ශ්‍රී ලංකාව: දෙමල ජාතික සන්ධානයේ මැතිවරන ප්‍රකාශයෙන්, ජනාධිපති රාජපක්ෂ සමඟ අධිරාජ්‍යවාදයේ පිටුබලය සහිත ගනුදෙනුවක සූදානම ප්‍ර‍කාශයට පත්වෙයි

මෙම ලිපිය අගෝස්තු 3 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

දෙමල ධනපති පක්ෂ එකතුවක් වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), “දේශපාලන විසඳුමක් ” සඳහා      “සාකච්ඡා ” කිරීමේ මුවාවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට  සහාය දැක්වීමේ සූදානම පෙන්නුම් කෙරෙන    ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අගෝස්තු 5 මැතිවරනය වෙනුවෙන් නිකුත් කර ඇත. " ඒ සමඟම ටීඑන්ඒ, මෑත පන්ති අරගල වලදී එක්සත්වූ  දෙමල, මුස්ලිම් හා සිංහල කම්කරුවන් භේද කිරීම පිනිස නරුම ලෙස, දෙමල ජාතිකවාදය ප්‍රවර්ධනය කරයි.

ආර්. සම්පන්දන්, චෙල්වනායගම් සමග

මේ අතරම ටීඑන්ඒ, “අර්ථවත් ආකාරයෙන් දෙමල ප්‍රජාව නියෝජනය කිරීම සඳහා”, අඩු වශයෙන් ඉදිරි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 20 ක් වත් අවශ්‍ය බව ඡන්ද දායකයන්ට අවධාරනය කරයි. වෙනත් වචන වලින් කිවහොත් ටීඑන්ඒ,  කොලඹ පාලනය සමග පවත්වන සාකච්ඡා වලදී තම තත්ත්වය ශක්තිමත් කර ගැනීමට මංමුලා සහගත උත්සාහයක  නිරත වෙමින්, මහජන විරෝධතා රැල්ලට ප්‍රතිචාර දක්වයි.

ඉලන්ගෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ, ෆෙඩරල් පක්ෂය), දෙමල ඊලම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමල ඊලම් හි මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්) යන සංවිධාන වලින් ටීඑන්ඒ සමන්විත වේ. අධිරාජ්‍යවාදී සහ කම්කරු පන්ති විරෝධී භූමිකාව නිසා මෙම සන්ධානය දෙමල කම්කරුවන් හා දුගීන් අතර සම්පූර්නයෙන්ම අපකීර්තියට පත්ව ඇත.

මෙම අර්බුදය මධ්‍යයේ එය කැබලි වලට කැඩී ඇත. ඊලම් ජනතා විමුක්ති පෙරමුන (ඊපීආර්එල්එෆ්) 2017 දී සන්ධානයෙන් ඉවත් විය. උතුරු පලාතේ ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් 2018 දී සන්ධානය හැර ගොස්, වැඩ කරන ජනතාවට අටවන තවත් දේශපාලන උගුලක් ලෙස, දෙමල ජනතා සන්ධානය (ටීපීඒ) නමින් වෙනම පක්ෂයක් පිහිටුවා ගත්තේය. විග්නේෂ්වරන්ට සහය දැක්වීම සඳහා  ටෙලෝ සංවිධානයෙන් කොටසක් කැඩී ගියේය.  කෙසේ වෙතත් මෙම පක්ෂ අතර මූලික දේශපාලන වෙනස්කම් ඇත්තේ නැත.

