ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය නවත්වනු! ඒකාධිපතිවාදය හා ආඥාාදායකත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

මෙම ලිපිය ජූලි 27 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ට්‍රම්ප් පරිපාලනය රට පුරා නගරවල ව්‍යවස්ථා විරෝධී ලෙස පැරාමිලිටරි හමුදා යෙදවීම, ජනතාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමකට සමාන ය. අයිතිවාසිකම් පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සුනුවිසුනු කරන බවට තර්ජනය කරමින් ධවල මන්දිරයේ කුමන්ත්‍රනකරුවෝ, කුමන්ත්‍රනයක් සිදු කිරීමට උත්සාහ කරමින් සිටිති. “එක්සත් ජනපද ජනාධිපති තනතුර විශ්වාසවන්ත ලෙස  ක්‍රියාත්මක කරන” බවට වූ දිවුරුම උල්ලංඝනය කරමින් ට්‍රම්ප්, තම දේශපාලන විරුද්ධවාදීන් සිරගත කොට ඝාතනය කිරීමට කුමන්ත්‍රනය කරමින් සිටී.

පසුගිය සති දෙක තුල ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (ඩීඑච්එස්) ෆෙඩරල් ඒ්ජන්තයින්, ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ්හි වීදිවලට බස්සවා ඇත. පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි අඛන්ඩව දියත් වන උද්ඝෝෂන ඉලක්ක කර ගනිමින්, ප්‍රාන්ත හා නගර ආන්ඩුවල විරෝධය නො තකා  ධවල මන්දිරය,  පෙර නො වූ විරූ මර්දනයේ උද්ඝෝෂනයක් ගෙන යාම සඳහා හමුදා බලමුලු ගැන්වීමට, ඔවුන් යොදා ගෙන ඇත.

මිලිටරි ආම්පන්නවලින් සන්නද්ධ නාඳුනන ඒජන්තයින්, නිරායුධ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන, සත්‍ය සේ පෙනෙන කිසිදු හේතුවක් නො මැතිව, සලකුනු නො කල මෝටර් රථවලට දමා නොදන්නා ස්ථානවලට ගෙනගොස් ඇත. ප්‍රහාරක රයිෆල් සහිත විශේෂිත ආයුධ හා උපක්‍රම  කන්ඩායම්( SWAT)  සාමකාමී විරෝධතාකරුවන් එලවාගොස් , ඔවුන්ට මුගුරුවලින් පහර දී කඳුලු ගෑස් සහ ෆ්ලෑෂ් බෑන්ග් අත්බෝම්බ (හඬ නගන හා කම්පනය ඇති කරන) ප්‍රහාර එල්ල කර ඇත. එක් විරෝධතාකරුවෙකු ඉලක්ක කර, ඔහුගේ හිස් කබල බිඳී යන පරිදි රබර් උන්ඩයකින් වෙඩි තබා ඇත.

ට්‍රම්ප්ගේ කම්පන භටයින් සොයා ගෙන ඇත්තේ, සංක්‍රමනික කම්කරුවන් ඉලක්ක කිරීමට හා යුද්ධය ගෙන යාම සඳහා ගොඩනගා ඇති මර්දන කල්ලිවලිනි. ආගමන හා රේගු බලාත්මක කිරීමේ (අයිසීඊ) සහ රේගු හා දේශසීමා ආරක්ෂාවේ (සීබීපී)  ඒ්ජන්තයින් මෙයට ඇතුලත් වන අතර, ඒ සෑම එකක්ම මෙහෙයවනු ලබන්නේ සෙනෙට් සභාව විසින් තහවුරු නො කරන ලද “වැඩ බලන” අධ්‍යක්ෂවරයකු විසිනි. එබැවින් ඔවුන් වගකියන්නේ ජනාධිපතිට පමනි. ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධ ද ඇතුලුව එක්සත් ජනපද මිලිටරියේ  ප්‍රධාන විදේශ මෙහෙයුම් සඳහා සම්බන්ධ වී ඇති කුරිරු හා සටන් පරීක්ෂාවට ලක්වූ සංවිධානයක් වන බෝටාක් ලෙස හැඳින්වෙන, සීබීපී අභ්‍යන්තර විශේෂිත ආයුධ හා උපක්‍රම කන්ඩායම  (SWAT)  විසින් ඉටු කරන ලද ප්‍රධාන කාර්යභාරය විශේෂයෙන් කැපී පෙනෙයි.

