මැතිවරන ඇදවැටීමෙන් පසු දෙමල ජාතික සන්ධානය ගැඹුරු අර්බුදයක

මෙම ලිපිය අගෝස්තු 27 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ශ්‍රී ලංකාවේ දෙමල ධනේශ්වරයෙහි ප්‍රධාන පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (දෙජාස), අගෝස්තු 5දා පැවති මහ මැතිවරනයේ දී, පෙර පැවති පාර්ලිමේන්තුවේ තිබූ ආසන 16 න් පහලට ඇද වැටෙමින්, ආසන 10ක් පමනක් ලබා ගත්තේය.   2015 මැතිවරනයේ දී ඡන්ද 515,963ක් ලබාගත් මෙම පක්ෂය, ඡන්ද ගනනෙහි තියුනු වැටීමක් අත්දකිමින් මෙවර ලබාගත්තේ, ඡන්ද 327,168ක් පමනි.

දෙජාස යනු ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), දෙමල ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) හා දෙමල ඊලාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්) යන පක්ෂවල සභාගයකි. අයිටීඒකේ යනු එහි ප්‍රධාන පක්ෂය යි.

අයිටීඒකේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හා එහි ලේකම් වන නැගෙනහිර පලාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරාජසිංහම් මැතිවරනයේ දී පරාජයට පත් කෙරුනි. අනෙකුත් නායකයෝ දැන් පක්ෂයේ ඉහල තනතුරු ලබාගැනීමට උත්සාහ දරමින් සිටිති. වැඩිදුර බෙදීමක් වැලැක්වීම පිනිස, වර්තමාන නිලධාරීන් ඉවත් කරමින්, ටෙලෝ හා ප්ලොට් නායකයන් පිලිවෙලින් දෙජාසහි ප්‍රකාශක හා සංවිධායක යන තනතුරුවලට යෝජනා කෙරී ඇත. 

කවර හෝ අන්ඩ දැමීමක් මගින් දෙජාස තුල පුපුරා යන අර්බුදය නො විසඳනු ඇත. මෙය හුදෙක් දෙජාසහි පමනක් නො ව, සමස්ත දෙමල ධනේශ්වර ජාතිකවාදී ඉදිරිදර්ශනයෙහි බංකොලොත් භාවය පිලිබඳ ප‍්‍රකාශනයකි.

2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයේ දී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට එරෙහි ව, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අපේක්ෂ්කයා වූ සජිත් ප්‍රේමදාස “අඩු නපුර” ලෙස දෙජාස විසින් ඉදිරියට දමන ලදී.

රාජපක්ෂ දෙමල කම්කරුවන් හා දුගීන් අතර වෛරයට පාත්‍රව සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩ කල ඔහු, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ලේවැකි යුද්ධයෙහි අවසන් වසර කිහිපයට නායකත්වය දුන්නේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2009 මැයි මාසයේ දී, අවම වසයෙන් සිවිල් වැසියන් 40,000ක් මරා දමමින්, ශ්‍රී ලංකාවේ හමුදාව එල්ටීටීඊය තලා දමා යුද්ධය අවසන් කලේ, තවත් බොහෝ අපරාධ සිදුකරමිනි.

මැතිවරනයෙන් රාජපක්ෂ ජයග්‍රහනය කිරීමෙන් ඉක්බිති ව, ක්ෂනික හැරීමක් ගත් දෙජාස, “දෙමල ජනයාගේ දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරන ව්‍යවස්ථාමය වෙනස්කම්” කිරීමට ඔහුගේ ආන්ඩුව එකඟ වන්නේ නම්, එයට සහයෝගය දීමේ කැමැත්ත ප්‍රකාශ කලේ ය. කොලඹ “බලයේ සිටින්නන් සමග පක්ෂයට සබඳතාවක් තිබිය යුතු” යි දෙජාස නායක ආර්. සම්බන්දන් කීවේ ය.

යුද අපරාධවලට වගකිව යුතු නිලධාරියෙකු වෙතට කල මෙම හැරීම, පක්ෂයට එරෙහි මහජන කෝපයට වැඩිදුර ඉන්ධන සැපයී ය.

