සසප මැතිවරන රැස්වීම කොවිඩ්-19 වසංගතයට කම්කරු පන්තික ප්‍රතිචාරය සාකච්ඡා කරයි

මෙම ලිපිය ජූනි 22 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එලඹෙන 2020 මහ මැතිවරනය සඳහා තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂය (සසප), එහි තරුන  ව්‍යාපාරය ව‍න සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය ද සමග, පසුගිය සතියේ දී එහි දෙවන අන්තර්ජාල රැස්වීම පැවැත්වී ය. අගෝස්තු 5දා පැවැත්වීමට නියමිත මැතිවරනයට, කොලඹ, යාපනය හා නුවර එලිය දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයන් 43ක් ඉදිරිපත් කරමින් සසප තරඟ කරයි.

සසප (ශ්‍රී ලංකාව) අන්තර්ජාල රැස්වීම

පක්ෂයේ මුහුනුපොත් පිටුවේ සජීවී ව විකාශනය කරන ලද රැස්වීමට ශ්‍රී ලංකාවෙන් හා තවත් රටවලින් පුද්ගලයන් 100ක් පමන සහභාගි වූ හ. ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සසප කරන කැඳවුම ද පක්ෂයේ අනාගත වැඩකටයුතු ද පිලිබඳ ප්‍රශ්න, අදහස් හා සුභපැතුම් පලකරමින් සහ රැස්වීම මුහුනුපොතේ බෙදාහදා ගනිමින්, 2,000ට අධික පිරිසක් එය නරඹා ඇත.

කොලඹ දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂකයෙකු වන සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන රැස්වීමේ මුලසුන දැරී ය. සසප මැතිවරන උද්ඝෝෂනයේ කේන්ද්‍රීය තේමාව “යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව සටන් කරනු” යන්න බව ඔහු විස්තර කලේ ය.

ආන්ඩුව හා හාම්පුතුන් වැටුප්, රැකියා හා මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව වැඩෙන කම්කරු පන්තික විරෝධය මැඩීමේ අටියෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඔහුගේ පාලනය වේගයෙන් මිලිටරිකරනය කරමින් සිටින බව විජේසිරිවර්ධන විස්තර කලේ ය.

“ඊනියා විපාර්ශ්වික එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන හා දෙමල ජාතික සන්ධානය ජනාධිපතිගේ ආඥාදායකත්වයක් සඳහා වන සැලසුම්වලට අභියෝග කර නැතැ” යි ඔහු සඳහන් කලේ ය. “ඔවුන් ද ඉදිරියට දමමින් සිටින්නේ ඔවුන්ගේ ම පන්ති යුද්ධයේ වැඩපිලිවෙල යි.”

කොවිඩ්-19 වසංගතය විසින් නිර්මිත ව‍්‍යසනකාරී ජාත්‍යන්තර තත්ත්වය විජේසිරිවර්ධනගේ විමර්ශනයට භාජනය විය. වෛරසය විසින් මතු කෙරෙන වැඩෙන අන්තරාය පෙන්නුම් කරමින්, රටේ බොහෝ ප්‍රදේශවලින් ආසාදනයන් වාර්තා වී ඇතැයි සඳහන් කල විජේසිරිවර්ධන, “කොවිඩ්-19 වසංගතය පරාජය කර තිබෙන බවට රාජපක්ෂ ආන්ඩුව ගසන පම්පෝරි ව්‍යාජ” යයි කීවේ ය.

ජනාධිපතිවරයා සියලු වැඩකරන ජනයාට එරෙහි ව මර්දන ක්‍රියාවන් සූදානම් කරද්දී පවා, ඔහුට සහයෝගය දීමට දිවයිනේ උතුරේ හා නැගෙනහිරේ ප්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (දෙජාස) දුන් පොරොන්දුව ගැන, සසප යාපනය දිස්ත්‍රික් ලැයිස්තුවේ නායක පරමු තිරුඥානසම්පන්දර් කතා කලේ ය.

