ඉදිරිදර්ශන

මිචිගන් කුමන්ත්‍රනයේ තොරතුරු මතුවෙද්දී ට්‍රම්ප් අන්ත දක්ෂිනාංශිකයන්ට ඇමතීම ඉදිරියට ගෙන යයි

මිචිගන් ප්‍රාන්ත ඩිමොක්‍රටික් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කුමන්ත්‍රනයේ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මිචිගන් බලධාරීන් හා ෆෙඩරල්  නිවේදනය කල දින සිට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ අභ්‍යන්තර කවය ෆැසිස්ට් දක්ෂිනාංශයට කරන ආයාචනා තීව්‍ර කරමින් සිටිති.

කුමන්ත්‍රනය මිචිගන් හි කේන්ද්‍රගත වී ඇති අතර, කුමන්ත්‍රනකරුවන් වඩාත් පුලුල් හා අඛන්ඩ ජාතික කුමන්ත්‍රනයකට සම්බන්ධ වී ඇති බව පැහැදිලි කරමින් නව තොරතුරු මතු වී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා ගොනු කරන ලද අපරාධ පැමිනිල්ල පැහැදිලි කලේ  මිචිගන් කුමන්ත්‍රනකරුවන් “විවිධ ප්‍රාන්ත ආන්ඩුවලට එරෙහි ව ප්‍රචන්ඩකාරී ක්‍රියාමාර්ග ගැනීමේ” සැලසුමක නිරත වූ බවයි.

කුමන්ත්‍රනකරුවන්ට පැහැදිලිව ම හැඟී ගියේ තමන් ධවල මන්දිරයේ සහාය ඇතිව ක්‍රියා කරමින් සිටින බව යි. කුමන්ත්‍රනය හෙලි වීමෙන් පසුව පවා ට්‍රම්ප් ඇයව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ තර්ජනය ගැන “පැමිනිලි කිරීම” හා “වැලපීම” ගැන විට්මර් ව හෙලා දුටුවේ ය. සෙනසුරාදා ට්‍රම්ප් මුසෝලිනී මූර්තිමත් කරමින්, ධවල මන්දිර සඳුලුතලයේ සිට දේශනයක් පවත්වමින් “සමාජවාදීන්” හා “කොමියුනිස්ට්වාදීන්” විසින් රට අත්පත් කර ගැනීමේ හදිසි අනතුර ගැන කුඩා ප්‍රේක්ෂක පිරිසකට වල්පල් දෙඩී ය.

2020 අප්‍රේල් 15වැනි දින, මෙම ගොනු ගත ඡායාරූපය තුල විරෝධතාකරුවෝ ලැන්සිං හි මිචිගන් ප්‍රාන්ත අගනගර ගොඩනැගිල්ලේ පඩි අසලට රයිෆල් රැගෙන යති. (ඒපී ඡායාරූපය / පෝල් සැන්ෂියා, ගොනුව)

ඔහුගේ අන්ත දක්ෂිනාංශික ආධාරකරුවන්ට පැහැදිලි සංඥාවක් නිකුත් කරමින් ට්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපරය මේ සති අන්තයේ නිවේදනය කලේ, ජනාධිපතිගේ පුත් එරික් ට්‍රම්ප්. ෆැසිස්ට් කුමන්ත්‍රනකරුවන් 13දෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනු, මිල්ෆර්ඩ් සහ වෝටර්ෆර්ඩ් ටවුන්ෂිප් සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි මිචිගන් ප්‍රාන්තයේ නිව් හඩ්සන් හි තුවක්කු වෙලඳසැලක රැලියක් පවත්වන බව යි. මිලීෂියා ක්‍රියාකාරකම්වල තවත් මධ්‍යස්ථානයක් වන මිචිගන් හි ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි බදාදා රැලියකට උප ජනාධිපති පෙන්ස් සහභාගී වන බව ද එම උද්ඝෝෂය නිවේදනය කලේ ය.

මිචිගන් කුමන්ත්‍රනකරුවන් දෙදෙනෙකු වන මයිකල් හා විලියම් නූල් මෙම ගිම්හානයේ දී අගුලු දැමීමට එරෙහි විරෝධතාවයකට පෙනී සිට, ව්‍යවස්ථාදායක පොලිස් හා සාම නිලධාරීන්ගේ සංගමයේ (සීඑස්පීඕඒ) නායක බැරී කවුන්ටියේ (ප්‍රාදේශිය සභාවේ) ෂෙරිෆ් (පොලිස් ප්‍රධානි) ඩාර් ලීෆ් සමඟ ඡායාරූප ගත කරන ලද්දේ ග්‍රෑන්ඩ් රිපඩ්ස් හි දී ය. සීඑස්පීඕඒ යනු ප්‍රමුඛ ට්‍රම්ප් ආධාරකරුවෙකු හා  මාරිකෝපා ඇරිසෝනා හි හිටපු ෂෙරිෆ් ජෝ ආර්පෙයෝ විසින් ආරම්භ කරන ලද ෆැසිස්ට් පොලිස් ජාලයකි. සීඑස්පීඕඒ විසින් ලීෆ්ව 2016 දී “වසරේ ෂෙරිෆ්” ලෙස නම් කරන ලදී.

කුමන්ත්‍රනකරුවන් හුදෙක් විට්මර් සම්බන්ධයෙන් “පුරවැසියන් විසින් කෙරෙන අත්අඩංගුවට ගැනීමක්” සැලසුම් කරමින් සිටින්නට ඇති බව බ්‍රහස්පතින්දා ලීෆ් ප්‍රකාශ කලේ, ඔවුන්ගේ ක්‍රියාව සාධාරන යැයි ඔහු සිතූ බව පැහදිලි කරමිනි. ප්‍රාන්ත රෙගුලාසි මගින් අවසර දී ඇති ව්‍යාපාර සඳහා සීමාවන් පැනවීම ලීෆ් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුනි.

පසුගිය අප්‍රේල් මාසයේ ව්‍යවස්ථාදායකයින්ට තර්ජනය කිරීමට තම ප්‍රහාරක රයිෆල් ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ ගොඩනැගිල්ලට තුලට ගෙනආ ෆැසිස්ටවාදීන්ට ශුබ පැතීමට, මිචිගන් ප්‍රාන්ත සෙනෙට් සභාවේ රිපබ්ලිකන් බහුතර නායක මයික් ෂිර්කි, ගැලරිය වෙත ඇවිද ගිය බව වාර්තා වේ. පසු ගිය සතියේ අත්අඩංගුවට ගත් අයගෙන් අඩු වසයෙන් එක් පුද්ගලයෙකු වත් ඔහු මෙසේ සුබ පතවන් අතර වේ.

මෙම වසර මුල පටන් තනි තනි මාධ්‍ය වාර්තා, මිලීෂියා කුමන්ත්‍රනකරුවන්ට ඔවුන්ගේ උපාය මාර්ග සැලසුම් කිරීම සඳහා මාධ්‍යයක් ලෙස සේවය කල අගුලු දැමීමට එරෙහි  විරෝධතාවන්ට සහාය දැක්වීමේ දී, ට්‍රම්ප්ගේ ප්‍රචාරක නිලධාරීන් හා විශාල මුදල් පරිත්‍යාගශීලීන් ඉටු කල කාර්යභාරය පිලිබඳව ද බොහෝ ප්‍රශ්න මතු කරයි.

අගුලු දැමීමට එරෙහි විරෝධතා සඳහා අරමුදල් සැපයූ කන්ඩායම් තුනක්, එනම් “මිචිගන් කොන්සර්වේටිව් සන්ධානය (එම්සීසී)”, “මිචිගන් නිදහස් අරමුදල” හා “ප්‍රාන්ත සම්මුති ව්‍යාපෘතියට”, ට්‍රම්ප්ගේ උද්ඝෝෂනයේ උපදේශකයෙකු මෙන් ම “ට්‍රම්ප් සඳහා කාන්තාවන්” කන්ඩායමේ නායකයෙකු වන එම්.සී.සී. නිර්මාතෘ මේෂාන් මැඩොක් ඇතුලු  ට්‍රම්ප්ගේ ප්‍රමුඛ ආධාරකරුවන් සමඟ සමීප සබඳතා ඇත.

