නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ග්‍රීක-තුර්කි යුද්ධය එපා!

මෙම ලිපිය සැප්තැම්බර්12 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ග්‍රීක ආරක්ෂක අමාත්‍යාංශය. තුර්කිය සහ ග්‍රීසිය අතර තර්ජන හා නාවික උපාමාරු උත්සන්න වෙමින් තිබියදී, යුරෝපය සහ මැදපෙරදිග යුද්ධයක අද්දරට පැමිනෙමින් තිබේ. මෙම ග්‍රීෂ්මයේ , සමුද්‍රීය දේශසීමා, නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ භූගත ගෑස් බිම් වලට අතගැසීම මෙන්ම දශකයක් තිස්සේ පවතින ලිබියානු යුද්ධයේ ප්‍රතිපල වශයෙන් ග්‍රීක නැව්, ඔවුන්ගේ කියන නේටෝ සහචරයින්  හා එක්ව, තුර්කි නෞකාවන් සමඟ සජීවී වෙඩි හුවමාරුවකට හෝ එකිනෙකා සමඟ යලි යලිත් ගැටුම් ඇතිකර ගැනීමේ තර්ජනය කලේය. තියුනු අනතුරු ඇඟවීම් කල යුතුය. මධ්‍යධරනී මුහුදේ ඇතිවන සටනක්,  ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය විය හැක.

ප්‍රමුඛ නිලධාරීන් මෙම අවදානම විවෘතව ප්‍රකාශ කරයි. පසුගිය මාසයේ ඇතන්ස් සහ ඇන්කාරා වෙත යාමට පෙර ජර්මානු විදේශ ඇමති හයිකෝ මාස් ප්‍රකාශ කලේ, “ආතතිය යුරෝපා සංගමය සහ තුර්කිය අතර සම්බන්ධතාවයට පමනක් සීමාවී නැත. තව දුරටත් ආතතීන් වැඩිවීම සියලු පාර්ශවයන්ට හානි කල හැකිය.”  ඇතන්ස්හිදී ඔහු මෙසේ පැවසීය,  “නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ වත්මන් තත්ත්වය ගින්දර සමග ක්‍රීඩාවකට සමාන වේ. සෑම කුඩා ගිනි පුපුරක්ම මහා විනාශයකට තුඩු දිය හැකිය. ”

ග්‍රීක ක්‍රීට් දූපත අසල, 2020 සැප්තැම්බර් 4 වන දින ග්‍රීසියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මිලිටරිය පැවැත්වූ අභ්‍යාසයකදී ගුවන් හමුදා ජෙට් යානා, අනුග්‍රහය: ඒපී මඟින්,

ශතවර්ෂයකට පෙර 1914 ජුනි 28 වන දින, ඔස්ට්‍රියානු ආදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය මගින් අවුලුවන ලද බෝල්කන් කලාපයේ ගැටුම්, අගෝස්තු 4 වන දින පලමුවන ලෝක සංග්‍රාමය ලෙස යුරෝපය තුල පුපුරා ගියේය. 20 වන සියවසේ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට වඩා, අද දිනයේ අධිරාජ්‍යවාදී බලවතුන්, ගෝලීය ගැටුමක් නතරකර ගැනීමට අසමත්ය.

සියවස් ගනනක් පැරනි ග්‍රීක-තුර්කි භෞමික ආරවුල් පුනර්ජීවනය වීම, COVID-19 වසංගතය මගින් වේගවත් කර ඇති එක්සත් ජනපද ලෝක ආධිපත්‍ය ද ඇමරිකාව හා යුරෝපය අතර පැවති නේටෝ සන්ධානය බිඳවැටීම සමඟ ද වෙන් කල නොහැකි ලෙස බැඳී ඇත. ඊජිප්තුවේ හා ටියුනීසියාවේ කම්කරු පන්තියේ විප්ලවීය නැගිටීම්වලට ප්‍රතිචාරයක් ලෙස නේටෝව, 2011 දී ලිබියාවේ සහ සිරියාවේ දියත් කල ලේවැකි යුද්ධවල ප්‍රතිපලය එයයි. ලාභය සහ මූලෝපායික වාසි සඳහා වන පොරබැදීමේ ප්‍රතිපලයක් ලෙස නේටෝව සහ කලාපය ඉරීගොස් ඇත.

සිරියානු යුද්ධයේ ආරම්භක අවධියේ 2013 දී, මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ (CSIS) චින්තන පර්ෂදය, නැගෙනහිර මධ්‍යධරනී ප්‍රදේශයේ තෙල් හා ගෑස් සංචිත මුල්කරගත් ගැටුම්වල විපාක පැහැදිලි කලේය:

කෙසේ වෙතත්, නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ තෙල් හා ගෑස් සම්පත්, ලෝකයේ වඩාත්ම භූදේශපාලනික වශයෙන් සංකීර්න කලාපයක හදවතේ පිහිටා ඇත. ඊස්රායල්-පලස්තීන ගැටුම, ඊස්රායලය සහ ලෙබනනය අතර ආතතීන්, යටපත්ව තිබෙන සයිප්‍රසය පිලිබඳ ගැටුම සහ තුර්කිය, සයිප්‍රස් සමූහාන්ඩුව සහ ග්‍රීසිය අතර දුෂ්කර සබඳතා යන සියල්ලම නැගෙනහිර මධ්‍යධරනී මුහුදෙන් බලශක්තිය ගොඩගැනීම  හා විකිනීමේ උත්සාහයන් සංකීර්න කරයි. සිරියානු සිවිල් යුද්ධය, ආර්ථික හා භූදේශපාලනික අවිනිශ්චිතතාවයේ නව ප්‍රභවයක් එන්නත් කර ඇති අතර, පසුබිමේ සිටින්නේ, නැගෙනහිර මධ්‍යධරනී බලශක්ති තරඟයට ඇතුලු වීමට සහ යුරෝපීය වෙලඳපොලවල් සඳහා තෙල් හා ගෑස් සපයන ප්‍රධාන සැපයුම්කරු ලෙස තම තැන පවත්වා ගැනීමට අපේක්ෂා කරන රුසියාව ය. 

මෙම ගැටුම් 2013 දීටත් වඩා අද පුපුරන සුලුය. ඇතන්ස්, ප්‍රන්සයේ සහයෝගය ඇතිව අන්කාරාව හීලෑකර ගැනීමට හැකි බව සිතුව ද තුර්කිය ග්‍රීසිය  මෙන් අට ගුනයකටත් වැඩි ජනගහනයකින් යුක්ත හා විශාල මිලිටරියකින් යුක්ත රටකි. ප්‍රන්සයේ සහාය ලබන ලිබියාවේ කුලීකාර ජාතික හමුදාවේ (LNA) යුදදෙටුවා වන කලිෆා හෆ්ටර්ට එරෙහිව, ලිබියාවේ ජාතික ගිවිසුම (GNA) ඉස්ලාමීය ආන්ඩුවට දෙන තුර්කි සහයෝගය ගැන පැරිසිය කෝපාවිෂ්ඨව සිටියි. සිය පැරනි අප්රිකානු යටත් විජිත අධිරාජ්‍යය තුල සිය අවශ්‍යතාවන්ට නොඉවසිය හැකි තර්ජනයක් ලෙස එය තුර්කි පිලිවෙත දැකගනී. හෆ්ටර් හා අනෙකුත් සහචර රටවල්, විශේෂයෙන්ම ඊජිප්තුව හා එක්සත් අරාබි එමිරේට් (UAE),   තුර්කියට එරෙහි සන්ධානයකට, ග්‍රීසිය  පෙලගස්වා ගැනීමට වැයම් කරයි.  නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ සිරියානු භෞමික අවශ්‍යතා මත, අනිවාර්යයෙන් ම එහි මිතුරන් වන රුසියාව හා ඉරානය ද ඇදී එනු ඇත. 

නේටෝවට පැවති ප්‍රධාන මිලිටරි-දේශපාලන එදිරිවාදීකම්,  1991 දී සෝවියට් සංඟමය විසුරුවා හැරීමේ තැන් පටන් ඉවත්වී ඇති අතර, එම තත්වය වේගයෙන් නව ගෝලීය යුද්ධයක් කරා ඇදී යයි. තුර්කියට එරෙහි ප්‍රන්ස ප්‍රතිපත්තිය පෙන්නුම් කරන්නේ, වොෂින්ටනයෙන් ස්වාධීනවූ විදේශ ප්‍රතිපත්තියක් සකසා ගැනීමට යුරෝපා සංගමයේ (EU) බලවතුන් තුල ඇති සැඟවුන අධිෂ්ඨානයයි.   ඉරානය සමඟ කරන වෙලඳාම මත, යුරෝපය ඉලක්ක කරගෙන, වෙලඳ යුද්ධයේ තීරුබදු සහ සම්බාධක පැනවූ වොෂින්ටනයට එරෙහිව යුරෝපීය අධිරාජ්‍යවාදී අවශ්‍යතා ප්‍රකාශ වීම මෙයට සම්බන්ධ වේ.

ජනාධිපතිවරන වාතාවරනය තුල ද පොලිස් ම්ලේච්ඡත්වය හා වසංගතය ද මුල්කරගෙන පවතින පුපුරන සුලු ආතතිය තුල ද වැඩෙන සමාජ විරෝධතා සහ වැඩ වර්ජන මධ්‍යයේ, ග්‍රීක-තුර්කි ගැටුම සම්බන්ධයෙන් බොහෝ දුරට නිහඬව සිටිය ද වොෂින්ටනය, නව යුද්ධ සඳහා සූදානම් වෙමින් සිටී. කෙසේ වෙතත් වොෂින්ටනය, මධ්‍යධරනී මුහුදේ යුරෝපා සංගම් ප්‍රතිපත්තිය අධීක්‍ෂනය කරමින් තමන්ගේම යුද සැලසුම් පිලියෙල කරමින් සිටින බවට සැකයක් නැත.

ට්‍රම්ප් පසුගිය වසරේ ජුනි 20 වන දින ඉරානයට එරෙහිව මහා පරිමාන ගුවන් ප්‍රහාර අත්හිටුවුවේ, ඒවා දියත් කිරීමට මිනිත්තු 10 කට පෙර ය. මාස හතරකට පසු දේශනයක දී ග්‍රීසියේ එක්සත් ජනපද තානාපති ජෙෆ්රි පියට්, නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ගෝලීය වැදගත්කම අවධාරනය කලේය. ඔහු මෙසේ පැවසීය: “මහ බල තරඟයේ අවධියක සහ පසුගිය දශකය තුල  විශාලතම හයිඩ්‍රොකාබන් නිධි සොයාගැනීම් මධ්‍යයේ, යුරෝපයේ ද ආසියාවේ සහ අප්‍රිකාවේ ද මෙම ගෝලීය සන්ධිස්ථාන, ඇමරිකානු මූලෝපායික චින්තනයේ පෙරමුනට පැමින තිබේ. නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ කටයුතු පිලිබඳව ඕනෑවට එපාවට මෙන් සිටි වසර ගනනාවකට පසු එක්සත් ජනපදය , සිය අභිලාෂයන් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිලිබඳව ආන්ඩු මට්ටමින් ආපසු හැරී සලකා බලමින් සිටින්නේ ය...". 

