2020 මහමැතිවරනය උදෙසා සසප පැවැත්වූ දෙවන අන්තර්ජාල රැස්වීමේදී සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් පැවැත්වූ කතාව

සසප අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ දෙවන මැතිවරන රැස්වීම ජූලි 26 දා පැවැත්වින. මෙහි පලකරන්නේ රැස්වීම සමාලෝචනය කරමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් කල කතාවයි.

මේ මැතිවරනය පැවැත්වෙන්නෙ මහජනතාව අතර දේශපාලනික උද්ඝෝෂනවලට පවතින ඉඩකඩ බෙහෙවින් සීමාසහිත වුනු තත්ත්වයක් යටතෙ. එය විශාල වසයෙන් බලපාන්නෙ කුඩා පක්ෂවලට. ධනපති පක්ෂ, විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත් යොදාගෙන ඔවුන්ගෙ උද්ඝෝෂන පවත්වාගෙන යද්දි මහජනතාව අතර නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සාකච්ඡාවක් ගෙන යාමට මේ සීමාවන් පැනවී තිබෙනවා. 

කොවිඩ්-19 වසංගතය මගින් ඇති කරල තියන තත්ත්වය මෙයට විශාල වසයෙන් බලපාන බවට සැකයක් නැහැ. එහෙත්, ඒ තත්ත්වය ධනපති පන්තිය විසින් යහමින් පාවිච්චියට ගැනීම සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. එය රටේ මහජනතාව අතර පවතින පන්ති භේදය ඉතා තියුනු ලෙස ප්‍රකාශ කරන අවස්ථාවක්. ඒ එක්කම එය පාර්ලිමේන්තු පාලන ක්‍රමය ධනපති පන්තියට කොතරම් පක්ෂග්‍රාහී ද කියන එක සනාථ කරන කාරනයක්. 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන නිර්දේශ පවා, කම්කරු-පන්තික විරෝධී හා සමාජවාද-විරෝධී ලෙස ධනපති පොලීසිය හා හමුදාව විසින් පාවිච්චියට ගැනීම අපි පක්ෂයක් ලෙස අත්දැකල තියනව. ඒ සෞඛ්‍ය නිර්දේශ මත් පාවිච්චි වෙන්නෙ ධනපති පක්ෂවලට පක්ෂපාතී ව, වාමාංශික සමාජවාදී පක්ෂවලට විරුද්ධ ව. රාජපක්ෂ ආන්ඩුව මැතිවරන කොමිසම හරහා ඒකට ඉඩකඩ පාදල දීල තියනව. 

සෞඛ්‍ය නිර්දේශ මොනවා ද යන්න නිශ්චිතව නිවේදනය නො කිරීම ම, පොලීසිය හා හමුදාව විසින් ධනපති පන්තියේ වාසියට අරගෙන තියනව. උදාහරනයක් හැටියට, රැස්වීමක ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න අවසර ගන්න යාපනයේ කයිට්ස් පොලීසියට ගියහම ඔවුන් ඒක එකහෙලා ප්‍රතික්ෂේප කලා. ආන්ඩුවෙ නායකයො, රජයෙ නිලධාරියො, ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් නො කිරීමට උපදෙස් දීල තියනව කියල ඔවුන් කියනවා. ඒ අවසර පත්‍රය කයිට්ස් පොලීසියෙන් ලබාගන්න කොලඹ අපේ පක්ෂ මූලස්ථානයෙන් මැදිහත් වීමක් කරන්න සිද්ද වුනා. 

කොලඹින් අපි කතා කරපු වෙලාවෙ, මැතිවරන කටයුතු භාර පොලිස් නිලධාරිය නිවාඩු ගිහිල්ල කියල පොලීසිය සඳහන් කලා. ඔහු වෙනුවෙන් වැඩ බලන්න වෙනත් පොලිස් නිලධාරියෙක් නැද්ද කියල අහපුවහම තමයි වෙනත් පොලිස් නිලධාරියෙක් මොකක් ද කෙරෙන්න ඕන කියල අහගෙන ඉදිරිපත් වුනේ. ලියා පදිංචි දේශපාලන පක්ෂයක් වන සමාජවාදී සමානතා පක්ෂයට මැතිවරන උද්ඝෝෂන රැස්වීමකට ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න බලපත්‍රයක් ගන්න ඕන කියල සඳහන් කරාම, ඒ පොලිස් නිලධාරියත් ගත් කටට ම කිවුවෙ කොරෝනා වෛරස් කෝස් නිසා එහෙම අවසර දීමක් බැහැ කියල.

ඉතා පැහැදිලියි, ප්‍රධාන ධනපති පක්ෂ උදේ ඉඳන් රෑ වෙනකන්, සමහර වෙලාවට මැදියම් රෑ වෙනකන්, ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන රැස්වීම් පවත්වන බව ඒ පොලිස් නිලධාරිනුත් රූපවාහිනී නාලිකා බැලුවනම් නියත වසයෙන් ම දැකල තියෙන්න ඕන. නිශ්චිත ව ම මේ විදිහටයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතෙ රාජ්‍ය යන්ත්‍රය මහජනතාවගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට විරුද්ධ ව ක්‍රියාත්මක වෙන්නෙ. 

