කෝවිඩ් 19 වසංගතය හිස එසවීම හමුවේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කුහක පිලිවෙත හෙලිවෙයි

පසුගිය දා කන්දකාඩු සහ සෙනරත්පුර පුනරුත්ථාපන කඳවුරු දෙකෙන් සහ‍ ආශ්‍රිතයන්ගෙන්   සිය ගනනක් රෝගීන් වාර්තා වීමත් සමග, “වසංගතය සාර්ථකව පාලනය කර ඇතැයි” ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගැසූ පම්පෝරියේ පල්ල ගැලවුනි. මෙම තතු තුල, උදාවී ඇති ව්‍යසනකාරී තත්වයට මුලුමනින්ම වගකිවයුතු ආන්ඩුව කොක්කෙන් ගලවා දැමීමට, එහි පන්දම්කාර වෘත්තීය සමිතියක් වන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) ඉදිරියට පැන ඇත.

රවෛනිස, ජූලි 15 වන දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී, වසංගතය ව්‍යසනකාරී මට්ටමකට ව්‍යාප්තවීමේ වගකීම, සෞඛ්‍ය නිලධාරීන් මත පැටවීමේ කුහක ව්‍යායාමයක නිරතවුනි. රවෛනිස සංස්කාරක හරිත අලුත්ගේ එහිදී කියා සිටියේ, රටේ ජනගහනය මිලියන විසි දෙකක් වුවද, ජූනි 25 වනදා තෙක්, කෝවිඩ් 19 සඳහා කර ඇති මුලු පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 28,000 පමනක් බවයි.

වසංගතයේ ව්‍යාප්තිය පිලිබඳ නිරවද්‍ය චිත්‍රයක් ඇතිකර ගැනීමට කිසිසේත්ම ප්‍රමානවත් නොමැති මෙම අඩු පරීක්ෂන සංඛ්‍යාවට හේතුව, ආන්ඩුවේ සාපාරාධී නොතැකීම නොව, සෞඛ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය බව පෙන්වීමට අලුත්ගේ එහිදී නරුම උත්සාහයක යෙදී ගත්හ. 

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ම රවෛනිස ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ, දැනට සිදුකරන්නේ පීසීආර් පරීක්ෂන 2,000 පමනක් බවත්, අඩුම තරමේ එය 2500 ක් දක්වා ඉහල නැංවිය යුතු බවත් ය. මෙය දැනුවත්ම වංචාවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය  “පරීක්ෂන, පරීක්ෂන සහ පරීක්ෂන” යනුවෙන් නැවත නැවතත් පවසන්නේ,  දිනකට දස දහස් ගනනක් හෝ ලක්ෂ ගනනක් පරීක්ෂන කලයුතු බවයි. 

රවෛනිස නිලධරය පවසන අයුරු, ප්‍රමානවත් තරම් පරීක්ෂන සිදු නොකෙරුනේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා නොව, කොරෝනා වසංගතය මගින් ගැඹුරුකෙරී පවතින ආර්ථික අර්බුදය හමුවේ, දැවැන්ත පරිමානයකින් පරීක්ෂන වැඩි කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත් යෙදවීමට ආන්ඩුව ඇතුලු ධනපති පාලක පන්තිය සතු නොහැකියාව හේතුවෙනි. 

වසංගතය හේතුවෙන් රට අගුලු දැමීමෙන් පසුව, ආන්ඩුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුනු කිරීම සඳහා කිසිවක් නොකලද,  රවෛනිස නිලධරය ඒ සම්බන්ධව නිහඬව සිටියහ. මේ වනාහි, පසුගිය දශක කීපය පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනගිය අනවරත කප්පාදු හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඇති කෙරුනු දැවැන්ත ඛාදනය හමුවේ රවෛනිස ගෙනගිය නරුම පිලිවෙතේම දිගුවකි.      

අති සාර්ථක ලෙස කොරෝනා වසංගතය මර්දනය කර ඇතිබව ට ආන්ඩුව ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරය සමග එක පෙලට සිට ගන්නා රවෛනිස, රාජපක්ෂ ජනාධිපතිවරයා නිවැරදිව වැඩ කලත්, රාජ්‍ය නිලධාරීන් හරි ආකාරයෙන් වැඩ නොකිරීම නිසාත්, ජනතාව  විනයගරුක හා නීතිගරුක නොහැසිරෙන නිසාත් කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක අවදානම ඇති බව පවසයි.  

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අඩිපාරේ යමින්, ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් පන ගන්වා දීමට, කම්කරුවන් අනාරක්ෂිතව යලි වැඩට දැක්කීම සඳහා රාජපක්ෂ ගෙනගිය මිනීමරු ව්‍යාපාරයට රවෛනිස සාපරාධී ලෙස කරබදු විය. ආන්ඩුව මෙන්ම ඔවුන් ද පුන පුනා කියන ලද්දේ රට හැමදාමත් වසා දැමිය නොහැකි බවයි. 

කම්කරුවන් අනාරක්ෂිත ලෙස වැඩට දැක්කීම පිටුපසින් පැවති රාජපක්ෂගේ අනෙක් ප්‍රධානතම අරමුන වූයේ මහමැතිවරනය හැකි ඉක්මනින් පවත්වා, පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බලයක් තහවුරුකර ගැනීමයි. ගැඹුරු වන ආර්ථික අර්බුදය හමුවේ තම පාලනය මගින් එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් සහ පීඩිතයන් තලා දැමීමේ ජනාධිපති ආඥාදායකත්වයකට අවශ්‍ය ව්‍යවස්ථාවක්  සම්පාදනය කර ගැනීම රාජපක්ෂගේ අභිප්‍රායයි. රවෛනිස කරබදුවී සිටින්නේ එම දක්ෂිනාංශික ව්‍යාපෘතියට යි.

යලි වැඩට දැක්කීමේ ව්‍යාපාරයේ ම කොටසක් වන, වසංගතය මධ්‍යයේ පාසල් නැවත විවෘත කිරීමේ මිනීමරු ව්‍යායාමයට ද රවෛනිස එලෙසම සහාය දැක්වීය. අත සේදීම තබා බීමට වතුර පොදක් නැති පාසල් 582 ක් ඇති රටක ඒවා දියුනු නොකර දරුවන් වසංගතයට ගොදුරු වන බව දත් මොවුන් කුහක ලෙස නිහඬව සිටියා පමනක් නොව, ලමුන්ට මුහුනු ආවරන සැපයීමේ වගකීමෙන් අතසෝදා ගැනීමට ආන්ඩුව තොරොම්බල් කල ප්‍රලාපය, එනම්  පාසල් තුල ලමුන්ට මුහුනු ආවරන අවශ්‍ය නැති බවට කල නියෝගයට පවා එරෙහි නොවීය. 

පාසල් ලමුන්ට මුහුනු ආවරන අවශ්‍ය නැත යන්න අතිශයින්ම අවිද්‍යාත්මක ප්‍රකාශයකි මන්දයත් ලොව පුරා විද්‍යාඥයින් දෙසිය තිස්නව දෙනෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට පරීක්ෂන වාර්තාවකින් යෝජනා කරන්නේ වාතාශ්‍රය අඩු තදබදය සහිත පන්ති කාමර ආගමික ශාලා සහ රැස්වීම් වැනි විශේෂ තත්ත්වයන් යටතේ  වෛරසය  මීටර 10 ක් පමන ගමන් කර හැකි බවත් එය බිඳිති ලෙස පමනක්නොව  වාතය හරහා ද බෝවිය හැකි බවට සාක්ෂි ඇති බවයි. 

එලෙසම ලංකාවේ ලමාරෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජූලි 14 වන දින දි අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ පාසල තුල මුහුනු ආවරන පැලඳීම අත්‍යවශ්‍ය බවයි. තවදුරටත් ඔවුන් පවසන්නේ පන්තිකාමර  යනු ගුරුවරුන් හා ලමයින් අතර සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට අපහසු පරිසරයක් බවත් ඒ තුලදී ශබ්ද නගා කතා කිරීමට සිදුවන බවත් එම නිසාම වෛරස අඩංගු බිඳිති දිගු දුරක් ගමන් කිරීමේ හැකියාවක් ඇති බවත් එම විෂබීජ පන්ති කාමරය තුල වැඩි කාලයක් පැවතීමට ඉඩකඩක් ඇති බවයි. 

මෙම  වෛරසය වාතය මඟින් ද සම්ප්‍රේෂනය විය හැකි බව මෑතකදී සිදුකල පරීක්ෂන වලින් හෙලි වී ඇතිබව පවසන ඔවුහු,  එවැනි වටපිටාවක මුහුනු ආවරනවල අවශ්‍යතාවය තවත් ඉහල යන බව පවසති. 

 අනෙක් අතට, රජය සහ  රවෛනිස, වසංගතය සම්පූර්නයෙන්ම පාලනය කල බවට කරන ප්‍රකාශය අමූලික බොරුවකි. රෝගය සම්පූර්නයෙන් පාලනය කලා යැයි කීමට නම් සති හතරක් තුල නව රෝගියෙකු වාර්තා නොවී තිබිය යුතුය. ලංකාව තුල එසේ රෝගීන් හමු නොවන කාලයක් නොතිබූ අතර දැන් හමුවන රෝගීන් මුලින් හමු වූ රෝගීන්ට සම්බන්ධ අතර අලුතෙන් පටන් ගත් රැල්ලක් ලෙස පැවසීම නිවැරදි නොවේ. මේ සම්බන්ධව එම විශේෂඥයින් සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතය ජයගත් බවට පැවසීම තුල ජනතාවගේ මනස වෙනස් කිරීමේ උත්සාහයක් ඇති බවත් එය යතාර්ථයට දුරින් පිහිටි බොරුවක් බවයි.

රවෛනිස බොහෝ මාධ්‍ය සාකච්ඡා වල දී.  ප්‍රකාශ  කරන්නේ කෝවිඩ් පාලනය  දේශපාලන ආශිර්වාදය, සමාජ ධනය හා සෞඛ්‍ය ධාරිතාව යන ප්‍රධාන කුලුනු තුන මත පවතින බවත් ඒවා ශක්තිමත් කල යුතුබවත්ය. තවදුරටත් ඔවුන් පවසන්නේ දේශපාලනික ආශිර්වාදය මේ වන විටත් ජනාධිපතිගෙන් ලැබී ඇති බවයි. 

නමුත් මෙම ප්‍රකාශය කුහක එකකි. ලංකාවේ මෙන්ම ලෝකය පුරා පාලකයින්ගේ ආශිර්වාදය ලැබී ඇත්තේ ආර්ථිකය නැවත විවෘත කර ලාභ සූරාකෑම සඳහා කම්කරුවන් බලෙන් වැඩට දැක්කීමට ත් ට්‍රිලියන ගනන් සමාජ ධනය පොම්ප කර  කඩාවැටෙන මූල්‍ය  පද්ධති බේරා ගැනීම සඳහාත් මිස කම්කරු පීඩිත ජනතාව වසංගතයෙන් මුදා ගැනීමට නොවේ.

සෞඛ්‍ය ධාරිතාව වැඩිකිරීමට ඉල්ලීම ද එලෙසම  ව්‍යාජ ය. රවෛනිස පසුගිය දශක කිහිපය තුල සිදු වූ සෞඛ්‍ය කප්පාදුවට එරෙහිව කවර හෝ අරගලයක් නොකලා පමනක් නොව, සෞඛ්‍ය ධාරිතාව ඉහල දැමීම හා තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අරගලයට පැමිනි සෞඛ්‍ය කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීමට එරෙහිව, මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ සමන් රත්නප්‍රිය නායකත්වය දෙන හෙද සංගම් නිලධරයන් මෙන්ම,   ශ්‍රේනිවාදී  හොරිකඩකම් කලහ. 

වසංගතය තුල දැඩි අඩුපාඩු මධ්‍යයේ තම සේවාව ඉටු කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග කඩාකප්පල් කර දැමීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලධරය ගෙනයන හොරිකඩ ව්‍යාපාරයේ කොටසක් ලෙස, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිය වෛද්‍යවරුන් යොදා ආවරනය කල හැකි බව ඔවුන් ආන්ඩුවට පවසයි. එම කාර්යය හමුදාවට පැවරීමට පවා රවෛනිස සාකච්ඡා කල බවද ඒ සමගම වාර්තා වෙයි. 

ගෝලීයව පැතිරෙමින් තිබෙන කොරෝනා වසංගතය ලංකාව තුල ආරම්භ වූ අවස්ථාවේ සිටම එය වැලැක්වීම සඳහා ගෝලීය ව්‍යාපාරයක අවශ්‍යතාවය මගහැර යමින් ජාතිකවාදී ආකාරයකට ඒ ජය ගත හැකිය යන මිත්‍යාව වැපිරීම සඳහා රවෛනිස යේ  නිලධාරීහු පැය ගනන්, දින ගනන් රූපවාහිනී සාකච්ඡා පවත්වමින් රාජපක්ෂ ආන්ඩුව ගෙන ගිය ප්‍රතිගාමී වැඩපිලිවෙලට රුකුල් දුන්හ.

වසංගතයෙන් ජන ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආන්ඩුව පෙන්වූ සාපරාධී නොතැකීමට එරෙහිව වැඩුනු දැවැන්ත මහජන විරෝධය හමුවේ අවසානයේදී  රවෛනිස අගුලු දැමීම් සහ  ගුවන්තොටුපලවල් වැසීමට යෝජනා කරන ලදී. 

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අගුලු දැමීමෙන් පමනක් සියල්ල නොවිසඳෙයි. එයට සමගාමීව, සෞඛ්‍ය යටිතල පහසුකම් දියුනු කිරීම, සුවිසල් ආකාරයෙන් පරීක්ෂන සිදු කිරීම, කායික දුරස්ථභාවය පවත්වා ගැනීම, ප්‍රතිකාර පහසුකම් වැඩි කිරීම සහ ඒවාට අවශ්‍ය උපකරන ඇති තරම් සපයා ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ම හරිත අලුත්ගේ තවදුරටත් පැවසුවේ, දිවා රෑ නොබලා වැඩ කල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අමතර දීමනා ගෙවා නැති බවත් ඉල්ලන්නේ කල වැඩට අදාල දීමනා මිස වැටුප් වැඩිකිරීමක් නොවන බවයි. පහල සාමාජිකත්වයෙන් එන වැඩිවැටුප් ඉල්ලීම් යටපත් කිරීම මෙවන් ප්‍රකාශයන්ගේ අරමුනයි. එමෙන්ම, දීමනා නොදීමේ වගකීමෙන් ආන්ඩුව මුදා හරින රවෛනිස, එහි වරද  පලාත්සභාවන්ට හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට පවරයි.

තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී, වෛරස ව්‍යාප්තිය මැඩීමේ වගකීම මහජනතාවට පවරමින්,  රවෛනිස නායකයෙකු වන නවීන්  සොයිසා පැවසුවේ, දෙවන රැල්ලක් ඇති වීම වැලැක්වීම සඳහා ජනතාවගේ “විනයගරුක හා නීතිගරුක” බව ඉතාම අවශ්‍ය බවයි. 1918 ඇති වූ වසංගතයේ දී ඇමරිකා එක්සත් ජනපදය තුල මුහුනු ආවරන  නොපැලඳීම සම්බන්ධව තිදෙනෙකුට මරන දඬුවම ලබාදී ඇති බව ද ඒ සමගම ඔහු පැවසුවේය. මරන දන්ඩන සහිත ඓතිහාසික උදාහරන ගෙනෙමින් රවෛනිස නිලධාරියා යෝජනා කරන “විනයගත කිරීම” මිලිටරි ආඥාදායකත්වයකට කෙරෙන සෘජු ආරාධනයකි.    

මෙම වසංගතය මගින් ලොවපුරා කම්කරු පන්තියට පෙන්වා දී ඇත්තේ, බිඳ වැටෙමින් පවත්නා ධනපති ක්‍රමය තුල, තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පමනක් නොව, කම්කරුවන්ට තම ජීවිතය පවා ආරක්ෂා කරගත නොහැකි බවයි. 

නිශ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පදනම් වූ ධනපති නිශ්පාදන ක්‍රමයත්, එය මුල්බැස ඇති  ජාතික රාජ්‍ය පද්ධතියත් පෙරලා දමා, නිශ්පාදන මාධ්‍යයන් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතුකොට, මානව අවශ්‍යතා සපුරාලන පරිදි සමස්ත නිශ්පාදන-ආර්ථිකය ගෝලීය පරිමානයෙන් ප්‍රතිසංවිධානය කරගැනීමේ සටනකින් තොරව ඉහත අයිතීන් කිසිවක් සුරක්ෂිත කරගත නොහේ.

 ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන මෙම සටනට, ධනවාදයේ සහ ධනපති පාලකයන්ගේ අතකොලු ලෙස ක්‍රියාත්මක වන රවෛනිස ඇතුලු සියලු වෘත්තීය සමිති මුලුමනින්ම සතුරුය. එබැවින් ඒවායෙන් බිඳී තමන්ගේ සෘජු ඡන්දයෙන් තෝරා පත් කරගන්නා ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට සෞඛ්‍ය කම්කරුවන් පෙරට පැමිනිය යුතුය.

වෛද්‍යවරුන්, හෙදියන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හා අනෙකුත් සියලුම  සෞඛ්‍ය කම්කරුවන් එම ක්‍රියාකාරී කමිටු තුල ඒකාබද්ධ විය යුතුය. අනෙකුත් රෝහල්වල ක්‍රියාකාරී කමිටු සහ වෙනත් ක්ෂේත්‍රයන්හි කම්කරු ක්‍රියාකාරී කමිටු සමඟ ද, වඩාත් පුලුල්ව ජාත්‍යන්තර කම්කරුවන් සමග ද එකමුතුව, ප්‍රජාතන්ත්‍රීය ලෙස සාකච්ඡා කර තීන්දු ගැනීම මෙම කමිටු හරහා කල හැකිය. 

Loading