එම්.ඒ. සුමන්තිරන්

ටීඑන්ඒ හි එක්සත් ජනපද ගැති, කම්කරු පන්ති විරෝධී ස්වභාවය 2015 සිට පැහැදිලිව පෙන්නුම් කර ඇත. එම වර්ෂයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙරපා හැරීම සඳහා එක්සත් ජනපදය විසින් සංවිධානය කරන ලද තන්ත්‍ර මාරු මෙහෙයුමට ටීඑන්ඒ සෘජුවම සහාය දුන් අතර, රාජපක්ෂ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන පත් කරනු ලැබීය. සිරිසේන තෝරා ගැනීමට සහාය දුන් බව ටීඑන්ඒ හි ප්‍රමුඛ සාමාජික එම්.ඒ. සුමන්තිරන් විවෘතව කයිවාරු ගැසීය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව රාජපක්ෂ ගෙන ගිය නිර්දය වර්ගවාදී යුද්ධයට ඔබාමා පරිපාලනය සහාය දුන් නමුත්, චීනය සමග ඔහුගේ සමීප සබඳතාවන්ට විරුද්ධ විය. මූලෝපායිකව වැදගත් පිහිටීමක් සහිත දිවයින, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි සූදානම සමඟ ඒකාබද්ධ කිරීම සඳහා තන්ත්‍ර මාරු මෙහෙයුම සැලසුම් කරන ලදී.

තන්ත්‍ර මාරුවෙන් පසු, 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයෙන් රාජපක්ෂ ජයග්‍රහනය කරන තෙක් ටීඑන්ඒ, කොලඹ තන්ත්‍රයේ නිල නොවන හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කලේය. එය, ඇමරිකා එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ උපදෙස් මත කොලඹ ආන්ඩුව ස්ථාවරව තබා ගැනීමට සහාය දුන්නේය. ටීඑන්ඒ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩ සටහන ක්‍රියාවට නැඟීම පිනිස මෙන්ම‍, උතුරු හා නැගෙනහිර මිලිටරි වාඩිලා ගැනීම ද ඇතුලු සෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරකදීම ආන්ඩුවට පිටුබලය දුන්නේය.  

කොලඹ  අනුප්‍රාප්තික ආන්ඩු සමඟ දෙමල ප්‍රභූ පැලැන්තිය සඳහා “දේශපාලන විසඳුමක් ” ඇතිකර ගැනීමට ටීඑන්ඒ අතීතයේ දී ගත් විවිධ උත්සාහයන් ගැන සඳහන් කිරීමෙන් පසුව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙසේ සඳහන් වේ: “ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සහ දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන දෙමල කතා කරන අනෙකුත් ජනයාගේ නීත්‍යානුකූල අභිලාෂයන් සපුරා ගත හැක්කේ,  එක්සත් ශ්‍රී ලංකාවක් තුල ෆෙඩරල්වාදයේ ආකෘතියක ව්‍යවස්ථාමය විධිවිධාන තුලින් ය.”

“පසුගිය තිස් වසර තුල බලයට පත් ආන්ඩු එවන් දේශපාලන විසඳුමක්”  සඳහා කටයුතු කර ඇති බව ද ප්‍රකාශනය සඳහන් කරයි.  “අතීතයේදී මෙන්ම, ටීඑන්ඒ  ඉදිරියේ දී ද  දිගටම සාකච්ඡා පවත්වනු ඇති අතර එහිදී මුනගැසෙන ඕනෑම අභියෝගයකට නොසැලී මුහුන දෙනු ඇත.”

දෙමල පක්ෂ විසින් භාවිතා කරනු ලබන “ දේශපාලන විසඳුමක ” සූත්‍රයෙහි අර්ථය, උතුරු හා නැගෙනහිර දෙමල ධනේශ්වරය සඳහා “බලය බෙදා ගැනීමේ ” එකඟත්වයක් කොලඹ පාලනය සමඟ ඇතිකර ගැනීමයි. සිංහල ප්‍රභූව සමඟ ඒකාබද්ධව කම්කරු පන්තිය  සූරාකමින් සිය වරප්‍රසාද රැක ගැනීම ඔවුන්ගේ අරමුනයි. එවැනි බලය බෙදා ගැනීමක්, සාමාන්‍ය දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම හෝ ඔවුන්ගේ සමාජ ගැටලු විසඳීම සමග කිසිදු සම්බන්ධයක් නැත.

1956 සිට අයිටීඒකේ සහ අනෙකුත් පාර්ශවයන් විසින් කරන ලද මෙවැනි “සාකච්ඡා ” සහ ගනුදෙනු එක් ව්‍යසනයකට පසු තවත් ව්‍යසනයකට මග පෑදීය. මෙම වාර්තාව, “දෙමල ජාතික සන්ධානය ශ්‍රී ලංකා ජනාධිපතිගේ ඒකාධිපති පාලනයට සහාය පුදයි ” නමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියක සාරාංශ ගත කරන ලදී. 