මේ සියල්ල ඉවසගන ඉන්න තත්ත්වයකට ඊනියා වාමාංශික කියන දේශපාලන පක්ෂත් එකඟ වෙලා ඉන්නව. මහජනතාවගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් එකදිගට ම කප්පාදු වෙන මේ තත්ත්වය යටතෙයි, මැතිවරනය පැවැත්වෙන්නෙ. 

කලින් කතා කරපු සහෝදරවරු පැහැදිලි කලා වසංගත තත්ත්වය මොනතරම් නම් වේගයකින්, විශේෂයෙන් ම ධනපති ක්‍රමයේ කේන්ද්‍රස්ථාය වන ඇමරිකාව තුල, එය මොන තරම් නම් දරුනු ලෙස පැතිරීගෙන යනව ද කියන කාරනය. ලංකාවෙදි ඉන්දියාවෙදි වගේ ම ඇමරිකාවෙදිත් ඊනියා විරුද්ධ පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය, වසංගතය මැඩීමට සහයෝගය දීමේ මුවාවෙන්, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී, ඒකාධිපතිවාදී දක්ෂිනාංශික වැඩපිලිවෙල ඉදිරියට ගෙනියන්න ඉඩ දීල තියෙනව.

ධනපති පන්ති පාලනය වඩ වඩා දකුනට යද්දි, දක්ෂිනාංශික ධනපති පක්ෂ වගේ ම ඊනියා වාමාංශික පක්ෂත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මුවාවෙන්, ධනපති ආන්ඩුවලට හේත්තු වී, මාට්ටු වී සිටීම, අපි ලෝකය පුරා දකිනව. කම්කරු පන්තියේ අරගල වර්ධනය වෙද්දි, වාමාංශික පක්ෂ ද ඇතුලු ව සියලු ධනපති පක්ෂ, කම්කරු පන්තියට එරෙහි ව කඳවුරු බැඳගත්ත තත්ත්වයක් ප්‍රදර්ශනය වෙනව. සෑම රටක් තුල ම ධනපති පන්තිය, කම්කරු පන්තියේ අයිතිවාසිකම් තලා දැමීම සඳහා ඒකාධිපති ආන්ඩු-ෆැසිස්ට්වාදී ආන්ඩු බලයට ගේන්න ක්‍රියාත්මක වෙනව. 

ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවත්තු, තමන්ගේ අධිරාජ්‍යවාදී යුද ධාවනය ලෝකය සිසාරා වේගවත් කරන්න පියවර ගන්නව. ඒකාධිපතිවාදී ආන්ඩුවක තර්ජනයටත්, ලෝක යුද්ධයේ ගොදුරක් බවට පත්වීමේ තර්ජනයටත්, ලංකාවේ කම්කරුවන්, පීඩිතයන් හා තරුනයන් මුහුන දෙනව. පසුගිය සිකුරාදා (ජූලි 24) ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චීනයට එරෙහි යුද තර්ජනය අලුත් ඉහලකට නංවනව අපි දැක්ක. 

භූගෝලය සිසාරා දුවමින් ලෝක වෙලඳපොල අල්ලා ගැනීමට චීනයේ කුමන්ත්‍රනයක් පවතිනව කියල පොම්පියෝ සඳහන් කරනව. ඇත්ත ම කාරනාව නම්, අධිරාජ්‍යවාදී රටවල සමාගම්, ඒවායේ ලාබ අනුපාත වැටෙද්දි, ලාබ ශ්‍රම තිප්පොලක් හැටියට පවතින චීනයේ ආයෝජන කරගෙන ව්‍යාපාර පවත්වාගෙන යාම යි. මේක කිසිසේත් ම කුමන්ත්‍රනයක් නෙවෙයි, එය ධනපති ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය යි. 

ලාබ අනුපාත වැඩි කරගනිමින්, ලාබ පොදිය ලොකු කරගැනීමේ අවකාශය තියෙන තැනට ධනපති ක්‍රමය කඩාවදිනව. පොම්පියෝ ඒක කුමන්ත්‍රනයක් හැටියට සඳහන් කිරීම, නිශ්චිත ව ම ප්‍රකෝපකරනයක්, චීනය ආක්‍රමනය කිරීම සඳහා ගෙන යන සූදානමේ කොටසක්. 

ඔහු ඒ එක්ක ම සඳහන් කරල තිබුන, මේ කාලපරිච්ඡේදය සීතල යුද්ධයේ කාලපරිච්ඡේදයට වඩා වෙනස් කියල. සීතල යුද්ධ කාලපරිච්ඡේදය කියල කියන්නෙ ඇමරිකානු අධිරාජ්‍යවාදයත්, ස්ටැලින්වාදය යටතේ මොස්කව්හි පැවති ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයත් අතර ඝර්ෂනය හා ගැටීම පැවතුනු කාලපරිච්ඡේදයට. පොම්පියෝ සඳහන් කලා, ඒ කාලයේ රුසියාව පවත්වගෙන ගියේ සංවෘත ආර්ථිකයක්, ඒ තත්ත්වය යටතෙ ඇමරිකාවට ආර්ථික තර්ජනයක් රුසියාවෙන් එල්ල වුනේ නැහැ කියල. 

