ට්‍රොට්ස්කිගේ අවසන් වසර

තුන්වැනි කොටස

මෙය ලිපි මාලාවක තෙවැන්නයි. අගෝස්තු 25 වන දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

හතරවැනි ජාත්‍යන්තරයේ හදිසි සමුලුව සඳහා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්න කිරීමෙන් අනතුරුව, ලේඛන ව්‍යාපෘතීන්හි ව්‍යාවෘත වීමේ ට්‍රොට්ස්කිගේ නිර්දය හා අසීරු න්‍යාය පත්‍රයට යම් සිදුවීමක් නිසා බාධා ඇති විය. හරියටම දින වකවානු කලින් කිව නොහැකිව තුබූ මුත්, එම සිදුවීම ඔහු විසින් දීර්ඝ කාලයකට ඉහත දී පෙරදක්නා ලද්දකි. 1940 මැයි 24 වන දින අලුයම් කාලයේ මෙක්සිකානු චිත්‍ර ශිල්පියෙකු හා උමතු ස්ටැලින්වාදියෙකු වූ ඩේවිඩ් ඇල්ෆාරෝ සික්විරෝස්, කැලිපර් හතලිස් පහේ සබ්මැෂින් තුවක්කු, කැලිපර් තිහේ ස්වයංක්‍රිය රයිෆල් තුවක්කු හා ප්‍රදාහක බෝම්බ වලින් සන්නද්ධ ඝාතක කන්ඩායමක් මෙහෙයවමින් හතරවැනි ජාත්‍යන්තරයේ නායකයාට එරෙහිව ප්‍රහාරයක් එල්ල කලේය. 

ඩේවිඩ් ඇල්ෆාරෝ සික්විරෝස්

          

 මෙහිදී ඇවෙනිඩා වියෙනාහි පිහිටි නිවාසයට කඩා වදින්නට ඝාතකයන්ට සිදු නොවීය. සේවයේ නිරතව සිටි රැකවලා වූ රොබට් ශෙල්ඩන් හාට් යකඩ ගේට්ටුවේ අගුලු හැර ඝාතකයන්ට ඇතුලු වීමට ඉඩ දුන්නේය. තුවක්කුකරුවෝ පැහැදිලිවම ගෘහාංගනයේ සමස්ත පිරිසැලසුම පිලිබඳ හුරුපුරුදුකම් ඇත්තෝ වූහ. එක් කන්ඩායමක් නිවාසයේ ට්‍රොට්ස්කි, ඔහුගේ බිරිය නටාලියා හා ඔවුන්ගේ මුනුපුරු සේවා භාවිතා කල නිදන කාමරය පිහිටි කොටස දෙසට යද්දී, තවත් කන්ඩායමක් ඊට ප්‍රතිවිරුද්ධ කෙලවරේ පිහිටි ට්‍රොට්ස්කිගේ රැකවලුන් ලැගුම් ගත් කොටසෙන් පිටත වූ අංගනය කරා වේගයෙන් ඇදුනෝය. මෙකී දෙවැනි කන්ඩායම රැකවලුන්ගේ කාමර තිබූ දිශාවට වෙඩි තබමින්, ඔවුන්ට ඉවතට පැමිනීමේ කිසිදු ඉඩක් නොතබා ඵලදායී අයුරින් ඔවුන් එම කොටසට සීමා කොට තබා, ඔවුන් මුලුමනින් ම නිරර්ථක බවට පත්කර දමා තිබියදී ප්‍රධාන ඝාතක කන්ඩායම ට්‍රොට්ස්කිගේ නිදන කාමරයට ඇතුලු වූවෝය.             

කාමරය අඳුරේ පැවතින. ඝාතකයෝ ඉවක්බවක් නැතිව හැම අතටම වෙඩි තැබූහ. රාත්‍රි ඉසිඹුව ලබා ගැනීමට යන විට ට්‍රොට්ස්කි නිදි පෙත්තක් ගෙන තුබූ හෙයින් වෙඩි හඬින් අවදි වන විට මත් බවකින් යුතු වූවේය. නටාලියා වඩාත් ක්ෂනික ලෙස ප්‍රතිචාර දක්වමින් ට්‍රොට්ස්කිගේ ජීවිතය ගලවා ගත්තාය. “Stalin Seeks My Death", ("ස්ටැලින් මගේ මරනය අපේක්ෂා කරයි") ලේඛනයේ ඔහු සිහිපත් කරන පරිදි, 1940 ජූනියේ ප්‍රථම සතියේ දී ප්‍රහාරය පිලිබඳව ලියන ලද විස්තරයක් පහත දැක්වේ:     

මගේ භාර්යාව ඒ වනවිටත් ඇගේ ඇඳෙන් බිමට පැන තිබුනි. වෙඩි තැබීම අනවරතව සිදු විය. මගේ භාර්යාව පසුව මා සමඟ කී පරිදි, ඇය මට ඇඳෙන් බිමට බැසීමට ආධාර කොට, ඇඳ හා බිත්තිය අතර වූ ඉඩට මා තල්ලු කලාය. මෙය මුලුමනින්ම සත්‍යය; ඇය, මා ඇගේ සිරුරෙන් ආවරනය කිරීමට මෙන්, බිත්තිය අසල නැඟිට සිටියාය. එහෙත් මම කොඳුරා කීම මඟින් හා සංඥා මඟින් බිම දිගාවන ලෙස ඇයට ඒත්තු ගැන්වීමි. වෙඩි සැර සෑම අතෙකින්ම ආවේය, කොතැනින්දැයි කීමට අසීරුය. පසුව මා හට පැවැසූ පරිදි, එක් අවස්ථාවක දී මගේ බිරියට තුවක්කුවකින් නික්ම ආ වෙඩි සැරය පැහැදිලිව වෙන් කොට දකින්නට හැකි විය; ඒ අනුව, අපට කිසිවෙකු දැකිය නොහැකි වූ නමුදු වෙඩි තැබීම සිදුවෙමින් තිබුනේ කාමරය තුලමය. මගේ හැඟීම නම්, සියල්ල ගත් කල වෙඩි පහර දෙසියයක් පමන තබන්නට ඇති බවය, ඉන් සියයක් පමන අප අසලින්ම වැදුනි. ජනෙල්වලින් බිඳී ගිය වීදුරු කැබලි හා බිත්තිවලින් වෙන් වූ ලී පතුරු හැම අතටම පියඹා ගියේය. මඳ වේලාවකින් පසු මගේ දකුනු කකුලේ දෙතැනකට තුවාල සිදු වී ඇති බව මට දැනින. [1]          

තුවක්කුකරුවන් කාමරයෙන් පිට වී යන අතරතුර ට්‍රොට්ස්කිට සිය මුනුපුරු සේවාගේ කෑ ගැසීම ඇසුනි. ට්‍රොට්ස්කි මෙම බිහිසුනු මොහොත මෙසේ සිහිපත් කරයි:

වෙඩි හඬ මධ්‍යයේ අන්ධකාරය තුලින් ඇසුනු ලමයාගේ කට හඬ එම රාත්‍රියේ ඛේදනීය ම ස්මරනය ලෙස මතකයේ රැඳී පවතී. දොරේ හා බිත්තියේ සලකුනු වලින් පෙනී යන පරිදි ඔහුගේ ඇඳේ එක් මුල්ලක සිට ප්‍රතිවිරුද්ධ මුල්ල කරා විකර්නාකාරයෙන් පලමු වෙඩි පහර එල්ල වීමෙන් අනතුරුව ඔහු ඇඳ යටට පැන ගැනීමට සමත් වී තිබින. ප්‍රහාරකයන් අතරින් එකෙකු - පෙනෙන්නට ඇති පරිදි සන්ත්‍රාසයට පත් ව - ඇඳ මතට වෙඩි තබා ඇත. එම වෙඩි උන්ඩය ඇඳේ මෙට්ටය හරහා ගමන් කොට අපේ මුනුපුරාගේ පයේ මහපට ඇඟිල්ලට වැදී ගෙබිම තුලට කා වැදී ගොස් ඇත. ප්‍රහාරකයෝ ප්‍රදාහක බෝම්බ දෙකක් දමා ගසා අප මුනුපුරාගේ කාමරයෙන් නික්ම ගියෝය. "සීයේ!" යයි කෑ ගසමින් ඔහු, තමන්ගේ පියවර ලේ සලකුනු වලින් සටහන් කරමින් ඔවුන් පසුපසින් මැද මිදුලට දිව ගොස්, වෙඩි තැබීම් මධ්‍යයේ ම, එක් රැකවලෙකුගේ කාමරයට පැන ගත්තේය. [2]

තමන්ගේ ගැලවිල්ල "වාසනාවන්ත අහම්බයකැ"යි ට්‍රොට්ස්කි හැඳින්වීය.             