කෝටිපති ඩිවෝස් පවුලේ දිගුකාලීන උපදේශකයෙකු වන ග්‍රෙග් මැක්නෙලි මිචිගන් නිදහස් අරමුදලට නායකත්වය දෙයි. බෙට්සි ඩිවෝස් ට්‍රම්ප්ගේ අධ්‍යාපන ලේකම් ය. ඇගේ සහෝදරයා වන එරික් ප්‍රින්ස්, කුලී හේවා සමාගමක් වන බ්ලැක්වෝටර් (දැන් Xe ලෙස හැඳින්වේ) හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන අතර හිටපු ට්‍රම්ප් උපදේශක ස්ටීවන් බැනන් හා ට්‍රම්ප්ගේ පුතුන් වන එරික් හා ඩොන් ජූනියර්ගේ සමීප සගයෙකි. ප්‍රාන්ත  සම්මුති ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලබන්නේ ප්‍රකෝටිපති මර්සර් පවුල විසිනි, එයට ප්‍රමුඛ ට්‍රම්ප් ආගමන නිලධාරි කෙන් කුචිනෙලි හා නිවාස හා නාගරික සංවර්ධන ලේකම් බෙන් කාර්සන් සමඟ සමීප සබඳතා ඇති අතර, එහි නායකත්වය දරන්නේ කොච් පවුලේ සමීප උපදේශකයෙකු වන එරික් ඕකීෆ් විසිනි.

අත්අඩංගුවට ගත් කුමන්ත්‍රනකරුවන් රට පුරා සිටින වෙනත් මිලීෂියා කන්ඩායම් සමඟ සම්බන්ධ වී ඇති ආකාරය පිලිබඳ වැඩි විස්තර ද මතුවෙමින් තිබේ. මිලීෂියා භටයින්ගෙන් එක් අයෙකු වන බැරී ක්‍රොෆ්ට් ෆැසිස්ට් “සියයට තුනේ අය” (Three Percenters) හා දේශප්‍රේමී ව්‍යාපාරයේ ප්‍රමුඛ සාමාජිකයෙකි. ජාතික මහජන ගුවන් විදුලිය ඔහු ව හැඳින්වූයේ, “අප්‍රසිද්ධ අයෙකු ලෙස තාවකාලික වර්ධනයන් ඇති කල අතර, සියයට තුනක ජාතික නායකත්වය විධිමත් කිරීමට උත්සාහ කල” හා නිර්නාමික මිලීෂියා නායකයින් සමඟ සම්මුඛ සාකච්ඡා මත පදනම් ව “ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ භූමිකාවක්” ලබා ගැනීමට අපේක්ෂා කල, “දෘශ්‍යමාන චරිතයක්” ලෙස යි. 

කුමන්ත්‍රනකරුවන් දෙදෙනෙකු වන ඩැනියෙල් හැරිස් හා ජෝශප් මොරිසන් මැරින් භටයෝ වූහ. හැරිස් 2014 සිට 2019 දක්වා ද මොරිසන් 2015 සිට ඔහු අත්අඩංගුවට ගත් දින දක්වා එහි සංචිතයේ ද සිටියහ. ෆැසිස්ට් රහස්  ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථානයක් ලෙස  ප්‍රසිද්ධ උතුරු කැරොලිනාවේ ලෙජෝන් කඳවුරේ හැරිස් ව සේවයේ යොදවා තිබුනි.

කුමන්ත්‍රනයේ බරපතලකම පිලිබඳ ව වැඩි විස්තර මතු වන අතර, වඩාත් කැපී පෙනෙන කාරනය වන්නේ කුමන්ත්‍රනය අවතක්සේරු කිරීමට මාධ්‍ය හා ඩිමොක්‍රටික් පක්ෂය දරන උත්සාහය යි.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන් සෙනසුරාදා පෙනිසිල්වේනියාවේ පැවති ප්‍රසිද්ධ උත්සවයක දී නොවැම්බර් 3 මැතිවරනය “වංචා” කිරීමේ හැකියාව නො පැහැදිලි ලෙස සඳහන් කලේ ය. ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය පිලිබඳ ව අවධානය යොමු කිරීම ගැන  පාලක කවයන් කෙතරම් සංවේදී ද යන්න පිලිබඳ ඇඟවීමක දී, පැය කිහිපයකට පසු බිඩෙන්ට තම අදහස් ආපසු හැරවීමට සිදුවිය. “බලපෑමට හා මිනිසුන් ඡන්දය දීමට බිය ගැන්වීමට” ට්‍රම්ප් කරන තර්ජන ගැන ඡන්දදායකයින් “අවධානය යොමු නො කල යුතු” බව බිඩෙන් පැවසී ය.

