සමිති නායක ඇන්ටන් මාකස් බ්‍රැන්ඩික්ස් ආයතනය ගැන හමුදාපතිගෙන් පරීක්ෂනයක් ඉල්ලීම: කොරෝනා වසංගතය සමාජගතවීමේ වගකීමෙන් ආන්ඩුව නිදහස් කිරීමේ තැතක්

නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් ඔක්තෝබර් 11 වෙනි දා කෝවිඩ්-19 සම්බන්ධ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වන, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වෙත යවන ලද ලිපියකින්, ‘‘මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලින් කෝවඩ්-19 වසංගතය නැවත පැතිරීම” ගැන ‘‘ස්වාධීන කොමිසමක්” මගින් ‘‘විශේෂ පරීක්ෂනයක්” කරන ලෙස ඉල්ලා ඇත.

ලිපියේ පිටපත් අගමැති, කම්කරු ඇමති, අමාත්‍යංශ ලේකම්, එකාබද්ධ ඇගලුම් සංගම් සංසදය හා ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති වෙත ද යොමුකර ඇත.

‘‘මේ මොහොතේ පශ්චාත් කෝවිඩ්-19 ආර්ථික පුනර්ජීවනය සඳහා ඇති අතිශය හදිසි අවශ්‍යතාව හමුවේ අපනයන නිෂ්පාදනය හා ඇගලුම් කර්මාන්තය ඉතා වැදගත් වන හෙයින් විශේෂ පරික්ෂනයක් සඳහා කෙරෙන මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඔබ (හමුදාපති) වහා පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු' යයි මාකස් එහිදී අවධාරනය කරයි.

මාකස්ගේ මෙම ඉල්ලීමේ එල්ලය වන්නේ කොරෝනා වසංගතය සමාජගත වීම සම්බන්ධ ව වගකිව යුතු රාජපක්ෂ ආන්ඩුව, එහි සෞඛ්‍ය බලධාරීන්, කෝවිඩ්-19 ජනාධිපති කාර්යසාධක බලකාය කොක්කෙන් ගලවා, වසංගතය පාලනය කිරීම සහ ඉන් ආරක්ෂා වීම සඳහා කම්කරුවන්ගේ ස්වාධීන මැදිහත්වීමක් වැලැක්වීම ය.

මාකස් ඉල්ලා සිටින්නේ කවරෙකුගේ ස්වාධීන කොමිසමක් ද? කම්කරුවන්ගේ ද? නැත. එය හමුදාවේ මැදිහත් වීම සහිත රාජපක්ෂ ආන්ඩුවේ, හාම්පුතුන්ගේ සහ වෘත්තීය සමිතිවල කොමිසමකි. වෘත්තීය සමිතිවල යෝජනාවකට අනුව, එහි කම්කරුවන්ට වයිරසය ආසාදනය වීම සම්බන්ධ ව බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහි චෝදනා පරීක්ෂා කිරීමේ වෙන ම ‘‘විශේෂ කමිටුවක්” කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා විසින් පිහිටුවා ඇත.

මෙම ‘‘පරීක්ෂන කොමිසන්” සහ ‘‘විශේෂ කමිටු” ක්‍රියාත්මක වනු ඇත්තේ, නිසැකව ම, වයිරසය සමාජගත වීම සම්බන්ධ ව ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ වගකීම යට ගැසීමට හා මහ ව්‍යාපාරිකයේ හා ආයෝජකයන්ගේ ලාබ අවශ්‍යතාවයන් රැකීම සඳහා ය. මාකස් ඒ සඳහා දැනටමත් ‘‘මග පෙන්වීමක්” කර ඇත.

‘‘මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලින් කෝවිඩ්-19 වසංගතය නැවත පැතිරීම, එයට නැවත පැමිනි ලාංකිකයින් හරහා හෝ ඉන්දීය සම්බන්ධයක් ඇති ද යන්න හා ඉන්දීය ශ්‍රමය හෝ ඉන්දීය අමුද්‍රව්‍ය එහි භාවිත වී ද යන කාරනා සම්බන්ධයෙන් අපනයන නිෂ්පාදන හා ඇඟලුම් කර්මාන්තය පිලිබඳ මනා අවබෝධයක් ඇති සහ ප්‍රජා සෞඛ්‍යය පිලිබඳ විශේෂඥතාවක් ඇති පුද්ගලයින්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් මගින් විශේෂ පරීක්ෂනයක් වහා පවත්වන මෙන්” මාකස් සිය ලිපියෙන් ඉල්ලා ඇත.

