ජෝර්දානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික කම්කරුවන්ට එරෙහිව පොලිස් ප්‍රහාරයක්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රැකියා හා වැටුප් අහිමිව අවතැන්ව සිටින ජෝර්දානයේ ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන්  සඳුදා (27) පැවැත්වූ විරෝධතාවයකට ජෝර්දාන පොලීසිය කඳුලු ගෑස් හා බැටන් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හලේය. එරට රජය මෙසේ  පොලීසිය  කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම පිටය. 

රැකියා හා වැටුප් අහිමිව අවතැන්ව සිටින ජෝර්දානයේ ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන්

ජෝර්දානයේ අල් කරත් නුවර කැමල්වෙගා කර්මාන්ත පුරයේ වසාදමා ඇති ඇඟලුම් කර්මාන්තශාලාවක 750 ක් පමන වන කාන්තා කම්කරුවන් මෙ⁣ලෙස උද්ඝෝෂනය කලේ, මාස පහකට ආසන්න කාලයක් ල⁣බා දී නැති තමන්ගේ වැටුප් හා “සමාජ” දීමනාව ලබා දෙන ලෙසත්, වසංගතයට ගොදුරු වීමට මත්තෙන් ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසත්, දිගින් දිගටම කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිසි පියවරක් නොගැනීම හේතුවෙනි.

කම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන්, කම්හල් හිමියා හා කම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී රවිඳු අබේපාල ඇතුලු නිලධාරීන් කිහිප දෙනෙක් කර්මාන්ත පුරයේ කම්කරු ⁣නේවාසිකාගාර වෙත ගොස් තිබුනු නමුත්, කම්හල හිමි සමාගම සමඟ කිසිඳු සාධනීය එකඟතාවයකට පැමිනීමට නොහැකිව ඇත. 

විරෝධතාවය අතර තුර නිලධාරීන් පොලීසියකැඳවා තිබිනි

මේ සම්බන්ධයෙන් කම්කරුවන් අතර පැන නැගුනු විරෝධතාවය අතර තුර නිලධාරීන් පොලීසියකැඳවා තිබිනි.

ප්‍රහාරයෙන් දුසිමකට වැඩි ප්‍රමානයක් රෝහල් ගත කෙරුනි. තවත් බොහෝ ගනනකට සැලකිය යුතු සීරීම් තුවාල ද සිදුව තිබුනු අතර බොහෝ දෙනෙක් මානසික පීඩනයට ලක්ව සිටිති. කඳුලු ගෑස් හේතුවෙන් ඇස් වලට හානි වූ අයද බෙල්ලට හා ශරීරයට එල්ල කරන ලද බැටන් ප්‍රහාර නිසා තැලීම් තුවාල වලට ලක් වූ අය ද ඒ අතර විය.

සඳුදා සිදු කර තිබූ මෙම ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ද, ප්‍රහාරය හා උද්ඝෝෂනයට පාදක වූ කරුනු සම්බන්ධ කම්කරුවන්ගේ අදහස් ඇතුලත් වීඩියෝවක් ද කම්කරුවන් විසින්ම සජීවීව සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබිනි. ජෝර්දාන තානාපතිනිය විසින් ප්‍රහාරයේ වගකීම කම්කරු කාන්තාවන් මතම පටවමින් නිකුත් කර තිබූ ප්‍රකාශයට පිලිතුරු වශයෙන් කම්කරුවන් නිකුත් කල වීඩියෝ පටය තුල කම්කරුවන් තානාපති කාර්යාල නිලධාරීන්ට සෘජුවම චෝදනා කලේ සියල්ල අහිමිව අසරනව සිටියදී තමන් ඉදිරිපත් කල සාධාරන ඉල්ලීම් ඉටු නොකොට තම විරෝධතාවය අමානුෂික ලෙස මැඩ පැවැත්වීමට පොලීසිය කැඳවූ බවයි.

ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන් සඳුදා (27) පැවැත්වූ විරෝධතාවය

සීරීම් තුවාලයක් හෝ සිදුවී නැතැයි තානාතිපතිවරිය සිදු කල ප්‍රකාශය පුස්සක් කරමින් වීඩියෝ දර්ශන තුල තමන් ට සිදුවී තිබූ ශාරීරික හානි ⁣පෙන්නුම් කල කාන්තාවන් ප්‍රකාශ කරන්නේ උදරය ප්‍රදේශයට එල්ල කල බැටන් ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් කිහිප දෙනෙකු නොකඩවා ලේ වහනය වීමට පවා පාත්‍ර වී ඇති බවයි. තානාපති නිලධාරීන් ප්‍රාන ඇපයට ගත්තා යැයි ආන්ඩුව හා ධනපති මාධ්‍ය නගන චෝදනාව කම්කරුවන් ප්‍රතික්ෂේප කරන නමුත්, මෙම  චෝදනාව කම්කරුවන් දඩයම් කිරීම සඳහා කඩතුරාවක් ලෙස යොදා ගැනීමට ඉඩ ඇත.

