කටුනායක ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා අනතුරේ

වසංගතය හේතුවෙන් ක්‍රියාත්මක කල අගුලු දැමීමෙන් පසු මැයි මාසයේ ආර්ථිකය යලි ආරම්භ කිරීමේ සිට, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) පිහිටි ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හල් ජාලයේ කම්කරුවෝ අඛන්ඩ වැටුප් කප්පාදුවකට හා රැකියා අස්ථාවරභාවයකට මුහුන දී සිටිති. 

වසංගතයට පෙර ස්මාර්ට් ෂර්ට් අංක 01 කම්හල තුල පමනක් 3,000 ක් පමන කම්කරුවන් රැකියාවේ නිරත වී සිටි නමුත් මේ වනවිට රැකියාවේ නිරත වන්නේ 3,00 ක් පමන පිරිසකි. වසර 5 කට අඩු සේවා කාලයක් තිබූ කම්කරුවන් බොහෝ දෙනෙක් දැනටමත් දොට්ට දමා තිබේ. ඒ, වසරක මූලික වැටුප මෙන් දෙකහමාරක් ලැබෙන සේ සකස් කල සොච්චම් වන්දි මුදලක් ලබා දීමෙනි. 

අංක 01 හා 03 කම්හල් දෙකෙහිම රැකියාවේ නිරත කම්කරුවන්ට දෛනික වැටුප ලෙස ලැබෙන්නේ රුපියල් 4,00 ක් පමන වන සොච්චමකි. අංක 01 කම්හලෙහි දැනට රැකියාවේ නිරත කම්කරුවෝ දෛනික පදනමින් වැටුප් ගෙවීමට එරෙහිව, මූලික වැටුප ඉල්ලා පසුගිය සතියේ බදාදා හා බ්‍රහස්පතින්දා යන දෙදින වැඩ වර්ජනයක නිරත වූහ. අඛන්ඩව වැඩ නොමැතිවීමත්, පැමිනීමේ දීමනා, දිරි දීමනා හා අතිකාල නොමැතිවීමත් හේතුවෙන් කම්කරුවෙකුට මාසයකට උපයා ගත හැක්කේ රුපියල් 10,000 කටත් අඩු මුදලකි.  

මැයි මාසයේ කම්හල් යලි විවෘත කිරීමෙන් පසු වෘත්තීය සමිති, ආන්ඩුව සහ හාම්පුතුන්ගෙන් සැදුම්ලත් ඊනියා ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධක බලකාය විසින් අත්සන් කරන ලද ගිවිසුමක් මගින් ධනපති හාම්පුතුන්ට පුද්ගලික අංශයේ කම්කරුවන් දස ලක්ෂයකට වැඩි පිරිසකගේ රැකියා අහිමි කිරීමටත්, රැකියාවේ නියුක්ත කම්කරුවන්ගේ වැටුප් හා දීමනා හාම්පුතුන්ගේ තනි කැමැත්ත මත කප්පාදු කිරීමටත්, අවශ්‍ය කොන්දේසි නිර්මානය කර දෙන ලදී. ඉහත ගිවිසුමට අනුව රැකියාවලට නොකැඳවන ලද කම්කරුවන්ට මාසයකට රුපියල් 9,500 ක් ගෙවීමට පොරොන්දු වී ඇතැත් එය ද බොහොමයක් කම්හල් තුල සිදු කෙරෙන්නේ නැත.  

මෙම වෘත්තීය සමිති අතරට කටුනායක නිවෙක තුල කම්කරුවන්ගේ අරගල හුදකලා කොට පාවාදීමේ දීර්ඝ වාර්තාවක් ඇති ඇන්ටන් මාකස්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය (නිවෙකපොසේසං) හා ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිතිය වන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) ඇතුලත් වේ. 

ස්මාර්ට් ෂර්ට්හි අංක 01 හා 03 යන කම්හල් තුල දැනට රැකියාවල නිරතව සිටින්නේ වසර 05ට වැඩි සේවා කාලයක් ඇති කම්කරුවන් ය. දිනපතා වැඩ ලබා නොදී, මූලික වැටුප හෝ නොගෙවා එම කම්කරුවන් හෙම්බත් කරමින් සිටින්නේ වන්දි ලබා නොගෙනම රැකියාව අත්හැර යාමට පෙලඹවීමේ අරමුනෙන් බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක්වූ කම්කරුවෝ ප්‍රකාශ කලහ. 