තාවකාලික ග්‍රීක-තුර්කි සාම ගිවිසුමක් කෙසේ හෝ ඇති වුවත් නැතත්, ධනවාදය යටතේ එවැනි ගැටුම් සාමකාමීව විසඳාගත නොහැකි බව ඉතිහාසය පෙන්වා දෙයි. එක්සත් ජනපද ආධිපත්‍යයේ බිඳවැටීම සහ ගෝලීය කර්මාන්තයේ ගුරුත්වාකර්ෂන කේන්ද්‍රය නැගෙනහිර දෙසට, තුර්කිය හා චීනය වැනි රටවල් දෙසට මාරුවීම, 20 වන සියවසේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන්, 1914 ලෝක යුද්ධය පුපුරා යාමට හේතු වශයෙන් හඳුනාගත් ධනවාදයේ ප්‍රතිවිරෝධතා පෙර නොවූ විරූ තීව්‍රතාවයකට ගෙනවිත් තිබේ: ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, සමාජීය නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය පිලිබඳ ප්‍රතිවිරෝධය ලෙසත්ය. නැගෙනහිර මධ්‍යධරනී ගැටුම, නව ලෝක යුද්ධයක් දිසාවට අධිරාජ්‍යවාදය තල්ලුවීම පිලිබඳ වැඩි දියුනු ප්‍රකාශනයක් ගැන අනතුරු ඇඟවීමකි.

අන්තරායන් අවතක්සේරු නොකල යුතුය. ග්‍රීසිය, තුර්කිය, ප්‍රන්සය හෝ වෙනත් යුරෝපා සංගම් රටවල කම්කරුවන් අතර, ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි එකක් වුව ද, යුද්ධයක් සඳහා උද්යෝගයක් නොමැත. ඇමරිකානු කම්කරු පන්තිය තුල යුද්ධයට දැඩි විරුද්ධත්වයක් පවතින අතර සමාජවාදයට වැඩෙන සහයෝගයක් ඇත. ලොව පුරා ධනේශ්වර ආන්ඩු වර්ධනය වන සමාජ විරෝධයට හා ඔවුන්ට විසඳුම් නොමැති අන්තර්ජාතික ආර්ථික හා භූදේශපාලනික ප්‍රතිවිරෝධතාවන්ට මුහුන දී සිටියදී, එවැනි යුද්ධයක් දියත් කර එය විනාශකාරී ගෝලීය ගැටුමක් දක්වා ව්‍යාප්ත කිරීමේ අන්තරාය ඉතා සැබෑ ය.

කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුල, පන්ති අරගලයේ ඓතිහාසික ගෝලීය පිපිරීමක් ද දැක තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ගුරුවරුන් සහ මෝටර් රථ සේවකයින් අතර වැඩ වර්ජන හා විරෝධතා පුපුරා ගිය අතර, ඇමරිකාවේ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව ලොව පුරා විරෝධතා සහ පෝලන්ත ජාතික ගුරු වැඩ වර්ජනය, පෘතුගීසි හෙද වැඩ වර්ජනය සහ ප්‍රන්ස “කහ බැනියම්” ව්‍යාපාරය ඇතුලු යුරෝපය පුරා පැතිර ගිය විරෝධතා. “ලතින් ඇමරිකාව පුරා ආන්ඩු විරෝධී  උද්ඝෝෂන හටගත්තේය. ඉන්දියාවේ ද විශේෂයෙන් මධ්‍යධරනී අවට රටවල ද, ඉරාකය, ලෙබනනය, සුඩානය හා ඇල්ජීරියාව තුල ද විරෝධතා හටගත්තේය. සෑම රටකම වසංගතය මඟින් පන්ති ආතතීන් මුවහත් කරන තතු හමුවේ,  කුරිරු “රංචු ප්‍රතිශක්තිය ” මූලෝපායේ කොටසක් ලෙස යලි වැඩට හා යලි පැසැල් කරා දැක්කීමට පනවා ඇති නියෝග වලට විරුද්ධ උද්ඝෝෂන හටගෙන තිබේ.

ශතවර්ෂයකට පෙර, බෝල්කන්හි පුපුරා ගිය පලමුවන ලෝක සංග්‍රාමය නවතනු ලැබුවේ, 1917 ඔක්තෝබර් විප්ලවයේ දී ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කිගේ බොල්ෂෙවික් පක්ෂය විසින් මෙහෙයවන ලද රුසියානු කම්කරු පන්තිය,  බලය අත් කර ගැනීම සහ ධනවාදයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි විප්ලවවාදී අරගලයකට කම්කරු පන්තිය මෙහෙයවීම සඳහා කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීම මඟිනි. අද මෙම මූලෝපායික ඉදිරිදර්ශනයේ ආරක්ෂකයින් වන්නේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ය. ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව හා ජාත්‍යන්තරව දේශපාලන බලමුලු ගැන්වීමකින්, රාජ්‍ය බලය ලබාගෙන,  සමාජවාදය ගොඩනැගීමෙන් පමනක්, යුද්ධය කරා වන තල්ලුව නතර කල හැකිය.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරය, යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර යුද විරෝධී හා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පිලිබඳ මාක්ස්වාදී විඥානයෙන් සන්නද්ධ කිරීමේ අරගලය දෙසට හැරවිය යුතුය.

ග්‍රීක-තුර්කි කැනීම් අයිතිවාසිකම් පිලිබඳ ආරවුලේ ඓතිහාසික හා දේශපාලන මූලයන්

සමුද්‍රීය දේශසීමා සහ සම්පත් සම්බන්ධයෙන් ග්‍රීසිය සහ තුර්කිය අතර ගැටුම්, 20 වන සියවසේ නොවිසඳුනු ගැටලු තුල මුල් බැස තිබේ. 1923 ලෝසැන් ගිවිසුම මගින් ග්‍රීසිය සහ තුර්කිය අතර දේශ සීමා ඇති විය. මෙම සිදුවීම සහ පසුකාලීනව කලාපයේ ඇති වූ ගැටුම්, අධිරාජ්‍යවාදය විසින් නියම කරන ලද අත්තනෝමතික ජාතික-රාජ්‍ය දේශසීමා ඔස්සේ බෝල්කන් සහ මැදපෙරදිග බෙදීමට උත්සාහ කිරීමේ නිරන්තර ප්‍රතිගාමී ස්වභාවය අවධාරනය කරයි.

මුස්තාපා  කේමල් අටාටර්ක් Kemal Ataturk ගේ නායක්ත්වයෙන් ගෙනයන ලද තුර්කි ජාතික ව්‍යාපාරය විසින්, 1919 -1922  කාලයේ නිදහස සඳහාවූ තුර්කි යුද්ධය හමුවේ, පලමුවන ලෝක සංග්‍රාමය දී ජර්මනිය හා ඔස්ට්‍රියාව සමඟ පරාජයට මුහුන දී සිටි බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස අධිරාජ්‍යවාදීන්, ඔටෝමාන් අධිරාජ්‍යයේ ඇනටෝලියන් Anatolian භූමිය බෙදා වෙන් කිරීමට දැරූ  උත්සාහය පරාජයට පත් විය. 1917 නොවැම්බරයේ සෝවියට් ආන්ඩුව විසින් ලොවට හෙලි කරන ලද 1916 සයික්ස්-පිකොට් ගිවිසුම යටතේ, ප්‍රදේශ කපා කොටා ඉරාකය සහ සිරියාව නිර්මානය කිරීමට ලන්ඩන් සහ පැරිස් තන්ත්‍ර එකඟ වී තිබුනි. පසුව 1919 දී ග්‍රීසිය සමඟ එක් වූ ඔවුන්, අධිරාජ්‍යයේ ඉතිරිව තිබූ කොටස් බෙදීම සඳහා  වර්තමාන තුර්කි ප්‍රදේශයන්ට පහර දුන්නේය.

තුර්කිය තුල, අධිරාජ්‍යවාදී නායකත්වයෙන් යුත් යටත් විජිත වාඩිලෑමට එරෙහිව සෝවියට් රුසියාව, කම්කරුවන් හා ගොවීන් අතර ශක්තිමත් සහයෝගයක් තිබූ තුර්කි ජාතික ප්‍රතිරෝධයට නිවැරදිව සහාය දැක්වූ අතර, ඇන්කාරා පාලනයට ආයුධ සහ සහාය ලබා දුන්නේය. හදිසි මිලිටරි අවශ්‍යතාවයන් ද සෝවියට් ප්‍රතිපත්තිය තීන්දු කලේය: ලන්ඩනය,පැරිසිය, බර්ලිනය, ප්‍රාග්, ටෝකියෝව සහ වොෂිංටනයේ ආන්ඩු සියල්ලම සෝවියට් සංගමය ආක්‍රමනය කර, රුසියානු සිවිල් යුද්ධයේ ප්‍රති-විප්ලවවාදී  ධවලයින්ට Whites සහාය දෙමින්, නවක කම්කරු රාජ්‍යය බිඳ දැමීමට උත්සාහ දැරූ අතර, රුසියාවේ නව යටත් විජිත, යුදෙව් විරෝධී, සුදු තන්ත්‍රයක් පිහිටුවීමට තැත් කලේය. ඇනටෝලියාවේ කොටස් අල්ලා ගැනීමට එරෙහි විරෝධය බලමුලු ගැන්වීමට ග්‍රීක කොමියුනිස්ට්වාදීහු ග්‍රීක සොල්දාදුවන් අතර සටන් කලහ.

කෙසේ වෙතත්, තුර්කි කොමියුනිස්ට්වාදීන් සමූල ඝාතනය කිරීමට උත්සාහ කල සහ කුර්දි ජනතාවගේ සංස්කෘතික හා දේශපාලන අයිතිවාසිකම් පාගා දැමීමට හෝ අධිරාජ්‍යවාදයට එකඟ වූ දේශසීමා පැනවීමට උත්සාහ කල තුර්කි ධනේශ්වර රාජ්‍යයට කම්කරුවන් සහාය දිය යුතු යැයි මින් ඇඟවුනේ නැත. වාර්ගික පවිත්‍රකරනය යටතේ ග්‍රීක සහ තුර්කි රාජ්‍යයන් පිහිටුවීමේ උත්සාහයක් ලෙස  මෙම දේශසීමා බලාත්මක කිරීම මගින්, 1923 දී මිලියන 1.6 ක ජනතාවක් බලහත්කාරයෙන් පිටුවහල් කරනු ලැබීය. ස්ටැලින්වාදී පරිහානියට පෙර සෝවියට් ආන්ඩුව සිය ප්‍රතිපත්තිය පදනම් කර ගත්තේ, ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් තුල ජාතික දේශසීමා වියැකී යාමට පදනම සපයන ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයක ඉදිරිදර්ශනය මත ය.

කෙසේහෝ දෙවන ලෝක යුද්ධයෙන් පසු රටවල් දෙකම එක්සත් ජනපදය ප්‍රමුඛ සෝවියට් විරෝධී නේටෝ සන්ධානයට එක් වූ පසුවත්, තුර්කි-ග්‍රීක සමුද්‍ර දේශසීමා කිසි විටෙකත් නිරාකරනය නොවීය. බොහෝ විට, තුර්කි වෙරලට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි ඒජියන් සහ මධ්‍යධරනී මුහුදු  ප්‍රදේශවල පිහිටි දූපත් ග්‍රීසිය විසින් අල්ලා ගෙන සිටි තතු තුල, මුහුදු සීමාවක් සොයා ගැනීම විවාදාත්මක වූ අතර ප්‍රායෝගිකව කල නොහැකි විය.