"සයනයන් වෙඩි ප්‍රහාරයට මැදි වී තිබින. ඇතැම්විට, ප්‍රහාරකයන් තමන් එකිනෙකාට වෙඩි තබා ගනිතැයි බිය ව, සහජාසයානුගතව, තමන් වෙඩි තැබිය යුතුව තුබූ මට්ටමට උඩින් හෝ යටින් වෙඩි තබන්නට ඇත. එහෙත් එය හුදෙක් මනෝමය අනුමිතියක් පමනෙකි. මගේ බිරිය හා මා සිහිබුද්ධියෙන් කටයුතු කිරීමෙන්, කාමරය පුරා ඒ මේ අතට පනින්නට නොයාමෙන්, කෑ ගැසීම හෝ උදව් ඉල්ලා සිටීම නිෂ්ඵල ක්‍රියාවක්ව තුබූ ඒ අවස්ථාවේ ඉන් වැලැකී සිටීමෙන්, වෙඩි තැබීම බලාපොරොත්තු විරහිත ක්‍රියාවක්ව පැවැති අවස්ථාවේ වෙඩි නොතබා පොලොවේ වැතිරී මලවුන් සේ නිසලව සිටීමෙන් එම සතුටුදායක අහම්බයට ආධාරකාරී වූවා වීමට ද පුලුවන. [3]        

තම මෙහෙයුම අසාර්ථකව අවසන් වී තුබූ බව නොදැන ම, ඝාතක කන්ඩායම පිටවී පලා ගියෝය. තම කාමරයෙන් නික්මුනු ට්‍රොට්ස්කි වෙඩි ප්‍රහාරයේ දුම්රොටු තවමත් මතුවෙමින් පැවැති අංගනයට ඇතුලු වූයේය. ඔහු රැකවල් කන්ඩායමේ සාමාජිකයන් සෙවීය. ඔවුන් තවමත් සිටියේ තම කාමර තුලය. මෙම ස්වභාවයේ ප්‍රහාරයකට ප්‍රතික්‍රියා දැක්වීම සඳහා ඔවුන් කිසිවෙකු පුහුනුවක් ලබා සිටියේ නැත. ඔවුන්ගේ පෙරලා වෙඩි තැබීම් කඩින් කඩ සිදුවූ දුබල ප්‍රයත්න විය. හැරල්ඩ් රොබින්ස්ගේ මැෂින් තුවක්කුව මුල් වටයේ දී ම හිර විය. ඔහු පසුව දැන ගත් පරිදි, එයට වැරදි වර්ගයක උන්ඩ පුරවා තිබිනි. ට්‍රොට්ස්කිගේ හැසිරීම කැපී පෙනෙන ලෙස සන්සුන් ව තුබූ බැව් රොබින්ස් සිහිපත් කරයි. 1918-21 රුසියාවේ ම්ලේච්ඡ සිවිල් යුද්ධයේ සටන් රාශියක අත්දැකීම් සහිත ව සිටි රතු හමුදාවේ හිටපු ප්‍රධාන අන දෙන නිලධාරියා වෙඩි සැර වලට නුහුරු අයෙකු නොවීය. එහෙත් ට්‍රොට්ස්කි තම රැකවලුන්ගේ අන්ත දුබල ප්‍රතිචාරය කෙරේ කලකිරී සිටි බවක් රොබින්ස්ට හැඟී ගියේය. [4]         

නිවාසයෙන් පිටත පැවැති මුරපොලකට යොදවා සිටි මෙක්සිකානු පොලීසියේ භට පිරිසක් බැඳ දමා සිටියදී රැකවලුන් විසින් සොයා ගන්නා ලදී. ට්‍රොට්ස්කිගේ උපදෙස් පරිදි ඔවුන් වහාම ලිහා දමන ලදී. වඩාත් සිත් කලඹවන සුලු සොයා ගැනීම වූයේ රොබට් ශෙල්ඩන් හාට් ප්‍රහාරකයන් සමඟ නික්ම ගොස් තුබූ බවයි. ඔහු කුමන්ත්‍රනයට සහභාගී වීය යන සැකය එමඟින් ක්ෂනිකව ඉස්මතු කෙරින. හාට්ගේ සම්බන්ධයක් පිලිබඳ නිශ්චිත සාක්ෂි නොපැවැති තතු තුල ට්‍රොට්ස්කි ඔහුගේ නිර්දෝෂීභාවය පිලිගත් අතර, සති ගනනාවකට පසු ඔහුගේ මෘත ශරීරය සොයා ගත් කල මෙම ආස්ථානය සනාථ වූ බවක් පෙනී ගියේය.   

ඉතා හොඳින් වටහා ගත හැකි හේතු මත, ප්‍රහාරයට ආසන්නතම ඉක්බිත්තේ, හාට්ට එරෙහිව චෝදනාවක් නැඟීමට ට්‍රොට්ස්කි පසුබට විය. එහෙත් හාට් ජීපීයූව සමඟ දුස්සන්ධානගතව ක්‍රියා කර තිබීමේ ඉඩකඩ ඔහු බැහැර නොකලේය. "සියලු පූර්වාරක්ෂාවන් තිබියදී වුව, ජීපීයූවේ තනි ඒජන්තයෙකුට රැකවල් කන්ඩායම තුලට රිංගා ගැනීමේ ඉඩකඩක් ඇත්තේම නැතැයි මුලුමනින් බැහැර කල නොහැකිය." [5] හාට්, ඔහුගේ අතුරුදන් වීම නිසා, සැකයට භාජනය වී සිටි බව ඔහු සඳහන් කලේය. එහෙත් හාට් වරදකරුවෙකු ලෙස තීරනය කිරීමට, එකල ලැබී තුබූ සාක්ෂ්‍ය මත පදනම්ව, ට්‍රොට්ස්කි සූදානම් නොවීය. හාට්ගේ ක්‍රියා කලාපය යලි තක්සේරු කිරීමට නව තොරතුරු අවශ්‍ය විය හැකි වීමේ ඉඩකඩ ඔහු පිලිගත්තේය. ඔහු පවසා සිටියේ, අවසාන තීන්දුව කුමක් වුව, "ඉදින් මගේ සියලු සංකල්පිතයන්ට පටහැනි ලෙස එවැනි සහාභාගීත්වයක් තහවුරු වූයේ වී වුව, එමඟින් ප්‍රහාරයේ ස්වභාවය පිලිබඳ කිසිදු සාරාත්මක වෙනසක් සිදු නො කෙරෙනු ඇති" බවයි. රැකවල් කන්ඩායමේ සාමාජිකයෙකුගේ ආධාරය සහිතව හෝ එකී ආධාරය නොලබා, ජීපීයූව මා මරා දැමීමට හා මගේ ලේඛනාගාරය ගිනිබත් කිරීමට කුමන්ත්‍රනයක් සංවිධානය කොට ඇත." [6]               

රැකවලුන් බඳවා ගැනීමේ දී එස්ඩබ්ලිව්පීයේ තෝරා ගැනීම පිලිබඳව ට්‍රොට්ස්කි විශ්වාසය පල කලේය. "ඔවුන් සියලුදෙනා මෙහි එවන ලද්දේ මගේ අත්දැකීම් සහිත හා පැරැනි මිතුරන් විසින් කෙරුනු විශේෂ තෝරා ගැනීමකින් පසුවය." [7] ට්‍රොට්ස්කි නොදැන සිටි කරුන නම් සමාජවාදී කම්කරු පක්ෂය, ඔවුන් එක්සත් ජනපදයේ සිට කොයෝවාකාන් කරා පිටත් කර එවූ එක් එක් පුද්ගලයා බැරෑරුම් ලෙස සියුම් පරීක්ෂාවට ලක් නොකල බවයි. හාට් සම්බන්ධයෙන් ගත් කල, 25 හැවිරිදි එම නිව්යෝර්ක් වැසියාට එස්ඩබ්ලිව්පීය සමඟ දේශපාලන සම්බන්ධයක ඉතිහාසයක් තිබුනේම නැත. ධනවත් ව්‍යාපාරිකයෙකු හා ජේ. එඩ්ගා හූවර්ගේ මිතුරෙකු වූ ඔහුගේ පියා, ජෙසී හාට්, තම පුත්‍රයාගේ අතුරුදහන් වීමෙන් පසුව මෙක්සිකෝව කරා ගුවනින් පැමිනියේය. මෙක්සිකෝ පොලිසිය සමඟ පැවැති හමුවීම් මාලාවක අතරතුර දී, නිව්යෝර්ක්හි පිහිටි තම පුත්‍රයාගේ අනුනිවස්නයේ තිබී ස්ටැලින්ගේ ඡායාරූපයක් හමුව ඇති බව ජ්‍යෙෂ්ඨ හාට් දන්වා සිටියේය. කිසියම් කලෙකට පසු මෙම තොරතුර මාධ්‍යවලට කාන්දු වූ විට ට්‍රොට්ස්කි ජෙසී හාට් වෙත විදුලි පුවතක් යවමින් එකී වාර්තාවේ තහවුරු කිරීමක් ඉල්ලා සිටියේය. වංක ආකාරයෙන් එම වාර්තාව එක හෙලා ප්‍රතික්ෂේප කරමින් හාට් පිලිතුරු දුන්නේය. "ස්ටැලින්ගේ පින්තූරය ශෙල්ඩන්ගේ කාමරයේ නොතිබුනු බව ඉඳුරාම නිශ්චය කල හැක." [8]

රොබට් ශෙල්ඩන් හාට්

                

 1975 දී දියත් කෙරුනු ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ පරීක්ෂනයේ කොටසක් ලෙස හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, මැයි 24 වන දින ප්‍රහාරය තුල ශෙල්ඩන් හාට්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් පවතින සියලු සාක්ෂ්‍ය විමර්ශනය කලේය. හජාජාකය නිගමනය කලේ හාට් සත්තකින්ම කුමන්ත්‍රනයේ හවුල්කරුවෙකු වූ බවයි. මෙම සොයා ගැනීම, හතරවැනි ජාත්‍යන්තරය ඇතුලත ස්ටැලින්වාදී හා අනෙකුත් පොලිස් ඒජන්තයන් හෙලිදරව් කිරීමට එරෙහිව කර්කශ ලෙස විරුද්ධ වූ, ජෝසෆ් හැන්සන් විසින් නායකත්වය දෙන ලද සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පීයේ) සහ ලෝකය පුරා ට්‍රොට්ස්කි-විරෝධී පැබ්ලෝවාදී සංවිධානවල එහි අනුචරයන්ගේ හෙලාදැකීමට පාත්‍ර විය. ඔවුහු "ඒජන්තයන්ට ඇම දැමීම" ලෙස හඳුන්වමින් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ පරීක්ෂනය හෙලා දුටුවෝය. එස්ඩබ්ලිව්පීය හා එහි ජාත්‍යන්තර අනුචරයන් නිකුත් කල ප්‍රසිද්ධ ප්‍රකාශනයක් මඟින් "රොබට් ශෙල්ඩන් හාට්ගේ මිනී වලට අවමන් කිරීම" [9] පිලිබඳව හජාජාකයට චෝදනා කෙරින.  

1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිතිව ප්‍රකාශයට පත් කෙරුනු ජීපීයූවේ ලේඛනාගාරවල ලේඛන මඟින්, හාට් යනු ට්‍රොට්ස්කිගේ ජීවිතයට හානි කිරීමේ මැයි 24 දින ප්‍රයත්නය තුල තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ බැව් නිශ්චිතව තහවුරු කෙරින. ඝාතන ප්‍රයත්නයෙන් දින ගනනාවකට පසු ජීපීයූව හාට්ගේ ද්‍රෝහීත්වයට පාරිතෝෂික ලබා දුන්නේ ඔහු මරා දමමිනි. තුරුනු ද්‍රෝහියා කෙරේ අවමන්සහගත වූ සික්විරෝස් හා ඔහුගේ අපසහායකයන් හාට් දුටුවේ, අවසානයේ පොලීසිය විසින් ප්‍රශ්න කරනු ලැබුවහොත් සියල්ල හෙලි කිරීමට ඉඩ ඇති, අවිශ්වාසදායක පුද්ගලයෙකු ලෙසය. හාට් නින්දේ සිටියදී ඔහුගේ මොලයට බුලට්ටුවක් යැවූ ඔවුහු, ඔහුගේ මෘත ශරීරය කසල වලකට ඇද දමා එය හුනු අලුවලින් වසා දැමූහ. කුනු වී තුබූ ඔහුගේ සිරුර සති ගනනාවකට පසු සොයා ගන්නා ලදී.            

ට්‍රොට්ස්කිගේ ජීවිතය නැති කිරීමේ ප්‍රයත්නය ස්ටැලින්ගේ නියෝග මත ක්‍රියාත්මක කෙරී තුබූ බව ඒ සා ප්‍රකටව පෙනී යන කරුනක් ව තිබියේ වී නමුදු, මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂය තුල, වෘත්තීය සමිති තුල හා පුවත්පත්වල සිටි ජීපීයූවේ කුලී බැලයෝ මහජන අවධානය අවමංගත කිරීම සඳහා මැයි 24 දින ප්‍රහාරය සැබැවින්ම ට්‍රොට්ස්කි විසින් ම මූලාරම්භය සපයන ලද "ස්වයං-ප්‍රහාරයක්" වී යැයි ප්‍රචාරයක් ආරම්භ කලෝය. "ස්ටැලින් මගේ මරනය අපේක්ෂා කරයි" සහ "කොමින්ටර්නය හා ජීපීයූව" නම් ප්‍රධාන ලිපි දෙකකින් ට්‍රොට්ස්කි ස්ටැලින්වාදී මුසාවාද කුඩුපට්ටම් කර දැමීය. මෙකී දෙවැනි ලිපිය - "කොමින්ටර්නය හා ජීපීයූව" - සම්පූර්න කරන ලද්දේ 1940 අගෝස්තු 17 වන දින ය. එනම්, රේමන් මර්කාඩර් විසින් එල්ල කෙරුනු දෙවැනි, හා සාර්ථක, ප්‍රහාරයට යන්තම් තුන් දිනකට පෙර ය.     

තමන් මැයි 24 ප්‍රහාර සංවිධානය කල බවට හෝ, තමාට එසේ කල හැකිව තිබූ බවට හෝ වූ කියාපෑමෙහි පැවැති අභූතය ට්‍රොට්ස්කි "කොමින්ටර්නය හා ජීපීයූව" තුල හෙලිදරව් කලේය. 

ඒ සා භයංකර, ඒ සා අප්‍රියකර හා ඒ සා අන්තරායකාරී ව්‍යායාමයක නියුක්ත වීමෙන් මට කවර නම් අරමුනක් හඹා යා හැකිව තිබුනි ද? අද දක්වා කිසිවෙකුත් එය පැහැදිලි කර නැත. ස්ටැලින්ගේ හා ජීපීයූවේ මුහුනුවල දැලි ගෑමට මට අවශ්‍ය වූ බවට ඉඟි කෙරෙයි. එහෙත් බෝල්ෂෙවික් පක්ෂයේ සමස්ත පැරනි පරපුර වනසා දැමූ මිනිසෙකුගේ ප්‍රකීර්තියට තවත් ප්‍රහාරයකින් කුමන එක් කිරීමක් නම් සිදු කල හැකිව තිබුනිද? "පස් වැනි පෙල"ක් ("Fifth Column") හෙවත් රහස් කන්ඩායමක් පවතින බව ඔප්පු කිරීමට මා අපේක්ෂා කලැයි කියනු ලැබේ. ඒ ඇයි? කුමක් සඳහා ද? ඒ හැරත්, සාපරාධී ප්‍රහාරයක් සඳහා ජීපීයූවේ ඒජන්තයන් හොඳටම ප්‍රමානවත් ය; අභිරහස් "පස් වැනි පෙලක" අවශ්‍යතාවයක් නැත. මෙක්සිකානු ආන්ඩුවට අසීරුතා ඇති කිරීමට මට අවශ්‍ය වී යැයි ද කියනු ලැබේ. මට අථිති සත්කාර සැපයූ එකම ආන්ඩුවට දුෂ්කරතා ඇති කිරීමට මට ඇති අභිප්‍රාය කවරක් විය හැකිද? එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතර යුද්ධයක් ඇවිලවීමට මට අවශ්‍ය වී යැයි ද කියති. එහෙත් මෙම පැහැදිලි කිරීම මුලුමනින්ම සිහිමුලාවේ නිම්වලලු තුලට අයත් එකකි. එවැනි යුද්ධයක් ඇවිස්සීමට නම්, අධිරාජ්‍යවාදී කවයන්ට පිටස්තරයෙකු හා එම කවයන්හි ද්වේශයට පාත්‍ර වූවෙකු වූ විප්ලවවාදී බෝල්ෂෙවිකයෙකු වෙත නොව, ඇමරිකානු තානාපතිවරයාට හෝ ඛනිජ තෙල් සිටුවරයෙකුට හෝ ප්‍රහාරයක් එල්ල කලේ වී නම් එය කොයි හැටියෙන් ගත්ත ද වාසිදායක වනු ඇත.            

ස්ටැලින් මා නැසීමට ප්‍රයත්නයක් සංවිධානය කරන විට ඔහුගේ ක්‍රියාවේ අර්ථය පැහැදිලිය: ඔහුට ඔහුගේ අංක එකේ සතුරා විනාශ කිරීමට අවශ්‍යව ඇත. එහිදී ස්ටැලින්ට කිසිදු අවදානමක් දැරීමට සිදු නොවේ; ඔහු බොහෝ සේ දුරස්ථව ක්‍රියා කරයි. එහෙත් ඊට පටහැනි ලෙස, "ස්වයං-ප්‍රහාරයක්" සංවිධානය කිරීම මඟින් මට එවැනි ව්‍යායාමයක වගකීම මගේම උර මතට ගන්නට සිදු වේ; මට මගේම ඉරනම, මගේ පවුලේ ඉරනම, මගේ දේශපාලන ප්‍රකීර්තිය හා මා සේවය කරන ව්‍යාපාරයේ කීර්ති නාමය පරදු තැබීමට සිදු වේ. ඉන් මට දිනා ගත හැක්කේ කුමක්ද?    

එහෙත්, ඉදින් සිදු විය නොහැක්ක සිදුවීමට ඉඩ ඇතැයි සැලකීමට අවශ්‍ය නම් - හරියටම කිවහොත්, මගේ සමස්ත ජීවිතයේ අභිප්‍රාය ප්‍රතික්ෂේප කොට දමා, සාමාන්‍ය බුද්ධිය හා මගේම ප්‍රානභූත උත්සුකයන් පාගා මැඩ, කිසියම් නොදන්නා අරමුනක් වෙනුවෙන් "ස්වයං-ප්‍රහාරය" සංවිධානය කිරීමට මා තීරනය කලේ යැයි සිතමු. එවිට තවමත් පහත දැක්වෙන ප්‍රශ්නය ඉතිරිව පවතී: ප්‍රහාරය ක්‍රියාවට නැංවීමට මා විසි දෙනෙක් ලබා ගන්නේ කොහෙන්ද? කෙසේද? ඔවුන් සඳහා පොලිස් නිල ඇඳුම් ලබා දීමට මට හැකිවූයේ කෙසේද? මා ඔවුන් සන්නද්ධ කලේ කෙසේද? අවශ්‍ය සියලු ආම්පන්න ඔවුන්ට ලබා දුන්නේ කෙසේද? මේ ආකාරයේ ප්‍රශ්න රාශියකි. වෙනත් වචනවලින් කිවහොත්, ප්‍රබල පද්ධතියකට පමනක් සිතා ගත හැකි වන ආකාරයේ ව්‍යායාමයක් සපුරා ගැනීම සඳහා උපක්‍රම යෙදීමට පරිබාහිර ලෝකයෙන් මුලුමනින්ම පාහේ හුදෙකලාව ජීවත් වන මිනිසෙකුට කෙසේ නම් හැකි වී ද? කවර හෝ විවේචනයකට අයෝග්‍ය තරමේ පහත් මට්ටමක අදහසක් විවේචනය කිරීම සම්බන්ධයෙන් අමනෝඥ බවක් හැඟී යන බව නොසඟවා කියන්නට මට අවසර දෙන්න. [10]   

ප්‍රහාරය සඳහා ජීපීයූවේ දේශපාලන සූදානම පිලිබඳ ඔහුගේ විශ්ලේෂනය තුල ට්‍රොට්ස්කි තම අසාමාන්‍ය තීක්ෂනභාවය පිලිබඳ නව සාක්ෂි සම්පාදනය කොට ඇත. ඔහු 1940 මාර්තුවේ පැවැති මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සම්මේලනය කෙරේ අවධානය කැඳවීය. එම සම්මේලනය තුල ආධිපත්‍යය දැරූ ප්‍රධාන තේමාව වූයේ ට්‍රොට්ස්කිවාදය මුලිනුපුටා දැමීමයි. මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හර්නන් ලැබොර්දේ හා වෘත්තීය සමිති වල නායකයෙකු වූ වැලන්ටින් කම්පා නෙරපා හැරීමට සමුලුව ගත් තීරනය, දේශපාලනිකව අනතුරුදායක හා ජනප්‍රිය නොවන ඝාතක සැලැස්මකට පක්ෂය පටලැවීමට අදිමදි කල තනිතනි නායකයන් අධිකාරී තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාව සමඟ බැඳී පැවැති බව ට්‍රොට්ස්කිගේ අදහස විය. මෙම විමෝචනය සඳහා ආරම්භකත්වය ගනු ලැබුනේ පැහැදිලිවම සංවිධානයට පිටින් - එනම්, ක්‍රෙම්ලිනයේ තන්ත්‍රයෙහි නියෝග මත ක්‍රියාත්මක වූ ජීපීයූව විසින් - බව ට්‍රොට්ස්කි අවධාරනය කලේය. සමුලුවේ දී මෙකී කුරිරු සංවිධානාත්මක වෙනස්කම් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය සූදානම්වීම්වලට මාස ගනනාවක් ගත වන්නට ඇති බව පැහැදිලි කරමින් ට්‍රොට්ස්කි තර්ක කලේ ඝාතක ප්‍රයත්නය සඳහා ආඥාව 1939 නොවැම්බරයේ හෝ දෙසැම්බරයේ මොස්කව්වලින් නිකුත් වන්නට ඇති බවයි.  

මැයි 24 ප්‍රහාරය සඳහා දිගු කාලයක පටන් සූදානම්වීම හා මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුලුවේ වැදගත්කම සම්බන්ධ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය මෑත අධ්‍යයනයන් මඟින් සනාථ වී ඇත. එමඟින් පෙන්නුම් කෙරෙන පරිදි ට්‍රොට්ස්කි ඝාතනය සඳහා සැලසුම් කිරීම ආරම්භ වී ඇත්තේ 1939 වසන්තයේ දී ය. කොමින්ටර්නයේ ආවරනය යටතේ ක්‍රියාත්මක වෙමින් හුන් ජීපීයූ ඒජන්තයෙකු ලැබොර්දේ වෙත එලැඹී ඇත. ඒජන්තයාට භාර දී තුබූ මෙහෙවර වූයේ, "ට්‍රොට්ස්කි උපුටා දැමීමේ සැලසුම්වලට පීසීඑම් ලේකම් මන්ඩලයේ සහයෝගය ලබා ගැනීමේ ප්‍රයත්නයක යෙදීමයි. කියැවෙන පරිදි, ලැබොර්දේ මේ සම්බන්ධයෙන් කම්පා හා [මැක්සිකානු කොපයේ තවත් ප්‍රමුඛ සාමාජිකයෙකු වූ] රෆායෙල් කරියෝගේ උපදෙස් ලබා නිගමනය කොට ඇත්තේ එවැනි ක්‍රියාවක් මඟින් කාරදෙනාස් ආන්ඩුව සමඟ පීසීඑම් සංවිධානයේ සබඳකම් අනතුරට හෙලනු ඇති අතර, ට්‍රොට්ස්කි යනු වැය වී අවසාන වූ බලවේගයක් හෙයින්, කොයි අතින් ගත්තත් මෙය අනවශ්‍ය ක්‍රියාවක් බවයි." [11] 

ට්‍රොට්ස්කිගේ දේශපාලන ආනුභාවය පිලිබඳ ලැබොර්දේ හා කම්පාගේ තක්සේරුව සමඟ ජීපීයූව එකඟ වූයේ නැත. ලැබොර්දේ, කම්පා හා කරියෝ 1939 මැයි මස නිව්යෝර්ක් කරා ගියේ, ට්‍රොට්ස්කිට එරෙහිව ප්‍රහාරයකට විරුද්ධ වීම සඳහා එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂයේ (සීපීයූඑස්ඒ) නායක අර්ල් බ්‍රෞඩර්ගේ සහයෝගය දිනා ගැනීමේ උත්සාහයක යෙදෙමිනි. ඔවුහු සාර්ථක නොවූහ. විශේෂ සම්මේලනයක් කැඳවීමේ තීරනය ගැනුනේ මෙක්සිකානු කොපයේ ජාතික කමිටුවේ 1939 පැවැති පුන්සැසියේ දී ය. විද්‍යාර්ථි බැරී කාර්ට අනුව, සීපීයූඑස්ඒය හා කොමින්ටර්නය, "මෙක්සිකානු පක්ෂයේ ට්‍රොට්ස්කි-විරෝධී උද්ඝෝෂනයේ අප්‍රමානවත්භාවය පිලිබඳව හා සෝවියට් විදෙස් පිලිවෙත - විශේෂයෙන්ම 1939 නොවැම්බරයේ ෆින්ලන්තයට හමුදාමය වශයෙන් මැදිහත් වීමේ තීරනය - ආරක්ෂා කිරීමෙහි ලා එය දැක්වූ බවට පෙනෙන්නට ඇති නොගැඹුරුභාවය පිලිබඳව ද" සැලකිලිමත් වූහ. [12]             

විශේෂ සමුලුව සඳහා පලමු ප්‍රසිද්ධ කැඳවීම නොවැම්බරයේ නිකුත් කෙරින. යුරෝපයේ සිට කොමින්ටර්න් නියෝජිතයෝ, ඇත්තෙන්ම ජීපීයූවේ ඒජන්තයෝ, මෙක්සිකෝව කරා සම්ප්‍රාප්ත වන්නට වූහ. ස්පාඤ්ඤයේ ස්ථානගත කොට සිටි විට්ටෝරියෝ කොඩොවිලා ද ඒ අතර විය. සැලසුම් කර තිබූ සම්මේලනය සඳහා වූ පූර්ව සූදානම් පිලිබඳව හා එහි න්‍යායපත්‍රය පිලිබඳව කොමින්ටර්න් නියෝජිතයෝ සෑහීමකට පත් නොවූහ.   

න්‍යායපත්‍රය මුලුමනින්ම නැවත අලුතින් ලිවිය යුතු බවට, හා "නියෝජිතයන්ගේ අවධානය වෙනතක යොමුවීමෙන් වැලැකෙන පරිදි," එක් අත්‍යවශ්‍ය කරුනක් කෙරේ අවධානයක් යොමු කල යුතු බවට කොඩොවිලා යෝජනා කලේය. ජනතාවගේ සතුරන්ට එරෙහිව අරගලය සම්බන්ධ නව අයිතමයක් (මෙහි ප්‍රධාන තේමාව වූයේ ට්‍රොට්ස්කිවාදයට එරෙහි අරගලයයි..) ද ඇතුලු කර තුබූ සංශෝධිත න්‍යාය පත්‍රයේ ව්‍යුහයෙහි කටු සටහනක් ද ඔහු ඉදිරිපත් කලේය.  

නියෝජිතයෝ තම කටයුතු විශේෂ සම්මේලනයේ ප්‍රාරම්භක ලේඛනවල ආකෘතිය පිලිබඳ යෝජනාවලට සීමා නොකලෝය. ඔවුහු සමුලුවට පෙර ට්‍රොට්ස්කිවාදීන් නෙරපා දමමින් "නිවෙස ශුද්ධ පවිත්‍ර කිරීමක්" කල යුතුයැයි ද පක්ෂයට බල කලෝය. ...මේ පසු කී කර්තව්‍යය සඳහා පිටුවාහල් ස්පාඤ්ඤ කොමියුනිස්ට් පාක්ෂිකයන්ගේ සේවය පිරිනමන ලදී.  [13]      

ස්ටැලින් ට්‍රොට්ස්කි දුටුවේ ඔහුගේ තන්ත්‍රයට එල්ල වී තුබූ වඩාත්ම බැරෑරුම් දේශපාලන අන්තරාය ලෙසය. 1929 දී ට්‍රොට්ස්කි සෝවියට් සංගමයෙන් පිටුවාහල් කිරීමට ගත් තීරනය තමන්ගේ දැවැන්තතම දේශපාලන වරදය යන අදහස කරා ඔහු එලැඹ සිටියේය. ස්ටැලින් මුලදී උපකල්පනය කොට තිබුනේ විදේශයක හුදෙකලාව සිටි ට්‍රොට්ස්කි ක්‍රෙම්ලිනයට එරෙහිව බැරෑරුම් විරුද්ධත්වයක් නැංවීමට අසමත් වනු ඇති බවයි. ස්ටැලින්ට එහි දී වැරදී තිබින. ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි, "කෙසේවෙතත්, සිදුවීම් විසින් පෙන්වා දෙනු ලැබුවේ ආම්පන්නයක් හෝ ද්‍රව්‍යමය සම්පත් හෝ තමන් සන්තකයේ නොමැතිව වුව දේශපාලන ජීවිතයේ නියැලීමට හැකි බවයි." [14] ස්ටැලින්ගේ ජීවිත කථාව ලියූ - ඔහුගේ පෞද්ගලික ලේඛන පරිශීලනයට අවස්ථාව ලැබූ - ද්මිත්‍රි වොල්කොග්නොව් ලියා ඇති පරිදි, ආඥාදායකයා "ට්‍රොට්ස්කිගේ අවතාරයේ" බලපෑමට හසු ව සිටියේය.          

ඔහුට [ස්ටැලින්ට] වාඩි වී [ස්ටැලින්වාදී දේශපාලන මන්ඩලයේ සාමාජිකයන් වූ] මොලොටොව්, කගනොවිච්, කෘෂෙව් හා ෂ්(z)දනොව්ට ඇහුම්කන් දෙන්නට සිදු වූ විට ඔහු ට්‍රොට්ස්කි පිලිබඳව සිතුවේය. සංවිධානය පිලිබඳ ග්‍රහනයෙන් ද, කථිකයෙකු ලෙස හා ලේඛකයෙකු ලෙස ඔහුගේ හැකියාවන්ගෙන් ද යුත් වූ ට්‍රොට්ස්කි බුද්ධිමය වශයෙන් වෙනම වර්ගයක අයෙකු විය. මේ නිලධරයන් රොත්තට වඩා ඔහු සෑම ආකාරයකින්ම අතිශය ඉහලතරයෙකු වූවා පමනක් නොව ඔහු ස්ටැලින්ට ද වඩා ඉහලතර අයෙකු වූ අතර, ස්ටැලින් ඒ බැව් දැන සිටියේය. "එවැනි සතුරෙකුට මගේ ඇඟිලි අතරින් ලිස්සා යාමට මා ඉඩ දී ඇත්තේ කෙසේදැ?"යි ඔහු ලතෝනි නොදුන්නා පමනෙකි. එක් අවස්ථාවකදී ඔහු, එය තමාගේ ජීවිතයේ අත්වැරදි අතරින් විශාලතම එකක් බවට සිය කුඩා කවය ඉදිරියේ පාපොච්චාරනය කලේය. ..         

ට්‍රොට්ස්කි හුදෙක් තමා වෙනුවෙන් ම නොව, සෝවියට් සමූහාන්ඩුව තුල සිය සියලු නිහඬ ආධාරකරුවන් හා විරුද්ධ පාර්ශ්විකයන් ද වෙනුවෙන් කථා කරන්නේය යන සිතුවිල්ල ස්ටැලින්ට විශේෂයෙන්ම පීඩාකාරී විය. මුසාකරනයේ ස්ටැලින්වාදී ගුරුකුලය, බෝල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයන්ට විවෘත ලිපියක්, හෝ ස්ටැලින්වාදී තර්මිඩෝරය වැනි ට්‍රොට්ස්කිගේ කෘතීන් කියවන විට නේතෘවරයා සිය ආත්ම දමනය ගිලිහී යාමේ අද්දරටම පත් විය. [15]      

ට්‍රොට්ස්කි කෙරේ වූ ස්ටැලින්ගේ ද්වේශය හුදෙක්ම, හෝ ප්‍රමුඛවම හෝ පවා, පෞද්ගලික ස්වභාවයක එකක් නොවීය. ඔහුගේ ප්‍රකෝපය බුරා ඇවිලුනු මිනීමරු මානයන්ගෙන් පිලිබිඹු වූයේ, වරප්‍රසාදිත කුලයක් ලෙස පාලක නිලධරය තුල, එහි වඩාත්ම සම්මුතිවිරහිත විරුද්ධවාදියා කෙරේ දැක්වුනු පරසතුරුභාවයේ ඒකාග්‍ර වූ ප්‍රකාශනයකි. "කොමින්ටර්නය හා ජීපීයූව" තුල ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි:        

මා කෙරේ මොස්කව් කතිපයාධිපත්‍යයේ වෛරය උත්පාදනය වී ඇත්තේ, මා එයට "ද්‍රෝහී වූ" බවට එහි ගැඹුරින් මුල් බැස ඇති ඒත්තු යාම තුලිනි. මෙම චෝදනාවට එහිම ඓතිහාසික අර්ථයක් ඇත. සෝවියට් නිලධරය එකවරම හා දෙගිඩියාවකින් තොරවම ස්ටැලින් නායකත්වයට ඔසොවා තැබුවේ නැත. 1924 වන තුරු ම ස්ටැලින් සමස්ත ජනගහනය තුල තබා පුලුල් පක්ෂ කවයන් අතර පවා නොදන්නා අයෙකු විය. තව ද, මා දැනටමත් කියා ඇති පරිදි, ඔහු නිලධරයේ ශ්‍රේනි අතරම වුව ජනප්‍රිය අයෙකු නොවීය. මා සිය වරප්‍රසාද ආරක්ෂා කිරීමේ කටයුත්තට උර දෙතැයි නව පාලක ස්ථරයට බලාපොරොත්තු පැවතින. මේ දිශාවට යොමු වූ අනල්ප ප්‍රයත්නයන් දැරින. ස්ටැලින්ගේ දිශාවට සම්පූර්න හැරී ගැනීමක් සිදු වූයේ ද, මා "ද්‍රෝහියෙකු" ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ ද, වැඩකරන ජනයාට එරෙහිව ඔවුන්ගේ උත්සුකයන් ආරක්ෂා කිරීමට මා අපේක්ෂා නොකරන බවත්, ඊට පටහැනි ලෙස, නව ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව වැඩකරන ජනයාගේ උත්සුකයන් ආරක්ෂා කිරීමට මා කටයුතු කරන බවත් පිලිබඳව නිලධරය ඒත්තු ගැනීමෙන් පසුව පමනෙකි. වරප්‍රසාදිත පැලැන්තියේ තොල් මත රැව් දෙන එකී විරුද නාමය, කම්කරු පන්තියේ අභිප්‍රාය කෙරේ මාගේ පක්ෂපාතීත්වයට සාක්ෂ්‍ය සපයයි. බෝල්ෂෙවික් පක්ෂය ගොඩ නැංවූ, ඔක්තෝබර් විප්ලවය බිහි කල, සෝවියට් රාජ්‍යය හා රතු හමුදාව නිර්මානය කල, හා සිවිල් යුද්ධයට නායකත්වය දුන් එකී විප්ලවවාදීන් අතරින් සියයට 90ක් පසුගිය දොලොස් වසර ඇතුලත "ද්‍රෝහීන්" ලෙස විනාශ කර තිබීම අහම්බයක් නොවේ. අනෙක් අතට මේ කාල පරිච්ඡේදය තුල, විප්ලවයේ වර්ෂවලදී බැරිකේඩවල අනෙක් අන්තයේ සිටියවුන් අතරින් අතිමහත් බහුතරයක් සිය ශ්‍රේනි තුලට ගැනීමට ස්ටැලින්වාදී රාජ්‍ය උපකරනය කටයුතු කොට ඇත. [16]         

දේශපාලන පරිහානිය හා සදාචාරාත්මකව ජරාජීර්න වීම හුදු සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට පමනක් සීමා නොවීය. සමස්ත කොමින්ටර්නය පුරා ම එකී සැඟවුනු ක්‍රියාදාමය නිරීක්ෂනය කල හැකි විය. සෑම රටකම සිටි කොමින්ටර්නයේ ප්‍රමුඛ පුද්ගලයෝ ක්‍රෙම්ලිනයේ දේශපාලන හා දෘෂ්ඨිමය අවශ්‍යතා සමඟ සැසඳෙන ආකාරයට වෙනස් වෙමින් සිටියෝය. ජාතික නායකයන් තෝරා ගැනුනේ ඔවුන්ගේ විප්ලවවාදී දෘඩභාවය, දේශපාලන ඥානය හා පෞද්ගලික අවංකකමේ පදනම මත නොවේ. ජාතික පක්ෂවල නායකයන් ලෙස තමන් විසින් තෝරා ගැනුනු පුද්ගලයන් තුල ක්‍රෙම්ලිනය අපේක්ෂා කල ගුනාංගයන් වූයේ කොන්ද පන නැතිකම, අවස්ථාවාදය හා ආඥාවන් මත ක්‍රියාත්මක වීමට කැමැති වීමයි. ස්ටැලින්ගේ අනුග්‍රහයට පාත්‍ර වූ මාදිලිය පිලිබඳව ට්‍රොට්ස්කි ඉතා හොඳින් දැන සිටියේය:           

කොමින්ටර්න් ශාඛාවන්හි ස්වාධීන පෞරුෂයකින්, ස්වාධීන අදහස්වලින්, ස්වාධීන ආනුභාවයෙන් හීන වූ නායකයෝ, තමන්ගේ තත්වය හා ප්‍රකීර්තිය ක්‍රෙම්ලිනයේ තත්වය හා ප්‍රකීර්තිය මත රඳා පවත්නේය යන කරුන ඉතා හොඳින් දැන සිටියෝය. ද්‍රව්‍යමය අර්ථයෙන් ගත් කල, ඉදිරියේ පෙන්වා දෙනු ඇති පරිදි, ඔවුන් ජීවත් වූයේ ජීපීයූවේ දීමනාවලිනි. එබැවින් පැවැත්ම සඳහා වූ ඔවුන්ගේ අරගලය, කවර හෝ හා සියලු විරුද්ධත්වයන්ට එරෙහිව උන්මත්තකාකාරයෙන් ක්‍රෙම්ලිනය ආරක්ෂා කිරීම තුලට තමාම ඇද වැටෙයි. ට්‍රොට්ස්කිවාදීන් ලෙස හඳුන්වා දෙනු ලබන්නන්ගේ විවේචනයන්හි නිවැරැදිභාවය හා එබැවින් එහි ඇති අන්තරායය ඔවුන්ට නොහැඟී යා නොහැක. එහෙත් ඉන් මා හා මගේ සම-චින්තකයන් කෙරේ ඔවුන්ගේ වෛරය හුදු ද්විගුන වනු පමනි. ඔවුන්ගේ ක්‍රෙම්ලින් හාම්පුතුන් මෙන්ම කොමියුනිස්ට් පක්ෂවල නායකයෝ ද හතරවැනි ජාත්‍යන්තරයේ සැබෑ අදහස් විවේචනය කිරීමට අසමත්යහ. මොස්කව් සිට අසීමිත ප්‍රමානයන්ගෙන් අපනයනය කොට එවනු ලබන මුසාකරනයන් හා යටි උගුල් මෑනීම් යොදා ගැනීමට ඔවුන්ට බල කෙරේ. මෙක්සිකානු ස්ටැලින්වාදීන්ගේ කල්ක්‍රියාව තුල "ජාතික" වූ කිසිවක් හෝ නැත; ඔවුහු හුදෙක් ස්ටැලින්ගේ ප්‍රතිපත්ති හා ජීපීයූවේ නියෝග ස්පාඤ්ඤ බසට පෙරලති. [17] 

ජීපීයූව විසින් පෝෂනය කෙරුනු කොමින්ටර්න් ශාඛාවන් ක්‍රමානුකූලව දූෂනයට පාත්‍ර වීම ට්‍රොට්ස්කි ලේඛනගත කලේය. ක්‍රෙම්ලිනය විසින් අභිප්‍රේත පිලිවෙත් ක්‍රියාවට නංවනු ලැබීම සහතික කර ගැනීමේ උපක්‍රමය ලෙස දේශපාලන විවාද යොදා ගැනීම විස්ථාපනය කර දමමින්, තර්ජනවල පිටුබලය ලද අල්ලස් දීම් ඒ තැන ගත්තේය.

ලියොන් ට්‍රොට්ස්කි

දෙවැනි ලෝක යුද්ධය පැතිර යාම විසින් ට්‍රොට්ස්කි කෙරේ වූ ස්ටැලින්ගේ භීතිය තීව්‍ර කෙරින. ආක්‍රමනය නොකිරීමේ ගිවිසුම පිලිපදිමින් හිට්ලර් සෝවියට් සංගමයට කඩා නොවදිනු ඇතැයි යන ස්ටැලින්ගේ අපේක්ෂා භංගත්වයේ ප්‍රාර්ථනය තිබියදීම, ඔහු හිට්ලර් වෙත පුදා තුබූ සියලු සහන තිබියදී ම, ජර්මන් ආක්‍රමනයක අනතුර බෙහෙවින්ම තථ්‍ය තර්ජනයක් විය. එය සිදු වුවහොත් හා එය සිදු වූ කල්හි, රතු හමුදාවේ වඩාත් අත්දැකීම් සහිත හා සමර්ථ ජනරාල්වරුන් හා එහි නිලධාරී කන්ඩායමේ ආසන්න වශයෙන් තුන් කාලක පිරිසක් කායිකව විනාශ කර දමමින් 1937-38 කාල පරිච්ඡේදයේ හමුදාවන්හි දියත් කල ලේ වැකි විමෝචනය ද ඇතුලු ව, ස්ටැලින්ගේ පිලිවෙත්වල ව්‍යසනකාරී ප්‍රතිවිපාක එම තන්ත්‍රය මුලුමනින්ම අපකීර්තියේ හෙලනු ඇත. පලමු ලෝක යුද්ධයේ දී සාර්වාදී හමුදා මුහුන දුන් පරාජයන්, ඊට විසි වසකට යන්තමින් වැඩි කාලයකට ඉහත දී රුසියානු විප්ලවය පුපුරා යාමේ ප්‍රමුඛ සාධකයක් ව තිබින. හමුදාවන්හි ප්‍රධාන ආඥාපතියා ව සිටි සාර් බලයෙන් අතු ගා දමනු ලැබීය. එබැවින්, නව යුද්ධයක් සෝවියට් සංගමය තුල ම නැඟිටීමකට හේතුකාරක වීමේ ඉඩකඩක් නොපවතී ද? විශේෂයෙන්ම යුද්ධය පැතිර යාම පසුපසින් රාජ්‍ය තන්ත්‍රයේ නොහැකියාව හේතුභූත කොට ගත් පරාජයන් පැමිනි කල? සුප්‍රසිද්ධ ලේඛකයෙකු හා විප්ලවවාදියෙකු වූ වික්ටර් සර්ජ් විසින් 1937 දී ලියන ලද ලිපිය පිලිබඳව ස්ටැලින් නිසැකවම හොඳින් දැන සිටියේය. සියලු වධ හිංසා පැමිනවීම් තිබියදී සර්ජ් ලියූවේ, "වයසක තැනැත්තා" - ට්‍රොට්ස්කිගේ අනුගාමිකයන් බොහෝ දෙනෙකු විසින් ඔහු දයාබර ලෙස අමතන ලද්දේ එපරිද්දෙනි - සෝවියට් ජනයාට අමතක වී නොසිටි බවයි.  

වයසක තැනැත්තා ජීවතුන් අතර සිටිනා තාක් කල් ජයග්‍රාහී නිලධරයට සුරක්ෂිතතාවයක් නැත. ඔක්තෝබර් විප්ලවයේ එක් මනසක් තවම පවතියි, තවද එය සැබෑ නායකයෙකුගේ මනසයි. ප්‍රථම කම්පනයේදී ම ජනයා ඔහු වෙත හැරෙනු ඇත. යුද්ධයක තුන්වැනි මාසයේ, දුෂ්කරතා ආරම්භ වූ විට, සමස්ත ජාතියම "ජයග්‍රහනයේ සංවිධායකයා" කරා හැරීම වැලැක්විය හැකි කිසිවක් නැත. [18]   

ස්ටැලින් ට්‍රොට්ස්කිගේ මරනය ප්‍රාර්ථනා කිරීමට තවත් එක් හේතුවක් පවතී. ට්‍රොට්ස්කි ස්ටැලින්ගේ චරිතාපදානයක් ලිවීමෙහි තදින් නියැලී සිටින බැව් ක්‍රෙම්ලිනයේ ආඥාදායකයා දැන සිටියේය. මැයි 24 වන දින ප්‍රහාරයේ අරමුනු අතරින් එකක් වූයේ ට්‍රොට්ස්කිගේ ලේඛනාගාරය විනාශ කිරීමයි. චරිතාපදානයේ අත්පිටපත ට්‍රොට්ස්කිගේ කඩදාසි අතර තිබෙනු ඇතැයි ස්ටැලින් නිසැකවම උපකල්පනය කලේය. මැයි 24 වන දින ප්‍රහාරය එය සොයා ගැනීමට හා විනාශ කිරීමට අසමත් විය. මෙම චරිතාපදානය සම්පූර්න කිරීම වැලැක්වීමේ එකම මඟ වූයේ එහි ලේඛකයා ඝාතනය කිරීමයි. ඔහුගේ පසුබිම, ඔහුගේ දේශපාලන මධ්‍යමානතාව, 1917 ට පූර්වයෙන් හා විප්ලවය අතරතුර බෝල්ෂෙවික් පක්ෂ ඉතිහාසය තුල ඔහුගේ අල්පේශාක්‍ය කාර්යභාරය, සිවිල් යුද්ධය තුල ඔහුගේ නොහැකියාව, සහ අන් සියල්ලටමත් වඩා, 1923 මුල් දිනවලදී ස්ටැලින් ප්‍රධාන ලේකම් ධුරයෙන් පහ කල යුතුයැයි නිගමනය කිරීම කරා ලෙනින් මෙහෙයවූ ඔහුගේ විශ්වාස ඝාතක හා ද්‍රෝහී රටාව ට්‍රොට්ස්කි විසින් හෙලිදරව් කරනු ලැබීමේ ඵලවිපාක සම්බන්ධයෙන් ස්ටැලින් බියපත් විය. මෙම චරිතාපදානය සම්පූර්න කිරීම හා ප්‍රකාශයට පත් කිරීම වැලැක්වීමට ස්ටැලින් තුල වූ අධිෂ්ඨානය, මැයි 24 දින ප්‍රහාරයත්, 1940 අගෝස්තු 20 වන දින රේමන් මර්කාඩර් සිදු කල ඝාතනයත් අතර වූ ඉතා කුඩා කාල පරාසය තුල - එය තෙමසකට අඩු කාලයකි - නිසැකවම ප්‍රමුඛ සාධකයක්ව පැවතියේය.      

ඝාතනය සත්තකින්ම චරිතාපදානය සම්පූර්න කිරීම වලක්වා ලීය. එහෙත් ට්‍රොට්ස්කි, ස්ටැලින්ගේ පුද්ගලත්වය හා දේශපාලන පරිනාමය තුලට සුවිශේෂී අන්තර්දෘෂ්ඨියක් සම්පාදනය කල විශාල අත්පිටපතක් ශේෂ කොට ගියේය. 1946 දක්වා ට්‍රොට්ස්කිගේ එම චරිතාපදානය ප්‍රකාශයට පත් නොවින; 1946 දී පල වූ එම සංස්කරනය, චරිතාපදානයේ ආඛ්‍යානයට ට්‍රොට්ස්කි විසින් පැහැදිලිව එකතු කර නොතිබූ සටහන් හා ඡේද කොටස් ද, සම්පූර්න කර තිබූ පරිච්ඡේද ද එකිනෙක කලවම් කොට සැකසූ අදක්ෂ ලෙස සංවිධිත එකක් විය. පරිවර්තකයා වූ චාල්ස් මලමුත් අදක්ෂයෙකු විය. 1939 තරම් ඉහත කාලයක දී, මෙම අත් පිටපතේ කොටස් පරිවර්තනය කිරීමට මලමුත් දැරූ ප්‍රාරම්භක ප්‍රයත්නවලින් තමන් දැක තුබූ දෙය මත පදනම්ව ට්‍රොට්ස්කි මෙසේ නොසතුට පල කළේය:

මල්මුත්ට අඩුම වශයෙන් ගුනාංග තුනක් ඇති බව පෙනීයයි: ඔහු රුසියානු භාෂාව නොදනී; ඔහු ඉංග්‍රීසි භාෂාව නොදනී; තවද ඔහු මහත් ලෙස, නැති දස්කම් ඇති සේ දක්වයි." [19]        

මීට ද වඩා තත්වය නරක් වූයේ, තමන්ගේ වචන හා වාක්‍ය ඛන්ඩ අභිමත පරිදි ට්‍රොට්ස්කිගේ පෙලට ඇතුලත් කරමින් ද, ලේඛකයාගේ අදහස්වලට ඍජුව ප්‍රතිවිරුද්ධ අදහස් චරිතාපදානය මත හිතාමතා පටවමින් ද ට්‍රොට්ස්කි ඝාතනයෙන් පසුව මලමුත් ට්‍රොට්ස්කිගේ පෙල සම්බන්ධයෙන් සුවිශේෂී නිදහසක් පරිහරනය කරන්නට වීමත් සමඟය. නිතර නිතර මලමුත්ගේ අන්තර්නිවේශනයන් පිටු ගනන් පුරා දීර්ඝව එක් කරන ලදුව තිබුනේ ට්‍රොට්ස්කි විසින් ලියන ලද පරිද්දෙන් පැවැති ආඛ්‍යානය දියාරු කර දමමින් හා විකෘති කරමිනි. වසර හැත්තෑවකට ආසන්න කාලයක් පුරා මෙකී චරිතාපදානයේ පොදු මහජනයාට කියැවීමේ අවකාශ තිබූ එකම සංස්කරනය එය විය. 2016 දී චරිතාපදානයේ නව සංස්කරනයක් ප්‍රකාශයට පත් කෙරින. එය, පරිවර්තනය සම්බන්ධයෙන් ද, අත්පිටපත හා ඉහත දී උකහා නොගන්නා ලද කොටස් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ද ඉහත සංස්කරනයට වඩා බෙහෙවින් වැඩි සවිඥානකභාවයක් සහිත ප්‍රවිෂ්ඨයකින් යුතු සංස්කරනයක් විය. [20]  

තමන් විසින් ලියන ලද කොටස් තුනකින් සමන්විත ට්‍රොට්ස්කි චරිතාපදානයේ ඉසාක් ඩොයිට්ෂ්චර් සඳහන් කර ඇත්තේ, ස්ටැලින් කෘතිය - ඉදින් එය සම්පූර්න කිරීමට කතුවරයා ජීවත් වූයේ වී නම් වුව - "ට්‍රොට්ස්කිගේ දුර්වලම කෘතිය වීමට බොහෝ සේ ඉඩ තිබූ" බවයි. ස්ටැලින්වාදය ප්‍රතිවිප්ලවවාදී බවට ට්‍රොට්ස්කි කල නිසැක තක්සේරුවට එරෙහි ඩොයිට්ෂ්චර්ගේ දේශපාලන විරුද්ධත්වය කෙරෙන් පැන නැඟුනු මෙම විවේචනය බරපතල ලෙස සාවද්‍යය. මෙම චරිතාපදානය එහි අන්තර්ගතයෙන් හා පෙනී යන පරිදි අවසාන සංස්කරන ක්‍රියාවලියකට භාජනය වී නොතිබීමෙන් -  ඉදින් අවසාන සංස්කරනය සඳහා අවකාශ ලැබිනි නම් එහි විශිෂ්ඨ ලේඛකයාට තම කලා කෞශල්‍යයේ මුලුමහත් පරාසය එහි බහා ලන්නට අවකාශ ලැබිය හැකිව තිබිනි - යන දෙ ආකාරයෙන්ම අසම්පූර්න එකක් වූ නමුදු, ට්‍රොට්ස්කිගේ ස්ටැලින් කෘතිය අග්‍ර කෘතියකි. ස්ටැලින් දේශපාලන දැවැන්තයෙකු සේ දක්වන ඩොයිට්ෂ්චර්ගේ ම කෘතියක් ද ඇතුලුව ස්ටැලින් පිලිබඳව අප්‍රමාන චරිතාපදාන ලියැවී ඇත. එහෙත් එම කිසිදු කෘතියක් දේශපාලන ගැඹුරින් වේවා, මනෝ විද්‍යාත්මක අන්තර්දෘෂ්ඨියෙන් වේවා, නැතහොත් සාහිත්‍යමය ප්‍රභාවෙන් වේවා ට්‍රොට්ස්කිගේ චරිතාපදානයේ අසලකින් හෝ තැබිය නොහැකිය.                   

දැවැන්ත රුසියානු අධිරාජ්‍යය පුරා විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය වර්ධනය වූ ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලනික වටපිටාව පිලිබඳව ඔහුට පැවැති අසමසම දැනුම ට්‍රොට්ස්කිගේ කෘතියට තොරතුරු සපයා ඇත. ස්ටැලින්ගේ පුද්ගලතාවයේ ට්‍රොට්ස්කිගේ ප්‍රතිනිර්මානය ඔහු පිලිබඳ විකට චිත්‍රයක් නොවේ. ට්‍රොට්ස්කි පෙන්නුම් කරන පරිදි ශුගෂ්විල්ලිගේ - ස්ටැලින්ගේ - පුද්ගලතාව හැඩ ගැසුනේ ඔහු ඇති දැඩි වූ පවුල තුල සහ, ඔහුගේ මුල් කාලීන දේශපාලන ක්‍රියාකාරකම් දිග හැරුනු සංස්කෘතික හා දේශපාලන වටපිටාවේ පැවැති පසුගාමී තතුවලිනි. 

මෙම සුවිශේෂී කෘතිය පිලිබඳ පෘථුල හා සවිස්තරාත්මක විචාරයක් කිරීමට මෙය උචිත ස්ථානය නොවේ. එහෙත් මෙම චරිතාපදානයේ අවධානය යොමු විය යුතු එක් තීරනාත්මක මූලාංගයක් වන්නේ, ස්ටැලින් ඉහලම බලය කරා නැඟීම ශක්‍යතාවයක් බවට පත් කල වෛෂයික කොන්දේසි හා පරාවර්තක ආත්මීය ක්‍රියාවලීන් සමඟ ට්‍රොට්ස්කිගේ වූ පූර්ව නියුක්තියයි. සිවිල් යුද්ධයෙන් අනතුරුව බෝල්ෂෙවික් පක්ෂයේ සමාජ සංස්කෘතිය තුල ඇති වූ වෙනස කෙරේ ට්‍රොට්ස්කි යලියලිත් අවධානය කැඳවයි. විප්ලවයට නායකත්වය දුන් පක්ෂය, ඉතිහාසයේ වෙනත් කවර හෝ ව්‍යාපාරයක් සමඟ සැසඳිය නොහැකි තරම් ඔබ්බක ම පාහේ පිහිටි ව්‍යාපාරයක් ලෙස, "එතරම් ඒකමතිකත්වයක්, එතරම් පරමාදර්ශී පුනරුත්ථානයක්, එතරම් භක්තිමත් ලැදියාවක්, එතරම් පරාර්ථකාමීත්වයක්" පිලිබඳ වීරෝදාර ආදර්ශයක් සම්පාදනය කලේය. [21] 

බෝල්ෂෙවික් පක්ෂය තුල අභ්‍යන්තර විවාද, ගැටුම්, වෙනත් ලෙසකින් කිවහොත් මානව පැවැත්මේ ස්වභාවික කොටසක් වන සියලු දේ, පැවතින. මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් පිලිබඳව සැලැකු කල, ඔවුහු ද හුදෙක් මනුෂ්‍යයෝ වූහ; එහෙත් සුවිශේෂී කාල වකවානුවක් ඔවුන් තමන්ගෙන් ඉහලට ඔසොවා තිබින. කිසිවක් පරමාදර්ශනය නොකොට සහ මානව දුබලතාවයන් කෙරේ ඇස් පියා ගැනීමෙන් වැලැකී හිඳිමින් වුව කිවහැක්කේ, එම වර්ෂවලදී පක්ෂය තුල යමෙකු ආශ්වාස කල වාතය කඳු ශිරස්කයක දී ආග්‍රානය කරන වාතය තරමටම පිරිසිදුව පැවැති බවයි. [22]   

එහෙත් සිවිල් යුද්ධයෙන් ඉක්බිති නව, පරීක්ෂාවට භාජනය වී නැති හා සාමාජයීය වශයෙන් පිටස්තර කොටස් පක්ෂය තුලට ගලා එන්නට වූ කල, වායුගෝලය වෙනස් විය. වෘත්තීයමය අභිවෘද්ධිය සොයා පක්ෂය තුලට ඇදෙන්නන්ට එරෙහිව පක්ෂය රැක ගැනීමේ ප්‍රයත්න වරින්වර දැරින. එහෙත් වෛෂයික තතු චලනය වෙමින් පැවැතියේ අවාසිදායක දිශාවකටය.  

සිවිල් යුද්ධයෙන් පසුව, හා විශේෂයෙන්ම ජර්මනියේ විප්ලවය පරාජය වීමෙන් පසුව, තවදුරටත් තමන් ප්‍රයානයේ යෙදී සිටින රන සෙබලුන් ලෙස බෝල්ෂෙවිකයන්ට හැඟී ගියේ නැත. ඒ අතරතුරම, පක්ෂය විප්ලවවාදී කාල පරිච්ඡේදයේ සිට වාඩි වී වැඩ කරන යුගයකට මාරු විය. සිවිල් යුද්ධ සමයේ සිදු වූ විවාහ සංඛ්‍යාව සුලුපටු නොවේ. එහි අවසාන කාලය වන විට මේ ජෝඩු දරුවන් බිහි කලෝය. අනුනිවාස පිලිබඳ, ගෘහ භාන්ඩ පිලිබඳ, පවුල පිලිබඳ ප්‍රශ්න කිසිදා නොවූ විරූ වැඩි වැදගත්කමක් අත්පත් කර ගත්තේය. සමස්තයක් ලෙස අසීරුතා පරයා ලූ විප්ලවවාදී ඒකමතිකත්වයේ බැඳුම්, නිලබලධාරීත්වයේ හා ද්‍රව්‍යමය යැපෙන්නන් පිලිබඳ බන්ධනයන්ගෙන් සැලකිය යුතු මට්ටමකට විස්ථාපනය වී තිබින. ඉහතදී විප්ලවවාදී පරමාදර්ශවල පමනක් ආධාරයෙන් දිනිය හැකිව තිබින. දැන් බොහෝ අය ද්‍රව්‍යමය ස්ථානාන්තර හා වරප්‍රසාදවල ආධාරයෙන් දිනමින් හුන්නෝය. [23] 

ට්‍රොට්ස්කි තර්ක කරමින් සිටියේ, සියලු පෞද්ගලික හා ද්‍රව්‍යමය උද්‍යෝගයන් කෙරෙන් දුරස්තර වූ, නිත්‍ය හා අත්පත් කර ගත නොහෙන ව්‍රතයක් වෙනුවෙන් නොවේ. ඔහුට ද දරුවෝ සිව් දෙනෙක් සිටියාහ. ඔහු පැහැදිලි කරමින් සිටියේ, පක්ෂය තුල ගතානුගතික සමාජ වාතාවරනයක් ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබූ තතු තුල, නව ආර්ථික පිලිවෙත විසින් රට තුල ධනේශ්වර වෙලඳ පොල පුනරුත්ථානය කරනු ලැබීම හා සම්බන්ධිතව පැවැති දිග දුර යන සමාජ ආර්ථික ක්‍රියාවලීන් සමඟ එම තතු අන්තර් ක්‍රියාකාරීත්වයේ යෙදුනේ කෙසේද යන්නයි. ගම්බද ප්‍රදේශ තුල පෞද්ගලික ව්‍යවසායට ලැබුනු ප්‍රතිනව්‍ය වූ වැදගත්කම විසින් සමාජ අසමානතාවයේ හදිසි පිලිගැනීමක්, හා එය ධෛර්යමත් කිරීමක් පවා, නිර්මානය කෙරින. ට්‍රොට්ස්කි හා වාම විපක්ෂයේ ඔහුගේ ආධාරකරුවන් සමානාත්මතාවය කෙරේ යොදන ලද අවධාරනය ප්‍රහාරයට ලක් විය. ස්ටැලින් මෙම මනෝභාවයට අනුහුරු වූ අතර, එය තම වාසියට භාවිතා කලේය. සමානාත්මතාවය "සුලු ධනපති ප්‍රාග් නිශ්චයක් ලෙස නිලධරය විසින් ප්‍රකාශ කෙරින." සමානාත්මතාවය කෙරේ වූ ද්වේශය නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනය කෙරේ වර්ධනය වෙමින් පැවැති සතුරුකම ද සමඟ අත්වැල් බැඳ ගත්තේය:  