2009 දී එල්ටීටීඊය පරාජය වීමත් සමග සිදු වූ දෙජාසහි දක්ෂිනාංශික මාරුව ප්‍රතික්ෂේප කල නො හැක. මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් පසු, කොලඹ සමග “දේශපාලන ගනුදෙනුවක්” සඳහා එය එක්සත් ජනපදයේ සහයෝගය විවෘත ව අපේක්ෂා කලේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සේවය කරන අතරතුර ය. වොෂින්ටනය, ඉන්දියාව සමග මිලිටරි හා මූලෝපායික සබඳතා ශක්තිමත් කරගන්නා අතර, චීනයට එරෙහි ව තියුනු ලෙස හැරෙමින් සිටියේ ය.

වොෂින්ටනය හා නව දිල්ලිය යන දෙක ම එල්ටීටීඊයට එරෙහි මහින්ද රාජපක්ෂගේ යුද්ධයටත්, ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයටත් සහයෝගය දුන් හ. එහෙත් මිලිටරි දෘඩාංග හා ආයෝජන ලබාගැනීම සඳහා බීජිනය සමග ඔහුගේ වැඩෙමින් පැවති සබඳතාවන්ට ඒ දෙපාර්ශවය ම හතුරු වූ හ. ඉන්දියන් සාගරය තුල මූලෝපායික ව පිහිටි ශ්‍රී ලංකාව, තමන් යටතට නම්මා ගැනීම වොෂින්ටනයට උවමනා විය.

ශ්‍රී ලංකාවේ 2015 ජනාධිපතිවරනයේ දී, මහින්ද රාජපක්ෂ ඉවත් කොට, ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන පත්කර ගැනීම සඳහා, වොෂින්ටනය ආවෘත තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමීය. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ව්‍යාජ-වාම කන්ඩායම් සමගින්, දෙජාස මෙම මෙහෙයුමට මුලුමනින් සහයෝගය දුන්නේ ය. සිරිසේන “යහපාලනයක්” ස්ථාපිත කොට, ජීවන හා සමාජ කොන්දේසි වැඩි දියුනු කරනු ඇතැයි ඔවුහු නරුම ලෙස කියාපෑ හ.

නව ආන්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කොට, යුද්ධය විසින් නිර්මිත සමාජ ව්‍යසනය නිවැරදි කරනු ඇතැයි දෙජාස පොරොන්දු විය. සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් ආන්ඩුවේ තථ්‍ය සහකරුවෙක් බවට එය පත් විය.

එහෙත් බලය බෙදීම සඳහා දෙජාස කල ඉල්ලීම් ගැන සැලකිල්ලක් නො තිබූ වොෂින්ටනයට, තම භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට අනුග්‍රහශීලී ලෙස දැකගත් කොලඹ පාලන තන්ත්‍රය ස්ථාවර කිරීමට දෙජාස අවශ්‍ය විය.

පසුගිය වසර පහ පුරා, දෙජාස එක්සත් ජනපදයේ විධානයන් කීකරු ලෙස අනුගමනය කර ඇත. යුද අපරාධ විමර්ශන යට ගැසීමට, දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ඉල්ලීම් යටපත් කිරීමට, මිලිටරිය විසින් අල්ලාගෙන ඇති ඉඩම් නිදහස් කිරීම වැලැක්වීමට හා අතුරුදන් වූ පුද්ගලයන්ගේ සිද්ධීන්ට සාධාරනය ඉටුකිරීම  ප්‍රතික්ෂේප කිරීමට, සම්බන්දන් හා සුමන්දිරන් කොලඹ පාලන තන්ත්‍රයට උදවු වූ හ.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

තව ද කම්කරුවන්ගේ හා දුගීන්ගේ අනවරත විරෝධය නො තකා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කරන ලදුව, සිරිසේන-වික්‍රමසිංහ පාලන තන්ත්‍රය ක්‍රියාවට දැමූ, කප්පාදු වැඩපිලිවෙල සමග ද දෙජාස සහයෝගීව ක්‍රියා කලේය. විශේෂයෙන් ම 2018 පටන්, පන්ති අරගලයෙහි ජාත්‍යන්තර පුනර්ජීවනයක් මධ්‍යයේ, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත් වැඩ වර්ජන හා විරෝධතා පුපුරා ගියේ ය. අවසානයේ මෙය කොලඹ “සමගි ආන්ඩුව” බලයෙන් හෙලන ලද්දේ, දෙමල කම්කරුවන් හා දුගීන්ගේ ඇස් ඉදිරියේ දෙජාස තවදුර අපකීර්තියට පත්කරමිනි.

