ට්‍රොට්ස්කිගේ අවසන් වසර - පස්වන කොටස

1940 ජුනි මාසයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පීයේ) නියෝජිත කන්ඩායමේ කොයෝවාකාන් සංචාරය අතරතුර, ජේම්ස් පී. කැනන් හා ෆැරල් ඩොබ්ස් සමග කල සිය සාකච්ඡාවන්හි දී, වෘත්තීය සමිති කටයුතු සම්බන්ධයෙන් එස්ඩබ්ලිව්පීයේ අධිකතර ලෙස සින්ඩිකල්වාදී වූ ප්‍රවිෂ්ටය පිලිබඳ ව ට්‍රොට්ස්කි සිය සැලකිල්ල පල කොට තිබුනි. දේශපාලනය පිලිබඳව, එනම්, විප්ලවීය සමාජවාදී මූලෝපාය පිලිබඳව එය ලබා දී තුබූ අවධානය ප්‍රමානවත් නො වීය. රූස්වෙල්ට්-ගැති වෘත්තීය සමිතිවාදීන්ට එස්ඩබ්ලිව්පීයේ අනුගත වීම තුල මෙය ප්‍රකාශනයක් අත්කරගෙන තිබුනු අතර, ට්‍රොට්ස්කි එය විග්‍රහ කලේ “භයානක අන්තරායයක්” [1] ලෙස යි. “බොල්ශෙවික් ප්‍රතිපත්ති ආරම්භ වන්නේ වෘත්තීය සමිතිවලට පිටතින්” [2] බව එස්ඩබ්ලිව්පී නායකයන්ට මතක් කර දීම අත්‍යවශ්‍යයැයි ඔහුට හැඟී ගියේය.

එස්ඩබ්ලිව්පී නායකයන්ගේ සංචාරයේ දී ඉස්මතු වුනු ප්‍රශ්න පිලිබඳ සාකච්ඡාව දිගට ම සිදු කිරීමට හා එය ගැඹුරු කිරීමට ට්‍රොට්ස්කි අපේක්ෂා කල බව පැහැදිලි ව පෙනී යයි. ඔවුන් මෙක්සිකෝවෙන් පිටත් ව ගිය පසු ට්‍රොට්ස්කි වෘත්තීය සමිති පිලිබඳ විශ්ලේෂනයක් වෙනුවෙන් කැප කල ලිපියක් ලිවීම  ආරම්භ කලේ ය. ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් අනතුරු ව ඔහුගේ මේසය මත තිබී කෙටුම්පත හමු වූ අතර, එය ඔහුගේ අභාවයෙන් පසු, ‘හතරවන ජාත්‍යන්තරය’ න්‍යායික සඟරාවේ 1941 පෙබරවාරි සංස්කරනය තුල පලකරන ලදී. එහි මාතෘකාව වූයේ අධිරාජ්‍යවාදය ඛාදනය වන යුගයේ වෘත්තීය සමිති යන්න යි.

ලියොන් ට්‍රොට්ස්කි ඔහුගේ බිරිඳ වූ නතාලියා සෙඩෝවා සමග

ට්‍රොට්ස්කිගේ ලියවිලිවල ආවේනික ගුනාංගය පරිදි ම, වෘත්තීය සමිති පිලිබඳ ඔහුගේ විශ්ලේෂනය ඊට උචිත ඓතිහාසික හා ජාත්‍යන්තර සන්දර්භය තුල පිහිටුවීමටත්, තනි තනි නායකයන්ගේ පෞද්ගලික අභිලාෂයන් හා යුක්තියුක්ත කිරීම් පසෙක තිබියදී, මෙම සංවිධානවල ප්‍රතිපත්ති  තීන්දු කල සාරභූත ක්‍රියාවලීන් හඳුනාගැනීමටත්, ඔහු අපේක්ෂා කලේ ය. වෘත්තීය සමිති තුල වැඩකටයුතු කෙරේ මාක්ස්වාදී හෙවත් අව්‍යාජ විප්ලවවාදී ප්‍රවිෂ්ටයක් වර්ධනය කරගත හැකිව තුබුනේ මෙකී වෛෂයික පදනම මත පමනි. ට්‍රොට්ස්කිගේ ලිපිය ආරම්භ වූයේ, ලෝක ධනේශ්වර පර්යාය තුල වෘත්තීය සමිති දරන තැන සංක්ෂිප්ත ලෙස හඳුනාගැනීමකිනි: 

සමස්ත ලෝකයේ ම නවීන වෘත්තීය සමිති සංවිධානවල වර්ධනය; නැතහොත් වඩාත් නිවැරදි ව සඳහන් කරන්නේ නම් පිරිහීම; තුල එක් පොදු ලක්ෂනයක් පවතී: ඒ වනාහි, (පවත්නා) රාජ්‍ය බලය වෙත ඒවා වඩ වඩා සමීප ව ඇදී යාම හා එම බලය සමග එක්ව වර්ධනය වීම යි. මෙම ක්‍රියාවලිය අපක්ෂපාත, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, කොමියුනිස්ට්වාදී හා “අරාජකවාදී” යන සියලු වෘත්තීය සමිතිවලට එක හා සමාන වූ පොදු ලක්ෂනයකි. මෙම කරුන පමනක් වුව පෙන්වා දෙන්නේ, “එකට වැඩීම” කෙරෙහි වන ප්‍රවනතාව ඒ හෝ මේ දෘෂ්ඨියේ නිසග ලක්ෂනයකින් වෙනුවට, සියලු වෘත්තීය සමිතිවලට පොදු සමාජ කොන්දේසිවලින් තද්භව වන එකක් බව යි.

ඒකාධිකාරී ධනවාදය රඳා පවතින්නේ, තරඟය හා නිදහස් පුද්ගල ආරම්භකත්වය මත නො ව, මධ්‍යගත බලය මත යි. යෝධ භාර, සමූහ ව්‍යාපාර, බැංකු සංගත ආදියේ මුදුනත සිටින ධනපති කල්ලි ආර්ථික ජීවිතය දකින්නේ රාජ්‍ය බලය එය දැකගන්නා මුදුනතෙහිම සිට වන අතර, සෑම පියවරක දී ම ඔවුන්ට රාජ්‍ය බලයේ සහයෝගය අවශ්‍ය වේ. කර්මාන්තයේ වඩාත් ම වැදගත් අංශවල වෘත්තීය සමිති තමන්ගේ පාර්ශවයෙන් ගත් කල දකින්නේ, විවිධ ව්‍යවසායයන් අතර තරඟයෙන් ලාබ ප්‍රයෝජන ලැබීමේ හැකියාව තමන්ට අහිමි කෙරෙන බවයි. රාජ්‍ය බලය සමග කුලුපග ලෙස බැඳුනු මධ්‍යගත ධනපති එදිරිවාදියෙකුට මුහුන දීමට ඔවුන්ට සිදු වේ [3]. 