“දෙමල ජාතිකවාදී පක්ෂ අඛන්ඩ ව කොලඹ ආන්ඩු සමග බලය බෙදීමේ එකඟතාවන් සඳහා කේවල් කර ඇතත්, ඔවුන්ගේ ප්‍රයත්නයන් සෑමවිට ම අසාර්ථක වී තිබෙනවා...දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනාගත හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය සහිත ව සිංහල හා දෙමල කම්කරුවන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා කරන ඒකාබද්ධ අරගලයක් හරහා පමනක්” බව ඔහු සඳහන් කලේ ය.

දැනට මත් ලමුන් මිලියන 240ක් දරිද්‍රතාවේ ගිලී ජීවත් වන දකුනු ආසියාව ඇතුලු ව ජාත්‍යන්තර ව ලමුන් හා තරුන ජනයා මත කොවිඩ්-19 වසංගතයෙහි විනාශකාරී බලපෑම විස්තර කරමින් දිනේශ් හේමාල් සසජාතශි වෙනුවෙන් කතා කලේ ය. එලඹෙන මාස හය ඇතුලත තවත් ලමුන් මිලියන 120ක් මෙම ප්‍රවර්ගයට එකතු වනු ඇති බව, යුනිසෙෆ් සංවිධානය පුරෝකථනය කර ඇතැයි ඔහු කියා සිටියේ ය.

“ලොව පුරා කම්කරුවන් ලක්ෂ ගනනක් රැකියා අහිමි වීමට හෝ වැටුප් කැපීම්වලට මුහුන පා ඇති අතර, බොහෝ දෙනා තරුනයන් වන ඔවුන්ට ශිෂ්ට සම්පන්න රැකියාවක් සොයාගැනීමේ හැකියාවක් නැහැ” යි ඔහු කීවේ ය. “තරුන ජනයා මුහුන දෙන ගැටලුවලට ධනපති ක්‍රමය ඇතුලත විසඳුමක් නැහැ.”

අවසාන කථිකයා වූ සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, කොවිඩ්-19 නැවැත්වීමට බලගතු පියවර ගැනීම සෑම රටක ම ධනපති පන්තීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හා අන්තරායකාරී අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් ආපසු වැඩට යා යුතු බවට ඔවුන් කරන විධානයන් විමර්ශනය කලේ ය.

ලාභ පිපාසය විසින් මග පෙන්වනු ලබන ධනපති පන්තියේ ක්‍රියාවන් මානව වර්ගයාගේ ඉරනම කෙරෙහි නො තකන බව ඩයස් කීවේ ය. ධනපති ක්‍රමයට ලබා දිය හැක්කේ ම්ලේච්ඡත්වය පමනක් බව ප්‍රදර්ශනය කරන මෙය, කම්කරු පන්තිය විසින් එම ක්‍රමය සමාජවාදය මගින් විස්ථාපනය කිරීමේ අත්‍යවශ්‍යතාව පෙන්වා දෙයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජනවාරි 3දා පලකරන ලද “සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි” යන ඉදිරිදර්ශන ලිපිය ගැන සඳහන් කල කථිකයා, ලෝක ධනවාදයේ අර්බුදය හා ජාත්‍යන්තර ව මහජන විප්ලවවාදී අරගල නිෂ්පන්න කරන වෛෂයික ක්‍රියාවලීන් කොවිඩ්-19 වසංගතය මගින් තීව්‍ර කර ඇති බව විස්තර කලේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරු අගමැති මහින්ද රාජපක්ෂ, ඔවුන්ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) මැතිවරනයේ දී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් සඳහා උද්ඝෝෂනය කරන බව ඩයස් කීවේ ය. විධායක ජනාධිපති ධුරයේ සමහර බලතල නාමික ව කප්පාදු කල 19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, ජනාධිපතිට වඩා විශාල ප්‍රජාතන්ත්‍ර-විරෝධී බලතල ලැබෙන පරිදි ව්‍යවස්ථාව යලි ලිවීම මෙහි අරමුන යි.

පරිපාලනයේ කේන්ද්‍රී ය තනතුරුවලට විශ්‍රාමික හා තවමත් සේවයේ සිටින මිලිටරි නිලධාරීන් ඇතුලු කිරීම මගින් ජනාධිපතිගේ ආඥාදායකත්වයක් දෙසට වන පියවරයන් දැනට මත් ගනු ලැබ ඇතැයි ඩයස් කීවේ ය. වසංගතයෙහි පැතිර යාම මධ්‍යයේ, දැන් පටවමින් තිබෙන ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එකහෙලා විරෝධය පෑමට නියමිත සියලු ප්‍රජාවන්ගේ වැඩකරන ජනයා හා තරුනයන් මත රුදුරු කඩා පැනීමක් සූදානම් කිරීම, මෙම පියවරයන්ගේ අරමුන යි.

ආන්ඩුවට සහයෝගය දීමේ සූදානම දෙජාස විසින් පලකොට ඇති බව කථිකයා තවදුරටත් කීවේ ය. “ආන්ඩුව දෙමල ජනයාගේ අභිලාෂයන් සම්පූර්න කිරීමට සූදානම් නම්, තම පක්ෂය ආන්ඩුව සමග වැඩකිරීමට සූදානම්” යැයි දෙජාස ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ඩේලි මිරර් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ ය.

සිංහල හා දෙමල යන දෙවර්ගයේ ම කම්කරු පන්තිය මූල්‍ය ප්‍රාග්ධනයේ අනුකම්පා විරහිත සූරාකෑමට ඒකාබද්ධ ව බඳුන් කිරීම පිනිස, දශක ගනනක් තිස්සේ කොලඹ සමග ගනුදෙනු වෙනුවෙන් ආයාචනා කර ඇති දෙමල ධනේශ්වරයේ සැබෑ අභිලාෂයන් වහංගු කිරීමට “දෙමල ජනයා” යන වචනය යොදාගනු ලබන බව ඩයස් සඳහන් කලේ ය.

ශ්‍රී ලංකාවේ ගැඹුරු වන ආර්ථික අර්බුදය, වැඩෙන ජාත්‍යන්තර නය ගෙවීම් සහ ඇද වැටෙමින් පවතින වර්ධන අනුපාතයන් වසංගතය විසින් අවුලුවමින් තිබීම කථිකයාගේ විමර්ශනයට ලක් විය. ධනවතුන්ට බදු සහන දෙන අතර, අත්‍යවශ භාන්ඩවල මිල ගනන් අහස උසට නැංවෙන පරිදි පාරිභෝගික භාන්ඩ ආනයන මත ඉහල බදු පනවමින්, රාජපක්ෂ ආන්ඩුව මෙයට ප්‍රතිචාර දක්වා ඇත.

ඩයස් මෙසේ විස්තර කලේ ය: “සසප මැතිවරනයට සහභාගි වන්නේ, විධායක ජනාධිපති පාලනයෙහි සියලු සමාජ ප්‍රති-විප්ලවීය පියවරයන් වෙනුවෙන් රබර් මුද්‍රාවක් වන අත්‍යන්තයෙන් අපකීර්තියට පත් පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි ව්‍යාජ අපේක්ෂාවන් වගාදිගා කිරීමට නො වේ.

“ඊට විපරීත ව, නාගරික හා ගම්බද දුගීන්ගේ නිවහන් ප්‍රදේශ සහ වැඩපොලවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරනය කරන මැතිවරන ප්‍රකාශයක් සසප විසින් ඉදිරිපත් කර තිබෙනවා. ධනේශ්වරයේ සියලු කොටස්, ඔවුන්ගේ වාම හෙංචයියන් හා වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන විය යුතු මෙම සංවිධාන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ සටන මත පදනම් වීම අවශ්‍ය වෙනවා.

“එවන් ආන්ඩුවක්, පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රී ය අයිතීන් අඩංගු කරගන්නා වූත්, ජීවන කොන්දේසි සහ සමාජ අයිතීන් පිලිබඳ දැවෙන ගැටලුවලට ශක්‍ය විසඳුම් සම්පාදනය කරන්නා වූත්, සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දමනු ඇති. වැඩකිරීම අවශ්‍ය කරන සියල්ලන්ට ශිෂ්ට සම්පන්න වැටුප් හා රැකියා, නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය, දුගී ගොවීන්ට සහන මිලට කෘෂි ආම්පන්න සම්පාදනය කිරීම සහ භාෂාව, ආගම, කුලය හෝ ලිංගිකත්වයේ පදනම මත කරන වෙනස්කම් අහෝසි කිරීම මෙයට අඩංගු විය යුතු යි.”

චේ ගෙවාරාවාදයේ හා මාඕවාදයේ මිශ්‍රනයක් මත පදනම් වූ සුලු ධනේශ්වර පක්ෂයක් ලෙස ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දක්ෂිනාංශික මැතිවරන මැදිහත් වීම ගැන ඩයස් අවධානය යොමු කලේ ය. කොලඹ සමග දේශපාලන ගනුදෙනුවක් සකස් කරගැනීමේ අපේක්ෂාවෙන් යුතු ව, ජවිපෙ1971 දී හා 1987 දී පාර්ලිමේන්තුවට පරිබාහිර සන්නද්ධ වික්‍රමයන් සඳහා යොමු විය. දැන්, ජාතික ජන බලවේගය යන නම යටතේ ක්‍රියාත්මක වන මෙම සංවිධානය, පාර්ලිමේන්තුව “පිරිසිදු කිරීමට” හා ප්‍රතිසංස්කරනය කිරීමට කැඳවුම් කරන අයුරු ඔහු පැහැදිලි කලේ ය. 

එක් මැතිවරන ප්‍රකාශයක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙසේ ප්‍රකාශ කරයි: “පාර්ලිමේන්තුවට ශිෂ්ඨත්වය ගෙන ඒම සඳහා අපි අපේක්ෂක කන්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. මංකොල්ල කන්නන්ගෙන්, නීති-විරෝධී වැලි ජාවාරම්කරුවන්ගෙන්, ප්‍රසිද්ධ බාර් හිමියන්ගෙන් හා අපරාධකරුවන්ගෙන් පාර්ලිමේන්තුව පිරී තිබුනා. අපට ඡන්දය දී පාර්ලිමේන්තුව හොඳ මිනිසුන්ගෙන් පිරවීමේ අවස්ථාව ඔබට ලැබී තිබෙනවා.”

ඩයස් අන්තර්ජාල රැලියට මෙසේ කීවේ ය: “ජවිපෙ පාර්ලිමේන්තුව පුනස්ථාපනය කිරීමට උත්සාහ කරන්නේ, පාර්ලිමේන්තුව අහෝසි කොට මිලිටරි-ෆැසිස්ට් ආඥඥාදයකත්වයකට යාමට ධනේශ්වරයට අවශ්‍ය වන්නා වූත්, වැඩකරන ජනයා හා තරුනයන් ඔවුන්ගේ අභිලාෂයන්ට සේවය කරන විකල්ප පාලන රූපයක් සොයමින් සිටින්නා වූ මොහොතේ දී ම යි.

“බිඳ වැටෙමින් පවතින ධනේශ්වර පාලනයට මුක්කුව දීමටත්, ඒ හරහා යුද්ධය හා ම්ලේච්ඡත්වය පමනක් ගෙන දිය හැකි ජරාජීර්න ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමට සූදානම් වීම් වසයෙන්, පීඩිත සමාජ ස්ථරයන් සමාජවාදයේ ධජය යටතේ රැලි කරගැනීමට අවශ්‍ය දේශපාලන පියවර ගැනීමෙන් කම්කරු පන්තිය නිරායුධ කිරීමට, වෙනස් මාර්ගවලින් සියලු ව්‍යාජ-වාම කන්ඩායම් එම කුනු වූ දේශපාලන න්‍යාය පත්‍රය ම අනුගමනය කරනවා.

“ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය සඳහා වැඩකරන ජනයාට හා තරුනයන්ට මග පෙන්වන ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් සම්පාදනය කරන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලොව පුරා එහි ශාඛාවන් පමනක්” යැයි ඩයස් තම කතාව සමාප්ත කරමින් පැවසී ය.

Loading