යක්කලින් ජාඇලට යැවූ එස්ක්වෙල් කම්කරුවෝ දැඩි ආර්ථික පීඩනයකට හසුවෙති

එස්ක්වෙල් ඇඟලුම් කම්හල් ජාලයට අයත්, යක්කල පිහිටි එවර්බෙස්ට් කම්හල මැයි මාසයේදී වසා දැමීමෙන් අනතුරුව, එහි සිට ජාඇල පිහිටි කම්හලට මාරුකර යවන ලද කම්කරුවෝ දැඩි ආර්ථික පීඩනයකට මුහුන දෙමින් සිටිති. 

එස්ක්වෙල් හාම්පුතුන්, කොරෝනා වසංගතය දඩමීමා කරගෙන, පවත්නා කම්කරු නීති ද උල්ලංඝනය කරමින් ශ්‍රම සූරාකෑම උග්‍රකර ඇති ආකාරය ගැන එම කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) විස්තර කලහ.

හොංකොං මුලස්ථානය කරගත් එස්ක්වෙල් බහු-ජාතික සමාගමේ ශාඛාවක් වූ යක්කල කම්හල වසා දමන විට, කම්කරුවන් 1,200 ක් එහි සේවයේ යෙදී සිට ඇත. ඉන් ජාඇල කම්හලට මාරු කෙරුනු 400 කට හැර අනෙක් සියල්ලන්ටම රැකියා අහිමි කර ඇත්තේ සොච්චම් වන්දි මුදලක් පමනක් ලබා දෙමිනි. ජාඇලට යැවූ කම්කරුවන්ගෙන් ද දැනට සේවයේ යෙදෙන්නේ 385 ක් පමනි. 

යක්කල අවට පදිංචි කම්කරු කාන්තාවක් පැවසුවේ, තමා වසර තුනකට ආසන්න කාලයක් යක්කල කම්හලේ කටින් අංශයේ සේවය කරමින් සිටියදී ජාඇල කම්හලට මාරු කර යැවූ බවයි. යක්කල කම්හලේදී සියලු දීමනා සහිතව උපරිම මාසික වැටුප ලෙස රුපියල් 35,000 උපයා ගත් නමුදු, ජාඇල කම්හලෙන් ජූලි මස මුලු වැටුප ලෙස ලැබුනේ රු. 21,000 ක් පමනක් බව ඇය පැහැදිලි කලාය. මෙයට, රුපියල් 2,000 ක් වන පැමිනීමේ දීමනාව ද, රුපියල් 1,400 ක් වන දිරි දීමනාව ද ඇතුලත් වෙයි.   

කෙසේ නමුත්, වසංගත කාලයේදී සහනයක් ලෙස අත්හිටුවා තිබුනු අය කිරීම්, එනම් බැංකුවලින් ලබා ගන්නා ලද නය වාරික, අර්ථසාධක මුදල්, උත්සව අත්තිකාරම් නය වාරික, ප්‍රවාහන සහ ආහාර සැපයීම් ගාස්තු, අගෝස්තු මාසයේ සිට යලි අය කිරීමට පටන් ගත්විට අතට ලැබෙනුයේ රැපියල් 11,000 ක් බව ඇය පෙන්වා දුන්නාය.  

යක්කල කම්හලේ මැහුම් අංශයේ ස්ථිර සේවිකාවක් ලෙස වසර 2 ක් ඉක්මවා සේවය කොට, දැනට ජාඇල කම්හලේ මාස 4 ක් සේවය කරන තවත් කම්කරු කාන්තාවක් පැවසුවේ තමන් යක්කල කම්හලේදී මසකට, පැමිනීමේ දීමනාව, දිරි දීමනාව සහ අතිකාල සමග රු. 32,000 ක් පමන උපාය ගත් බවයි. නමුත්, ජාඇල  කම්හලේදී, ජූලි මස මුලු වැටුප, පැමිනීමේ දීමනාව රු. 2,000 ක්, දිරි දීමනාව රු. 600 ක් ඇතුලුව රු. 22,500 ක් පමනක් බව ඇය පැවසුවාය. 

ඔවුනට අතිකාල දීමනා නොලැබෙන අතර සාමාන්‍ය සේවා කාලය උදේ 7.30 සිට හවස 5.15 දක්වා වේ. සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් ය. අසනීප නිවාඩු ලබා ගැනීම හේතුවෙන් පැමිනීමේ දීමනාව නොලැබෙන බැවින් සහ ඉහත සඳහන් අය කිරිම් හේතුවෙන් ඉදිරියේදී තමන්ට කිසිදු වැටුපක් ඉතිරි නොවනු ඇතැයි ද ඇය පැවසුවාය. යක්කල දී, සියල්ල කැපී අවම වසයෙන්  රු. 10,000 - 12,000 ක් පමන ඉතිරි මුදලක් ඇයට ලැබී ඇත.