නිව් යෝක්, චිකාගෝ, ක්ලීව්ලන්ඩ්, මිල්වෝකි, ෆිලඩෙල්ෆියා, ඩෙට්රොයිට්, බැල්ටිමෝර්, ඕක්ලන්ඩ් සහ ඇල්බකර්කි ඇතුලු අනෙකුත් නගර ද ෆෙඩරල් මැදිහත්වීමකට යටත් කෙරෙනු ඇති බව ට්‍රම්ප් පසුගිය සතියේ ප්‍රකාශ කලේ ය.

ජුලි 22 දා පැවති මාධ්‍ය හමුවක දී ට්‍රම්ප්, “අපගේ පොලිස් දෙපාර්තමේන්තු අපකීර්තියට පත් කිරීම, කඩා බිඳ දැමීම හා විසුරුවා හැරීම” සහ “අපගේ නීතිය ක්‍රියාත්මක කරන වීරයන්” අපකීර්තියට පත් කිරීම වෙනුවෙන් ඔහු නම් කල “අන්ත වාමාංශික” සහ “රැඩිකල්” ව්‍යාපාරයක් හෙලා දුටුවේ ය.

ට්‍රම්ප්ගේ හමුදා බලමුලු ගැන්වීමේ කඩතුරාව වන්නේ, මැයි 25 වනදා මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමෙන් පසු රට පුරා පැතිර ගිය විරෝධතා ය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ක්‍රියා වඩාත් පුලුල් පරාසයක උත්සුකයන් විසින් මෙහෙයවනු ලැබේ.

එක්සත් ජනපදය යනු සමාජ හා දේශපාලන වෙඩි බෙහෙත් පෙට්ටියකි. වසංගතය ඇමරිකානු සමාජයේ සහ එහි දේශපාලන ආයතනවල බිඳවැටීම  හෙලිදරව් කර තිබේ. ලාභය හා ධනය සඳහා වන ධනේශ්වර කතිපයාධිකාරයේ කුරිරු තල්ලුවට සියලු ම සමාජ අවශ්‍යතා නිරපේක්ෂ ලෙස යටත් කිරීම,  දැන් දිග හැරෙමින් පවතින මහා ව්‍යසනය සඳහා කොන්දේසි නිර්මානය කර ඇත.

එක්සත් ජනපදයේ 150,000 කට අධික පිරිසක් කොවිඩ්- 19 වසංගතයෙන්  මියගොස් ඇති අතර දිනකට 1,100 කට වැඩි පිරිසක් මෙම බිහිසුනු සංඛ්‍යාවට එකතු වේ. බ්‍රහස්පතින්දා, එක්සත් ජනපදය සිය මිලියන හතරක කොරෝනා වෛරස් රෝගීන්  වාර්තා කර ඇත්තේ, එය මිලියන 14 ක් ඉක්මවා යන්තම් දින 14 කට පසුව ය. ටෙක්සාස්, ෆ්ලොරිඩා, කැලිෆෝනියා, ඇරිසෝනා සහ වෙනත් ප්‍රාන්තවල රෝහල් පිරී ඉතිරී යයි.

වෛරසය පැතිරීම හා මරන සංඛ්‍යාව ඉහල යද්දී පවා ට්‍රම්ප් පරිපාලනය අවධාරනය කරමින් සිටින්නේ, කම්කරුවන් දිගට ම ගෙවල් වලටවී සිටිය යුතු ය නැත්නම් නැවත සිය රැකියාවට ආ යුතු බව සහ ගුරුවරුන් හා සිසුන්ට ඇති විය හැකි ප්‍රතිවිපාක නො සලකා පාසල් නැවත විවෘත කරන බව යි. 

කම්කරුවන්ට ඇති ආර්ථික පීඩනය දැඩි කිරීම සඳහා, කෙයාස්  පනත යටතේ පසුගිය මාර්තු මාසයේ දී සම්මත කෙරුනු සීමිත සමාජ සහන බොහෝ දුරට අඩු කිරීමට හෝ සම්පූර්නයෙන්ම අවසන් කිරීමට ආසන්න ය. ෆෙඩරල් විරැකියා ප්‍රතිලාභ දීර්ඝ කිරීමේ අවසන් දිනය ඉකුත් වීමට පසුගිය සතියේ කොන්ග්‍රසය ඉඩ හැරියේය. පසුගිය සතියේ නව විරැකියා හිමිකම් ඉල්ලුම මිලියන 1.4 දක්වා ඉහල යද්දී පවා, නෙරපා හැරීම් පිලිබඳ ෆෙඩරල් තහනමේ කාලය අවසන් වූයේ, මිලියන ගනනක් තම නිවාසවලින් නෙරපා හැරීමේ අවදානමට ඇද දමමිනි.

සති කිහිපයක් ඇතුලත මිලියන ගනනක් කම්කරු පන්තියේ පවුල්වලට අසරනභාවය, නිවාස නැතිකම හා කුසගින්නේ තර්ජන එල්ල වනු ඇත. ට්‍රම්ප් පරිපාලනය සමාජ විරෝධයක පිපිරීමක් අපේක්ෂා කරන අතර දැවැන්ත මර්දනයකට සූදානම් වෙමින් සිටී.

ඒ අතරම එක්සත් ජනපදය, චීනයට එරෙහි ප්‍රකෝපකාරී තර්ජන මාලාවක් නිකුත් කරමින්, ලෝකය යුද්ධයේ අද්දරට තල්ලු කරමින් සිටී. ට්‍රම්ප් පරිපාලනය පෙර නො වූ විරූ තීරනයක් ගෙන එය වසා දැමීමට නියෝග කිරීමෙන් පසුව, එක්සත් ජනපද නියෝජිතයන් හූස්ටන්හි චීන තානාපති කාර්යාලයට කඩා වැදීමත් සමඟ බ්‍රහස්පතින්දා, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චීනයට එරෙහිව යුදවාදී ගර්ජනාවක්  කලේ ය. පොම්පියෝගේ කතාවට පෙර, එක්සත් ජනපද ගුවන් යානා හාරක නෞකා දෙකකට සහ ප්‍රහාරක කන්ඩායම්වලට දකුනු චීන මුහුදේ ඕස්ට්‍රේලියානු හා  ජපන් නැව් සමඟ “ඉහල මට්ටමේ” යුද අභ්‍යාස පැවැත්වීමට නියෝග කරන ලදී.

ෆෙඩරල් පොලිසිය යෙදවීම, සති අටකට පෙර රෝස උද්‍යානයේ පැවති ඔහුගේ ජාතික දේශනයේ දී ප්‍රකාශයට පත් කරන ලද, ජනාධිපති ආඥාාදායකත්වයක් පිහිටුවීමේ ට්‍රම්ප්ගේ උත්සාහයේ දිගුවකි. ධවල මන්දිරයෙන් පිටත සාමකාමී විරෝධතාකරුවන්ට මිලිටරි පොලිසිය ප්‍රචන්ඩ ප්‍රහාරයක් දියත් කිරීමත් සමග ට්‍රම්ප්, “නීතිය හා සාමය” පිලිබඳ ජනාධිපතිවරයා ලෙස තමන් ම ප්‍රකාශයට පත් කර ගත්තේ,පොලිස් ප්‍රචන්ඩත්වයට විරෝධය දැක්වූවන් “ගෘහස්ථ ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගැසීමට, 1807 කැරැලි පිලිබඳ පනත ක්‍රියාත්මක කරන බවට තර්ජනය  කරමිනි.

