ඉදිරිදර්ශන

ධවල මන්දිර වසංගතය නොතකා ට්‍රම්ප් දේශපාලන කුමන්ත්‍රනය උත්සන්න කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා නැවත ධවල මන්දිරයේ සිය පලමු දිනය ගත කලේ, සිය සමස්ත පරිපාලනය පුරා ගැඹුරු වන අර්බුදයකට මුහුන දෙමිනි. 

ධවල මන්දිරය ම වසංගතයේ ප්‍රධාන ජාතික මධ්‍යස්ථානය ලෙස මතු වී ඇත්තේ, සැප්තැම්බර් 26 වන දින විනිසුරු ඇමී කෝනි බැරට් වෙනුවෙන් පැවති රෝස උද්‍යාන නාමයෝජනා උත්සවයේ ප්‍රතිවිපාක අඛන්ඩ ව වර්ධනය වෙමින් තිබීමත් සමගිනි. ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කයිලි මැකේනිට වෛරසය වැලඳී ඇති බවට සඳුදා නිවේදනය කිරීමෙන් පසු ව, අඟහරුවාදා රාත්‍රියේ අග භාගයේ දී ට්‍රම්ප්ගේ ෆැසිස්ට් උපදේශක ස්ටීවන් මිලර් ද ආසාදිත බව සහතික කෙරුනු බව වාර්තා වුනි.

ධවල මන්දිරයේ ඉහල නිලධාරීන් හා ට්‍රම්ප්ගේ උපදේශකයින් අතර රෝගය පැතිරීමත් සමඟ ම, සභාපති ජෙනරාල් මාක් මිලී ඇතුලු ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන් සියල්ල ම පාහේ, කොවිඩ් -19 ආසාදිත බව තහවරු කෙරුනු, වෙරලාරක්ෂක උප අනදෙන නිලධාරී අද්මිරාල් චාල්ස් රේට නිරාවරනය වීමෙන් පසු නිරෝධායනයට ලක්ව සිටිති. 

ට්‍රම්ප් ආපසු පැමිනිය දී බොහෝ ධවල මන්දිර කාර්යාල හිස් ව ඇති අතර අවම වශයෙන් තවත් සතියක්වත් එසේ පවතිනු ඇත. ට්‍රම්ප් සම්බන්ධයෙන් ම  ගත් කල ජනාධිපතිට, ස්ටෙරොයිඩ් හා වෙනත් ඖෂධ වර්ග ලබාදී ඇති අතර,  ඔහු “කිසිදු රෝග ලක්ෂනයක් වාර්තා නො කරන” බව ඔහුගේ වෛද්‍යවරුන් කියා සිටිය ද, රෝගය පූර්න වශයෙන් සුවපත් වී නැත.

සඳුදා මධ්‍යම රාත්‍රියේ වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට ධවල මන්දිරයට ආපසු ඒ්මට ට්‍රම්ප් ගත් තීරනය පැහැදිලිව ම උනන්දු කර ඇත්තේ, තම තත්ත්වය හා දේශපාලන කුමන්ත්‍රන කෙරෙහි සිය රෝගී තත්වය ඇති කරන බලපෑම පිලිබඳ ගැඹුරු උත්සුකයෙනි.  

සියලු මත විමසීම් මුලුමනින්ම වැරදි නැත්නම්, ට්‍රම්ප්ගේ දේශපාලන ස්ථාවරය පිරිහෙමින් පවතින අතර, ඡන්ද විමසීමේ දී සැලකිය යුතු පරාජයක අන්තරායට ඔහු මුහුන දෙයි. නමුත් මෙම කාරනය ඔහුගේ සැලසුම් වෙනස් නො කරයි. පරිපාලනයේ අර්බුදය වඩාත් මංමුලා සහගත වන තරමට ට්‍රම්ප් ගනන් බලන්නේ තමාට ධුරයේ රැඳී සිටීමේ හැකියාව මුලුමනින් ම රඳා ඇත්තේ, ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව මත බවට ය. එවැනි කුමන්ත්‍රන වෝල්ටර් රීඩ් හි රෝහල් ඇඳක සිට ක්‍රියාත්මක කල නො හැක. ට්‍රම්ප්ට රාජ්‍ය උපකරන පාලනය කිරීම අවශ්‍ය වේ.

