ජනපද ඉතිහාසයේ වාර්ගීකෘත දෘෂ්ටියක් ඉදිරිපත් කිරීමට මෑතක දී තැත් දැරූ නිව් යෝක් ටයිම්ස් හා එහි 1619 ව්‍යාපෘතිය, ලින්කන් වහලුන්ගේ ඉරනම පිලිබඳ උනන්දුවක් නොදැක්වූ තවත් සුදු වර්ගවාදී ජනාධිපතිවරයෙකු ලෙස දක්වමින් ද ඇමරිකානු සිවිල් යුද්ධයේ අති දැවැන්ත විප්ලවවාදී අර්ථභාරය ප්‍රතික්ෂේප කරමින් ද ඉදිරිපත් කරන දෘෂ්ඨියට පටහැනි වේ.

ඒබ්‍රහම් ලින්කන්ගේ දෙවන පදවිප්‍රාප්ති කතාව

 නිව් යෝක්හි කූපර් සංගමයේ 1864 ජනවාරියේ කල කතාවක දී ඩග්ලස් ප්‍රකාශ කල පරිදි: “මේ රටේ හිතෛෂී ජනයා වහල් හිමි කැරලිකරුවන්ට එරෙහි ව දැන් දියත් කරමින් සිටින යුද්ධයට වඩා උදාර හෝ අනර්ඝ යුද්ධයක් ලෝකය මීට පෙර දැක නැත. අප එල්ල කරන ප්‍රහාරය හුදෙක් රටක් හෝ මහාද්වීපයක් පමනක් නො ව, සමස්ත ලෝකයම වහල් ක්‍රමයෙන් මුදාගැනීම සඳහා ය. මක්නිසාද යත්, මෙහි වහල් ක්‍රමය බිඳවැටෙන විට එය සෑම තැනක ම බිඳවැටෙනු ඇත.”

ලින්කන්ගේ දෙවන පදවිප්‍රාප්ති කතාව තියුනු ලෙස ධ්‍රැවීකරනය වූ අදහස් කැඳවාලීම පුදුමයට හේතුවක් නො වේ. “සාහිත්‍යමය අර්ථ නිරූපනය අතින් පමනක් නො ව, එහි අදහස්, එහි මනෝගතීන් හා එහි අවබෝධය අතින් ද එතරම් මැ අක්‍රමවත්, එතරම් මැ ලිහිල් ලෙස බද්ධ, එතරම් මැ ලාබාල ලේඛනයක්” නිපදවීම ලින්කන්ට කල හැකි බවක් පෙනෙන්නට නො තිබූ බැව් ඩිමොක්‍රටික් පක්ෂ-හිතවාදී චිකාගෝ ටයිම්ස් පත්‍රය සඳහන් කලේ ය.

අනෙක් අතට ෆිලඩෙල්ෆියා එන්ක්වයරර් සඳහන් කලේ, කතාවෙහි සංක්ෂිප්ත භාවය හේතුවෙන් එය සැලකියයුතු එකක් වූ බවත්, “එහි සරල භාවය, බලය, ශෛලියේ පැහැදිලි කම හා එහි ජීවගුනයේ උදාරත්වය හේතුවෙන් වඩාත් විශිෂ්ඨ වූ" බවත් ය. "එය අදාල පුද්ගලයාට සහ අවස්ථාවට යෝග්‍ය වූ වටනා එකක් විය.”

“මා අතින් නිපදවුනු ඕනෑම දෙයක්  තරම් - හෝ ඊටත් වඩා හොඳ - ඕනෑම දෙයකින්” දෙවන පදවිප්‍රාප්තිය “සැරසීමට” තමන් අපේක්ෂා කල බව ආධාරකරුවෙකුට ලියමින් ලින්කන් කීවේ ය. “එහෙත් එය ක්ෂනික ව ජනප්‍රිය නො වේ ය යන්න මගේ විශ්වාසය යි.”

කනිෂ්ඨ චාල්ස් ෆ්‍රැන්සිස් ඇඩම්ස්

 බ්‍රිතාන්‍යයේ එක්සත් ජනපද තානාපතිගේ පුත්‍රයා වූ කනිෂ්ඨ චාල්ස් ෆ්‍රැන්සිස් ඇඩම්ස් ලින්කන් හඳුන්වා දුන්නේ “යුග ගනනාවක විස්මිතයන්ගෙන්” එකක් ලෙසය. එම කථාව “යුද්ධයේ ඓතිහාසික මුඛ්‍යාර්ථය” වී යැයි ඔහු සිතයි. 