1948 නාමික නිදහසේ පටන් මාරුවෙන් මාරුවට රට පාලනය කල සාම්ප්‍රදායික පක්ෂ වන, වික්‍රමසිංහගේ එජාපයේ හා සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ඇදවැටීම ද මෙම මැතිවරනයෙන් ප්‍රකාශයට පත්විය.

ගෝලීය කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ, මහ ව්‍යාපාරිකය හා රාජ්‍යය සමාජ අයිතීන් මත ප්‍රහාර තීව්‍ර කරන තතු තුල, කම්කරුවන් හා දුගීන් අතර කැකෑරෙන මහජන කෝපයට, තම කොලඹ සහකරුවන් මෙන් ම දෙමල ජාතිකවාදී පක්ෂ ද බිය වෙති. ජනාධිපති රාජපක්ෂ කම්කරු පන්තියට එරෙහි මිලිටරි ආඥාදයකත්වයක් කරා සීඝ්‍රයෙන් පියවර තබමින් සිටී.

කම්කරු පන්තිය කෙරෙහි බියේ දී හා හතුරුකමේ දී ධනේශ්වර පක්ෂ එකමුතු ය. රාජපක්ෂ වෙතට දෙජාසහි ප්‍රවිෂ්ටයට යටින් දිවෙන්නේ ද මෙය යි. අගෝස්තු 21 දා, ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොර ව අනුමත කිරීමේ දී, සියලු දෙමල මන්ත්‍රීවරු, ඔවුන්ගේ පාර්ලිමේන්තු සගයන් සමග එක් වූ හ.

අධිරාජ්‍යවාදය විසින් දිවයින විජිතමය පරිපීඩනයට පත්කිරීම තුල ඓතිහාසික ව මුල් බැස තිබෙන, දෙමල සුලුතරයට එරෙහි අඛන්ඩ වාර්ගික වෙනස්කම් කිරීම් හා ලේ වැගිරීම සඳහා මූලික වගකීම රැඳෙන්නේ කොලඹ පාලක ප්‍රභූව මත ය. දෙමල කම්කරුවන් හා දුගීන් සඳහා එක් ව්‍යසනයකට පසු තවෙකක් නිර්මානය කරමින්, දෙමල ධනේශ්වර පක්ෂ ද ඔවුන්ගේ ම ජාතිකවාදී දේශපාලනය මගින් එයට පිටුබලය ලබා දුන් හ. දශක හතකට අධික එහි පැවැත්මේ දී, සමස්ත ලංකා දෙමල කොංග්‍රසයෙන් (ඒසීටීසී) 1949 දී කැඩී ගිය අයිටීඒකේ (ෆෙඩරල් පක්ෂය), මෙහි නායක භූමිකාව ඉටුකලේ ය. 

එවකට එජාප ආන්ඩුවේ හවුල්කරුවෙක් වූ ඒසීටීසී, කම්කරු පන්තිය බෙදීම සඳහා වාර්ගික වෙනස්කම් කිරීම් දියත් කරමින්, ඉන්දීය සම්භවයක් සහිත දෙමල වතු කම්කරුවන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කල 1948 පුරවැසි පනතට සහයෝගය දුන්නේ ය. එතැන් පටන්, කොලඹ පාලන තන්ත්‍රයන් දෙමල-විරෝධී උද්ඝෝෂනයන් තීව්‍ර කරද්දී, අයිටීඒකේ දෙමල ජාතිකවාදයේ කප්පිත්තෙක් ලෙස පෙනී සිට ඇත.

