ජවිපෙ නායකයා ධනපති ව්‍යාපාරිකයන් ගොඩ ගැනීමේ ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරයි

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක ජුලි 23 වෙනිදා කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික ජන බලවේගය (ජාජබ) විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික  හමුවක දී ශ්‍රී ලංකාවේ  “ආර්ථික අර්බුදය විසඳීමේ” සැලැස්මක් ඉදිරිපත් කලේ ය. ජවිපෙ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාජබ, ධනේශ්වර ශාස්ත්‍රාලිකයන්, කලාකරුවන් ඇතුලු කම්කරු පන්තියට හතුරු ඉහලමධ්‍යම පන්තික කන්ඩායම් වලින්  සමන්විත පෙරමුනකි. 

ජනතාවාදී පූච්චානම් වලින් පුම්බා තිබු දිසානායකගේ කථාවෙන් ඉදිරිපත් කල “රට අර්බුදයෙන් ගොඩ ගැනීමේ ආර්ථික සැලැස්ම”, කොවිඩ් 19 වසංගතය නිසා අර්බුදයෙන් තවත් ඔද්දල්ලව සිටින මහ ව්‍යාපාරිකයන් බේරාගැනීමේ මංමුලා සහගත වෑයමක් මෙන්ම මහජනතාවගේ පිලිකුලට සහ කෝපයට ලක් වී තිබෙන ධනේශ්වර පන්ති පාලනය ආරක්ෂා කිරීමක්ය. 

ධනපති පන්තිය මෙන් ම, ජවිපෙ සහ ජාජබ තුල ගොනු වී සිටින ධනපති ගැති ශාස්ත්‍රාලිකයන් ද ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයන්ගේ ප්‍රහාරවලට විරුද්ධව වැඩෙමින් පවතින පන්ති අරගල සම්බන්ධයෙන් භීතියට පත්ව සිටිති.  

“ආර්ථිකය ගැන සාකච්චා කිරීමේ දී මූලික ස්ථම්භ තුනක් තිබෙන” බව දිසානායක ගාම්භීර ලෙස සඳහන් කලේ ය. ඔහුට අනුව එම ස්ථම්භ තුන වනාහි, *වෙලඳ ව්‍යාපාරයක්  කරගෙන තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පත් කිරීම.*ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම. *ජාතික සමගිය ගොඩනැගීම යි. 

මේ වැඩපිලිවෙල ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාපාරිකයන් ට සහ ආයෝජකයන්ට අවශ්‍ය දේශපාලන පරිසරයක් නිර්මානය කරදීමට ය. ව්‍යාපාරික සහ ආයෝජන කටයුතු වල දී ඒවාට පවතින නීතිමය බාධාවන්, දේශපාලකයන් විසින් කොමිස් ඉල්ලීම, විවෘත ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව රාජ්‍ය  ව්‍යාපෘති පවුලේ සාමාජිකයන්ට හා තම හෙන්චයියන්ට ලබාදීම ආදියෙන් තොරව, ලාභ පොදිගසා ගැනීමට ඉඩසලසා දීම ගැන ජාජබ උත්සුකවී සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ හා විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම යනු ධනපතියන්ට නිදහසේ සූරාකෑමේ අයිතිය තහවුරු කරමින් මහ ජනතාව පන්ති පාලනයේ ආධිපත්‍යයට යට කිරීමය. කම්කරු පන්තියේ සහ දෙමල හා මුස්ලිම් පීඩිත සුලු ජන කොටස්වල ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන ජවිපෙ කවරදාකවත් උනන්දු නොවුනා පමනක් නොව ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් නීතියෙන් මෙන් ම, ලෙයින් මැඩීම සඳහා ධනපති රාජ්‍යයට උපතේ සිටම සහයෝගය දුන් සංවිධානයකි.

1970 සිරිමාවෝ බන්ඩාරනායකගේ සභාග ආන්ඩුවේ  සිට 2015 සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දක්වා සෑම ධනපති ආන්ඩුවකට  ම ජවිපෙ සහයෝගය දුන්නේය. මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා කැසකවමින් සිටින ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව සමග ද සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජවිපෙ පෙන්නුම් කර තිබේ. අගමැති රාජපක්ෂ කැඳ වූ සර්වපාක්ෂික සම්මේලනයට සහභාගී වූ එය කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ආන්ඩුවේ සැලසුම් වලට සහය දීමට එකඟ විය.

රටේ ආර්ථිකය,  “නය අර්බුදය, ආනයන අපනයන වෙලඳපොලේ  ඇතිවී තිබෙන විකෘතිය, නිෂ්පාදනය කඩා වැටීම, ආදායම් බෙදීයාමේ විෂමතාවය” යන කරුනු හතරකින් පීඩා විඳින බව දිසානායක පවසයි. 

