ආසාදන ඉහල යද්දී දිගටම වැඩ කරන ලෙස නිදහස් වෙලඳ කලාප සේවකයින්ට කියයි

කොරෝනා වෛරස් ආසාදනය ප්‍රදේශයේ ඉහල යාමත් සමඟ ශ්‍රී ලංකා බලධාරීන් බ්‍රහස්පතින්දා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කලේ වෛරසය කටුනායක නිදහස් වෙලඳ කලාපය ද (කනිවෙක) වෙලා ගෙන ඇති බව හඟවමිනි. කනිවෙක හි කම්කරුවන් දස දහස් ගනනක් සේවය කරති.

කටුනායක නිදහස් වෙලඳ කලාපයට පිවිසුම [Credit: ලෝක සමාජවාදී වෙබ් අඩවිය]

මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ෆැෂන් වෙයා කම්හලේ කම්කරුවන් සිය ගනනක් ආසාදනය වී ඇති බව පරීක්ෂනවලින් අනාවරනය වීමෙන් අනතුරුව පසුගිය සතියේ, කොලඹ දිස්ත්‍රික්කයට යාබදව පිහිටි මෙම ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ආන්ඩුව ඇඳිරි නීතිය හා අගුලු දැමීම් පැනවීය.

කෙසේ නමුත්, බ්‍රහස්පතින්දා දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතිය නිවේදනය කරමින් කෝවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් දිගටම වැඩ කල යුතු බව ප්‍රකාශ කලේය. ඇඳිරි නීති බලපත්‍රය ලෙස ඔවුන්ගේ සේවා හැඳුනුම්පත් භාවිතා කරන ලෙස ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේය. වෙනත් වචන වලින් කිවහොත් එහි අර්ථය අධික ලෙස ව්‍යාප්තවීමේ හැකියාව ඇති බෝවන රෝගයෙන් ආසාදනය වීමේ අවදානම තිබියදී නමුත්, කම්හල්වල නිෂ්පාදනය කඩාකප්පල් නොකල යුතුයි. 

පලමු වතාවේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මාර්තු 20 වන දින දීර්ඝ කාලයක් කල් පමාවී අගුලු දැමීමක් පැනවූ අතර, සෑම රටක ආන්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද කුරිරු “ආපසු වැඩට යාමේ” ප්‍රතිපත්තිවලට අනුකූලව, ඔහු අප්‍රේල් අග දී ආර්ථිකය නැවත විවෘත කරන ලෙස නියෝග කලේය. වෘත්තීය සමිතිවල පූර්න සහාය ඇතිව ගත් තීරනයක දී, කම්කරුවන් මහා පරිමානයෙන් නෙරපා හැරීමට මග පාදමින් අවම වශයෙන් අවශ්‍ය අවම කම්කරුවන් සංඛ්‍යාව ආපසු කැඳවීමට ඔහු සමාගම්වලට ඉඩ දුන්නේය.

ඔක්තෝබර් 9 දා සිට අවම වශයෙන් කනිවෙක කම්කරුවන් 135 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති අතර චීෆ්වේ කටුනායක, නෙක්ස්ට් මැනුෆැක්චරින්, නයිගයි ආයතනය සහ ඔකායා ලංකා  යනුවෙන් කම්හල් හතරක් වසා දමා ඇත.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ වැඩිවන ආසාදන සංඛ්‍යාව එලිමහනට ආවේ මේ මස මුලදී කිලෝමීටර් 12 ක් ඈතින් පිහිටි බ්‍රැන්ඩික්ස් කම්හලේ සිය ගනනක් සිදුවීම් අනාවරනය වීමෙන් අනතුරුවයි. බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවයේ නියුතු 1,400 දෙනාගෙන් 1,040 කට වැඩි සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බව පරීක්ෂා මගින් තහවුරු වී ඇත. එය ශ්‍රී ලංකාව පුරා විවිධ කම්හල්වල කම්කරුවන් 50,000 ක් පමන සේවයේ යොදවා ඇති රටේ විශාලතම ඇඟලුම් සමාගම්වලින් එකකි.

සෞඛ්‍ය බලධාරීන්ට අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් 21 ක කෝවිඩ්-19 ආසාදනය වී පවතී. මෙම අවස්ථාව වන විට නිල වශයෙන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක වන්නේ වවුනියාව, මුලතිව්, ත්‍රිකුනාමලය සහ කිලිනොච්චි පමනි. 

ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වී ඇති මුලු රෝගීන් සංඛ්‍යාව 5,305 ක් වන අතර මරන 13 ක් බව වාර්තා වී තිබේ. මෙම සංඛ්‍යා ප්‍රධාන වශයෙන් අඩු පරීක්ෂන මට්ටම්වල ප්‍රතිඵලයකි. පෙබරවාරි මැද භාගයේ සිට සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කර ඇත්තේ මිලියන 22 ක ජනගහනයක් සිටින රටක පරීක්ෂන 360,000 ක් පමනි.

කනිවෙක කම්කරුවෝ මේ සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමඟ ඔවුන් මුහුන දෙන තත්වය පිලිබඳව කතා කලහ.

ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය කරන ජපානයට අයත් කම්හලක් වන ඔකායා ලංකා කම්හලේ කම්කරුවන් ලෝසවෙඅ ට පැවසුවේ තමන් අනාරක්ෂිත තත්වයන්ට මුහුන දෙන බවයි. ඔක්තෝබර් 8 වන දින එක් කම්කරුවකුට කෝවිඩ්-19 ආසාදනය වූ අතර තවත් සමීප මිතුරන් පස් දෙනෙකු ආසාදිත බව පරීක්ෂන මගින් තහවුරු කෙරුනු අතර ඔවුන් සමඟ කම්හල් බස් රථයේ ගමන් කල තවත් 20 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා ගෙදර යවන ලදී. 

එක් අයෙක් පැවසුවේ ඇය සඳුදා රැකියාවට ගිය බවයි. අවශ්‍ය නම් පීසීආර් පරීක්ෂනයක් සඳහා කැඳවන බව පවසමින් එදින දහවල් කලමනාකාරිත්වය සේවකයින්ට වැඩ නතර කර කම්හලෙන් ඉවත්ව යන ලෙස පැවසීය.  

'අපි අහුවා නිවාඩු දෙනවද කියල, එතකොට කලමනාකාරීත්වය කියනවා එක්කෙනෙක් ආසාදිත වුනා කියල ෆැක්ටරිය වහන්නේ නැහැ, ෆැක්ටරිය වැඩ කරනවා කියල' යනුවෙන් තවත් කම්කරුවකු පැවසීය. ඔහු කියා සිටියේ කලමනාකරනය විසින් තත්වය පිලිබඳ තොරතුරු සඟවා ඇති බවයි. 

මුලු කලාපයම වසා දමනු ලැබුවහොත් තමන් දුෂ්කර තත්වයකට මුහුන දෙන බැවින් සමහර කම්කරුවෝ දුර බැහැර ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ මුල් නිවෙස් කරා ආපසු යාමට තීරනය කර ඇත. සමහරුන්ට උන වැලඳී තිබූ හෙයින් මෙම මස මුලදී කම්කරුවන් හතර පස් දෙනෙකු දුර බැහැර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන ලදී. කෙසේ වෙතත්, කලමනාකාරිත්වය කම්හලේ අනෙක් කම්කරුවන් පරීක්ෂා කලේ නැත.

ඔකායා ලංකා කම්හල මාර්තු මස අගුලු දැමීමට පෙර පුද්ගලයින් 1000 කට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති නමුත් එය නැවත විවෘත කරන විට කලමනාකාරිත්වය සිය ගනනක් රැකියා කපා හැරියේ ය. සේවකයින් පැවසුවේ ඇඟිලි සලකුනු අත්සන් යන්ත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක නොවුනත් පැමිනීමේ දීමනාව ගෙවන්නේ නැති බවයි.

ස්මාර්ට් ෂර්ට් සමාගම කර්මාන්ත ශාලාව නැවත විවෘත කරන විට සේවකයින් 1,700 ක් පමන නෙරපා හැර එහි ශ්‍රම බලකායෙන් 300 දක්වා අඩු කලේ ය. කම්කරුවන්ට ගෙවනු ලබන්නේ දිනකට රුපියල් 400 ක් (ඇමරිකානු ඩොලර් 2.2 ක්) වන අතර වැඩි ආදායමක් උපයා ගත හැක්කේ කොඳු කැඩෙනතුරු ඔවුන් අතිකාල වැඩ කලොත් පමනි. 