ඔවුන් දැන්, මිලිටරිය පදනම් කරගත් ජනාධිපති ආඥාදායකත්වයක් කරා රාජපක්ෂ වේගයෙන් ගමන් කරන බව, හොඳින්ම දැනදැනත් ඔහු සමඟ සාකච්ඡා පවත්වයි. මහ ව්‍යාපාරික කොටස් රාජපක්ෂගේ බල අභිලාෂයට සහයෝගය දෙන්නේ, ඔහු “ශක්තිමත් හා ස්ථාවර” පාලනයක් ගොඩනැඟීමට පොරොන්දු වන බැවිනි. 

එවන් ආඥාදායක පාලනයක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග නියෝග කර ඇති පරිදි, ජීවන හා සමාජ කොන්දේසි වලට පහර දෙමින් කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඬීමට පියවර ගනු නිසැකය. පන්ති අරගලයේ ජාත්‍යන්තර නැගීමක කොටසක් ලෙස 2018 සිට සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත් විරෝධතා සහ වැඩ වර්ජන පුපුරා ගියේය.

සෑම රටකදී මෙන්ම ගෝලීය වසංගතය, දෙමල  පාලක ප්‍රභූව ඇතුලු මෙරට ධනේශ්වර පන්තිය මුහුන දෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය තීව්‍ර කර තිබේ. රැකියා, වැටුප්, සේවා සහ ජීවන තත්වයන් කප්පාදු කිරීමට එරෙහිව කම්කරුවන් හා දුප්පතුන් අතර කෝපය පැතිරෙමින් තිබේ. කොලඹ වරාය කම්කරුවන් දසදහසක් පසුගිය සතියේ දින තුනක් වැඩ වර්ජනය කිරීම, මෙම වැඩෙන කම්කරු පන්ති විරුද්ධත්වයේ එක් ඇඟවුමකි.

දෙමල ධනපති ප්‍රභූව කොලඹ සිය සගයා මෙන්ම, කම්කරුවන්ගේ සටන්කාමීත්වයට බිය වෙති. COVID-19 ශ්‍රී ලංකාව ඇතුලුව ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී ටීඑන්ඒ,  දකුනේ අනෙකුත් සංස්ථාපිතයේ පක්ෂ සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  විසින් කැඳවන ලද සර්ව පාක්ෂික රැස්වීම් දෙකකට සහභාගී වූ අතර වසංගතයට එරෙහිව සටන් කිරීමට ජනාධිපතිවරයා ගන්නවා යයි කියන උත්සාහයට සහාය දුන්නේය.

ටීඑන්ඒ සහ අනෙකුත් විරුද්ධ පක්ෂ අප්‍රේල් 27 දා ජනාධිපතිවරයාට අභියාචනයක් යවමින්, “කොන්දේසි විරහිතව සහයෝගය” ලබා දෙන බව පැවසූ අතර, විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා සිටියහ. දෙමල ජාතික සන්ධානයේ නායකයෝ මැයි 4 වන දින රහසිගතව අග්‍රාමාත්‍යවරයා මුනගැසී ආන්ඩුවට පක්ෂයේ සහයෝගය දෙන බවට පොරොන්දු වූහ. කම්කරු පන්තිය තලා දැමීම සඳහා ජනාධිපති ආඥා දායකත්වයකට සහාය දීමට ඔවුන් එමඟින් කැමැත්ත පල කර ඇත.

උතුර හා නැගෙනහිර තුල ස්වයං නිර්නය සඳහා වන “දෙමල ජනතාවගේ අභිලාෂය” ඉටු කිරීම පිලිබඳ ටීඑන්ඒ හි පූච්චානම් කථා, දෙමල කතා කරන කම්කරුවන් සහ දුප්පතුන් ජාතිකවාදය පෙන්වා රැවටීමට උපකාරී වේ. එවැනි පූච්චානම්, දෙමල කම්කරුවන්, දකුනේ තම පන්ති සහෝදර සහෝදරියන්ගෙන් වෙන් කිරීම සඳහා ගනන් බලා කරන ඒවාය. එය පාලක පක්ෂයේ සහ එහි ස්වෝත්තමවාදී සහචරයින්ගේ ද ධනේශ්වර විරුද්ධ පක්ෂවල, දෙමල හා මුස්ලිම් විරෝධී වර්ගවාදී ව්‍යාපාරය සමඟ සම්පාත වේ.

