රාජපක්ෂ ආන්ඩුව යටතේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර ඉහල යයි

මුලතිව් දිස්ත්‍රික්කයේ, මුරිප්පු හි සිදුවෙමින් පැවති දැව ජාවාරමක් සම්බන්ධ තොරතුරු සෙවීමට ගිය වීරකේසරී සහ හිරු පුවත් ප්‍රාදේශීය වාර්තාකරුවන් වන කනපතිපිල්ලේ කුමනන් සහ ෂන්මුගම් තවසීලන්ට සංවිධානාත්මක කල්ලියක් විසින් පසුගිය සඳුදා බරපතල ලෙස පහර දෙනු ලැබූ හ. 

වාර්තා වන අන්දමට යකඩ පොලු වලින් සන්නද්ධ ව යතුරුපැදි වලින් පැමිනි මැරයින් හතර දෙනකු ඔවුන්ට පහර දී මරන තර්ජන එල්ල කොට, කැමරා සහ ජංගම දුරකථන උදුරාගෙන ඒවායේ තිබූ ඡායාරූප සහ වීඩියෝ මකා දමා තිබේ. පහරදීමෙන් කුමනන්ගේ හිසට තුවාල සිදු වී ඇති අතර තවසීලන්ගේ දත් දෙකක් කැඩී ගොස් ඇත. ඔවුන් පහර දීම පිලිබඳ ව පොලිසියට පැමිනිලි කර ඇති නමුත් තව ම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

ප්‍රහාරයට ලක්වූ මුලතීව්හි මාධ්‍යවේදීන් දෙදෙනා තවසීලන් සහ කුමනන්

රෝහල් ගත වී සිටිද්දී ද මාධ්‍යය ඇමතූ තවසීලන් පවසා තිබුනේ, තමන්ට පහරදුන් මැර කල්ලියේ නායකයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් හා ඔහුට විරුද්ධව පැමිනිලි කිහිපයක් තිබෙන නමුත්, ඔහු නිදැල්ලේ සැරිසරන බව සහ ඔවුන් අත්අඩංගුවට ගන්නා තාක් තමන්ගේ ජීවිත අනතුරේ පවතින බව ය. පහර දීම සම්බන්ධයෙන් “අපක්ෂපාතී පරික්ෂනයක්” සිදු කිරීමට පොලිසියට උපදෙස් ලබා දුන් බව පසුවදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදි ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කලත් ඒවා හුදෙක් පුහු ප්‍රකාශ බවට පත් වී ඇත. 

රාජපක්ෂ ආන්ඩුව යටතේ වනාන්තර හෙලි කිරීම සහ පරිසර විනාශය ඉහල යමින් පවතියි. ඒ අතරින් සිංහරාජ වන රක්ෂිතය තුලින්, යුද හමුදාවේ මෙහෙයවීමෙන් මහා මාර්ගයක් තැනීම සහ දේශපාලන අනුග්‍රහය සහිතව පුද්ගලික පාර්ශවයන් විසින් ආනවිලුන්දාව සහ වනාත-විල්ලුව වන රක්ෂිතවල අක්කර සියයකට අධික බිම් ප්‍රමානයක් එලි කිරීම පරිසරවේදින්ගේ සහ මහජනතාවගේ දැඩි විරෝධයට භාජනය වී ඇත.  

පරිසර විනාශයට සමගාමී ව ඒවා හෙලිදරව් කරන මාධ්‍යවේදීන්ට එරෙහි ව ප්‍රහාර ද වැඩි වශයෙන් වාර්තා වීමට පටන්ගෙන ඇත. මොනරාගල, කුඹුක්කන් ඔය පාලම අසල අනවසර වැලි ගොඩදැමීමක් වාර්තා කිරීමට ගිය ඉඳුනිල් විජේනායක නම් මාධ්‍යවේදියෙකුද ඔක්තෝබර් 3 වැනිදා මෙවැනි ම ප්‍රහාරයකට ලක් විය. ඒ සම්බන්ධයෙන් ද ආන්ඩුව තවමත් කිසිඳු පියවරක් ගෙන නොතිබීමෙන් පැහැදිලි වන්නේ මුලතිව්හි මාධ්‍යවේදීන්ගේ පැමිනිල්ලට ද එවැනි ම ඉරනමක් අත්වනු ඇති බවයි. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන්ගේ සංගමය සහ මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ආදී සංවිධාන ගනනාවක් විසින් ද මෙම ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇති අතර ඔවුන්ගේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇත්තේ ද පහරදීම් පිලිබඳ පරීක්ෂන එක දිගට ම කල් පමා වීම ගැනයි.

පරිසර විනාශය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන්නන්ට එරෙහි ව පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ විසින් කල ප්‍රකාශයන් පිරික්සා බැලීමෙන් මෙම පහරදීම් සම්බන්ධ විමර්ශන පොලිසිය විසින් මග හරිනු ලබන්නේ ඇයිදැයි පැහැදිලි කර ගත හැක. එලෙස තොරතුරු හෙලි කිරීම, “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක්” ලෙස හෙලා දකිමින් ඔහු පවසා තිබුනේ “ජනතාව නොමග යවනු පිනිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මානය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා” බවයි. 