මාස හතරහමාරක කාලය තුල මෙම කම්කරුවන් සඳහා තානාපති කාර්යාලය හරහා ලබා දී තිබුනේ දත් බෙහෙත් පැකට්ටුවක්, සනීපාරක්ෂක තුවා පැකට්ටුවක්, “කන්න බැරි” නූඩ්ල්ස් පැකට්ටුවක් ඇතුලු භාන්ඩ හයක පමන පාර්සලයක් පමනි. එය ලබා දීමේ දී ද ඔවුන්ගෙන් අත්සන් ලබාගෙන තිබුනු නමුත් තමන් අත්සන් කරන්නේ කුමකටද යන්න ගැන එහි නිශ්චිත සඳහනක් තිබී නැත. 

⁣කම්කරුවෙකුට “ජේඩ්” තුන්සියයක මුදලක් බැගින් ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති බව ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යයකින් ප්‍රචාරය කර තිබූ බවත්, එවැනි කිසිදු මුදලක් නොලැබීම නිසා තමන් විමතියට පත් වූ බවත් ප්‍රකාශ කල කාන්තාවෝ තමන්ට දී තිබූ සහන මල්ල ජේඩ් තුනක් වත් නොවටින බව ප්‍රකාශ කලෝය.

“සනීපාරක්ෂක තුවා වත් ගන්න සල්ලි තිබුනෙ නැහැ. 'රවි' ඇවිත් මෙතනින් (සමාගමෙන්) පගාව අරන් යනවා. තව සතියක් දෙකක් මේ විදියට හිටියොත් මේකෙ එක්කෙනෙක් අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක භාර ගන්න කැමති නම් තව දුරටත් අපිව මෙහෙම හිරකරගෙන ඉන්න. අපි ඉල්ලුවෙ ලංකාවට යන්න ටිකට් එකයි, මාස හතරෙ පඩියයි සෝෂල් එකයි. ඒව දෙන්න බෑ කිව්ව. ⁣ඒව කථා කරන්න බෑ කිව්ව”, එක් කම්කරු තරුනියක් තම විරෝධය ආවේගශීලීව ප්‍රකාශ කලාය. 

යැපීම සඳහා තම කනකර පවා උකස්කර ඇති මෙම කම්කරුවන්ට පානීය ජලය පවා මිලදී ගැනීමට සිදුව ඇති අතර ඔවුනට මාස ගනනාවක්ම සමාගමෙන් ලැබී ඇත්තේ නීරස ආහාර වේල් දෙකක් පමනි. “කාඩ් එකක් වත් ෆෝන් එකට දාගන්න සල්ලි නෑ, ගෙදර දරුවොන්ට කතා කරන්න විදියක් නෑ. අපි කෑවෙ මොනවද කියලවත් හොයල බැලුවෙ නෑ,” යනුවෙන් තවත් තරුනියක් චෝදනා කලාය. 

එක් තරුනියක් පවතින අවදානම තක්සේරු කරමින් මෙසේ ප්‍රශ්න කලා ය: “අපි යවන විදේශ විනිමය කොහාටද යන්නෙ? ඇයි අපිට මෙහෙම කරන්නෙ? හැකිතාක් ඉක්මනින් අපිව ගෙන්න නොගත්තොත් අ⁣පේ මිනී දහයක් පහලොවක් ලංකාවට එන්න ඉඩ තියෙනවා.”

තම ගැටලු සම්බන්ධව මීට පෙර ජුලි 10 දින ප්‍රචාරය කල සමූහ වීඩියෝවක් තුල  කම්කරුවන් සඳහන් කරන්නේ තමන්ගේ 'සෝෂල්' ඉල්ලූ විට සමාගම් හිමි තායිවාන ප්‍රධානියා කියා ඇත්තේ  පඩි කපන බවත් “හිරේ දාන” බවත්ය. “හෙම්බරිස්සාවකට උනු වතුරවත් උනු කරගන්න විදියක් නෑ, වේල් දෙකක් කාල ඉන්නෙ. දරුවොන්ට එහෙමවත් කන්න සල්ලි යවන්න විදියක් නෑ” යි තවත් තරුනියක් අඳෝනා නගයි.