ඒක නිශ්චිත ව ම රුසියනු ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහනයක් ලෙස කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු දේපොල ක්‍රමයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පල කල ප්‍රලාපයක් හා මුසාවක්. සීතල යුද්ධයේ කාලපරිච්ඡේදයෙදි, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපය තුල පවත්වාගෙන ගිය, සංවෘත ආර්ථිකයේ වාසිය අධිරාජ්‍යවාදයට පැවතුනා. එහි අවසන් ප්‍රතිඵලය වුනේ, 1917 ඔක්තෝබර් විප්ලවයේ සියලු ජයග්‍රහන පාවාදෙමින්, 1991 වෙනකොට, සෝවියට් සංගමය බිඳ විසිරවීම. 

ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය අනුගමනය කල අධිරාජ්‍යවාදය සමග සාමකාමී සහජීවනය කියන පිලිවෙත යටතෙ, අධිරාජ්‍යවාදයට අවස්ථාව තිබුන, තමන්ගේ ආර්ථික පිලිවෙත්වලට පක්ෂපාතී කොටසක් නිලධාරී තන්ත්‍රය තුලින් ම වගා දිගා කරගන්න. ඒ නිලධාරී තන්ත්‍රය තුලින් ම මතු වුන ව්‍යාපාරික ස්ථරයක් තමයි, මෙහයිල් ගොර්බචෙව් යටතෙ, රුසියානු ආර්ථිකය මුලුමනින් ම අධිරාජ්‍යවාදයට විවෘත කිරීමට පෙරස්ත්‍රොයිකා වැඩපිලිවෙල ඉස්සරහට ගෙන ගියේ. 

චීනයේ ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය, 1980 ගනන් වෙනකොට ම ඩෙන් ෂියා ඕපින් යටතෙ, චීන ආර්ථිකය අධිරාජ්‍යවාදයට විවෘත කරල විවෘත ආර්ථික වැඩපිලිවෙලක් ඔස්සේ ගමන් කරන්න පටන් අරන් තිබුන. ඒ යටතෙයි අද ෂී ජිං පිං යටතෙ ක්‍රියාත්මක වන, චීන ධනපති තන්ත්‍රය හැදී වැඩී ආවෙ. අධිරාජ්‍යවාදය සමග තරඟයකින් වැඩී ආපු සහ ලෝකයේ දෙවැනි ආර්ථික බලය බවට පත්ව සිටින, එම ධනපති ක්‍රමය කිසිසේත් ම නො ඉවසන තත්ත්වයකටයි, අද ට්‍රම්ප් යටතේ ක්‍රියාත්මක වන ඇමරිකානු අධිරාජ්‍යවාදය පත්වෙලා තියෙන්නෙ. 

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මේ මූලෝපායට මේ කලාපයේ සියලු ම ධනපති රටවල් පෙලගස්වා ගැනීමේ වෑයමක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකානු පාලන තන්ත්‍රය යෙදී සිටිද්දි, පොම්පියෝ රාජ්‍ය ලේකම් ලෙස ඒ වැඩකටයුතුවල නිරත වෙලා ඉන්නව. ඇමරිකානු යුද මූලෝපායට ලංකාවෙ පාලනයත් ඉන්දියාවෙ පාලනයත් ගැටගසා ගැනීම මේ වන විටත් සෑහෙන තරම් දුරට ඇමරිකාව සාක්ෂාත් කරගෙන තියනව. 

ඉන්දියාවෙ මෝදි පාලන තන්ත්‍රය, වසංගතය විසින් ඇති කරල තියන තත්ත්වය යහමින් යොදාගන්නව, ඇමරිකාව සමග තියන සබඳතා වඩ වඩාත් තර කරගන්න. ඒ සඳහා අභියෝගයක් විය හැකි කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව, වෛරසයේ කොන්දේසි අතිශය විනාශකාරී ලෙස පාවිච්චි කරන්න, මෝදි ආන්ඩුව කටයුතු කරනව. වෛරසය මගින් ම ඇති කරල තියන තත්ත්වයන් මගින් මහජනතාව භීතියට හා මුසපත් වීමට පත්කරල, අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය කොන්දේසි සකසල දෙන්න ඉන්දියානු පාලක පන්තිය කැප වී ඉන්නව. 

කොංග්‍රස් පාලනය වගේ ම භාරතීය ජනතා පක්ෂ පාලනයත් කාලයක් තිස්සේ විශාල වෑයමක් දරපු පුද්ගලීකරන වැඩපිලිවෙල ඉන්දියානු ආර්ථිකය තුලට කඩාපාත් කරන්න මෝදි ආන්ඩුව වෛරසය පාවිච්චියට ගන්නව. ඉන්දියාවේ හා ලංකාවේ කම්කරු පන්තිය, ඉතා දිගු කලක් තිස්සේ අතිශය කැපකිරීම් කරමින් දිනාගත් රැකියා අයිතිය, අවශ්‍ය වෙලාවට හාම්පුතුන් විසින් දොට්ට දැමීම වැලැක්වීමේ නීති, අහෝසි කිරීමට මේ ආන්ඩු ක්‍රියාත්මක වෙනව. 

