වෘත්තීය සමිති නිලධරය වරාය කම්කරුවන්ගේ වැඩ වර්ජනය පාවාදෙයි

පානි විජේසිරිවර්ධන
4 අගෝස්තු 2020

කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහිව එහි කම්කරුවන් දින තුනක් පුරා ගෙනගිය වැඩ වර්ජනය, එය මෙහෙය වූ “කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව”, අගෝස්තු 02 දා, නතරකර දැමීය.

ඉහත පර්යන්තය ඉන්දියානු සමාගමකට නොපවරන බවට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂගෙන්  “ලිඛිත පොරොන්දුවක්” ලබා ගන්නාතෙක් වර්ජනය අත් නොහරින බවට පාරම්බාමින් සිටි සමිති නිලධරය, එය අත්හැරීමට තීන්දු කොට ඇත්තේ, අගමැති රාජපක්ෂ කට වචනයෙන් දුන් පොරොන්දුවක් මතය. 

අවශේෂ කම්කරුවන්ගේ ද සහාය සහිතව ඉදිරියට යමින් පැවති මෙම වර්ජනය රාජපක්ෂගේ හිස් පොරොන්දුවකට යටත්කොට නතරකර දැමීම, පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීම සඳහා දහස් සංඛ්‍යාත කම්කරුවන් තුල පැවති දැවෙන අවශ්‍යතාව සහ දැඩි අධිෂ්ඨානය නිහීන ලෙස පාවා දීමකි. 

පර්යන්තයේ හිමිකාරිත්වයෙන් සියයට 49 ක කොටස්, ඉන්දියාවේ “අදානි” නම් සමාගමකට පැවරෙන පරිදි, වරාය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත්කොට ඇති “කැබිනට් පත්‍රිකාව අනුමත නොකරන” බවට සහ එම පර්යන්තය පුද්ගලීකරනය නොකරන බවට අගමැති මහින්ද රාජපක්ෂ විසින් දුන් “ස්ථිරසාර පොරොන්දුවක්” මත මෙම තීන්දුව ගත් බව, ශ්‍රී ලංකා නිදහස් ේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ  ලංකාදීප පුවත්පතට පවසා ඇත. 

වර්ජනය පිලිබඳව අගමැති රාජපක්ෂගේ “අවධානය යොමු වී” මෙම සාකච්ඡාව කැඳවූ බව කලුතරගේ පවසයි. රාජපක්ෂ ආන්ඩුවේත්, සමස්තයක් ලෙස ධනපති පාලක පන්තියේත් “අවධානය” වරාය කම්කරු වර්ජනය වෙත යොමුවූයේ, එය වටා අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ද ඒකාබද්ධ වෙමින් එය සමාජ පිපිරීමක් දෙසට වර්ධනය වෙතැයි යන ඉමහත් භීතියෙනි. 

අ‍ගෝස්තු 1 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල ලිපියකින් , මෙම වර්ජනයෙන් ප්‍රකට කෙරෙන අර්ථභාරී වර්ධනයන් අපි මෙසේ ප්‍රකාශයට පත් කලෙමු: "පර්යන්ත සහ ශ්‍රේනි රේඛා කපාගෙන සියලුම වරාය කම්කරුවන් මෙම වර්ජනය තුල ඒකාබද්ධවීම මගින්, ධනපති ප්‍ර‍හාරයන්ට එරෙහිව සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකට වෛෂයිකව පවත්නා ගාමකය ප්‍ර‍කාශයට පත්වෙයි. එය අනෙකුත් ක්ෂේත්‍ර‍යන්හි කම්කරුවන්ට ද මගපෙන්වන සහ ආස්වාදය දල්වන වැදගත් වර්ධනයකි.” 

ඉහත වර්ධනයන් සම්බන්ධයෙන්, වරාය සමිති නිලධරය ඇතුලු සමස්ත සමිති නිලධරය ද  භීතියට පත්ව සිටිති. කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් දෙසට වරාය වර්ජනය පත්වුවහොත්, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක අවශ්‍යතාව එයින් බලගතු ලෙස මතු කෙරෙන බව සමිති නිලධරය හොඳින්ම දනී. ධනපති ක්‍රමයට සහ ධනපති රාජ්‍යයට තදින්ම බැඳී පවතින උපකරනයන් වන මෙම සමිති සහ ඒවායේ නිලධරයන් එවන් දේශපාලන සටනකට ඉඳුරාම සතුරුය.

