පුද්ගලික අංශයේ වෘත්තීය සමිති රැකියා සහ වැටුප් කප්පාදුවට තව තවත් රුකුල් දෙති

මැයි-ජුනි දෙමස සඳහා, ධනපති හාම්පුතුන්, ආන්ඩුව සහ වෘත්තීය සමිති අතර අත්සන් කෙරුනු ත්‍රෛපාර්ශවික ගිවිසුම සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකඟ වී ඇත. 

කම්කරුවන් නොමග යැවීම පිනිස වෘත්තීය සමිති විසින් ගිවිසුම අර්ථ කථනය කර ඇත්තේ  වසංගතය නිසා උද්ගත කෙරී ඇති අර්බුදය තුල “පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කිරීමේ” ගිවිසුමක්  ලෙස ය. එහෙත් එය කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් ආරක්ෂා කිරීමේ ගිවිසුමක් නොව එම අයිතීන් කප්පාදුව සඳහා   ධනපති හාම්පුතුන්ට තල්ලුව දෙන වරපත්‍රයකි. 

ගිවිසුමේ මූලික කොන්දේසි මෙසේය:

(1) කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා තිබූ ආයතන යලි විවෘත කිරීමේදී එහි සේවය කල සියලුම සේවකයින් ආයතන සේවයෙහි රඳවා තබා ගැනීම.

(2) ආයතනවල සේවකයින් සියයට 50 කට සීමා කරන්නේ නම්, ආන්ඩුව නියම කර ඇති  අයුරු සියලුම සේවකයින් මාරුවෙන් මාරුවට සේවයට කැඳවීම තුලින් සියලුම සේවකයින්ට සේවය කිරීම සඳහා සමාන අවස්ථා ලබා දීම.

(3) මාරුවෙන් මාරුවට සියයට 50 ක් සේවකයින් සේවයට කැඳවීම නිසා, සේවයට නො කැඳවන සේවකයින් හට එසේ සේවයට නොකැඳවන කාලය සඳහා ඔවුන්ගේ මූලික වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14,500 යන මුදලින් වැඩි මුදල වැටුප් වශයෙන් ගෙවීම සහ එම කාලය සඳහා සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් සඳහා දායක මුදල් බැර කිරීම.

නිදහස් වෙලඳ කලාප සහ  පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේස) සම ලේකම් ඇන්ටන් මාකස් “බන්දුල ගුනවර්ධන ඇමතිවරයා සැබෑ තත්වය විකෘති  කරයි යනුවෙන්” වැඩබිම වෙබ් අඩවියට ජුලි 18 වෙනිදා ලියු ලිපියක මෙසේ සඳහන් කරයි:  “සම්මුතියෙහි අන්තර්ගත කරුනු 03 ම එකිනෙකට සම්බන්ධවන අතර, ඉන් 01 ක් පමනක් ක්‍රියාත්මක කර අනෙකුත් කරුනු ක්‍රියාත්මක  නොකිරීමට හාම්පුතුන්ගේ පාර්ශ්වයට අයිතියක් නැති” බවත් “එම සාධනීය තත්ත්වය මත 2020 මැයි සහ ජුනි මාසවල මෙම සම්මුතිය ක්‍රියාත්මක  වීම නිසා කෝවිඞ්-19 වසංගතය ආරම්භයේදී ඇඟලුම් ඇතුලු අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවකයින් සේවයෙන් ඉවත් කිරීමට ඒ වන විට හාම්පුතුන් කර තිබූ ප්‍රකාශ  අනුව කටයුතු කිරීම අසීරු විය.”

පසුගිය මාස දෙක තුල කම්කරුවන්ගේ ජීවමාන අත් දැකීම වන්නේ, ගිවිසුම තඔයකටවත්  ගනන් නොගත් සමාගම් කිසිදු “අසීරුවක්” නැතිව ලක්ෂ  ගනනකගේ  රැකියා අහෝසි කිරීම සහ වැටුප්  කප්පාදුව රිසිසේ ක‍්‍රියාවට දැමීමයි.  කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති සමීක්ෂන වාර්තාවකට අනුව 2020 පෙබරවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුල පුද්ගලික අංශයේ සේවයේ නියුතුව සිටි කම්කරුවන් 596,022 න් සියයට 64.26 කට රැකියා අහිමි වී ඇත. ඒ අතරින්  නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා අහිමිවූ සංඛ්‍යාව  376,388 කි. පුද්ගලික අංශයේ බහුතරයක් කම්කරුවන් තවමත් සේවයට නොකැඳවා ඇති අතර ඇඟලුම් කම්හල් ඇතුලු පුද්ගලික අංශයේ ව්‍යවසායන් සැලකිය යුතු සංඛ්‍යාවක් පසුගිය දෙමස තුල මුලුමනින් ම වසා දැමුනි. 