“පසුගිය වසර තිහ තුල බලයට පත්වූ ආන්ඩු දේශපාලන විසඳුමක් කරා” ගමන් කර ඇති බවට ටීඑන්ඒ කරන ප්‍රකාශය අරටුවටම ව්‍යාජය. ශ්‍රී ලංකාවේ පන්ති අරගලයේ ඉතිහාසය, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යායට මුලුමනින්ම අනුකූලය. කල්පසුවූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල ධනේශ්වරයට සහ එහි පක්ෂවලට, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න විසඳීමට සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ස්ථාපිත කිරීමට හෝ අධිරාජ්‍යවාදය විසින් ගසාකනු ලබන ජනවාර්ගික හා නිකායික බෙදීම් ජය ගැනීමට නොහැකිය. මෙම කාර්යයන් කම්කරු පන්තිය මතට පැවරෙන අතර, ජාත්‍යන්තර විෂය පථයට අයත් සමාජවාදී විප්ලවයක් කරා දිවෙන අරගලයකදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ස්ථාපිත කිරීමට එය සටන් කරයි.

1983-2009 ශ්‍රී ලංකාවේ දෙමල විරෝධී සිවිල් යුද්ධය අතරතුර දෙමල ජාතිකවාදී ප්‍රවනතා සමඟ සාකච්ඡා කිරීම, ඊලඟ ප්‍රහාරය සඳහා කල් ගැනීමට කොලඹ පාලකයින් ගත් උත්සාහයන් මිස අන් කිසිවක් නොවේ. 1994 දී චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව එල්ටීටීඊය සමඟ සාකච්ඡා අවසන් වූ අතර, 1995 දී නව ප්‍රහාරයක් ආරම්භ විය. 2002 දී “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” තර්ජනය භාවිතා කරමින් වොෂිංටනය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ඇතිව  ආරම්භවූ සාම සාකච්ඡා, කුමාරතුංග සහ හමුදාවේ විරෝධය හමුවේ බිඳවැටුනි.

මෙම කෙටි කාලයෙන් පසු, 2009 දී, මහින්ද රාජපක්ෂ ආන්ඩුව, දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් ඝාතනය කිරීම සහ එල්ටීටීඊ සටන්කරුවන් නිරායුධ කිරීමත් සමඟ යුද්ධය ලේවැකි අවසානයකට ගෙන ආවේ ය.

ටීඑන්ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ “උතුරු හා නැගෙනහිර හමුදාකරනය” පිලිබඳ කොටසක් ඇත. “එය දෙමල කතා කරන ජනතාවගේ ජීවිතවල සෑම අංශයකටම දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර  ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් කෙරෙහි අවිධිමත්, නීති විරෝධී හා අත්තනෝමතික සීමා කිරීම් පනවා ඇතැ” යි චෝදනා කරන ටීඑන්ඒ, “මිලිටරීහරනය” ඉල්ලා සිටී. 

කෙසේ වෙතත් මෙය ව්‍යාජ කැඳවුමකි. උතුරු හා නැගෙනහිර මිලිටරි වාඩිලෑමට ටීඑන්ඒ සහාය ලබා දී ඇති අතර මෙම පලාත් දෙකෙන් හමුදාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා නැත.

ප්‍රතිපත්ති ප්‍රකාශය මෙසේ කියයි: “වසර තිහක් වියැති යුද්ධය 2009 මැයි 19 වන දින අවසන් වූ අතර, අතිමහත් පාඩු හා කම්පනයන්ට ලක් වූ  ජනතාවට ඉතිරි වුනේ විනාශ වී ගිය උතුරු-නැගෙනහිර ප්‍රදේශයකි.” සිවිල් වැසියන් ඝාතනය කල හා ලක්ෂ ගනනක් අවතැන් කල කුරිරු ප්‍රහාරය පිලිබඳ විස්තරයක් ඉන්පසු එය සපයයි.