වරාය සටන ඉන්දියාවට එරෙහි ජාතිකවාදී “සත්‍යග්‍රහයකට” සීමා කිරීමට ඔවුන් ආරම්භයේ සිට යත්න දැරු‌වේ එබැවිනි. මෙම “සත්‍යග්‍රහ” වනාහි, අවශේෂ කම්කරුවන් සාමූහික පන්ති ක්‍රියාවන්ගෙන් වලකා නිෂ්ක්‍රිය කරන අතරේ, සමිති නිලධරයේ ව්‍යාජ සටන්කාමිත්වය ප්‍රදර්ශනය කිරීමට තනා ගන්නා වේදිකාවන් ය. වරාය සත්‍යග්‍රහ වේදිකාවට ගොඩවූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටැලින් වැන්නවුන් මෙම ව්‍යාජ රංගනයේ කුප්‍රකට නලුවන් ය.  

සැබැවින්ම, වර්ජනය පැන නැගුනේ, කාර්මික ක්‍රියාවන්ගෙන් තමා වලකා තැබීමට එරෙහිව පොදු කම්කරුවන් තුලින් පැන නැගුනු විරෝධය තුලිනි. වර්ජනයට පෙර දින ගනනක් පුරා  පැවති පාගමන් සහ පිකට් උද්ඝෝෂනයන් ට දහස් ගනනින් සම්බන්ධ වෙමින් වරායේ පොදු කම්කරුවන් පෙන්නුම් කලේ, පුද්ගලීකරනයට එරෙහිව පමනක් නොව, දුෂ්කර රැකියා සහ ජීවන කොන්දේසි වලට එරෙහිව සටන් කිරීමට ඔවුනට ඇති දැඩි අවශ්‍යතාව සහ අධිෂ්ඨානය යි. 

කෙසේ නමුත්, රාජපක්ෂගේ පොරොන්දුව, ආන්ඩුවේ භූ-දේශපාලනික සබඳතා කෙරෙහි ක්ෂනිකව බලපානු ඇත. මීට පෙර සමිති නායකයන් හමුවූ අවස්ථාවේ රාජපක්ෂ කල ප්‍රකාශයක් අනාවරනය කරමින්, එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ වරාය ශාඛාවේ ලේකම් උදේනි කලුතන්ත්‍රි , ජුලි 24 දා පැවති වරාය සේවක උද්ඝෝෂනයක් අමතා මෙසේ කීවේය: 

“අපි ගියා අගමැති තුමා හම්බ වෙන්න මැදමුලන වලව්වට. එහිදී අගමැති තුමා සියලු ඒකාබද්ධ වෘත්තීය සමිති එක්ක කතා කරලා කියනවා, ඔවු අපි ගැන්ට්‍රි  ක්‍රේන් ටික බාන්න ඉඩ දෙන්නම් හැබැයි [නැගෙනහිර පර්යන්තයේ] වැඩ පටන් ගන්න බැහැකියලා. ඇමරිකාවත් එක්ක, ඉන්දියාවත් එක්ක කෙලගෙන මට ගෙදර යන්න වුනා එක පාරක්, ඒ නිසා මම ඒ මෝඩ කම ආපහු කරන්නේ නැහැකියලා එතුමා කිව්වා.” 

රාජපක්ෂ මේ පවසන්නේ 2015 තන්ත්‍ර මාරුව ගැනයි. ඔහුගේ ජනාධිපතිත්වය යටතේ පැවති ආන්ඩුව, එහි අවසන් වසර කීපය තුල, චීනය වෙතට යොමුවීම කෙරෙහි උරනව සිටි ඇමරිකාව සහ එහි කලාපීය සගයා වන ඉන්දියාව, 2015 ජනාධිපතිවරනයේදී තමා ඉවත් කිරීමට මැදිහත් වූ බව රාජපක්ෂ දනී. “නැවත ඒ මෝඩකම” කල නොහැකි යැයි ඔහු පවසන්නේ එබැවිනි.