වසංගතය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස හුවා දක්වමින් සේවයට නො කැඳවන කම්කරුවන් සඳහා ත්‍රෛපාර්ශවීය ගිවිසුම විසින් යෝජිත අවසන් වරට ලබාගත් වැටුපෙන් සියයට පනහක් හෝ රුපියල් 14,500 ඉහල යන ජීවන වියදමත් සමග කිසිසේත් නො ගැලපෙයි. එම මුදල රැකියා අහිමි වූ කම්කරුවෙකුගේ  පවුලකට තබා  තනි පුද්ගලයෙකුට වත් යැපීමට ප්‍රමානවත් නොවන  සොච්චමකි. 

ගිවිසුමෙන් ලත් අවසරය මත හාම්පුතුන් විසින්  ක්‍රියාවට දමනු ලබන රැකියා හා වැටුප් කප්පාදුව සහ වැඩ වේගවත් කිරීමට එරෙහිව කම්කරුවන් අතර බරපතල විරුද්ධත්වයක් වැඩෙමින් පවතින අතර ඇඟලුම් කම්කරුවන්ගේ අරගල ගනනාවක් පසුගිය දෙමස තුල මතු විය. 

එම තතු තුල ගිවිසුම හරහා ඔවුන්ගේ අයිතීන් බිල්ලට දීමේ වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී භූමිකාව ද වඩ වඩා එලිදරව් වීම කෙරෙහි භීතියක් සමිති නිලධරය තුල හටගෙන තිබේ. හාම්පුතුන් ගිවිසුම උල්ලංඝනය කරන බවට සහ බන්දුල ගුනවර්ධන සැබෑ තත්වය විකෘති කරන බවට මාකස් සහ ගිවිසුමට කරබදු වී සිටින වෘත්තීය සමිති නිලධරය නගන අ‌ඳෝනාවේ තේරුම එයයි.   

ජුලි 19 වෙනිදා ගිවිසුම යලි ‌මාස දෙකකට දීර්ඝ කිරීමේ දී  කම්කරුවන්ගේ ඇස්වලට වැලිගැසීමේ අරමුන ඇතිව ගිවිසුමේ කොන්දේසිවලට පලිප්පු දමන යෝජනා හයක් සමිති විසින් ඉදිරිපත් කර තිබේ. යෝජනාවලට සියලු පාර්ශවයන් එකඟ වූ බවද මාකස් සඳහන් කර ඇත. සමිති විසින් ඉදිරිපත්කරන ලද යෝජනා මෙසේය:

* සම්මුතියේ අංක 01 හි සඳහන් කෝවිඩ් -19 වසංගතය හේතු කොටගෙන වසා දමා තිබුනු  ආයතනවල සේවකයින් රඳවා ගැනීම යන වගන්තියට සියලු පාර්ශවයන් එකඟතාවය පලකිරීම.

* එම වගන්තියට පටහැනිව සේවකයින් ඉවත්කර ඇති ආයතනවල සේවයට නොකැඳවන සේවකයින්ට මූලික වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14,500 යන දෙකෙන් වැඩි මුදල වැටුප ලෙස ගෙවීම එකී වගන්තියට අදාල නොවන බව පිලිගැනීම. 

* ඒ වෙනුවට ඉහත වගන්ති දෙකම උල්ලංඝනය කරමින් සේවයෙන් ඉවත් කර ඇති සේවකයින් යලි සේවයට කැඳවීම  හෝ මූලික වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14500 යන දෙකෙන් වැඩි මුදල වැටුප ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින්ට මැයි සහ ජූනි මාස සඳහා සම්පූර්න වැටුප ගෙවීමට අදාල සේවා යෝජකයන් විසින් කටයුතු කිරීම.