ඊයේ ආන්ඩුකාර විට්මර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, සීබීඑස් (වානීජ රූපවාහානි හා ගුවන්විදුලි ජාලයේ) මාග්‍රට් බ්‍රෙනන් ඇඟවුම් කලේ ෆැසිස්ට් කුමන්ත්‍රනය අවුලුවාලීමට විට්මර් ම වග කිව යුතු බව යි: “ආන්ඩුකාරතුමියනි, මෙ අය ඔබගේම ප්‍රාන්ත වැසියන්. ඔබේ ප්‍රාන්තය තුල ඔබ දේවල් ඒකාබද්ධ කරන්නේ කෙසේද? ඔබ ජනාධිපති හා වාචාලකම ගැන කතා කරන බව මම දන්නවා, නමුත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔබ කරන්නේ කුමක්ද? ” විට්මර් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඇයට විරුද්ධ වන සියලු මිචිගන් ප්‍රාන්තිකයින් සමඟ වැඩ කිරීමට ඇයට අවශ්‍ය බව යි.

රුසියාව ඩොලර් කීප දහසක් වටිනා ෆේස්බුක් දැන්වීම් සමඟ 2016 මැතිවරනය ට්‍රම්ප් වෙනුවෙන් සොරකම් කලේ ය යන පදනම් විරහිත ප්‍රකාශය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ හෙලාදැකීමේ උඩුබුරුලෑමට වඩා, ජනමාධ්‍යය හා ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ මෙම සාපේක්ෂ නිශ්ශබ්දතාව හාත්පසින්ම වෙනස් ය. මිලිටරි බුද්ධි අංශවල අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේ දී ඩිමොක්‍රටිකයෝ නිර්දය වෙති. එහෙත් වඩාත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගත් විට,ඩිමොක්‍රටිකයෝ  පුලුල් සමාජ විරෝධයක් අවුලුවන ඕනෑම දෙයක් කිරීමට බිය වෙති.

මැතිවරනයට සති තුනකට වඩා වැඩි කාලයක් තිබිය දී, ට්‍රම්ප් ඡන්ද විමසීමේ ප්‍රතිඵල නො සලකා බලයේ රැඳී සිටීමට තමාගේ ම කුමන්ත්‍රන දියත් කරමින් සිටී. ඔහු පොලීසිය, ආගමන හා මිලිටරි-ඔත්තුසේවා තුල සිටින ෆැසිස්ට් බලවේග සමග තම “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තියට සහාය දක්වන වෝල් වීදියේ සහාය ගනිමින් සිටී. තව ද, ඩිමොක්‍රටික් පක්ෂය කම්කරු පන්තියේ විරුද්ධත්වය ගැන කොතරම් භීතියට පත්ව ඇත්ද යත්, එය සමාජ පිපිරීමක අවදානමට වඩා ට්‍රම්ප් කුමන්ත්‍රනයක් පිලිගනු ඇති බව ට්‍රම්ප් ගනනය කර  යි.

එහෙත් ඩිමොක්‍රටිකයින්, මිලිටරි හා ඔත්තුසේවාවල සහාය ඇති ව ට්‍රම්ප් මැතිවරනයෙන් පසු බලයේ රැඳී සිටීම වලක්වනු ලැබුවත්, එය ඇමරිකානු දේශපාලනයේ මූලික ගමන් මඟ වෙනස් නො කරනු ඇත.

නොවැම්බරයේ මැතිවරන අර්බුදයේ ප්‍රති ඵලය කුමක් වුවත්, මෑත සතිවල හෙලි වූ ප්‍රවනතා තීව්‍ර වනු ඇත. ට්‍රම්ප් පරාජයට පත් වුවහොත්, ඔහුගේ ආධාරකරුවන් තම අපේක්ෂකයාගේ “පිටුපසට පිහියෙන් ඇන” ඇති බව විශ්වසා කරනු ඇත්තේ, තවදුරටත් දකුනට හැරීම යුක්තිසහගත කරමිනි. ඇමරිකානු දේශපාලන භූ දර්ශනයේ නව අංගයක් ලෙස සන්නද්ධ මිලීෂියා කන්ඩායම් සාමාන්‍යකරනය කෙරෙනු ඇත.

සිදුවීම් දිග හැරෙන තෙක් කම්කරු පන්තියට උදාසීන ව බලා සිටිය නො හැක. එය තමන්ගේ ම ක්‍රියාමාර්ගයක් සහිත ව මෙම අර්බුදයට මැදිහත් විය යුතු ය. ට්‍රම්ප් පරිපාලනය සහ පාලක පන්තිය ආඥාදායකත්වය හා ෆැසිස්ට් කුමන්ත්‍රනවලට යොමුවීමට එරෙහි සටන  ගෙන යා යුත්තේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීම මගිනි.

Loading