ඩග්ලස්ගේ වාර්ගිකත්වය නිසා ඔහු ව වැලැක්වීමට ආරක්ෂකයන් දැරූ උත්සාහය නො තකා, පදවිප්‍රාප්තියෙන් පසුව පැවති පිලිගැනීමේ දී ලින්කන්ට අතට අත දීමට ඩග්ලස් අධිෂ්ඨාන කොට ගෙන සිටියේ ය. ඔහු ව හඳුනාගත් නම සඳහන් නො කල කොංග්‍රස් සාමාජිකයෙකුගේ උදවුවෙන් ඇතුලට යාමට ඩග්ලස් මග පාදාගත්තේ ය. පදවිප්‍රාප්ති කතාව පිලිබඳ ව ඩග්ලස් සිතන්නේ කුමක්දැයි ඔහුගෙන් ඇසීම සඳහා මඳකට නැවතීමට ලින්කන් බල කලේය. එය “ශුද්ධ වූ ප්‍රයත්නයකැ"යි ඩග්ලස් පිලිතුරු දුන්නේ ය.

ෆෝඩ් රංගශාලාවේ අඳුරු සිද්ධීන් හා ලින්කන්ගේ ඝාතනය යලි මතකයට නංවන අපරකථනයක් සමගින් ආකෝන් ඔහුගේ කෘතිය සමාප්ත කරයි. පදවිප්‍රාප්ති උත්සව කාලය පුරා ලින්කන්ගේ පසුපසින් යමින්, ජනාධිපතිවරයා පැහැර ගෙන යාමට බූත් දීර්ඝ කාලයක් පුරා සැලසුම් කොට තිබුනි. අඩුම ගනනේ නිදහස ලත් වහලුන්ගෙන් සමහරුන්ට ඡන්ද අයිතිය දීමට ලින්කන් මනාපයෙන් සිටින බව දැනගත් විට, පසුකලෙක ඔහුගේ සැලසුම මිනීමරු සැලසුමක් බවට හැරුනි.

ලින්කන් ඝාතනය උප ජනාධිපති ඇන්ඩෘ ජොන්සන් බලයට ගෙන ආවේය. ජොන්සන්ගේ බීමත්, අසංගතික පදවිප්‍රාප්ති කතාව, ආකෝන් විසින් යම් තරමක් විස්තරාත්මකව ඉදිරිපත් කෙරී ඇත. ජොන්සන් අප්‍රිකානු ඇමරිකානුවනට සිවිල් අයිතීන් දීමේ හා රැඩිකල් ප්‍රතිසංස්කරනයේ සමස්ත වැඩ පිලිවෙලේ කර්කශ විරුද්ධවාදියෙක් විය.

 ලින්කන් ඝාතනය කරනු නො ලැබුවේ නම්, ප්‍රතිසංස්කරනයට ඇති විය හැකි වූ බලපෑම ගැන සමපේක්ෂනය කිරීම සාධාරන ය. එහෙත්, දීර්ඝ-කාලීන ව ගත් විට, උතුරු පාලක ප්‍රභූන් අවසානයේ ප්‍රතිසංස්කරනය අවසන් කොට, දකුනේ පැරනි වහල් හිමි තන්ත්‍රයේ ඉතුරු පහදු මත බලය පුනස්ථාපනය කිරීමට ගත් තීරනය, බලගතු සමාජ බලවේගයක් ලෙස කාර්මික කම්කරු පන්තියේ ඉස්මතු වීම කෙරෙහි, ඔවුන්ට පැවති පොදු භීතිය විසින් නීර්නය කෙරුනකි. 

ඇමරිකානු සිවිල් යුද්ධය නමැති යෝධ ඓතිහාසික නාටකයේ සෑම අංශයක් ම සලකා බැලීමට අසමත් වීම ගැන කිසිදු ප්‍රයත්නයක් විවේචනය කරනු නො ලැබිය යුතු ය. ලින්කන්ගේ දෙවන පදවිප්‍රාප්තිය වටා වූ කතන්දරවලට හා “කෝනයන්ට” ආකෝන් ජනමාධ්‍යවේදියාගේ අක්ෂිය ගෙන එයි. එහෙත් සිවිල් යුද්ධයේ විප්ලවවාදී අර්ථභාරය විස්තර විසින් දුරවබෝධ වීමේ නැඹුරුවක් පවතී. ලින්කන්ගේ දෙවන පදවිප්‍රාප්ති දේශනයෙහි අලංකාරය වන්නේ, එම විප්ලවයේ බලය හා ඓතිහාසික ස්වභාවය එමගින් උදීරනය කරනු ලැබීමයි.

Loading