මූලෝපායිකව ග්‍රීසිය, තුර්කිය, ලෙබනනය සහ සිරියාව යන රටවල වෙරලට ඔබ්බෙන් පිහිටා ඇති සයිප්‍රසය සම්බන්ධයෙන් ද කල්පවතින ආරවුලක් පවතියි. 1974 දී සීඅයිඒ පිටුබලය ලත්, කර්නල්වරුන්ගේ ග්‍රීක ජුන්ටාවේ කුමන්ත්‍රනයකින්, තුර්කි සයිප්‍රස් වැසියන්ට පහරදීම සම්බන්ධයෙන් කුප්‍රකට අන්ත දක්ෂිනාංශික ග්‍රීක සයිප්‍රස් දේශපාලනඥයෙකු වන නිකොස් සැම්ප්සන් බලයට පත් කිරීමත් සමඟ ගැටුම පුපුරා ගියේය. තුර්කි හමුදාව සයිප්‍රසය ආක්‍රමනය කල අතර එය, දිවයිනේ කල්පවතින බෙදීමක් ස්ථාපනය කරමින්  ග්‍රීක ජුන්ටාව බිඳ වැටීමට තුඩු දුන්නේය. කෙසේ වෙතත් වොෂිංටනය සහ යුරෝපා සංගම් බලවතුන් ග්‍රීක ජුන්ටාවට සහාය දුන් අතර, තුර්කි සයිප්‍රස් කඳවුර පිලි නොගත්තේය.

මධ්‍යධරෙනී මුහුදේ ග්‍රීසිය සහ තුර්කිය අතර අද පවතින මිලිටරි ආතතීන්ට හේතු වූයේ, ලිබියාවේ හා සිරියාවේ ලේවැකි නේටෝ යුද්ධ සමඟ බැඳී ඇති ජාත්‍යන්තර ගැටුම් ය. ටියුනීසියානු ජනාධිපති සයින් එල් අබෙඩින් බින් අලි සහ ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්, 2011 ජනවාරියේ හා පෙබරවාරියේදී පෙරලා දැමූ  කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල හමුවේ ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය  කර්නල් මුවම්මර් ගඩාෆිගේ පාලන තන්ත්‍රයට එරෙහිව ලිබියාවේ ඉස්ලාමීය කුලීකාර යුද්ධයක් දියත් කලහ. තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් ආර්ඩොගන්ගේ ඉස්ලාමීය යුක්තිය සහ සංවර්ධන පක්ෂ (ඒකේපී) තන්ත්‍රය , යුද්ධවලට එරෙහිව කෙටියෙන් විරෝධය දැක්වීමෙන් පසුව, ඔවුන්ට සහාය දැක්වීමට යොමු විය.

මෙම යුද්ධ දුරදිග යන හා බලාපොරොත්තු නොවූ ප්‍රතිවිපාක ඇති කලේය. ලිබියාවේ ඉස්ලාමීය හා ගෝත්‍රික මිලීෂියාවන් සන්නද්ධ කිරීම සහ ගුවන් ආධාර සැපයීම සඳහා රටට බෝම්බ හෙලීම මඟින් නේටෝ බලවත්තු, මාස හයකින් ලිබියානු ආන්ඩුව විනාශ කලහ. ලිබියාව ප්‍රතිවාදී මිලීෂියාවන් අතර සිවිල් යුද්ධයකට ඇද වැටීමෙන් පසුව බොහෝ ඉස්ලාමීය සටන්කාමීහු, ප්‍රධානකොටම තුර්කිය හරහා, සිරියාවේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා සටන් කිරීමට එහි ගියහ. කෙසේ වෙතත්, සීඅයිඒ සහ පර්සියානු ගල්ෆ් තෙල් රටවලින් ඩොලර් බිලියන ගනන්  ලබා දී තිබියදීත්, මෙම කුඩා, ජනප්‍රිය නොවූ සුන්නි ඉස්ලාමීය මිලීෂියාවන්ට වඩා විශාල, වඩා හොඳින් සන්නද්ධ සිරියානු පාලන තන්ත්‍රය පෙරලා දැමීමට නොහැකි විය. සිරියානු තන්ත්රයේ සහාය පිනිස පලමුව ඉරානය ද පසුව රුසියානු හමුදාව ද මැදිහත් වීමෙන් පසුව, වසර 2015 වන විට, පසුබැස ගිය නේටෝවේ සහාය ලත් ඉස්ලාම්වාදී කුලී භටයෝ  පරාජයට මුහුන දෙමින් සිටියහ.

වොෂින්ටනය, පැරීසිය හා අනෙකුත් නේටෝ බලවතුන්, සිරියාව තුල තුර්කි කුලී භටයින් යොදාගැනීමට මාරුවීමත් සමඟ, අවසානයේ අධිරාජ්යවාදී බලවතුන් සමග තුර්කියට පැවති සම්බන්ධතා බිඳී ගියේය. තුර්කිය තුල කුර්දි ජාතිකවාදී හැඟීම් කෙරෙහි පවතින සාම්ප්‍රදායික සතුරුකමට අනුකූලවන පරිදි අන්කාරා, සිරියාවේ එක්සත් ජනපද හා යුරෝපීය ප්‍රතිපත්තියට වැඩි වැඩියෙන් විරුද්ධ විය. 2015 නොවැම්බරයේදී සිරියාවට ඉහලින් පියාසර කල රුසියානු ජෙට් යානයක් වෙඩි තබා, යුද්ධයක් අවුලුවාලීම අද්දරට ගිය තුර්කිය, පසුව මොස්කෝව සමඟ වඩා හොඳ සබඳතා අපේක්ෂා කලේය. වොෂිංටනය සහ බර්ලිනය 2016 ජූලි මාසයේදී, ආර්ඩොගන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රන උත්සාහයකින් ඊට පලිගත්තේය; කෙසේ වෙතත් එය අසාර්ථක වී,  ආර්ඩොගන් බලය රැකගත් අතර ඔහුගේ නාමික නේටෝ සහචරයින් කෙරෙහි කලකිරුනේ ය.

ඊජිප්තු විප්ලවයෙන් පසුව නේටෝව, ඉස්ලාමීය සහ මුස්ලිම් සහෝදරත්වයේ (MB)  බලවේග දෙසට නැඹුරුවීම ද, කලාපය පුරා කටුක ගැටුම් වලට හේතු විය. ඊජිප්තුව තුල කම්කරු පන්ති මහජන විරෝධතා මධ්‍යයේ, ඉස්ලාමීය ජනාධිපති මොහොමඩ් මෝර්සිට එරෙහිව ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-සිසිගේ නායකත්වයෙන් යුත් 2013 කුමන්ත්‍රනය සහ මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් ඝාතනය කිරීම හරහා මිලිටරි තන්ත්‍රය යලි ස්ථාපිත කරගන්නා ලදී.  සවුදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්සියානු ගල්ෆ් තෙල් රටවල නායකයින්, ඔවුන්ගේ දේශසීමා ආසන්නයේ, මුස්ලිම් සහෝදරත්වයේ හෝ වෙනත් කිසිදු විරුද්ධ මතධාරී ඉස්ලාමීය කන්ඬායමක් නොඉවසුවාක් මෙන්ම, ඊජිප්තු ජුන්ටාව, ලිබියානු ඉස්ලාමීය GNA කෙරෙහි දැඩි ලෙස සතුරු විය. ඔවුන්ගේ සතුරුකම, මුස්ලිම් සහෝදරත්වයේ  සගයෙකු ද ඊජිප්තුවේ අල්-සිසි තන්ත්‍රය හෙලා දකිමින් ද සිටි තුර්කියේ ඉස්ලාමීය ඒකේපී වෙත ද පැතිර තිබුනි .

අධිරාජ්‍යවාදී බලවතුන්, ලිබියානු යුද්ධය නැගෙනහිර  සිරියාව දෙසට පමනක් නොව දකුනේ උප සහරා අප්‍රිකාව දෙසට ද පැතිර වීය. එහි තම යටත් විජිත අධිරාජ්‍යය පුරා යුද්ධය පැතිරවූ  ප්‍රන්ස අධිරාජ්‍යවාදය, අයිවරි කෝස්ට් හි ජනාධිපති ලෝරන්ට් ගැබග්බෝව පෙරලා දැමීමට මැදිහත් විය. මධ්‍යම අප්‍රිකානු ජනරජයට හමුදා යෙදවූ අතර, 2013 දී මාලි රටේ උතුරේ, ඉස්ලාමීය මිලීෂියාවන්ට එරෙහිව යුද්ධය දියත් කලේය. මෙම පදනම මත පැරිසිය, ලිබියානු ජීඑන්ඒ සහ ප්‍රතිවාදී ඉතාලි බලශක්ති සංස්ථාවක් වූ ඊඑන්අයිට එරෙහිව, සිය තෙල් සමාගම වන ටෝටල්හි අභිලාෂයන් ආරක්ෂා කිරීම පිනිස ලිබියාවේ හෆ්ටාර්ට සහාය දැක්වීය.

මෙම පුපුරන සුලු ජාත්‍යන්තර සන්දර්භය තුල, පසුගිය වසරේ ග්‍රීසිය හා ඉතාලිය හරහා යුරෝපයට ගෑස් ප්‍රවාහනය කිරීම සඳහා ඊස්රායල-සයිප්‍රස්-ග්‍රීසියේ ඊස්ට්මෙඩ් නල මාර්ගයේ සාකච්ඡා වල අවසාන අදියර තුර්කියේ කටුක විරුද්ධත්වයට හේතු විය. අගෝස්තු මාසයේදී ආර්ඩොගන් ඒජියන් මුහුදේ විශාල කොටසකට හිමිකම් කියමින් “ නිල් නිජබිම ” සිතියමක් ප්‍රකාශයට පත් කලේය . ලිබියානු ජීඑන්ඒ සමඟ නොවැම්බර් මාසයේදී ද්විපාර්ශ්වික සමුද්‍රීය හා මිලිටරි ගිවිසුමක් ඇතිකර ගැනීමෙන් පසු තුර්කිය, නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ඒකාබද්ධ ගවේෂන අයිතිය ඉල්ලා සිටි අතර දෙසැම්බර් මාසයේදී මෙම ගවේෂන ආරම්භ කලේය. ඇතන්ස් ප්‍රතිචාර දැක්වූයේ, ග්‍රීසියේ ජීඑන්ඒ තානාපති නෙරපා හැරීමෙනි . ප්‍රන්සය සහ ඉතාලිය තුර්කියට එරෙහිව සයිප්‍රසයට සහ ග්‍රීක දූපත වන ක්‍රීට් හි ආරක්ෂාව  සඳහා  යුද නැව් යවන බව ප්‍රකාශ කලහ.

ඊස්රායල-සයිප්‍රස්-ග්‍රීක නල මාර්ග ගිවිසුම ජනවාරි 2 වන දින අත්සන් කිරීම, කලාපය පුරා ගැටුම් නව ඉහලකට වර්ධනය කලේය. හෆ්ටා ට්‍රිපොලියට එරෙහිව ගෙනයන ආක්‍රමනයට විරුද්ධව, GNAට සහාය දක්වමින් හමුදා යවන බව නිවේදනය කරමින් තුර්කිය ඊට ප්‍රතිචාර දැක්වීය. ප්‍රන්ස සහ ඊජිප්තු ආන්ඩු එය හෙලා දැක්කේය. එම මාසයේ ලිබියාව පිලිබඳව පැවති බර්ලින් සමුලුවේ පසෙකින්, ප්‍රන්සය සහ ග්‍රීසිය මිලිටරි සන්ධානයක් ප්‍රකාශයට පත් කල අතර, ලිබියාවේ යුරෝපා සංගම් හමුදා මෙහෙයුමක් නිල වශයෙන් අනුමත කලේය.

අප්‍රේල් මාසයේදී ලිබියාවේ තුර්කි හමුදා, ට්‍රිපොලි කරා ඇදෙමින් තිබුනු එල්එන්ඒ ගමන මැඩපැවැත්වීමට මැදිහත් වූ අතර, ලිබියාවේ බටහිරින් වැඩි කොටසක් අත්හැර දැමීමට ඔවුන්ට බල කෙරුනි. තුර්කිය මැයි මාසයේ දී ක්‍රීට්, කාර්පාතෝස් සහ රෝඩ්ස් යන ග්‍රීක දූපත් වලින් කෙලින්ම තෙල් කැනීමේ සැලසුම් තුර්කිය නිවේදනය කලේය.

මෙම ගිම්හානයේදී තත්වය වේගයෙන් උත්සන්න විය. ජුනි මාසයේදී ප්‍රංශයේ කෝර්බෙට් නෞකාව, ලිබියාවට භාන්ඩ ප්‍රවාහනය කරමින් තිබුන තුර්කි නැව් නැවැත්වීමට උත්සාහ කල විට, තුර්කි යුද නැව් ඔවුන්ගේ ඉලක්කගත රේඩාර් ආලෝකමත් කරමින් වෙඩි තැබීමට සූදානම් බව ඇඟවුම් කලේය. ඊජිප්තු ජුන්ටාව එවිට ප්‍රකාශ කලේ,  පූර්න පරිමානයෙන් ලිබියාව ආක්‍රමනය කිරීමට සැලසුම් සකස් කරන බවයි. ජුලි සිට එය ක්‍රියාත්මක කිරීම අනුමත විය. ජූලි මුල, නාඳුනන යුද ගුවන් යානා, ප්‍රන්ස හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෆේල් ප්‍රහාරක යානා බවට ආරංචි පැතිර ගිය, ලිබියාවේ වටියා ගුවන් කඳවුරට බෝම්බ හෙලූ අතර ප්‍රධාන රේඩාර් මධ්‍යස්ථාන විනාශ කල අතර, තුර්කි බුද්ධි අංශ නිලධාරීන්ට තුවාල සිදු විය.

 ඉතාලි හා ඊජිප්තු සමුද්‍රීය දේශසීමා පිලිබඳ සුවිශේෂී ආර්ථික කලාපයක් (ඊඊඑස්) මුල්කරගත් සාකච්ඡා ග්‍රීසිය විසින් ආරම්භ කරනු ලැබින. අන්කාරා සමඟ එවැනි සාකච්ඡා පැවැත්විය යුතු බවට ඇතන්ස්හි අවධාරනයට පූර්විකාවක් ලෙස මෙය සිදුවිය. කෙසේ වෙතත් තුර්කි නිලධාරීන් එවැනි සාකච්ඡා ප්‍රතික්ෂේප කර ඇති අතර තුර්කිය විසින් පිලිගෙන නැති, එක්සත් ජාතීන්ගේ මුහුදේ නීති පිලිබඳ සම්මුතිය යටතේ , ඒජියන් ප්‍රදේශය පුරා විසිරී ඇති සෑම දූපතක් වටා සැතපුම් 12 ක කලාපයක් ඉල්ලා සිටීමට ග්‍රීසියට ඉඩ දෙනු ඇත. ඉස්තාන්බුල් හා තුර්කියේ ප්‍රධාන උතුරු නඟර බලා දිවෙන වෙලඳ මාර්ග අවහිර කිරීමට ඇතන්ස් පාලනයට ඉඩ ලැබෙන පරිදි, ඊජියන් ප්‍රදේශය මුලුමනින්ම පාහේ ග්‍රීක සමුද්‍ර කලාපයට මේ අනුව හිමිවනු ඇත.

යුද නැව් 12 පිරිවරාගත් ඔරුක් රීස් Oruç Reis යන ගවේෂන නැව, ග්‍රීසියේ කැස්ටලොරිසො දිවයින අසල මුහුදු ප්‍රදේශයට පිටත්කර හරින බව තුර්කිය ජූලි 21 නිවේදනය කිරීමෙන් පසුව ඇතන්ස්, ග්රීක මිලිටරිය සීරුවෙන් තබා ඇත. “ මිලිටරි ගැටුමක් ” සඳහා “ සූදානම් වන” ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින, ග්‍රීසියේ ආරක්ෂක අමාත්‍යංශයෙන් යයි ව්‍යාජ ලෙස සකස් කල කෙටි පනිවුඩ ප්‍රචාරය කිරීමෙන් පසුව,  භීතිය පැතිර ගියේය. අවසානයේදී, ගැටුමක් වලක්වා ගත්තේ, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අන්කාරාවෙන් කරන ලද ඉල්ලීමකින් පසුව පමනි. පසුව තුර්කි නැව් ආරවුල් සහිත ප්‍රදේශයෙන් ඉවතට ගෙන යනු ලැබින. 

අගෝස්තු මාසයේදී, එක් අවස්ථාවක ග්‍රීක නැවක් තුර්කි බෝට්ටුවකට වෙඩි තබා තිදෙනෙකුට තුවාල සිදු කිරීම ද ඇතුලුව, ග්‍රීක හා තුර්කි යුද නැව් මුර සංචාර දැඩි කරන විට, පැරිසිය සිය උද්ඝෝෂන වේගවත් කලේය. එය ඊජිප්තුව හා  ග්‍රීසිය සමඟ පවා, ඒකාබද්ධ නාවික අභ්‍යාස පැවැත්වීය; ප්‍රන්සය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන දෙරටම ප්‍රහාරක ජෙට් යානා ග්‍රීසියට යවනු ලැබින. ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, තුර්කියට එරෙහිව “රතු ඉරක්” සලකුනු කරන බව ප්‍රකාශ කරමින් යුද තර්ජන එල්ල කලේය. දැන්, පැරිසියේ ඉල්ලීම පරිදි යුරෝපා සංගමය, තුර්කියේ ගෙල සිර කරන ආර්ථික සම්බාධක සකස් කිරීමට එකඟ වී තිබේ.

කම්කරු පන්තියට, මෙම භයානක යුද උත්සන්නියට නායකත්වය දෙන කිසිදු ධනේශ්වර ආන්ඩුවකට සහාය දිය නොහැක.

පැරිසිය සිය නීතිය, ජාත්‍යන්තර නීතියේ වාචාලයෙන් ඔතා තිබෙන  අතර, තම අධිරාජ්‍යවාදී අවශ්‍යතා සහ එහි පෙර යටත් විජිත ක්ෂේත්‍රය තුල ඇති තෙල් ලාභ ආරක්ෂා කරයි. රට විනාශ කිරීමෙන් අවසන් වූ, ලිබියාවේ යුද්ධය සඳහා පැරිසිය විසින් ඉටු කරන ලද ප්‍රමුඛ කාර්යභාරය එය දිගටම කරගෙන යන අතර, යුරෝ සංඟමය තුල ගොඩනඟා ඇති කඳවුරු තුල සරනාගතයින් වහල්භාවයට, දූෂනයට හා ඝාතනයට ලක්ව ඇති බවට මානව හිමිකම් පිලිබඳ කන්ඬායම් විසින් ලේඛනගත කර තිබේ. මෙම සිදුවීම් වලින් ද හිටපු ආයෝජන බැංකුකරුවෙකු වන මැක්‍රොන්ගේ කථා වලින් ද නීතිය සහ මානව හිමිකම් පිලිබඳ අධිරාජ්‍යවාදී වාචාලකමේ දේශපාලන අන්තර්ගතය හෙලි කෙරෙයි.

මැක්‍රොන්ගේ ප්‍රතිපත්තියට සම්බන්ධ ප්‍රධාන බලවේගයක් වන්නේ, පන්ති අරගලයේ සිදුවෙමින් තිබෙන ජාත්‍යන්තර පුනර්ජීවනය කෙරෙහි ඇති බිය සහ කෝපයයි. එය වසංගතය කෙරෙහි කම්කරු පන්තියේ කෝපය වැඩි වීමත් සමඟ දැන් තීව්‍ර වී ඇත. “කහ බැනියම්” ව්‍යාපාරය සහ මේ වසරේ ප්‍රවාහන වැඩ වර්ජනය වැනි රට තුල විරෝධතා කුරිරු ලෙස මර්දනය කර ඇති මැක්‍රොන්, අධිරාජ්‍යවාදයෙන් පීඩාවට පත් පැරනි ප්‍රන්ස යටත් විජිතවල කම්කරුවන් අතර වර්ධනය වන ව්‍යාපාරයට ද දරුනු ලෙස සතුරු ය.

පසුගිය වසරේදී ලෙබනනයේ සහ ඇල්ජීරියාවේ මිලියන ගනනක් සහභාගී වූ ආන්ඩු විරෝධී උද්ඝෝෂන, අයිවරි කෝස්ට් හි ග්බාග්බෝ නෙරපා හැරීමට එරෙහි මහජන විරෝධතා සහ ප්‍රන්ස යුද්ධයට එරෙහිව මාලි හි වැඩ වර්ජන හා විරෝධතා දක්නට ලැබුනි. අධිරාජ්‍යවාදී උද්ධච්චකම පිලිබඳව පැරිසියට එල්ල වන ඒඩොගන්ගේ වාචික විවේචන, ප්‍රන්ස නිලධාරීන් කෝප ගන්වා ඇත. වරාය ප්‍රදේශයේ පිපිරීමෙන් පසුව පසුගිය මාසයේ ලෙබනනයේ සංචාරය කරමින් මැක්‍රොන්, ප්‍රන්සයේ හිටපු යටත් විජිත යුදදෙටුවා වූ ජෙනරාල් හෙන්රි ගොරාඩ් හමුවී, අප්‍රිකාව හා මැද පෙරදිග අධිරාජ්‍යවාදී කොල්ලය හා ප්‍රන්ස යටත්විජිතවාදයේ නීත්‍යානුකූලත්වය අඛන්ඩව ගෙනයාම පිලිබඳ සිය අධිෂ්ඨානය ගෙනහැර දැක්වීය. 

ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස්ගේ දක්ෂිනාංශික ආන්ඩුව පසුගිය වසරේ අහම්බෙන් වගේ තේරී පත් වුනේ, ඡන්දදායකයින් සිරිසා ( “රැඩිකල් වමේ සන්ධානය ” ) ආන්ඩුව ඉවත් කිරීමෙන් පසුවය . ස්ටැලින්වාදයේ හා අනන්‍යතා දේශපාලනයේ සම්මිශ්‍රනයක් මත පදනම් වූ මධ්‍යම පන්තියේ පක්ෂයක් වන සිරිසා, කැපී පෙනෙන දේශපාලන පාවාදීමක් සිදු කර ඇත: යුරෝපා සංගමයේ කප්පාදුව අවසන් කරන බවට දුන් පොරොන්දු මත පදනම්ව තේරී පත් වූ එය, කප්පාදුවට එරෙහිව ග්‍රීක ජනතාවගේ ඡන්ද නැවත නැවත පාගා දැමීය. එය ග්‍රීක ඉතිහාසයේ විශාලතම සමාජ කප්පාදුවේ පැකේජයක් පැනවූ අතර සරනාගතයින් සඳහා යුරෝපා සංගමයේ රුදුරු රැඳවුම් කඳවුරු ජාලයක් ගොඩනැඟීය.

 එහි කප්පාදු ප්‍රතිපත්ති දිගටම ගෙන යමින්, සිරිසාවේ දක්ෂිනාංශික වාර්තාව දකුනෙන් ඉක්මවා යන මිට්සොටාකිස්, පොලිස් රාජ්‍ය ප්‍රතිපත්ති, සංක්‍රමනික විරෝධී පියවර හා තුර්කි විරෝධී ජාතිකවාදය මත රැඳී සිටියි. ග්‍රීක ආරක්ෂක හමුදා, ෆැසිස්ට් ගෝල්ඩන් ඩෝන් සාමාජිකයන් සමඟ එක්ව ග්‍රීක-තුර්කි දේශ සීමාව පසු කරන මැද පෙරදිග සරනාගතයින්ට පහර දී වෙඩි තැබීමට කටයුතු කරයි. සංවර්ධන අමාත්‍ය ඇඩෝනිස් ජෝර්ජියාඩිස් සහ කෘෂිකර්ම අමාත්‍ය මාකිස් වොරිඩිස් ඇතුලු ග්‍රීක ජුන්ටාවේ සුප්‍රසිද්ධ හිතවතුන් බොහෝ දෙනෙකු මිට්සෝටකිස් සිය කැබිනට් මන්ඩලයට ඇතුල් කරගෙන සිටී. මෙයින් අනිවාර්යයෙන්ම ගලා එන්නේ, මිලිටරිවාදී තුර්කි විරෝධී ප්‍රතිපත්තියකි.

තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් එර්ඩොගන්ගේ ආන්ඩුව, ආනයනය කරන ලද තෙල් හා ගෑස් මත පදනම්ව සිටින තුර්කි ධනේශ්වරයේ අවශ්යතා සුරැකීමටත්, පලාත් පාලන මැතිවරනයේදී එහි ඡන්ද කඩා වැටීම පිටුදැකීම සඳහාත්, සිය ආක්‍රමනකාරී කැනීමේ ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි. COVID-19 වසංගතය මධ්‍යයේ, පහත වැටෙන ක්‍රය ශක්තිය හා අඛන්ඩ මැද පෙරදිග යුද්ධ නිසා යලි වැඩට දැක්කීමේ කුරිරු ප්‍රතිපත්තිය කෙරෙහි කම්කරුවන්ගේ කෝපය වැඩි වෙමින් තිබේ. යම් සීමාවන් තුල එර්ඩොගන්, යුරෝපා සංගමයේ විවේචන සාදරයෙන් පිලිගනියි. එමඟින් ඔහු, අධිරාජ්‍ය විරෝධීයෙකු ලෙස පෙනී සිටිමින් හා තුර්කි ජාතිකවාදය අවුස්සමින්, තුර්කියේ නැගී එන පන්ති ගැටුම් යටපත් කිරීමට උත්සාහ කරයි.

මෙම එර්ඩොගන් ආන්ඩුවේ වාර්තාව, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්යාය සනාථ කරයි: ධනේශ්වර සංවර්ධනය කල් පසුවූ රටවල ධනේශ්වරය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට හෝ අධිරාජ්‍යවාදයට විරුද්ධවීමට අපොහොසත් ය යන්නයි. විවිධ මහා බලවතුන් අතර උපාමාරු දැමීමේ ප්‍රතිගාමී ධනේශ්වර තන්ත්‍රයක් එර්ඩොගන් ආන්ඩුවේ ප්‍රතිපත්ති, ව්‍යසනයකට පමනක් පාර කපා තිබේ. එය ලිබියාවේ හා සිරියාවේ අධිරාජ්‍යවාදී යුද්ධවලට අනුගත වී ඇති අතර තුර්කිය තුල කුර්දි ජනතාවට දිගින් දිගටම හිංසා පීඩා කරමින් COVID-19 “රංචු ප්‍රතිශක්තිය ”  යන මිනීමරු මූලෝපායට නැඹුරු විය. යුද්ධයට එරෙහි අරගලය සහ කම්කරුවන්ගේ හා මධ්‍යම පන්තියේ පීඩිත කොටස්වල ජීවිත, ජීවනෝපායන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රඳා පවතින්නේ, කම්කරු පන්තියේ අරගල ජාත්‍යන්තරව එක්සත් කිරීම මත වන අතර සමාජවාදය සඳහා විප්ලවීය අරගලයක දී අනෙක් පීඩිත පන්ති ඔවුන් පසුපස පෙලගස්වා ගත යුතුය. 

ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දිගහැරෙන අවශ්‍යතා 

නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ යුද අන්තරාය, දශක ගනනාවක් තිස්සේ  හජාජාක විසින් කර ඇති අනතුරු ඇඟවීම් හා විශ්ලේශන සනාථ කර ඇත. ගෝලීයකරන යුගයේ ධනේශ්වර සමාජයේ නොවිසඳිය හැකි භූදේශපාලනික ප්‍රතිවිරෝධතා, නැවතත් ලෝක යුද්ධයේ හෝ ලෝක සමාජවාදී විප්ලවයේ විකල්පය බිලියන ගනනක් කම්කරුවන් ඉදිරියේ මතු කරනු ඇති බව හජාජාක අවධාරනය කර තිබේ. ස්ටැලින්වාදීන් විසින්  1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම, ස්ටැලින්ගේ ජාතිකවාදී න්‍යාය වූ " තනි රටේ සමාජවාදයේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීම් සනාථ කලේය.  කෙසේ වෙතත්, ප්‍රථම ලෝක යුද්ධය පුපුරා යාමටත්  රුසියානු විප්ලවයටත් තුඩු දුන් ධනවාදයේ ප්‍රතිඝතිතා විසඳීමට හෝ 1917 ඔක්තෝබර් මාසයේ දී විවෘතවූ ලෝක සමාජවාදී විප්ලවයේ යුගය අවසන් කිරීමට හැකිවී නැත.

1999 සර්බියාවේ නේටෝ යුද්ධය සහ ඉරාකයට නොනැවතී බෝම්බ හෙලීම විශ්ලේෂනය කරමින් ලෝසවෙඅ කර්තෘ මන්ඬලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, ස්ටැලින්වාදීන් සෝවියට් සංගමයේ හා නැගෙනහිර යුරෝපයේ ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම මගින් මුදා හරින ලද පුපුරන සුලු භූදේශපාලනික ගැටුම්වල වැදගත්කම පෙන්වා දුන්නේය. ඔහු මෙසේ ලිවීය:

අධිරාජ්‍යවාදයේ වර්ධනය, පසුගිය ශතවර්ෂෂය අවසානයේ දී ලෝකය විග්‍රහ කිරීමට ප්‍රධාන බලවතුන් ගත් උත්සාහය දැකගත්තා සේම, සෝවියට් සංගමය විසුරුවා හැරීම, නැගෙනහිර යුරෝපයේ, රුසියාවේ සහ මධ්‍යම ආසියාවේ බල රික්තයක් නිර්මානය කර ඇති අතර එය යලි වතාවක් ලෝකය බෙදා වෙන්කිරීම නොවැලැක්විය හැකි දෙයක් බවට පත්කර තිබේ. මෙම තීරනාත්මක අවස්ථාවේදී ප්‍රධානකොටම යුගෝස්ලාවියාව වැදගත් වන්නේ, එය ප්‍රධාන ලෝක බලවතුන් පැතිරීමට අපේක්ෂා කරන විශාල භූමි ප්‍රදේශයක බටහිර පරිධිය මත පිහිටා තිබීමයි. එක්සත් ජනපදය, ජර්මනිය, ජපානය, ප්‍රන්සය, බ්‍රිතාන්‍යය සහ අනෙකුත් බලවතුන්ට මෙම ප්‍රදේශය විවෘත වීම දෙස උදාසීනව බලාසිටීමට නොහැකිය. කලාපයට ප්‍රවේශ වීම සහ එහි අමුද්‍රව්‍ය, ශ්‍රමය සහ වෙලඳපල පාලනය කිරීම සඳහා අරගලයක් දිග හැරෙමින් පවතින අතර එය පසුගිය ශතවර්ෂයේ “අප්‍රිකාව සඳහා පොරබැදීම” අභිබවා යයි.

" යුද්ධ මාලාවක් " එලඹෙමින් තිබෙන බවට අනතුරු අඟවමින් නෝර්ත් සඳහන් කලේ, " රුසියාව සමග ගැටුම් සඳහා ශක්‍යතාවය ඇත්තටම වැඩි වී ඇත, " : පොදු සතුරා ලෙස සැලකූ සෝවියට් සංගමය අතුරුදහන් වීමේ බලපෑම, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය එකමුතු කරයි. යුරෝපීය ධනේශ්වරය, එක්සත් ජනපදයට යටත් ස්ථානයක් සදාකාලිකව පිිලි නොගනු ඇත.  ධනේශ්වරය එයින් සෑහීමකට පත් නොවනු ඇත. එක්සත් ජනපදය සිය වාසිය ලබා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ එහි ස්ථාවරය අඛන්ඩව ඛාදනය වනු ඇත. ”

චීනය තුල ස්ටැලින්වාදය විසින් ධනවාදය  යලි පිහිටුවීම පිලිබඳ ඇඟවුම් ද නෝර්ත් විමසා බැලීය, චීනයේ කර්මාන්ත වර්ධනය, ලෝක වෙලඳපොලට හා නවීන තාක්ෂනය වෙත ප්‍රවේශ වීම මත පදනම් වේ: " එක්සත් ජනපදය හා චීනය අතර විවෘත ගැටුම් නොවැලැක්විය හැකි ය. අධිරාජ්‍යවාදී බලවේගයක් නොව ඓතිහාසිකව පීඩිත රටක් වන චීනය, ධනවාදය පුනස්ථාපනය කිරීමේ මාවතේ ගමන් කරමින් සිටී: එය ප්‍රධාන කලාපීය ආර්ථික බලවතෙකු වීමට අපේක්ෂා කරයි. එක්සත් ජනපද පුවත්පත්වල වර්තමාන චීන විරෝධී උමතුවෙන් හෙලි වන පරිදි, එවැනි වර්ධනයකට ඇමරිකානු පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටසක් දැඩි ලෙස විරුද්ධ ය. ”

නැගෙනහිර මධ්‍යධරනී ආරවුල වටා ඇති යුද්ධ හා ගැටුම්වල සංකීර්න පැටලීම පෙන්නුම් කරන්නේ, දශක දෙකකට පෙර හජාජාක විසින් විශ්ලේෂනය කරන ලද අර්බුදයේ අතිශය දියුනු අවධියකි. මැද පෙරදිග පුරා ද බෝල්කන් අර්ධද්වීපයේ සිට උතුරු අප්‍රිකාව හරහා මධ්‍යම ආසියාව හා මැද පෙරදිග දක්වා වන පුලුල් වක්‍රයක් තුල, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මිලිටරි බලය යොදා ගනිමින් එහි ආර්ථික හා සමාජ පරිහානිය ජයගැනීමට ගත් උත්සාහය, අසාර්ථක වී තිබේ.

ඇෆ්ගනිස්ථානය (2001), ඉරාකය (2003), ලිබියාව සහ සිරියාව (2011)  තුල දියත් කල අධිරාජ්‍යවාදී යුද්ධ ව්‍යසනයකට තුඩුදී ඇත. ලෝක ආධිපත්‍යය සඳහා සටන් කල නමුත්, ඉස්ලාමීය ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ලෙස, නොපැවති “ඉරාක ජනඝාතක ආයුධ” සොයා යාමක් ලෙස සහ මැද පෙරදිග ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට ආධාරයක් ලෙස, ඔවුන් ජනතාවට අලෙවි කරන ලද්දේ මුසාවාද ය. ඔවුන් දේශපාලන සංස්ථාපිතය අපකීර්තියට පත් කර තිබේ. 2002-2003 ඉරාක යුද්ධයට එරෙහිව ලොව පුරා පැවති විරෝධතාවලට මිලියන ගනන් ජනතාව සහභාගී වූහ. එතැන් පටන් මෙම යුද්ධ, මිලියන ගනනක් මරනයට පත් කර, මිලියන ගනන් දෙනාට තම නිවෙස්වලින් පලා යාමට බල කර ඇත.

මෙම යුද්ධ, නේටෝ සන්ධානය බිඳවැටීමටත් නව ලෝක යුද්ධයක් කරා තල්ලුවීමටත් වේදිකාව සකසා ඇත. යුරෝපයේ සහ මැද පෙරදිග එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සැලකිය යුතු මහ බල ප්‍රතිවාදීන්ට මුහුන දෙයි. දෙවන ලෝක යුද්ධය අවසානයේ නාසි තන්ත්‍රය බිඳ වැටීමෙන් පසු ප්‍රථම වතාවට යුරෝපයේ දී ජර්මනිය, සිය විදේශ ප්‍රතිපත්තිය නැවත මිලිටරීකරනය කරන බව නිවේදනය කර ඇත. 2016 සිට බ්‍රෙක්සිට් මඟින්, ලන්ඩනය එහි සැලසුම් නිෂේධ කිරීම වලක්වා ගැනීමෙන් පසුව බර්ලිනය සහ පැරිසිය, යුරෝපා සංගම් මිලිටරි ප්‍රතිපත්තියක් වොෂින්ටනයෙන් ස්වාධීනව සැලසුම් කිරීමට නැවත නැවතත් ප්‍රතිඥා දී තිබේ.

මධ්‍යධරනී වෙරල තීරය සහ මැද පෙරදිග හරහා වොෂින්ටනය, දැන් බලවත් එදිරිවාදිකම්වලට මුහුන දී සිටී. එහි යුද්ධ ඉරාකයේ සහ සිරියාවේ ඉරාන ගැති පාලන තන්ත්‍රයන් ශක්තිමත් කර ඇති අතර රුසියාව ද ඒ රටවලට සහාය දක්වයි.

වොෂිංටනය සිය විශාලතම ගෝලීය ප්‍රතිමල්ලවයා ලෙස හඳුනාගෙන ඇති චීනය ද වැඩි වැඩියෙන් බලපෑම් කරයි. එහි තීරුව හා මාවත (බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිටියේෂන්) (BRI) යටතේ මැදපෙරදිග පුරා බලශක්ති, යටිතල පහසුකම් සහ කාර්මික ව්‍යාපෘති සංවර්ධනය කර ඇති හෙයින් එය, ඉරානය, ඉරාකය, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් වැනි රටවල්වල විශාලතම වෙලඳ හවුල්කරුවා බවට පත්ව ඇත. ජූලි මාසයේදී එය ඉරානය සමඟ ඩොලර් බිලියන 400 ක ආයෝජනයක් සහ එක්සත් ජනපද ප්‍රහාරයකදී අන්‍යෝන්‍ය ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධ ගිවිසුමක් ඉදිරිපත් කල බව වාර්තා විය.

මෙය, 1990 ගනන්වල ප්‍රම්ඛ පෙලේ මූලෝපායඥයින් විසින් සැලසුම් කරන ලද, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය තීරනාත්මක පසුබෑමකට ලක්ව ඇත. 1997 දී එක්සත් ජනපදයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නිව් බ්‍රෙසින්ස්කි, යුරේසියාව “ලෝකයේ අක්ෂගත සුපිරි මහාද්වීපය” ලෙස හැඳින්වූ අතර, “යුරේසියානු භූමි භාගය මත බලය බෙදා හැරීමෙන් සිදුවන්නේ කුමක්ද යන්න ඇමරිකාවේ ගෝලීය ප්‍රමුඛතාවයට හා ඓතිහාසික උරුමයට තීරනාත්මක වැදගත්කමක් ලබා දෙනු ඇත ... අස්ථාවර යුරේසියාවේ ක්ෂනික කර්තව්‍යය වන්නේ, කිසිදු රාජ්‍යයක් හෝ රාජ්‍ය සංයෝජනයක් මගින් එක්සත් ජනපදය නෙරපා හැරීමේ හෝ එහි තීරනාත්මක කාර්යභාරය අඩු කිරීමේ හැකියාව ලබා නොගැනීමට වගබලා ගැනීමයි. ”

නැටෝ සන්ධානය නැගෙනහිර මධ්‍යධරනී මුහුදේදී බිඳී යත්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, නැටෝව ඇතුලුව යුරේසියානු භූමි ප්‍රදේශය පුරා විසිරී සිටින විභව සතුරන් හා ප්‍රතිවාදීන්ට මුහුන දෙයි.

මෙම අසාමාන්‍ය තියනු ගැටුම්, නේටෝව විසින් නැගෙනහිර මධ්‍යධරනී අර්බුදයට සාමකාමී, දිගුකාලීන විසඳුමක් දීමෙන් වලක්වයි. ජර්මානු විදේශ ඇමති හයිකෝ මාස් ඇතන්ස් සහ අන්කාරා සිට ආපසු පැමිනීමෙන් පසු ප්‍රන්ස නිලධාරීන්ගේ රැස්වීමක් අමතමින් මෙසේ පැවසීය: “එක්සත් ජනපදය චීනය සමඟ ඇති එදිරිවාදිකම් නමැති කාචය තුලින් සෙසු ලෝකය දෙස අන් කවර කලෙකටත් වඩා සෘජුවම බලයි ...ස්ථාවරත්වය සහතික කරන  ගෝලීය බලවේගයක කාර්යභාරය ඉටු කිරීම සඳහා වන ඇමරිකානු සූදානම,  පහත වැටී ඇත. ”

පලමුවන ලෝක සංග්‍රාමය පුපුරා යාමෙන් පසු මාක්ස්වාදී ව්‍යාපාරය අවධාරනය කල පරිදි, යුද අන්තරාය පිලිබඳ වගකීම පැවරෙන්නේ, කොතරම් ආක්‍රමනශීලී වුවත්, එක් හෝ තවත් අධිරාජ්‍යවාදී රටක් හෝ දේශපාලනඥයෙකු මත නොව, සමස්තයක් වශයෙන් ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය මත ය. යුරෝපීය අධිරාජ්‍යවාදය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බංකොලොත් භාවයට විකල්පයක් නොවේ. ඇත්ත වශයෙන්ම, මධ්‍යධරනී මුහුදේ තමන්ගේම විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පැරිස් සහ බර්ලිනයේ ආරම්භක උත්සාහය, වේගයෙන් පුපුරන සුලු ගැටුමකට තුඩු දී තිබේ. පසුගිය ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙකක දී එකිනෙකා සමඟ සටන් කල ජර්මානු සහ ප්‍රන්ස අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා, ලෝකයේ ඊටත් වඩා විශාල කොටස් කොල්ලකෑමට පෙලඹෙන තතු යටතේ කෙතරම් දුරකට අනුකූල වන්නේ ද යන්න සැක සහිතය. 

සුලු ධනේශ්වර පක්ෂවල යුද ගැති භූමිකාව

නව ලෝක යුද්ධයක් සඳහා වන ධනේශ්වර බලවතුන්ගේ සර්පිලාකාර ගමන නැවැත්වීමට ඇති එකම ක්‍රමය, විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත යුද්ධයට, වසංගතයට හා ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ අරගල ජාත්‍යන්තරව ඒකාබද්ධ කිරීමයි. 2018 සිට ජාත්‍යන්තර පන්ති අරගලයේ නැගීම සහ කම්කරුවන් හා තරුනයින් අතර සමාජවාදය සඳහා වැඩෙන යොමුව පෙන්නුම් කරන්නේ, වෛෂයික තත්ත්වය තුල එවැනි ප්‍රතිපත්තියක පදනම පවතින බවයි. ප්‍රධාන බාධකය, කම්කරු පන්ති විප්ලවවාදී නායකත්වයේ අර්බුදයයි.

ස්ථාපිත වෘත්තීය සමිති හා පක්ෂවලින් ස්වාධීනව හෝ ඒවාට විපක්ෂව අරගලයේ යෙදී සිටිය ද, කම්කරුවෝ තවමත්, ධනවත් මධ්‍යම පන්තියේ ව්‍යාජ වාම පක්ෂවල ඉතිරිව ඇති බලපෑමට මුහුන දෙති. ස්ටැලින්වාදයේ හා අනන්‍යතා දේශපාලනයේ සම්මිශ්‍රනයක් මත පදනම් වූ මෙම බලවේග, විප්ලවයට සවිඥානිකවම විරුද්ධ වන අතර, කම්කරුවන් ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියට බැඳ තැබීමට උත්සාහ කරති. 2011 සහ 2013 අතර ඊජිප්තු විප්ලවයේ මහජන නැගිටීම් අතරතුර ඔවුන්, බලය ලබා ගැනීමට සූදානම් වෙමින් සිටින ඊජිප්තු ධනේශ්වරයේ ඕනෑම කන්ඩායමකට සහයෝගය දෙන ලෙස කම්කරුවන් අතර ප‍්‍රචාරය කලේය. -පලමුව මිලිටරි ජුන්ටාව, පසුව මුස්ලිම් සහෝදරත්වය සහ අවසානයේ සිසි ආඥාදායකත්වය - . මෙය අවසානයේ හේතු වුනේ, 2013 දී සිසි මිලිටරි ආඥාදායකත්වය තහවුරු කිරීමට සහ ඊජිප්තු කම්කරුවන්ගේ නැගිටීම තලා දැමීමටය .

දැන් ඔවුන් ග්‍රීසියේ හා තුර්කියේ කම්කරුවන් තම රටේ ජාතික ආන්ඩු සහ මිලිටරියට සහයෝගය දිය යුතු බව පවසමින් ඔවුන් යුද්ධයට ගැට ගැසීම පිනිස කටයුතු කරමින් සිටී. වඩාත්ම කැපී පෙනෙන උදාහරනය ග්‍රීසියේ සිරිසා පක්ෂයයි. 1968 පශ්චාත් මධ්‍යම පන්තියේ ශිෂ්‍ය ව්‍යාපාරය පදනම් කරගත් ගෝලීයකරන විරෝධී ව්‍යාපාර හා ස්ටැලින්වාදී ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ (කේකේඊ) කැබිලිති අතර සන්ධානයක් වන සිරිසා, මිට්සෝටකිස් ආන්ඩුවේ මිලිටරිවාදී පෙලගැස්මට දැඩිසේ සහාය දක්වයි.

ග්‍රීසියේ දී සිරිසා නායක හා හිටපු අගමැති ඇලෙක්සිස් සිප්රාස්, නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ආරාවුල මුල්කරගෙන, තුර්කි යාත්‍රාවලට එරෙහිව ග්‍රීක හමුදාව බලමුලු ගැන්වීම සඳහා වූ ආයාචනයක් සමඟ ප්‍රතිචාර දැක්වීය: “මෙම නීති විරෝධී භූ කම්පන ක්‍රියාකාරකම් වැලක්විය යුතු හා වලක්වා ගත හැකි ආකාරය 2018 ඔක්තෝබර් මාසයේ සිට අපේ සන්නද්ධ හමුදාවන් දන්නා දෙයකි.  ඔවුන් පලදායී ලෙස එවැන්නක් සඳහා උත්සාහ දරා ඇත. ඔවුන්ගේ හැකියාවන් ගැන අපට පූර්න විශ්වාසයක් තිබෙනවා. ”

ග්‍රීක ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා “දේශප්‍රේමී ස්ථාවරයක්” සඳහා ඉල්ලීම් කරමින් සර්වභෞමිකවාදය” හෙලා දකිමින් කේකේඊ විසින්ම සිප්‍රාස්ගේ ස්වෝත්තමවාදී ප්‍රකාශ අඹරවා දැමීය. එය අවධාරනය කලේ, “අප සියලු දෙනා ග්‍රීසියට මුල් තැන දිය යුත්තේ කම්කරුවන්, ගොවීන්, අරගල කරන ස්වයං රැකියාවල නියුතු වෙලඳුන්, ශිල්පීන්, විද්‍යාඥයින්, පිරිමින්, කාන්තාවන්, තරුනයින් හා විශ්‍රාමිකයන් එකතු කරමිනි. ඒකාධිකාර, සර්වභෞමිකවාදය, මහා ප්‍රාග්ධනය සහ විවිධ ස්වරූපවලින් පැමිනෙන ඔවුන්ගේ දේශපාලන නියෝජිතයින්ගෙන් යුත් ග්‍රීසියක් සඳහා නොවේ. ”

ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් කේකේඊ සහ ස්ටැලින්වාදී තුර්කි කොමියුනිස්ට් පක්ෂය (ටීකේපී) ලොසාන් ගිවිසුමට සහ බෝල්කන්හි ධනවාදී ජාතික රාජ්‍ය ක්‍රමයට සහය පල කරති. ඔවුන් ප්‍රකාශ කරන්නේ, තමන් “දේශසීමා උල්ලංඝනය කිරීමට සහ කලාපයේ දේශසීමා නිර්වචනය කර ඇති ජාත්‍යන්තර ගිවිසුම් ගැන ප්‍රශ්න කිරීමට” සහ “දේශසීමා වෙනස් කිරීමටත් ඒවා නිර්වචනය කරන ගිවිසුම්වලට විරුද්ධ වීම” හෙලා දකින බවයි. මෙයින් අදහස් කරන්නේ KKE සහ TKP මෙම දේශසීමා හරහා කම්කරුවන් එක්සත් කිරීමේ අරගලය ප්‍රතික්ෂේප කරන අතර අධිරාජ්‍යවාදී යුද්ධ හා කුමන්ත්‍රන මඟින් ඇතිකරගත් ජාත්‍යන්තර ගිවිසුම්වලට යටත් වන බවයි. මෙයින් අදහස් කරන්නේ, KKE සහ TKP යුද්ධයක අවස්ථාවේ දී, එකිනෙකාට විරුද්ධව අද ධනවාදී රාජ්‍යය සමඟ එක්වනු ඇති බවයි.

තුර්කිය තුල පාලක පන්තියේ සාම්ප්‍රදායික පක්ෂය වන විපක්ෂ රිපබ්ලිකන් ජනතා පක්ෂය (CHP),  ජනාධිපති එර්ඩොගන් ආන්ඩුවේ නැ. මධ්‍යධරනී පිලිවෙතට සහාය පලකරයි. ග්‍රීසිය විසින් අල්ලාගෙන ඇති ඒජියන් මුහුදේ මතභේදාත්මක දූපත් සම්බන්ධයෙන් සීඑච්පී නායක කෙමාල් කාලාරෝğලු මීට පෙර ප්‍රකාශ කලේ, “ මම එම දූපත් සියල්ලම අල්ලා ගන්නෙමි" යනුවෙනි. කෙසේ නමුත්, වාමාංශික පක්ෂය ඇතුලු පක්ෂ මාලාවක්, (කලින් නිදහස් සහ සහයෝගිතා පක්ෂය, ÖDP)  කම්කරු පක්ෂය (EMEP) හා කම්කරු තුර්කි පක්ෂය (TIP), Chpට සහාය දෙන අතර ඒ තුල මුල්බැස ගනී. පසුගිය වසරේ පලාත් පාලන මැතිවරනයේදී  ඔවුන් CHP පුරපති අපේක්ෂකයන්ට පිටුබලය දුන්නේය.

කුර්දි ජාතික ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (HDP), එලෙසම එර්ඩොගන් එරෙහිව අඩු නපුර ලෙස, Chpට පිටුබලය දුන්නේය. කලාපය තුල සියලු ස්වභාවික සම්පත්, " සයිප්‍රස් දිවයින වටා  ඇති දේ තුර්කි හා ග්‍රීක සයිප්‍රස් ජනතාවට අයිතිය. මේ සම්පත් ඔවුන් විසින් එකවර හා එකසමානව භාවිතා කල යුතුය. " ග්‍රීක හා තුර්කි සයිප්‍රස් වැසියන් අතර සාකච්ඡා සඳහාවූ යෝජනා ගැන සඳහන් කරමින්, " සංවාදය පිලිබඳ  සියලු දේශපාලන, රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය නාලිකා විවෘතව තබන ” ලෙස ඉල්ලීය.

මෙම HDP ප්‍රකාශය, කුර්දි ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත් කම පිලිබඳ නිදසුනකි. සිරියාව තුල ඉන්නා එහි සගයන් ඇමරිකාව, ප්‍රන්සය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහචරයින් ලෙස ක්‍රියා කර ඇත. තුර්කිය තුලදී එය, කුර්දි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට සතුරු සහ යුරෝපා සංගමයට නැඹුරු වූ සීඑච්පී වැනි ප්‍රතිගාමී ධනේශ්වර පක්ෂ සමඟ සන්ධාන ගත වීමට උත්සාහ කරයි. මෙම ප්‍රතිපත්ති පිලිබිඹු කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට හැරීම HDP විසින් ප්‍රතික්ෂේප කරන බවයි: සියලු  රාජ්‍යතාන්ත්‍රික මාර්ග විවෘතව ඇත ද යුද ආතතිය ඉහල නඟිද්දී එයට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කල නොහැක්කේ, HDP නැඹුරු වී ඇති, එකිනෙකා සමඟ යුද්ධයකට තල්ලු වෙමින් සිටින, විවිධ අධිරාජ්‍යවාදී හා ධනපති බලවතුන් වෙත එහි නැඹුරුව නිසාය. 

ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය (එන්පීඒ) සහ ස්ටැලින්වාදී ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය ද සහයෝගය දෙන, ජීන් ලුක් මැලන්කෝලිගේ එල්එෆ්අයි යන Unsubmissive France පක්ෂය යන දෙකම, ග්‍රීක තුර්කි ආරවුල ගැන බිහිරන් සේ නිශ්ශබ්දව සිටිති. නේටෝව 2011දී පලමු ලිබියානු යුද්ධය දියත් කල අවස්ථාවේ මේ පක්ෂ ඊට උද්‍යෝගයෙන් සහාය දැක්වූහ. එන්පී ප්‍රකාශක ඔලිවර් බෙසන්සෙනොට්, ලිබියානු "කැරලිකරුවන්" සන්නද්ධ කිරීම වෙනුවෙන් පැරිසියේ හඬට නායකත්වය දුන්නේය.  පොලීසිය, හමුදාව හා වෘත්තීය සමිති නිලධරය සමග කිට්ටු බැඳීම් ඇති LFI, ප්‍රන්සයේදී කෙටුම්පත නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දක්වන යුද්ධයට ගැති පක්ෂය වේ.

ජාත්‍යන්තරවාදීන් ලෙස පෙනී සිටිමින් මෙම ජාතිකවාදී සංවිධාන වලට කම්කරුවන් බැඳ තැබීමට උත්සාහ කරන ව්‍යාජ වාම කන්ඬායම් වෙත විශේෂයෙන් ප්‍රතිගාමී කාර්යභාරයක් පැවරේ. විප්ලවවාදී කම්කරු පක්ෂයේ ( ඩීඅයිපී), ආර්ජන්ටිනාවේ කම්කරු පක්ෂයේ ( පීඕ) තුර්කි සහකරුවන් සහ එහි ග්‍රීක සහෝදර පක්ෂයේ, සවාස් මයිකල්-මාට්සාස්ගේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (ඊඊකේ) ක්‍රියාකාරිත්වය මෙයයි.

2015 ජනවාරියේ සිරිසාවේ ද්‍රෝහී මැතිවරන පොරොන්දු වලට ඔවුන් දුන් සහයෝගය සලකුනු කරන්නේ, කම්කරු පන්තිය කෙරෙහි ඔවුන්ගේ සතුරුකමය.  කේකේඊ, සිරිසා,ඇන්ටර්සියා සිට EEK දක්වා ද අනෙක් වාමාංශික සංවිධාන, අරාජකවාදී සහ අධිකාරී විරෝධී ව්‍යාපාර වැනි ජනප්‍රිය සංවිධානවල සියලු කම්කරුවන්ගේ බලගතු එක්සත් පෙරමුනක්,"  EEK විසින් කැඳවුම් කරන ලදී." කෙසේ වෙතත්, සිරිසා ධනේශ්වර ගැති පක්ෂයක් බව ඔවුහු දැන සිටියහ. සිය මං සලකුනු වසා දැමීමට එය, සිරිසාවට සහාය දෙන ලෙස ඡන්ද දායකයින්ට උපදෙස් දුන් අතර, " ධනේශ්වරය, එහි දේශපාලන කාර්ය මන්ඬලය, සියලු අවස්ථාවාදීන් හා ප්‍රාග්ධනයේ නියෝජිතයින්ගෙන් බිඳෙන ලෙස එහි නායකත්වයෙන්" ඉල්ලා සිටියේය.  

ඩීඅයිපී සම්බන්ධයෙන් ගත් කල, එය මැතිවරනය ආසන්නයේ දී මෙසේ පැවසීය: “සිරිසා නායකත්වය දුන්  කම්කරු පන්තියේ  සහ පීඩිතයින්ගේ කඳවුර, මෙතරම් ප්‍රබල ලෙස මැතිවරනයෙන් ජයගැනීම පිලිබඳව අපි සතුටු වන්නෙමු. ”

ග්‍රීක-තුර්කි ආරවුල පිලිබඳ ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය අද, ව්‍යාජ වාම පරිසරයේ ප්‍රතිගාමී ජාතිකවාදී දේශපාලනය ජාත්‍යන්තරවාදී වර්නයෙන් පින්තාරු කිරීමට උත්සාහ කරයි. එය තෙල් ලාභය ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ තෙල් සමාගම් වෙත යාමට ඉඩහැර, එය තමන් සතුකර ගැනීමට අසමත් වීම ගැන, ග්‍රීක හා තුර්කි ධනේශ්වරය විවේචනය කරයි: "ප්‍රශ්නයේ මේ කාරනය, එක් එක් රටේ පාලක පන්තීන්, මධ්‍යධරනී මුහුදේ ස්වාභාවික සම්පත්වල වැඩි පංඟව, ඔවුන්ගේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටින මහා බලවතුන් වෙත යාමට ඉඩ හැරීමය. මෙය ඊඑන්අයි, ටෝටල් හා ෂෙල් සමාගමත්, බීපී සහ එක්සෝන් අතරත් සටනක් මිස, ග්‍රීසියේ හා තුර්කියේ කම්කරුවන් අතර සටනක් නොවේ! ”

මධ්‍යධරනී තෙල් ධනය “ එහි නියම අයිතිකරුවන් වන පලස්තීන ජනතාවගෙන් ” උදුරා ගැනීම සම්බන්ධයෙන් ඊස්රායල රාජ්‍යය හෙලා දකින එය, බංකොලොත් ආයාචනයකින් අවසන් කරයි: “අපි යුද්ධයට එරෙහිව පන්ති යුද්ධය වේගවත් කරමු! ප්‍රධාන සතුරා ඉන්නේ අපේම රටවල් වලය. එනම් සිය අධිරාජ්‍යවාදී අනුග්‍රාහකයන්, ඔවුන්ගේ ආන්ඩු හා පාලන තන්ත්‍ර වෙනුවෙන් පෙනී සිටින,  ග්‍රීක හා තුර්කි ධනපතියන් ය. ”

අර්බුදකාරී කාලවලදී යුද්ධයේ බෙර වාදනය කිරීම සහ තමන්ගේම ධනේශ්වරය සමඟ පෙල ගැසීමේ දිගු ඉතිහාසයක් EEKට සහ D İPට ඇත. 2010 දී ඊස්රායලය තුර්කි පුරවැසියන් නව දෙනෙකු ඝාතනය කරමින්, මානුෂීය සැපයුම් රැගත් මාවි මාමාරා නෞකාවට පහර දුන් විට, තුර්කි, ඊස්රායල හා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා ඩීපීය ඉල්ලා සිටියේ නැත. ඒ වෙනුවට එය එර්ඩොගන් ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ, “ යුද නැව් යවන්න, ඊස්රායලයෙන් ආධාර නැව් ආපසු ගන්න! " කියාය.