ට්‍රම්ප්ගේ ආරම්භක කුමන්ත්‍රන ප්‍රයත්නයට, ට්‍රම්ප්ගේ හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් ජේම්ස් මැටිස් ද ඇතුලුව හමුදාව තුලින් ප්‍රතිරෝධයක් එල්ල වූයේ,   එවැනි දැඩි ක්‍රියාමාර්ගයක් ප්‍රමානවත් ලෙස සූදානම් නැති බව විශ්වාස කල බැවිනි. එහෙත් මිලිටරිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ඇතැ යි විශ්වාස කිරීම භයානක ලෙස බොලඳ විශ්වාසයකි. ට්‍රම්ප්ගේ අන යටතේ ක්‍රියාත්මක කරවිය හැකි වෙනත් බලවේග ඇති බවත්, හමුදාව කැඳවීමට පෙර ඔහු ඒවා භාවිතා කල යුතු බවත් ට්‍රම්ප්ට පවසා ඇති ජෙනරාල්වරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ධවල මන්දිරයේ නවතම ක්‍රියාමාර්ග ගෙන ඇති බවට සැකයක් නැත. නමුත් බෝටැක් හා අයිසීඊ හි පැරාමිලිටරි බලකායන් යෙදවීම අන් අයගේ ප්‍රශ්න කිරීමට භාජනය වී ඇත.

“එය මෙහි සිදුවිය නො හැක,” එනම් එක්සත් ජනපදය තුල කිසි විටෙකත් ආඥාදායකත්වයක් පැවතිය නො හැක, යන පැරනි කියමන ප්‍රතික්ෂේප කෙරෙමින් තිබේ. එය සිදුවිය හැකිවා පමනක් නො ව, එය සිදුවෙමින් පවතී.

සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද තීරු ලිපියක නිව් යෝක් ටයිම්ස් හි රොජර් කොහෙන්, එක්සත් ජනපදයේ වර්ධනයන්, නාසී බලයට පත් වීමට පෙර ජර්මනියේ තත්වය හා සැසඳී ය. “ජර්මානු ඇස් වලින් ඇමරිකානු ව්‍යසනය” යන තම ජූලි 24වැනිදා තීරුවේ කොහෙන්, බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරයෙකු හා බර්ලිනයේ ඇමරිකානු ඇකඩමියේ හිටපු සභාපති වන මයිකල් ස්ටයින්බර්ග්ගේ ප්‍රකාශය උපුටා දක්වයි.

ඇමරිකානු ව්‍යසනය දිනෙන් දින නරක අතට හැරෙන බවක් පෙනෙන්නට තිබුනත්, පෝට්ලන්ඩ්හි සිදුවීම් විශේෂයෙන් ෆැසිස්ට්වාදය සඳහා වූ මූලෝපායික අත්හදා බැලීමක් ලෙස මා බිය ගැන්වී ය. 1933 දී ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීමේ   නාටකය රඟදැක්වෙමින් තිබේ. රුදුරු මිලිටරි කන්ඩායම්, නගර අස්ථාවර කිරීම යනාදිය .

කෙසේ වෙතත්, හිට්ලර්ට මෙන් නො ව ට්‍රම්ප්ට තමා යටතේ මුදාහැරිය හැකි මහජන ෆැසිස්ට් ව්‍යාපාරයක් නො මැත. අන්ත දක්ෂිනාංශික බලවේග උසිගැන්වීමට උත්සාහ කරන අතර ම, ඔහුගේ මූලික මෙවලම වන්නේ රාජ්‍ය සංවිධානම ය.එය ඊජිප්තුවේ ජෙනරාල් අබ්දෙල් ෆතේ අල් සිසිගේ ආඥාාදායකත්වයට හෝ ලතින් ඇමරිකානු මිලිටරි  ආඥාාදායකත්වයන්ට සමාන ය. 1970 දශකයේ අග භාගයේ හා 1980 දශකයේ මුල් භාගයේ දී ලේවැකි මිලිටරි ආඥාදායකත්වයක් විසින් පාලනය කරන ලද ආර්ජන්ටිනාවේ අත්දැකීම්වලට, කොහෙන් ම ඍජු සමාන්තරයන් අඳියි.