“යුක්තිය සහ වගවීම, සත්‍යය, වන්දි ගෙවීම, අනුස්මරනය  (මලවුන් සිහිකිරීම), අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම”, අවතැන්වූවන්ගේ සහ යුද වැන්දඹුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යනාදිය ටීඑන්ඒ ඉල්ලා තිබේ. මේවා වතාවතක් ලෙස කරන ඉල්ලීම් ය. සිරිසේන ආන්ඩුවේ ඒකාධිපති ප්‍රතිපත්ති සඳහා දෙමල ජාතික සන්ධානය විසින් දක්වන ලද සහයෝගය මගින් ඒවායේ හිස් බව තහවුරු විය. දෙමල කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නෙකු ලෙස ටීඑන්ඒ කුහක ලෙස පෙනී සිටී.

දෙමල ජනතාව මෙම ඉල්ලීම් සුදුසු අවඥාවෙන් යුතුව දැකගනු ඇත. 2009 මැයි මස යුද්ධයේ ලේවැකි අවසානයෙන් පසුව, යුද අපරාධ වාර්තා කිරීම මැඩපැවැත්වීමට ටීඑන්ඒ කටයුතු කලේය. එහි නායක ආර්.සම්බන්දන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව සමඟ සාකච්ඡා වට 18 ක් පැවැත්වීම ගැන පුරසාරම් දෙඩීය. මෙම ව්‍යාජ කතා වල අරමුන වුනේ යුද්ධයට ගොදුරු වූවන්ගේ නීත්‍යානුකූල ඉල්ලීම් යටපත් කිරීමයි.

ඒ අතරම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) යුද අපරාධ විමර්ශන ඉල්ලා සිටින යෝජනා වලට අනුග්‍රහය දක්වමින්, ශ්‍රී ලංකාව පිලිබඳව එක්සත් ජනපදය ගෙනගිය කුහක උද්ඝෝෂනය සමඟ ටීඑන්ඒ පෙල ගැසී සිටියේය. මෙම යෝජනා වල අරමුන වූයේ මහින්ද රාජපක්ෂට බීජිනයෙන් ඉවත් වන ලෙස බලපෑම් කිරීම පමනි.

2015 සැප්තැම්බර් මාසයේ දී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජනපද කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා, ටීඑන්ඒ නායකයෝ, සිරිසේන- වික්‍රමසිංහ ආන්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කලහ. එය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රමුඛ පුද්ගලයින් ද ඇතුළුව, මිලිටරිය හා අනුප්‍රාප්තික ආන්ඩු විසින් සිවිල් යුද්ධයේදී සිදු කරන ලද යුද අපරාධ සහ ප්‍රචන්ඬ ක්‍රියා වසන් කිරීමේ නරුම ව්‍යායාමයකි.

කෙසේ වෙතත් ඒ අතරම, යුද සමයේදී අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාත පුද්ගලයින් පිලිබඳ තොරතුරු ඉල්ලා දෙමල මව්වරුන්ගේ සහ ආධාරකරුවන්ගේ අඛන්ඩ උද්ඝෝෂනය ටීඑන්ඒ විසින් නොසලකා හරින ලදී.

ටීඑන්ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අවසන් වන්නේ “ජාත්‍යන්තර ප්‍රජාවේ කාර්යභාරය” යන කොටසෙනි. “ස්වාධීන ජාත්‍යන්තර යාන්ත්‍රනයක්” වෙනුවෙන් සහ  “ජාත්‍යන්තර ප්‍රජාවගේ” මැදිහත්වීම වෙනුවෙන් ටීඑන්ඒ දිගටම පෙනී සිටින බවට එය පොරොන්දු වෙයි.

“ජාත්‍යන්තර ප්‍රජාව” සමඟ සාකච්ඡා කිරීම සඳහා “ජාත්‍යන්තර යාන්ත්‍රනයක්” පිලිබඳ මෙම සඳහන,  වොෂින්ටනය සමඟ පස්සා දොරෙන් කරන ටීඑන්ඒහි ගනුදෙනු සඳහා යොදාගන්නා අන්වර්ථ නාමයකි.