සිංහල-බෞද්ධ අධිපතිවාදය මත පදනම් වූ, සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර සභාග ආන්ඩුවට 1964 දී ඇතුල් වෙමින්, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පාවාදීම, දෙමල ජාතිකවාදී පක්ෂය ශක්තිමත් කලේ ය. ඉන්පසුව එලඹුනු වසරවල දී, 1970 ගනන්වල බෙදුම්වාදී එල්ටීටීඊය ඇතුලු දෙමල සටන්කාමී කන්ඩායම්වල ඉස්මතු වීමට මෙය මාවත හෙලිකර දුනි.

1972 ව්‍යවස්ථාව, බුද්ධාගමට හා සිංහලයට නිල භාෂාව ලෙස ප්‍රමුඛතාව ලබා දුන්නේ ය. මෙම ව්‍යවස්ථාවේ නිර්මාපකයා වූයේ, ශ්‍රීලනිපය නායකත්වය දුන් සභාග ආන්ඩුවේ ඇමතිවරයෙකු වූ, ලසසප නායක කොල්වින් ආර්. ද සිල්වා ය.

ඊට ප්‍රතිචාර දක්වමින්, අයිටීඒකේ 1972 දී දෙමල එක්සත් විමුක්ති පෙරමුන (දෙඑවිපෙ) තැනීමට, ඒසීටීසී සමග ඒකාබද්ධ විය. යාපනයේ වඩුක්කොඩෙයිහි දී 1976 පැවති එහි සම්මේලනය, ස්වයං-නීර්නය අවධාරනය කරමින් සහ උතුරට හා නැගෙනහිරට වෙන ම “අනාගමික, සමාජවාදී දෙමල ඊලම් රාජ්‍යයක්” සඳහා කැඳවුම් කරමින් යෝජනාවක් සම්මත කලේ ය.

කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට, අයිටීඒකේ හා අනෙකුත් දෙමල පක්ෂ දෙමල ජාතිකවාදය යොදාගත් හ. මෙය, කොලඹ ප්‍රභූවේ හා ස්වෝත්තමවාදී කන්ඩායම්වල සිංහල-වර්වාගවාදී ප්‍රකෝපකරනයන් සඳහා උදවු දුන් අතර, එය කූටප්‍රාප්ත වූයේ 1983 දී ඇරඹුනු දශක තුනක සිවිල් යුද්ධය තුල යි.

අද, අයිටීඒකේ, දෙඑවිපෙ, එල්ටීටීඊ ඉතුරු පහදු හා 2001 දී තැනූ දෙජාස යන සියල්ල සතුව තිබෙන්නේ ද එම ස්ථාවරය ම ය: එනම්, අවසානයේ එක්සත් ජනපද අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි, නව දිල්ලියේ හා වොෂින්ටනයේ පිටුබලය සහිත ව, කොලඹ ප්‍රභූව සමග විශාලතර බලයක් සඳහා කේවල් කිරීම යි. මෙය දෙමල ජාතිකවාදයේ ප්‍රතිගාමී ආවෘත අන්තයයි.

ලසසපයේ මහා පාවාදීමට සහ දෙමල ජාතිකවාදයට එරෙහි ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) එය ආරම්භ කල 1968 සිට දියත් කරන ලද දේශපාලන අරගලය, මනා ව ලේඛනගත කෙරී පවතී. අපගේ අරගලය පදනම වන්නේ ට්‍රොට්ස්කිවාදී නො නවතින විප්ලව න්‍යාය මත යි. කල් පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරගත හැක්කේ, ජාත්‍යන්තර පරිමාන ව සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය ගෙන යන ඒකාබද්ධ අරගලයකින් පමනි.

සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ජාත්‍යන්තරවාදී එකමුතුව සඳහා සටන් වදින සසප, උතුරින් හා නැගෙනහිරින් ශ්‍රී ලංකා හමුදා ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටින අතර, යුද්ධයට හා අසමානතාවට, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත එරෙහි වේ. එහි ඉදිරිදර්ශනය, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වෙයි. සසප හි නිර්දය අරගලය අධ්‍යනය කරන ලෙස හා එයට බැඳී එය ගොඩනගන ලෙස අපි දෙමල වැඩකරන ජනයාගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading