ආන්ඩුව හාම්පුතුන්ගේ ලාබ අවශ්‍යතාවයන් සපිරෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට සැරසෙයි

කම්කරු පනත්  පහක් කඩිනමින් සංශෝධනය කිරීමට ආන්ඩුව තීන්දු කර ඇති බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, අගෝස්තු 26 වෙනිදා, කම්කරු කොමසාරිස් ජෙනරාල් අතුලු කම්කරු නිලධාරීන් සමග කරන ලද  සාකච්ඡාවක දී  ප්‍රකාශ කර ඇත. සේවක අර්ථසාධක අරමුදල් පනත, පාරිතෝෂික ගෙවීම් පනත, වැටුප් පාලන ආඥා පනත, සේවක වන්දි පනත, කාර්යාල සහ සාප්පු පනත එලෙස  සංශෝධනය කිරීමට නියමිතය. 

මෙම පනත් සංශෝධනයේ අරමුන  සේවකයන් හා  සේවායෝජකයන් යන දෙපාර්ශවයට ම "ප්‍රතිලාභ" සැලසීම, අදාල පනත් යටතේ සේවකයන් විසින් කම්කරු විනිශ්චය සභාවේ පවරනු ලබන නඩු මහේස්ත්‍රාත් අධිකරනයට යොමු නොකර කම්කරු  විනිශ්චය සභාවේ තීන්දු බලාත්මක කිරීම සහ සේවය අහෝසි කිරීමේ දී  දැනට සේවකයන්ට ලැබෙන රුපියල් 550,000 උපරිම වන්දි මුදල  ලක්ෂ 20 දක්වා වැඩි කිරීම බව ඇමති සිල්වා සඳහන් කර ඇත.  යෝජිත සංශෝධන සහිත පනත් කෙටුම්පත් සතියක් ඇතුලත අමාත්‍යංශ ලේකම් ට ලබා දෙන ලෙස ද කම්කරු කොමසාරිස් ජෙනරාල්ට ඔහු නියෝග කර ඇත. 

පනත් සංශෝධනයට අඩංගුවන නව රෙගුලාසි ගැන සවිස්තරාත්මක තොරතුරු තවමත් ඉදිරිපත් කෙරී නැතත් කම්කරු නීති සංශෝධනය සිදුවන්නේ කොරෝනා වසංගතය විසින් ගැඹුරු කෙරුන ධනපති පාලක පන්තියේ ආර්ථික අර්බුදයක කොන්දේසි තුලය. එබැවින්, සේවකයන්  හා සේවා යෝජකයන්  යන දෙපාර්ශ්වයටම "ප්‍රතිලාබ" සැලසීම සහ උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකිරීම ගැන කෙරෙන කතා, පනත් සංශෝධනයේ යතා අරමුනු වසන් කිරීම සඳහා කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගැසීමේ තැතක් මිස අනෙකක් නොවේ. 

සේවය අහෝසි කිරීම, වන්දි ගෙවීම, අවම වැටුප් නිර්නය කිරීම ඇතුලු කාරනාවල දී පවතින කම්කරු නීති යටතේ තිබෙන බාධාකාරී සහ අවාසිදායක රෙගුලාසි සංශෝධනය කරන ලෙස පසුගිය දසක හතර පුරාම හාම්පුත්තු අනුප්‍රාප්තික ධනපති ආන්ඩුවලට පීඩනය යෙදුහ. 

එමෙන් ම ආර්ථික ප්‍රතිව්‍යුහකරනයට හා විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට සුදුසු පරිදී  කම්කරු නීති සංශෝධනය කිරීම 1977 බලයට පත්වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ සිට බලයට පත් වූ ආන්ඩු වල ආර්ථික න්‍යාය පත්‍රයේ මුලික අංගයක් විය. කම්කරු පන්තියෙන් මතු වූ බරපතල විරෝධය මධ්‍යයේ අපේක්ෂිත පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට පාලක පන්තිය අසමත් විය. 

එහෙත් කොරෝනා වසංගතය විසින් වඩාත් ගැඹුරු කරනු ලැබ  ඇති ආර්ථික අර්බුදය යටතේ ධනපහි හාම්පුතුන්ට සහ විදේශ ආයෝජකයන්ට හිතකර කොන්දේසි නිර්මානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආන්ඩුව තීරනය කර ඇත.   

ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන් සඳහා කම්කරු පන්තිය ගෙන ගිය අරගල සහ දෙවන ලෝක යුද්දයෙන් පසු සිදු වූ ආර්ථික ප්‍රසාරනයේ ප්‍රතිපලයක් ලෙස  ක්‍රියාවට දැමුනු කම්කරු පනත් වලින් කම්කරු පන්තියේ අයිතීන් සීමිත ආකාරයකට ආරක්ෂා කෙරුනි.

සේවක අර්ථසාධක අරමුදල් පනතට අනුව කම්කරුවාගේ මාසික දල වැටුපෙන් සියයට 8 ක් සහ හාම්පුතා විසින් සියයට 12 ක් අරමුදලට මාසිකව බැර කල යුතුය. හාම්පුතා එය පැහැර හරින්නේ නම්, ඒ සම්බන්ධයෙන් සේවකයාට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිනිලි කල හැකිය. එසේ නියමිත මුදල ගෙවීම හාම්පුතා විසින්  පැහැර හරිනු ලැබ ඇති අවස්ථාවන්හි දී අදාල කාලයට ගෙවිය යුතු මුදලට අමතරව දෙපාර්තමේන්තුව විසින් නියම කරනු ලබන අධිභාරයක් ද ඔහු විසින් ගෙවිය යුතුය. ගෙවීම දිගින් දිගටම පැහැර හරින්නේ නම්  හාම්පුතාට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරනයක නඩු පැවරීමේ බලය කම්කරු දෙපාර්තමේන්තුවට ඇත.

කොවිඩ්19 වසංගතය තුල තම ආදායම් පහත වැටී ඇති බවත් ඒ නිසා අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල් සඳහා අවම වශයෙන් මාස හයකට දායක මුදල් ගෙවීම අත්හිටුවීමට අවසර දෙන ලෙස ධනපති හාම්පුත්තු  ආන්ඩුවෙන් ඉල්ලති. 

සේවක පාරිතෝෂික ගෙවීම් පනතට අනුව පාරිතෝෂිකය ගනනය කෙරෙන්නේ සේවය කල වසර ගනනට අනුවය. හාම්පුතාට වාසි සැලසෙන පරිදි එහි සඳහන් “සේවයේ  නියුතු වසරක්”  යන්න “කම්කරුවෙකු දින 180 කට නොඅඩු කාලයක් සේවය කර ඇති අඛන්ඩ මාස 12 ක කාල සීමාවක්” යනුවෙන් සංශෝධනය කල යුතු බව හාම්පුතුන්ගේ සම්මේලනය යෝජනා කර ඇත.  ඒ අනුව, අදාල මාස 12 ක කාලය තුල අසනීපයක් නිසා හෝ කොවිඩ් වසංගතය වැනි වෙනත් කරුනක් නිසා හෝ සේවයට නොපැමිනියහොත්, එසේ නොමැතිනම්, තම අයිතීන් සඳහා දියත් කරනු ලබන දිගුකාලීන වැඩ වර්ජනයකට සහභාගිවුවහොත්, සේවකයන්ගේ පාරිතෝෂික කපා දැමීමේ නෛතික අවසරය හාම්පුතාට හිමිවෙයි.

වැටුප් නිර්නය කිරීමේ දී, වැටුප් පාලන ආඥා පනත හා කාර්යාල සහ සාප්පු පනත  තමන්ට බාධකයක් ලෙස පවතින බවත්, වැටුප් නිර්නය කිරීම සම්බන්ධ ව රජයේ මැදිහත්වීම අවම කලයුතු බවත් හාම්පුතුත්තු ඉල්ලා සිටිති. වැවිලි  කර්මාන්තය සබන්ධයෙන් පසුගිය දිනවල ඔවුහු මෙම කාරනාව විශේෂයෙන් අවධාරනය කලහ. වැවිලි කර්මාන්තයේ නිෂ්පාදන පිරිවැයෙන්  සියයට 70 ක් හා කර්මාන්ත අංශයේ නිෂ්පාදන පිරිවැයෙන් සියයට 60-65 ක් වැයවන්නේ වැටුප් සඳහා බව ට හාම්පුත්තු  චෝදනා කරති. 

වෙලඳපොලේ තීව්‍රවන තරඟයට මුහුන දීමට නම්, වැඩ වේගවත් කිරීම මගින් නිෂ්පාදන පලදායිත්වය ඉහල දමා ගැනීම සහ වැටුප් සහ සමාජ අයිතීන් කප්පාදුව තුලින් ශ්‍රම පිරිවැය අඩුකල යුතු බව ද ඔවුහු අවධාරනය කරති.  හාම්පුතුන් නිශ්චිතව ඉල්ලා සිටින්නේ ආන්ඩුවේ ඇඟිලි ගැසීමකින් තොරව තමන්ගේ ලාබ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි පුද්ගලික අංශයේ වැටුප් හිතු මතේ තීරනය කිරීමේ අයිතිය  තමන්ට දෙන ලෙසය. 

වන්දි ගෙවීමේ හා සේවය අහෝසි කිරීමේ පනත්  යටතේ  කම්කරු කොමසාරිස්ගේ අවසරයකින් තොරව සේවකයෙකු සේවයෙන් පහකල  නොහැකි ය. සේවකයෙකු සේවයෙන් පහ කිරීමක දී වන්දි පනතේ රෙගුලාසිවලට අනුව ඔහුට හෝ ඇයට වන්දි ගෙවිය  යුතුය. හාම්පුතා විසින් අදාල පනත්වල රෙගුලාසි උල්ලංඝනය කිරීමක දී ඊට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරනයක නඩු පැවරීමේ බලය කම්කරු දෙපාර්තමේන්තුවට ඇත. 

කම්කරු ඇමති සඳහන්  කර ඇති පරිදි නව සංශෝධන මගින් එම බලය  අහෝසි කෙරෙයි. කම්කරු විනිශ්චය සභාවේ තීන්දුව අවසන් තීන්දුව වේ. ඒ අනුව කම්කරු විනිශ්චය සභාවේ තීන්දුව කම්කරුවාට අවාසිදායක වුවහොත් ඊට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරනයට යාමේ අයිතිය ඔහුට අහිමි වේ.

කොරෝනා වසංගතය “පාලනය සඳහා” ක්‍රියාවට දමා තිබු අගුලු දැමීම ඉවත් කොට  “ආර්ථිකය යලි විවෘත” කරනු ලැබීමෙන් පසු, ධනපති හාම්පුතුන්ට හිතු මතේට රැකියා, වැටුප්  සහ සෙසු සමාජ සහන කප්පාදු කිරීමට රාජපක්ෂ ආන්ඩුවේ  අනුග්‍රහය නොඅඩුව ලැබුනි. 

දැනටමත් පුද්ගලික අංශයේ කම්කරුවන් දස ලක්ෂයකට වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇත. රැකියාවේ නියුක්ත කම්කරුවන්ගේ  වැටුප් හා දීමනා හාම්පුතුන් ගේ තනි කැමැත්ත මත කප්පාදු කර කෙරෙයි. ආන්ඩුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිතිවලින් සැදුම්ලත් ඊනියා ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධක බලකාය විසින් අත්සන් කරන ලද ගිවිසුමක් මගින් ධනපති හාම්පුතුන්ට ඒ සඳහා අවශ්‍ය රැකවරනය  සලසා ඇත. 

එහෙත් හාම්පුතුන් ඉල්ලා සිටින්නේ තමන්ට හිතුමතේ කම්කරුවන්ගේ රැකියා සහ සමාජ අයිතීන් වැනසීමේ නීතිගත අයිතියකි. විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා ද  ඔවුන්ට හිතකර එවන් කොන්දේසි තිබිය යුතු බව හාම්පුත්තු අවධාරනය කරති. ස්ථාවර රැකියා වෙනුවට අවශ්‍යවිට රැකියාවට ගැනීමේ සහ අනවශ්‍යවිට දොට්ට දැමීමේ (හයර් ඇන්ඩ් ෆයර්) පිලිවෙත ක්‍රියාවට දැමීම, සමාජ සහන කප්පාදුව ධනපති හාම්පුත්තුන්ගේ මුලික ඉල්ලීම් ය. 

“නව සාමාන්‍යය” යටතේ,  සෑම රටකම ධනපති  හාම්පුතුන් සහ පාලක පන්තීන් විසින් කොරෝනා වසංගතයෙන් උද්ගත කෙරී ඇති අර්බුදය සමහන් කර ගැනීමට උත්සාහ කරන්නේ කම්කරු පන්තියේ ජීවිත බිල්ලට දීමෙන් හා  ඔවුන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් විනාශ කිරීම  තුලිනි. 

එහෙයින් රාජපක්ෂ ආන්ඩුව විසින් තීන්දු කර ඇති කම්කරු නීති  සංශෝධනය සිදුවනු ඇත්තේ කම්කරුවන්ට හිතකර ලෙස නොව ධනපති හාම්පුතුන්ගේ ඉහත සඳහන් යෝජනාවලට අනුව ඔවුන්ට හිතකර ලෙසය. එය මිලියන අටකට අධික පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ  මෙන් ම සමස්ත කම්කරු පන්තියේ රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් වනු ඇත.

Loading