වතු කම්කරුවෝ වැටුප් කප්පාදු කිරීමට එරෙහිව වර්ජනය කරති

දැරිය නොහැකි මට්ටමට වැඩ ඉලක්ක ඉහල දැමීම තුලින් වතු සමාගම් විසින් ක්‍රියාවට දමා ඇති වැටුප් හා දීමනා කප්පාදුවට එරෙහිව පසුගිය සතියේ නුවර-එලිය දිස්ත්‍රික්කයේ හැටන් සහ මස්කෙලිය ප්‍රදේශයන් හි වතු ගනනාවක කම්කරුවෝ සිය ගනනක් වැඩවර්ජන වල නිරත වුහ. වතු සමාගම් විසින් මෙම වැඩ වේගවත් කිරීම සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දමනු ලබන්නේ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), කඳු රට ජනතා පෙරමුන (යූපීඑෆ්), දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවනු ලබන ලංකා ජාතික වතු කම්කරු සංගමය(එල්ජේඑඩබ්ලිව්යූ) හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසය (ඩීඩබ්ලිව්සී) ඇතුළු සියලු වතු වෘත්තීය සමිතිවල ඍජු සහයෝගය ඇතිවය. 

මස්කෙලිය වැවිලි සමාගම විසින් පාලනය කරනු ලබන මස්කෙලිය ස්ට්‍රැත්ස්පේ වත්තේ අගාරවත්ත කොටසේ කම්කරුවෝ 175 ක් පමන සැප්තැම්බර් 9 සහ 10 දෙදින වර්ජනයක යෙදී ගත්හ. හැටන් වැවිලි සමාගමට අයිති හැටන් ස්ට්‍රැත්ඩන් වත්තේ සෙම්පහවත්ත කොටසේ කම්කරුවන් 150 ක් ද සැප්තැම්බර් 10 වෙනිදා සිට දින තුනක අඛන්ඩ වර්ජනයක යෙදුන අතර සැප්තැම්බර් 11 දා, හොරන වැවිලි සමාගම විසින් පාලනය කරනු ලබන මස්කෙලිය අප්-කොට්හි ගවරවිල වත්තේ තුන්වන කොටසේ කම්කරුවෝ සියයකට වැඩි පිරිසක් වැඩ  වර්ජනය කලහ. 

වෘත්තීය සමිති, සමාගම්වල කප්පාදු සැලසුම්වලට සහය දෙන තතු තුල මෙම සියලුම විරෝධතා වර්ජන  මතු වුයේ  සමිතිවලට පිටින් කම්කරුවන්ගේ ස්වයංසිද්ධ අරගල ලෙසය. වර්ජනය වතු කම්කරුවන් අතර පුළුල්ව පැතිර යනු ඇතැයි බිය වූ වෘත්තීය සමිති නායකයන් ක්ෂිනිකව මැදිහත්  වී ඒවා නතර කිරීමට පියවර ගෙන ඇත. 

වර්තමාන රාජපක්ෂ ආන්ඩුවේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් සහ පසුගිය ආන්ඩුවේ වතු යටිතල පහසුකම් ඇමති සහ එන්යූඩබ්ලිව් නායක පී. දිගම්බරම් වර්ජන නතර කිරීම සඳහා පුද්ගලිකව මැදිහත් වී ඇත. වතු  පාලනාධිකාරයන් සමග සාකච්චා කර ප්‍රශ්න විසඳන බවට ඔවුන් කම්කරුවනට පොරොන්දු වී තිබේ. පසුගිය කාල පරිච්ඡේදය පුරාම වෘත්තීය සමිති වතු කම්කරුවන්ට මෙවන් පොරොන්දු  දී ඇතත් ඔවුන්ගේ කිසිදු ප්‍රශ්නයක් මෙතෙක් විසඳී නැත.