වසර 07 ක සේවා කාලයක් ඇති කම්කරුවෙක් මෙසේ පැවසීය: “මාසික මූලික වැටුප මෙන් දෙක හමාරක් මුදලක් කියන්නේ වසරකට රුපියල් 50,000 ක් වගේ මුදලක්. අපෙන් අරන් තියෙන වැඩවල ප්‍රමානය හා රැකියාවක් සොයාගන්න තියෙන අපහසුතාවය ගැන හිතන කොට අපිට මේ වන්දිය ප්‍රමානවත් නෑ. මට ගිය මාසෙට ලැබුනේ රුපියල් 12,000 ක විතර වැටුපක්. එවැනි මුදලකින් ජීවත් වෙන්න බෑ.” 

නිවස ඉදි කිරීමට ලබා ගත් නය සඳහා රුපියල් 11,000 ක මාසික වාරිකයක් බැඳීමට එම කම්කරුවාට සිදුව තිබේ. බෝඩින් ගාස්තු රුපියල් 5,000 ක් හා ආහාරපාන ඇතුලු දෛනික වියදම් පිරිමසා ගැනීමට නොහැකි තත්වයකට ඔහු මුහුන දී සිටී. 

පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ස්මාර්ට් ෂර්ට් සමාගමේ වැඩ නොමැති දිනවල කම්කරුවන් වෙනත් කම්හල්වලට මිනිස්බල (මෑන්පවර්) කම්කරුවන් ලෙස රැකියාවල නිරතවීමට සිදුව තිබේ. “ඒ තත්වය තුල සේවය හැර ගියා සේ සලකා අපිට වන්දි නොදී පිටමන් කරන්න තමයි පරිපාලනය බලන්නේ” යයි එම කම්කරුවා වැඩිදුරටත් විස්තර කලේ ය.  

වසංගතයට පෙර මාසිකව රුපියල් 70,000 ක වැටුපක් ලැබූ කම්කරුවෙකු ප්‍රකාශ කලේ මැයි මාසයේ සිට අගොස්තු දක්වා ඔහුට ලැබුනේ රුපියල් 20,000ක පමන වැටුපක් බවයි. “මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක ලමයෙක් පාසල් යනවා. බෝඩිමට 7,000 ක් ගෙවන්න තියෙනවා. ගිය මාසේ මාලයක් උකස් කලා. හැමදාම නය වෙන්න බෑ.” යයි ඔහු ප්‍රකාශ කලේ ය. 

ස්මාර්ට් ෂර්ට් කම්හල් ජාලය 1978 සිට ඉතා දීර්ඝ කාලයක් පුරා පැවත ඇත. කෝවිඩ්-19 වසංගතයට පෙර ඇනවුම් පැවැති බැවින් දරුනු සූරාකෑමක් යටතේ කම්කරුවන්ට නිවාඩු පවා නොගෙන එක දිගටම වැඩ කිරීමට සිදුව තිබුනි. කෙසේ නමුත් වසංගතය මගින් උග්‍ර කෙරී ඇති ප්‍රහාර ස්මාර්ට් ෂර්ට් සමූහයට සීමා වී නැත. වැටුප් හා දීමනා කප්පාදු කිරීම්වලට අමතරව නිෂ්පාදන ඉලක්ක දරාගත නොහැකි ලෙස ඉහල දමා ඇති පාලකයන්, රැකියා කිරීමට බැරි නම් නතර වන්නැයි පරුෂ වචනයෙන් බැනවදින බව බ්‍රැන්ඩෙක්ස්, හයිඩ්‍රාමනි, ක්‍රිස්ටල් මාර්ටින්, එස්ක්වෙල් වැනි ඇඟලුම් සමාගම්වල කම්කරුවෝ ලෝසවෙඅට ප්‍රකාශ කර තිබේ. 

