වසර 75 ට පෙර: වියට්නාම් ස්ටැලින්වාදීහු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහිව මිනීමරු ව්‍යාපාරයක් දියත් කරති

මෙම ලිපිය 21 දාඉංග්‍රීසියෙන් පලවින

හෝ චි මිංගේ (Ho Chi Minh) නායකත්වයෙන් යුත් වියට්නාම් ස්ටැලින්වාදීහු 1945 සැප්තැම්බර් මේ සතියේ, වියට්නාම් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විරේක කිරීමේ අරමුනෙන් දරුනු මෙහෙයුමක් දියත් කලහ.

ප්‍රන්ස යටත් විජිත පාලනය යලි යථා තත්ත්වයට පත් කිරීමේ කුරිරු ව්‍යායාමයට එරෙහිව, බොහොමයක් ප්‍රාදේශීය කමිටු තුල සංවිධානය වී සිටි කම්කරුවෝ, සැප්තැම්බර් 23-24 දිනවල, එරට දකුනු අගනුවර වන සයිගොන් (Saigon) නගරයේ දී නැගිටීමක් දියත් කලහ. විදේශ හිමිකාරීත්වය සහිත කාර්මික සංකීර්න විනාශ කෙරුනි, නැතිනම් අත්පත්කර ගැනින. හමුදා මුරපොලවල් වලට පහර දුනි. මහජන උද්ඝෝෂන පැවැත්විනි. මෙම ක්‍රියා බොහොමයක් රතු බැනර් යටතේ සිදු විය.

වියට්නාම ට්‍රොට්ස්කිවාදී නායක ටා තූ තවු (Tạ Thu Thâu)

නැගිටීම තුල, වියට් මිං (Viet Minh) සංවිධානයේ සමහර ප්‍රාදේශීය කන්ඩායම් ද ඉන්දුචීන කොමියුනිස්ට් පක්ෂය (අයිසීපී - Indochinese Communist Party) විසින් පිහිටුවන ලද වියට්නාම නිදහස් සංගමය (Vietnamese Independence League)  සහ ධනේශ්වර-ජාතිකවාදී කන්ඩායම් ද පෙල ගැසී සිටියහ. දෙවන ලෝක යුද්ධයෙන් ජපාන අධිරාජ්‍යවාදය පරාජයට පත්වීමෙන් පසු ස්ටාලින්, ටෘමන් සහ චර්චිල් අතර පොට්ස්ඩෑම්හි දී පැවති සුමුලුවේදී ඇති වූ එකඟත්වයන් අතර වියට්නාමය සම්බන්ධයෙන් සැලැස්මක් ද අඩංගු විය. එයට අනුව උතුරු වියට්නාමය තුලට චීන කුවොමින්ටෑන් හමුදා යෙදවීමටත්, දකුනු වියට්නාමය තුලට බ්‍රිතාන්‍ය හමුදා යෙදවීමටත්, ඒ සමගම ප්‍රන්ස යටත් විජිත පරිපාලකයින් බ්‍රිතාන්‍යයන් සමඟ සයිගොන් වෙත පැමිනීමටත් එකඟ වී තිබින. එම සැලසුමට ස්ටලින්වාදී අයිසිපී නායකත්වය හිස නමා තිබූ හෙයින්, ඉහත නැගිටීම් අයිසීපීයේ ජාතික නායකත්වයට තරවටුවක් විය.

සයිගොන් කැරැල්ල පාලනය කිරීමට අයිසීපීය උත්සාහ කල අතර, එය මිත්‍ර පාක්ෂික අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහි රටපුරා නැගිටීමක් බවට පත්වීම වැලක්වීම සඳහා ප්‍රන්ස බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. මෙම ප්‍රතිපත්තිය වියට්නාම් ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහි මිනීමරු ප්‍රහාරයක් සමඟ අත්වැල් බැඳගත්තේය. ලා ලූට් (La Lutte - අරගලය) නම් ප්‍රන්ස බසින් පලවූ කොමියුනිස්ට්වාදී පුවත්පත හා සම්බන්ධ ට්‍රොට්ස්කිවාදී කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයින් 30 දෙනෙකු පමන වියට් මිං හමුදා විසින් සයිගොන් හි පන්සලකදී  අත්අඩංගුවට ගැනින. ඔවුන් එහි රැස් වී සිටියේ ප්‍රන්සයට එරෙහි සන්නද්ධ අරගලය ගැන සාකච්ඡා කිරීම සඳහා ය. ඔවුන් සියලු දෙනා කෙටි කාලයක් තුල කිසිදු විභාගයක් නොකරම මරා දැමිනි.

ලා ලූට් කන්ඩායමට සහ තවත් ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වන ජාත්‍යන්තර කොමියුනිස්ට් ලීගයට  (අයිසීඑල්) 1930 ගනන්වල මුල් භාගයේ සිට වියට්නාමය තුල, විශේෂයෙන් නාගරික කම්කරු පන්ති ප්‍රදේශවල, සැලකිය යුතු දේශපාලන අනුහසක් පැවතුනි. ජපාන අධිරාජ්‍යවාදයට එරෙහි අගෝස්තු නැගිටීමේදී මේ කන්ඩායම් දෙකම ප්‍රමුඛව ක්‍රියා කල අතර වියට් මිං වරුන් බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස මිත්‍ර පාක්ෂික බලවතුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට, විරුද්ධ වූහ.

එක් වාර්තාවක සඳහන් වූ පරිදි "අයිසීඑල් සංවිධානය වියට් මිං සංවිධානය හෙලා දුටුවේ එය වියට්නාම් සමාජය තුල සිටින ධනේශ්වර කොටස් ඇතුලත් කොට සෑදු සන්ධානයක් යැයි පවසමිනි. අයිසීඑල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ, විප්ලවය සම්පුර්න කරන ලෙසය. එනම්, මහජනතාවගේ කමිටු රාජ්‍ය බලය ලබාගැනීමේ අවයව ලෙස ගොඩනඟා නිදහස ලබාගනිමින් ගොවීන්ට ඉඩම් බෙදා දී විප්ලවය සම්පූර්න කරන ලෙස යි." අයිසීඑල් සංවිධානය අගෝස්තු සහ සැප්තැම්බර් මුලදී කලල රූපී සෝවියට් සභා ලෙස සැලකූ එම කමිටු පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කලහ.

සැප්තැම්බර් මාසය පුරාම වියට් මිං මර්දනය රට පුරා පැතිර විය. ට්‍රොට්ස්කිවාදීන් සිය ගනනක් වටකර මරා දැමින. සමහර අවස්ථා වලදී, ප්‍රන්ස බලධාරීන් සහ ස්ටැලින්වාදී නායකයින් සෘජු සහයෝගීතාවයෙන්  මෙයට සම්බන්ධ විය.

ඝාතනයට ලක්වූවන් අතර රට පුරා සහ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රසිද්ධියක් ඉසිලූ ලා ලූට් කන්ඩායමේ නායක ටා තු තවූ ද විය. ප්‍රන්ස සමාජවාදී ඩැනියෙල් ගැරන් (Daniel Guerin) විසින් තු තවූ ගේ මරනය ගැන විමසූ විට පිලිතුරු දෙමින් හෝ චි මිං පැවසුවේ ඔහු “ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියෙකු වූ අතර අපි ඔහු වෙනුවෙන් වැලපෙන්නෙමු” යනුවෙනි. එයටම එකතු කරමින් ඔහු පැවසුවේ “මා විසින් නියම කර ඇති පිලිවෙත අනුගමනය නොකරන සියලු දෙනා විනාශ වනු ඇත.” කියා ය.

Loading