මාකස් මෙහි දී ප්‍රතිරාවය කරන්නේ බ්‍රැන්ඩික්ස් කම්කරුවන්ට වයිරසය ආසාදනය වීමේ සැබෑ හේතු යට ගසා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කම්කරුවන් භේද කිරීමේ ධනපති ජනමාධ්‍ය සහ ජාතිකවාදී ප්‍රතිගාමී නඩවල රාවයයි.

කම්කරුවන් එවන් ප්‍රෝඩාකාරී පරීක්ෂන කොමිසම් සහ කමිටු සපුරා ම ප්‍රතික්ෂේප කල යුතු ය. වසංගතය පාලනය කිරීම හා ඉන් ආරක්ෂා වීමේ වැඩ පිලිවෙලක් සංවිධානය කිරීමේ වගකීම සහ රැකියා, වැටුප් හා සෙසු සමාජ අයිතීන් කප්පාදුවට එරෙහි සටන ඔවුන් තම අතට ගත යුතු ය. නිදහස් වෙලඳ කලාප සහ කම්කරු පන්තියේ අවශේෂ කොටස් සම්බන්ධ කරගත් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සියලු ආයතන තුල ගොඩ නගා ගැනීම ඒ සඳහා වන මුලික පියවරකි.

ක්‍රියාකාරී කමිටුවල මුලිකත්වය යටතේ, විශේෂඥයන්, සෞඛ්‍ය සේවකයන් සම්බන්ධ කරගත් සෞඛ්‍යාරක්ෂක කමිටු පිහිටුවීමටත්, තම රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැක ගැනීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමටත් පියවර ගත යුතු ය.

වසංගතය මධ්‍යයේ කම්කරුවන් සාපරාධී ලෙස වැඩට දැක්කීම මෙන් ම, ඔවුන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව ධනපති ලාභෝත්පාදන අවශ්‍යතාවයෙන් ගලා එන්නක් වන අතර, ධනවාදය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය වසංගතය මැඩලීමේ ගෝලීය ප්‍රයත්නයකට මුලුමනින් ම එරෙහිව පිහිටා සිටී. ධනවාදය ගෝලීය පරිමාන ව අහෝසි කෙරෙන, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනකින් තොරව, කවර රටක හෝ කම්කරුවන්ට වසංගතයෙන් ආරක්ෂා වීම හෝ තම ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැක ගත නොහැකි ය.

ආන්ඩුවේ සහ කොවිඩ් 19 ජනාධිපති කාර්ය සාධක බලකායේ තානයට අනුව ක්‍රියාත්මක වන සෞඛ්‍ය බලධාරීන් වසංගතය රට පුරා ව්‍යාප්ත වීම හුදෙක් “බ්‍රැන්ඩික්ස් පොකුරකට” සිඳ වීම දැනුවත් ව ම සත්‍යය යට ගැසීමකි. ‘‘මාස කිහිපයක් ඇතුලත කෝවිඩ්-19 වසංගතය මෙරටදී සාර්ථක ව පාලනය කිරීම” හා ‘‘නව රැල්ලක්” ඇතිවීම පිලිබඳව තම ලිපියෙහි සඳහන් කරමින් මාකස් ද ආන්ඩුවේ පචයට පලිප්පු දමා ඇත.