රැකියා ස්ථාවරත්වය අහෝසි කිරීම සඳහා, කොන්ත්‍රාත් වැඩ ක්‍රමය ව්‍යාපාර තුලට හඳුන්වා දී රැකියාවලට බඳවා ගැනීමේ හා දොට්ට දැමීම සඳහා රෙගුලාසිගත ව පැවති නීති කඩා බිඳ දාන්න, මේ රටවල් දෙකේ ම පාලක පන්තිය ගමන් කරල ති‌යෙනව. 

වෘත්තීය සමිති ව්‍යාපාරයේ ලැග සිටින ඉන්දීය කොමියුනිස් පක්ෂය (සීපීඅයි) හා ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) යන ස්ටැලින්වාදී පක්ෂ දෙක, කොරෝනා වෛරසය දඩමීමා කරගෙන ආන්ඩුව හා හාම්පුතුන් විසින් ගනු ලබන පියවරයන්ට කිසිදු ප්‍රතික්‍රියාවක් වත් නො දැක්වීමට තීන්දු කරල තියනව. මේ පක්ෂ ඉදිරිපත් කරන හේතුව තමයි, වෛරසය හේතුවෙන් විශාල ව්‍යසනයකට මුහුන දී සිටීම නිසා පාලනයට හිරිහැර නො කල යුතු යි, පාලනය අඩාල නො කල යුතු යි කියන එක. 

ලංකාවෙත් මේ සිද්ධීන් මේ විදිහට ම ගලාගෙන යනව. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ධනපතියන්ට අති විශාල බදු සහන පිරිනැමීම දැනට මත් සිද්ධ කරල තියනව. ජාතික ආර්ථිකය හා ජාතික සෞභාග්‍යය ගොඩනැගීමට යයි කියමින්, ආනයනික භාන්ඩවල මිල ඉහල දමා මහජනතාවට අත්‍යවශ්‍ය භාන්ඩවල මිල පිම්මේ ඉහල දමන්න ඔවුන් ක්‍රියාකරල තියනව. මේ පිලිවෙත්වලට එරෙහි ව කට අරින කිසිදු දේශපාලන පක්ෂයක් අපට දකින්න ලැබෙන්නෙ නැහැ. 

ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුන ගෙන යන වැඩපිලිවෙලට අභියෝග කරන්න, දෙකඩ වුනු එජාපයේ කිසිදු කොටසක් සූදානම් නැහැ. විශේෂයෙන් ම නිදහස් වෙලඳ කලාපවල, ඇන්ටන් මාකස්ගේ නායකත්වය යටතේ ක්‍රියාකාරී වන වෘත්තීය සමිති, පුද්ගලික අංශයේ අනෙකුත් වෘත්තීය සමිතිත් සමග එක්වී ආන්ඩුව හා ධනපති හාම්පුතුන් සමග කම්කරු අයිතීන් කප්පාදු කිරීමට කෝපරේට්වාදී ලෙස එකට වැඩකරන්න ක්‍රියාකරගෙන යනව. 

මේ තත්ත්වය යටතේ ලංකාවේ පාලනය මිලිටරීකරනය කිරීම වේගවත් කරල තියන ආකාරය අපි දකිනව. කොරෝනා වෛරස පවා පරාජය කිරීමේ බලවේගය ත්‍රිවිධ හමුදාව කියන සංකල්පය මහජනතාව තුලට බස්සන්න ආන්ඩුව හිතාමතා ම වැඩකරගෙන යනව. 

ධනපති ලෝකය ම අලලාගත් මේ ඒකාධිපතිවාදී, දක්ෂිනාංශික වැඩපිලිවෙලට එරෙහි ව, කම්කරු පන්තියේ අරගලවල කාලපරිච්ඡේදයක් දැනට මත් ඇරඹිලා තියනව. ඇමරිකාවේ විශේෂයෙන් ම මෝටර් රථ කම්කරුවන් අතර, මාරක කාර්මික කොන්දේසි යටතෙ ආර්ථිකය විවෘත කරල ආපසු වැඩට දැක්කීමට විරුද්ධ ව, බරපතල විරෝධයක් පැනනැගිල තියනව. 

වෘත්තීය සමිතිවලට එරෙහි ව, ඒවායින් ස්වාධීන ව, සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු පිහිටුවීමට ආරම්භකත්වයක් ගැනීම අපි දැකල තියනව. ඒ වගේ ම මෑතක දී ඉන්දියාවේ ලක්ෂ ගනනක් වන ගල් අඟුරු කම්කරුවන්ගේ අරගලයක් පැනනැග්ග. ලංකාව තුල වරාය කම්කරුවන්ගේ විරෝධතා, සෞඛ්‍ය කම්කරුවන්ගේ විරෝධතා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩ වර්ජනයක් පිපිරී පවතිනවා. 

මේ සියලු අරගලවල වැදගත් ලක්ෂනයක් වන්නේ, වෘත්තීය සමිතිවලට හා ඒවායේ නිලධරයට පැවතුනු අධිකාරය අභියෝගයට ලක්වීම. ඒ අතර ම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව වන, සමාජවාදී සමානතා පක්ෂ ඉදිරිපත් කරන වැඩපිලිවෙලට කම්කරුවන් අතරින් අවධානයක් දැල්වීමට පටන් අරගෙන තිබෙනවා. ඇමරිකාවේ සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සඳහා වන අරගලයක්, වසර ගනනක් තිස්සේ, ගෙන ගියේ ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂය පමනයි. 