කනිවෙක හි මෑතදී ආසාදන වැඩිවීමත් සමඟ කම්හලේ සේවකයින්ගේ සංඛ්‍යාව තවදුරටත් 150 දක්වා අඩු වී තිබේ. එක් කම්කරුවකු මෙසේ පැහැදිලි කලේය: “ඇඳිරි නීතිය දැම්මට අපිට ආරක්ෂාවක් නෑ. උන බලලා ඇතුලට ගන්නවා. අපි මුඛ ආවරන පාවිච්චි කරන්නේ සබන් දමා හෝදලා. වසංගතය දැන් පැතිරිලා තියෙන්නේ. මම වැඩට යන්නේ රස්සාව නැති වෙයි කියන බයට, වැඩට නො පැමිනිය හොත් කලමනාකාරීත්වය වන්දියක්වත් නොදී අපිව රැකියාවෙන් දොට්ට දානවා.”

නෙක්ස්ට් ඇඟලුම් කම්හල කම්කරුවන් 2,000 ක් පමන සේවයේ යොදවා ඇත. එය වසා දමා තිබෙන්නේ කම්කරුවන් 11 දෙනෙකු කෝවිඩ්-19 අසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුවයි. පීසීආර් පරීක්ෂනයකින් පසු නිවසේ ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින එක් කම්කරුවකු පැවසුවේ ඇය මසකට රුපියල් 32,000 ක වැටුපක් සඳහා අවදානම් තත්වයන් යටතේ වැඩ කල බවයි. එක් දරු මවක් වන ඇය සැමියා විසින් ලබාගත් නය ගෙවීම සඳහා දිගටම වැඩ කල යුතුය. නෙක්ස්ට් කම්හලේ සේවකයෝ උදේ 7 සිට සවස 6 දක්වා වැඩ කරති.

“බ්‍රැන්ඩික්ස් කම්හලේ රෝගීන් වාර්තා වුනායින් පස්සෙත් නිසි ආරක්ෂක විධිවිධාන නොමැතිව අපෙන් වැඩ ගත්තා. අපේ ෆැක්ටරිය වැහුවට අනෙක් ඒවා වැඩ. දහස් ගනනක් අනාරක්ෂිතයි. ආන්ඩුව කලින් පෙන්නපු බොරු උනන්දුව දැන් නෑ” යයි තවත් කම්කරුවෙක් පැවසුවේ ය. 

“නෙක්ස්ට් කම්හල අයිති එංගලන්තයේ සමාගමකට. මහ ධනපතියන්ගේ ලාභ වෙනුවෙන් කම්කරුවන්ගේ ජීවිත බිල්ලට දීලා.” යයි ඇය ප්‍රකාශ කලා ය.  

බොහෝ කනිවෙක කම්කරුවන් සේවයේ යොදවනු ලැබ ඇත්තේ ඊනියා මිනිස්බල සමාගම් විසිනි. එවැනි එක් කම්කරුවකු ලෝසවෙඅ ට පැවසුවේ තමාට රැකියාවක් සොයාගත නොහැකි වූ බවයි. 'දැන් [ඇඳිරි නීතිය නිසා] කොහෙවත් යන්න විදියක් නැහැ ගෙදරට වෙලා ඉන්නවා. වැඩ නැති නිසා එදිනෙදා ආහාර-පාන  සඳහා වත් මුදල් නැහැ“ යනුවෙන් ඔහු පැවසීය.

මාර්තු 20 වන දින රටපුරා අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කිරීමට පෙර ජනාධිපති රාජපක්ෂ කම්කරුවන්ට සහ දුප්පතුන්ට කිසිදු දැනුම් දීමක් හෝ බරපතල සමාජ ආධාර සංවිධානය කලේ නැත. මෙහි අර්ථය වූයේ කනිවෙක ඇතුලු නිදහස් වෙලඳ කලාපවල කම්කරුවන් දහස් ගනනක් කිසිදු ආදායමක් නොමැතිව සති ගනනක් අතරමංව සිටින බවයි. ඔවුන්ට නැවත සිය ගම්මානවලට යාමට අවසර ලැබුනේ සමාජ නොසන්සුන්තාව පුපුරා යාමෙන් පසුව ය.

බොහෝ කනිවෙක කම්කරුවෝ අවම පහසුකම් සහිත ජනාකීර්න බෝඩිම්වල වාසය කරති. මෙම සමහර නේවාසිකාගාරවල කම්කරුවන් 100 ක් පමන සිටින අතර ගර්භනී කාන්තාවන්ට සහ මව්වරුන්ට තම දරුවන් සමඟ ඒවායේ නවාතැන් ගැනීමට සිදුවේ. ආසාදනය වීමේ අවදානම නිසා කම්කරුවන් මෙම ස්ථානවල රැඳී සිටීමෙන් වැලකී සිටිය යුතු බව රජයේ බලධාරීන් දැන් නරුම ලෙස ප්‍රකාශ කර තිබේ.

කම්කරුවන් සහ දුප්පතුන් ආරක්ෂා කිරීම සඳහා උසස් තත්ත්වයේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා වෙනුවට, වසංගතය පාලනය කිරීමේ නාමයෙන් රාජපක්ෂ ආන්ඩුව සහ එහි කෝවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මිලිටරි ක්‍රම භාවිතා කරමින් සිටිති.

මේ සතියේ එවැනි සිදුවීම් දෙකක් කලම්බු ටෙලිග්‍රාෆ් අනාවරනය කලේය. ඔක්තෝබර් 11 වන දින, “කටුනායක, මුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් කම්කරුවන් 45 දෙනෙකු (කාන්තාවන් 25 ක්, ගර්භනී කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු ඇතුලුව) හමුදාව විසින් වටකරනු ලැබ බස් රථයකින් කලුතර තාවකාලිකව අටවන ලද නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගිය” බව වාර්තා කලේය.

තදබදයක් සහිත බස් රථයකට ගොඩවන ශ්‍රී ලාංකික කම්කරුවන් [Credit: ලෝක සමාජවාදී වෙබ් අඩවිය]

ඒ ආකාරයටම අලුයම 12.30 ට පමන ඇවරිවත්තේ (කනිවෙක අසල) කම්කරුවන් 53 ක් (කාන්තාවන් 35 ක් සහ ලමුන් 1 ක් ඇතුලුව) අවදි කරවා බස් රථයකට නංවා ඇති බව වෙබ් අඩවිය වාර්තා කරයි.

එක් කම්කරුවකු ටෙලිග්‍රාෆ් වෙත මෙසේ පැවසීය: “හමුදාව මධ්‍යම රාත්‍රියේ පැමින අපගේ අත්‍යවශ්‍ය  දෑ ඇසුරුම් කර බස් රථයට නැගීමට අපට ලබා දුන්නේ විනාඩි 10 ක් පමනයි. ඔවුන්ට රාත්‍රීන් ගනනාවක් නිදිවර්ජිතව ගත කිරීමට සිදු වී ඇති නිසාත්, වෙහෙසට පත්ව සිටි නිසාත්, ඔවුන්ව රස්තියාදු නොකරන්නැයි හමුදාව අපට කිව්වා”.

“අපිට පරීක්ෂා කරන්න වෙලාවක් නැහැ. අධික වැඩ බර නිසා අපි හෙම්බත් වෙලා. මට මගේ පීසීආර් පරීක්ෂනය නෙගටිව් කියන වාර්තාව ලැබුනෙ දවස් දෙකකට කලින්. මේක ඒගොල්ලන්ට කියන්න වත් මට අවස්ථාවක් දුන්නෙ නැහැ. ඒගොල්ලො කාටවත් කතා කරන්න වත් ඉඩ දෙන්නෙ නැහැ. අප ව බස්වලට පටවලා එලියට අරන් ආවා.”

ඒ ආසන්නයේ පිහිටි කටුනායක, සීදූව, මීගමුව හා අමන්දොලුව යන ප්‍රදේශවලින් ද හමුදාව කම්කරුවන් එක්රැස් කර ගත්තේ ය. කිලෝමීටර 85ක් පමන දුරින් කලුතර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ඔවුන් ව රැගෙන ගොස් ඇති අතර, ඔවුන්ට ආහාර හෝ ජලය ද නොමැති බව කොලම්බු ටෙලිග්‍රාෆ් සඳහන් කලේ ය.

[මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පවසන පරිදි]“එහි රැගෙන ගොස් ඔවුන්ට ආහාර දී ඇතත් ඒවා අනුභව කල හැකි මට්ටමේ ඒවා නොවේ. නිරෝධායන මධ්‍යස්ථානය පිරිසිදු කර නොමැති අතර සනීපාරක්ෂක පහසුකම්වලින් ද තොරයි. කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඔවුන් ව තවමත් පරීක්ෂා කර නැහැ.”

Loading