ජාඇල කම්හල් පාලකයන් වරක් කම්කරුවන්ට පවසා ඇත්තේ ඇනවුම් අඩුවීම නිසා සති කිහිපයක් කම්හල වසා දැමීමට සිදුවන බවත්, කෙසේවෙතත් රැකියාවන් සුරක්ෂිත වන බවත්ය. කම්කරුවන් අතරින් යම් නොසන්සුන්තාවයක් මතුවෙතැයි යන බියෙන් පාලකයින් දී ඇති මෙම සහතිකය ප්‍රලාපයකි. යක්කල කම්හලේ කම්කරුවන්ට අත්වූ ඉරනම එයට සාක්ෂි දරයි. යක්කල පාලකයෝ කම්කරුවන්ට නොදන්වාම කොවිඩ්-19 සඳහා කම්දැහල වසා දැමූ අතර, කම්කරුවන් නැවත වැඩට පැමිනි විටදී වන්දි ගෙවා නෙරපා හැරීමට වසංගතයේ වාසිය ගසා කෑහ. 

මැයි 20 දා යක්කල කම්හලේ කම්කරුවෝ 450 ක් පමන එහි ගේට්ටුව අසල පිට්ටනියට රැස් ව, බලකිරීම් මගින් සේවය අත්හැර යන තත්වයට පත්කිරීමට සමාගමේ කලමනාකරුවන් දැරූ තැතට විරෝධය පල කලහ. විරෝධතාව උග්‍ර වෙතැයි යන බියෙන් කම්හල් පාලකයෝ ගම්පහ කම්කරු කාර්යාලයෙන් නිලධාරියෙකු එතැනට ගෙන්වා කොරෝනා වසංගත තත්වය නිසා රැස්වීම් පැවැත්වීම සුදුසු නැතැයි පවසමින් කම්හල ඇතුලට කම්කරුවන් යැවීමට බලපෑම් කලහ. 

එහෙත් ඇන්ටන් මාකස් විසින් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය (නිවෙකපොසේසේස) අවශේෂ කම්කරුවන් ඒකාබද්ධ කරගත් කාර්මික ක්‍රියාවන් සංවිධානය නොකර, කම්කරුවන් හෙම්බත් කරමින් සහ කල් මරමින් ගෙනගිය ක්‍රියාකලාපය නිසා පාලකයින්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට පහසුවිය.

නමුත් කම්කරුවන් සිටියේ සටන දිගට ගෙනයාමේ අධිෂ්ඨානයෙන් බව ඇය මෙසේ පැහැදිලි කලාය: “අපි අන්තිම මොහොත වෙනකනුත් අස්වෙන්නේ නැතිව හිටියෙ, අපි එකට හිටියොත් ෆැක්ටරිය වැහෙන්නේ නැහැ කියල හිතල.”

යක්කල පාලකයන් බලපෑම් කරමින් කම්කරුවන්ට ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වන ලෙසට ලිපිවලට අත්සන් ලබාගෙන ඇත. එමනිසා ඔවුන්ට නිසි වන්දියක් පවා ගත නොහැකිව ඇත. වසර 10 ක් වැඩ කල කම්කරුවෙකුට රු. ලක්ෂ 2 පමනක් ගෙවනු ලැබූ අතර, වසර 20 ක් වැඩ කල කම්කරුවෙකුට උපරිම වන්දි ලෙස ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 9 ක් පමනි. 

තමන් රවටා බලපෑම් කර ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වන බවට ලිපිවලට අත්සන් ලබාගත් හෙයින් තමන්ට හිමි නිසි වන්දි නොලැබීම ගැන කම්කරු කාර්යාලයට පැමිනිලි කලද ඉන් පලක් නොවූ බව කම්කරුවෝ පවසති.

යක්කලින් අස්වී ගිය කම්කරුවන්ගේ අසරන තත්වය ගැන කනස්සල්ලෙන් කතා කල ඇය, “එසේ එලියට ගිය කම්කරුවන්ට අදටත් ස්ථිර රස්සාවක් නැහැ. අදටත් තැන්තැන්වල වැඩ කරනවා. යක්කල ෆැක්ටරිය ගැන අදටත් ඔවුහු පසුතැවිලි වෙනවා”  යැයි පැවසුවාය. 

කලගෙඩිහේන අසල මල්වත්තේ පිහිටි ක්‍රිස්ටල් මාටින් ඇඟලුම් කම්හලේ සම්මුඛ පරීක්ෂනයකට ගිය යක්කල කම්හලේ කම්කරුවන් පිරිසක්, වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ලබා සිටීමේ හේතුව මත රැකියාවලට බඳවා ගෙන නොමැත.