එහෙත් රජයේ වෛද්‍ය පර්යේෂන ආයතනයේ (එම්ආර්අයි) හිටපු අධ්‍යක්ෂ වෛද‍්‍ය ජයරුවන් බන්ඩාර ඔක්තෝබර් 5 වැනි දා දෙරන රූපවාහිනී ජාලයට කල ප්‍රකාශයක දී පසුගිය මාස කිහිපය තිස්සේ කොවිඩ්-19 වෛරසය ජනතාව අතර තිබී ඇති බව හා තත්ත්වය භයානක බව සඳහන් කලේ ය. “කෙසේ හෝ ජනවාරි සිට මේ දක්වා ප්‍රජාව අතර මේ වෛරසය තිබෙනවා. එහෙම නැත්නම් අපට රෝගියෙකු හමුවිය හැක්කේ කෙසේ ද?” යි බන්ඩාර එහිදී ප්‍රශ්න කලේ ය.

ආන්ඩුව ඔහු වහා ම තනතුරින් නෙරපී ය. ආන්ඩුවේ තර්ජනය හා පීඩනය හමුවේ ඔහු දැන් කනපිට ගසා ඇතත් සත්‍යය එයයි. ඔක්තෝබර් 16 වෙනි දා සවස වන විට තහවුරු කෙරුන ආසාදීතයන්ගේ සංඛ්‍යාව 5305 දක්වා ඉහල යාම තුලින් වයිරසය සමාජගත වී ඇත යන කාරනාව තව දුරටත් තහවුරු කෙරෙයි.

වසංගතය “සාර්ථක ව' පාලනය කර, ප්‍රමුඛ රටක් බවට ලංකාව ඉස්මතු වී ඇති බව ප්‍රකාශ කරමින් අගුලු දැමීම ඉවත් කල රාජපක්ෂ ආන්ඩුව, මැයි මාසයේදී “ආර්ථිකය යලි විවෘත” කලේ ය. රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයේ ම ආයතන ප්‍රධානීන්ට සහ හාම්පුතුන්ට තමන්ට රිසි සේ කටයුතු කර ගෙන යාමට ජනාධිපති රාජපක්ෂ අවසර දුන්නේ ය.

ආන්ඩුවේ නියෝජිතයන්, හාම්පුතුන් හා වෘත්තීය සමිති එකතුවක් වූ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකායට සම්බන්ධ වූ මාකස්ගේ නිවෙකපොසේසේස සහ ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (ලවෙකාපොකස), එක්සත් කම්කරු සමිති සම්මේලනය (එකසස ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) ඇතුලු පුද්ගලික අංශයේ සමිති “ආර්ථිකය යලි විවෘත” කිරීමේ ආන්ඩුවේ සැලැස්මට හා ධනපති හාම්පුතුන්ට සහයෝගය දෙති.

ඔවුන් ආන්ඩුව සහ හාම්පුතුන් සමග සාකච්චා කරන්නේ කම්කරුවන්ගේ විරෝධය යටපත් කරගෙන වැඩ වේගවත් කිරීම, ශ්‍රම බලකාය අඩු කිරීම, නිෂ්පාදන පලදායිතාවය වැඩි කිරීම, අපනයනය සඳහා තීරු බදු සහන ලබා ගැනීම හා කම්කරුවන්ගේ අරගල දිය කර දැමීමේ ඇස්බැන්දුම් විසඳුම් ගැන ය.

සමාජ දුරස්තථභාවය පවත්වා ගැනීම, මුව ආවරන හා විෂබීජ නාශක සැපයීම ඇතුළු සෞඛ්‍යාරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කරන ලෙස හුදු නියෝග පැන වූ නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක වුයේ නැත. ඒ වෙනුවට ක්‍රියාවට දැමුනේ රැකියා, වැටුප් හා සමාජ අයිතීන් කප්පාදු සහ පෙර නොවූ විරූ මට්ටමකට වැඩ වේගවත් කිරීම තුලින්, වසංගතයෙන් තීව්‍ර කෙරුනු අපනයන කර්මාන්තයේ අර්බුදය කම්කරුවන් මත පටවා ලාබ ඉහල දමා ගැනීමේ පිලිවෙතකි.

අසනීපයකට ප්‍රතිකාර ගැනීමට පවා නිවාඩු නොදී තමන්ගෙන් වැඩගත් බවට බ්‍රැන්ඩික්ස් කම්කරුවන් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ මගින් තහවුරු කෙරෙන්නේ කවර නම් රුදුරු සේවා කොන්දේසිවලට ඔවුන් යටත් කර තිබුනේ ද යන්නයි. එය හුදෙක් බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධ කාරනාවක් නොව සමස්තයක් ලෙස සියලුම හාම්පුතුන් විසින් ක්‍රියාවට දමනු ලබන මෘග පිලිවෙතකි.