නූතන ධනේශ්වර සංවර්ධනයේ මෙම විශ්වීය ලක්ෂනයෙන් පැන නැඟෙන තතු යටතේ, වෘත්තීය සමිති ධනවාදී රාමුව පිලිගන්නා තාක් දුරට, ඒවාට ස්වාධීන ආස්ථානයක් පවත්වාගෙන යා නො හැකි බවට ට්‍රොට්ස්කි තර්ක කලේ ය. වෘත්තීය සමිතිවල පාලකයන් - නිලධරය - ප්‍රයත්න දැරුවේ රාජ්‍යය තමන්ගේ පැත්තට ඇදගැනීම සඳහාය. එවැනි ඉලක්කයක් ජය ගැනීමට නම්, ධනේශ්වර රාජ්‍යයට හතුරු වනු තබා, ඉන් ස්වාධීන උත්සුකයන් හෝ තමන්ට නැති බව ධනේශ්වර රාජ්‍ය්‍යට ප්‍රදර්ශනය කල යුතුය. මෙම යටත්වීමේ ප්‍රමානය හා ගම්‍යයන් පැහැදිලි කිරීම සඳහා ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය: “වෘත්තීය සමිති රාජ්‍යයේ උපකරන බවට පරිවර්තනය කිරීම මගින්, ෆැසිස්ට්වාදය අලුතින් කිසිවක් සොයා නො ගනී; එය හුදෙක් අධිරාජ්‍යවාදයට නෛසර්ගික ප්‍රවනතාවන් අවසාන නිගමනයක් කරා ගෙන ඒමට කටයුතු කරනු පමනෙකි.” [4] නවීන අධිරාජ්‍යවාදයේ වර්ධනය සඳහා, පැරනි වෘත්තීය සමිති තුල පැවතුනු ප්‍රජාතන්ත්‍රවාදයේ ඡායාමාත්‍රයක් හෝ වී නම් ඒ සියල්ල සාකල්‍යයෙන් වනසා ලීම අවශ්‍ය වූ බව ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. මෙක්සිකෝවේ වෘත්තීය සමිති අවිකල්පයෙන්ම, අර්ධ-ඒකාධිපතිවාදී ස්වභාවයක් අත්පත් කරගෙන ඇතැ”යි [5] ඔහු සටහන් කලේ ය. 

කම්කරු ජනකායන් වෘත්තීය සමිති තුල තවදුරටත් සංවිධානය වී සිටීම නිසා, විප්ලවවාදීන් වෘත්තීය සමිති තුල වැඩකටයුතු දිගට ම කරගෙන යාම අවශ්‍ය බව ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. එම කාරනය නිසා හා එ නිසා පමනක් ම, විප්ලවවාදීන්ට “ෆැසිස්ට්වාදය විසින් නිර්මිත අනිවාර්ය කම්කරු සංවිධාන ඇතුලත අරගලය ප්‍රතික්ෂේප  කිරීම”ට නො හැකි බව ද ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. [6] වෘත්තීය සමිති නියෝජනය කරන්නේ කම්කරු පන්තියේ අවශ්‍යතා ය යන අර්ථයෙන් ගත් කල, ෆැසිස්ට් වෘත්තීය සමිති “කම්කරුවන්ගේ සංවිධානයැ”යි ට්‍රොට්ස්කි විශ්වාස නොකල බව පැහැදිලිය. උපායික අවශ්‍යතාවක් වූ වෘත්තීය සමිති තුල වැඩ කටයුතුවල අර්ථය වූයේ, ප්‍රතිගාමී සමාජ ස්ථරයක් වන සමිති නිලධරය කෙරෙහි විශ්වාසය පලකිරීමක් තබා, ඔවුන් සමග සම්මුතිගත වීමක් වත් නොවේ. සියලු කොන්දේසි යටතේ, වෘත්තීය සමිති තුල මාක්ස්වාදීන්ගේ මැදිහත් වීම්වල අරමුන වූයේ, “හුදෙක් ධනේශ්වරයට එරෙහි ව පමනක් නො ව, වෘත්තීය සමිති ඇතුලත ම පවතින ඒකාධිපතිවාදී තන්ත්‍රනයන්ටත්, එම තන්ත්‍රය පටවන නායකයන්ටත් එරෙහි ව මහජනයා බලමුලුගැන්වීම යි.” [7]

අධිරාජ්‍යවාදයේ නිලධර ඒජන්තයන්ට එරෙහි අරගලය පදනම් විය යුතු සටන් පාඨ දෙකක් ට්‍රොට්ස්කි යෝජනා කලේ ය. ඉන් පලමුවැන්න වූයේ “වෘත්තීය සමිති ධනේශ්වර රාජ්‍යයෙන් මුලුමනින් ම සහ කොන්දේසි විරහිතව ස්වාධීන වීම යි.” (අවධාරනය මුල් කෘතියේ) “වෘත්තීය සමිති කම්කරු වංශාධිපතිත්වයක උපකරන වෙනුවට සූරාකැවෙන පලල් මහජනයාගේ උපකරන බවට හැරවීමේ අරගලයක්” මෙම සටන් පාඨය මගින් ගම්‍ය කෙරින. [8] එහෙත් මෙම කාර්යය ජය ගැනීම නො වෙන් කල හැකි පරිද්දෙන් බැඳී තුබුනේ විප්ලවවාදී පක්ෂය හා සමාජවාදයේ ක්‍රියාමාර්ගය වෙතට මහජනයා දිනාගැනීම සමගය.  

එක්සත් ජනපදයේ තත්ත්වය පිලිබඳ ව අදහස් දක්වමින් ට්‍රොට්ස්කි, කාර්මික වෘත්තීය සමිතිවල ක්ෂනික ඉස්මතු වීම ප්‍රධාන වර්ධනයක් ලෙස දැකගත්තේ ය. සීඅයිඕව (කාර්මික සංවිධාන සම්මේලනය) ඉස්මතු වීම, “වැඩකරන ජනයා තුල පවතින විප්ලවවාදී ප්‍රවනතා පිලිබඳ ප්‍රතික්ෂේප කල නො හැකි සාක්ෂියකැ”යි ඔහු ලිවී ය. [9] එනමුත්, නව වෘත්තීය සමිතිවල දුර්වලත්වය, ඒ වන විටත් පැහැදිලි වී තිබුනි.  

කෙසේවෙතත්, ඉහලම මට්ටමෙන් පෙන්නුම් කෙරුනු හා සඳහන් කල යුතු ම කරුන වන්නේ,  නව “වාමාංශික” වෘත්තීය සමිති සංවිධානය ගොඩනැඟෙන පමාවෙන් අධිරාජ්‍යවාදී රාජ්‍යයේ අයෝමය ආලිංගනයට නතු වී තීබීම යි. පැරනි හා නව සම්මේලනවල මුදුනේ නායකයන් අතර අරගලය බොහෝසෙයින් ම, රූස්වෙල්ට්ගේ හා ඔහුගේ කැබිනට්ටුවේ අනුග්‍රහය හා සහයෝගය සඳහා කෙරෙන අරගලය බවට සිඳවිය හැක. [10]  

ධනවාදයේ ගෝලීය අර්බුදය තීව්‍ර වීම සහ සමාජ ආතතීන් ආන්තික ලෙස උග්‍ර වීම විසින් එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තර ව ද වෘත්තීය සමිති තුල දකුනට - එනම්, ධනවාදයට එරෙහි කම්කරු පන්තික ප්‍රතිරෝධය වෘත්තීය සමිති විසින් තවතවත් ආන්තික ලෙස මර්දනය කිරීමක් දෙසට - වූ හැරීමක් නිෂ්පන්න කෙරින. ට්‍රොට්ස්කි පැහැදිලි කලේ, "වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකයන්, දැන් විරෝධයේ සෙල්ලමට කාලය නොවේයැයි හඟින ලද හෝ වටහා ගත් බව, හෝ එසේ නොමැති නම් වටහා ගැනීමට ඔවුන්ට සලස්වන ලද" බවයි. ධනේශ්වර පාලනයේ වඩාත් ම මර්දනීය රූපාකාරයන් ශක්තිමත් කිරීමේ දී, වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රය නිර්දෝෂී බලා සිටින්නෝ නො වූ හ. “මූලික ලක්ෂනය, ඒකාධිපති තන්ත්‍රය වෙත පැද්දී යාම, සමස්ත ලෝකයේම කම්කරු ව්‍යාපාරය විනිවිද යන" බැව් ට්‍රොට්ස්කි ඍජු ව සඳහන් කලේය. [11]

