ශ්‍රී ලංකාවේ මැතිවරනය ධනපති පාලනයේ ඓතිහාසික අර්බුදය හෙලිදරවු කරයි

මෙම ලිපිය අගෝස්තු 11 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

අගෝස්තු 5දා පැවති මැතිවරනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) ලැබූ ජයග්‍රහනය, “ජනතා ජයග්‍රහනයක්” ලෙස ව්‍යාජ ව උත්කර්ෂයට නංවමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිචාර දක්වා ඇත. ශ්‍රීලපොපෙ ආසන 145ක් දිනාගත්තේ විරුද්ධ පක්ෂ යන්තම් ආසන 74ක් දිනාගනිද්දී ය.

එහි ප්‍රතිඵලයක් ලෙස, දේශපාලනික සහචර පක්ෂවල මන්ත්‍රීන් හය දෙනෙකුගේ ඡන්ද සමගින් ශ්‍රීලපොපෙට ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබෙනු ඇති අතර, එය ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩ ලබා දෙයි. විධායක ජනාධිපති ධූරයට පවතින ව්‍යවස්ථාමය සීමාවන් ඉවත් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ විවෘත ව උද්ඝෝෂනයේ යෙදී ඇත; එලෙස සීමාවන් ඉවත් කිරීම ඔහුට පුලුල් ඒකාධිපති බලතල ලබා දෙනු ඇත.  

මැතිවරන ප්‍රතිඵලය “ජනතාවගේ ජයග්‍රහනයක්” නො ව, දැනට මත් තමන්ගේ පරිපාලනයට ජෙනරාල්වරුන් රොත්තක් පත් කර ඇති ජනාධිපති රාජපක්ෂ යටතේ ආඥාදායක පාලනයක් සඳහා සූදානම් වන පක්ෂයක මැතිවරන ජයග්‍රහනයකි. නව කැබිනට්ටුව හෙට නිල වසයෙන් පත්කරනු ලැබෙන අතර, නව පාර්ලිමේන්තුව අගෝස්තු 20දා රැස්වීමට නියමිත ය.

ශ්‍රීලපොපෙ නායක මහින්ද රාජපක්ෂ, ඔහුගේ සොහොයුරා වන ජනාධිපති රාජපක්ෂ ඉදිරියේ අගමැති ලෙස ඉරිදා දිවුරුම් දුන්නේ ය. එම උත්සවය පවත්වන ලද්දේ, බුදුන් පැමිනි ස්ථානයක් යයි මිථ්‍යාමය ලෙස කියාපානු ලබන කැලනිය විහාරයේ දී ය. අර්ථභාරී ලෙස, ජනාධිපති රාජපක්ෂ දිවුරුම් දුන්නේ පුරාන සිංහල අගනගරය වන උතුරු මැද පලාතේ අනුරාධපුරයේ දී ය. මෙමගින් නායකයන් දෙදෙනා ම පෙන්නුම් කර සිටින්නේ, ඔවුන්ගේ පාලන තන්ත්‍රයෙහි සිංහල-බෞද්ධ අධිපතිවාදී ස්වභාවය යි. 

ශ්‍රීලපොපෙහි ජනාධිපතිවරන හා මහ මැතිවරන උද්ඝෝෂනවල ප්‍රධාන තේමාව වූයේ සිංහල-බෞද්ධ අධිපතිවාදය යි. එහි අභිප්‍රායය වූයේ, දිවයිනෙහි දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට එරෙහි වෛරය අවුලුවා, සමාජ ආතතීන් අපසරනය කොට කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම යි. 

කොවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කර ඇති ප්‍රගාඪ ආර්ථික හා දේශපාලන අර්බුදයකට ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව මුහුන දෙයි. පාලක ප්‍රභූව ශ්‍රීලපොපෙට පිටුබලය දී ඇත්තේ, එය “ශක්තිමත් හා ස්ථාවර පාලනයක්” හෙවත් කොලඹ පාලනයේ කප්පාදු පිලිවෙත් සහ රැකියා හා වැටුප් මත එල්ල වන ප්‍රහාරයන්ට විරුද්ධ ව පැනනගින කම්කරු-පන්තික විරෝධය මැඩීමට  එය විසින් පොරොන්දු වී ඇති බැවිනි. තම ජාත්‍යන්තර සගයන් මෙන් ශ්‍රී ලංකාවේ මහ ව්‍යාපාරිකය ද ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රැකියා කප්පාදුව, පහල වැටුප් පැනවීම හා ඵලදායිතාව ඉහල දැමීම මගින් ලාභ ඉහල දමා ගැනීමේ පිපාසාවෙන් පෙලෙයි. 

