වසර 75 කට පෙර: හිරෝෂිමා සහ නාගසාකි න්‍යෂ්ටික ප්‍රහාරවලින් පසු ජපානය යටත් වෙයි

මෙම ලිපිය අගෝස්තු 10 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

හිරෝහිතෝ අධිරාජයා

හිරෝෂිමා සහ නාගසාකි වෙත ඇමරිකානු හමුදා එල්ල කල න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර, ජීවිත සිය දහස් ගනනක් බිලිගත් පෙර නොවූ විරූ යුද අපරාධයක් වන අතර, දින ගනනකට පසු, 1945 අගෝස්තු 15 දා ජපාන අධිරාජ්‍ය තන්ත්‍රය තමන් එක්සත් ජනපදයට යටත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කලේ ය.

ඉනෝලා ගේ (Enola Gay) නැමැති එක්සත් ජනපද බෝම්බ හෙලන යානය “ලිට්ල් බෝයි” (“Little Boy”) ලෙස හැඳින්වූ න්‍යෂ්ටික බෝම්බය අගෝස්තු 6 වන දින හිරෝෂිමාව මත පුපුරුවා හැරීය. ඉන් ක්ෂනිකව 80,000 ක් පමන මිය ගිය අතර, අගෝස්තු 9 වැනිදා නාගසාකි වෙත හෙලන ලද “ෆැට් මෑන්” (“Fat Man”) යනුවෙන් හැඳින්වූ පරමානු බෝම්බයෙන් ද ඒ හා සමාන මරන සංඛ්‍යාවක් සිදුවිය.

නගර දෙකක් විනාශ කල එම ප්‍රහාර වලින් මුලු ලෝකයම කම්පනයට පත් විය. මෙම ප්‍රහාරයට පෙර, වසරක් පුරා, එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් හෙලන ලද සාම්ප්‍රදායික ගිනි බෝම්බ (incendiary devices) ප්‍රහාර නිසා ජපානයේ නාගරික හා කාර්මික ප්‍රදේශ වලින් හතෙන් එකක් පමන අතුගෑවී ගොස් තිබින.

පරමානු බෝම්බ ප්‍රහාරවලට වහාම ප්‍රතිචාර දක්වමින් ජපාන ආන්ඩුව , අගෝස්තු 10 වන දින, ජුලි මාසයේ පැවති පොට්ස්ඩෑම් සමුලුවේදී මිත්‍ර බලවතුන් විසින් සකස් කරන ලද කොන්දේසි යටතේ, එක්සත් ජනපදයට යටත් වීමට කැමැත්ත පල කලේය. ජපානයේ එකම කොන්දේසිය වූයේ අධිරාජයාගේ පරමාධිපත්‍යය පිලිගැනීම යි. එය ඊලඟ දිනයේම ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජේම්ස් එෆ්. බර්න්ස් තරයේ කියා සිටියේ, ජපානයේ ඕනෑම යටත් වීමක් කොන්දේසි විරහිත විය යුතු බව යි.

මේ මොහොත වන විට ජපාන තන්ත්‍රය, දැවැන්ත අර්බුදයකට ලක්ව සිටි අතර එය නායක්වය දුන්නේ, පෙර පැවති කිසිදු කාර්මික හෝ මිලිටරි ධාරිතාවක් නොමැති රාජ්‍යයකට ය. ඒ අතරතුර සෝවියට් සංගමය පැත්තෙන් වේගයෙන් වර්ධනය වන ආක්‍රමනයට මුහුන දීමට ද සිදු වී තිබින. හිරෝහිතෝ අධිරාජයා අගෝස්තු 14 දා, එක්සත් ජනපදයට සම්පූර්නයෙන්ම යටත් වීමේ ප්‍රකාශයක් ගුවන්විදුලි විකාශනය සඳහා පටිගත කලේය. ඒ ප්‍රකාශයට “දරාගත නොහැකි දේ දරා ගන්නා ලෙස” (“bear the unbearable") ජපාන ජනතාවගෙන් කරන  ඉල්ලීමක් ද ඇතුලත් විය.  

මේ අවස්ථාවේ කියෝජෝ (Kyūjō) නමින් ප්‍රකට සිද්ධිය ඇති විය: ආරක්ෂක අමාත්‍යංශයේ මාන්ඬලික නිලධාරීන් කන්ඬායමක් සහ අධිරාජ්‍ය ආරක්ෂක බලකායේ ප්‍රමුඛ සාමාජිකයින්, යටත් වීම සහ හිරෝහිතෝගේ පනිවිඩය ජාතිකව විකාශනය වීම වැලැක්වීම සඳහා හමුදා කුමන්ත්‍රනයකට උත්සාහ කල ද එම කැරැල්ල ඉක්මනින්ම පරාජයට පත් විය.

ජුවෙල් වොයිස් විකාශනය (Jewel Voice Broadcast)  හඬ කැවූ හිරෝහිතෝගේ පටිගත කිරීම, අගෝස්තු 15 වන දින, ගුවන් විදුලියෙන් විකාශනය විය. එයින් ක්ෂනික හා කොන්දේසි විරහිතව යටත් වීමේ අවශ්‍යතාවය අවධාරනය කල අධිරාජයා, ජපාන යුද ප්‍රයත්නය මුහුනදී ඇති විනාශකාරී තත්වය පෙන්වා දුන්නේය.

ඔහු හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ හෙලීම් ගැන සඳහන් කරමින් මෙසේ පැවසීය: “සතුරා නව හා කුරිරු බෝම්බයක් භාවිතා කිරීමට පටන් ගෙන ඇත. එයින් කල හැකි හානියේ බලය සැබවින්ම නොගිනිය හැකි තරම් ය. ඉන් බොහෝ අහිංසක ජීවිත විනාශ විය. අප දිගින් දිගටම සටන් කලහොත්, එය අවසාන කඩාවැටීම හා ජපාන ජාතිය අතුගා දැමීම පමනක් නොව, මානව ශිෂ්ඨාචාරය ද මුලුමනින්ම වඳ වී යාමට තුඩු දෙනු ඇත.”

ජපානය මුලින්ම යටත් වීමේ අපේක්ෂාව මැයි මාසයේදී මතු කල නමුත් එය ප්‍රතික්ෂේප කරනු ලැබ තිබින.

Loading