2020 ඔක්තෝබර් 2 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය නව මුහුනුවරකින් දියත් කිරීම පිලිබඳ නිවේදනය

ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්ගෙන් ප්‍රකාශයක්

2020 ඔක්තෝබර් 2 වන සිකුරාදා සිට ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) මුලුමනින්ම නව සැලසුමකින් සහ විශාල වශයෙන් වැඩිදියුනු කල ක්‍රියාකාරීත්වයකින් නැවත දියත් කෙරේ. ලෝසවෙඅ පලකරනු ලැබූ භාෂා 20 කට අධික සංඛ්‍යාවෙන්ම එකවර එහි නව දියත් කිරීම සිදු වනු ඇත.

හඳුන්වා දී ඇති වෙනස්කම්, ලෝසවෙඅ හි සියලු අංශයන් හි, වසරකට වැඩි කාලයක් පුරා කරන ලද තීව්‍ර සමාලෝචනයක ප්‍රතිඵලයකි. මෙම දීර්ඝ ක්‍රියාවලිය පුරාම අපගේ කේන්ද්‍රගත අවධානය යොමු වී ඇත්තේ සමාජවාදය සඳහා වූ ජාත්‍යන්තර අරගලය, න්‍යායාත්මක අධ්‍යාපනය, දේශපාලන විශ්ලේෂනය, සංස්කෘතික ඥානාලෝකය සහ කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය යන මේවායේ නාභිය ලක්ෂ්‍යය ලෙස ලෝසවෙඅ හි වර්ධනයයි. 

ලෝසවෙඅ නැවත දියත් කිරීමට තල්ලුව දුන්, බලවත් හා අන්තර්ක්‍රියාකාරී වෛෂයික සාධක දෙකකි: පලමුව, ලෝක ධනවාදී ක්‍රමයේ ගෝලීය අර්බුදයේ පුපුරන සුලු වර්ධනය; දෙවනුව, ජාත්‍යන්තර පන්ති අරගලය උත්සන්න වීම යනු ඒවායි. ගෝලීය වසංගතය මගින් වේගවත් කරන ලද මෙම මූලික ක්‍රියාදාමයන්ගේ අන්තර්ක්‍රියාකාරිත්වය, හතරවන ජත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන  ප්‍රකාශනය ලෙස, ලෝසවෙඅට විශාල අභියෝග හා වගකීම් මුනගස්වයි.

ගෝලීය අර්බුදයේ වඩාත්ම සෘජු බලපෑම සහ පන්ති අරගලය උත්සන්න වීම, ලෝසවෙඅ හි පාඨක සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයකට හේතු විය. මේ වසරේ මේ දක්වා ඇති මුලු පිටු දසුන් සංඛ්‍යාව මිලියන 20 ඉක්මවයි. ඔක්තෝබර් 2 වන දින නැවත ආරම්භ වන විට, 2020 මුල් මාස නවය තුල පිටු දසුන් ගනන 2019 මුලු වසර තුල වෙබ් අඩවියට ලඟා වූ මුලු සංඛ්‍යාව ඉක්මවා යනු ඇත.

ලෝසවෙඅ වෙත මහජන ප්‍රවේශය වාරනය කිරීම හා සීමා කිරීම සඳහා ආන්ඩු සහ සමාජ මාධ්‍ය සමාගම් විසින් දරන උත්සාහය නොතකා මෙම පාඨක සංඛ්‍යාව ඉහල ගොස් තිබේ. ඇත්ත වශයෙන්ම, ලෝසවෙඅ පාඨක සංඛ්‍යාවේ සෑම වැඩිවීමක්ම - උදාහරනයක් ලෙස, අගෝස්තු මාසයේදී ලෝසවෙඅ හි පල කරන ලද ලිපියක් එක් දිනකදී 100,000 කට වඩා වැඩි වාර ගනනක් බැලීම - ආයතනික වාරනය තීව්‍ර කිරීමට පසු වහාම වාගේ සිදුවී ඇත. 

එහි පාඨක සංඛ්‍යාව වර්ධනය වෙත්ම, ලෝසවෙඅ කම්කරු පන්තියේ අරගලයන්හි වඩ වඩාත් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම කරා එලඹ තිබේ. මෙම වර්ධනය විසින් ඉල්ලා සිටින්නේ වඩාත් පුලුල්  ප්‍රවෘත්ති ආවරනයක් පමනක් නොවේ. සමාජ විරුද්ධත්වය ස්වයංසිද්ධව පුපුරා යාම වෙනුවට, පන්ති විඤ්ඤාත හා ජාත්‍යන්තර සම්බන්ධීකරන මත පදනම් වූ විප්ලවවාදී අරගලයක් මගින් සමාජවාදය කරා පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය මාක්ස්වාදී න්‍යායාත්මක මග පෙන්වීම සහ දේශපාලන ඉදිරිදර්ශනය ලබා දෙමින් වර්ධනය වන මහජන ව්‍යාපාරයට ලෝසවෙඅ සහාය විය යුතුය.

ලෝකයේ කුමන රටක ජීවත් වුවද, කම්කරුවන්ට ඔවුන්ගේ අරගල දිග හැරෙමින් පවතින්නේ කවර ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලන තත්වයන් තුලද යන්න පිලිබඳ සවිස්තරාත්මක දැනුමක් අවශ්‍ය වේ. තම රටේ දේශ සීමාවෙන් ඔබ්බෙහි කම්කරු පන්තියේ ව්‍යාපාරයන් සමඟ සම්බන්ධ වීමට හා සම්බන්ධතා ඇති කර ගැනීමට ඔවුන්ට හැකි විය යුතුය. සියල්ලටමත් වඩා, පන්ති අරගලයේ ඓතිහාසික අත්දැකීම් සහ සමාජවාදය සඳහා වන අරගලයෙන් ලබාගත් උපායමාර්ගික පාඩම් උකහා ගැනීමට ඔවුන්ට හැකි විය යුතුය. විප්ලවවාදී නැගිටීම්වල නව කාල පරිච්ඡේදයක් තුල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නව දියත් කිරීම මෙම අවශ්‍යතා සපුරාලීමේ සන්ධිස්ථානයක් වනු ඇත.

නව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වඩාත්ම වැදගත් ලක්ෂන නම්:

•කර්මාන්තයේ ප්‍රමුඛ තාක්ෂනය උපයෝගී කරගනිමින් වර්තමාන වෙබ් අඩවියට වඩා බෙහෙවින් ක්‍රියාකාරී ශක්තිමත් බවකින් යුත් විශාල සැලසුමක්. ලෝසවෙඅ පාඨකයින්ගෙන් අඩකට වඩා වැඩි ප්රමාණයක් ජංගම දුරකථනයක් හෝ ටැබ්ලටයක් මගින් වෙබ් අඩවියට පිවිසෙන්නේය යන කරුන සැලකිල්ලට ගනිමින්, ප්‍රතිනිර්මානය කරන ලද වෙබ් අඩවිය සියලු නැරඹුම් මාධ්‍ය සඳහා විශිෂ්ට ලෙස භාවිතයේ පහසුව ලබා දෙනු ඇත. ජංගම දුරකථනයක් හෝ ටැබ්ලටයක් හරහා වෙබ් අඩවියට පිවිසෙන පාඨකයන්ට ලෝසවෙඅ හි අන්තර්ගතයේ සම්පූර්න විෂය පථයට සුදුසු නැරඹුම් ආකෘතියෙන් ලබා දෙනු ඇත.

•නවතම ලිපි ඉක්මනින් හඳුනා ගැනීමට පාඨකයන්ට හැකි වනු ඇති අතර, එය නව දියත් කිරීමේ දිනයේ සිට ආරම්භ වන දිනකට වාර කිහිපයක් ලිපි පලකිරීම වෙත ලෝසවෙඅ හැරීගැනීම එය වඩාත් පහසු කරනු ඇත. වඩාත් නවීන මාතෘකා කාන්ඩ මගින්, නව ලිපි දිනපතා ස්ථානගත කිරීම සහ වෙබ් අඩවියේ සැරිසැරීම බෙහෙවින් වැඩි දියුනු කෙරනු ඇත.

•1998 පෙබරවාරි මාසයේ ආරම්භ කල දින සිට ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලිපි 125,000 කට වැඩි සංඛ්‍යාවක ලේඛනාගාරයක් නිර්මානය කර ඇත. මෙම සුවිශේෂී එකතුවට ඇතුලත් වන්නේ විසිඑක්වන සියවසේ  ප්‍රධාන දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික සිදුවීම් පිලිබඳ වාර්තාවක් පමනක් නොවේ.

1923 දී සෝවියට් සමූහාන්ඩුව තුල වාම විපාර්ශවය ආරම්භ වූ දා සිට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසය හා සම්බන්ධ විශාල ලේඛන එකතුවකින් ද එය සමන්විත වේ. මෙම තීරනාත්මක ඓතිහාසික තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි “සංක්ෂිප්ත පිටු කලාපවල” එකලස් කර ඇත.

නැවත දියත් කරන ලද ලෝසවෙඅ නිර්මානය කර ඇත්තේ අතීතය සහ වර්තමානය අතර ගතික අන්තර්ක්‍රියාකාරිත්වයක් දිරිගැන්වීම සහ පහසුකම් සැපයීම සඳහා ය. වත්මන් තත්වයන්ගේ සිට ඓතිහාසික සිදුවීම් දක්වා පාඨකයන්ට ඔවුන්ගේ අභිලාෂයන් අනුව අභිප්‍රේරනය වන පරිදි වෙබ් අඩවිය තුල සැරිසැරීමට හැකි වේ. වර්තමානයේ පවතින දිගුකාලීන මාතෘකා ඉදිරිපත් කිරීම සඳහාද එම තේමාත්මක ප්‍රවේශයම ලබාගෙන ඇත (එනම්, සමාජ අසමානතාවයේ මාරාන්තික වර්ධනය, ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය, අධිකාරීවාදයේ හා ෆැසිස්ට්වාදයේ තර්ජනය, දේශගුනික විපර්යාසයේ බලපෑම, සහ තවත් බොහෝ වැදගත් ගැටලු).

නැවත ආරම්භ කරන ලද වෙබ් අඩවිය ලෝසවෙඅ හි අතිමූලික ලක්ෂන දෙක ඒකාබද්ධ කරයි: එනම් එහි ප්‍රවෘත්ති ආවරනයේ පුලුල් බව සහ එහි න්‍යායාත්මක හා ඓතිහාසික පදනම්වල ගැඹුරු භාවයයි. 

•ලෝසවෙඅ විසින් ජාත්‍යන්තර කමිටුවේ සහ එහි ශාඛාවල වැඩසටහන් සහ ප්‍රධාන ප්‍රකාශ සඳහා ප්‍රවේශය ලබා දෙනු ඇත. 1917 ඔක්තෝබර් විප්ලවයේ අව්‍යාජ  විප්ලවවාදී උරුමය තහවුරු කරමින් සහ ඓතිහාසික සත්‍යය ආරක්ෂා කරමින්, නව-ස්ටැලින්වාදයට, ප්‍රතිගාමී ජාතිකවාදයට, ප්‍රතිසංස්කරනවාදයට, අවස්ථාවාදයට සහ මධ්‍යම පන්තික ව්‍යාජ වාමාංශිකත්වයට එරෙහිව අනුකම්පා විරහිත අරගලයක යෙදෙමින් හතරවන ජාත්‍යන්තරයේ වැඩකටයුතු ආශ්‍රය කිරීමට සහ එහි ඉතිහාසය හා ක්‍රියාමාර්ගය අධ්‍යයනය කිරීමට හැකි වනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කේඩරය වෙහෙස මහන්සි නොබලා කරන කටයුතු මෙන්ම ලෝසවෙඅ හි දහස් සංඛ්‍යාත කැපවූ පාඨකයන්ගේ නොසැලෙන සහයෝගය සිහිපත් කිරීමකින් තොරව, නව දියත් කිරීම පිලිබඳ මෙම නිවේදනය සම්පූර්න නොවේ.

2020 ඔක්තෝබර් 2 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නව දියත් කිරීම, ධනවාදය අවසන් කොට ජාත්‍යන්තර සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීමේ අරගලයේ ඓතිහාසික ඉදිරි පියවරක් වනු ඇත.

Loading