අවුරුදු 75 කට පෙර: එක්සත් ජනපද හමුදා ජපානය වාඩිලා ගැනීම අරඹති

මෙම ලිපිය අගෝස්තු 24 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ජෙනරාල් මැක්ආතර් සහ හිරෝහිතෝ අධිරාජයා

ජපානය තුල ඇමරිකානු වාඩිලෑමේ පෙරමුනු බලකාය ලෙස, 1945 අගෝස්තු 28 වැනිදා එක්සත් ජනපද හමුදා නිලධාරීන් 150 ක් අට්සුගි (Atsugi) නගරයට පැමිනියහ. එතැන් සිට 1952 තෙක් එක්සත් ජනපද හමුදා සෙබලු දහස් ගනනින් එම මෙහෙයුමට එක් විනි.

ජපානය නිල වශයෙන් යටත් වූ අගෝස්තු 15 දායින්  පසු මෙම වාඩිලා ගැනීම ආරම්භ විය. දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කල එම නිල යටත් වීම ප්‍රකාශයට පත් කෙරුනේ, එක්සත් ජනපදයේ ජනාධිපති හැරී ටෘෘමන් පාලනය, ජිවිත සිය දහස් ගනනක් ජීවිත බිලිගත් පෙර නොවූ විරූ යුද අපරාධයක් වූ හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමානු බෝම්බ හෙලීමෙන් පසුව ය. පරමානු බෝම්බ දැමීමට පෙර, මාස 12 ක් තිස්සේ කල එක්සත් ජනපද ගුවන් ප්‍රහාර වලින්, ජපානයේ නාගරික ප්‍රදේශවලින් හතෙන් එකක් පමන විනාශ වී තිබින.

ජපන් හමුදාව තුල යටත් වීමට විරුද්ධත්වය පල කල කොටස් සිටියහ. ජපන් අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රය විසින් එම කොටස් මර්දනය කිරීමෙන් පසුව ආරම්භ වූ, එක්සත් ජනපදයට යටත් වීමේ ක්‍රියාවලිය පනගැන්වීම පිනිස ජපාන නිලධාරීන් පිලිපීනයට ගොස් මිත්‍ර හමුදා කලාප අන දෙන නිලධාරී එක්සත් ජනපද ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් හමු විය.

යටත් වීමේ කොන්දේසි සාකච්ඡා කිරීමෙන් පසු මැක්ආතර් කෙලින්ම ටෝකියෝවට ගියේය. එහිදී ඔහු ජපානයේ අධිරාජ්‍ය ධජය වන “නැගී එන සූර්යයා” (“Rising Sun” flag) ඔසවා තැබීම සහ අනෙකුත් ජාතිකවාදී කටයුතු තහනම් කිරීම ඇතුලු නියෝග නීතීන් හැටියට ප්‍රකාශයට පත් කලේය. මෙම යටත් කරගැනීම සිදුවන්නේ, ජාත්‍යන්තර නීතිවලට අනුකූලව බව ඇඟවීම පිනිස මැක්ආතර්, තවත් නියෝගයක් නිකුත් කලේය. එනම්, ජපාන සිවිල් වැසියන්ට එරෙහිව සිදුවෙන එක්සත් ජනපද ප්‍රචන්ඬ ක්‍රියා  සහ ඔවුන්ගේ ආහාර බලහත්කාරයෙන් අත්කර ගැනීමට විරුද්ධව නිකුත් කල නියෝගය යි.

ජපාන ආන්ඩුව සැප්තැම්බර් 2 වැනිදා, යටත් වීමේ සැලැස්මක් එක්සත් ජනපද නියෝජිතයින් වෙත නිල වශයෙන් ඉදිරිපත් කලේය. ඉන් දින හතරකට පසු සැප්තැම්බර් 6 වැනිදා, ටෘෘමන් "පශ්චාත් යටත් වීමේ ප්‍රතිපත්තියේ ආරම්භය" (“initial post-surrender policy”) නම් ප්‍රතිපත්තියක් අනුමත කලේය. එහි කේන්ද්‍රීය  අරමුනු වූයේ, ආසියාව තුල එක්සත් ජනපද ආසක්තයන්ට අභියෝගයක් විය හැකි මිලිටරි බලවතෙකු ලෙස ජපානය යලි ඉස්මතු නොවන බව සහතික කර ගැනීමත්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ජපානය තුල ස්ථාපිත කර ගැනීමත් ය.

මෙම ප්‍රතිපත්තිය ආසියා-පැසිෆික් කලාපයේ බලවතා බවට පත්වීම සඳහා වූ එක්සත් ජනපද සැලසුම් සමඟ නොවෙන් කල  හැකි ලෙස සම්බන්ධ වූ අතර එයට චීනය අඬංඟු කරගැනීම ද ඇතුලත් විය. ඒ වන විට චීනය තුල, එක්සත් ජනපද පිටුබලය ලැබූ කූමින්ටෑන් හි දක්ෂිනාංශික ජාතිකවාදී බලවේග සමග මාඕ සේතුංගේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ගොවි හමුදාව සිවිල් යුද්ධයක පැටලී සිටිය හ.

Loading