“ප්‍රගතිශීලී” වෘත්තීය සමිතිවාදී නායකයන් සමග මිත්‍රශීලී සබඳතා පවත්වා ගෙන යාමේ හැකියාව පිලිබඳ අංශු මාත්‍ර හෝ මිථ්‍යාවක් සමාජවාදී කම්කරු පක්ෂයට පැවති ප්‍රමානයට, අධිරාජ්‍යවාදී යුගය තුල කම්කරු නිලධරයන්ගේ ඓතිහාසික භූමිකාව හඳුනාගැනීමට එය අසමත් වී ඇත. එස්ඩබ්ලිව්පී නියෝජිත කන්ඩායමේ ඉතා ධෛර්යය සම්පන්න, එහෙත් පුදුම දනවන අයුරින් බොලඳ ඇන්ටනොයිට් කොනිකොව් සහෝදරයාට ට්‍රොට්ස්කි අනතුරු අඟවා තිබුනු පරිදි “(එක්සත් පතල් කම්කරු සමිතියේ සුප්‍රකට නායක) ලුවිස් ඉතා කාර්යක්ෂම ලෙස අප  මරා දමනු ඇත...” [12]    

ඔහුගේ රචනයේ අවසන් ඡේදය, වෘත්තීය සමිති මුහුන දුන් ඓතිහාසික තත්ත්වය සම්පින්ඩනය කලේ ය:

එක ම මහජන සංවිධානයේ රාමුව තුල විවිධ ප්‍රවනතා අඩු හෝ වැඩි වශයෙන් නිදහස් ලෙස සටන් වැදුනු, වචනයේ පැරනි අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වන සමිතිවලට තවදුරටත් පැවතිය නො හැක. ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ආපසු ගෙන ආ නො හැකිවාක් මෙන් ම, පැරනි කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය ද ආපසු ගෙන ආ නො හැක. මින් එකක ඉරනම අනෙකෙහි ඉරනම විසින් පිලිබිඹු කෙරේ. ඇත්තෙන්ම කියතොත්, පන්ති අර්ථයකින් - ධනපති රාජ්‍යයට ඒවා දක්වන සම්බන්ධයේ අර්ථයෙන් - ගත් කල, වර්තමාන කොන්දේසි යටතේ වෘත්තීය සමිතිවල ස්වාධීනත්වය තහවුරු කරගත හැක්කේ, මුලුමනින් ම විප්ලවවාදී නායකත්වයක් - හතරවන ජාත්‍යන්තරයේ නායකත්වය - යටතේ පමනි. මෙම නායකත්වය ස්වාභාවික ව ම තාර්කික විය යුතු අතර, හා එයට තාර්කික විය හැකි අතර, වර්තමාන සංයුක්ත කොන්දේසි යටතේ සිතාගත හැකි උපරිම ප්‍රජාතන්ත්‍රවාදය වෘත්තීය සමිතිවලට සහතික කිරීමට එය සමත්ය. එහෙත් හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන නායකත්වයෙන් තොර ව, වෘත්තීය සමිතිවල ස්වාධීනත්වය යනු නොපැවතිය හැක්කකි. [13]

මෙම වචන ලියන ලද්දේ වසර අසූවකට පෙර ය. වෘත්තීය සමිතිවල පිරිහීම - ඒවා රාජ්‍ය බලය හා සංගත කලමනාකාරීත්වය තුලට සමෝධානය වීම - පිලිබඳ ව ට්‍රොට්ස්කි කල විශ්ලේෂනය, අත්‍යාසාමාන්‍ය ලෙස දූරදර්ශී විය. වෘත්තීය සමිති, රාජ්‍යය හා ධනපති සංගතවල “එකට වැඩීම” දෙසට වූ ප්‍රවනතාව, පශ්චාත් දෙවන ලෝක යුද්ධ කාලපරිච්ඡේදය පුරා අඛන්ඩ ව සිදු විය. තව ද ගෝලීය ආර්ථික ඒකාග්‍රකරනයේ හා අන්තර්ජාතික නිෂ්පාදනයේ ක්‍රියාවලිය, සීමිත සමාජ ප්‍රතිසංස්කරන සඳහා පීඩනය යෙදිය හැකි ව තිබූ ජාතික රාමුව වෘත්තීය සමිතිවලට අහිමි කලේ ය. අවම හෝ ජයග්‍රහන දිනාගැනීම සඳහා, පන්ති අරගලයේ විධික්‍රම භාවිත කිරීමේ අතිශයින් ම මධ්‍යස්ථ උපායන්වලට පවා ඉඩකඩක් ඉතිරි නො වුනි. සංගතවලින් සහන උදුරාගන්නා සංවිධාන වෙනුවට, කම්කරුවන්ගෙන් සහන උදුරාගැනීමට සේවය කරන, රාජ්‍යයේ හා සංගතවල ප්‍රතිපූරක බවට වෘත්තීය සමිති පරිවර්තනය වුනි.

එහි විපාකයක් ලෙස, වෘත්තීය සමිති නමින් හැඳින්වෙන නිලධර-කෝපරේට්වාදී ව්‍යුහයන් තුල, “කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයේ” සලකුනක් වත් අද නැත. ඉතිරිව ඇත්තේ පැරනි පාරිභාෂිකය පමනෙකි. ඒඑෆ්එල්-සීඅයිඕ හා එහි අනුබද්ධයන් වැනි කෝපරේට්වාදී සංවිධානවලට තවමත් “වෘත්තීය සමිති” යි කියනු ලැබේ. එහෙත්, මෙම සංවිධානවල සැබෑ භාවිතාවට, “වෘත්තීය සමිතිය” යන වචනය සමග සාම්ප්‍රදායික ව සම්බන්ධ වී තිබෙන සමාජ-ආර්ථික කාර්යය සමග කිසියම්ම හෝ සබඳතාවක් නොපවතී. එමඟින් විස්තර කෙරී ඇතැයි බැලූ බැල්මට පෙනෙන ප්‍රපංචයෙහි පරිනාමය පිලිබිඹු නොකරන පාරිභාෂික වචන අවිවේචනාත්මක ලෙස භාවිතා කිරීම මත විප්ලවවාදී පක්ෂයේ භාවිතය පදනම් කල නොහැක. පැරනි සංවිධානවල පිරිහීම, ඒවා “වෘත්තීය සමිති” ලෙස හැඳින්වීම මගින් සරලව ජයගත නො හැක. ෂැට්මන් හා බර්න්හැම්ට එරෙහි අරගලයේ පූර්ව අවධියේ, 1939 සැප්තැම්බරයේ, ට්‍රොට්ස්කි අවධාරනය කර තිබුනු පරිදි, “අප කරුනු ඒවා පවතින ආකාරයෙන් ගත යුතු ය. අප අපගේ පිලිවෙත් ගොඩනැගිය යුත්තේ, සැබෑ සබඳතාවන් හා පරස්පර-විරෝධයන් ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගනිමිනි.” [14]

කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ කම්කරු පන්තියේ සංවිධානවල පරිපූර්න ස්වාධීනත්වය සඳහා වන සටන, අද්‍යතන විප්ලවවාදී ක්‍රියාමාර්ගයේ තීරනාත්මක අංශ ලෙස තවමත් පවතී. එහෙත් මෙම ඉදිරිදර්ශනය, පැරනි සංවිධාන ප්‍රකෘතිමත් කිරීම හරහා සාක්ෂාත් නො වනු ඇත. වසර අසූවක කාල පරාසයක් පුරා කෝපරේට්වාදී පිරිහීමේ ක්‍රියාවලිය, අතිශයින් ම ව්‍යතිරේකී අවස්ථාවන්හි දී හැර අන් සෑම අවස්ථාවක දී ම, පැරනි වෘත්තීය සමිති පුනරුත්ථාපනයට අවහිර පමුනුවයි. 1938 සංක්‍රමන ක්‍රියාමාර්ගය තුල ට්‍රොට්ස්කි විසින් මතු කල විකල්ප මූලෝපායික මාවත, එනම්, "ධනේශ්වර සමාජයට එරෙහි මහජන අරගලයේ කර්තව්‍යයන්ට වඩා සමීප ලෙස ගැලපෙන, හා අවශ්‍ය නම් වෘත්තීය සමිතිවල ගතානුගතික යාන්ත්‍රනය සමග ඍජු බිඳීමකට මුහුන දීමට නො පැකිලෙන ස්වාධීන සටන්කාමී සංවිධාන, හැකි සෑම අවස්ථාවක දී ම නිර්මානය කිරීම", වර්තමාන කොන්දේසිවලට අනුකූල වන පිලිවෙත යි. [15]

                                              * * * * *

1940 අගෝස්තු 7දා, එනම් ඔහුගේ මරනයට හරියට ම සති දෙකකට පෙර, “ඇමරිකානු ගැටලු” පිලිබඳ සාකච්ඡාවකට ට්‍රොට්ස්කි සහභාගි විය. එහි කෙටුම්පත පිලිබඳ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වූ ට්‍රොට්ස්කි, පක්ෂ සාමාජිකයන් අනිවාර්ය යුද සේවය මඟ නොහැරිය යුතු බව අවධාරනය කලේ ය. ඔවුන්ගේ පරපුර බඳවා ගැනෙමින් හා පුහුනු කෙරෙමින් තිබූ කොන්දේසි තුල, ඔවුන් හමුදාවෙන් පිටස්තර කොට තැබීම වරදක් වනු ඇත. එස්ඩබ්ලිව්පීයට යුද්ධයේ යථාර්ථය වලකනු නො හැකි විය:

මේ සමාජයේ ජීවිතය, දේශපාලනය හා සෑම දෙයක් ම යුද්ධය මත පදනම් වනු ඇති බව අප වටහා ගත යුතුය. එබැවින් විප්ලවවාදී ක්‍රියාමාර්ගය ද යුද්ධය මත පදනම් කල යුතුව ඇත. ප්‍රාර්ථනාකාරී චින්තනය හා බැතිමත් සාමවාදය සමගින් අපට යුද්ධය නම් සත්‍ය කරුනට විරුද්ධ විය නො හැක. මෙම සමාජය විසින් නිර්මානය කරන රංග භූමිය මත අප අප ව ම ස්ථානගත කල යුතු ය. රංග භූමිය භයානක ය - එය යුද්ධය යි - නමුත්, අප දුර්වලව  හා සමාජයේ ඉරනම අප අතට ගැනීමට අපොහොසත්ව  සිටින හෙයින්, මෙම යුද්ධය අප මත පැටවීමට තරම් පාලක පන්තිය ශක්තිමත් හෙයින්, අපගේ ක්‍රියාකාරීත්වය සඳහා මෙම පදනම පිලිගැනීමට අපට බල කෙරේ. [16]

කම්කරු මහජනයා අතර හිට්ලර් හා නාසිවාදය කෙරෙහි ප්‍රගාඪ හා යුක්තියුක්ත වෛරයක් පැවති බව ට්‍රොට්ස්කි හඳුනාගත්තේ ය. ජාතික ස්වෝත්තමවාදයට කිසිදු සහනයක් නො දෙන අතර ම, දේශපාලනික ව ව්‍යාකූල දේශප්‍රේමී මනෝගතීන්ට, පක්ෂයේ උද්ඝෝෂනය හා දේශපාලනික සූත්‍රගත කිරීම් අනුගත කල යුතු ව තිබින.

අපට මිලිටරීකරනයෙන් පලා යා නො හැක. එහෙත් මිලිටරි යන්ත්‍රය ඇතුලත පන්ති රේඛා අපට නිරීක්ෂනය කල හැක. හිට්ලර් විසින් අල්ලාගනු ලැබීම ඇමරිකානු කම්කරුවන්ට අවශ්‍ය නො වන අතර, “අපි සාම වැඩපිලිවෙලක් අනුගමනය කරමු” යි කියන්නන්ට, “ඒත් හිට්ලර්ට සාම වැඩපිලිවෙලක් අවශ්‍ය නැතැ"යි කම්කරුවා පිලිතුරු දෙනු ඇත. එම නිසා අපි මෙසේ කියමු: කම්කරුවන්ගේ හමුදාවක්, කම්කරුවන්ගේ නිලධාරීන් හා කම්කරුවන්ගේ ආන්ඩුවක් ආදිය සමගින් අපි එක්සත් ජනපදය ආරක්ෂා කරමු.  අප වඩා හොඳ අනාගතයක් සඳහා බලා සිටින සාමවාදීන් නො වන්නේ නම්, අප ක්‍රියාකාරී විප්ලවවාදීන් වන්නේ නම්, අපගේ කාර්යය වන්නේ සමස්ත මිලිටරි යන්ත්‍රය විනිවිදීම යි. ...

ප්‍රන්සයේ උදාහරනය අපි අවසානය දක්වා ම යොදාගත යුත්තෙමු. “කම්කරුවනි, ඔවුන් (ධනේශ්වරය) ඔබ ව පාවාදෙන බවට අපි අනතුරු හඟවන්නෙමු! හිට්ලර්ගේ මිත්‍රයෙකු වන (විචි පාලන තන්ත්‍රයට නායකත්වය දෙමින් හිට්ලර් වෙනුවෙන් රට පාලනය කල ප්‍රංශ ජනරාල්) පෙටේන් දෙස බලන්න. එම දෙය ම මේ රට තුල සිදුවීම අපට අවශ්‍ය ද? කම්කරුවන්ගේ පාලනය යටතේ අපි අපේ ම යන්ත්‍රයක් නිර්මානය කල යුත්තෙමු.” ස්වෝත්තමවාදීන් හෝ ස්වයං-ආරක්ෂාවේ ව්‍යාකූල මනෝගතීන් සමග අනන්‍ය නො වීමට ප්‍රවේසම් විය යුතු අපි, ඔවුන්ගේ හැඟීම් අවබෝධ කරගෙන, එම හැඟීම් වෙත විවේචනාත්මක ව අනුගත වී, තත්ත්වය පිලිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මහජනයා සූදානම් කල යුත්තෙමු. එසේ නො වුව හොත්, අප නිකායක් ලෙස සිටිනු ඇති අතර, නිකායවාදයේ වඩාත් ම කාලකන්නි ප්‍රභේදය වන්නේ සාමවාදය යි. [17]

ඇමරිකානු කම්කරුවාගේ දේශපාලන පසුගාමීත්වය ෆැසිස්ට්වාදයේ පැතිරීමට ප්‍රතිරෝධය දැක්වීම කෙරෙහි බලපානු ඇත්තේ කෙසේදැයි ට්‍රොට්ස්කිගෙන් විමසනු ලැබිනි. ඔහුගේ පිලිතුර කම්කරු පන්තිය පිලිබඳව සරලමතික හා ඒකාංශික ඇගයීමකට එරෙහි ව අනතුරු ඇඟවී ය. “එක්සත් ජනපදයේ කම්කරු පන්තියේ පසුගාමීත්වය යනු හුදෙක් සාපේක්ෂ යෙදුමක් පමනි. ඉතා වැදගත් අංශ බොහොමයක් සම්බන්ධයෙන් ගත් කල, එනම් තාක්ෂනයෙන්, හා ජීවන තත්ත්වයන් අතින්, එය ලෝකයේ වඩාත් ම ප්‍රගතිශීලී කම්කරු පන්තිය යි.” [18] කොයි හැටි වුවත්, වෛෂයික වර්ධනයන් විසින් පන්ති විඥානයේ වර්ධනයට බලගතු ප්‍රගාමකයක් සම්පාදනය කෙරෙනු ඇත. ඇමරිකානු කම්කරු පන්තියේ වර්ධනය තුල ඇති ප්‍රතිවිරෝධයන් පිලිබඳව ට්‍රොට්ස්කි අවධාරනය කලේය:  

වැඩ වර්ජන සමයේ අප දැකගෙන තිබෙන පරිදි, ඇමරිකානු කම්කරුවා අතිශය සටන්කාමී ය. ලෝකයේ වඩාත් ම කැරලිකාරී වැඩ වර්ජනවල ඔවුන් නිරත වී ඇත. ඇමරිකානු කම්කරුවාට අතහැරෙන්නේ, සමස්තයක් ලෙස සමාජය තුල ඔහු දරන පන්ති තත්ත්වය පිලිබඳ සාමාන්‍යකරනයේ හෝ විශ්ලේෂනයේ ජීවගුනය යි. සමාජ චින්තනය පිලිබඳ මෙම අඩුපාඩුවෙහි සම්භවයන් තිබෙන්නේ - සෑම කෙනෙකුට ම පොහොසත් වීම සඳහා අසීමිත අවස්ථාවන් පැවතීමේ ඈත අපරදිග ඉදිරිදර්ශනය යනාදී වශයෙන් වූ - රටෙහි සමස්ත ඉතිහාසය තුල යි. දැන් ඒ සියල්ල අවසානව ඇති අතර, මනස තවමත් අතීතයේ රැඳී සිටී. මානව මානසිකත්වය ප්‍රගතිශීලී යයි විඥානවාදීහු සිතති. එහෙත් යථාර්ථයේ දී සමාජයේ වඩාත් ම ගතානුගතික අංගය වන්නේ එය යි. ඔබේ තාක්ෂනය ප්‍රගතිශීලී වුවත්, කම්කරු මානසිකත්වය ඉතා පසුපසින් ලැග සිටී. ඔවුන්ගේ පසුගාමීත්වය සමන්විත වන්නේ, ඔවුන්ගේ ගැටලුව සාමාන්‍යකරනය කරගැනීමට ඔවුන්ට පවතින නො හැකියාව තුල යි; ඔවුන් සියල්ල සලකා බලන්නේ පුද්ගලික පදනමකිනි. [19]

එතෙකුදු වුවත්, මහජන විඥානයේ වර්ධනය තුල පවතින සියලු වෛෂයික දුෂ්කරතා හා ගැටලු නො තකා, එක්සත් ජනපදය ෆැසිස්ට්වාදය අද්දර සිටින්නේය යන දෘෂ්ටිය ට්‍රොට්ස්කි ප්‍රතික්ෂේප කලේය. “එක්සත් ජනපදයේ මීලඟ ඓතිහාසික රැලි වනු ඇත්තේ, මහජන රැඩිකල්වාදයේ රැලි මිස ෆැසිස්ට්වාදය නො වේයැ"යි ඔහු පුරෝකථනය කලේ ය. ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනය සඳහා වන සාරභූත කොන්දේසියක් වන්නේ, කම්කරු පන්තියේ දේශපාලනික දිරිසුන් භාවය යි. එක්සත් ජනපදය තුල එම කොන්දේසිය පැවතුනේ නැත. “ෆැසිස්ට්වාදීන් ආධිපත්‍යධාරී බලයක් බවට පැමිනීමට පෙර, එක්සත් ජනපදයේ බලය දිනාගැනීමේ බොහෝ හැකියාවන් තිබෙන බව මට විශ්වාස යැ”යි ට්‍රොට්ස්කි සාකච්ඡාකරුවන්ට විශ්වාසයෙන් යුතු ව සඳහන් කලේ ය. [20]

ෆැසිස්ට්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය, අපෝහකාත්මක හා ක්‍රියාකාරී මිස යාන්ත්‍රික හා අක්‍රීය එකක් නො වී ය. හුදෙක් ප්‍රමානාත්මක මිනුම් මත පදනම් ව, ෆැසිස්ට්වාදය විසින් මතු කල අන්තරාය නීර්නය කල හැකි නො වී ය. හුදෙක් ෆැසිස්ට්වාදයට ආකර්ශනය වූවන්ගේ සංඛ්‍යාත්මක වර්ධනයෙහි ප්‍රතිඵලයක් නො වූ එහි ජයග්‍රහනයට, ධනපති ප්‍රභූවේ හා ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රනයේ විවෘත හා සංවෘත අනුග්‍රහය හා සහයෝගය අතිරේක වසයෙන් අවශ්‍ය විය. අගෝස්තු 7 සාකච්ඡාවෙන් පසුව, “බොනපාට්වාදය, ෆැසිස්ට්වාදය හා යුද්ධය” නමැති තවත් ලිපියක් ට්‍රොට්ස්කි විසින් රචනා කල අතර, එය ඔහුගේ මරනයට පසු හතරවන ජාත්‍යන්තරය සඟරාවේ 1940 ඔක්තෝබර් සංස්කරනය තුල පලකරනු ලැබිනි.

මෙම ලිපිය ලිවීම සඳහා පෙලඹුම ලැබුනේ හුදු අගෝස්තු 7 සාකච්ඡාවේ දී ඉස්මතු වූ ප්‍රශ්න පැහැදිලි කිරීමේ අරමුනින් පමනක් නො වීය. ෂැට්මන්-බර්න්හැම් සුලුතරයේ ආධාරකරුවෙකු වූ ඩ්වයිට් මැක්ඩොනල්ඩ්ගේ ලිපියකට පිලිතුරු සම්පාදනය කිරීමේ අරමුන ද එහිලා පැවතින. පාටිසන් රිවීව් නමැති වාමාංශික සඟරාවේ 1940 ජූලි-අගෝස්තු කලාපයේ පලකරන ලද මැක්ඩොනල්ඩ්ගේ රචනාව, මාක්ස්වාදයෙන් බිඳී වෙන් වී දකුනට මාරුවෙමින් සිටි සුලුධනේශ්වර බුද්ධිමතුන්ගේ දිරිසුන් සංශයවාදය ප්‍රකාශයට පත්කලේ ය. හිට්ලර්ගේ මිලිටරි සාර්ථකත්වයන් විසින් විස්මයට පත් මැක්ඩොනල්ඩ්, නාසි තන්ත්‍රය වනාහි ට්‍රොට්ස්කි විසින් අවතක්සේරු කරන ලද කල්පැවැත්මක් සහිත “නව වර්ගයක සමාජයක්” ලෙස ප්‍රකාශ කලේ ය. [21]

සුලුධනේශ්වර සුලුතරයේ  සෝවියට් සංගමයට සම්බන්ධ න්‍යායික ක්ෂන නිර්මානයන්ට අනුප්‍රානය සැපයූ මතුපිට ධාරනාවාදය ම, මැක්ඩොනල්ඩ් විසින් තුන්වන රයිෂයට යොදාගනු ලැබිනි. ජර්මානු ආර්ථිකය හිට්ලර් යටතේ “ලාබය වෙනුවට නිෂ්පාදනයේ පදනම මත සංවිධානය කෙරී ඇතැ”යි ඔහු උමතුවෙන් මෙන් ප්‍රකාශ කලේය. ඒ වූ කලී කිසිවක් හෝ විස්තර නො කල හිස් වාක්‍යාංශයකි. [22] “මෙම නවීන ඒකාධිපතිවාදී පාලන තන්ත්‍රයන් හුදු තාවකාලික පලහිලව් නො වේ: ඒවා දැනටමත්, යටින් දිවෙන ආර්ථික හා සමාජ ව්‍යුහය වෙනස් කර ඇත්තේ හුදු පැරනි රූපයන් මෙහෙයවමින් පමනක් නො ව, ඒවායේ අභ්‍යන්තරික ජෛව ගුනය ද සිඳ බිඳ දමමිනි," යනුවෙන් මැක්ඩොනල්ඩ් සඳහන් කලේ ය. [23]

