බේරූට් වරායේ ගින්න: ලෙබනනයේ කම්කරුවන්ට එරෙහි අපරාධයක්

මෙම ලිපිය අගෝස්තු 6 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

අඟහරුවාදා දහවල් බේරූට් වරාය ප්‍රදේශය පුරා පැතිර ගිය ව්‍යසනකාරී ගින්න ලෙබනනයේ අතිශය ධනවත් පාලක පන්තිය කෙරෙහි දිගු කලක් තිස්සේ පැවති කෝපය වර්ධනය වීමට හේතු වී තිබේ.

මෙම පිපිරීම ලෙබනනයේ දේශපාලන ප්‍රභූව දන්ඩනයට ලක්කෙරෙන චෝදනාවකි. එහිදී ඔවුන් අධික ලෙස පුපුරන සුලු ඇමෝනියම් නයිට්‍රේට් ප්‍රමානයක් නිසි ආරක්ෂිත පාලනයකින් තොරව වසර ගනනාවක් තිස්සේ රේගුව ආශ්‍රිත ගබඩාවක ගබඩා කර තැබීමට ඉඩ ලබාදී තිබින

එය මුලුමනින්ම අපේක්ෂා කල හැකි හා වලක්වා ගත හැකි ලොව පුරා සිදු වූ ආපදා ගනනාවකින් එකකි. එය සමස්ත්‍යක් ලෙස ධනවාදය සහ ලෝකයේ පාලක ප්‍රභූන් පිලිබඳ අධිචෝදනා පත්‍රයක් වන අතර  2017 දී ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් ටවර් මහා ගින්න, 2013 බංග්ලාදේශයේ ඩකාර් හි රානා ප්ලාසා ගොඩනැගිල්ල බිඳවැටීම ද ඇතුලුව, 2010 මෙක්සිකෝ බොක්කෙහි බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමට අයත්  ඩීප්වෝටර් හොරයිසන් හි තෙල්  කාන්දු වීම සහ සියල්ලටමත් වඩා මාරාන්තික කොරෝනා වෛරස් වසංගතය සමග එක පෙලට සිදු වූ සිදුවීම්ය.

2020 අගෝස්තු 5 වන බදාදා ලෙබනනයේ බේරූට් වරායට බලපෑ පිපිරීම සිදුවූ ස්ථානයේ වත්මන් දර්ශනය (ඒපී ඡායාරූප/බිලාල් හුසේන්)

දැවැන්ත පිපිරීම් දෙකකින් ඇති වූ ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 135 දෙනෙකු මිය ගොස් 5000 ක් තුවාල ලබා තිබේ. මියගිය සහ අතුරුදහන් වූවන් අතර ලෙබනන් සොල්දාදුවන්, ගිනි නිවන භටයින් සහ ආපදා කම්කරුවන් ද වේ. විනාශ වූ හෝ හානි වූ ගොඩනැගිලි දස දහස් ගනනක සුන්බුන් අතර ගලවා ගැනීමේ සේවකයින් විසින් කරගෙන යනු ලබන සොයා බැලීම් වලින් පසුව මෙම සංඛ්‍යාව ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1975-1989 ලෙබනනයේ සිවිල් යුද්ධය අතරතුර සති ගනනාවක් තිස්සේ සිදු වූ දැඩි ෂෙල් වෙඩි ප්‍රහාරවලට වඩා විනාශය වඩාත් පුලුල් වූ අතර, දැවැන්ත පිපිරීම් වලින් පසුව මතු වූ දුඹුරු වලා පටලය සහ දුම ඉවත් වූ විට, බේරූට් නුවර යුද කලාපයක් ලෙස පෙනී ගියේය. හානිය ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ඇස්තමේන්තු කර ඇත. නගරයෙන් අඩක් පුරා පැතිරී ගිය මේ පිපිරීම 300,000 ක ජනතාවකගේ නිවාස අහිමි කර ඇති බවත් මෙවැන්නක් සිදු වූයේ දැනටමත් නිවාස හිඟයක් තිබූ නගරයක බවත්  නගර ආන්ඩුකාර මාවන් අබූඩ් පැවසීය.

මේ වන විටත් කොරෝනා වෛරස් වසංගතයෙන් පීඩාවට පත් ව තිබූ දුර්වල සෞඛ්‍යාරක්ෂක පද්ධතියක් සහිත රෝහල් කිහිපයකටම හානි සිදුවී ඇත. රෝගීන්ගෙන් පිරී ඇති රෝහල් වල  වෛද්‍ය සේවකයින්ට, පිටත සිට රෝගීන් පරීක්ෂා කිරීම සඳහා වර්ග කිරීමට බල කෙරෙමින් පවතින අතර, රතු කුරුස සංවිධානය මෘත ශරීරාගාර පිහිටුවීමට ආන්ඩුව සමඟ කටයුතු කරයි.

පිපිරීමට හේතුව තවමත් නිල වශයෙන් හඳුනාගෙන නොමැති නමුත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රවෘත්ති ඒජන්සිවලට පැවසුවේ වරායේ ගබඩා අංක 12 හි ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට්, පෑස්සුම් වැඩකින් පසු ගිනි ඇවිලී ගබඩාව ගිනි ගත් බවයි.

2014 දී මෝල්දෝවා ධජය සහිත රෝසස් නෞකාවෙන් රාජසන්තක කිරීමෙන් පසුව මෙම රසායනිකය ගබඩා කර ඇත. ගාඩියන් පුවත්පතට අනුව, මෙම නෞකාව ටෙටෝ නැව් සමාගම සතු වූ අතර, එහි හිමිකරු-කලමනාකරු රුසියානු ජාතික ඊගෝර් ග්රෙචුෂ්කින් සයිප්‍රසයේ ජීවත් වන බව විශ්වාස කෙරේ. වරාය බලධාරීන් සමඟ ඇති වූ ආරවුලකින් පසු ඔහු ජෝර්ජියාවේ සිට මොසැම්බික් දක්වා බේරූට් හරහා යාත්‍රා කල නැව අතහැර දමා වසරකට ආසන්න කාලයක් තිස්සේ තම නැවියන්ට වැටුප් නොගෙවා  අතරමං කලේය.

නෞකාවේ හිටපු කපිතාන්වරයා 2014 දී රුසියානු මාධ්‍යවේදීන්ට ලිපියක් යවා ඇත්තේ තමන් නැවේ “ප්‍රානඇපකරුවන්” ලෙස තබා ඇති බවට පැමිනිලි කරමිනි. බේරූට් බලධාරීන්ට “විශේෂයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහිත වරායේ අතහැර දැමූ නැවක් අවශ්‍ය නැත, ඇමෝනියම් නයිට්‍රේට් යනු එවැන්නකි. එනම්, මෙය පාවෙන බෝම්බයක් වන අතර කාර්ය මන්ඩලය මෙම බෝම්බයේ ප්‍රාන ඇපකරුවන්ය. ”

කාර්ය මන්ඩලය නැවෙන් මුදා හැරීමට වසරක් ගත වූ අතර ඇමෝනියම් නයිට්‍රේට් රාජසන්තක කර ගබඩා කර තබන ලදී.

ඇමෝනියම් නයිට්‍රේට් යනු බලවත් රසායනික ද්‍රව්‍යයක් වන අතර එය පොහොර නිෂ්පාදනයේ සහ පතල් පුපුරන ද්‍රව්‍ය සඳහා සාමාන්‍යයෙන් භාවිතා වේ. එහි අන්තරායන් හොඳින් දනී. 2015 දී එය වරායක ගබඩා කිරීමේ මාරාන්තික අවදානම ඛේදජනක ලෙස සනාථ කරන ලදී. චීනයේ ටියැන්ජින් වරායේ සිදු වූ එක් පිපිරුම් මාලාවකින්, ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 336 ක් පුපුරා යාමෙන් පුද්ගලයින් 173 දෙනෙකු මිය ගොස් තවත් සිය ගනනක් තුවාල ලැබීය. ආරම්භක පිපිරීම් හේතුවෙන් ඇති වූ ගින්න දිගින් දිගටම පැතිරුනු අතර එහි ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් පිපිරීම් සිදුවිය.

බේරූට් වරායේ ගබඩා කර ඇති ඇමෝනියම් නයිට්‍රේට් ප්‍රමානය ඊට වඩා බෙහෙවින් වැඩි විය. අග්‍රාමාත්‍ය හසන් ඩයබ් ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන, ටොන් 2,750 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ඇමෝනියම් නයිට්‍රේට් තොගයක්, ආරක්ෂක පියවර නොගෙන වසර හයක් තිස්සේ ගබඩාවක  තිබීම පිලිගත නොහැකි” බවයි.

එය හිරෝෂිමා මතට වැටුනු පරමානු බෝම්බයෙන් නිපදවන ලද පිපිරීම මෙන් පහෙන් එකක් තරම් බලවත් ය.

ඩයබ්, පිපිරීමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් දින තුනක් ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත්කල අතර වගකිවයුත්තන් නීතිය හමුවට පමුනුවන බවට සුපුරුදු පොරොන්දු දුන්නේ ඔවුන් ඊට “වන්දි ගෙවනු ඇති” බව කියමිනි. ඔහු “මිත්‍ර රටවලින්”උදව් ඉල්ලා සිටියේය.

වරායේ ප්‍රමුඛ නිලධාරීන් සහ රේගු බලධාරීන් නිවාස අඩස්සියේ පසුවන බව වාර්තා වේ. ආන්ඩුව දැන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරි සති දෙක සඳහා බේරූට් හමුදා නීතිය යටතේ තබා ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී මෙම පිපිරීම “දරුනු ප්‍රහාරයක් සේ පෙනේ” යැයි ප්‍රකාශ කිරීම වැලැක්වීමට ඩයබ්ගේ නිවේදනය ප්‍රමානවත් වූයේ නැත.

ඔහු කියා සිටියේ එක්සත් ජනපද හමුදාව සිතුවේ එය බෝම්බයක ප්‍රතිඵලයක් බව සහ පෙන්ටගනය එයින් දුරස් වීමට උත්සාහ කල බවයි. ට්‍රම්ප්ගේ පදනම් විරහිත ප්‍රකාශවලින් ඇඟවෙන්නේ ත්‍රස්තවාදයට ඕනෑම සිදුවීමක් ආරෝපනය කිරීමට ඔහු කොතරම් දුරට සූදානම්ද යන්නයි. එක්සත් ජනපදය තබා, චීනයේ හෝ රුසියාවේ මෙවැන්නක් සිදුවී ඇත්නම් ඔහුගේ ප්‍රතිචාරය යමෙකුට සිතාගත හැක.

රොයිටර් පුවත් සේවයට අනුව, ගබඩාවෙන් රසායනිකය ඉවත් කරන ලෙස පරීක්ෂන සහ නිල නියෝග කිහිපයක් තිබියදීත් කිසිවක් සිදු නොවීය. පලමු පරීක්ෂනය ගැන දැනුවත් නම් සඳහන්නොකල නිලධාරියෙකු පැවසුවේ “එය නොසැලකිලිමත්කමක්” බවයි. බලගතු රසායනිකය ආරක්ෂිතව ගබඩා කිරීමේ ගැටලුව කමිටු සහ විනිසුරුවන් කිහිප දෙනෙකු ඉදිරියට පමුනුවනු ලැබුයේ වුවත් එම ද්‍රව්‍ය ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට නියෝග කිරීම වෙනුවෙන් “කිසිවක් කෙරී නැත”.

රොයිටර් පුවත් සේවය තවත් මූලාශ්‍රයක් උපුටා දක්වමින් කියා සිටියේ මාස හයකට පෙර එම තොරතුරු පරීක්ෂා කල කන්ඩායමක්, මෙම ද්‍රව්‍ය ඉවත් නොකලහොත් “මුලු බේරූට් නුවරම එයින් පුපුරවා හැරිය හැකි” බවට අනතුරු ඇඟවූ බවයි.

පිපිරීමෙන් විනාශකාරී ආර්ථික, සමාජීය හා දේශපාලන ප්‍රතිවිපාක ඇති විය හැක. දුප්පත්කම, ආන්ඩුවේ දුර්පාලනය, දූෂනය සහ දේශපාලන කට්ටිවාදයට එරෙහිව පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මහජන විරෝධතාවලින් පසුව බලයට පත් වූ ඩයබ්ගේ ආන්ඩුවට මේ වන විටත් ඉල්ලා අස්වන ලෙස නැවත නැවතත් කරන ලද ඉල්ලීම්වලට භාජනය වී තිබේ.

මිලියන 2 ක සරනාගතයින් ද ඇතුලුව මිලියන 6 ක ජනතාවක් සිටින රට, දැනටමත් මෑත සතිවල දී එහි වටිනාකමෙන් සියයට 80 ක්ම පහල වැටුනු ලෙබනන මුදල, උද්ධමනය ඉහල යාම, ආහාර මිල දෙගුන කිරීම, කොරෝනා වෛරස් වසංගතය මගින් උග්‍ර කරන ලද පුලුල් හා දිනෙන් දින ව්‍යාප්ත වන දරිද්‍රතාවයද ඇතුලු දරුනුතම ආර්ථික හා මූල්‍ය අර්බුදයේ බලපෑමට ලක්ව ඇත.

වසංගතයට බොහෝ කලකට පෙර ලෝක බැංකුව ඇස්තමේන්තු කලේ ලෙබනනයේ ජනතාවගෙන් සියයට 45ක් දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වූ බවයි. එය සැප්තැම්බර් මාසයට පෙර සියයට 33ක් වූ අතර සියයට 22ක් උග්‍ර දරිද්‍රතාවයේ ජීවත් වේ. රට තුල ඉදිරියේදී සිදුවීමට නියමිත බංකොලොත්භාවය 2020 දී තවදුරටත් සියයට 50 ක් දක්වා ඉහල යනු ඇතැයි එය පුරෝකථනය කලේය.

රට විසින් බොහෝ මූලික භාන්ඩ ආනයනය කරන බැවින් වරායට සිදුවන හානිය ආහාර, ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් වැනි අත්‍යවශ්‍ය භාන්ඩ හිඟයට හේතු වේ. ලෙබනනය, යුද්ධයෙන් විනාශ වූ සිරියාව සහ නිල වශයෙන් තවමත් යුද්ධ තත්වයක පවතින ඊස්රායලය යන රට වලට මායිම්ව පැවතීම වැනි කොන්දේසි යටතේ පවතින බැවින් උතුරු ට්‍රිපෝලි වරාය ප්‍රතිස්ථාපනය කිරීමට නුසුදුසු තත්වයක ඇත. ලෙබනනයේ ආනයනයන්ගෙන් සියයට 60 ක් මෙම වරාය විසින් මෙහෙයවනු ලැබේ.

බොහෝ දුරට රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් ගෙන්වන ධාන්‍ය ගබඩා කර ඇති ධාන්‍ය පර්යන්තය සහ සාමාන්‍යයෙන් රටේ ධාන්‍ය වලින් සියයට 85 ක් රඳවාගෙන ඇති ධාන්‍ය ගබඩාව ගින්නෙන් විනාශ විය. මෙවැන්නක් සිදු වූයේ වසංගත කාලය තුල ධාන්‍ය තොග හිඟ වීමෙන් රට තුල පුලුල් ලෙස පාන් හිඟයක් ඇතිවී තිබූ තත්වයක් යටතේය.

තිරිඟු සහ අනෙකුත් අත්‍යවශ්‍ය දුව්‍ය හිඟයක් මධ්‍යයේ පසුගිය අප්‍රේල් මාසයේ දී ආන්ඩුව විසින් ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවූ අතර අමතර තිරිඟු ආනයනය කරන බව නිවේදනය කලේය. බොහෝ තිරිඟු ආනයනය කරනු ලබන්නේ පුද්ගලික මෝල් වලිනි. ලෙබනනයේ විදේශ මුදල් සංචිත හිඟය සැලකිල්ලට ගත් විට එය ගෙවන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

එහි ධාන්‍ය වලින් සියයට 80 කට වඩා ආනයනය කරන, මාසයකට අඩු සංචිත ප්‍රමානයක් ඇති රටක, වරායේ ධාන්‍යාගාරය විනාශ වීමෙන් ඇති වී ඇති තත්වය සිතාගත හැක. එහෙත්, බදාදා (පිපිරීමට පසුදින) මෙම තත්වය ගැන සඳහන් කල ආර්ථික ඇමති රාවුල් නේමන් විසින් “පාන් හෝ පිටි අර්බුදයක් නැත” සහ “දිගු කාලීනව ලෙබනනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමානවත් තරම් සංචිත සහ බෝට්ටු අප සතුව ඇත” යනුවෙන් පවසනු ලැබීම වැලැක්වීමට මෙම තත්වයන් සමත් වූයේ නැත.

Loading