* ත්‍රෛපාර්ශවික සම්මුතිය සාමූහික ගිවිසුම් වලට ආදේශකයක් ලෙස නොසැලකීම.

* ත්‍රෛපාර්ශවික  කාර්ය සාධක බලකාය එලැඹි සම්මුතිය අනුව ඇඳිරි නීතිය හේතුකොට  ගෙන සේවයට නො පැමිනි  දිනයන්ට වැටුප් ගෙවීමට  නියම කිරීම.  

* ඇඳිරි නීතිය හේතුකොට ගෙන සේවයට නොපැමිනි  සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා සේවය අවසන් කර ඇත්නම්, එය අනුමත ආකාරයට සේවය අවසන් කිරීමක් ලෙස සලකා සේවය අවසන් කිරීමේ අංශයට කරන පැමිනිලි භාර ගැනීම.

සේවයට නො කැඳවන සේවකයන් සඳහා සම්මුතියට අනුව වැටුප් ගෙවීම බොහෝ හාම්පුතුන් විසින් මඟ හැර ඇත. අදාල  වැටුප ගෙවන ලද ආයතන වල ද, ජුනි මාසයෙන් පසු කිසිදු ගෙවීමක් කල නොහැකි යැයි හාම්පුතුන් විසින් දන්වා ඇති බව පුද්ගලික අංශයේ, විශේෂයෙන් ම ඇඟලුම් කම්කරුවෝ පවසති.  

එමෙන් ම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජුලි 17 නිකුත්  කර ඇති නිවේදනයකට අනුව කම්කරු ඇමති දිනේෂ් ගුනවර්ධන විසින්  ඉදිරිපත් කරන ලද පත‍්‍රිකාවකට අදාලව අමාත්‍ය මන්ඩලය තීරනය කර ඇත්තේ මැයි- ජුනි මාස සඳහා සේවයට නො කැඳවූ සේවකයන් සඳහා පෙර පරිදිම, අවසන් වරට ලද මූලික වැටුපෙන් සියයට 50 හෝ රුපියල් 14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවන ලෙස මිස, වෘත්තීය සමිති කියන පරිදි එම මාස දෙක සඳහා සම්පූර්න  වැටුප ගෙවීමට එකඟවීමක් ගැන එහි සඳහනක් නැත. 

අවසන් යෝජනාව මගින් සිදුකෙරී ඇත්තේ, ඇඳිරි නීතිය කාලයේ සේවයට වාර්තා කිරීමට අපහසු වූ සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කම්කරු දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව ඔවුන්ගේ සේවය අහෝසි කිරීමට ඉඩ සැලසීමකි. ඇඳිරි නීති කාලය තුල  ප්‍රවාහන අපහසුතා නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ සේවකයන් දොට්ට දැමීම හාම්පුතුන් දැනටමත් ආරම්භ කර  ඇති අතර ඉහත යෝජනාව මගින් වෘත්තීය සමිති ඔවුන්ට නෛතික පදනමක් සපයා ඇත. 

ආර්ථිකය “යලි විවෘත කිරීම” යටතේ, තමන්ට අභිමත පරිදි ක්‍රියා කරමින්  කම්කරු පන්තියේ රැකියා හා වැටුප් කප්පාදුවට, රාජපක්ෂ ආන්ඩුව ධනපති සමාගම්වලට අවසර දී ඇත. “නව සාමාන්‍යය” සහ “යලි වැඩට” යන  පිලිවෙත් යටතේ,  සෑම රටකම ධනපති සමාගම් සහ පාලක පන්තීන් විසින් කොරෝනා වසංගතයෙන් උද්ගත කෙරී ඇති අර්බුදය  යොදා ගෙන ඇත්තේ, කම්කරු පන්තියේ ජීවිත බිල්ලට දීමට මෙන්ම, ඔවුන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට කෙටීම තුලින් ලාභය තර කර ගැනීමට ය.  ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ කම්කරුවන් මෙන් ම,  සමස්තයක් ලෙස කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ ධනපති පාලක පන්තීන් හා සමාගම් විසින් මුදා හැර ඇති  මෙම ගෝලීය ප්‍රහාරයට  ය. 

 

Loading