“නාසීන් ජය ගෙන ඇත්තේ ඔවුන් නව වර්ගයක යුද්ධයක නිරත වීමේ හේතුවෙනි; නැපෝලියන්ගේ මිලිටරි සොයාගැනීම් සේ ම පැහැදිලි ලෙස, ඔවුන් නිරත වන්නේ තම හතුරන්ගේ පැරනි ධනපති පද්ධතීන් පරයා ගිය  නව වර්ගයක සමාජයක් ප්‍රකාශයට නව වර්ගයක යුද්ධයකයැ"යි මැක්ඩොනල්ඩ් අවධාරනය කලේ ය. [24] නාසීන්ගේ ආර්ථික පද්ධතිය පිලිබඳ මැක්ඩොනල්ඩ්ගේ අවියත් පරමාදර්ශීකරනයට යථාර්ථය සමග කිසිදු සම්බන්ධයක් නොවීය. 1930 ගනන් අග වන විට, ජර්මානු ධනේශ්වර ආර්ථිකයේ තත්ත්වය තිබුනේ විනාශය අද්දර ය. 1933 හා 1939 අතර ජාතික නය තෙගුන වී තිබුනු අතර, පාලන තන්ත්‍රය පොලී ගෙවීමේ අසීරුතාවෙන් පෙලුනි. හිට්ලර් යුද්ධයට යාමට ගත් තීරනයට බොහෝසෙයින් තල්ලුව ලැබුනේ ආර්ථික කඩාවැටීමක් කෙරෙහි භීතිය හේතුවෙන් යයි පුලුල් ව පිලිගැනේ. ඉතිහාසඥ ටිම් මේසන් විස්තර කල පරිදි:

ආඥාදායකත්වය හා යලි සන්නද්ධ වීම මගින් නිෂ්පන්නිත ව්‍යුහාත්මක ආතතීන්ගෙන් හා අර්බුදයන්ගෙන් ග්‍රස්ත වූ මෙම තන්ත්‍රයට විවෘත ව ඇති එක ම “විසඳුම” වන්නේ, වඩවඩාත් ආඥාදායකත්වය හා වඩවඩාත් යලි සන්නද්ධ වීම, ඉන්පසු ප්‍රසාරනය වීම, ඉන්පසු යුද්ධය හා ත්‍රස්තය, ඉන්පසු කොල්ලකෑම හා වහල් භාවයට ගැනීම යි. දරදඬු වූත්, සදාකාලික ව පැවතියා වූත් විකල්පය වූයේ බිඳවැටීම හා ව්‍යාකූලත්වය වන අතර, ඒ අනුව සියලු විසඳුම් කුරිරු තේමාවක් වටා වූ වඩ වඩා  ම්ලේච්ඡ වන  තාවකාලික, කලබලකාරී හා වේල පිරිමසා ගන්නා කටයුතු විය. ... මිනිස් බලය හා අමුද්‍රව්‍ය කොල්ලකෑම සඳහා වූ යුද්ධය ජාතික සමාජවාදීන්ගේ පාලනය යටතේ ජර්මානු ආර්ථික වර්ධනයේ බියකරු තර්කනය තුල ඍජුවම රැඳී තිබුනි. [25] 

මැක්ඩොනල්ඩ්ගේ ලිපිය “අතිශයින් ව්‍යාජ, අතීශය ව්‍යාකූල හා අඥානවත්” එකක් යයි ට්‍රොට්ස්කි විස්තර කලේ ය. (26) නාසි සමාජය පිලිබඳ මැක්ඩොනල්ඩ්ගේ විශ්ලේෂනය ඛන්ඩනය කිරීම සඳහා කාලය වැය කිරීමේ අවශ්‍යතාවක් ඔහු දැකගත්තේ නැත. එහෙත්, දිරිසුන් බුද්ධිමතුන්ට ලාක්ෂනික වූ මැක්ඩොනල්ඩ්ගේ අසමර්ථතාව වන, ෆැසිස්ට්වාදය ඉදිරියට ඒමට යටින් පැවති දේශපාලනික ගතිකය විභාග කිරීමට ට්‍රොට්ස්කි ප්‍රතිචාර දැක්වී ය. සියල්ලට ඉහලින් ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනය ප්‍රතිඵල වූයේ, කම්කරු පන්තියේ මහජන පක්ෂ හා සංවිධානවල නායකත්වයේ විනාශකාරී අසමර්ථතාව හේතුවෙනි. ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා පැවති අවස්ථාවන් නාස්ති කිරීම නිසා කම්කරු පන්තියට මුහුන පෑමට සිදු වනදේශපාලන දඬුවම ෆැසිස්ට්වාදය යි. ෆැසිස්ට්වාදය ජයග්‍රහනය කලේ ඇයි? ට්‍රොට්ස්කි මෙසේ විස්තර කලේ ය:

පසුගිය ශතවර්ෂ කාල පිලිබඳ න්‍යායික විශ්ලේෂනය මෙන් ම, එහි පොහොසත් ඓතිහාසික අත්දැකීම ද එක හා සමාන බලයකින් යුතු ව ප්‍රදර්ශනය කර ඇත්තේ, ෆැසිස්ට්වාදය වනාහි සෑම විට ම පහත දැක්වෙන දෙයින් සමන්විත වන සුවිශේෂී දේශපාලන චක්‍රයක අවසන් පුරුක බව යි: ධනේශ්වර සමාජයේ ගැඹුරුතම අර්බුදය; කම්කරු පන්තියේ රැඩිකලීකරනයෙහි වර්ධනය; කම්කරු පන්තිය කෙරෙහි වන අනුග්‍රහය වැඩීම සහ ගම්බද හා නාගරික සුලුධනේශ්වරය පැත්තෙන් වෙනසක් සඳහා පවතින අභිලාෂය; මහ ධනේශ්වරයේ ආන්තික ව්‍යාකූලත්වය; විප්ලවවාදී කූටප්‍රාප්තියෙන් වැලකීම සඳහා ඉලක්ක කරගත් එහි බියසුලු හා ද්‍රෝහී උපාමාරු; නිර්ධන පන්තිය හෙම්බත් වීම; වැඩෙන ව්‍යාකූලත්වය හා උදාසීනත්වය; සමාජ අර්බුදය උග්‍ර වීම; සුලුධනේශ්වරයේ අපේක්ෂාභංගත්වය හා වෙනසක් සඳහා එහි අභිලාෂය; සුලුධනේශ්වරයේ සාමූහික ස්නායු රෝගය, ප්‍රාතිහාර්යයන් කෙරෙහි විශ්වාස කිරීමට සූදානම් වීම; සුලුධනේශ්වරය ප්‍රචන්ඩ පියවරයන් සඳහා සූදානම් වීම; තම (සුලුධනේශ්වරයේ) අපේක්ෂාවන් රැවටීමට බඳුන් කර ඇති නිර්ධන පන්තිය කෙරෙහි හතුරුකම වැඩීම. ෆැසිස්ට්වාදී පක්ෂයක ක්ෂනික බිහිවීම හා එහි ජයග්‍රහනය සඳහා අවශ්‍ය පූර්වාවශ්‍යතාවන් මේවා ය. (27) 