ඊඊකේ සහ ඩීඅයිපී ඉදිරිදර්ශනය වන්නේ, ඔටෝමාන් අධිරාජ්‍යය  බෙදා වෙන්කිරීමෙන් අධිරාජ්‍යවාදය විසින් නිර්මානය කරන ලද කෘතිම රාජ්‍යයන් අතර කලාපයේ සම්පත් බෙදා හැරීමයි. ඇත්ත වශයෙන්ම, කලාපයේ සම්පත්,  සංකීර්න, එක පිට එක වැටෙන ජනවාර්ගික කන්ඩායම් අතර සාමකාමී ලෙස බෙදාහැරීමට නොහැකි වන්නේ, කලාපය තුල ජාතික රාජ්‍යයන්හි දේශසීමා සොයා ගැනීම අපහසු වීමේ එම කාරනය නිසාමය.  කලාපය සහ එහි ලාභය, හිටපු යටත් විජිත හා අර්ධ යටත් විජිත ධනේශ්වරයන් අනිවාර්යයෙන්ම යටත් භූමිකාවක් ඉටු කරන ලද, අධිරාජ්‍යවාදී යුද්ධ මගින් බෙදා ඇත.

ජාතික රාජ්‍යයන් අතර ලාභ හා භූමි ප්‍රදේශ බෙදීමේ බලාපොරොත්තු සුන්වූ හා ප්‍රතිගාමී කර්තව්‍යය, ධනේශ්වරය පිට වෙනුවට, කම්කරු පන්තිය පිට පැටවිය නොහැක. අනෙක් ජාතිකත්වයන්ට එරෙහිව ජාතික අවශ්‍යතා හොඳින් ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන්, ධනපති පන්තිය විවේචනය කිරීම ද නිරර්ථකය. ඊඊකේ සහ ඩීඅයිපී විසින් ඉදිරිපත් කරන මෙම බංකොලොත් ඉදිරිදර්ශනය, සෑම අවස්ථාවකම සිරිසා සහ සීඑච්පී ඉදිරිදර්ශනය වෙත වේගයෙන් ඇදී යයි. එහි අර්ථය, මධ්‍යධරනී හා ඒජියන් මුහුදේ තෙල් ලාභ බෙදීමට, ග්‍රීක සහ තුර්කි නාවික හමුදාව කටයුතු කරද්දී, ලාභ සඳහා විදේශීය සතුරාට එරෙහි යුද්ධයට කම්කරුවන් පෙලගැස්වීම ය.

සමාජවාදය සහ යුද්ධයට එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් සඳහා

ග්‍රීසියේ හා තුර්කියේ කම්කරුවන් සහ සොල්දාදුවන් එකිනෙකාට වෙඩි තැබීමට නියමිත සතුරන් ය යන ප්‍රතිගාමී බොරුව ප්‍රතික්ෂේප කර ඊට විරුද්ධ විය යුතුය. යුද්ධයට එරෙහි සටන සහ මධ්‍යධරනී මුහුදේ නිෂ්පාදන බලවේගයන්ගේ තාර්කික සංවර්ධනයක් සඳහා වන ව්‍යායාමය, මූල්‍ය වංශාධිපතියන් විසින් සංවිධානය කරන ලද කොල්ලයෙන් හා අරාජිකත්වයෙන් යුරේසියානු හා ගෝලීය සැපයුම් දාමයන්ගේ පාලනය, උදුරා සියතට ගැනීමේ කාර්යය කම්කරු පන්තිය හමුවේ මතු කරයි. මෙම මහා අරගලය, ජාතික රාජ්‍ය පද්ධතිය සහ සියලු ධනේශ්වර හා සුලු ධනේශ්වර පක්ෂ වලින් නිර්දය බිඳීමක් ඉල්ලා සිටියි.

ඔක්තෝබර් විප්ලවය, සෝවියට් සංගමය හා කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීමට මඟපෙන්වූ නොනවතින විප්ලවය පිලිබඳ ඉදිරිදර්ශනය පැහැදිලි කරමින් ට්‍රොට්ස්කි 1929 දී මෙසේ ලිවීය.

සමාජවාදී විප්ලවය, ජාතික සීමාවන් තුල සම්පූර්න කිරීම පිලිබඳව සිතීමටවත් නොහැකිය. ධනේශ්වර සමාජයේ අර්බුදයට එක් මූලික හේතුවක් වන්නේ එය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේග තවදුරටත් ජාතික රාජ්‍යයේ රාමුව තුල සාක්ෂාත් කල නොහැකි වීමයි. මෙය එක් අතකින් අධිරාජ්‍යවාදී යුද්ධ වලට ද, අනෙක් අතින් යුරෝපයේ එක්සත් ධනේශ්වර රාජ්‍යයන් පිලිබඳ මනෝරාජ්‍යයට ද ගමන්කර ඇත. සමාජවාදී විප්ලවය ආරම්භ වන්නේ ජාතික තලයෙනි, එය ජාත්‍යන්තර තලයේ දිග හැරෙන අතර එය ලෝක තලයේ පරිපූර්නත්වයට පත්වේ. මේ අනුව සමාජවාදී විප්ලවය, වචනයේ නව හා පුලුල් අර්ථයෙන් නොනවතින විප්ලවයක් බවට පත්වේ; එය සම්පූර්න වන්නේ, අපගේ මුලු පෘථිවියේම නව සමාජයේ අවසාන ජයග්‍රහනයෙන් පමනි.

දැන් හැරිය යුත්තේ, නිෂ්පාදනයේ ගෝලීයකරනයේ දශක තුනක කාලය තුල දැවැන්ත ලෙස ශක්තිමත් වී ඇති ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත ය. 1980 සිට කාර්මික කම්කරු පන්තිය පමනක් සිව් ගුනයකින් වැඩි වී ඇති අතර, එය දල වශයෙන් මිලියන 250 සිට බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා වැඩිවී ඇත. සමස්තයක් ලෙස ගත් කල, 1980 සිට 2010 දක්වා කාලය තුල කම්කරු පන්තිය බිලියන 1.2 කින් වර්ධනය විය. ගොවීන්ගෙන් සමන්විත ගෝලීය ශ්‍රම බලකායේ ප්‍රතිශතය 1991 සිට සියයට 44 සිට 28 දක්වා පහත වැටී ඇති අතර, මිලියන සිය ගනනක් ග්‍රාමීය ජනතාව රැකියා සොයා නගර කරා සංක්‍රමනය වෙති.

ඉදිරි ශතවර්ෂය තුල පමනක් බිලියනයකට අධික ජනතාවක් අප්‍රිකාවේ කම්කරු පන්ති ශ්‍රම බලකායට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2050 වන විට ලොව පුරා ප්‍රන්ස බස කථාකරන්නන්ගෙන් (බොහොමයක් වේගයෙන් කාර්මීකරනය වන උප සහරානු රටවල) සියයට 85 ක් අප්‍රිකාවේ ජීවත් විය හැකි බවට ගනන් බලා ඇත. විශේෂයෙන්ම එහි පැරනි අප්‍රිකානු යටත් විජිතයන්හි පුපුරා ගිය වැඩවර්ජන හා විරෝධතා හමුවේ, ප්‍රංශ ධනේශ්වරයට ඇති භීතිය , එම කාරනයට බැඳී ඇත. මෙම මිලියන 700 ක ජනතාවට සන්සන්දනාත්මකව, ප්‍රන්යේ ජනගහනය මිලියන 66.5 කි. 2050 ජනගහනය මිලියන 74 ක් වනු ඇතැයි ගනන් බලා තිබේ.

2018 සිට පන්ති අරගලයේ ජාත්‍යන්තර පුපුරායාම පිලිබිඹු කරන්නේ, ධනවාදය විසින් නිර්මානය කරන ලද සමාජ අසමානතාවයේ සහ මිලිටරි-පොලිස් ප්‍රචන්ඩත්වය පිලිබඳ දැවැන්ත මට්ටමේ පුපුරන සුලු දේශපාලන කෝපයයි. පැරනි යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල් දුසිම් ගනනක ද පැනනැඟි මහජන විරෝධතා සහ පන්ති අරගලවල රැල්ල, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහ 21 වන සියවසේ කර්මාන්ත හා ආර්ථිකය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය වන ශක්තිය ද පිලිබිඹු කරයි.

අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනවාදයට එරෙහි සමාජවාදී අරගලයක් තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැවැන්ත බලවේග ඒකාබද්ධ කිරීම, මධ්‍යධරනී ආරවුල විසින් මතු කරන ලද විශාල කර්තව්‍යයයි. ඉදිරි මාවත, ලෝක සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් ලෙස, යුරෝපා සංගමයට හා ලෝසැන් බේරුම්කරන ගිවිසුමට එරෙහිව, යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුක් සහ මැද පෙරදිග එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වූ විප්ලවීය අරගලයයි. මේ සෑම දෙයකින්ම අදහස් කරන්නේ, සෑම රටකම ධනේශ්වර සූරාකන්නන් සමඟ ජාතික සහයෝගීතාවය සඳහා වන සුලු ධනේශ්වර ආයාචනා වලට එරෙහිව, වෙනත් ජාතිකත්වයන්හි කම්කරු අරගල සමඟ විප්ලවවාදී පන්ති එකමුතුව ඉදිරියට ගෙන යාමයි.

තව ද පන්ති අරගලයේ අවසන් වසර දෙක, ඔක්තෝබර් විප්ලවයේ සහ 20 වන සියවසේ වැදගත් පාඩම් යලි සනාථ කර තිබේ: කම්කරු පන්තියට ස්වයංසිද්ධ වැඩ වර්ජන හා විරෝධතා මගින් ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැඟීම සහ ධනවාදයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි විප්ලවවාදී මූලෝපාය පෙරට ගෙනයා නොහැකිය. සෑම රටකම ධනේශ්වර යුදවාදීන් පිටුපස කම්කරුවන් දැක්කීමට උත්සාහ කරන සුලු ධනේශ්වර පක්ෂවලට එරෙහි ජාත්‍යන්තරවාදය සහ සමාජවාදය සඳහා අරගලය කල හැක්කේ දැනුවත්ව පමනි. ඒ සඳහා කම්කරු පන්තියේ විප්ලවීය දේශපාලන නායකත්වයක් ඉල්ලා සිටියි. දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදී හා ධනේශ්වර-ජාතිකවාදී පක්ෂ විසින් පෝෂනය කරන ලද ජාතිකවාදී දිශානතිය, බිඳ දැමීමේ අරගලයට නායකත්වය දිය හැක්කේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට පමනි.

සමාජවාදය සඳහා ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් තුල, කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරය එක්සත් කිරීම සඳහා, මැදපෙරදිග, යුරෝපය සහ ජාත්‍යන්තරව සෑම රටකම හජාජාක ශාඛා ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය වේ. හජාජාක ආධාරකරුවන්ගෙන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයින්ගෙන් හජාජාක ඉල්ලා සිටින්නේ, ඊට ක්‍රියාකාරී සහයෝගය ලබා දෙන ලෙසත්,  ජාක අමතන ලෙසත්, යුද්ධයට එරෙහි අරගලයේදී කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී නායකත්වය ලෙස හජාජාක ගොඩනැගීමට සටන් කරන ලෙසත් ය.

Loading