මේ වැඩපිලිවෙල සඳහා කම්කරුවන්ගේ අනුකූලතාව වැඩි වර්ධනය වීම අපි මේ වන විට අත්දකිනව. පැවතුනු කම්කරුවන්ගේ සංවිධානවල පිරිහීම හා ඒවා ධනපති පන්තියේ සංවිධාන බවට පරිවර්තනය වීම, මෙම වසංගත තත්ත්වය මධ්‍යයේ කම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වයෙන් දැකගත හැකි යි. ලෝක ට්‍රොට්ස්කිවාදී සංවිධානය, දශක ගනනක් තිස්සේ කම්කරුවන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කල ක්‍රියා මාර්ගය සඳහා දේශපාලන අවකාශය, දැන් අලුතින් විවෘත වෙමින් පැවතීම අපි අත්දකිනව. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, අධිරාජ්‍යවාදීන් විශේෂයෙන් ම ඩොලරයේ ශක්තිය මත මුදාහැරපු උත්පාත කාලයේ අසීරුතාවන්ට හා අඩු තක්සේරු කිරීම්වලට මුහුන දුන්නත්, අධිරාජ්‍යවාදයේ අර්බුද සමයේ දී ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනයේ අදාලත්වය, අවශ්‍යතාව මහජනතාවට වඩ වඩාත් දැනෙන්න පටන් අරන් තියනව. 1929 ඇමරිකාවේ වෝල් වීදියේ අර්බුදයෙන් මුදාහැරුනු, අවපාතයෙන් අනතුරු ව, වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය වගවිභාග කල ට්‍රොට්ස්කි ඔහුගේ ලියවිල්ලක මේ ආකාරයට සඳහන් කලා.

ඔහුගේ ලියවිල්ලට මාතෘකාව ලෙස යෙදුවේ “දිරා යන අධිරාජ්‍යවාදී යුගයේ වෘත්තීය සමිති” යනුවෙනු යි. ස්ටැලින්වාදී ඝාතකයන් විසින් ට්‍රොට්ස්කි අකාලයේ ඝාතනය කල නිසා එය සම්පූර්න ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කිරීමට ඔහුට නො හැකි වුනා. නමුත් අවපාතයේ ප්‍රතිඵලය ලෙස, දෙවන ලෝක යුද්ධය පිපිරී යමින් පවතිද්දි, 1940දි සටහන් ලෙස ට්‍රොට්ස්කි මෙම ලියවිල්ල කෙටුම්පත් කලා.

“වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රය, සාමකාමී කාලවල දී මෙන් ම යුද්ධයේ කාලයේ දී ද, තමන් කොතරම් විශ්වාසකටයුතු පිරිසක් දැයි ප්‍රජාතන්ත්‍රවාදී ධනපති රජයට පෙන්වීමට හැකි සෑම උත්සාහයක් ම දරයි. වෘත්තීය සමිති රාජ්‍යයේ උපකරන බවට පෙරලමින් ෆැසිස්ට්වාදය අලුත් දෙයක් නො උපදවයි. 

ෆැසිස්ට්වාදය කරන්නේ පවතින වෘත්තීය සමිති කුඩු කරල, ෆැසිස්ට්වාදය විසින් ම අලුත් වෘත්තීය සමිති බිහිකර, කම්කරුවන් ඒවාට බලහත්කාරයෙන් ගාල් කිරීම යි. ඒවා පාලක පක්ෂයේත් පාලක ආන්ඩුවේත් අන අනුව වැඩ කරන සංවිධාන. ඒවා කිසිසේත් තවදුරටත් කම්කරුවන්ගේ උවමනාවන් සඳහා පවතින සංවිධාන නෙවෙයි.

ට්‍රොට්ස්කි මෙහි දී සඳහන් කරන්නෙ, ෆැසිස්ට්වාදය යටතේ එන එම පරිවර්තනය අලුත් දෙයක් නො වන බව යි. ෆැසිස්ට්වාදයට පෙරාතුව, අර්බුද ග්‍රස්ත ධනවාදය යටතේ සිදුවෙමින් පැවතුනු ක්‍රියාදාමයත් එය ම බව යි. ධනපති ක්‍රමයේ අර්බුද කාලපරිච්ඡේදවල දී, වෘත්තීය සමිති තුල සිදුවන පරිවර්තනය ට්‍රොට්ස්කි එම ලියවිල්ලේ ම තවදුරටත් මෙලෙස පැහැදිලි කලා.

“වෘත්තීය සංගම්වලට එම වචනයේ පැරනි අර්ථයෙන් එකම රාමුවක් තුල, එකම විශාල ජනතා සංවිධානයක් ලෙස සිටිමින්, නොයෙකුත් අදහස් පවතින ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ලෙස තවදුරටත් පැවතිය නො හැක. ” මෙහි අර්ථය වෘත්තීය සමිති තුල ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී යන බව යි. 

“ධනපති අර්බුදය යටතේ පැරනි ධනපති ප්‍රජාතන්ත්‍රවාදය ආපසු ගෙන්වා ගත නො හැකිවාක් මෙන් ම පැරනි කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය ද ආපසු ගෙන්වා ගැනීම අපහසු ය. ඉන් එකක ඉරනම අනෙකේ දෛවය සමග බැඳී පවතී.” ඒවා ට්‍රොට්ස්කිගේ වචන.

අපි ලංකාව තුල දකින්නේ, 1970 ගනන් මුල සභාග දේශපාලනය යටතේ ඇරඹුනු වෘත්තීය සමිති හා ධනපති ආන්ඩු අතර සන්ධානය මේවනවිට බොහෝ දුර ගමන් කර තිබීම යි. වෘත්තීය සමිති තව දුරටත් කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය නො කරනවා පමනක් නො ව, එම වෘත්තීය සමිති තුල කම්කරුවන්ට තමන්ගේ අවශ්‍යතා ප්‍රජාතන්ත්‍රවාදී ව සාකච්ඡා කිරීමට වත් අවකාශයක් නැහැ. වෘත්තීය සමිතිවල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන්, වෘත්තීය සමිතිවල සම්මේලන පැවැත්වීමේ සම්ප්‍රදාය අහෝසි වී බොහොම කල්. 

වෘත්තීය සමිති තම සාමාජිකයන්ගේ අවශ්‍යතා සඳහා යැයි කැඳවන බොරු අරගල පිලිබඳ ව සාමාජිකයන් සමග කරන සාකච්ඡා දකින්න පුලුවන් කමක් නැතිවෙලා තියනව. 1970 ගනන්වලට පෙරාතුව, කම්කරු සංවිධාන තුල කම්කරුවන්ගේ දේශපාලන සාකච්ඡා පැවැත්වීමේ සම්ප්‍රදායක් පැවතියත් එය දැන් මුලුමනින් අහෝසි වෙලා තියනව. දැන් කම්කරු අරගල පැනනගින්නෙ වෘත්තීය සමිතිවල උවමනාවට පිටින් ඒවාට එරෙහි ව. 

වෘත්තීය සමිතිවල නිලධරයන්, තමන් රාජ්‍යය සමග පවත්වාගෙන යන සම්බන්ධතා ගැස්සී යතැයි බියෙන්, වෘත්තීය සමිතිවල නමින් අරගල කැඳවීමට පවා එරෙහි ව යි, අද සමිති පිහිටලා සිටින්නෙ. විශේෂයෙන් ම වතු කම්කරුවන් අතර මේ පරිහානිය ක්‍රියාත්මක වන ආකාරය අපි දකිනවා. වතුවල වෘත්තීය සමිති ,දේශපාලන සංවිධාන ලෙසත් ක්‍රියාකාරී වෙන්නෙ එකම ධනපතිගැති ආකාරයට. 

ඔවුන් මේ මැතිවරනය සඳහා ගෙන යන උද්ඝෝෂනවල දි, කම්කරු පන්තිය ඉදිරියට යා යුතු අඟලක හෝ දුරක් ගැන වත් සඳහන් කරන්නෙ නැහැ. අනෙකුත් ධනපති පක්ෂවලින් මොන ම ආකාරයකින් වත් වෙනස් නො වී, ඔවුන් මැතිවරන ව්‍යාපාරය තුල කරන්නෙ, බොරු පොරොන්දු දීම. කම්කරු පන්තිය මුහුන දෙන බරපතල ජීවන තත්වයන් යටතෙ රුපියල් 1,000 ඉල්ලීමට මොනව වුනාදැයි නො දන්නවා වුවත්, ඔවුන් කම්කරුවන්ට අඟලක දුරක් වත් ඉදිරියට යන්න ඉඩක් දීම පවා කරන්නෙ නැහැ. 

ඒ වෙනුවට, මේ සමිතිවල හැම නායකත්වයක් ම, කම්කරුවන් ව ධනපති පාලක පන්තිය, ධනපති ආන්ඩුව හා වතු අයිතිකාර සමාගම් පටවන ඊනියා ආදායම් බෙදාගැනීමේ ප්‍රෝඩාවට යටත් කරන්න වැඩ කරගෙන යනව. කම්කරු එකමුතුව සිසීකඩ විසිර යැවීම එහි අරමුනයි.

අනෙකුත් කම්කරුවන් අතර වැඩකරන වෘත්තීය සමිතිත් ඊට වෙනස් නැහැ. ඔවුන් කම්කරුවන්ගෙ නියෝජිතයො වෙනව වෙනුවට ධනපති හාම්පුතුන්ගේ හා ධනපති ආන්ඩුවේ නියෝජිතයන් ලෙස කම්කරුවන් අතර වැඩකරනව කියල අද අන් කවරදාටත් වඩා හෙලිදරවු වෙලා තියනව. 