එම කාල පරිච්ඡේදය තුල කෘෂිකාර්මික හා නාගරික සුලු ධනපතියන් සමඟ කටයුතු කල නිලධරය "තනි රටේ සමාජවාදය" පිලිබඳ න්‍යායට අනුග්‍රහ දැක්වූහ. සමානාත්මතාවයට එරෙහි අරගලය විසින් නිලධරය, හුදු කෘෂිකාර්මික හා නාගරික සුලු ධනේශ්වරය සමඟ පමනක් නොව, කම්කරු ප්‍රභූ පැලැන්තිය සමඟ ද අන් කවර කලෙක හෝ නොවූ විරූ තරම් දෘඩතර ලෙස පාස්සා ලනු ලැබින. අසමානතාවය මෙම සහචරයන්ගේ පොදු සමාජ පදනම, ප්‍රභවය හා අරමුන බවට පත් විය. ඒ අනුව, 1923 හා 1928 අතරතුර ආර්ථික හා දේශපාලන බන්ධනයන් විසින් නිලධරය හා සුලු ධනපතියන් එක්සත් කරන ලදී. [24]

ස්ටැලින් බලය කරා නැඟීම බැඳී තිබුනේ නිලධර යන්ත්‍රයේ ක්‍රිස්ටලීකරනය (දෘඩ වීම හා ස්ථාවර හැඩ තල අත්පත් කර ගැනීම) හා තම නිශ්චිත උත්සුකයන් පිලිබඳ එහි වර්ධනය වෙමින් පැවැති දැනුවත්කම ද සමඟය. "මේ සම්බන්ධයෙන් ගත් කල, ස්ටැලින් පෙනී සිටින්නේ මුලුමනින්ම සුවිශේෂී ප්‍රපංචයක් ලෙසය. ඔහු චින්තකයෙකු හෝ, ලේඛකයෙකු හෝ, කථිකයෙකු හෝ නොවේ. ඔහු බලයට පත් වී තුබුනේ, රතු චතුරශ්‍රයේ උත්සවකාරී පෙලපාලිවල දී ජනයා ඔහුගේ රුව අන්‍යයන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට ඉගෙන ගැනීමට පවා පෙරාතුවය. ස්ටැලින් බලයට පත් වූයේ ඔහුගේ පෞද්ගලික ගුනාංගවලට නොව, අපුද්ගල උපකරනයකට ස්තුතිවන්නට ය. තවද, එකී උපකරනය ඔහුගේ නිර්මානයක් නොවීය, ඔහු උපකරනයේ නිර්මානයක් විය." [25]   

"ස්ටැලින්ගේ පුරාවෘත්තය" මතු ව ආ සමාජ-ආර්ථික හා පන්ති සම්බන්ධතා හෙලිදරව් කල ට්‍රොට්ස්කි, එමඟින් එය සුනුවිසුනු කර දැමීය. ට්‍රොට්ස්කි ලියූවේ, මෙම පුරාවෘත්තය "කවර හෝ සෞන්දර්යාත්මක ගුනයකින් තොර" එකක් බවයි. එයට හැක්කේ, තමන් ගෘහාධිපතියා බවට පත් වන දිනය කඩිනම් කර ගැනීමට අපේක්ෂා කරන අලුත් බලවතුන්ගේ බඩජාරී පැලැන්තියක ස්වභාවය සමඟ මුලුමනින් අනුරූප වන විලිලජ්ජා නැති කමේ විභූතිමත් පිරිසරනයක් මඟින් පරිකල්පනය විශ්මයට පත් කිරීම පමනෙකි." [26]   

සිය දූෂිත මාන්ඩලික පිරිවර සමඟ ස්ටැලින්ගේ සම්බන්ධතාව සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි ගෙන එන විස්තර කිරීම හුවෙනල්ගේ ද සැටයර්ස් (The Satires) සිහිපත් කරවයි:

කලිගියුලා ඔහුගේ ප්‍රියතම අශ්වයා සෙනෙට් සභිකයෙකු ලෙස පත් කලේය. ස්ටැලින්ට ප්‍රියතම අශ්වයෙකු නොමැති අතර මෙතෙක් කිසිදු අශ්වාකාර නියෝජ්‍යයෙකු උත්තරීතර සෝවියටයේ අසුන් ගෙන නොසිටී. කෙසේවෙතත්, කලිගියුලාගේ අශ්වයාට හෝ, ඒ කාරනය සම්බන්ධයෙන් සැලැකූ විට ඔහුගේ සෙනෙට් සභිකයන්ට පවා හෝ, රෝමයේ කටයුතු සම්බන්ධයෙන් පැවැති බලපෑමට වඩා වැඩි බලපෑමක් උත්තරීතර සෝවියට් සභාවේ සාමාජිකයන්ට සෝවියට් සංගමයේ කටයුතු සම්බන්ධයෙන් නොපවතී. ප්‍රිටෝරියන් ගාඩ් බලකාය මහජනයාට ඉහලින් සිටි අතර, යම් අර්ථයකින් එය රාජ්‍යයට ද ඉහලින් සිටි එකක් විය. එහි අවසාන තීරකයකු ලෙස අධිරාජ්‍යයෙකු සිටිය යුතු විය. ස්ටැලින්වාදී නිලධරය, ස්ටැලින් එහි උත්තරීතර නායකයා වන, ප්‍රිටෝරියන් ගාඩ්හි නූතන ප්‍රතිමූර්තියකි. ස්ටැලින්ගේ බලය සීසර්වාදයේ නූතන රූපාකාරයකි. එය ඔටුන්නක් නැති, මේ දක්වා ඊලඟ උරුමක්කාරයෙකු පෙනෙන්නට නැති, රාජාන්ඩුවකි. [27]   

දේශපාලනයේ විෂය ක්ෂේත්‍රය තුල ට්‍රොට්ස්කි ඔහුගේ යුගයේ විශිෂ්ඨතම බුද්ධිය විය. ඔහු, අවසාන විග්‍රහයේ දී ලෝක අධිරාජ්‍යවාදයේ නියෝජිතයෙකු වන, ස්ටැලින්වාදී රාජ්‍ය යන්ත්‍රයට එල්ල කලේ ඉසිලිය නොහැකි තර්ජනයකි. ඔහුට ජීවත් වන්නට ඉඩ දීමට එයට නොහැකි විය. තමන්ට එරෙහිව පෙල ගැසී තුබූ බලවේග පිලිබඳව ට්‍රොට්ස්කි ඉතා හොඳින් දැන සිටියේය: "මා පෘථිවියේ ජීවත් වන්නේ නීතියට අනුව නොව, නීතියේ ව්‍යතිරේකයක් ලෙස යැයි එබැවින් මට පැවැසිය හැක." [28] එහෙත් එවන් සාතිශය අන්තරායයන් හමුවේ පවා ට්‍රොට්ස්කි සුවිශේෂී මට්ටමක පෞද්ගලික වාස්තවිකතාවක් පවත්වා ගෙන ගියේය:

අපේ යුගය වැනි ප්‍රතිගාමී යුගයක දී විප්ලවවාදියෙකුට දිය පහරට එරෙහිව උඩු ගං බලා පීනන්නට සිදු වේ. මම මගේ උපරිම හැකියාව යොදවා එය කරමි. ලෝක ප්‍රතිගාමීත්වයේ පීඩනය ඇතැම්විට වඩාත්ම නිර්දය ලෙස ප්‍රකාශයට පත් වී ඇත්තේ මගේ පෞද්ගලික ඉරනම තුල හා මගේ සමීපතමයන්ගේ ඉරනම තුල ය. ඒ තුල මා සතු කිසියම් ගුනාංගයක් මම නොදකිමි: මේ ඓතිහාසික තත්වයන්හි අන්තර්සම්බන්ධයේ ප්‍රතිඵලයයි. [29]

මතු සම්බන්ධයි.

[1] Writings of Leon Trotsky 1939-40, පි. 233

[2] එම, 233-34 පිටු 

[3] එම, පි. 235

[4] ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ පරීක්ෂනය තුල අප සහයෝගයෙන් කටයුතු කල 1970 ගනන්වල හා 1980 ගනන්වල දී, මෙම ලිපියේ කර්තෘවරයා හැරල්ඩ් රොබින්ස් (1908-1987) සමඟ සාකච්ඡා ගනනාවක යෙදී ඇත. 

[5] Writings of Leon Trotsky 1939-40, පි. 247

[6] එම, පි. 248

[7] එම, පි. 247

[8] Patenaude, Bertrand M., Trotsky: Downfall of a Revolutionary (HarperCollins e-books. Kindle Edition), පි. 256

[9] “Healy’s Big Lie,” in Education for Socialists, December 1976, p. 36 

[10] Writings of Leon Trotsky 1939-40, 363-64 පිටු 

[11] Barry Carr, “Crisis in Mexican Communism: The Extraordinary Congress of the Mexican Communist Party, Science & Society, Spring, 1987, 51 වෙලුම, අංක 1, පි. 50

[12] එම, පි. 51

[13] එම, පි. 54 

[14] Writings of Leon Trotsky 1939-40, පි. 352 

[15] Stalin: Triumph & Tragedy, translated by Harold Shukman (New York, 1988), 254-256 පිටු  

[16] Writings of Leon Trotsky 1939-40, පි. 350

[17] එම, පි. 351 

[18] From Lenin to Stalin (New York, 1937), පි. 104 

[19] Writings of Leon Trotsky: Supplement 1934-40 (New York, 1979), පි. 830

[20] මෙම නව සංස්කරනයේ පරිවර්තකයා හා සංස්කාරකවරයා වන්නේ ඇලන් වුඩ්ස්ය. ඔහු වාමාංශික දේශපාලන ප්‍රවනතාවයක් සමඟ සම්බන්ධකම් පවත්වයි. ඔහු සම්බන්ධකම් පවත්වන එකී කන්ඩායම හා ජාත්‍යන්තර කමිටුව අතර චිරප්‍රකට හා මූලික දේශපාලන වෙනස්කම් පවතී. එහෙත්, ට්‍රොට්ස්කිගේ ස්ටැලින් කෘතියේ මෙම සංස්කරනය නිර්මානය කිරීමෙහි ලා වුඩ්ස්ගේ ප්‍රයත්නය සම්භාවනාවට හා ප්‍රශංසාවට පාත්‍ර විය යුතුය.    

[21] Leon Trotsky, Stalin, edited and translated by Alan Woods (London, 2016), පි. 545

[22] එම

[23] එම

[24] එම, පි. 565

[25] එම, පි. 676

[26] එම, පි. 672

[27] එම 

[28] Writings of Leon Trotsky 1939-40, පි. 250

[29] එම

Loading