මිලිටරි ජුන්ටාවෙන් ඉක්බිතිව 1980 ගනන්වල මම, ආර්ජන්ටිනාව ආවරනය කිරීමට ගත කල වසර ගනනාව, විශේෂයෙන්ම වීදිවලදී වාමාංශික දේශපාලන විරුද්ධවාදීන් පැහැර ගෙන යාම සඳහා - ආර්ජන්ටිනාව සම්බන්ධයෙන් ගත් විට- නම් නො කෙරුනු ෆෝඩ් ෆැල්කන්ස් මෝටර් රථ භාවිතා කිරීම පිලිබඳව මම විශේෂයෙන් සංවේදී වීමි. ඔවුන් “අතුරුදහන්” ව ඇත යන වචනයේ කල් පවත්නා වූ මානසික විනාසය මා මැන බැලුවේ ගිනිය නො හැකි කඳුලු පිරුනු කාමරවල දී ය.

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය බියගුලුකම හා දුබලකමේ එකතුවකි. ඩිමොක්‍රටික් පක්ෂ නගරාධිපතිවරුන් , උසාවිවල දුර්වල අභියෝග සහ විරෝධතාකරුවන්ට එරෙහිව නො ව, “අපරාධවලට” එරෙහිව පැරාමිලිටරි හමුදා යොදා ගත යුතු යැයි ඉල්ලා සිටීම අතර, විටන් විට මාරු වී ඇත. විරෝධතාකරුවන් අල්ලා ගැනීමට ෆෙඩරල් පොලිසියට ඇති බලතල අභියෝගයට ලක් කල එක ම ප්‍රධාන නඩුවේ දී පෝට්ලන්ඩ් විනිසුරුවරයෙකු සිකුරාදා තීන්දු කලේ, අත්අඩංගුවට ගැනීම් දිගට ම කර ගෙන යා හැකි බව යි.

ට්‍රම්ප්ගේ ජුනි 1 කතාවෙන් ඉක්බිතිව ඩිමොක්‍රටිකයන්, ට්‍රම්ප්ට එරෙහි සියලු විරුද්ධත්වයන් ජෙනරාල්වරුන්ට භාර දුන්නේ, ඔවුන් දේශපාලන බලයේ බේරුම්කරුවන් ලෙස ඔසවා තබමිනි. ඩිමොක්‍රටිකයන්ගේ ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන් තම “ලොකුම බියකරු සිහිනය” වන්නේ, ට්‍රම්ප් නොවැම්බර් මාසයෙන් පසු ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරනු ඇතියි යන්න බව පවසා ඇති නමුත්, එවැනි තත්වයකට ඔහුගේ ප්‍රතිචාරය  වන්නේ, ඔහු (ට්‍රම්ප්) බලහත්කාරයෙන් ඉවත් කිරීමට හමුදාව මැදිහත් වනු ඇතැ යි අපේක්ෂා කිරීම යි.

මේ වසර මුල දී ඩිමොක්‍රටිකයින් රුසියාවට එරෙහි තමන්ගේ දක්ෂිනාංශික උද්ඝෝෂනය මත පදනම් කල, තම හාස්‍යජනක දෝෂාභියෝග ව්‍යසනය අවසන් කලේ ය . ට්‍රම්ප් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කරද්දී, නව දෝෂාභියෝග නඩු විභාගයක් සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැත. ට්‍රම්ප් බලයෙන් පහ කිරීමේ ‌මහජන පෙලපාලි කැඳවීම ගැන කියනුම කවරේ ද?

ධවල මන්දිරය දැන් ජනාධිපති ආඥාාදායකත්වයක් ස්ථාපිත කිරීමේ දේශපාලන කුමන්ත්‍රනයක නියමු කුටිය යි.