දුම්රිය සේවයේ කම්කරුවන්ගෙ අරගලවල තත්ත්වය විමසා බැලුවොත් මෙය පැහැදිලි කරගන්න පුලුවන්. කම්කරුවන්ගේ බරපතල උනන්දුව හා උවමනාව නිසා එහි විවිධ අරගල පැනනැගුන. එහි සමිති නායකයො කම්කරු අරගල කැඳවනවට වඩා කලේ, දවසින් දවස අරගල කල් දමන එක. වැඩ වර්ජන තීන්දුව අරන්, පස්සෙ දවසෙ නිවේදනය කරනව, අපි අරගලය කල් දානව කියල. 

සමාජවාදී සමානතා පක්ෂය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂ සමග එක පෙලට හිටිමින්, වෘත්තීය සමිතිවලින් ස්වාධීන, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කම්කරුවන් පෙරට ආ යුතුයි කියල යෝජනා කරන්නෙ මේ තත්ත්වය තුල යි. ක්‍රියාකාරී කමිටු කම්කරුවන්ට බොරු පොරොන්දු දෙන සංවිධාන නෙවෙයි. 

ක්‍රියාකාරී කමිටු වැඩකරන්නෙ, කම්කරුවන් තමන්ගේ ස්ව-ශක්තියෙන්, තමන්ගේ දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලුගන්වමින්, තමන්ගේ අයිතීන් දිනාගැනීමේ අරගල සඳහා යොමු වීමට මග පෙන්වන සංවිධාන ලෙස යි. කම්කරුවන්ට බොරු පොරොන්දු දීම වෙනුවට, ක්‍රියාකාරී කමිටු කරන්නේ කම්කරුවන් විසින් ගතයුතු ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය පැහැදිලි කරදීම යි.

මේ මැතිවරන උද්ඝෝෂනයේ දී ම, මෙම ඉදිරිදර්ශනය පැහැදිලි කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය, කම්කරු ක්ෂේත්‍ර හතරකට පනිවුඩ පත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ කම්කරු හසුන්, සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු පිහිටුවීමේ දී උපකාරී වූවා සේ ම, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට උපකාරී වන පුවත්පත් බවට මේ සසප පනිවුඩ, පත් කරගත යුතු ව පවතිනව. 

ගුරුවරුන්, සෞඛ්‍ය කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන් හා විගමනික කම්කරුවන් අලලාගත් සසප පනිවුඩ ලෙස මෙම පුවත්පත් නිකුත් කිරීමට අපි තීරනය කර තිබෙනවා. අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන්ට ද එවන් පනිවුඩ නිකුත් කරගැනීම සඳහා ඉදිරියට යාමට අපි කටයුතු කල යුතු යි. මේ මගින් කම්කරු පන්තිය, එකම පන්තියක් ලෙස බලමුලුගැන්වීම සඳහා, මෙම පනිවුඩ නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනව. 

හුදෙක් එක් වෘත්තීයක් හෝ ජාතික මට්ටමකින් පමනක් නො ව, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ගොඩනැගීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා එම පනිවුඩ උදවු වෙනවා ඇති. ඒ මගින් ගොඩනැගෙන ක්‍රියාකාරී කමිටු ජාතික හා ජාත්‍යන්තර ව ක්‍රියාකාරී වන ක්‍රියාකාරී කමිටු වෙනවා ඇති. සමාජවාදී සමානතා පක්ෂය, එලෙස එකමුතු කෙරෙන කම්කරු පන්තිය තුල දේශපාලන ඉදිරිදර්ශනය හා වැඩපිලිවෙල යෝජනා කරමින් ඔවුන් බලමුලුගන්වන්න සටන් කරනවා. 

මේ වෛරස් අර්බුදය මගින් සෑම රටක් තුල ම ධනපති ක්‍රමයේ විනාශකාරී භාවය කම්කරුවන්ට හෙලිදරවු වී තිබෙනවා. මුලුමහත් සමාජයට අවශ්‍ය වෙන්නෙ මේ කුනු වුනු ධනපති ක්‍රමය විස්ථාපනය කිරීමේ වැඩපිලිවෙලක් හා ඉදිරිදර්ශනයක්. එම ධනපති-විරෝධී, සමාජවාදී විකල්ප වැඩපිලිවෙලේ නායකත්වය ගන්න සමාජ බලවේගය වෙන්නෙ කම්කරු පන්තියයි. 

කම්කරු පන්තිය, මුලුමහත් සමාජයේ, තරුනයන්ගෙ, ගොවියන්ගෙ, පීඩිත ජන කන්ඩායම්වල ගැටලුවලට පිලිතුරු සහිත වැඩපිලිවෙල ඉදිරිපත් කරන සමාජ බලවේගය ලෙස සමාජය ඉදිරියේ නැගී ගතයුතු වෙනව. එම ඉදිරිදර්ශනය සංයුක්ත වෙන්නෙ, දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ දේශපාලන අරගලයක් ලෙසයි. 

මේ මැතිවරනයෙදි අපි තරඟ වදින්නෙ දිස්ත්‍රික්ක තුනකට පමනයි. නමුත් මේ මැතිවරනයෙදි අපි ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය හා වැඩපිලිවෙල සමස්ත කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට අදාල යි. අපි ඉදිරිපත් කරමින් තහවුරු කිරීමට සටන් වදින ඉදිරිදර්ශනය, ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක්. ඒ සඳහා වන අරගලය ලෝක පරිමාන අරගලයක්. එහි මූලික ආයුධය ලෝක සමාජවාදී වෙබ් අඩවිය. එය භාෂා විසිගනනකින් නිතිපතා පලවන වෙබ් අඩවියක්. 

ලෝසවෙඅහි සිංහල හා දෙමල අංශ තිබෙනවා. මෙම රැස්වීමට සහභාගි වන, සවන් දෙන සියලු දෙනා එහි පාඨකයන් බවට පත්විය යුතුයි කියල අපි ඉල්ලා සිටිනවා. අපේ මැතිවරන උද්ඝෝෂනය, මේ රට තුල මහජන විප්ලවවාදී සංවිධානයක් ගොඩනැගීමේ අරගලයේ කොටසක්. ඊට එක්වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, පීඩිත ජන කන්ඩායම්වලින් අපි ඉල්ලා සිටිනවා. 

වාර්ගික වසෙයන්, ලිංගභේදවාදී වසයෙන්, කුල වසයෙන් ආදී ලෙස නොයෙකුත් ආචීර්න කල්පික බෙදීම් මත, කම්කරුවන් හා දුගීන් බෙදීමට දරන සියලු උත්සාහයන්ට විරුද්ධ ව සටන් වැදීමට අපි බැඳී සිටිනවා. ඒ අනුවයි සමාජවාදී සමානතා පක්ෂයත්, එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයත්, අපේ යාපනයේ අපේක්ෂක කන්ඩායමත් දෙමල ජාතික බෙදුම්වාදයටත්, බෙදුම්වාදය පරාජය කිරීමේ නාමයෙන් කොලඹ සිංහල ධනපති ආන්ඩු දශක තුනක් තිස්සේ ගෙන ගිය වාර්ගික යුද්ධයටත් එරෙහි ව එක දිගට ම සටන් වැදුනෙ හා සටන් වදින්නෙ. 

යාපනයේ අපේ කන්ඩායමේ නායක සම්පන්දර් සහෝදරය විග්නේස්වරන්ගේ වැඩපිලිවෙලත්, ඔහුට එල්ල වී තිබෙන මර්දනයත් ගැන සඳහන් කලා. විග්නේස්වරන්ගේ දේශපාලනයෙන් නිශ්චිත ව බෙදී වෙන්වන අතර ම, අපි ඉතා නිශ්චිත ව සඳහන් කරනවා මේ මර්දනය එල්ල වෙන්නෙ, ගෝඨාභය රාජපක්ෂගෙ ධනපති ආන්ඩුව, දෙමල ජාතික සන්ධානයත් සමග ගනුදෙනුවකට යාම සඳහා යන ගමනෙ කොටසක් හැටියට කියල. දෙජාස නායකයන් වන සම්බන්දන් හා සුමන්දිරන් දැනට මත් ප්‍රකාශ කරල තියනව ගෝඨාභය රාජපක්ෂගෙ ආන්ඩුව එක්ක එකට වැඩකරන්න සූදානම් කියල. 

සිංහල වර්ගෝත්තමවාදී පාලකයන් හා දෙමල ජාත්‍යෝත්තමවාදී දේශපාලකයන් අතර ගොඩ නැගෙන මෙම අශුද්ධ සන්ධානය, කම්කරු පන්තියේත් දෙමල පීඩිතයන්ගේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට තර්ජනයක් කියල අපි අවධාරනය කරනව.

යාපනයේ සසප අපේක්ෂකයන්ට එල්ල වන මිලිටරි මර්දනයට එරෙහි අපේ ජාත්‍යන්තර උද්ඝෝෂනයට අපි අවධානය යොමු කලයුතු වෙනව. සමාජවාදී සමානතා පක්ෂයට අත නො තබනු යන සටන් පාඨය යටතේ අපි දියත් කරල තියන උද්ඝෝෂනය, සිංහල හා දෙමල කම්කරුවන්ගේ එකමුතුව ගොඩනගා, එම එකමුතුව මත ගොඩනැගෙන අරගලයකින් ධනපති ආන්ඩුව අහෝසි කිරීම ඉලක්ක කරගත්ත උද්ඝෝෂනයක්. මේ මැතිවරන උද්ඝෝෂනයත් සමග සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන අරගලයෙහි, එම උද්ඝෝෂනයේ දී අප යෙදී ගන්නව. එම උද්ඝෝෂන පෙත්සමට අත්සන් තැබීම් වසයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයට විරෝධතා ලිපි යොමු කරමින්, එම අරගලය හා ඒකාබද්ධ වන ලෙස අපි ඉල්ලා සිටිනවා.

පක්ෂයේ ආරක්ෂාව පිලිබඳ මෙම උද්ඝෝෂනයේ මෙන්ම, මැතිවරන උද්ඝෝෂනයේ ද ඉලක්කය,කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාව ඉටුකරනු වස් අවශ්‍ය වන විප්ලවවාදී-සමාජවාදී නායකත්වය ලෙස සසප ගොඩ නැගීමයි. ඊට එකතුවන ලෙස ශ්‍රාවක සියල්ලන්ගෙන් ඉල්ලුම් කරමින් මගේ කතාව අවසන් කරනවා.

Loading