නිෂ්පාදනයේ ගෝලීයකරනයෙන් සහ ස්ටැලින්වාදී තන්ත්‍රය 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, සමස්තයක් ලෙස දෙමල ධනේශ්වරය, කොලඹ එහි සහචරයා මෙන්ම බෙහෙවින් දකුනට මාරුවී ඇත. ඔවුහු අධිරාජ්‍යවාදී බලවතුන් පිටුපස, සියල්ලටම වඩා වොෂිංටනය සමඟ, පෙල ගැසී සිටිති, 

වෙනම රාජ්‍යයක් සඳහා වන ව්‍යාජ ජාතිකවාදී ඉදිරිදර්ශනයත් සමඟ එල්ටීටීඊය, දිවයිනේ උතුරු හා නැගෙනහිර දෙමල රාජ්‍ය කැබිලිත්තක් කපා වෙන්කර ගැනීමට වොෂිංටනයේ සහාය ඉල්ලා සිටියේය. දෙමල ධනේශ්වරයේ සෑම කන්ඩායමක් මෙන්ම එල්ටීටීඊය ද, 1948 නිදහසින් පසු ශ්‍රී ලංකා ප්‍රභූව අනුගමනය කල වර්ගවාදී ප්‍රතිපත්තිවලට එරෙහිව ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයාචනය කිරීමට  දරුනු ලෙස සතුරු විය. මෙම වර්ගවාදය, කම්කරු පන්තියේ ගෙල සිරකිරීමටත්,  ඔවුන් බෙදීමටත් භාවිතා කල දරුනු ආයුධයයි. 

එල්ටීටීඊයේ පරාජය හුදෙක් මිලිටරි ප්‍රශ්නයක් නොව, අධිරාජ්‍යවාදය සමඟ පෙලගැසීම මත පදනම් වූ එහි බෙදුම්වාදී ඉදිරිදර්ශනයේ බංකොලොත්කමේ ප්‍රකාශනයකි.

වොෂින්ටනය චීනයට එරෙහිව යුද්ධයකට සූදානම් වන විට, දූෂිත දෙමල ධනේශ්වරය, එක්සත් ජනපද භූදේශපාලනික අවශ්‍යතා සමඟ පෙල ගැසෙයි. ජනාධිපති රාජපක්ෂට සහාය දැක්වීම සඳහා වන දෙමල ජාතික සන්ධානයේ සූදානම, මෙම ප්‍රතිගාමී දේශපාලනයේ අනිවාර්ය අංගයකි. 

ධනවාදයට එරෙහි සමාජවාදී අරගලයක් තුල කම්කරු පන්තිය එක්සත් කිරීමේ කේන්ද්‍රීය අරගලයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂයට (සසප) මෙම දෙමල ධනේශ්වර පක්ෂවල පෙරලීම් හා හැරීම් සමඟ සටන් කිරීමේ  දශක ගනනාවක නොබිඳුනු වාර්තාවක් තිබේ. 

සසප, දෙමල හා මුස්ලිම් ජාතිකයන්ට එරෙහි සෑම ආකාරයකම වෙනස්කම් කිරීම් වලට හා වර්ගවාදී යුද්ධයට විරුද්ධ වී ඇති අතර උතුරු හා නැගෙනහිරින් හමුදා ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, දෙමල ධනේශ්වරය, ප්‍රතිගාමී සිංහල ධනේශ්වරය මෙන්ම, කම්කරුවන්ට හා පීඩිතයින්ට විරුද්ධව, අධිරාජ්‍යවාදයේ ඒජන්තයන් ලෙස සේවය කරන බව පෙන්වා දී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා සමාජ ප්‍රශ්න ආමන්ත්‍රනය කල හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එක්වී සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් මගින් කොලඹ අධිරාජ්‍ය ගැති ධනේශ්වර පාලනය පෙරලා දැමීමෙන් පමනි. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමේ අරගලය මෙයයි. මෙම විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් කරන එකම පක්ෂය සසප වෙයි.

Loading