ජනාධිපති මාධ්‍ය අංශය මෙම ප්‍රකාශයන් වඩා සවිස්තරව මෙසේ නිවේදනය කර තිබේ: “රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙලන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබේ. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මානය කරන අය උත්සාහ කරති. එවැනි වාර්තාවල මුලුමනින් අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුලත් බව නිරීක්ෂනය කර ඇත.”

රාජපක්ෂ ආන්ඩුව බලයට පැමින ඉතා කෙටි කලක් තුල මහජනතාව අතර වේගයෙන් අපකීර්තියට පත්වෙමින් සිටියි. කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ආන්ඩුවේ නොතැකීම, ජීවන වියදම් ඉහලයාම ඇතුලු හේතු ගනනාවක් විසින් වඩ වඩා අතෘප්තියට පත් ව සිටින මහජනතාව අතර වැඩෙන කවර ආකාරයේ හෝ විරුද්ධත්වයක් ඉවසා සිටීමට රාජපක්ෂ ආන්ඩුවට නොහැකි ය. කොරෝනා වසංගතය පැතිර යාම පිලිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කරන අයට එරෙහි ව නීතිමය පියවර ගන්නා බව ආන්ඩුව දිගින් දිගට ම නිවේදනය කරන්නේ ද මහජන විරෝධය මර්දනය කිරීමේ කොටසක් ලෙසයි.  

එමෙන් ම පොලිසිය සහ හමුදාව මැදි කරගත් ජනාධිපති ආඥාදායකත්වයක් වෙත ගමන් කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව සත්‍ය තොරතුරු මහජනතාව වෙත ලඟාවීමෙන් සමාජ පිපිරීමක් ඉක්මන් කරනු ඇතැයි බියපත් ව සිටී. එවැනි තොරතුරු සම්පාදනය කරන මාධ්‍යවේදීන් සාවද්‍ය පුවත් මවන්නන් ලෙස හංවඩු ගසමින් ඔවුන්ට එරෙහි ප්‍රහාර දියත් කිරීමට ආන්ඩුව අනුග්‍රහය සපයයි.

මහින්ද රාජපක්ෂ පාලනයට ද ඇත්තේ මාධ්‍යවේදීන්ට එරෙහි මිනීමරු ප්‍රහාරයන් එල්ල කිරීම පිලිබඳ කුප්‍රකට ඉතිහාසයකි. එම පාලනය පැවති 2009 වසරේ ජනවාරි මාසයේදී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම ඒ අතරින් මහජනතාව අතර වඩාත් ම කම්පනයක් ජනිත කල සිදුවීමයි. 

ඊට අමතර ව උතුරු නැගෙනහිර ද දකුනු පලාත්වල ද මාධ්‍යවේදීන් ඇතුලු සිය ගනනක් දෙනා “සුදු වෑන්” වලින් පැහැර ගෙන ගොස් වධ බන්ධනයට ලක් කෙරුනු අතර එයින් ඇතැමෙකු අතුරුදහන් කෙරුනි. නැතහොත් මරා දැමුනි. මෙම අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු කිසිවෙකු මෙතෙක් නීතිය ඉදිරියට පමුනුවා නැති නමුත්, මේ දක්වා හෙලිදරව් වී ඇති කරුනුවලින් පැහැදිලි ලෙස ම සනාථ වී ඇත්තේ එකල ආරක්ෂක ලේකම් ධුරයේ සිටි ගෝඨාභය රාජපක්ෂගේ පූර්න අනුදැනුම යටතේ ක්‍රියාත්මක වූ මිලිටරි ඝාතක කල්ලි මෙම මෙහෙයුම් ක්‍රියාවට දැමූ බවයි.

තොරතුරු සමාජගත කරන්නන්ට එරෙහි ආන්ඩුවේ තර්ජන සහ මාධ්‍යවේදීන්ට පහර දීමේ සිදුවීම් ඉහල යාමෙන් පෙන්නුම් කෙරෙන්නේ රාජපක්ෂ විසින් ගොඩනගමින් පවතින පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන තන්ත්‍රයේ රුදුරු ස්වභාවයයි. විවිධ කඩතුරාවන් යොදාගනිමින් තම දේශපාලන විරුද්ධවාදීන්ට, ප්‍රධාන වශයෙන් ම ඉදිරියේදී අරගලවලට ප්‍රවිෂ්ට වීමට නියමිත කම්කරුවන්ට එරෙහිව මෙම ප්‍රහාරය වර්ධනය කිරීමට ආන්ඩුව ගමන් කරනු ඇත. කම්කරු පන්තිය ඒ පිලිබඳව සාවධාන විය යුතුය. 

Loading