තම වාසියට ශ්‍රේෂ්ඨාධිකරනය හැසිරවීමේ ඔහුගේ උත්සාහය සම්බන්ධයෙන් ගත් විට අඟහරුවාදා ට්‍රම්ප්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ නොවැම්බර් 3 ට පෙර බැරට්ගේ නාමයෝජනා ඉදිරිපත් කිරීම කෙරෙහි ඔහුගේ සියලු අවධානය යොමු කරනු පිනිස නව උත්තේජක පනතක් සම්බන්ධයෙන් කොන්ග්‍රසයේ සාකච්ඡාව අලංගු කරන ලෙස  සෙනෙට් සභික මිච් මැක්කොනෙල්ගෙන් ඉල්ලා සිටීම කෙරෙහි ය.

ට්‍රම්ප් හාත්පස ම සංකේත පිලිබඳ කාරනය ද තිබේ. අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් ව්‍යාපාරයක් පෝෂනය කිරීම ඔහුගේ පෞරුෂය මත බෙහෙවින් රඳා පවතින්නේ, අනතුර විශේෂයෙන් ම බරපතල ම අඩු තක්සේරු කර ඇත්තා වූ ද තව දුරටත් අඩු තක්සේරු කරන්නා වූ ද අනතුරෙන් නිර්මුක්ත “ශ්‍රේෂ්ඨ ආඥාපතියා” තමාය යන ඔහුගේ පුුද්ගලත්වය මත යි.“ආඥාපතිට” රෝහල් ඇඳ මත පමනක් වැතිර සිටිය  නො හැක.

සඳුදා රාත්‍රියේ මැරීන් වන් (Marine One) හෙලිකොප්ටරයෙන් ට්‍රම්ප් ධවල මන්දිරයට ආපසු පැමිනීමෙන් පසුව,  එහි සිට කෙරුනු ඔහුගේ ආචාරයෙන් සම්පූර්න වූ ඔහුගේ ව්‍යායාමය පැහැදිලිව ම උනන්දු කලේ, රිෆෙන්ස්ටාල්ගේ අධිෂ්ඨානයේ ජයග්‍රහනය (Triumph of the Will) නම්, 1935 නාසි ප්‍රචාරක චිත්‍රපටයෙනි. එහි ආරම්භක දර්ශනය නිරූපනය කරන්නේ, ඇඩොල්ෆ් හිට්ලර් ගුවන් යානයකින් බැස, සඳුලුතලයක පෙනී සිට ආචාර කරන ආකාරය යි.(අදාල වීයෝව නරඹන්න )

එම අටුවාවෙන් උත්සාහ කලේ,  ඇමරිකානු ජනතාව සමඟ තමාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පරදුවට තබමින් සිටින යුද පිටියේ අන දෙන නිලධාරියෙකු ලෙස ට්‍රම්ප්ගේ මාධ්‍ය සහචරයන්ට පෙන්වා දීමට යි. “ඔහු වෛරසයෙන් සැඟවී නො සිටීමට හේතුව ඇමරිකාව වෛරසයෙන් සැඟවී සිටීම ඔහුට අවශ්‍ය නො වීමයි” යනුවෙන් ෆොක්ස් නිවුස් සත්කාරක ග්‍රෙග් ගට්ෆෙල්ඩ් පැහැදිලි කලේ ය. 'ඇමරිකානුවන් යලි වැඩට යා යුතු බව පැවසීමට ඔහු පියවර ගන්නේ නම් ඒ,... ඔහු ද ඒ දේම කරමින් සිටින නිසාය, ඔහු ඔබ සමඟම එම යුද පිටියට යමින් සිටියේ ය.'