මෙම තත්වය සූදානම් කෙරී ඇත්තේ දිග්ගැස්සුනු කාල පරිච්ඡේදයක් තුල දී ය. එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ෆ්ලොරිඩාවේ ඡන්ද ගනන් කිරීම නැවැත්වීමට මැදිහත් වී, මැතිවරන ජයග්‍රහනය ජෝජ් ඩබ්ලිව්.බුෂ්ට පැවරූ අවස්ථාවේ,  ඩිමොක්‍රටිකයින් විරුද්ධ නො වූ, 2000 ජනාධිපතිවරනය සොරකම් කිරිමේ සිට මේ වන විට  දශක දෙකක් ගතවී ඇත. 

ඊට වසරකටත් අඩු කාලයකට පසු සැප්තැම්බර් 11දා ත‍්‍රස්ත ප‍්‍රහාර, පාලක පන්තිය විසින් “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්” ප්‍රකාශ කිරීමට යොදා ගත්තේ, නිමක් නැති යුද්ධය හා පොලිස් රාජ්‍ය පියවරයන් විශාල ලෙස තීව‍්‍ර කිරීම සඳහා කඩතුරාව ලෙස ය. එහි අධිකාරිත්වය යටතේ සංක්‍රමනික හා රේගු බලගැන්වීම් සහ රේගු හා දේශසීමා ආක්ෂාව (CBP) ක්‍රියාත්මක වන ස්වදේශික ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රධාන පක්ෂ දෙකේම සහයෝගය ඇතිව 2002 නොවැම්බරයේ දී පිහිටුවන ලදී. මෙය මාතෘභූමි  පනත PATRIOT Act, එක්සත් ජනපද උතුරු බල ඇනිය, ග්වාන්තනාමෝ බේ වධකාගාරය ඉදිකිරීම , සීඅයිඒ වධහිංසා, ජාතික ආරක්ෂක ඒ්ජන්සිය ඇතුලු පියවරයන් රාශියක කොටසකි.

මෙම බලතල ඔබාමා පාලනාධිකාරය යටතේ පුලුල් කරන ලද අතර, එය නියමිත පටිපාටයෙන් බැහරව, ඇමරිකානු පුරවැසියන් ඝාාතනය කිරීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය ප්‍රකාශයට පත් කර, විකිලීක්ස් හි ජූලියන් අසාන්ජ්ට හිංසා පීඩා කිරීමට පෙරමුන ගත් අතර, එක්සත් ජනපදයට පලා එන සංක්‍රමනිකයන් රඳවා තබා ගැනීම සඳහා ගාල් කඳවුරු ජාලය සඳහා නීතිමය රාමුවක් නිර්මානය කලේ ය. 

ට්‍රම්ප් පුද්ගලාරෝපනය කරන්නේ සංගත ප්‍රභූ පැලැන්තියේ සාපරාධීත්වය යි. නමුත්  ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම හා ආඥාදායකත්වයේ අන්තරාය ඔහුගේ සමාජව්‍යාධි  පෞරුෂයේ නිපැයුම් නො වේ.

අනෙක් සෑම දෙයක් මෙන්ම වසංගතය, ඒකාධිපති පාලනය වෙතට වන මෙම යටින් පවතින ප්‍රවනතාව වේගවත් කර තීව්‍ර කර තිබේ. ප්‍රකෝටිපතියන් මෙම අර්බුදය විශාල වශයෙන් තමන් ධනවත් වීම සඳහා යොදා ගෙන ඇති අතර, ජනගහනයේ පුලුල් සමූහය මුලුමනින්ම මංමුලා සහගත තත්වයකට මුහුන දී සිටිති. ගනනය කල නො හැකි ජීවිතවල වියදමින් මෙම අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට වන මෙම කතිපයාධිකාරයේ අධිෂ්ඨානය ප්‍රජාතන්ත්‍රවාදය හා නො පෑහේ. දේශපාලන රූපාකාරයන් සමාජ යථාර්ථය සමඟ පෙලගැසෙමින් තිබේ.

ඔහුගේ සියලු නිර්දය භාවයන් සම්බන්ධයෙන් ගත් විට, ට්‍රම්ප්ගේ ක්‍රියා මංමුලා සහගත හා බියට පත් මිනිසෙකුගේ ඒ්වා ය. තමා මෙන් ම තම පරිපාලනය වෛරයට  ලක්ව ඇති බව ඔහු දනී. මැතිවරන ප්‍රතිඵල නො සලකා ධුරයේ රැඳී සිටින බවට ඔහු නැවත නැවතත් තර්ජනය කිරීම, ඔහුගේ පරිපාලනයට මහජන සහයෝගය නො මැති බවත් බලයේ රැඳී සිටිය හැක්කේ ප්‍රචන්ඩත්වය තුලින් පමනක් බවත් පිලිගැනීමකි.

කම්කරුවන් ප‍්‍රහාර හා ප‍්‍රකෝප කිරීම්වලින් ආරක්ෂා විය යුතු ය. සියලුම සේවා ස්ථානවල මෙන් ම කම්කරු පන්තියේ නිවාස ප්‍රදේශවල පැරාමිලිටරි හමුදාවන්ගේ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂනය කල යුතු ය.

එහෙත් සියල්ලටත් වඩා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, සාරාත්මක ව, ධනේශ්වර පද්ධතියට හා එහි ආන්ඩුවට එරෙහි සටනක් බව කම්කරුවන් හා තරුනයින් තේරුම් ගත යුතු ය. මෙම සටනේ දී භාවිතා කල යුතු ක්‍රමවේද වන්නේ,  පංති අරගලයේ ක්‍රමවේ ද යි. ට්‍රම්ප් පරිපාලනයේ හා පාලක ප්‍රභූන්ගේ කුමන්ත්‍රනවලට එරෙහිව සටන් කල යුත්තේ, දේශපාලන බලය කම්කරු පන්තියට මාරු කිරීම හා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා වූ මූලෝපායක් වර්ධනය කිරීම මගිනි.

කම්කරුවන් තම කෝපය ධනේශ්වර පක්ෂ දෙක පිටුපස පෙලගැස්වීමට ගන්නා සියලු උත්සාහයන්ට එරෙහි විය යුතු ය. යුද්ධය ප්‍රවර්ධනය කිරීම හෝ වාර්ගික-ජනවාර්ගික බෙදීම් දේශපාලනය හරහා තමන්ගේ එකමුතුකම බිඳ දැමීමේ සියලු උත්සාහයන්ට ඔවුන් නිර්දය ලෙස විරුද්ධ විය යුතු ය. මූලික ගැටුම “සුදු ඇමරිකාව” හා “කලු ඇමරිකාව” අතර යැයි ඩිමොක්‍රටික් පක්ෂය විසින් ප්‍රවර්ධනය කරන ලද ප්‍රකාශය අසත්‍ය මෙන් ම ප්‍රතිගාමී ය. නැත, ගැටුම කම්කරු පන්තිය හා  සංගත-මූල්‍ය කතිපයාධිකාරය අතර ය.

සිදුවීම් තමන් වෙනුවෙන් කථා කරන අතර නිගමනවලට එලඹිය යුතු ය. ට්‍රම්ප් ඊලඟට කුමක් කරනු ඇත් දැයි බලා සිටිනවා වෙනුවට කම්කරු පන්තිය ක්‍රියාත්මක විය යුතු ය. මිලිටරි-පොලිස් ආඥාදායකත්වය ක්‍රියාත්මක කිරීමට වඩා ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ අරගලය වේගයෙන් ඉදිරියට යනු ඇත්ද යන්න වියුක්තය තුල තීරනය නොවිය යුතුය. එය තීරනය කෙරෙනු ඇත්තේ අරගලය ඔස්සේ ය.

සමාජවාදී සමානාතා පක්ෂය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයන්ට හදිසි ආයාචනයක් ඉදිරිපත් කරයි: දැන් පැත්තකට වී සිටීමෙන් ඉවත් වීමට කාලය යි! දැන් ස්ථාවරයක් ගැනීමට කාලය යි! හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ, සමාජවාදී සමානතා පක්ෂයට හා එහි සහෝදර පක්ෂවලට සම්බන්ධ වන්න.

Loading