කටුනායක නිවෙක හි පිහිටි එවරස්ට් ලංකා නම් ශීතකරන නිෂ්පාදන සමාගමේ තරුන කම්කරුවෙකු ප්‍රකාශ කලේ වසංගතයට පෙර සිටම එම සමාගමේ ඇනවුම් අඩු වෙමින් තිබූ බවත් වසංගතය හේතුවෙන් තත්වය තවත් දරුනු වී ඇති බවයි. “මට රුපියල් 20,000 ක් වන මූලික පඩිය විතරයි ලැබෙන්නේ. වෙන රැකියාවක් සොයා ගැනීමට නැති නිසා මේක කරනවා. ආන්ඩුවයි හාම්පුත්තුයි කරන්නේ අර්බූදය කම්කරුවන් මත පටවන එක” යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ ය. 

තම රැකියාවල අවිනිශ්චිතභාවය හා වැටුප් කප්පාදුව සම්බන්ධව ස්මාර්ට් ෂර්ට් කම්කරුවන්ගේ විරෝධය වැඩෙද්දී, අසසේස පසුගිය දිනවල කම්කරුවන් කම්කරු කාර්යාල තුල රස්තියාදු කිරීමේ නිරත විය. “නැගී සිටිනු ව්‍යාපාරය” නම් තවත් රාජ්‍ය නොවන සංවිධානයක් ද පරිපාලනයට බලපෑම් දැමීමේ ව්‍යාපාරයක් සඳහා ස්මාර්ට් කම්කරුවන් යොමුකර ගැනීමට උත්සාහයක් දැරූවත් මේ වනවිට හුදකලා විරෝධතාවයක් හෝ නො කැඳවීමට ඔවුන් තීන්දු කර තිබෙන්නේ එවන් විරෝධතාවයක් ඔවුන්ගේ ග්‍රහනයෙන් මිදී අවශේෂ කම්කරුවන් ඒකාග්‍ර කරගත් ව්‍යාපාරයක් දෙසට වර්ධනය වේය යන භීතියෙනි. 

යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය තුල කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් ලංකාවේ ඇඟලුම් ඇතුලු අපනයන දරුනු ලෙස පහත වැටී ඇත. එය වසංගතයට පෙර සිටම වර්ධනය වෙමින් පැවති ආන්ඩුවේ නය අර්බූදය තවත් උග්‍ර කොට තිබේ.   

ඒ තත්වය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග කර තිබෙන කප්පාදු වැඩපිලිවෙලවල් ආන්ඩුව දැනටමත් ක්‍රියාවට නගමින් පවතී. ආනයන සීමා කොට “රට තුල නිෂ්පාදනය කිරීමේ” ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ බංකොලොත් ජාතිකවාදී වැඩපිලිවෙල හේතුවෙන් අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ගනන් දිනෙන් දින ඉහල යමින් තිබේ.   

දෙස් විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා දතකන ආන්ඩුව, කම්කරු නීති සංශෝධනයට පියවර ගනිමින් කම්කරු පන්තිය මත ප්‍රහාරය තවත් පැත්තකින් තීව්‍රකර ඇත. කම්කරු පනත් පහක් කඩිනමින් සංශෝධනය කිරීමට ආන්ඩුව තීන්දු කර ඇති බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, අගෝස්තු 26 වෙනිදා, කම්කරු කොමසාරිස් ජෙනරාල් ඇතුලු කම්කරු නිලධාරීන් සමග පවසා ඇත. සේවක අර්ථසාධක අරමුදල් පනත, පාරිතෝෂික ගෙවීම් පනත, වැටුප් පාලන ආඥා පනත, සේවක වන්දි පනත සහ කාර්යාල සහ සාප්පු පනත මෙයට ඇතුලත් වෙයි. 

ආන්ඩුවේ ප්‍රහාර ඇඟලුම් කම්කරුවන්ට සීමා වී නැත. ලොවපුරා පුරා පාලක පන්තීන් කොරෝනා වසංගත තත්වය, කම්කරු පන්තිය මත පෙර සිටම සැලසුම් කර පැවති ප්‍රහාර දිගේලි කිරීමට ලැබුනු අවස්ථාවක් ලෙස යොදා ගනිමින් පවතී. 

Loading