උද්ඝෝෂනයට සම්බන්ධව සිටි සිය ගනනක් වන කම්කරුවන්ගෙන් කවරෙකු හෝ මුඛ ආවරන පැලැඳ සිටියේ නැත. ඔවුනට කවර හෝ සෞඛ්‍ය ආරක්ෂනයක් ලබා දී නොමැති බවට එයමත් සාක්ෂියකි. කම්කරුවන්ගේ ශ්‍රමය ඇට පොත්තටම සූරා කන කර්මාන්ත හිමියන් හා මැදපෙරදිග කලාපයේ  ඔවුන්ගේ ධනපති ආන්ඩු මෙන්ම, ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, නේපාලය වැනි මෙම කලාපයේ රටවල ආන්ඩු ද විගමනික කම්කරුවන්ගේ ජීවිත මාරාන්තික වසංගතයට ගොදුරුවීම සම්බන්ධයෙන් දරන්නේ සාපරාධී නොතැකීමකි. 

වසංගතය හේතුවෙන් පෙබරවාරි මාසයේ සිට මැදපෙරදිග කලාපයේ රටවල් වසා දැමීමත් සමග, ඒවායේ සේවයේ නියුතුව සිටි විගමනික කම්කරුවන්ගෙන් දහස් ගනනකට රැකියා, වැටුප් සහ නවාතැන් අහිමිව ඉතා අසරන තත්වයට ඇද දැමුනි. මාධ්‍ය වාර්තා කලේ පසුගිය සතිය වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්  ලාංකීය විගමනික කම්කරුවන් 44 දෙනෙකු මියගොස් ඇති බවයි. (මැදපෙරදිග සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවෝ 23 ක් වසංගතයෙන් මියයති: රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීමේ ප්‍රතිඵලයක්. )

ප්‍රශ්නය හුදෙක් විදේශ කටයුතු අමාත්‍යංශය හා තානාපති කාර්යාල නිලධාරීන්ගේ අකර්මන්‍යතාව නිසා නිර්මානය වූවක් ය යන ව්‍යාජ මතය ගොඩනැගීමට, ආන්ඩුව සහ එහි මාධ්‍ය හොරනෑ විසින් ගෙනගිය ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙස, කම්කරුවන් සියලු දෙනාම පාහේ “ජනාධිපති තුමනි, අපි ලංකාවට ගෙන්න ගන්න”යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙතම ඇවිටිලි කලහ.   

විගමනික කම්කරුවන් රටට ගෙන්වා ගැනීම දිගින් දිගටම අතහැර දමා ඇති රාජපක්ෂ  පෙර දී ප්‍රකාශ කලේ රජය ප්‍රමුඛස්ථානය දෙන්නේ විදෙස්ගත ශිෂ්‍යයින් ගෙන්වා ගැනීමට බව ය.  ජනාධිපතිවරනය සමයේ  “රට විරුවන්” ලෙස හැඳින්වූ කම්කරුවන්ට රාජපක්ෂගේ දැන් ප්‍රතිචාරය එසේය.

මිලිටරිය මත වාරුවන ජනාධිපති ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ තුනෙන්  දෙකක බලය ලබා ගැනීම පිනිස මහ මැතිවරනය හැකි ඉක්මනින් පැවැත්වීමේ සහ   ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය වහා පනගන්වා ගැනීමේ නරුම චේතනාවෙන්, අන්තරායකාරී ලෙස කම්කරුවන් නැවත වැඩට කැඳවා ගැනීම හරහා, රාජපක්ෂ රට තුල කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මීට නොදෙවෙනි ප්‍රතිචාරයක්ය. 

විගමනික කම්කරුවන්ට එරෙහිව දිගේලි කල මෙම ප්‍රහාරය ධනපති සංගත ආරක්ෂා කිරීම සඳහා සමස්ත කම්කරු පන්තියේ ජීවිත නොතකමින් ආන්ඩුව ගෙනයන සාපරාධී ප්‍රතිපත්තියේම කොටසකි.

අඩු තරමින් ගල්කැ⁣ටයකින් හෝ සන්නද්ධව වී නොසිටි තරුන වියේ මව්වරුන් ද වන කම්කරු කාන්තාවන්ට එල්ල කල මෙම ම්ලේච්ඡ  ප්‍රහාරය සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි ලෙස හෙලා දකී. 

ලංකාවේත්, සෙසු රටවලත් කම්කරුවන්ට සසප අවධාරනය කරන්නේ, සංක්‍රමනික කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන් හැකි ඉක්මනින් මව් රටවලට ‌ගෙන්වා ගැනීම ඇතුලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිනිස ධනපති ආන්ඩුවලට එරෙහිව පෙරට ආ යුතු බවයි.

එයට අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී දේශපාලන ඉදිරි දර්ශනය සම්පාදනය කිරීමට සසප සහ එහි මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැප වී සිටී.

Loading