ඇමරිකානු වර්ධනයන්ගේ චක්‍රය ගත් කල, තත්ත්වය තවමත් ෆැසිස්ට්වාදීන්ට වාසිදායක නො වූ බවට ට්‍රොට්ස්කි තර්ක කලේ ය. “එක්සත් ජනපදයේ කම්කරු පන්තියෙහි රැඩිකලීකරනය තවමත් ගමන් කොට ඇත්තේ, සුවිශේෂී ලෙස ම පාහේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ (සීඅයිඕ) විෂය පථය තුල වූ එහි ආරම්භක අවධීන් හරහා පමනක් බව හොඳින් ප්‍රත්‍යක්ෂ දෙයකි.” (28) ෆැසිස්ට්වාදීහු ආරක්ෂාකාරී ආස්ථානයක් ගෙන ඇත. දෙපස වාඩි වී සිටිමින් ජයග්‍රහනය සිදුවිය හැක්කක් දැයි කුහුලින් පසු වූ සියල්ලන්ගේ සංශයන්ට අභිමුඛ ව ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය: 

බලගතු විප්ලවවාදී නායක පක්ෂයක් නිර්මානය කිරීමේ දී අප සාර්ථක වනු ඇද්ද නැද්ද යන්න ගැන සමපේක්ෂනය කිරීම තරම් සම්පූර්නයෙන් ම නො වටිනා දෙයක් තවත් නැත. විප්ලවවාදී ක්‍රියාකාරීත්වයට සියලු සාධාරනීකරනයන් සම්පාදනය කරන වාසිදායක ඉදිරිදර්ශනයක් අප ඉදිරියෙන් තිබේ. විවෘත වෙමින් තිබෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම හා විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම අත්‍යවශ්‍ය ය. ... 

මානව වර්ගයාගේ නවීන ඉතිහාසය තුල මින් පෙර නො පැවති තරමේ බලයක් අද දින ප්‍රතිගාමීත්වය විසින් දරා සිටී. එහෙත් හුදෙක් ප්‍රතිගාමීත්වය පමනක් දැකගැනීම සමාව දිය නො හැකි වරදක් වනු ඇත. ඓතිහාසික ක්‍රියාදාමය පරස්පර-විරෝධී එකකි. නිල ප්‍රතිගාමීත්වයේ ආවරනයට යටින්, අත්දැකීම් සමුච්චය කරගනිමින් හා නව දේශපාලන ඉදිරිදර්ශනයන් ග්‍රහනය කර ගත හැකි බවට පැමිනෙමින් සිටින මහජනයා අතර ප්‍රගාඪ ක්‍රියාවලීන් සිදුවෙමින් පවතී. අවසන් අධිරාජ්‍යවාදී යුද්ධයෙහි යුගයේ පවා එතරම් ම බලගතු වූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ පැරනි ගතානුගතික සම්ප්‍රදාය, අද වන විට පවතින්නේ ආන්තික අස්ථාවර පැවැත්මක් ලෙස පමනි. පසුගිය යුද්ධයේ මුව විට දී, යුරෝපීය කම්කරු පන්තියට සංඛ්‍යාත්මක ව බලගතු පක්ෂ තිබුනි. එහෙත් දිනයෙහි න්‍යාය පත්‍රයේ තිබුනේ ප්‍රතිසංස්කරන හා භාගික අත්පත් කරගැනීම් වූ අතර, බලය අල්ලා ගැනීම කිසිසේත් එතුල නො තිබුනි.

අද පවා ඇමරිකානු කම්කරු පන්තිය සිටින්නේ මහජන කම්කරු පක්ෂයකින් තොර ව ය. එහෙත්, වෛෂයික තත්ත්වය හා ඇමරිකානු කම්කරුවන් විසින් සමුච්චය කරගන්නා අත්දැකීම්, ඉතා කෙටි කාලයක් තුල බලය අත්පත් කරගැනීමේ ප්‍රශ්නය දිනයේ න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමෙහි ලා සමත්ය. අපගේ උද්ඝෝෂනයේ පදනම කරගත යුතුතේ මෙම ඉදිරිදර්ශනය යි. හුදෙක් ධනවාදී මිලිටරිවාදය ගැන ආස්ථානයක් ගැනීම හා ධනේශ්වර රාජ්‍යයෙහි ආරක්ෂාව නිෂ්ක්‍රමනය කිරීම පිලිබඳ ප්‍රශ්නයක් නො වන එය, බලය අත්පත් කරගැනීම හා නිර්ධන පන්තික පීතෘ භූමිය ආරක්ෂා කරගැනීම සඳහා ඍජු ව සූදානම් වීම පිලිබඳ ප්‍රශ්නයකි. (29)

මැක්ඩොනල්ඩ් මූර්තිමත් කලේ ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනය තුල, මාක්ස්වාදය හා සමස්ත සමාජවාදී ඉදිරිදර්ශනය තීරනාත්මක ලෙස ප්‍රතික්ෂේප වීම දැකගත්, වේගයෙන් වැඩෙමින් සිටි දිරිසුන් සුලුධනේශ්වර බුද්ධිමතුන්ගේ ස්ථරයයි. සියලු අභිලාෂයන් හා අභිප්‍රායයන්ගෙන් ගත් කල තත්ත්වය බලාපොරොත්තු රහිත විය. ඔහු මෙසේ ලිවී ය:

ෆැසිස්ට් වියගහින් කම්කරු පන්තිය මේ දක්වා මිදී ඇති සෑම තැනක ම එය සිටින්නේ පරිපූර්න පසුබැසීමක නො වේ ද? පසුව කම්කරුවා කැරලිකාරීත්වයේ යම් සංඥාවක් පෙන්නුම් කලත්, ඔවුන් ඔවුන්ගේ නායකත්වය සොයාගන්නේ කොතැනින් ද? දූෂිත හා අපකීර්තිමත් දෙවන හා තුන්වන ජාත්‍යන්තරයන්ගෙන් ද? කට්ටිවාදී රන්ඩු සරුවල් හේතුවෙන් බිඳී යන කුඩා, හුදකලා විප්ලවීය කන්ඩායම්වලින් ද? පසුගිය දශක දෙකෙහි ඓතිහාසික වර්ධනයන්ට භාවිතාවේ දී හා න්‍යායික අවබෝධයේ දී මාක්ස්වාදයේ ශිෂ්‍යයන් ප්‍රමානවත් පිලිතුරු සැපයීමට අසමත් වීම හේතුවෙන්, සියලු විප්ලවීය විද්‍යාවන්ගේ එකම ප්‍රභවය වන  මාක්ස්වාදයේ අධිකාරය ම පවා අවසානයේ දී සෙලවී නැද්ද?

අඩු තරමින් කියතොත් මෙම ප්‍රශ්න සාධාරන යයි මා පිලිගත යුතු ය. දේවල් වඩා නරක අතට හැරෙද්දී වඩ වඩා ඇට්ටර හා අතාර්කික බවට පත්වන සුභවාදයක් වන, සමහර තැන්වල පවතින වර්ගයේ “විප්ලවවාදී සුභවාදය” සමාජවාදයේ ගමන් මාවතට සේවය නො කරතියි මට පෙනේ. පසුගිය විසි වසර තුල, විප්ලවවාදී ව්‍යාපාරය නො බිඳුනු ප්‍රධාන විනාශයන් මාලාවකින් බැට කා තිබීමේ සත්‍ය කරුනට මුහුන දිය යුතු අපි, සිසිල් හා සංශයවාදී ඇසකින් මාක්ස්වාදයේ අතිමූලික පූර්වායවයන් විභාග කල යුත්තෙමු. (30)

මැක්ඩොනල්ඩ් ඔහුගේ අවමංගල ශෝකාලාපය නම් කලේ “සමාජවාදය සඳහා සිද්ධි අධ්‍යයනය” යනුවෙනි. එහෙත්, ඔහුගේ ම පරිනාමය ඉක්මනින් ම සනාථ කල පරිදි, එය සමාජවාදය ප්‍රතික්ෂේප කිරීම සඳහා වූ සිද්ධි අධ්‍යයනයක් විය.