සෞඛ්‍යාරක්ෂක පහසුකම් නිසි ලෙස සම්පාදනය නොකිරීම සහ පීසීආර් පාරීක්ෂන විධිමත් ව සහ පුළුල් ව නොකිරීම වසංගතය සමාජගත වීමට සහ පැතිරීමට තුඩු දෙන මුලික සාධකයකි. හුදෙක් අත් සේදීම පමනක් නොව, සෞඛ්‍යාරක්ෂක ඇඳුම් කට්ටලයක් සෑම කම්කරුවෙකුට සම්පාදනය කලයුතු වුව ද, ලාභය පදනම් කරගත් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයට කම්කරුවන්ට එවන් පහසුකම් සැපයීම වියදම් සහගත ය.

මේ වන විට කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කර්මාන්ත කිහිපයකින් කොවිඩ් 19 ආසාදිතයන් දුසිම් ගනනක් වාර්තා වී ඇතත් කලාපය නොවසන බවට කම්හල් හිමියන් සහ ආන්ඩුව තීන්දු කොට ඇත. ඒ සම්බන්ධව මාධ්‍යය කල විමසීමකදී මාකස් පවසා ඇත්තේ ‘‘දැනට පවතින තත්ත්වය තුල නිදහස් වෙලඳ කලාපයේ කර්මාන්ත ශාලා වසා දැමීම විසඳුමක් නොවන” බවත්, “නියමිත සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක වන බව සහතික කරමින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම වඩාත් සුදුසු” බවත්ය.

මාකස්ගේ නිවෙකපොසේසේ සංගමය ඇතුළු වෘත්තීය සමිති තම “පරම යුතුකම” කොට සලකන්නේ කම්කරුවන්ගේ ජීවිත පරදුවට තබා ධනපති ආර්ථිකය සහ කර්මාන්තකරුවන්ගේ ලාබ ආරක්ෂා කර දීමය. වැඩ වේගවත් කිරීම සහ නිෂ්පාදන පලදායිත්වය ඉහල දැමීම තුලින් ඇඟලුම් අපනයනකරුවන් 2015 සිට 2019 වසර දක්වා ක්‍රමිකව හා එක දිගට වර්ධනය වූ දැවැන්ත විදේශ ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇත.

පසුගිය වසරේ ඇඟලුම් අපනයනයෙන් ලද සමස්ත ආදායම ඩොලර් බිලියන 5.3 ක් වන අතර එම වසරේ මුල් මාස නවය තුල ඉපයු ආදායම ඩොලර් බිලියන 3.9 කි. කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසරේ මුල් මාස නවයේ ලද විදේශ ඉපයීම් ඩොලර් බිලියන 3.1 දක්වා පහත වැටී ඇත. ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදයේ පුරෝකථනයට අනුව සමස්තයක් ලෙස මෙම වසරේ ඇඟලුම් අපනයන ආදායම සියයට 40 පමන පහත වැටීමට නියමිතය.

ඇඟලුම් අපනයනකරුවන් උත්සුක වන්නේ ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව මෙම අර්බුදයේ බර කම්කරුවන් මත පටවා නිෂ්පාදනය සහ ලාබය ඉහල දමා ගැනීම කෙරෙහි මිස කම්කරුවන්ගේ ජීවිත හා සුබසාධනය ගැන නොවේ. එය මරනීය කොරෝනා වසංගතය ගැන නොතකා කම්කරුවන් බලහත්කාරයෙන් ‘‘ආපසු වැඩට” තල්ලු කරන ලෝකයේ සෑම රටක ම ධනපති පාලක පන්තියේ පිලිවෙතයි.

නිවෙකපොසේසේස ඇතුළු පුද්ගලික අංශයේ වෘත්තීය සමිති කැප වී සිටින්නේ කර්මාන්තකරුවන්ගේ මෙම ලාබ පිපාසිත අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීමට ය.

Loading