පාලක පන්තිය ශ්‍රීලපොපෙ හා එහි ආඥාදායක සැලසුම් වෙත හැරී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ධනේශ්වරයෙහි සාම්ප්‍රදායික පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ඓතිහාසික කඩාවැටීමේ කොන්දේසි යටතේ ය.

රටෙහි පැරනි ම දේශපාලන පක්ෂය වන එජාපයට දිස්ත්‍රික්ක මට්ටමින් එක් අසුනක් වත් හිමි නොවීය.  250,000 දක්වා ඇද වැටුනු ජාතික පරිමාන ඡන්දයක් නිසා එක් අසුනක් පමනක් ලබා ගැනීමට එයට හැකිවිය. බහුතර මන්ත්‍රී කන්ඩායමක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගය (සජබ) තැනීම සඳහා පෙබරවාරි මාසයේ බිඳී  යාම නිසා එවන විටත්  තියුනු ලෙස බෙදී තිබුනු පක්ෂය දෙකඩ විය.

කන්ඩායමික ගැටුම කේන්ද්‍රගත වූයේ දීර්ඝ-කාලීන එජාප නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට මැතිවරන තුල දී පැවති මහජන-අප්‍රසාදය මත ය. එහෙත් ප්‍රශ්නය වන්නේ පුද්ගල පෞරුෂය නො ව, මෙම අධිරාජ්‍ය-ගැති පක්ෂය ද එය විසින් ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් මත එල්ල කර ඇති ප්‍රහාර ද කෙරෙහි කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ගැඹුරු  විරුද්ධත්වය යි. සජබ පසුගිය සතියේ පැවති මැතිවරනයේ දී ඡන්දවලින් සියයට 24ක් හා ආසන් 54ක් පමනක් දිනාගත්තේ ය.

හිටපු ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය මුලුමනින්ම වාගේ පක්ෂඝාතවී ඇත. 2016 දී ශ්‍රීලපොපෙ තනන විට, ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් බහුතරයක් එය හා එකතු වූ හ. සිරිසේන හා ඉතිරි වූ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීන් අගෝස්තු 5දා මැතිවරනයට ශ්‍රීලපොපෙ සමග සන්ධානගත ව තරඟ කලේ ය.

1948 නාමික නිදහස ලද තැන් පටන් අනුප්‍රාප්තික එජාප හා ශ්‍රීලනිප පාලනයන් රට පාලනය කර ඇත. එජාපය 1946 දී ස්ථාපිත කරන ලද අතර, එයට එරෙහි ව වර්ධනය වූ කම්කරු-පන්තික අරගලවලට ප්‍රතිචාර වසයෙන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බන්ඩාරනායක හා තවත් මන්ත්‍රීන් පිරිසක් 1951 දී ශ්‍රීලනිපය තැනූ හ. ආන්ඩු බලයේ සිටියත් නැතත්, පක්ෂ දෙක ම කම්කරු පන්තිය බෙදීමට හා ධනපති පාලනය ආරක්ෂා කිරීමට දෙමල-විරෝධී ප්‍රජාගනවාදය යොදාගත් හ. මෙම ප්‍රතිගාමී පිලිවෙත 1983 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධයක් ලෙස පුපුරා ගියේ, දිවයින පුරා මහජනයා මත නොමිනිය හැකි තරමේ විනාශයක් නිර්මානය කරමිනි.

අගෝස්තු 5 මැතිවරනය ධනපති දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) පවතින අර්බුදය ද හෙලිදරවු කලේ ය. කලින් පැවති පාර්ලිමේන්තුවේ තිබුනු ආසන 16ක් තිබුනු එය මෙවර ආසන 10ක් පමනක් දිනාගත් අතර, එහි ඡන්ද සංඛ්‍යාව 2015 අගෝස්තුවේ දී 515,963 සිට මෙවර 327,168 දක්වා ඇද වැටුනි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

දෙජාසහි ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඊකේ) 1949 දී බිහිකරන ලද්දේ දෙමල-විරෝධී ප්‍රජාගනවාදයට ප්‍රතිචාර වසයෙනි. කොලඹ පාලක ප්‍රභූව සමග බලය බෙදාගැනීමේ සැලසුමක් සඳහා උත්සාහ දැරීමේ දීර්ඝ හා නින්දිත ඉතිහාසයක් අයිටීඊකේ සතු වේ. මෙම දේශපාලනික උපාමාරු දෙමල ජනයා ඇතලු සමස්ත මහ ජනතාවටම  එක් ව්‍යසනයකට පසු තවෙකක් නිෂ්පන්න කර තිබේ.

2002 දී බිහිකරන ලද දෙජාස, 2009 මැයි මාසයේ එල්ටීටීඊයේ පරාජයට ප්‍රතිචාර දැක්වූයේ, තවදුර දකුනට යමින් සහ කොලඹ පාලනය සමග ගනුදෙනුවක් සඳහා එක්සත් ජනපදය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ට ආයාචනා කරමිනි.

ජනාධිපති මහින්ද රාපක්ෂ ඉවත් කොට සිරිසේන බලයේ පිහිටුවීමට වොෂින්ටනය 2015 දී ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමට දෙජාස සහයෝගය දුන්නේ ය. සිරිසේනගේ අධිරාජ්‍ය-ගැති පාලනයට සහ යුද්ධයේ අවසන් සති කිහිපය තුල දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් සංහාරයට ලක්කිරීම ඇතුලු කොලඹ යුද අපරාධ පිලිබඳ ව කිසිදු විමර්ශනයක් සිදුකිරීම යටගැසීමට පිටුබලය දුන් දෙජාස,  ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට ද සහයෝගය දුන්නේ ය (බලන්න: “දෙමල ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ ආඥාදායක පාලනයට සහයෝගය පුදකරයි”. 

ජාතික ජන බලවේගය (ජාජබ) නමැති නව පෙරමුනකින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මැතිවරනයට තරඟ කලේ, ජනතාවාදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් හා “පිරිසිදු,” දූෂනයෙන් තොර පාර්ලිමේන්තුවක් ඇතිකිරීමට පොරොන්දුවෙමිනි. එහි ආසන ගනන පැවති පාර්ලිමේන්තුවේ තිබුන හයේ සිට තුන දක්වා පහත වැටුනි. 2004 දී ජවිපෙට මන්ත්‍රී ධූර 39ක් හිමි විය.

1960 ගනන් අග ස්ථාපිත කල ජවිපෙ, කස්ත්‍රෝවාදය, මාඕවාදය හා සිංහල දේශප්‍රේමයේ සම්මිශ්‍රනයක් මත පදනම් වූ රැඩිකල් සුලුධනේශ්වර පක්ෂයක් විය. දැන් ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති එය, 1994 සිට සෑම කොලඹ පාලන තන්ත්‍රයක් සමග ම පෙලගැසී ඇත. 2004 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග සභාගයකට ඇතුල් වීම ද මෙයට ඇතුලත් වේ. කොලඹ පාලනයේ ප්‍රජාගනවාදී යුද්ධයට මුලුමනින් පිටුබලය දී ඇති එය, මුල දී එයට ආකර්ශනය වූ තරුනයන් හා කම්කරුවන් අතර පලල් ලෙස අපකීර්තියට පත් ව සිටියි.

“මෙම ප්‍රතිඵලය කෙරෙහි අපි සතුටු වන්නේ නැත” යි අගෝස්තු 5 මැතිවරනය පිලිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කල ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, “පාර්ලිමේන්තුවෙන් පිටත ද විපක්ෂයට කාර්යභාරයක් තිබේ” යි කියා සිටි අතර, තම පක්ෂය ගොවීන් හා රැකියා විරහිතයන් සංවිධානය කරන බව කීවේ ය. ජවිපෙහි පැරනි ඉතිහාසය පෙන්වා දෙන පරිදි, ගම්බද දුගීන් හා තරුනයන් සමාජවාදය හා කම්කරු පන්තියට දෙසට හැරීමෙන් වලක්වා පීලිපැන්නවීමට පාලක ප්‍රභූව සමග එය ක්‍රියාකරනු ඇත. 

දේශපාලන සංස්ථාපිතයෙන් මහජනයා අතර පවතින ගැඹුරට විහිදී ගිය අප්‍රසාදය හා ඈත්වීම, මිලියන ගනනක් වන ශ්‍රී ලංකාවේ පුරවැසියන් මැතිවරනයට සහභාගි නොවීම මගින් ද හෙලිදරවු කෙරුනි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් මිලියන 16කට අධික සංඛ්‍යාවක් සිටිය ද ඡන්දය දුන්නේ මිලියන 11ට යන්තම් වැඩි පිරිසක් පමනි; එනම්, මිලියන 4.7ක් පමන ඡන්දය දීමෙන් වැලකුනි. මෙය 2015 ජාතික මැතිවරනයට වඩා මිලියනයක් පමන වැඩි ගනනක් වන අතර, අගෝස්තු 5 මැතිවරනයේ දී ඡන්දය දුන් අයගෙන් 700,000ක් ඔවුන්ගේ ඡන්ද අවලංගු කල හ.