ස්ට්‍රැත්ඩන් වත්තේ තේ දලු නෙලීමේ දෛනික ඉලක්කය කිලෝ 19 කි. අවම වශයෙන් දළු කිලෝ 12 ක් කැඩීමට කම්කරුවන් අසමත් වුවහොත් ඔවුන්ට ලැබෙන්නේ දෛනික මුලික වැටුපෙන් භාගයක් හෙවත් රුපියල් 350 ක් පමනි. සැප්තැම්බර් 14 වෙනිදා හැටන් සහකාර කම්කරු කොමසාරිස් සහ වතු සමාගම් සමග පැවති සාකච්චාවක දී සීඩබ්ලිව්සී සහ එන්යූඩබ්ලිව් ඇතුලු සාකච්චාවට සහභාගී වූ සියලු සමිති මෙම වැටුප් කප්පාදුවට එකඟ වී ඇති බව එම වත්තේ කම්කරුවෝ පැවසූහ.

දෛනික දලු ඉලක්කය කිලෝ 18 ක් වන ස්ට්‍රැත්ස්පේ වත්තේ  වැටුප් කප්පාදුවට ද වෘත්තීය සමිති එකඟ වී ඇත. වතු සමිති සහ වතු සමාගම් අතර 2018 දී අත්සන් කෙරුන සාමුහික වැටුප් ගිවිසුමට ශ්‍රම පලදායිත්වය ඉහල දැමීමේ සහ වැටුප් කප්පාදු කිරීමේ කොන්දේසි ඇතුලත් විය. වතු කම්කරුවන්ගේ විරෝධය තිබිය දීම වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව පසුගිය වසර එකහමාර තුල  එම කොන්දේසි ක්‍රමානුකුලව ක්‍රියාවට දැමීම වතු සමාගම් විසින් ආරම්භ කෙරුනි. 

තේ දලු කැඩීමේ ඉලක්කය ඉහල දැමීම මගින් වතු සමාගම් අපේක්ෂා කරන්නේ ලෝක වෙලඳපොල තුල තරඟ වැදී සිටින ඉන්දියාව  සහ කෙන්යාව ඇතුලු සෙසු තේ නිෂ්පාදන රටවල දෛනික නිෂ්පාදන ඉලක්ක වලට සමාන මට්ටමට ශ්‍රී ලංකාවේ දෛනික ඉලක්ක ඉහලදමා ගැනීමකි. වතු සමාගම් වලට අනුව, ලංකාවේ තනි කම්කරුවෙකුගේ දෛනික තේ දළු නෙලීමේ සාමාන්‍යය කිලෝ 18-20 කි.  ඉන්දියාවේ සහ කෙන්යාවේ එය පිලිවෙලින් කිලෝ 40 ක් හා 60 කි.

වතු සමාගම් විසින් යෝජිත ආදායම් බෙදීමේ හෙවත් කොන්ත්‍රාත් වගා ක්‍රමය මෙම සැලසුම් වල කොටසකි. ඒ යටතේ නිශ්චිත තේ පඳුරු සංඛ්‍යාවක්, එනම් පඳුරු 1000-1500 ක් සහිත ඉඩම් කට්ටියක් කම්කරු පවුලකට ලබා දෙයි. එහි සියලු නඩත්තු කටයුතු  සහ දලු නෙලීම ඔවුන් විසින් කල යුතුය. පොහොර සහ කෘෂිරසායනිකයන් සමාගම විසින් සපයනු ලබන අතර ඒ සඳහා වැය වන මුදල කම්කරුවන්ගෙන් අයකර ගනී. කම්කරුවාට ලැබෙන්නේ එම වියදම් අඩුකිරීමෙන් පසු ඉතිරිවන ආදායමෙන් කොටසකි. වැඩ වසම් යුගයේ අඳගොවි ක්‍රමයට සමාන මෙම ක්‍රමය මගින් කම්කරුවන් මත  වඩාත් රුදුරු ශ්‍රම සුරා කෑමේ කොන්දේසි පැටවෙන අතර අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාමික දීමනා අහෝසි කෙරෙයි.

එපමනක් නොව, "වතු නව ගම්මාන" පිහිටුවීමේ සැලැස්ම යටතේ වතු කම්කරුවන් වතු වලින් ඉවත් කිරීමේ සහ වතු සමාගම් විසින් දැනට සපයන සීමිත නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම්  සැපයීම ද  නතර කෙරෙයි.

රුපියල් 500 ක තම දෛනික වැටුප 1000 ක් කරන ලෙස ඉල්ලා 200,000 වතු කම්කරුවන් 2018 දෙසැම්බර් මාසයේ ගෙන ගිය අරගලය වතු වෘත්තීය සමිති විසින් පාවාදුනි. වතු කම්කරුවන්ගේ චන්ද ගසාකෑම සඳහා ඔවුන්ගේ රුපියල් 1000 වැටුප් ඉල්ලීම ලබා දෙන බවට ජනාධිපතිවරනයේ දී සහ ඉන් පසුව ද ගෝඨාභය රාජපක්ෂ සහ සීඩබ්ලිව්සී නායකයෝ  පොරොන්දු වුහ. ඒ  වෙනුවට දැන් කම්කරුවන් මත දුෂ්කර වැඩ කොන්දේසි ක්‍රියාවට දැමීමට හා වැටුප් කප්පාදු  කිරීමේ සැලසුම් ක්‍රියාවට දැමෙන්නේ වතු සමාගම්, රාජපක්ෂ ආන්ඩුව සහ වෘත්තීය සමිතිවල අන්‍යොන්‍ය අවබෝධය ඇතිවය.  

නිසිලෙස නඩත්තු නොකිරීම නිසා වතු නිසරු වී ඇති හෙයින් වතු හාම්පුතුන් නියම කරන දෛනික තේ දලු ප්‍රමානය සැපයීම අතිශයින් ම දුෂ්කර බව කම්කරුවෝ  කියති.  දළු නෙලීමේ දී තමන්  මුහුන දෙන දුෂ්කර කොන්දේසි ගැන ස්ට්‍රැත්ස්පේ වත්තේ කම්කරුවෙක් මෙසේ සඳහන් කලේය: "වත්ත එලිපෙහෙලි කරන්න පාලනාධිකාරියේ කිසි උනන්දුවක් නැහැ. තනකොල වැවිලා. අඩිය තියල යන්න බැහැ. ඒ මදිවට කූඩැල්ලන්, සර්පයින් සහ  දෙබරු  පහර දෙනවා. මේ අවුරුද්දේ දෙබරු විදලා වතු හතරක කම්කරුවෝ හතර දෙනෙක් මැරුන. තේ පඳුරු වල වැඩීමට  අවශ්‍ය පොහොර සහ දිලීර නාශක  යෙදීම කරන්නේ නැහැ. ඒ නිසා දලු අඩුයි.  ඉල්ලන දවසේ ටාගට් එක දෙන්න බැහැ".  

ස්ට්‍රැත්ඩන් වත්තේ මෝහන්රාජ් මෙසේ පැවසීය: "වත්තේ හෙක්ටයාර් 40 ක් වගා නොකර අතහැර දාලා. තවත් හෙක්ටයාර් 9 ක් පුද්ගලික ව්‍යාපාරිකයෙකුට දීලා. දැන් ඉතිරිවෙලා තියෙන්න පොඩි කොටසක්.  දලු නැහැ. ආදායම අඩුයි. ලැබෙන වැටුපෙන් කෑමට අවශ්‍ය බඩු  ටිකවත් ගන්න  බැහැ. ඒ නිසා කම්කරුවන් වැඩි දෙනෙක් වෙනත් රක්ෂා හොයා ගෙන කොලඹ යනවා. කාන්තාවන් මැදපෙරදිග යනවා. වර්ජනය දවසේ ඇවිල්ලා ජීවන් තොන්ඩමන්, දිගම්බරම් දෙන්නම කිව්වා වර්ජනය නතර කරන්න කියා. නමුත් විසඳුමක් නැහැ. සියලුම සමිති වතු සමාගම්වලටයි, ආන්ඩුවටයි  සහයෝගය දෙනවා. එහෙම නැතිව සමාගම් වලට මේ විදිහට වැඩ කරන්න බැහැ".      

"වතු කම්කරුවන්ගේ අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීමට වෘත්තීය සමිති වලින් ඉවත් වී කම්කරුවන්ගෙ ක්‍රියාකාරී කමිටු ගොඩ  නැගීමට ඔබ කරන යෝජනාවට මම එකඟයි.  අපේ අයිතීන් දිනා ගැනීමේ අරගලය අපිම සංව්ධානය කරන්න ඕන" යැයි මෝහන්රාජ්  පැවසීය.

පැය අටම එක දිගට වැඩ කලත් ඉලක්කය ලබාදිය නොහැකි බව ස්ට්‍රැත්ස්පේ වත්තේ කම්කරු කාන්තාවක් වන භවානා පැවසුවාය.      "වැස්ස වැඩි කාලෙටයි, තදින් පායන කාලෙටයි ටාගට් එක කොහොමවත් දෙන්න බැහැ. ටාගට් එක අඩුවෙලා. පඩි කැපුවම  අපේ ඊපිඑෆ් එකයි බෝනස් එකයි දෙකම කැපෙනවා. මම සීඩබ්ලිව්සී සාමාජිකාවක්. වත්තේ නායකයත් එක්ක වාදකරනවා මොනවාද සමිතිය මේ ප්‍රශ්නවලට කරන්නේ කියල. උත්තරයක් දෙන්නේ නැහැ. ඒ ගොල්ල  මැනේජ්මන්ට් එකත් එක්ක ඉන්නේ.  අපිට හොරෙන් රහස් සකච්චා කරනවා  මැනේජ්මන්ට් එකත් එක්ක. සාකච්චා කරන්නේ මොනවද  කියල අපට  කියන්නේ  නැහැ". 

ලංකාවේ තේ කර්මාන්තය 2014 සිට බරපතල අර්බුදකයට මුහුන දී ඇත. කොරෝනා වසංගතය නිසා එම තත්වය තවත් ඔද්දල් වී තිබේ. රටේ තේ වලින් වැඩි ප්‍රමානයක්  මිල දී ගනු ලබන්නේ ඉරානය, ඉරාකය, තුර්කිය හා රුසියාව විසිනි. පසුගිය වසරේ මුල් හය මාසය තුල ලංකාව මෙම රටවලට තේ ටොන් මිලියන 129 ක් අපනය කල නමුත් මෙම වසරේ එම කාලය තුල සියයට 14.50 කින් එය පහත වැටී ඇත.

තේ කර්මාන්තය "අර්බුදයෙන් ගොඩ ගැනීමේ" සැලසුම් යටතේ  රාජපක්ෂ පක්ෂ ආන්ඩුව වතු කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය තවදුරටත් තීව්‍ර කිරීමට සැලසුම් කරමින් සිටී.  ප්‍රාදේශීය  වතු සමාගම් විස්සෙන් සමාගම්  දහයක් නිෂ්ක්‍රිය තත්වයට පත්ව ඇති බවත් එම සමාගම් විසින් පාලනය කරනු ලබන තේවතු කුඩා තේවතු හිමියන්ට පැවරිය යුතු බව සැප්තැම්බර් 7 වෙනිදා පැවති  ආර්ථික පුනර්ජීවනය අඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ රස්වීමක දී ජනාධිපති රාජපක්ෂ අවධාරනය කර තිබේ.  

ආන්ඩුවේ මෙම සැලැස්ම වතු කම්කරුවන්ට ඉඩම් ලබා දීමක් ලෙස හුවා දක්වමින් සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව් සහ ඩීඩබ්ලිව්යූ ඊට විවෘතව සහයෝගය ප්‍රකාශ කර තිබේ. වැවිලි  සමාගම් වලට පවරා ඇති වතු වල තිබෙන මැනික් ඉල්ලම් සහිත ඉඩම් මැනික් පතල්කරුවන්ට වෙන්දේසි කිරීමට ද ආන්ඩුව අපේක්ෂා කරයි. මෙම  ව්‍යාපෘති  යටතේ සිදුවනු ඇත්තේ වතු කම්කරුවන්ට ඉඩම් ලබාදීමක් නොව පුද්ගලික ව්‍යාපාරිකයන්  ට ඉඩම් පැවරීමකි. එවැන්නක් වතු කම්කරුවන් දසදහස් ගනනකට රැකියා සහ උන්හිටි තැන අහිමි කරමින් ඔවුන් දැවැන්ත ව්‍යසනයකට ඇද දමනු ඇත. 

Loading