“සමාජවාදය වෙනුවට ෆැසිස්ට්වාදය පැමිනි නිසා” දිරිසුන් සංශයවාදීහු මාක්ස්වාදයේ අසාර්ථකත්වය ප්‍රකාශයට පත්කල බව ට්‍රොට්ස්කි නිරීක්ෂනය කලේ ය. ඔවුන්ගේ පුද්ගලික දිරිසුන් වීමට අමතර ව, සංශයවාදීන්ගේ විවේචනය තුල ඔවුන් අනාවරනය කලේ, ඉතිහාසය පිලිබඳ යාන්ත්‍රික හා අක්‍රීය සංකල්පයකි. මාක්ස් සමාජවාදයේ ජයග්‍රහනය සඳහා පොරොන්දු නො වී ය; ඔහු අනාවරනය කලේ සමාජවාදය හැකියාවක් බවට පත් කල ධනේශ්වර සමාජයේ වෛෂයික පරස්පර-විරෝධයන් ය. එහෙත් එය ස්වයංසිද්ධ ව ලඟා වනු ඇති බව ඔහු කිසිදා කීවේ නැත. ඇත්තෙන්ම සමාජවාදය සඳහා අරගලයට වලකැපූ අවස්ථාවාදී හා අරාජකවාදී වශයෙන් වූ සියලු දේශපාලන ප්‍රවනතාවන්ට විරුද්ධ ව, මාක්ස්, එංගල්ස් හා ලෙනින් නිර්දය අරගලයක් දියත් කල හ. පාලක පන්තියේ බලපෑමට දනගැසූ දුර්නායකත්වයකට “නිර්ධන පන්තියේ විප්ලවවාදී කර්තව්‍යය ඉෂ්ට සිද්ධ කරගැනීමට බාධා කිරීම, මන්දනය කිරීම, වඩා අසීරු කිරීම හා කල්දැමීම” කල හැකි බව ඔවුහු දැන සිටිය හ. (31)

පවතින තතු නිර්මානය වීමෙහි ලා කම්කරු-පන්තික නායකත්වයේ අසමර්ථතාවන්ගේ දායකත්වය කිසිසේත් අඩු අංශකයක ලා ගිනිය නොහැක. 

ෆැසිස්ට්වාදය කිසිසේත් ම සමාජවාදය “වෙනුවට” පැමිනියා නො වේ. ෆැසිස්ට්වාදය වනාහි, තම පැවැත්ම වඩාත් ම මෘග හා දුෂ්ඨ පියවරයන් හරහා චිරස්ථායී කරගැනීමට උත්සාහ දරන, ධනවාදයේම අඛන්ඩ පැවැත්ම යි. ෆැසිස්ට්වාදය වෙත යොමු වීමට ධනවාදය අවස්ථාවක් උදා කරගත්තේ, නිර්ධන පන්තිය නියමිත කලට සමාජවාදී විප්ලවය ඉෂ්ට නො කල නිසා පමනි. අවස්ථාවාදී පක්ෂ විසින් නිර්ධන පන්තිය එහි කර්තව්‍යය සම්පූර්න කිරීම වලකනු ලැබ එය බෙලහීන කෙරින. විද්‍යාත්මක සමාජවාදයේ සමාරම්භකයන් විසින් පෙර දක්නා ලද පමනට වැඩියෙන් බාධක, වැඩිමනත් දුෂ්කරතා හා වැඩිමනත් අවධි නිර්ධන පන්තියේ විප්ලවීය වර්ධනයේ මාවත තුල පැවතුනු බව පමනක් බව කිව හැකි ය. ෆැසිස්ට්වාදය හා අධිරාජ්‍යවාදී යුද්ධ මාලාව සමන්විත වන්නේ භයංකර පාසලකිනි. නිර්ධන පන්තිය සුලුධනේශ්වර සම්ප්‍රදායන් හා මිත්‍යාවන්ගෙන් නිදහස් විය යුත්තේ, අවස්ථාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී හා අතිවික්‍රමවාදී පක්ෂවලින් ගැලවී ගත යුත්තේ, සිය විප්ලවවාදී පෙරටු බල ඇනිය පන්නර ගන්වා පුහුනු කරගත යුත්තේ එහිදී ය. ඒ මාර්ගයෙන් තම කර්තව්‍යය විසඳීම සඳහා සූදානම්වීමකින් තොර ව, මානව වර්ගයාගේ වර්ධනයට කවර හෝ විමුක්තියක් නොපවතින අතර පවතින්නට හැකියාවක් ද නැත. (32)

මතු සම්බන්ධයි

මෙම ලිපිය සැප්තැම්බර් 2 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.  

(1) ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40 (ඉංග්‍රීසි), Writings of Leon Trotsky 1939-40 (නිව් යෝක්: 1973), 273 පිටුව

(2) එම

(3) මාක්ස්වාදය හා වෘත්තීය සමිති තුල එන “අධිරාජ්‍යවාදයෙහි ඛාදනයේ යුගයේ වෘත්තීය සමිති,” (ඉංග්‍රීසි) , Marxism and the Trade Unions (නිව් යෝක්: 1973), 9-10 පිටු

(4) එම, 10 පිටුව

(5) එම, 11 පිටුව

(6) එම, 11 පිටුව

(7) එම, 12 පිටුව 

(8) එම, 12 පිටුව

(9) එම, 16  පිටුව

(10) එම, 16 පිටුව

(11) එම, 16-17 පිටු

(12) ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40, 267 පිටුව

(13) මාක්ස්වාදය හා වෘත්තීය සමිති, 18 පිටුව

(14) මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා කෘතියේ එන “යුද්ධය තුල සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව,” (ඉංග්‍රීසි),In Defence of Marxism (ලන්ඩන්:1971), 24 පිටුව

(15) “ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ,” (ඉංග්‍රීසි) “The Death Agony of Capitalism and the Tasks of the Fourth International,” (නිව් යෝක්: 1981), 8 පිටුව

(16) ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40, 331 පිටුව

(17) එම, 333-334 පිටු

(18) එම, 335 පිටුව

(19) එම, 335-37 පිටු

(20) එම, 33-38 පිටු

(21) පාටිසන් රිවීව් සඟරාවේ එන “සමාජවාදය හා ජාතික ආරක්ෂාව,” (1940 ජූලි-අගෝස්තු) (ඉංග්‍රීසි) Partisan Review (July-August 1940) 252 පිටුව

(22) එම, 254 පිටුව

(23) එම, 256 පිටුව

(24) එම, 252 පිටුව

(25) ටිම් මේසන්, නාසිවාදය, ෆැසිස්ට්වාදය හා කම්කරු පන්තිය (ඉංග්‍රීසි) Nazism, Fascism, and the Working Class (කේම්බ්‍රිජ්, 1995), 51 පිටුව

(26) ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40, 410 පිටුව

(27) එම, 412 පිටුව

(28) එම, 412-413 පිටු

(29) එම, 413-14 පිටු

(30) පාටිසන් රිවීව්, එම, 266 පිටුව

(31) ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40, 416 පිටුව

(32) එම, 416-17 පිටු

Loading