මෙම ප්‍රශ්න ජය ගැනීම සම්බන්ධයෙන් දිසානායකගේ සහ ජාජබ විසඳුම වන්නේ “නිෂ්පාදනය වැඩිකිරීම, විශේෂිත භාන්ඩ, මෘදුකාංග වැනි ක්ෂේත්‍ර වලින්  ලෝක වෙලඳපොලේ  කොටසක්  නියෝජනය කිරීම සහ ලෝකයේ ඉහල ආදායම් ලැබිය හැකි ශ්‍රම වෙලඳ පොලේ කොටසක් අත්පත් කර ගැනීම සඳහා අනාගත ඉල්ලුමට ගැලපෙන ශ්‍රමිකයන් බිහි කිරීම” ය. එනම් නිෂ්පාදන පලදායිතාවය ඉඅල දැමීම සඳහා කම්කරු පන්තිය මත වැඩ වේගවත් කිරීමේ රුදුරු කොන්දේසි පැටවීම සහ තරඟකාරී  පදනමක විදේශ ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා ලාබ ශ්‍රමය සම්පාදනය කිරීමකි. 

දිසානායකට සහ ජවිපෙට ඊනියා ආර්ථික ප්‍රතිපත්ති සකස්කර දෙන ජාජබ වටා පෙල ගැසී සිටින ශාස්ත්‍රාලික ලිං මැඩියන්ට  ශ්‍රී ලංකාවෙන් එහා ලෝකයක් නැති සේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය  ආර්ථිකය සමග අත්‍යන්තයෙන් බැඳී ඇත. ලෝක ආර්ථිකය තල්ලුවෙමින් පවතින්නේ 1930 ගනන් වලින් මෙපිට මුහුන දුන් දරුනුතම පද්ධතිමය අර්බුදයක් කරාය. කොවිඩ් 19 වසංගතය විසින් එය තවදුරටත් තීව්‍ර කර තිබේ. වසංගතය නිසාවෙන් පනවා තිබු අගුලු දැමීම් සහ සීමාවන් ඉවත් කර ඇති හෙයින් ලෝක ආර්ථිකයේ ඉංග්‍රීසි වී අකුරේ හැඩති ආර්ථික වර්ධනයක්; එනම් ගැඹුරු ආර්ථික හැකිලීමකින් පසු සිදුවන තියුනු වර්ධනයක් පිලිබඳව කෙරෙන ප්‍රකාශයන් ආර්ථික සහයෝගිතාවය සහ සංවර්ධනය (ඕඊසීඩී) පිලිබඳ සංවිධානය ජුනි මාසයේ නිකුත් කල වාර්තාවකින් ප්‍රතික්ෂේප කර තිබේ.

එවන් කොන්දේසි යටතේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථිකයෙන් වෙන් වූ “ආර්ථික ප්‍රසාරනයකට හා වර්ධනයකට” කොහෙත්ම ඉඩක් නැත. ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ ලෝක ආර්ථිකයට සම්බන්ධිතව ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකිලීමේ හා බිඳ වැටීමේ සන්තතිය වඩ වඩා ගැඹුරුවීමකි.

රටේ ආර්ථිකය සැලසුම් කිරීම රජය විසින් කිරීමෙන් පසු වැඩි පංගුව රජයට හිමිවන පරිදි පුද්ගලික අංශය ආර්ථිකයට සම්බන්ධ කර ගත යුතු බව දිසානායක සඳහන් කරයි. ඔහු ඉදිරිපත් කරන මෙම ආර්ථික මොඩලය චීනය, සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසු රුසියාව, උතුරු කොරියාව සහ වියට්නාමයේ ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රයන් විසින් ක්‍රියාවට දමනු ලැබ 2008 ලෝක මුල්‍ය බිඳ වැටීමත් සමග අසාර්ථක වූ එකකි. 

ආර්ථිකයේ “සමහර ක්ෂේත්‍රයන්” රජය විසින් අත්හල යුතු බව දිසානායක පවසන නමුත් ඒ කුමන ක්ෂේත්‍ර දැයි ඔහු සඳහන් කර නැත. ඔහු කියන “සමහර  ක්ෂේත්‍ර” අත  හැරීම  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරන යටතේ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කරන  බව මහ ව්‍යාපාරිකයන්ට දැනුම් දීමකි.  

දිසානායක  ජාතික සමගිය ඇතිකිරීම ගැන කරන කතාව අතිශයින් ම කුහකය. ජවිපෙ ආරම්භයේ සිටම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම් වූ වර්ගවාදී පක්ෂයකි. දෙමල වතු කම්කරුවන්ට විරුද්ධ වූ එය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වීමේ නමින් ධනපති පාලක පන්තියේ දෙමල  විරෝධී වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන්නේ ය. 

මුස්ලිම් අන්තවාදී කල්ලියක් විසින් පසුගිය වසරේ අප්‍රේල් 21 එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මුස්ලිම් ජනයාට හා කම්කරු පන්තියට විරුද්ධව මුදාහල රාජ්‍ය මර්දනයට සහය දුන් එය ආන්ඩුවේ සහ සිංහල වර්ගෝත්තම වාදීන්ගේ “මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමේ” මුස්ලිම් විරෝධී වර්ගවාදී උද්ඝෝෂනයට උඩ ගෙඩි දුන්නේය. 

සුලු ධනේශ්වර සංවිධානයක් ලෙස උපත  ලැබූ ජවිපෙ දැන් මුලුමනින් ම ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට බද්ධ වූ මහ ව්‍යාපාරිකයේ  සහ ආයෝජකයන්ගේ උත්සුකතාවයන් රකින  අධිරාජ්‍ය ගැති ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත.

Loading