කෙසේ වෙතත්, අගමැති රාජපක්ෂ “නැගෙනහිර පර්යන්තය” පිලිබඳව සමිති නිලධරයට පොරොන්දු ලබා දෙද්දී, ජනාධිපති රාජපක්ෂ එම නිලධරයට සාකච්ඡාවක් හෝ ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. මෙම ප්‍රතික්ෂේපනය පිටුපස පවතින්නේ,  “නැගෙනහිර පර්යන්තය” ඉන්දියාවට පවරාදීමේ වැඩකටයුතු ඉක්මන් කරන ලෙස, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රාජපක්ෂට දෙවරක්ම කතාකරමින් එල්ලකොට ඇති පීඩනයයි. 

අගෝස්තු 01 දා බදුල්ලේ පැවති මැතිවරන රැස්වීමකදී, “වරාය තුල පිරිසක් කිසිඳු හේතුවක් නොමැතිව ප්‍රශ්න ඇති කිරීමට සූදානම් වන” බව රාජපක්ෂ කියා සිටියේ, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම නතර නොකරන බව අඟවමිනි. 

“රට ගැන සැලකිලිමත් වන නායකයෙක් යමක් කිරීමට උත්සාහ කරන සෑම විටම සමහර අන්තවාදී කන්ඩායම් එම සැලසුම් කඩාකප්පල් කිරීමට උත්සාහ කරන” බව ඔහු තවදුරටත් පැවසීය. මැතිවරනය හමාර වීමත් සමග, සටන්කාමී කම්කරුවන් “අන්තවාදීන්” ලෙස නම් කරමින් ඔවුන් දඩයම් කිරීමටත්, කම්කරු අරගල තලා දැමීමටත් ඔහු තුල පවත්නා උත්සුකය ඉන් ප්‍රකාශයට පත්වෙයි.

කොරෝනා වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරී ඇති බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටින ජනාධිපති රාජපක්ෂට, දැවැන්ත කප්පාදු හරහා එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමත්, එයට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරුවන් රුදුරුම ආකාරයෙන් මර්දනය කිරීම හැර වෙනත් විකල්පයක් නැත. මැතිවරනයෙන් පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතර බලයක් හිමිකර ගනිමින්, ව්‍යවස්ථාව වෙනස්කොට ආඥාදායක පාලනයක් තහවුරු කර ගැනීමට ඔහු වලිකන්නේ එබැවිනි. 

වරාය කම්කරුවන් ඇතුලු අවශේෂ කම්කරුවන් ඉදිරි කාලයේදී දැවැන්ත පන්ති අරගලයන්ට අවතීර්න වනු ඇත. ඔවුන් එක්වන්නේ, රටක් රටක් පාසා ධනපති පාලකයන් විසින් කොරෝනා වසංගතය මධ්‍යයේ යලි වැඩට දැක්කීමට සහ රැකියා විනාශ කිරීමට එරෙහිව  පැන නගිමින් පවත්නා ගෝලීය පන්ති අරගල මාලාවටයි.

මෙම ප්‍රහාර ගලා එන්නේ ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් බැවින්, ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවලට එරෙහි දේශපාලනික සටනකින් තොරව මෙම අරගල ජයගත නොහේ. රැකියා ඇතුලු සමාජ අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයන්, පුද්ගලීකරනය, ආඥාදායක සැලසුම් සහ වරායන් අත්පත්කර ගැනීම් ඇතුලු අධිරාජ්‍යවාදී යුද මූලෝපායික සැලසුම් පරාජය කල හැක්කේ, ලංකාව තුලත් ලෝකය පුරාමත් කම්කරු පන්තිය ඒකාබද්ධ කර ගනිමින්, ලෝක ධනවාදයට එරෙහිව ගෙනයන අරගලයකින් පමනි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

වෘත්තීය සමිති එවන් සටනකට පරම සතුරුය. වරාය කම්කරුවන් මෙන්ම අනෙකුත් කම්කරුවන් මෙම ප්‍රතිගාමී වෘත්තීය සමිති වලින් බිඳී ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. එම ක්‍රියාකාරී කමිටු වටා, පීඩිත ගොවීන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් රැලිකර ගනිමින්,  කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් ඉහත ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවිය හැක.