වෘත්තීය සමිතිය ගැන සඳහන් කරමින් ඇය මෙසේ පැවසුවාය: “යක්කලදී සමිති යම් මට්ටමකින් ක්‍රියාශීලි වුනත්, දැන් කිසිම මීටින් එකකදීවත් අපිව දැනුවත් කරන්නේ නැහැ, දැන් සමිති නායයකයින්ට වැඩියෙන් වැඩදීල නිසා ඒ අයට වෙලාවකුත් නැහැ ........යක්කල තිබුනු හයිය මෙහෙ නැහැ.” 

ශාඛා සමිති සභාපති මංගලා සමග කතා කිරීමේ නිදහස යක්කලට වඩා ඉතාමත්ම අඩුවී ඇතැයි ද මෙයට හේතුව පාලකයින්ගෙන් ඇයට එල්ලවී ඇති තර්ජනය නිසා විය හැකි යැයි ද කම්කරුවෝ සැක කරති.

මෙම කම්හලේ කම්කරුවන් 200 කට අධික පිරිසක් සාමාජිකත්වය දරන ලංකා වෙලඳ, කාර්මික සහ පොදු කම්කරු සමිතියේ (සීඑම්යූ) ශාඛාවක් සහ පරිපාලනය විසින් අටවා ඇති හොරිකඩ සංගමයක් ද ඇත. මෙම සංගමය කම්කරුවන්ට එරෙහිව පරිපාලනයට ඔත්තු සපයයි. 

කම්කරුවන් 1,200 ක් පමන සේවයේ නියුතු ජාඇල කම්හලේ පවතින අයහපත් සේවා කොන්දේසි ගැන ඇය පැහැදිලි කලාය: “යක්කලදී අපි බෙදාගෙන කෑවේ. ජාඇල කෑම බෙදල තියෙනවා. චූටි සෙල්ලම් බත් වගේ අඩුවෙන් බෙදල තියෙන්නෙ. වොෂ් රූම් උනත් හරිම අපිරිසිදුයි. පහසුකම් ගැන හොයල බලන්න කිසිවෙක් නැහැ.” 

සමිති ඉෂ්ට කරන ප්‍රතිගාමී භූමිකාව ගැන ලෝසවෙඅ වාර්තාකරුවන් කල පැහැදිලි කිරීමකින් පසු, “සමිති දැන් හාම්පුතුන්ගේ පැත්ත අරගෙන තිබෙන බව පැහැදිලි ” යැයි ඇය කීවාය.

මාකස්ගේ නිවෙකපොසේසේස, ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය හා එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු  වෘත්තීය සමිතිවල පාවාදීමේ වාරුවෙන් ආන්ඩුව සහ හාම්පුත්තු තවතවත් මෙම කම්කරු-විරෝධී පිලිවෙත් උග්‍ර කරමින් සිටිති.

කොවිඩ් 19 වසංගතයෙන්  තීව්‍ර කෙරී ඇති ධනපති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමේ තවත් ඉදිරි පියවරක් තබමින් කම්කරු පනත්  පහක් කඩිනමින් සංශෝධනය කිරීමට ආන්ඩුව තීන්දු කර ඇති බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, අගෝස්තු 26 වෙනිදා, කම්කරු කොමසාරිස් ජෙනරාල් අතුලු කම්කරු නිලධාරීන් සමග පවසා ඇත. 

සේවක අර්ථසාධක අරමුදල් පනත, පාරිතෝෂික ගෙවීම් පනත, වැටුප් පාලන ආඥා පනත, සේවක වන්දි පනත සහ කාර්යාල සහ සාප්පු පනත මෙයට ඇතුලත් වෙයි. 

මැයි මස, මෙම වෘත්තීය සමිති, ආන්ඩුව සහ හාම්පුතුන්ගෙන් සැදුම්ලත් ඊනියා ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධක බලකාය විසින් අත්සන් කරන ලද ගිවිසුමක් මගින් ධනපති හාම්පුතුන්ට පුද්ගලික අංශයේ කම්කරුවන් දස ලක්ෂයකට වැඩි පිරිසකගේ රැකියා අහිමි කිරීමටත්, රැකියාවේ නියුක්ත කම්කරුවන්ගේ  වැටුප් හා දීමනා හාම්පුතුන් ගේ තනි කැමැත්ත මත කප්පාදු කිරීමටත්, අවශ්‍ය කොන්දේසි නිර්මානය කර දෙන ලදී.

මෙම තතු යටතේ කාර්මික පොලීසි ලෙස ක්‍රියා කරන සමිතිවලින් ස්වාධීනව තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට එන ලෙස එස්ක්වෙල් කම්හල් ජාලයේ කම්කරුවන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටියි.

Loading