ශ්‍රීලපොපෙ ජයග්‍රහනය කෙරෙහි මාධ්‍ය පවත්වන විජයෝන්මාදය, අනාගත ආන්ඩුව සියලු වැඩකරන ජනයා මත එල්ල කරන සමාජ ප්‍රහාරයට ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය පිලිබඳ ප්‍රකාශනයකි. “සැබෑ යුද්ධය පවතින්නේ ඉදිරියේ ය” යන හිසින් අගෝස්තු 6දා කතුවැකියක් පලකල දි අයිලන්ඩ් පත්‍රය මෙසේ ප්‍රකාශ කලේ ය: “ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත්වූ ස්ථාවර ආන්ඩුවක්, ආයෝජක විශ්වාසය පුනස්ථාපනය කිරීම, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ රටෙහි නය වර්ගීකරනය වැඩි දියුනු කිරීම සඳහා පූර්වාවශ්‍යතාවකි.”

“දැඩි පියවරයන්” සඳහා පක්ෂ විසින් කැඳවුම් කිරීම පමනක් ප්‍රමානවත් නො වන බව කියූ කතුවැකිය, “අපායේ විවේක කාලය පැවති මාස ගනනේ තෘප්තිය ඉක්මනින් අහවර වනු ඇත” යි තවදුරටත් සඳහන් කලේ ය. වෙනත් වචනවලින් කියතොත්, හැකි ඉක්මනින් කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන් මතට ආන්ඩුවේ යෝධ ප්‍රහාර කඩාපාත් කල යුතු ය. 

අගෝස්තු 5දා පැවති මැතිවරනයේ දී, සමාජවාදී සමානතා පක්ෂය (සසප) යාපනයෙන් 146ක්, කොලඹින් 303ක් හා නුවර එලියෙන් 331ක් ලෙස එය තරඟ වැදුනු දිස්ත්‍රික්ක තුනෙහි ඡන්ද සංඛ්‍යාව 780 දක්වා වැඩි කරගත්තේ ය. රටෙහි ප්‍රධාන කම්කරු පන්තික මධ්‍යස්ථානය වන කොලඹ දී සහ ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගෙන් බහුතරයක් ජීවත් වන නුවර එලියේ දී පක්ෂයේ ඡන්ද ගනන දෙගුන විය. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ, පක්ෂයේ උද්ඝෝෂන අන්තර්ජාල රැස්වීම්වලට සහ සසප ප්‍රකාශන හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි මුහුනුපොත මත බෙදාහැරීමට සීමා වූ තත්ත්වයක් තුල මෙම වැඩිවීම සිදු විය.

මෙම සවිඥානික ඡන්ද පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තුල සමාජවාදය කෙරෙහි වැඩෙන සහයෝගය යි. කම්කරුවන් බෙදීමට උත්සාහ කරන, දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට එරෙහි සිංහල ස්වෝත්තමවාදී ප්‍රකෝපකරනයන් හෙලිදරවු කිරීම සසප විසින් තීව්‍ර කරනු ඇත. කොලඹ ආන්ඩු එල්ටීටීඊයට එරෙහි ව ගෙන ගිය ප්‍රජාගනවාදී යුද්ධයට විරුද්ධ වූ ද රටෙහි උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටියා වූ ද එක ම පක්ෂය එය යි.

අධිරාජ්‍යවාදී යුද්ධයට, කොරෝනා වෛරස් වසංගතයට හා සමාජ අසමානතාවට එරෙහි ව අපේ පක්ෂය සමාජවාදී පිලිවෙතක් ඉදිරිපත් කරයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට ගම්බද දුගීන් හා පීඩිතයන් රැලි කරගනිමින්, පාලක පන්තියේ සෑම කන්ඩායමකින් ම බිඳී වෙන් වන ලෙසත් ස්වාධීන ව බලමුලුගැන්වෙන ලෙසත් කම්කරු පන්තියට කැඳවුම් කරන්නේ අප පමනි. 

Loading