මේ අනුව, 200,000 කට අධික පිරිසක් ඝාතනය කර, ධවල මන්දිරය ම ආසාදනය කර වීමට නැවත පැමින ඇති, ධවල මන්දිරය මෙහෙය වූ “රංචු ප්‍රතිශක්තිය” මූලෝපායෙන් ඇති කෙරෙුනු විනාසය, ට්‍රම්ප්ගේ ශක්තිය පිලිබඳ උදාහරනයක් වීමට නියමිත ය. වෛරසය පාලනය කිරීමට කිසිවක් නොකිරීම සාධාරනීකරනය කිරීම පිනිස ට්‍රම්ප්,  තමාගේ ම රෝගී තත්වය වහාම අල්ලා ගත්තේ ය. “සෑම වසරක ම බොහෝ අය, සමහර විට 100,000 කට වඩා වැඩි සංඛ්‍යාවක්, එන්නත් පැවතියත් උන රෝගයෙන් මිය යති” යනුවෙන් ඔහු අඟහරුවාදා ට්වීට් පනිවුඩයක් නිකුත් කලේ ය. “අප අපේ රට වසා දැමීමට යනවාද? නැත, අප කොවිඩ් සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නවා සේ ම, අපි එය සමඟ ජීවත් වීමට ඉගෙන ගෙන ඇත්තෙමු. ”

මේ කිසිවකට පරිපාලනය තුල පවතින ගැඹුරු අර්බුදය වසං කල නො හැක. කෙසේ නමුත් තත්වය වඩාත් මංමුලා සහගත වන තරමට ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය වඩාත් නො සැලකිලිමත් වනු ඇත. ඔහුගේ කූඨෝපායික කුමන්ත්‍රන සැලසුම්  දිගටම පවතින අතර මැතිවරනයට තව මාසයක් ඇත. “ජාතික සමගියේ” නාමයෙන් සහයෝගය ලබා ගැනීම සඳහා යොදා ගන්නා මිලිටරි ප්‍රකෝප කරනයක්, “ඔක්තෝබර් පුදුමයක්” ඇතුලු බොහෝ කූඨෝපායන් ට්‍රම්ප් සන්තකයේ තිබේ.

ට්‍රම්ප්ගේ වාසිය පිනිස වන එක් සාධකයක් තිබේ: එනම්, ඩිමොක්‍රටික් පක්ෂයේ දෙපිටකාට්ටුකම, කොන්ද පන නැතිකම හා අතිමූලික වශයෙන් ප්‍රතිගාමී ස්වභාවයයි. ඩිමොක්‍රටිකයින්ට ට්‍රම්ප් පරිපාලනයේ අර්බුදය සම්බන්ධයෙන්  කිසිදු ගෞරවයක් හිමි විය නො හැක. ඔහුගේ කුමන්ත්‍රන හෙලිදරව් කරනවා වෙනුවට ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනවලට එරෙහි මහජන විරෝධය මැඩ පැවැත්වීමට හා  ආඥාදායකත්වයේ අන්තරාය වසන් කිරීමට ඔවුන් හැකි සෑම දෙයක් ම කර තිබේ.

ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයට විවෘතව ඇරයුම් කල, ජනාධිපති විවාදයෙන් දින කිහිපයකට පසු ව සිදු වූ ට්‍රම්ප්ගේ රෝගී තත්ත්වය පිලිබඳ නිවේදනයට ඩිමොක්‍රටිකයන් හා ඔවුන්ගේ සහචර මාධ්‍ය ප්‍රතිචාර දැක්වූයේ,  පසු ගිය සෙනසුරාදා නිව් යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කල පරිදි, “ජාතිය වෙනුවෙන්” හා “ ජාතික ආරක්ෂාව වෙනුවෙන්” ඉක්මන් සුවයක් පිලිබඳ හැඟීම්බර බලාපොරොත්තු සමගිනි. “ඉක්මනින් සුවපත් වන” ලෙසට කෙරුනු ඩිමොක්‍රටිකයන්ගේ යාඥා හමුවේ ධවල මන්දිරයට ආපසු යමින්  ට්‍රම්ප්, මැතිවරන ප්‍රතිඵල අවලංගු කිරීමේ සිය සූදානම  නැවත පන ගන්වයි.

[මෙම ලිපිය 2020 ඔක්තෝබර් 7 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading