රැකියා අහිමිව විදේශ‌යන්හි සිරව සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් රාජපක්ෂ ආන්ඩුවට විරෝධය පල කරයි

රැකියා අහිමිව තම රටට පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකාවේ විගාමික කම්කරුවන් ගෙන්වා ගැනීම රාජපක්ෂ ආන්ඩුව විසින් නතර කර දැමීමත් සමග ඔවුන් දහස් ගනනකගේ ජීවිත දැඩි අවදානමට ලක් වී තිබේ. 

එම කම්කරුවන් ගෙන්වා ගතහොත් රටේ ජනතාවට වසංගතය බෝ වෙතැයි ආන්ඩුව වංචනික ලෙස කියා පායි. ගුවන් තොටුපලවල් විවෘත කිරීම, කොරෝනා කාර්ය සාධක බලකායේ සෞඛ්‍යය බලධාරින්ගේ උපදෙස් මත සිදු කරන්නැයි ජනාධිපති තමාට උපදෙස් දී ඇතැයි සංචාරක කටයුතු පිලිබඳ ඇමති ප්‍රසන්න රනතුංග මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. “මිලියන 21 ක් වන ජනතාවගේ ආරක්ෂාව ගැන සහතිකයක් ඇතුව තමයි කටයුතු කරන්න වෙන්නේ” යයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

ඩුබායි පාක්හි අතහැර දමා ඇති හිසට වහලක් නැති ලාංකික කාන්තා කම්කරුවන්

මෙම විගාමික කම්කරුවන් මෙරට ජනතාවගෙන් කොටසක් නොවන සේ සලකමින් රනතුංග කල මෙම නරුම ප්‍රකාශයත් සමග, කොරෝනා රෝගයෙන් මිදී තම අඹු දරුවන් දැක බලා ගැනීමට ලංකාවට පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටින මැදපෙරදිග ඇතුලු ලෝකයේ රටවල් 20 ක පමන සේවය කරන කම්කරුවෝ ආන්ඩුවට එරෙහි සිය කෝපය හා විරුද්ධත්වය සමාජ මාධ්‍ය තුල පල කරමින් සිටිති. 

දැඩිසත්කාර ඇඳන් ප්‍රමානය ඉක්මවා යන ආකාරයේ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම විදේශ කම්කරුවන් ආපසු ගෙන්වා ගැනීම නතර කිරීමට ආන්ඩුව ගසා කමින් තිබේ. විදේශ රටවල සේවය කරන ලාංකික කම්කරුවන්ගේත් රට තුල රැකියා කරන කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධවත් ආන්ඩුවට ඇත්තේ තුච්ච නොතැකීමකි. 

රට තුල රෝග ව්‍යාප්තිය සඳහා බලපා ඇත්තේ විදේශ කම්කරුවන් ගෙන්වා ගැනීම නොවේ. අනාරක්ෂිත කොන්දේසි යටතේ මහ ධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කර දීම සඳහා ආර්ථිකය විවෘත කොට කම්කරුවන් වැඩට දැක්කීම රෝග ව්‍යාප්තිය සඳහා බලපෑ ප්‍රධාන හේතුවයි. ආන්ඩුව විසින්, රෝගය මැඩපැවැත්වීමට අත්‍යාවශ්‍ය කෙරෙන පීසීආර් පරීක්ෂන ඉහල නොදැමීම, නිරෝධායනය සඳහා පහසුකම් වර්ධනය නොකිරීම හා දැඩි සත්කර ඇඳන් ඇතුලු රෝහල් ධාරිතාව ඉහල නොදැමීම අනෙක් කරුනු අතර වෙයි.

ආන්ඩුවේ තර්කයට අනුව, ලංකාවේ කොවිඩ් වසංගතය වෙනුවෙන් වෙන්කර ඇති දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව ඉක්මවා රෝගීන් ප්‍රමානය වැඩිවන තත්වයේ දී විගාමික කම්කරුවන් නැවත ගෙන්වා ගැනීම ඇතැම් විට වසර කිහිපයකට ඈතට කල් දැමීමකි. 

ඩුබායි පාක්හි අතහැර දමා ඇති ශ්‍රී ලංකාවේ කම්කරුවන්

විදේශයන්හි රැකියා කරන මිලියන 1.7 ක් පමන වන කම්කරුවන්ගෙන් ලංකාවට නැවත පැමිනීමට බලපොරොත්තුවෙන් මැදපෙරදිග රැඳී සිටින පිරිස පනස් දහසක් පමන වෙති. සෞදි ආරාබියේ පමනක් 2500 ට වඩා ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. එනමුත් සත්‍ය ප්‍රමානය ඊට වැඩි වනු නියත ය. ජෝර්දානය, මාලදිවයින වැනි රටවලින් ලැබෙන ඉල්ලීම් ප්‍රමානය ද වැඩිවෙමින් තිබේ. 

බොහෝ රටවල දී විදේශ කම්කරුවන් මුහුන දෙන අති දුෂ්කර රැකියා කොන්දේසි කොවිඩ් වසංගතයට ඔවුන් ගොදුරුවීමේ අවදානම වැඩි කර තිබේ. රැකියා අහිමි වූ ඇතැම් කම්කරුවෝ උද්‍යානවල, ඉන්දන පිරවුම් හල් වැනි පොදු ස්ථානවල අන්ත අසරන තත්වයන් යටතේ කාලය ගත කරති.  

මෙය ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වැනි දකුනු ආසියාතික කම්කරුවන් මුහුන දෙන පොදු තත්වයකි. කටාර් රාජ්‍යයේ මහජන ප්‍රවාහන සේවයේ රැකියාවේ නියුතු සමන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අනාවරනය කලේ, එරට රැකියාවේ නිරතව සිටි නේපාල ජාතිකයන් දහස් ගනනක් රැකියා අහිමි වීමෙන් පසු මාස 08 ට වැඩි කාලයක් සිය රටට යෑමට නොහැකිව සිටින බවයි. කොන්ත්‍රාත්තු අවසන් වන සේවකයන් වෙනුවට අලුතෙන් සේවකයන් බඳවා නොගන්නා බවත් ඒ වෙනුවට  

මෙතෙකුදු රැකියාවේ නියුතු සේවකයන්ට වැඩ ආවරනය කිරීමට සිදු වී ඇති බවත් ඔහු පැවසීය. එරට කොවිඩ් වසංගත ව්‍යාප්තිය ද ඉහල යමින් තිබේ.     

සමන් තත්වය මෙසේ විස්තර කලේ ය: “මෙහෙ නිදහස් වීසා ඇති අය ස්වයං රැකියා කෙරුවා. කිහිප දෙනෙකුට රැකියා දීමට හැකියාවක් ඔවුන්ට තිබුනා. තම බිරින්දෑ වරු පවා මෙරට ගෙන්වා ගෙන හිටියේ. නමුත් දැන් බොහෝ දෙනකුගේ ආදායම ජීවත් වෙන්න බැරි මට්ටමට අඩු වෙලා. එවැනි අයගේ ගැබිනි බිරින්දෑවරු සහ රෝගී වූ අය තමයි පසුගිය දිනක ලංකාවට ගෙන්න ගත්තේ. එය එක ගුවන් ගමනකට සීමා වුනා.”

රැකියා කොන්ත්‍රාත්තු අවසන් වීමෙන් පසු තම රටවලට යාගත නොහැකිව සිටින කම්කරුවන් පොලිසියට භාර වූවහොත් සිරගත කරනු ලැබේ. ඉදි කිරීම් සහ සේවා අංශවල රැකියාවලින් දොට්ට දැමූ කම්කරුවෝ වෙනත් රැකියාවක් සොයා ගැනීමට නොහැකිව සිටිති. ඔවුන්ට පුන්‍යායතනවලින් ලැබුනු ආධාර පවා දැනට මාස දෙකක පමන කාලයක සිට නතරව ඇතැයි සමන් වැඩි දුරටත් විස්තර කලේ ය. 

මාලදිවයිනේ දූපත් තුනක සිටින ලාංකිකයින් පිරිසක් ආයාචනාත්මකව ඉල්ලා සිටියේ මාස දෙකකට වැඩි කාලයක් තවත් විදේශිකයන් කන්ඩායමක් සමග සිර වී සිටින බැවින් තමන්ව ඉක්මනින්ම ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි. 

සරත් කුමාර සෞදි අරාබියේ අසිරියා කාර්මික කලාපයේ සේවය කරන ලාංකික කම්කරුවෙකි. ඔහු ලෝසවෙඅට ප්‍රකාශ කලේ රැකියා අහිමිව එරට සිටින සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න විය හැකි බවයි. රට තුල සංචරනය වීමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට අය කරන රියාල් 4350 නොමැති වීමෙන් ඔවුන්ගෙන් සමහර කම්කරුවන්, ඔවුන්ගේ මිතුරන්ගේ වාසස්ථානවල, උද්‍යානවල සහ තානාපති කාර්යාලයේ ජීවත් වන බවයි. 

“සමහර අයට මාස ගානකින් පඩිනඩි ගෙවල නැහැ. ඒනිසා කෑම බිම සෞඛ්‍ය පහසුකම් නැහැ. මේ වසංගතය පටන් ගත්ත කාලෙ ඕනෑම රෝහලකට ඇතුලු වෙලා නොමිලේ බෙහෙත් ගන්න පුලුවන් කම තිබුනා. රෝගය ව්‍යාප්ත වන නිසා දැන් ඒවට සල්ලි ගෙවන්න ඕනා. මූලික පරීක්ෂනයක් සඳහා රියාල් හාරසියක් අය කරනවා. එම මුදල ලංකාවේ මුදලින් රුපියල් පහලොස්දාහත් විසිදාහත් අතර මුදලක්” යයි සරත් කුමාර විස්තර කලේ ය. 

විදේශ ගමන් බලපත්‍ර අලුත් කරගැනීම වැනි කටයුතු සඳහා තානාපති කාර්යාලය මගින් සිකුරාදා දිනවල සිදුකල ජංගම සේවාවන් නවතා දමා ඇතැයි කම්කරුවෝ චෝදනා කරති. එවැනි අවශ්‍යතා සඳහා රියාද් නගරයට යෑමට හාම්පුතුන් ඉඩ ලබා නොදේ. එමෙන්ම එය ඉතා වියදම් අධික කටයුත්තකි. රියාද් වල වසංගතය වේගයෙන් පැතිරෙන තත්ත්වය යටතේ ජමාම්, කොබාද්, ජුබෙල්, අල්-කපි වැනි නගර කම්කරුවෝ ඉමහත් අපහසු තාවයන්ට මුහුන දී සිටිති. 

මෙම විගාමික කම්කරුවන්ගේ තත්වය පිලිබඳව පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට නරුම ප්‍රතිචාරයක් දනවමින් කම්කරු කැබිනට් ඇමති නිමල් සිරිපාල ද සිල්වා පිලිතුරු දුන්නේ, “මේ අය ඔක්කොම ගේන්න අපි ඇඳන් විසි පන් දහසක් හදල නැහැ" යනුවෙනි.

කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවන් ඇඳන් ධාරිතාව ඇතුලු සෞඛ්‍ය පහසුකම් වැඩි දියුනු කිරීම සහ විගාමික කම්කරුවන් වහා ගෙන්වා ගැනීම  සාපරාධී ලෙස නොතකා සිටින රාජපක්ෂ ආන්ඩුව මහා ව්‍යාපාරවලට රුපියල් බිලියන ගනනින් සහන පැකේජයන් ලබා දී ඇති අතර බැංකු පොලී අනුපාත පහත දමා ඇත. 

මාස ගනනාවක සිට ලංකාවට පැමිනීමට යත්න දරන සමීර සඳකැළුම් තමා ඇතුලු කම්කරුවන් කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ නොතැකීම ගැන කෝපය පල කරමින්  යු-ටියුබ් වෙබ් අඩවියකට ප්‍රකාශ කලේ "ආන්ඩුවට අපි ගැන අනුකම්පාවක් නැහැ. ඡන්දෙට කෝටි ගනන් වියදම් කලා, අපි වෙනුවෙන් වියදම් කරන්න ආන්ඩුවට අවශ්‍යතාවයක් නැහැ" යනුවෙනි.  

ෂාජා හි කොටුවී සිටින අමිල නුවන්ට මාර්තු 15 දා සිට රැකියාව අහිමි වී ඇති අතර ඔහු තමා මුහුන දී සිටින තත්වය මෙසේ විස්තර කලේය:. "ලංකාවේ   ආන්ඩුව කියන හැටියට ලංකාවට එන්න පීසීආර් පරීක්ෂන වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන එවැනි පරීක්ෂනයක් මෙහි කරගන්න බැහැ. මෙහි ලෙඩෙක් ඉස්පිරිතාලෙට ඇතුලත් කර ගන්නේ අසාධ්‍ය නම් විතරයි. ගිලන් රථයක් පවා එවන්නේ අසාධ්‍යයයි කිව්වොත් විතරයි. නැත්නම් ගෙදරට වෙලා ඉන්න කියනවා. ලංකාවේ තානාපති කාර්යාලයට කතා කරන්න බොහොම අමාරුයි. මම ඉතාම අමාරුවෙන් දවසක් ලංකාවේ තනාපති කාර්යාලයට ඇමතුමක් ගත්තා. මට තිබෙන අපහසුව ඔවුන්ට කිවුවහම පාර්සල් එකක් එවනවා කිව්වා. තවම එවැනි පාර්සලයක් ලැබුවේ නැහැ. කොවිඩ් තිබෙද්දී එලියට ගියොත් ඩිරාම් 10,000.00 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5ක් පමන මුදලකි) දඩ ගහනව. මේ තත්ත්වය නිසා බොහොම දෙනෙක් අසරන වෙලා ඉන්නේ". 

ශිරෝමි නමැති කම්කරු කාන්තාවක් පැවසුවේ ඔවුන් ලංකාවේ පුරවැසියන් ලෙස රාජපක්ෂ ආන්ඩුව නොතකන බවයි. "හරිම කලකිරීමක් තියෙන්නේ ලංකාවේ ආන්ඩුව ගැන" යයි ඇය ප්‍රකාශ කලාය

රාජපක්ෂ ආන්ඩුව විදේශගත කම්කරුවන්ට පමනක් නොව, ලංකාව තුල සිටින කම්කරුවන්ට ද සලකනුයේ ඒ හා සමාන සාපරාධී ආකාරයකිනි. ඇමරිකාව, යුරෝපය, බ්‍රසීලය හා අසල්වැසි ඉන්දියාව ඇතුලු ලොව පුරා රටවල ධනපති ආන්ඩු අනුයමින් රාජපක්ෂ ආන්ඩුව, මහ ධනපතියන්ගේ ආයෝජන හා ලාභ සුරක්ෂිත කිරීම සඳහා කම්කරුවන් අන්තරායකාරී කොන්දේසි යටතේ වැඩට දක්කමින් සිටී. 

Loading